මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

---සරණපාල---


රොෂාන්, තිමිර, නදීක, නුවන්, හා මා අප පස් දෙනා ගමේ විසූ හොඳම මිතුරන් පස්දෙනෙකු වූයෙමු. මේ කාල වකවානුව වන විට අප සිවු දෙනෙක් සාමාන්‍ය පෙල අවසන්ව නිවෙස්වල සිටි අවධියයි. නුවන්ද උසස්පෙලින් පසුව නිවසට වී සිටි කාලයම විය. එසේම නුවන් හා රොෂාන් එකම නිවසේ සහොදරයන්ද විය. කෙසේ හෝ මේ කාලවකවානුව තුල උදෑසන නිවසින් එලියට බහින අපට වල බැහීමට වඩා වෙනත් රාජකාරියක් නෙවීය. (දවල් කෑමට පවා ඉස්පාසුවක් නැති තරම් වැඩය ). වැවේ නාන්න යෑම, බෝට්ටු පැදීම, වෙල ඔබ්බෙන් වූ කැලෑ ඉඩමේ හොර කුරුම්බා කැඩීම, කොහේ හෝ සෙට් වී ඕමි බැලීම අපේ විනෝදාංශ අතර ප්‍රමුඛතම කාර්යයන් විය.
කෙසේ හෝ අප පස් දෙනා අතුරින් තරමක මංදගාමී, කුලෑටි ගති පැවතුම් වූ චරිතයක් වූයේ රොෂාන්ගේ අයියා වූ නුවනා ය. අපි හොරෙන් කුරුම්බා කඩන්න කැලෑ පැන්න විටදී වුවත් තරමක් තැතිගැන්වී අවට වටපිටාව ගැන වැඩිපුර සෝදිසියෙන් සිටීම ඔහුගේ සාමාන්‍ය කාර්ය්‍ය විය. නුවනාගේ මේ අසීමිත බිය ගැන අප හොඳින්ම දැනසිටි කරුණකි. දිනක් අප පස්දෙනා උදේ වරුවම සෙට් වී ඕමි බලා දහවල් 12 ආසන්න වන විට කුරුම්බයක් බීමේ අදහසින් වෙල අයිනේ වූ කැලෑ ඉඩමට ගෑටුවෙමු. (මේ ඉඩම අක්කර 15ක 20ක විතර ලොකු ඉඩමක්, වෙල දිහාවට යන පුංචි අඩි පාරක් ඇරුනහම තනිකරම වදුල වැවිලා. කාලයක් ඔය කැලේ කසිප්පු පෙරුවා කියන එකත් තවත් ප්‍රසිද්ධ රහසක්. ඉඩමෙ අයිතිකාරයෝ ඊට ටිකක් උඩින් තියන පට්ට පරන ගෙදර තමයි ඉන්නෙ. කුනු ලෝබ යක්කු ටිකක් ) ඉතින් කොහොම හරි ඒ යන අතරවාරයේ එකෙකු බයිට් කර ෆන් ගත්තේ සුපුරුදු ලෙසින්මයි, මෙවර බයිට වූයේ නුවන් කාරයායි.
* නුවනා උඹ දන්නවද මේ ඉඩමේ ජේවීපී කාලේ කොල්ලො ටයර් දාලා පුච්චලා මරලා තියනවලු, උන් විලාප දීපු සද්දෙ තාම මේ කැලේ රෑට ඇහෙනවලු. මම නුවනාගේ බය අවුසන්නට කථාවක් ගොතන්නට වුනෙමි.
* බොරු කියන්නැතිව ඉඳහන්. මේකෙ මොන හොල්මන්ද? උඹ තමා හොල්මන. නුවනා ස්වයං අස්වැසීමක් ලබන්නට මෙන් කියන්නට විය.
* බොරු නෙවෙයි ඩෝ, මේකේ තමයි අල්ලපු ගමේ අබිලිං මාමව මරලා තියෙන්නෙත්. ඌට වෙඩි තියලා බාගෙට පන තියෙද්දි පුච්චලා. ඒ තරහට අබිලිං හොල්මන මේ කැලේ රෑට ඇවිදිනවලු. මා ආරම්භ කල කථාව ඉදිරියට ඇදගෙන යාමට තිමිර හා නදීක ස්වේච්චාවෙන්ම ඉදිරිපත් විය. එසේම තවත් බිය උපදවන හොල්මන් කථා කියමින් කුරුම්බා ගසක් පා මුලට අප සේන්දු වුනෙමු.
* මං බය අබිලිං මාමගෙ හොල්මනට. නුවන් කාරයා සැබැවින්ම යම් තාක් තැතිගැන්වී තිබුනත් ඒ බව අපෙන් සඟවා සිටින්නට උත්සහ කරන්නට විය.
කෙසේ හෝ දැන් නුවනා අතහැර දමා කුරුම්බයක් බීමට අපි සූදානම් වුනෙමු. අපේ ගස් කාපර් නදීකයා වෙයි. නදීකයා ගසට නැග ගෙඩි 6ක් 7ක් බිමට නොවැටෙන සේ මා අතට පාස් කලේ ශබ්ද නොනැගෙන සේය. ඒ අතර රොෂාන් හා තිමිර වෙල අයිනේ වූ බෝවිටියා පඳුර සුද්ධ කරන්නට විය. සුපුරුදු පරිදි නුවනා මා අසල හිඳිමින් ඔත්තු බලන්නට විය.
ඒ අන්න අතන කවුද බලන් ඉන්නවා, අඩෝ අන්න එනවා දුවපං...!! නුවන් කාරයා එකවරම කෑ ගසා දුවන්නට විය.
හත්තිලවුවයි...!! ගහ උඩ සිටි නදීකයා අැසි පිය ගහන සැනෙන් ගසෙන් බැස ගත්තේ එක් ක්ශනයක් තුලයි. තිගැස්සුනු අප සිවු දෙනාම කැඩූ කුරුම්බාද බිම දමා දුවන්නට වූයේ වත්තේ අයිතිකාරයා වත්තට බැස ඇතැයි සිතමිනි.
 කෙසේ හෝ අප වෙලෙන් එගොඩහ රබර් වත්තට වෙනකල් දිව ගියේ විදුලි වේගයෙනි. (හත්වලාමේ අයිතිකාරයා ගෙදර උන්ට කිවුවොත් අපි හොර කුරුම්බා කැඩුවා කියලා බඩු මුට්ටු ටිකත් අරන් පාරට බහින්න තමා වෙන්නෙ. ) නමුත් කිසිවෙකු අප පසු පස හඹා එන බවක් අපට නොදැනින.
*අඩෝ, උඹ කාවද බං දැක්කෙ. වත්තෙ අයිතිකාරයද? හති අරිමින් රබර්වත්තේ නැවතුනු අප නුවනාගෙන් විමසුවේ තැතිගැනුනු සිත් ඇතිවමය.
* දන්නෑ බං. හරියට දැක්කෙ නෑ. උඩහ කජු ලන්ද පිටිපස්සෙන් ආවෙ. නුවනයා හති අරිමින් කියන්නට විය.
* යකෝ තෝ හරියට දකින්නෙ නැතිවද කෑ ගැහුවෙ හු#$@. නුවනා සමඟ ඇති වූ කේන්තියට හොඳ කුනුහරුප සංග්‍රහයක් තෑගි වශයෙන් පිරිනමන්නට මා කෘතඥ පූර්වක වුනෙමි.
* අඩෝ නෑ බං මං දැක්කා කජු ගහ එහාපැත්තෙන් එකෙක් ඉන්නවා. සත්තයි. නුවනයා දිවුරා සපථ කරන්නට විය.
* මූ අබිලිං මාමව දැක්කද දන්නෑ. තිමිරයා නුවනාව බයිට් කරන්නට විය.
* නෑ යකෝ. සිරා කියන්නෙ. මං දැක්කා. නුවනා කියන්නට විය.
* දැක්කා තෝ ල*&. වරෙන් යන්න ආපහු. මම නැවත ආපසු හැරෙන්නට මූලිකත්වය ගත්තේ සිදුවූ දෙය බලා ගැනීමේ ආශාවත් බියත් මුසු හැඟීමෙනි.
අප හොර ගල් අහුලමින් හෙමීන් සීරුවට වෑවර ගහ ලඟට ගෑටුවේ හොරා පොලිස් සෙල්ලම කරන්නාක් පරිද්දෙන් විමසිල්ලෙනි. ගස මුල අප දමා ගිය වෑවර එහෙමමය, කිසිවෙකු සිටි හෝඩුවාවක් එහි නොවිනි.
* මූ අබිලිං මාම දැකලා තමා. මදක් අස්වැසුනු සිතින් යුතුව මා කුරුම්බා ගෙඩියක් අතට ගනිමින් කීවෙමි.
* නෑ බං අන්න අතන හිටියා බං. නුවනයා එකම දේ නැවත නැවතත් දිවුරමින් කියන්නට විය.
* හිටියා හිටියා. දැන් කුරුම්බෙ බීහන්. ලොඳ එපා නම් මට දියන්.
කොහොමින් හෝ අපි කැඩූ කුරුම්බාද සප්පායම් වී නැවත එන්නට විය. ඒ අතර තුර මේ සිදුවීම නිසා නුවනයා අපේ පට්ටම බයිට විය. අප එන මග කජු ගහ පසු කරද්දී පවා "මචන් දවල් දොලහ පහු වෙලා කිරි ගස් යටින් යන්න හොඳ නෑ. අබිලිං මාමා මැරුවෙ ඒ කජු ලන්දෙ" ආදී වශයෙන් නොයෙකුත් දේ කියමින් ඌව බයිට් කිරීම අපට ආතල් එකක් විය. එදින සවස් වී අප නිවෙස් වෙත ගියත් සතියක් පසු වන තුරුත් නුවනාගේ හෝ වෙනත් කිසිවෙකුගේ කිසිඳු වෙනසක් නොවීය.
පසුව ගෙවෙන සතියේ ගමේ ලමා සමිතියක් හා අන්යෝන්‍යාධාර සමිතියක් විසින් කරන්නා වූ අවුරුදු උත්සවයක් විය. ඉතින් ගමේ ඉන්නා (පොඩිම සෙට් එක ) වුනු අපි සෙට් එක මේ සඳහා බැහැලා වැඩ කලේ කිසිඳු යටි අරමුණකින් තොරවමය. කෙසේ හෝ අවුරුදු උත්සවය පවත්වන්නට තෝරාගෙන තිබුනේ වෙලටත්, පෙර කී කැලෑ ඉඩමටත් මායිම්වූ කමතක් ලෙසින් විටෙක භාවිතා කරන්නා වූ පිට්ටනියකි. මඩුව ගැසුයේ කැලෑ ඉඩමේ මායිමට වන්නටය. ඉතින් රාත්‍රිය පුරාවට මේ මඩුව මුරකිරීමට අප පස් දෙනා ඉදිරිපත් වූයේ කොළුකම, මුරන්ඩුකම, අත්දැකීම් වලට වූ අසාව ආදී නොයෙකුත් ආසාවන් නිසාය.
රාත්‍රිය එලඹිනි. අප පස් දෙනා හැරෙන්නට මඩුවේ මේ වන විට කිසිවෙකුත් නැත. ෆුල් බිත්තර කොත්තු තුනක් හා, බැදපු මාළු කූරීන් 5ක් අපේ රාත්‍රී ආහාරය විය. තවත් රැය පහන් කිරීමට නදීකයා නියම බඩුවක් ගෙනැවිත් තිබිනි. ඒ, ඔය කියන සමයේ ෆේමස් මෝදකයකි (සිද්ධාලේප වෙද මහත්තයාගේ වැඩක්) කාඩ් පැක් එකෙන් ඕමි බලන අතර තුර නුවනා හැරෙන්නට අප සිවු දෙනාම ඒ මෝදකය නිසා මෝල් වී සිටියෙමු. එකෙකු යමක් කියද්දී අනෙකාට හිනා වෙන්නට හේතුවක් අවැසි නොවිනි. රාත්‍රී 1 පමණ වන විට මෝල් හතරගාතෙන්ම අපිට කුරුම්බා බෑමට සිතට අාවේ කොළු කමට එහා ගිය දඩබ්බර කම නිසාදෝ යැයි මෙය ලියන මට අද වන විට සිතෙයි.
ඉතින් මහ රෑ කුරුම්බා බෑමට මා ගෙනා යෝජනාව තිදෙනෙකුම අනුමත කරද්දී නුවනයා පමණක් විරුද්ධ විය.
*මචන් මේ රෑ සත්තු ඇති ඔය කැලේ, පිස්සු කෙලින්න එපා. නුවා විරුද්ධ විය.
* ඇයි මචන් අබිලිං මාම. තිමිරයාගේ ඒ කුප්ප කථාවට මෝල් ගුලි කා සිටි අපට හිනාව නවත්වා ගැනීමට නොහැකි විය.
*උඹලා ඕන මගුලක් කරහල්ලා, මං එන්නෑ. නුවාට නහුතයටම මල පැන ඇති බවක් පෙනෙන්නට තිබිනි.
ඒ අවසරයෙන් අප සිවු දෙනා මහ රාත්‍රියේ කැලෑ පාළුවට සූදානම් වුනෙමු. මේ වන විට නහුතයටම මල පැන තිබූ නුවා තනිවම ස්ටේජ් එකට වී අප එන තුරු සිටින්නට විය. කෙසේ හෝ කුට්ටි කැපිය හැකි ඝන අඳුරේම ගහක් සුද්ද කරගෙන අප මඩුව වෙත එද්දී අපේ නම් අමතා නුවනයා කෑ ගසනු ඇසින. ක්ශනිකව අප මඩුව වෙත පා නැඟුවෙමු.
*මොකද මොකද මචන්, අප නුවනයාගෙන් ඇසුවෙමු.
* අතන කවුරු හරි ඉන්නවා මචන්, වහලෙටත් ගල් ගැහුවා. බයෙන් බිරන්තට්ටු වී සිටි නුවනයා වෙල් නියර දෙසට වෙවුලන අතේ ඇඟිල්ල දිගු කරමින් පෙන්නන්ට විය.
*කෝ මොකෙක්වත් නෑනෙ බං. උඹ බොරුවට බය වෙලා.
* නෑ නෑ. අර ඉන්නවා. අර ඉන්වා. නුවනයා දැඩි භීතියකින් වෙවුලමින් බෙරිහන්දෙන්නට විය. නමුත් අපට පේන මානයක බල්ලෙකුවත් සිටියේ නැත.
තත්වය තරමක දරුණු බව මට ඉවෙන් මෙන් වැටහිනි.
* මචන් අපි ගෙදර යමු. නුවනාද කැටුව අපි සිවු දෙනාම නුවනා ගෙදර ගෙන යන්නට යන්නට තීරණය කලෙමු. ඒ යන අතරතුර නුවනයා යාන්තමින් කූල් ඩවුන් වනු දැකීම අප සිවු දෙනාගේම මහත් අස්වැසිල්ලකට හේතු විය.
නුවන්ව ගෙදරට ඇරලවූ අප සිදුවූ කිසිවක් ඔහුගේ මා පියන්ට නොකියා ඔහුගේ සොයුරු රොශාන්ටද නිවසේ නවතින ලෙස දන්වා නැවත අවුරුදු උත්සවය කරන ස්ටේජ් එකට යන්නට වුනෙමු. එහෙත් එහි ගිය අපට සිත් වල ඇතිව තිබුනේ මහත් වූ කැලඹීමකි. රාත්‍රිය පහන් කර නැවත අවුරුදු උත්සවය වෙනුවෙන් අප එහි යද්දී නුවනයා හා රොශාන් ද කැටුව යන්නට ඔවුන්ගේ නිවසට ගියත් නුවනයා දැඩි ලෙසින් උන රෝගයකට ගොදුරු වී සිටින බව දැන ගන්නට ලැබිනි. නුවනයා නිදා සිටි බැවින් ඔහුට විවේක ගැන්මට සලස්වා රොශාන් ඇතුලු අප සිවු දෙනා අවුරුදු උත්සවයට ගියෙමු. ඒ අතර තුර රොෂාන් අප හා පැවසුවේ රාත්‍රිය පුරාවට අයියා තනිව කියවමින් සිටි බවයි.
අවුරුදු උත්සවය අවසානයේ අප ගෙදර යද්දී නුවනයා ගෙදර යකා නටා ඇත. ඒ පණිවිඩය නිසා ඔහුගේ පියාද නිවසට පැමිණ සිටියේය. නුවනයා විටෙක සිහියෙන් සිටින බවක් පෙණින. තවත් විටෙක අර කවුද අර කවුද යැයි කෑගසමින් අවසිහියෙන් දඟලන්නට විය. මෙය ප්‍රේරේත දෝශයක් බව පූර්ව නිගමණයකට ඔහුගේ දෙමවුපියන් හා අසල්වාසීන් සියළු දෙනා තීරණය කර තිබිනි. ඉතින් ගමේ යකදුරු මහතෙකුගේ පිහිට පැතීමට ඔවුන් කටයුතු කරන්නට විය.
යකදුරු මහතා නිවසට පැමිණ නූලක් මතුරා අතෙහි බැඳ තෙල් ටිකක් මතුරා හිසෙහිද ගා මේ දරුවා ප්‍රේත බැල්මකට හසුව ඇති බව කියන්නට විය. එය ඉවත්කිරීමට නම් ශාන්ති කර්මයක් කල යුතු බවත් එතෙක් ඔහුව තනි නොකරන ලෙසත්, බුදුන් වැඳිම හෝ ගථා කීම නොකරන ලෙසත් පැවසීය. එසේ පවසා තෙල් කුප්පියක්ද මා මිතුරාගේ පියා අතට දී යකදුරු මහතා නිවසින් බැහැර විය.
නමුත් යලිත් පැයක් ගතවන්නට මත්තෙන් මා මිත්‍රයාගේ තත්වය තවත් නරක අතටම හැරින. මෙවර ඔහු මහා අමුතු භයංකාර හඬකින් ( බෙල්ල මිරකා ගොරවන්නාක් මෙන් ) ශබ්ද නඟන්නට විය. අත් පා දර දඞු කරගෙන බිම වැතිරෙන්නට විය. අප ඔහුව ඔසවා ඇඳට ගෙන යන්නට උත්සහ කලත් ඔහු එසවීමට අපහසු තරම් බරකින් යුතු විය. කෙසේ හෝ වෑයම් කර ඔහුව ඇඳට දමා ගත් අප ඔහු වෙනුවෙන් මාරුවෙන් මාරුවට ආවතේව කම් කරන්නට වීමු. (හිතපල්ලකො යකෙක් වැහිච්ච එකෙක්ට තනි රකිද්දි කොහොමද එන ආතල් එක කියලා)
පසුව දිනයක් නියම කරගෙන ශාන්තිකර්මය පැවැත්වීමට සියළු කටයුතු ලහි ලහියේ සූදානම් විය. එදින හවස් යාමයේ උඩහ හංදියේ බුදු මැදුර ලඟ පීකර් වලින් පිරිත් දමා තිබිනි. යාන්තමින් මෙන් අප මිතුරාගේ නිවසටද මේ ශබ්දය ඇසෙන්නට විය. තත්වය ක්ශනයක් තුල වෙනස් විය. පෙරටත් වඩා භයංකාර හඬකින් ඔහු ගොරවන්නට විය. එසේම දඟලන්නට විය. එසේ දඟලන ඔහුව පාලනය කරගැනීමට තරුණයන් 4කු වූ අප සිවුදෙනාටවත් නොහැකි විය. ඔහු නිවස තුල යකා නටන්නට විය. යකදුරු තුමාගේ තෙල් වලින්ද ඒ අවස්ථාවේ පලක් වූයේ නැත. එ වෙලාවෙහිම නිවසට පැමින සිටි අපේ තවත් මිත්‍රයෙක් බුදුමැදුර අසලට ගොස් කාරණය පවසා එය නවත්වන්නට කටයුතු සැලැස්වූ බැවින් නුවනයා යම් තාක් දුරට යථා සිහියට පැමිණුනි. නමුත් ඔහු,
*උඹලා මාව එලවන්න...!! මාව එලවන්න...!! හිතුවා මදි. මං මේකව අරං මිසක යන්නෙ නෑ කියමින් සිට ටිකකින් ඔහු සංසුන් විය.
යකා එලවන වැඩේ දැන් සූදානම්ය, කුකල් නාම්බෙකුද ඉදිරියේ තබාගෙන යකදුරු තුමා මතුරන්නට විය. කට්ටකුමන්ජල් සුවඳ හා විටෙක දියගොඩ මස් පුච්චන පුළුටු ගඳින් අපේ නාස් දැඩිව පීඩාවට පත්ව තිබුනි. පන්දම් රැගෙන යකදුරුතුමා දුම්මල ගහන විට නුවනයා හූ තියන්නට වෙයි. මහා බර හඩකින් ගොරවන්නට වෙයි. මල් තටුවට මෙහායින් ඇති කුකුල් නාම්බා දෙසට පනින්නට ඔහු උත්සහ කලත් ඔහුට මල් බුලත් තටුව ඇති සීමාවට පැමිණිය නොහැකි බව අපට තේරුම් ගත හැකි විය. මැතිරීම අතර වාරයේ යකදුරු තමා මා මිතුරාගෙන් උඹ කවුද කියා අසන්නට විය.
* උඹ කවුද කියපිය.
නුවනයා ඔළුව කරකවනවා මිස කිසිඳු ප්‍රථිචාරයක් නැත.
* පුච්චන්න කලින් කියාපිය උඹ කවුද? දුම්මල මිටක් හා පන්දම අතැතිව ගුරුන්නාන්සේ තදින් අසන්නට විය.
* මං සරණපාල. නුවනා ගොරහැඬි හඬකින් පිලිතුරු දෙන්නට විය.
*තෝ මොන සරණපාලද? කියපිය. යකදුරු නැවත ඇසීය.
*එගොඩහ වෙල අද්දර කජු ලන්දෙ සරණපාල. මදක් හිස කරකවමින් හිද නුවනයා නැවත පෙර ලෙසම ගොරහැඬි හඬින් පිලිතුරු දුනි. (හුටා..!! මූ කියන්නෙ අපේ කුරුම්බා පොට් එක ගැන. අපි උපදින්නටත් අවුරුදු ගානකට පෙර ඔය කියන කුරම්බා වත්තේ කජු ගහේ සරණපාල කියලා මනුස්සයෙක් එල්ලී මැරුනු බව පසුව අපිට දැනගන්නට ලැබුනා. ඔහු දැනට වත්ත හිමිකරුගේ ඥාතියෙක්ලු.)
*මොන එහෙකටද තෝ මේ දරුවගෙ අඟට රිංගුවෙ. යකදුරු මහතා නැවත විමසීය.
*මූව මං අරං යනවා. මං අරං යනවා. නුවනයා තීව්ර හඬකින් පවසමින් නැවත දඟලන්නට විය.
*එහෙම කොහෙද තෝ මේ දරුවා අරං යන්නෙ. හිටපිය. කියා යකදුරු තුමා නැවත මතුරන්නට විය.
* තෝ මේ කුකුල් බිල්ල අරන් යනවද? යකදුරු මහතා නැවත අසන්නට විය.
* මං මේකව අරං යනවා. හූ....!! නුවනයා හූතියමින් බෙරහන් දෙයි. බය බිරාන්තව අප පසෙකට වී සිදුවීම බලා හිඳී
* එවිට මතුරමින් යකදුරු ගැසූ දුම්මල පහරින් මුළු පලාතම ආලෝක විය.
*යන්නම් යන්නම්. මට මිනිස් බිල්ලක් දීපියවු. නුවනයා ගොරවන්නට විය.
*තොට දෙන්න මිනිස් බිලි නෑ. කුකුල් නාම්බා අරන් පල. කියමින් ගුරුන්නාන්සේ තරවටු කරන්නට විය.
* යන්නම්. යන්නම්...!! නුවනයා කුකුලා දෙසට නැවත නැවතත් පනින්නට වෑයම් කලත් ඔහුට මල් අසුන පැන කුකුලා ඇල්ලීමට නොහැකි විය.
* ගුරුන්නාන්සේ කටුවක් ගෙන කුකුලාගේ කරමලය විද ලේ ටිකක් ගෙන ගොටුවක් සාදා ඒ තුලට දමා මල් අසුනේ තබන්නට විය. නුවනයා සිහිසුන්ව වැටෙන්නට විය. පසුව මතුරමින් යකදුරු තුමන් මේ පෙරේත තට්ටුව නිවසෙන් බැහැරව ගෙන යන ලෙසත් තවත් සිවු දෙනෙකුට වත්තේ සිවුකොන ආරක්ශාවන් වලලන ලෙසත් උපදෙස් දුන් අතර අප 8දෙනෙක් පමණ පෙරේත තටුව රැගෙන කුනුහරුප කියමින් පන්දම වනමින් පෙරේත තටුව බෝක්කුවක් අසලට ගෙන යන්නට කටයුතු කරන ලදී. එය දමා නැවත පැමිනෙන විට පාරේ අයිනේ සිට තරමක් උස මහත මිනිහෙකු පාර මාරු වනු අපට දිස් විය. නමුත් අප ඒ අසලට පැමිණුනත් එහෙම මිනිසෙකු එහි නොවීය. මොකෙකු වුවත් ඒ පාර පැන්න මිනිහාට යාමට කිසිඳු පාරක් ඒ අසල නොවීය. කොහොමින් හෝ මේ කටයුත්ත කර අප නිවසට පැමිනෙන විට කහ වතුර හා දෙහි ගා අපව පිරිසිදු කර නිවස මායිමට ගන්නා ලදි.
පසුදින දෙහි කැපීමක් සිදු කල අතර ඉන්පසු යකදුරුතුමා යන්නට පිටත් විය. නමුත් නුවනාගේ හැසිරීම පෙර පරිදි නොවීය. තනිව කියවමින් විටෙක සිනාසෙමින් ඔහු නැවත නැවතත් දොඩවන්නට විය. (හත්වලාමේ යකා ගිහන් නැද්ද? අපට ඇති වූ ලොකුම ගැටළුව එයයි.)
කරන්නට දෙයක් නොමැති තැන ඔහුගේ දෙමවුපියන් පංසලේ කළු හාමුදුරුවන් මුණගැසෙන්නට තීරණය කලේය. උන්වහන්සේ යන්ත්‍ර මන්ත්‍ර ගැන හසල දැනුමක් ඇති යළුිවරයානන් නමකි. උන්වහන්සේ මා මිත්‍රයාගේ හිසෙහි ගාන්නට මැතිරූ තෙල් කුප්පියක් දුන් අතර එය හිසෙහි ගා පංසලට කැඳවාගෙන එන්න යැයි පවසන ලදී. කී ලෙසින්ම අප ඔහුව පංසල වෙත කැඳවාගෙන ගියෙමු. පසුව බුදුන් වැඳ වතාවත් කර මා මිතුරාගේ ගෙලෙහි යන්තරයක් බැඳ සෙත් පැතා මලවුන්ට පිං දී කටයුත්ත අවසන් කරන ලදී. බුදුගුන බලයෙන් මා මිතුරා සුව ලැබීය. පසුව දැනගන්නට ලැබුනේ මෙය, අර කපුවා උගේ වැඩ පෙන්වීමට නුවනයාට බංධනයක් සිදු කර නිවැරදිව එය කපා ගත නොහැකි වීමක් බවයි. කීමට ඇති වැදගතම දෙය නම් ඕන යකෙකු බුදු ගුනට යට බවයි...

Source: Link


---සරණපාල--- ---සරණපාල--- Reviewed by InvestCrypto on June 06, 2017 Rating: 5

No comments: