මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

---රෝගී මව පණ මෙන් රැක ගත් පුංචිරාළට විස්මිත තෑග්ගක්---


පුංචිරාළ යනු දහනව වන සියවසේ අග භාගයේ වන්නි හත්පත්තුවේ ගමක විසූ අන්තිම අවිහිංසක තරුණයෙකි. කුඩා කාලයේ දීම පියා මිය යාම නිසා අසරණ වූ මවටත්,සොයුරු සොයුරියන්ටත් පිහිටට පැමිණි පුංචිරාළ හේන් ගොවිතැනින් සහ ප‍්‍රදේශයේ ප‍්‍රභූ නිවෙස්වල බැල මෙහෙවර කිරීමෙන් තම පවුල නඩත්තු කළේ ය. කෙසේ හෝ නිසි කල වයස් පැමිණි පසු සොයුරු සොයුරියන් විවාහ වුව ද විවාහයක් පිළිබඳව සිතීමට පුංචිරාළට ඉඩක් නොතිබිණි. ඒ එම කාලය වන විට ඔහුගේ මව අංශභාග රෝගයෙන් පෙළුණු බැවිනි.
කෙසේ හෝ පසු කාලය වන විට අංශභාග රෝගය නිසා ඇ‍ඳෙන් නැගිට ගැනීමට වත් නොහැකි තත්ත්වයට පත් මව රැක බලා ගැනීමට යාම නිසා පුංචිරාළගේ හේන් වගාව වරින් වර වන සතුන්ට ගොදුරු වී විනාශ විය. එය ඔවුන්ගේ ජීවන පැවැත්මට මරු පහරක් විණි. මේ තත්ත්වය යටතේ පවා නොපසුබට වූ පුංචිරාළ ඉන්පසු ප‍්‍රදේශයේ ධනවතුන්ගේ නිවෙස්වල වැඩපළට යද්දී තම කෙසඟ රෝගී මව ඔලොගුවක් වැනි උරයක බහා පිටේ එල්ලාගෙන යාමට පුරුදු විය. මෙය බොහෝ දෙනකුගේ විස්මයටත්,කුතුහලයටත් හේතු වූ මුත් ඒ හැරුණු කොට තම මව සම්බන්ධයෙන් ගත හැකි අන් පියවරක් ද ඔහුට නොපෙනිණ. ඊට හේතුව ඒ වන විට උපන් ගමින් දුර බැහැර ප‍්‍රදේශවල වෙසෙන සොයුරු සොයුරියන් සිය මව කෙරෙහි කිසිදු උනන්දුවක් නොදැක්වීම ය.
කාලය කෙමෙන් ගත විණි. පුංචිරාළ විසින් ලබා දුන් අනේක විධ ප‍්‍රතිකාර අබිබවා මවගේ රෝගය වඩාත් අසාධ්‍ය විය. එසේ දුශ්සාධ්‍ය වූ එක්තරා රාත‍්‍රියක මව පුංචිරාළ තමන් ළඟට කැඳවීය.
‘‘පුතේ, උඹ මං වෙනුවෙන් මට ඇප උපස්ථාන කරන්න උඹේ ජීවිතේ හොඳම කාලේ නාස්ති කරගත්තා. ඒත්, දැන් උඹ දුක් විඳපු කාලේ ඉවරයි. උඹ මට කරපු මේ ඇප උපස්ථානවලට උඹට මහා ධන නිධානයක් පහළ වෙන එක පහළ වෙනවාමයි.’’
මේ වදන් පෙළ අසීරුවෙන් කියාගත් එම මවගේ ගෙල එසැනින් කඩා වැටී මුව ද පැත්තකට හැරුණි. ඉන්පසු තම මව මෙලොව හැරගිය බව වටහා ගත් පුංචිරාළ ද හඬාවැළපී තම ශක්ති පමණින් ඇගේ අවසන් කටයුතු සිදුකොට නිමවාලී ය.
එහෙත්, ඒ වන විට මව වෙනුවෙන් කැපවීම නිසා හරි හැටි ජීවත් වීමටවත් මඟක් නොතිබුණු පුංචිරාළට තම මව උදෙසා හත් දවසේ දානය දීම පවා හුදෙක් සිහිනයක් පමණක් විය. එහෙත් එසේ කියා තම මවට පින් නොපමුණුවා හිඳින්නට ද ඔහුට නොපුළුවන. අවසානයේ පුංචිරාළ එක් තීරණයකට එළැඹිණි. එනම් තමන්ට ඇති හැකි ප‍්‍රමාණයෙන් දන් වේලක් සකසා එය ප‍්‍රදේශයේ විහාරස්ථානයට පූජා කිරීම ය. ඒ අනුව ප‍්‍රදේශයෙන් උපයා සපයාගත හැකි ව්‍යංජන පිණිස වන බෝග වර්ග කිහිපයක් සොයා ගත් පුංචිරාළ දානයට අවශ්‍ය වෙනත් කළමනා සෙවීමට කඩමණ්ඩිය බලා පිටත් විය. එහි දී දානය පිසීමට අවශ්‍ය දුරු මිරිස් තුන පහ මිලට ගත් ඔහු වියළි හාල්මැස්සන් යම් ප‍්‍රමාණයක් මිලට ගත්තේ එම දාන වේල අංග සම්පූර්ණ වනු පිණිසය.
දහවල කෙමෙන් ගෙවී යමින් සන්ධ්‍යා කාලය එළඹෙමින් තිබිණ. කඩමණ්ඩියට ගිය පුංචිරාළ නැවත හනි හනික ගම් පියස බලා පා නගන්නට වූයේ සිව් දෙසින් හාත්පස කළු කරමින් මහ වර්ෂාවකට අර අදින්නට වූ බැවිනි. එසේම තවත් මඳවේලාවකින් මහ වැසි ඇද හැලෙන්නට වූයේ ඔහුගේ ගමන මුළුමනින් නතර කොට දමමිනි. කෙසේ හෝ වන පියස මැද දී මෙම වැස්සෙන් බේරීමට මඟක් සෙවූ පුංචිරාළට අද්දර තිබූ ගල් ගෙයක් පෙනිණ. ඔහු එම ගල්ලෙන තුළට සේන්දු විය. එහෙත්,වැස්ස නතර කරන පාටක් නැත. විදුලි කොටමින්,හෙණ හඬතලමින් එක දිගට මහ වැසි ඇද හැලෙයි. දැන් පුංචි රාළට ගල් ලෙනින් පිටතට එනු තබා සිතන්නටවත් නොහැක. ඒ මදිවාට කෙමෙන් රාත‍්‍රිය ද බෝ වෙමින් තිබේ.
පුංචි රාළට පසුදා දිය යුතු දානය සිහිපත් විය. එය තමන් විසින්ම උයා පිහා විහාරස්ථානයට පූජා කළ යුතු ය. ඒ සඳහා යම් කාලයක් ද ගත වන බව ඔහුට වැටහිණ. ඒ සමඟම තමන් අත වූ හාල්මැස්සන් මුල පුංචිරාළගේ නෙත ගැටිණ. දානය පිසීම පිණිස ඒවායේ ඔළු කැඞීමට ද යම් කාලයක් ගතවන බව ඒ සමඟම ඔහුගේ සිහියට නැඟිණි. එසැණින් ඔහුට කදිම අදහසක් පහළ විය. එනම් මෙම ධාරානිපාත වර්ෂාවෙන් මුවා වීම පිණිස ගල් ලෙන තුළ හිඳින කාලය තුළ මෙම හාල්මැස්සන්ගේ ඔළු කඩා දැමීමට ය. ඒ අනුව පුංචිරාළ වැස්සේ මේඝ ගර්ජනා හඬට සවන් දෙමින් තමන් අත වූ හාල්මැස්සන් මුල ලිහා උන් එකි’නෙකාගේ ඔළු කඩමින් අද්දර වූ ගල්තලය මතට වීසි කරන්නට විය.
ඒ අතරේ හිටිහැටියේ කන් බිහිරි කරවන මහා හෙණ හඬක් මතුවිණි. කුමකින් කුමක් සිදුවූයේදැයි සිතාගත නොහැකි පුංචි රාළ අන්දමන්ද විය. ඒ සමඟම වටපිටට දෙනෙත් යොමු කළ ඔහුට තමන් ඉදිරියේ ඇති මහා ආලෝක ධාරාවක් දැකිය හැකි විණි. එකෙනෙහිම තමන් සමීපයේ ඇති ගල්තලය පුපුරා ගොස් ඇති බවත්, එම ආලෝකය නිකුත් වනුයේ එතුළින් බවත් පුංචිරාළට වැටහුණි. ඉන් විස්මයෙන් ඇළලී ගිය හෙතෙම එම දෙබෑ වූ ගල්තලය තුළින් ඇතුළට හිස පොවා බැලී ය. එවිට ඔහුට දක්නට ලැබුණේ එම කුහරය රන්, රිදී, මුතු මැණික් ආදියෙන් පිරී ඉතිරී ඇති බවකි. එමෙන්ම ඒවා මත ඇති පත්ඉරුවක් වැනි දෙයක් ද පුංචිරාළට දක්නට ලැබුණු අතර එහි මෙබඳු අදහසක් ඇති වැකියක් තිබිණි.
‘‘අසවල් රජතුමන් විසින් තැන්පත් කොට ඇති අසවල් ප‍්‍රමාණයෙන් යුතු ධනස්කන්ධයක් මෙහි නිදන් කොට ඇත. සිය දෙනකුගේ ගෙල සිඳ උන්ගේ හිස් මේ ගල් තලය මත හෙළා බහිරව දේවතාවුන් වහන්සේ සතුටු කරන්නකුට හැර මේ ධනයට අන් කිසිවකුටත් හිමිකම් කීමට නොපුළුවන.’’
ඒ අනුව තමන් හාල්මැස්සන් සිය දෙනකුගේ ඔළු කඩා එම ගල් තලය මත හෙළීමෙන් නොදැනුවත්වම හෝ එම බහිරව පූජාව ද සිදුකොට ඇති බව පුංචිරාළට වැටහිණ. පසුව මවගේ අවසන් පැතුම සනාථ කරමින් එම ධනස්කන්ධයේ තනි හිමිකරු බවට පත් පුංචිරාළ හත්කෝරළයේ පදිංචියට පැමිණ එහි මහා ධනවතකු බවට පත් විය. ඔහුගේ පරපුර අද ද හත්කෝරලයේ කෝටිපතියන් බවත් ඔවුන්ගෙන් සමහරෙක් දේශපාලනයට ද පිවිස ඇති බවත් වන්නි හත්පත්තුවේ ගැමියෝ කියති.

ලක්බිම

---රෝගී මව පණ මෙන් රැක ගත් පුංචිරාළට විස්මිත තෑග්ගක්--- ---රෝගී මව පණ මෙන් රැක ගත් පුංචිරාළට විස්මිත තෑග්ගක්--- Reviewed by InvestCrypto on June 15, 2017 Rating: 5

No comments: