මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

---සුනාමියට සිව් මසකට පෙර මුහුද ගොඩගලන බව කී අමුත්තා---


කුමණ ජාතික වනෝද්‍යානය මැද පිහිටි මහකැබිලිත්ත සියඹලා දේවාලය පිහිටි ප‍්‍රදේශය දැන් වෙනදා තරම් සාමකාමී වටාපිටාවක් ඇති පරිසරයක් නොවේ. එහි ඇත්තේ කලබලකාරී වාතාවාරණයකි. ඇතැම් අවස්ථාවල දෙදහසකට ආසන්න පිරිසක් කුඹුක්කන්ඔය ඉවුරු දෙකේත් ඔයේත් සිටිති. ඒ අය අතරින් වැඩි දෙනෙක් විනෝදය පිණිස එහි ආ ගෑණු පිරිමි බව පෙනෙන්නට ඇත්තේ ඔවුන් හැසිරෙන ආකාරය නිරීක්‍ෂණය කළ විටය.
දැන් එහි ඇති සියඹලා දේවාලය පිහිටි බිමේ කැලෑවේ සැගව සිටින වනඅලි කිහිප දෙනා ඒ අවටම සැරි සරන්නට පුරුදුව සිටිති. සියඹලා දේවාලයට ගෙනියන පුජාවට්ටිවල පළතුරු සුවද නිසාම මේ වනඅලි දැන් සියඹලා දේවාලය හැර නොයති.
මේ සියඹලා දේවාලයේ එසේත් නැත්නම් සියඹලා වෘක්ෂයේ කතරගම දෙවියන් භාවනානයෝගිව වැඩ වෙසෙතැයි යන විශ්වාසය නිසා වසර ගණනකට පෙර එහි ආ අතලොස්සක්වු බැතිමතුන් දැන් එහි නොඑති. ඔවුන් බොහෝ දෙනෙක් පවසන්නේ මේ නිස්කලංක, පරිසරය දැන් දුෂණයවී ඇති බවයි. කලබලකාරී නිසා එහි පැමිණ තම අභිමතාර්ථයන් කිසිසේත් ඉටුකරගත නොහැකි නිසා පැමිණීමෙන් ඵලක් නොවන බවය.
කතරගම දේව අඩවියේ පිලිවෙතින් හැසිරෙන කිසිම කෙනෙකුට සතා සිවුපාවුන්ගෙන් හෝ වෙනත් අතුරු ආන්තරා නොවෙතැයි යන විශ්වාසය ඇතැමුන් බැහැරකර ඇතත් වනාන්තරය ගැන දන්නා හැම දෙනෙක්ම එය විශ්්වාස කරති. වනාන්තරයේදි පාර වැරදි අතරමංවු විටකදි කතරගම දෙවියන් සිහිකර කොළඅත්තක් එල්ලා තමන්ට පාරතොට පෙන්වන ලෙස හිතින් ඉල්ලා සිටීම සිරිතකි.
එවන් බොහෝ අවස්ථාවල කවුරුන් හෝ හමුවී පාර පෙන්වා කරදරයකින් තොරව පැමිණීමට හැකිවු අය බොහෝය. මේ නිසා දේව අඩවියේ හාස්කම් නැතැයි කටමැත දොඩමින් මස්මාලූ අනුභව කරමින්, මත්වතුර බොමින් ගංජා සුරුට්ටු උරමින් යනඑන බොහෝ දෙනෙකුගේ ජිවිත ඇතැම් අවස්ථාවලදි බේරෙන්නේ පෙර පිනකිනි.
යුද සමයේ කුමණ වනෝද්‍යානයේ දෙපා කොටි හෙවත් ත‍්‍රස්තවාදීන් සැරිසැරූ නිසා මහකැබිලිත්ත වසරේ වැඩි දිනක් පැවතුනේ පාලූවටය. නමුත් 2002 කොටි ත‍්‍රස්තයන් හා සටන්විරාම ඇතිකරගෙන සාම ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු යළිත් කුමණ පානම හරහා අතරින් පතර මහකැබිලිත්තට යන්නට එන්නට කිහිප දෙනා පුරුදුවිය. තවත් පිරිස් කොටියාගල හරහා එන්නට පුරුදු විය.
මේ සටන් විරාමයෙන් පසු ගතවූ මුල්ම දවස්වල මඩමෙතොට දේවාලයට පැමිණ ගල්අමුණ කදවුරු බිමේ රැය පහන්කර යන පිරිස් අතරින් මහ කැබිලිත්තට ගියේ නම් අතලොස්සකි. වනජිවී දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයෙක් ලෙස සේවය කර විශ‍්‍රාම ගත් ෂර්ලි පෙරේරා මහතා වනාන්තරයට සතා සිවුපාවාට බෙහෙවින්ම ඇලූම් කළේය. නියං කාලවලදි මිතුරන් සමග කුමණට එන ඔහු කුඩා වැව් පිළිසකර කරමින් වනසතුන්ගේ පිපාසය නිවන්නට බොහෝ වෙහෙස මහන්සි ගත්තේය.
දෙදහස් හතර වසරේ අගොස්තු මාසයේ ෂර්ලි පෙරේරා මහතා පානම හරහා කුමණට පැමිණියේ ඉඩෝර සමයේ වන සතුන් දැක බලා ගන්නටය. පාද යාත‍්‍රාවේ එන උතුරු නැගෙනහිර ජනතාව කුමණ ජාතික වනෝද්‍යාන හරහා කතරගමට පැමිණ ද අවසන්ය. මේ කාලයේ කුමණ උද්‍යාන පාලකවරයාව සිටියේ එම්.ආර්. මොහොමඞ් මහතාය. නියෝජ්‍ය උද්‍යානභාරකරු වුයේ ඞී.පී. සියාසිංහ මහතාය. සහකාර වනසත්ව අඩවිආරක්‍ෂක බී. ගුණසිංහ, වනසත්ව නියාමක කේ. සේනාරත්න වැනි පිරිසක් කුමණ සේවය කළේය.
ෂර්ලි පෙරේරා මහතා සමග පරිසරවේදීන් පිරිසක් පැමිණ ගල්අමුණ කදවුරු බිමට ගියේ රැයක් එහි ගත කරන්නටය. මඩමෙතොට දේවාලයට පඩුරු දමා කපුරු පත්තුකර ඇදකුඹුකේද පසුකර ටික දුරක් ගියවිට ගල්අමුණ කදවුරු බිම හමුවෙයි. ඉඩෝරය නිසා වනාන්තරය ඇතුළේ ගස්යට තිබු කොළ අතුපවා වේළී ගොසිනි. කුඹුක්කන්ඔය මුහුදට වැටෙන්නට ඇත්තේ කිලෝමීටර් කිහිපයක් වුවත් කුඹුක්කන් ඔය කේඩෑරිවි ගොසිනි. හැන්දෑ කළුවර ගලා හැලෙද්දී වන සත්තු දිය බොන්නට කුඹුක්කන් ඔයට ඇදෙති.
වනසතුන්ට දිය බොන්නට බාධාවක් නොවන පරිදි කූඩාරම් ඉදි කරන්නට ෂර්ලි පෙරේරා මහතා උපදෙස් දුන්නේ වනසතුන්ට ඇති ආදරය නිසාය. වියළි කාලගුණ සහිත ඒ රාත‍්‍රිය ගංඉවුරේ ගත කළේ බෙහෙවින් සතුටිනි. ගංඉවුරේ වු හෝහපුටුවන්ගෙන් බේරෙන්නට ගිනිමැලය ප‍්‍රමාණවත් නොවීය. එහෙත් කූඩාරම තුළ හෝහපුටුවන් නැත. නමුත් දාහය වැඩිය. රාත‍්‍රියේ නිහඩබව බින්දේ නිශාචර සතුන්ය.
කුමුක්කන් ඔයේ කූඩාරම තුළ ගෙවු රැය පහන්විය. ෂර්ලි පෙරේරා මහතා පාන්දර හයට පමණ කුඹුකන්ඔයට බහින්නට ආවේ මුහුණ සෝදන්නටය. ඒ එක්කම කුඹුක්කන් ඔයේ ඉහළ දෙස සිටි අමුත්තෙකු එනු පෙනිනි. ඇටමාලයක් බෙල්ලේ දාගෙන දුඹුරු පැහැ රෙදිකඩකින් යටිකය වැසී ඇතත් උඩුකය නිරුවත්ය.
මේ අමුත්තා එන්නේ මහකැබිලිත්ත පැත්තේ සිටය. මොහු කවුදැයි කාටත් ගැටලූවක් විය. අමුත්තා තමන් කවුදැයි හදුන්වා දුන්නේ ගාල්ල කුරුදුගහ හැතැක්ම ප‍්‍රදේශයේ බෞද්ධ මධ්‍යස්ථානයක සිට භාවනා කරන තමන් කුමණ මහ වනාන්තරයේ සිට භාවනා කරන බවයි. ඔහු තමන්ට තේ විදුරුවක් දෙන්නැයි ඉල්ලා සිටියේය.
‘‘මේ මහකැලේ තනියම භාවනා කරනවනම් වෙන්න බෑ. තව කල්ලියක් එක්ක කැලේ නිදන් හාරනවාද දන්නේ නෑ. අපි දැකලා ඔත්තු බලන්න ආවාද දන්නේ නෑ. කොයිකටත් පරිස්සමින් බලාගෙන ඉදිමු.’’ කෙනෙක් කීවේය.
‘‘කුමණ කැලෑවේ පෞරාණික වැව් අමුණු තියනවා. මණ්ඩාගල කණබිසෝවැවේ බිසෝ කොටුව පහුගිය වකවානුවේ කඩන්නට ගත් උත්සාහයක් ගැනද වාර්තා වුණා. වනජීවී නිලධාරින්ගේ ඇසවසා කොටියාගල පැත්තෙන් මහකැබිලිත්තට එන මුවාවෙන් පැමිණ කුඹුකන්ඔය දිගේ ඇදකුමුකේට පැමිණ එතැනින් යාල කලාප අංක දෙකට පිවිසෙන ජාවාරම්කරුවන්ගේ ඔත්තු කාරයෙක්ද කොහේද.?’’ තවත් කෙනෙක් කීවේය.
මහකැබිලිත්තේ සිට පැමිණි අමුත්තා තමන් ගාල්ලට යන බව කීවේය. හිරු නැගි හෝරා තුනක් පමණ ගතවනවිට ගල්අමුණේ ගතකළ පිරිස ආපසු ඕකන්‍ද වනජිවි මධ්‍යස්ථානය වෙත එන්නට සුදානම් වූහ.
උදෑසන තමන් හමුවට ආ අමුත්තා තවමත් පිරිස සමගය. වැඩි කතා බහක් නැති මේ අමුත්තා හොරෙක් හෝ ජාවාරම්කාරයෙක් විය නොහැකි බව ටික වේලාවක් යනවිට එහි සිටි වැඩි දෙනෙකුට අවබෝධවිය. නමුත් භාවනා කරන්නට ගාල්ලේ සිට කුමණ කැලැවට පැමිණිය යුතුමද? යන්න ඔවුන්ට තිබු ප‍්‍රධානම ප‍්‍රශ්නය එය විය.
නොකිළිටි, පිරිසිදු, මහ කැබිලිත්ත හාස්කම් වලින් අනුන නිසා වනාන්තරය මැද වුවත් වනසතෙකුගේ හිංසාවක් නැතිබව හොදින් දන්නා අය සිත නිවාගන්නට මෙහි එති. කුමණ මහකැලෑවේ කිලෝමීටර් සිය ගණනකට ආසන්න දුරක් මිනිස් වාසයෙන් තොරව පසුකරන්නේ යාල සහ කුමණ දෙසින් පැමිණියහොත් පමණය. කොටියාගල දෙසින් එය කිලෝමීටර් හතළිහකට ආසන්නය.
ගාල්ලේ සිට ආ බව කියන මේ අමුත්තා තනිවම මහ කැලෑවේ මහකැබිලිත්තේ සිට ගල් අමුණට පැමිණ ඇත්තේද කිලෝමීටර් තිස් පහකට වඩා දුරක් ගෙවාගෙන පා ගමනිනි. මෙවැනි ආකාරයට මහකැබිලිත්තට කලකට ඉහතදි ගිය බව නොරහසකි. කුමණ ගම්මානයේ වැසියෝ සිය ගොවිතැන් පටන් ගන්නට පෙරත් අස්වනු නෙළා අවසන්වු පසු එහි අග‍්‍ර කොටසත් රැගෙන මහකැබැලිත්තට එළෙස ගියේ ඒ වගාවන් වන සතුන්ගේ රැක දුන් කතරගම දෙවියන්ට පූජා කරන්නටය. ඒවැනි ගමන්ද ද එදා ගියේ අදමෙන් වාහන වල නොව පාගමනිනි. ඒනිසා මේ අමුත්තාටද මහකැබැලිත්තේ සිට පයින් එන්නට බැරිකමක් නැතිබව හොදින් වැටහිනි.
‘‘දිව්ලානේගොඩ කන්ද පැත්තෙ ඇති පැරණි බෞද්ධ නටබුන්වත් සොයා ආ කෙනෙක්ද?’’ අමුත්තා ගැන සමහරුන්ට විශාල ගැටලූ ගෙනදෙන කාරණයක් විය. සාමාන්‍යයෙන් කැලෑවට යන කෙනෙක් ජිවිතය රැක ගන්නට මොනවා හෝ ආහාර ටිකක් රැගෙන යාම පුරුද්දකි. අඩුම තරමින් විස්කෝතු පැකට් එකක්වත් රැගෙන යනු ලබයි. නමුත් මේ අමුත්තා සතුව ඒ කිසි දෙයක් නැත.
අමුත්තා ගැන මෙවැනි සිතිවිලි දහසක් ඇති නැති වෙමින් පිරිස නැවති සිටි තැන තිබු අන්තිම භාණ්ඩයත් ජිප් රියට පටවා ගත්තේ ආපසු යන බලාපොරොත්තුවෙනි. ගාලූ යන්නට ආ මේ අමුත්තාට තමන් සමග ඕකන්‍දට ගොස් එතැනින් පානමට ගිය පසු බස් රථයක පොතුවිල්, සියඹලාණ්ඩුව, මොණරාගල, වැල්ලවාය, තණමල්විල, වීරවිල, හම්බන්තොට, තංගල්ල, මාතර හරහා ගාල්ලට යා හැකි බව පිරිසට දන්වන ලදී. ඊට එකගවු අමුත්තාද පිරිස පැමිණි ජීප් රථයට ගොඩවිය.
කුමණ වනාන්තරයේ අසිරිය බලමින් පිරිස ඕකන්‍දට ආපසු එනවිට හවස්විය. ඕකන්දේ සිට මිනිස් වාසයක් ඇති පානම ගමටද තවත් කිලෝමීටර් විස්සක් පමණ ඇති නිසා රාත‍්‍රියේ යනවාට වඩා පසුදාම යනඑක හොදබව පිරිසේ වැඩි දෙනෙකුගේ අදහස විය. ඒ බව අමුත්තාටද දන්වන ලදි. ඔහු ද හිසනමා ඒ අදහසට ගරු කලේය.
ඕකන්‍ද වනජිවී මධ්‍යස්ථානයේ නැවතුණු වැඩි දෙනෙක් නුදුරුව පිහිටි ඕකන්‍ද දේවාලයට යන්නට අමතක නොකළහ. දේවාලයේ පිටුපසින් ඇති කෙටි පාර ඒ සදහා භාවිතා කිරීම සිරිතය. අමුත්තාද ඕකන්‍ද දේවාලයට ගියේය. අමුත්තාගේ හැසිරීම අනුව ඔහු ඕකන්‍දට ආ පළමු අවස්ථාව පෙන්නුම් කළේය. අදුර වැටෙද්දි මේ අමුත්තා වනජිවී නිලධාරින් සිරිතක් ලෙස දල්වන බුදු පහන ද දැල්ලූවේය. පන්සිල්ද ගෙන ඒවා පූජා කළේය.
’‘මේ තැනැත්තා ඇත්තටම භාවනා කරන කෙනෙක් විය යුතුමයි.’’ ඔහුගේ චර්යාවන් උදේ සිට නිරික්‍ෂණය කළ වැඩි දෙනෙකුගේ අදහස විය. රාත‍්‍රියේ ආහාරය පිළියෙළ වෙන තෙක් පිරිස කතාබහේ නිරත වෙද්දි අමුත්තා අපූරු අනාවැකියක් කීවේය.
‘‘තව නොබෝ දිනකින් මුහුදෙ රැල්ල අඩි අසුවක් විතර වැඩිවෙනවා. මුහුද ගොඩට ගලනවා. මේ අපි ඉන්න තැන් යටවෙනවා. ඒ වුණාට ඔයාලා කාටවත් කරදරයක් වෙන්නේ නෑ. මෙතන ඉන්න වැඩි දෙනෙක් ප‍්‍රතිපත්ති ගරුක අය නිසා ඔයාලා ආරක්‍ෂා වෙනවා.’’ අමුත්තා කීවේය.
අමුත්තාගේ ඒ අනාවැකිය ගැන සමහරු නොතැකූහ. මුහුද ගොඩගැලූවත් ඕකන්‍ද වනජීවී මධ්‍යස්ථානයේ සිට මීටර් පන්සියයකට වැඩි දුරක් මුහුදට ඇත්තේය. වාරකන් කාලය බොහෝ අය හදුන්වන්නේද මුහුද ගොඩගලන සමය ලෙසය. අමුත්තා මේ කියන්නට ඇත්තේ ඒ ගැන වෙන්නට ඇති යැයි පිරිස සිතන්නට විය.
පසුදා පහන් වීමෙන් පසු පිරිස ඕකන්දෙන් පිටත් වෙන්නට සුදානම් වූහ. නමුත් ඔවුන් සමග සිටි අමුත්තාට ආපහු මහ කැබිලිත්තට යන්නට ඕනෑ බව දන්වන ලදි. ගාලූ යන්නට ආ අමුත්තා යළි මහකැබිලිත්තට යන්නේ ඇයිද කාටත් ප‍්‍රශ්නයකි. කිලෝමීටර් හැටකට වැඩිදුරක් ඔහු පයින් ආපසු ආ යුතුය. ගමනෙ බැරෑරුම්කම පෙන්වාදුන්නද අමුත්තාගේ අදහසේ වෙනසක් නොවීය. අමුත්තා කුමණ මහ වනාන්තරය තුළට පයින් යද්දි සෙසු පිරිස ජීප් රථයෙන් පානම බලා පිටත්වූහ.
එදා මේ අමුත්තා කී අනාවැකිය මාස හතරකට පමණ පසු සත්‍ය වුයේය. ඒ මුහුද ගොඩගැලූ සුනාමියයි. සුනාමිය යන වචනය අමුත්තාගේ කටින් පිට නොවුවත් ඔහු කී ආකාරයටම මුහුද ගොඩ ගැලූවේය. ඕකන්‍ද වනජිවී මධ්‍යස්ථානයද සුනාමියෙන් යටවිය. අමුත්තා කී පරිදිම කිසිදු වනජීවී නිලධාරියෙකුට හානියක් නොවීය. අමුත්තාගේ අනාවැකිය ගැන පසුව සමහරු කතා කරන්නට ද වුහ. ඇත්තටම එදා භාවනාකරන පුද්ගලයෙකුගේ වෙස් ගෙන හිටියේ ‘‘කතරගම දෙවියන්’’ යැයි සමහරු කියන්නට වූහ.


---සුනාමියට සිව් මසකට පෙර මුහුද ගොඩගලන බව කී අමුත්තා--- ---සුනාමියට සිව් මසකට පෙර මුහුද ගොඩගලන බව කී අමුත්තා--- Reviewed by InvestCrypto on June 15, 2017 Rating: 5

No comments: