මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

---දුන්හිඳ කන්ද---




අද මෙන් රථවාහන බහුල නොවූ සියවසකට පමණ පෙර මෙරට භාණ්ඩ ප්‍රවාහනය මෙන්ම තැපැල් ප්‍රවාහනය සිදුවූවේද ගොනුන් බැඳි කරත්ත මගිනි. එකල කොළඹ ගැල්කරුවන් දියත් කළ මහා වැඩ වර්ජනයක් ගැනද අපි අසා ඇත්තෙමු.
අදින් දශක ගණනාවකට පෙර මෙරට මාර්ග පද්ධතියේ සැලකිය යුතු තැනක් කරත්තයට හිමිව තිබුණද අද වනවිට මහමඟ ගමන් ගන්නා කරත්තයක් දක්නට ලැබෙන්නේ නම් ඒ ඉතා කලාතුරකිනි.
එසේ වුවද කෙමෙන් වියැකී යන පාරම්පරික කරත්ත රස්සාව රැකබලා ගනිමින් එයට ජීවය දෙන මිනිසුන් පිරිසක් වියලුවේ ගම්මාන කීපයක අදටත් ජීවත්වෙති.
බදුල්ල දිස්ත්‍රික්කයට අයත් බෝලියද්ද, මීගහකිවුල, මකුල්ගොල්ල, තල්දෙන, පරගස්තැන්න, පුස්සල්ලාව ආදී ගම්මානවල වෙසෙන පාරම්පරික කරත්තකරුවෝ අදටත් සිය ජීවිකාව ගෙන යන්නේ කරත්ත මගින් බදුල්ල නගරය වෙත දර ප්‍රවාහනය කිරීමෙන් ලැබෙන්නා වූ ආදායමිනි.
බදුල්ල-මහියංගණ මාර්ගය ඔස්සේ බදුල්ල බලා ගමන් ගන්නා ඕනෑම කෙනෙකුට මීගහකිවුල බදුල්ල අතර වූ කිලෝමීටර් 22ක් පමණ වූ මාර්ග කොටස තුළදී මෙලෙස දර රැගෙන යන කරත්තකරුවෙකු මුණ නොගැසුනේ නම් ඒ බොහෝ කලාතුරකිනි.
එසේ වුවද අදින් දශක එක හමාරකට දෙකකට පෙර මෙම මාර්ගය ඔස්සේ ගමන් ගත් කරත්ත ප්‍රමාණය දෙසීයය ඉක්මවූවද අද වනවිට එම සංඛ්‍යාව බෙහෙවින්ම පහත වැටී ඇති බව මෙම ගැල්කරුවන් සමඟ අප කළ කතාබහේදී අනාවරණය විය .
වියලුවේ පාරම්පරික දර කරත්තකරුවන්ගේ පරම්පරාවේ අවසන් පුරුක් කීපය යැයි සිතිය හැකි මෙම කරත්තකරුවන්ගේ බහුතරය අද වනවිට සිය ජීවිතයේ අවසන් භාගය ගෙවා දමමින් සිටිති. අත්දැකීම් සපිරි කරත්තකරුවෝ බොහොමයක් මේ වනවිටත් මෙලොව හැර ගොස් ඇත්තේ ඔවුන් සතු අත්දැකීම් බොහොමයක්ද ඔවුන් සමඟම පොළව යට සඟවා තබමිනි.
මේ වනවිට සිය ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටින ආර්.එම්. රත්නායක මහතා වසර 50ක පමණ කාලයක් තිස්සේ කරත්ත රස්සාවේ නිරතවන අත්දැකීම් සපිරි කරත්තකරුවෙකි.
අද තරුණයින් අතර යතුරුපැදිය ජනප්‍රිය වී ඇති තරමටම එකල තරුණයෝ ගවයින් බැඳි කරත්තවලට ප්‍රිය කළ බව රත්නායක මහතා අප සමඟ කියා සිටියේ දිගු කතාවකට මුල පුරමිනි.
‘‘මහත්තයෝ මම පාසල් යන එක නැවැත්තුවෙත් මේ කරත්ත රස්සාවට තියෙන ආදරේටමයි.’’ ඔහුට කතාව කියන්නට ඉඩ දී අපි නිහඬ වීමු.
‘‘මම මේ රස්සාව අවුරුදු 50ක විතර කාලයක් තිස්සේ කරනවා. මම උපන්නේ බෝලියද්දේ. ඒ කාලේ බදුල්ල-මහියංගණ මාර්ගයේ වාහනේකට ගියේ බස් එකක් විතරයි. බස් එක උදේ ගියාම ආයේ එන්නේ හවසට. වෙන කිසිම වාහනයක් නැහැ.
මේ ගමේ කීප දෙනෙක්ම කළේ කරත්තවලින් බදුල්ලට දර ගෙනියන එක. මම පොඩි කාලේ අපේ ගෙදර තාත්තට වගේම සීයටත් කරත්ත දෙකක් තිබුණා. ඒ අය හරිම උජාරුවෙන් තමා මේ රස්සාව කළේ. ගමේ අය කතා කළෙත් බාස් උන්නැහේ කියලයි. මොකද කරත්තේ එළවන එකත් ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකටත් හොඳ දැනුමක් පුහුණුවක් තියෙන්න ඕනෑ. ඒ වගේම මේ අය කරත්තෙට හරකුන්ට සැලකුවේ දෙවියන්ට වගේ. අනවශ්‍ය විදිහට කරත්තෙට තට්ටුවක්වත් ද‌ාන්න බැහැ. කේන්ති යනව.
 කොහොම උනත් මේව දකිද්දී මට පාසල් ගමනත් එපා වුණා. යන්තම් අවුරුදු 10–12 වෙද්දී පාසැලට ආයුබෝවන් කියල මමත් කරත්ත පස්සේ යන්න පුරුදු වුණා. හැබැයි තාත්තවත් සීයවත් මේ වැඩේට කැමැති උනේ නැහැ. ඒ අයගේ කරත්ත අල්ලන්නවත් මට දුන්නේ නැහැ.
කරත්ත පස්සේ යන්න මට තිබුණේ පුදුම ආසාවක්. බෝලියද්දේ ඉඳල බදුල්ලට හැතැම්ම අටක් දහයක් දුරයි. සීයවත් තාත්තවත් කරත්ත රස්සාවට මම ගත්තේ නැති නිසා මම කරන්නේ ගමේ කෙනෙකුගේ කරත්තෙක පස්සෙන් බදුල්ලට යන එක. ඒ යන අතරේ ඒ අය මටත් කරත්තේ දක්කන්න දෙනව. මම ඒ අයට දර බාන්න උදව් කරනව. මට කන්න බොන්න අරන් දීල ශත 35කුත් දෙනව. ඒ කාලේ තේ එකක් ශත පහයි.
මේ වැඩේ නිසා කීපවිටක්ම තාත්ත මට ගැහුවා. හැබැයි ඒත් මම ආය පාසල් ගියේ නැහැ. හොරෙන් හොරෙන් කරත්ත පස්සෙ යන්න පටන් ගත්තා. අන්තිමට තාත්ත මාව ගෙදරිනුත් එළෙව්ව. මොන දඬුවම දුන්නත් මම නෙමෙයි මේ රස්සාව අත් ඇරියේ.
මොකද ඒ කාලේ කරත්තයක් දක්කනව කියන්නේ අද කාලේ කොල්ලො මෝටර්සයිකලේක නැගල රවුම් ගහනව වගේ වැඩක්. මිනිස්සු බාස් උන්නැහේ කියල කතා කරද්දී පුදුම ආඩම්බරයක් තමා දැනුණේ.
කොහොම හරි අන්තිමට අපේ බාප්ප කෙනෙක් මට එයාගේ කරත්තේ කුලියට දුන්න. ගමන් දෙකකට මම එයාට රුපියල් 15 ගානේ දෙන්න ඕනෑ.
මම දැන් ගෙදර නොගිහිල්ලම කරත්ත රස්සාව කරනව. කොහෙන් හරි කාල කරත්තෙම නිද‌ාගන්නව. මගේ ජීවිතේම වුණේ කරත්ත රස්සාව. මම මේ විදිහට මාස 6-7ක් යන කොට අම්ම ඇවිත් මාව එක්ක ගියා. ඊට පස්සේ සීයවත් තාත්තවත් ආය මට මුකුත් කීවේ නැහැ.
ටික කාලයක් යද්දී රුපියල් 700ක් එකතුකරගෙන පරණ කරත්තයක් අරන් මටම කියල එකක් හදා ගත්ත. එද‌ා මට දැනුණ සතුට මෙච්චරයි කියන්න බැහැ.
කරත්තෙ හද‌ා ගත්තත් මට හරක් හිටියේ නැහැ. තාත්ත මට හරකෙක් දුන්නා. මම එකෙක් කුලියට ගත්ත. සීයත් පැටියෙක් දීල කීව පුරුදු කරගනින් කියල.
දැන් ඉතින් මට රටක් හම්බ වුණා වගේ තමයි. අනිත් උන් සතියට සැරයක් යනකොට මම තුන් පාරක් බදුල්ලට යනව.
මම මේ කරන වැඩේට මිනිස්සු එච්චර කැමැති වුණේ නැහැ. ‘මිනිස්සු මට කීවා උඹ නම් යකෙක් ගහල හරි කරත්තෙට යටවෙලා හරි තමා මැරෙන්නේ කියල.’
දුංහිඳ වංගුව
ඒ කාලේ අපේ ගමේ ඉඳල බදුල්ලට යනකම් ගෙවල් 10-15 කට වඩා නැහැ. දුන්හිඳ පැත්ත හොඳටම පාළුයි. පාරේ සමහර තැන්වල මිනිස්සු පිදුරු අට්ටි ගහල තියාගෙන ඉන්නව විකුණන්න. මොකද ඒව තමා අපි හරකුන්ට කන්න දෙන්නේ. පිදුරු කට්ටයක් ශතයයි.’’
 ‘මොකක්ද අර යකා ගහනව කියපු කතාව’ මම රත්නායක මහතාගේ කතාව වෙනතකට හැරවූවෙමි.
‘අප්පා, මහත්තයො ඒ කතා මතක් වෙනකොටනම් මට දැනුත් බය හිතෙනව. ඒ කාලේ ඔය පාරේ හොල්මන් අවතාර විමානේ.
 දවසක් මම දර විකුණල මඟට ඇවිත් හරකුන්ටත් හොඳට කවාගෙන එන්න පිටත් වුණා. ඒ වෙනකොට වෙලාව රාත්‍රි 10-11ට විතර ඇති. ඔය 13 කණුව හරිය අද වගේ නෙමෙයි හරිම පාළුයි. 88 භීෂණ කාලේ මිනිස්සු පුච්චපු තැන නිසා දවල්ටවත් කවුරුත් එතන තනියෙන් ඉන්නේ නැහැ.
මටත් මේ වෙලාවේ කවදාවත් නැති පොඩි අමුත්තක් දැනුණ නිසා මම හයියෙන් සීපදයක් කියාගෙන තමා ආවේ. එළියකට තිබුණේ කරත්තේ යට තිබුණු ලන්තෑරුම විතරයි.
කරත්තේ 13 කණුවට ආව විතරයි එක පාරටම කරත්තේ පාරෙන් අනිත් පැත්තට හැරිල කැලේ පැත්තට වේගෙන් යන්න පටන් ගත්ත. මම තිරිංග තද කළත් හරි ගියේ නැහැ. හරක් දෙන්න දැන් එක පාරම කරත්තෙත් අරන් කැලේටම තමා යන්නේ. මම මොන වැඩ දැම්මත් හරි ගියේ නැහැ.
අන්තිමට කැලේ මැදට ගිහින් හරක් නතර වුණා. දැන් කිසි සද්දයක් නැහැ. මෙන්න ටික වෙලාවක් යනකොට මම ඉන්න තැනට උඩහ පැත්තෙන් කැලේ කඩනව ඇහෙනව. කැලේ කඩාගෙන අතු බිඳගෙන කවුදෝ පහළට එනව වගේ දැනුණත් කිසි කෙනෙක් නැහැ. අතේ තියෙන ලන්තෑරුම ඇරුනම වෙන කිසි දෙයක් ඇත්තෙත් නැහැ.
මට දැන් කරන්න දෙයක් නැහැ. මම බය පැත්තක තියල අර නරක වචන දෙක තුනක් හයියෙන් කියන්න පටන් ගත්ත. ඔන්න එතකොට අර සද්දේ නතර වුණා. මම හෙමීට ගොන් දෙන්නා ලිහල කරත්තේ පාර පැත්තට හරවල ආයෙත් ගොන් දෙන්න ගැටගහල කරත්තේ පාරට ගන්න ලෑස්ති උනා. වෙනද ගහක් උඩ උනත් නගින ගොන් දෙන්න දැන් හෙලවෙන්නේවත් නැහැ.

මහත්තයො මම කිසිම දවසක ගොන්ට ගහන්නේ නැහැ. අත්දෙක අතගාල යමං පුතා කීවම උන් බදුල්ලට යනකං යනව. හැබැයි එද‌ා මොනව කීවත් මේ දෙන්න හෙල්ලුනේවත් නැහැ. අන්තිමට මගේ කේන්තියයි බඩ ගින්නයි ඉවස ගන්න බැරිව මම හොඳටම හරක් දෙන්නට ගැහුවා. ඒත් මුන් දෙන්න හෙලවෙන්නේවත් නැහැ.
මම ආයෙත් හරක් දෙන්න ලිහුවා. පාරට ආවා. මට මතකයි මෙතන්ට හැතැම්මක් විතර එහා ගෙයක් තියෙනවා. ඒ ගෙදර මාම යන්තර මන්තරත් දන්නවා. දැන් මම එහෙට යනව නම් අර මිනී පුච්චපු ඇට කටු අලු උඩින් තමා යන්න ඕනෑ. මොනා කොරන්නද මම එතනින් පැනල ගියා.
මම ගිහින් ඒ ගෙදර හිටිය මාමට මට උන කරදරේ ගැන කීව. උන්දැ ඒක අහල ඔළුවේ අත තියාගෙන මට කීව ‘මෙන්න මෙහෙන් නිදා ගනින් උදේට පලයං’ කියල.
ඒත් මම ඒකට කැමැති වුණේ නැහැ. පස්සේ උන්දැ අදිමදි කරල තව කෙනෙකුත් එක්ක කරත්තේ ගාවට ඇවිත් මොනවදෝ කියල මට කීව හා දැන් කරත්තේ ගනින් කියල. අනේ පුදුමේ කියන්නේ ගොන් දෙන්න සරස් ගානකොට පාරට ආවා. මම එතනින් එනකොට රෑ එකත් පහුවෙලා.
හැබැයි මම ගෙදරට ආව විතරයි මතක, මට හොඳටම උණ ගැනුණා. ඒ විතරක් නෙමෙයි මුළු ඇඟපතම රිදෙන්න පටන් ගත්ත. දවස් ගාණක් ගිහින් තෙල් බේත් කරල තමයි සනීප වුණේ’’
ඔහු මෙවැනි අත්දැකීම්වලට මුහුණ දී ඇත්තේ වරක් දෙවරක් නොවේ. මේ ඔහු මුහුණ දුන් තවත් එවැනිම අත්දැකීමකි.
‘‘අපි යන පාර හරිම පාළුයි. හුඟ දෙනෙක් රාත්‍රි 8.00-9.00 පහු වුණාට පස්සේ ඔය පාරේ යන්නේ නැහැ. මොකද දවල්ටත් පාරේ හොල්මන් තියෙනව. ගියත් යන්නේ කරත්ත හත අටක්වත් එකතු වෙනකම් ඉඳල තමයි.
හැබැයි මම ඉතින් යකෙකුටවත් බය නැති මිනිහා නිසා මම දැන් කරත්තේ අරන් දුන්හිඳ කන්ද නගිනවා. වෙලාව රාත්‍රි 10.00ට විතර ඇති. මෙන්න එක පාරටම දිඩි දිඩි ගාල කැලේ පැත්තෙන් සද්දයක් එනවා. මේ සද්දෙත් එක්ක දැන් කරත්තෙත් නැවතිල. හරක් අදින්නෙත් නැහැ. දැන් සද්දේ ළඟ ළඟම එනවා. සද්දේ එන පැත්තකුත් නැහැ. මම දන්නව මොකාටද එන්නේ කියල. මම කලින් දවසේ වගේම හොඳ දෙකක් කියල කෑ ගැහුවා. අනේ සද්දේ නැත්තටම නැති වුණා.
ගොඩක් වෙලාවට හම්බ වෙන්නේ බෝදිලිමා කියන අවතාරේ තමා. බෝදිලිමා ලන්තෑරුම් එළිය දැක්ක ගමන් පස්සෙන් එනවා කියල තමයි සීය අපට කියල දීල තිබුණේ.
ඕකා එක එක විදිහට කෑ ගහනව. හරිම භයානක සද්දයක් තමා එන්නේ. දවසක් මම මේකා කෑගහන සද්දෙට බය වෙලා පාර අයිනේ තිබුණු ඉලුක් මඩුවකට රිංගල තමා බේරුණේ.
හරක් බාන කරත්තේ අනික් පැත්තට හැරිල ආපස්සට යනව’’
හෙල මකුල්ගොල්ලේ ඩී.එම්. ලොකුබණ්ඩා මහතාද හොල්මන් අවතාරවලින් හොඳ හැටි බැට කෑ කරත්තකරුවෙකි.
‘‘මහත්තයො දවසක් අපි දුන්හිඳ කන්ද නගිනවා. මට ඉස්රහින් කරත්ත තුනක් යනවා. එතන තියෙන සයිඩල් වංගුව කියන්නේ කරත්තකාරයො හරිම අමාරුවෙන් බයෙන් යන තැනක්. හරියට අවතාර හොල්මන් තියෙනවා. මම ඉතින් පොඩි කාලේ ඉඳලම හරක් එක්ක කැලේ හිටිය මිනිහ නිසා මට බයක් නැහැ.
ඔන්න මම සයිඩල් වංගුවට උඩින් තියෙන අලිපාර ළඟට ආව විතරයි, එක පාරටම කළු පාට මිනිහෙක් ඇවිත් කරත්තේ ඉස්සරහින් හිට ගත්තා. මේක දැන් බලා ඉද්දී උස යනව. ඒ එක්කම හරක් බාන කරත්තේ අනිත් පැත්තට හරවගෙන ආපස්සට කාර් එක වගේ යනව. මට කරන්නම දෙයක් නැහැ. මම කඳ යටින් රිංගල ගොන්ගේ නාස් ලණුවෙන් ඇද්දත් උන් නෙමෙයි නවතින්නේ. ටික දුරක් යද්දී හරක් දෙන්නා ඇදගෙන වැටිල කරත්තෙත් උන්ගේ උඩින් ගියා. මම එළියට පැනල අනූ නමයෙන් තමයි ජීවිතේ බේර ගත්තේ. අන්තිමට මම කෑ ගහන සද්දෙට ඉතිරි කරත්තකාරයො ටික ඇවිත් තමා කරත්තේ හිට්ටව ගත්තේ. එතන ඒ වගේ කීපදෙනෙකුටම වෙලා තියෙනවා.
ආයේ දවසක් මම තනියම දුන්හිඳ කන්ද නගිනව. වෙලාව රෑ 12.00-1.00ට විතර ඇති. වංගුව හරවල කරත්තේ නවත්තල බලද්දී මෙන්න ලස්සනට ඇඳ ගත්ත ගෑනියෙක් කරත්තේ පිටිපස්සෙන් එනව මට ලන්තෑරුමට පේනව. මම බය වුණේ නැහැ. මම ඉතිපිසෝ ගාථාව කියාගෙන උඩහටම දැක්කුව. ටික වෙලාවකින් බලද්දී එයා අතුරුදහන් වෙලා’’
ගැමියන් මෝහිණීය ලෙස හඳුන්වන අවතාරය බොහෝ විට කරත්තකරුවන්ට මුණ ගැසෙන බව කරත්තකරුවෝ පවසති.
මේ මුතුබණ්ඩේ මාමාට දවසක් මෝහිණිය මුණගැසී සිදුවූ අරතැබ්බයකි.
දර රස්සාවේ යෙදෙන කතුන්
‘‘අර අසූ අටේ කලබල කාලේ තමා මේක වුණේ. අපි එන පාර දිගට ඒ කාලේ මිනී පුච්චනව. ඔය 12 කණුව හරියෙ කීප සැරයක්ම මිනිස්සු පුච්චල තිබුණා.
එද‌ා මම ඔන්න දර විකුණල ගෙදර එනව. වෙලාව රාත්‍රි 11.00- 12.00 ට ඇති. තල්දෙන බෝගහ ළඟ කඩෙන් තේ එකක් බීල මම එන්න පිටත් වුණා. ඒ කඩේ අයත් කීව දැන් රෑ වෙලා ඔය මිනී පුච්චන තැන්වලින් යන්න එපා කියල. මම ඒක නාහ ආවා. පාර හරිම පාළුයි. වාහනයක්වත් නැහැ. දැන් ඔන්න මම අමාරු ගල ළඟ වංගුවෙන් එනවා. මට කව්දෝ කතා කරනව ඇහෙනවා. වටපිට බැලුවත් පේන්න නැහැ. මම හිතුව පහළ ගමේ කාටහරි ලෙඩවෙලා උස්සගෙන එනව ඇති කියල.
මම ඉතින් ගානක් නැතිව ඉස්සරහට යනව. ඔන්න දැන් හිනා වෙන සද්දෙකුත් ඇහෙනව. පස්සෙන් එන ගොනත් උඩ පැනගෙන දඟලනව. මම පස්ස හැරිල බැලුව ලන්තෑරුම් එළියෙන් මට දැන් ලස්සන ගෑනියෙක් පේනව. මම දැනගත්ත වැඩේ. මම පාඩුවේ ආව. ටිකක් දුර එද්දී මෙන්න පස්සෙන් ආවා ගෑණි ඒ පාර ඉස්සරහින් එනවා. මාර ලස්සන ගෑනි. මට ඉතින් කතා කරන්නත් හිතුනා. හැබැයි මම කතා කළේ නැහැ.
මහ පාරේ ආව මම දැන් ගමට එන්න අතුරු පාරට හැරෙන්න ඕනෑ. යකෝ මෙන්න මේ ගෑනිත් අතුරු පාරට හැරුණා. මම ඒ පාර නම් බය වුණා. මම කරත්තේ කඳ යටින් රිංගල කරත්තේ යට තිබුණූ පඩංගුවේ දිගා උනා. කරත්තේ වංගුව හැරෙනවත් එක්කම එක පාරටම ලන්තෑරුමේ චිමිණිය පුපුරල ඒක නිවුනා. මොනව කරන්නද? ඔන්න මම දැන් මහ කරුවලේ කරත්තේ යටට වෙලා එනවා. ගෑනිත් එනවා මට පේනව. මම ඔහොම ඇවිත් ගෙවල් කිට්ටුව තිබුණු ගෙයක් ළඟ නවත්තල ගෙදර අයට කතා කළා. එද‌ා ඒ ගෙදර හිටියේ අපේ නෑදෑවෙන නංගි කෙනෙක් විතරයි. මම කතා කරද්දී නංගි ලාම්පුවත් අරං පාරට ආව. මම විස්තරේ නොකිය ලාම්පුව නිවුන කියල විතරක් කීවා. පස්සේ මම එතන හරක් ටික දිගේලි කරල කරත්තෙත් ද‌ාල ගෙදර ආවා.
හැබැයි පහුවෙනිද මට නැගිට ගන්නවත් බැරි තරමට උණ ගැනුණා. ආරංචි කරල බලද්දී අර මට උදව් කරපු නංගිටත් උණ. ඒ වගේම විකාරෙන් දොඩවන්න පටන් අරං. අන්තිමට මන්තර ගුරුකම් කරන රනාගල මාමා එක්ක ඇවිත් යැදල තෙල් මතුරල තමයි අපි දෙන්නටම සනීප වුණේ’’
ප්‍රදේශයේ කරත්තකරුවෙකු වූ ඩී.එම්. කිරිබණ්ඩා මහතාද කීපවිටක්ම කරත්ත රස්සාවේදී හොල්මන් අවතාරවලින් බැට කෑ අයෙකි.
 ‘‘දවසක් මම 13 හරියෙන් යනව. බාගෙට හඳ පායල තිබුණා. වෙලාව 12.00ට විතර ඇති. මෙන්න මම ඉස්සරහින් කළුපාට බල්ලෙක් යනවා. මේක බලා ඉද්දී උස යනව. හැබැයි මම දන්නව මේක බල්ලෙක් නෙමෙයි කියල. මම හොඳ දෙකක් කියල තෝ හිටපිය අපි යනව කියල යන්න ගියා. ටික දුරක් ඇවිත් ඒක අතුරුදහන් වුණා’’
බොහෝ කරත්තකරුවෝ තමන් ජීවත්කරවන හරකුන්ට දැක්වූයේද අපමණ සෙනෙහසකි. රත්නායක මාමා ඒ ගැන මෙසේ කීවේය.
 ‘‘මහත්තයො මම කවද‌ාවත් හරකුන්ට ගහන්නේ නැහැ. හොඳට කවනවා. නාවනව. ඊට පස්සේ කරත්තෙට බැඳල අත්දෙක අතගාල යමං පුතා කීවම මම නවත්තනකම් යනවා. මඟදිගටත් ලිහ ලිහා කන්න දිදී තමා මම කරත්තේ අරන් යන්නේ.
මහත්තයෝ පස්සේ කාලේ මට කරත්ත දෙක තුනක් තිබුණා. එකක් මම දුන්නා මගේ සහෝදරයෙකුට. ගොන් ටිකත් දුන්න. එයා හරිම සැර පරුෂ කෙනෙක්.
දවසක් මම දර අරන් යනකොට මිනිස්සු කීව මල්ලී එක හරකෙක් වයසයි කියල මස් කඩේට දුන්න කියල. මම දර ගෙනියන එක තියල කරත්තෙත් ද‌ාල දුවන්න පටන් ගත්තා. දුවල දුවල මග දිගට හම්බ වෙන අයගෙන් ඇහුව හරකෙක් අරන් යනව දැක්කද කියල. මිනිස්සු නැහැ කීව. පස්සේ හොයල බලන කොට හරක ගෙනියන්න බැරුව කැලේ බැඳල තියල ඉන්නව. මම ගාස්තුව දීල හරක ආයෙත් බේර ගත්තා. මේ සත්තු මහත්තයො මතු ආත්මෙ නිවන් දකින්න ඕනෑ’’ රත්නායක මාමා එසේ කියා සිටියේ දෙනෙතින් ගලා හැලුණූ කදුළු කැට කීපයක් වම් අතින් පිස දමමිනි.

Source: Link

---දුන්හිඳ කන්ද--- ---දුන්හිඳ කන්ද--- Reviewed by InvestCrypto on June 06, 2017 Rating: 5

No comments: