මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

---සත්‍ය අත්දැකීම්---



ඒ වෙනකොට වෙලාව රාත්‍රි 9ට විතර ඇති. මහරෝහලේ රසායනාගාරය ඇතුළෙත් කීප දෙනෙක් තාම වැඩ. එතන ලේ සාම්පල් පරීක්‍ෂණ කටයුතු සිදුකරන තැනට ඇවිත් හිස දැම්මේ අවුරුදු 55ක පමණ අයෙක්. ඔහු රෝගියෙක්. රෝහලේ නේවාසික රෝගියෙක් බව පෙනෙනවා ඔහු එක් අතකින් එල්ලාගෙන ඉන්න සේලයින් බෝතලය දැක්කාම. බොහොම අසාධ්‍ය පාටක් පෙනුණේ. කොණ්ඩෙ රැවුල අසාමාන්‍ය විදියට වැවිල තිබුණු හින්දා තරමක විරූපී පෙනුමකුත් තිබුණා.
'මොකද මේ ලෙඩ්ඩු මෙහාට රිංගන්න එන්නේ යන්න යන්න!!'
'අනේ මහත්තයෝ මගේ ලේ රිපෝට් එක ගෙනියන්න පුළුවන්ද'
'හරි හරි. අපි ඒක වාට්ටුවට එවන්නම්. ඔයා අමාරු ලෙඩෙක් නේද? යන්න වාට්ටුවට'
'අනේ සර්... ඉක්මනට ගෙනියන්න කිව්වා'
බේරෙන්න බැරිම තැන තුණ්ඩු ටික තෝරන ගමන් නම ඇහුවා.
'මොකක්ද නම!'
'පියදාස, එම්.කේ. පියදාස'
'හරි! හරි! පියදාස වාට්ටුවට යන්න මම රිපෝට් එක වාට්ටුවට එවන්නම්' ඊට පස්සේ කිසිම කතා බහක් නැතිව එයා වාට්ටුව පැත්තට ඇවිදගෙන ගියා. ගිහින් විනාඩි පහක්වත් ගියෙ නෑ. ආයෙත් ආවා. ඇවිල්ල ඉල්ලනව එයාගේ දවල් ගත්ත ලේ රිපෝට් එක ඉක්මනට දෙන්නලු.
මම ඇහුව ඔයා කොයි වාට්ටුවේද ඉන්නේ කියල. දැඩි සත්කාර ඒකකයෙලු. දෙයි හාමුදුරුවනේ එච්චර අමාරු ලෙඩෙක්ද මෙහෙම ඇවිදගෙන එහෙ මෙහෙ යන්නේ.
මට ඇති වුණේ පුදුම තරහක් 'යනව මෙතනින් යන්න. ඔහේ අපිවත් අමාරුවේ දාන්නද මේ හදන්නේ' කියල බැන්නාම එයා සේලයින් බෝතලෙත් එක අතකින් එල්ලගෙන බොහොම අමාරුවෙන් වාගේ නොණ්ඩි ගහමින් වාට්ටුව දෙසට ඇවිදගෙන ගියා.
මට තරහ ඉවසන්න බෑ. වාට්ටු භාරව ඉන්න අයට පිස්සුද මෙහෙම අමාරු ලෙඩ්ඩුන්ව රිපෝට් ඉල්ලගෙන යන්න එවන්නේ. මම කෝල් එකක් අරගෙන දැඩි සත්කාර ඒකකයේ මිසීට කතා කළා.
'මොනවද මේ කරන වැඩ. එක එක ලෙඩ්ඩු එවන්නෙ ඇයි ලේ රිපෝට් ඉල්ලගෙන යන්න'
'කෝ අපි කාවවත් එව්වෙ නෑ. එහෙනම් වෙන වාට්ටුවකින් වෙන්න ඇති.'
'නැත්තෙ මොකද! ලෙඩාමනේ කිව්වේ එයා දැඩි සත්කාර ඒකකයෙ ඉන්නේ කියලා'
'අනේ නෑ. අපි නම් මේකෙ ඉන්න අය එහෙම යවන්නෙ නෑ. මෙකක්ද නම කිව්වේ...'
'පියදාස, එම්.කේ. පියදාස කියලයි කිව්වෙ. අවුරුදු පනස් පහක හැටක විතර කොණ්ඩෙ රැවුල වවාගත්තු සීය කෙනෙක්...'
'කොයි වෙලාවෙද ආවේ...'
'දෙපාරක් ආවා. අන්තිම සැරේ ඇවිත් ගිහින් දැන් විනාඩි දෙකක්වත් නෑ'
'වෙන්න බෑ. මේ දැඩි සත්කාර ඒකකයේ හිටපු එම්.කේ. පියදාස කියන ලෙඩා දැන් පැය භාගයකට කලින් මැරුණනේ!'
මට හිතාගන්න බැරිව ගියා ඒ පිළිතුර. ඒ හින්දම තමයි ඒ මැරුණ කියන කෙනාගේ ඇඳ අසලට ගියේ. ඊට පස්සේ තමයි දෙලොව රත් වුණේ.
මේ පැය භාගයකට කලින් මැරණයි කියන්නේ දැන් විනාඩි කීපයකට කලින් මගේ ඉස්සරහට ඇවිදගෙන ඇවිත් එයාගේ ලේ රිපෝට් එක ඉල්ලපු කෙනාම නේද? ඒ ඇඳගෙන හිටපු බැනියමමයි. ඒ ඇඳගෙන හිටපු සරමමයි. මට කිසි දෙයක් හිතාගන්න බෑ. අවුරුදු විසි පහක විතර ඉස්පිරිතාල ජීවිතේ මෙහෙම සිදුවීමකට මුහුණ දුන්නමයි.
මම ඒ සිදුවීම තවත් දිගින් දිගටම කාටවත් කියන්න ගියෙ නෑ. කිව්වත් කවුරුවත් පිළිගන්න එකක් නෑ. ඒත් මට හොඳටම විශ්වාසයි එහෙම දෙයක් වුණා කියල. ඒත් දෙවියනේ මේ ඉස්පිරිතාලවල් ඇතුළේ මිනිස්සු මැරෙන විදිහට මේවා හොල්මන් පුරයවල් වෙන්න ඕනනේ. ඒත් එහෙම දේවල් නෑ කියල අද ඉඳල මම හිතන්නේ කොහොමද? මේ මම හොඳ පියවි සිහියෙන් ඇස් දෙකට දැක්ක දේනේ.
ඒ මළ සිරුර එම්බාම් කරන්න හම්බ වෙලා තියෙන්නේ ඒ රසායනාගාරයේදී අද්භූත සිදුවීමට මුහුණ දුන් කෙනා දන්න කියන අයකුට. එයා මෘත ශරීරාගාරයේ ඉඳල එම සිරුර එම්බාම් කරන්න රැගෙන යන අන්දම දැක්කට පස්සේ තමයි මේ සිදුවීම ගැන කියල ටිකක් කල්පනාවෙන් වැඩ කරන්න කියල තියෙන්නේ.
නිකම් නෙමේ කියල තියෙන්නේ. මේ මැරිල ඉන්න මනුස්සයා මැරිල ඇඳේ ඉන්න කොට මගේ ළඟට භූත වේශයකින් ආපු කෙනෙක්. ඒ හින්ද පරිස්සමට යමන් මල්ලි කියලත් තියෙනවා.
ඒ මල්ලි වාහනේ එළවගෙන එයාගේ මල් ශාලාවට ගියා. කිසිම සද්දයක්වත් වෙනසක්වත් දැනුණේ නැතිලු. ඊට පස්සේ එයාගේ මල් ශාලාවේදී එම්බාම් කටයුතු ටික ඉවර කරල ලස්සනට මිනිය ඥාතීන්ට භාර දුන්නාම ඒ අය අරන් ගියා. යාළුවා කිව්ව දෙයින් පස්සේ බලාපොරොත්තුවෙන් හිටිය මොනම භූතයෙක් තියා කිසිම සිදුවීමක්වත් නෑ. ඒක තමයි ඇත්ත.
අපි එම්බාම් කටයුතු කොච්චරවත් කරල තියෙනවා. ඒත් කවදාකවත් එහෙම දේවල් මේ තැන්වලදී දැකල නෑ. මල් ශාලාවක ඉඳල සමහර මරණ තනියම අරගෙන යනව බොහොම දුර පළාත්වලට. ඒත් එහෙම දේවල් අඩුයි කියන්නේ නැත්තෙම නෑ කියන එක නෙමෙයි.
එක එක අසාමාන්‍ය සිදුවීම්වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. හැබැයි යක්කු, පෙරේතයෝ, භූතයෝ ඒ මොකෙක්වත් නම් කවදාවත් දැකල නෑ. එහෙම දේවල් ගැන නෙමෙයි මේ කියන්නේ. මරණයක් වාහනේ දාගෙන එහා මෙහා ගෙනියනකොට සිද්ධ වෙන දේවල්.
හැබැයි එකක් කියන්න ඕන. මේ හැම දෙයක්ම වෙලා තියෙන්නේ හදිසි මරණයක් එහා මෙහා ගෙනියනකොට. මොනව හරි විශේෂ දෙයක් වුණාම මගේ ගෝලයෝ ආපු ගමන් කියනවා.
මේ දේ සිද්ධ වුණේ ගිනි තියාගෙන මැරිල හිටපු කෙනකුගේ සිරුරක් ඒ ගෙදර ඉඳල ඉස්පිරිතාලෙ මෘත ශරීරාගාරයට ගෙනියනකොට. පිච්චුණු මරණයක් හින්ද ඕජස් ගලනව. ඒක ඉටි රෙද්දකින් ඔතල තිබ්බත් පොඩ්ඩක් හරි පෙරෙන හින්දා අපි ඒක ලොරියේ තට්ටුවේ බිමින් තිබ්බේ. ඒ තියල පිටි පස්සේ දොර වහල අපි එළවගෙන ආවා.
මිනිය ලොරියට පටවපු කෙනත් මගෙත් එක්ක ඉස්සරහේ ඉඳගෙන ආවා. ඥාතීන් වෙනම වෑන් එකක ආවේ. අපි මිනී කාමරේ ළඟට ඇවිත් ලොරියේ පිටිපස්ස ‍ෙදාර ඇරල බලනකොට මෙන්න බොලේ යටින් තියල තිබුණ මිනිය සීට් එක උඩ. ෂීට් එක උඩ තියපු එකක්නම් එනකොට ලොරිය එහාට මෙහාට හෙල්ලිලා බිමට වැටෙන්න පුළුවන්. ඒත් බිම තියපු එකක් කොහොමද ෂීට් එක උඩට යන්නේ. ඔය ඇස් දෙකට දැක්ක එක සිදුවීමක්.
සමහර මරණ අරගෙන යනකොට මේ හොඳට තියෙන වාහනේ ටයර් පුපුරලා යනව. එකක් නෙවේ ටයර් තුනේම හුළං එක සැරේ ගිහින් තියෙන අවස්ථා නම් ඕන තරම්. එව්ව එච්චර අපි ගණන් ගන්නෙ නෑ. වාහන කියන ඒව කොතැනත් කැඩෙනවනේ.
හැබැයි වෙනසකට තියෙන්නේ මේ කැඩෙන තැන් සහ කැඩෙන වෙලාවල්. සමහර වෙලාවට හරියටම මැදියම් රෑ 12ට මහා පාළු කැලෑවක් මැද්දෙ. එහෙම නැත්තන් සොහොන් පිටියක් ඉස්සරහ. කොච්චර ගැහුවත් වාහනේ ස්ටාර්ට් වෙන්නෙ නෑ. මේ උදේ පාන්දර තෙල් වතුර බලල අරගෙන ආපු වාහනේ වතුර බින්දුවක් නෑ රේඩියේටරේ ඇතුළේ. එහෙම වෙන වෙලාවල් තියෙනවා. ඒකට පිළියම් හැටියට දැන් අපි හුඟ දෙනෙක් අෑත දුරකට මිනියක් අරගෙන යනවා නම් හුඟක් වෙලාවට වතුර කෑන් එකක් දාගෙන යන්න අමතක කරන්නේ නෑ.
එක එක රියැදුරන්ට විවිධ වූ අත්දැකීම්වලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. ඒත් ඒ අත්දැකීම් ලබපු කිසිම කෙනෙක් මෙන්න මේ දේ එදා මේ පාරෙදි මේ දවසේ මේ විදියට සිද්ධ වුණා කියල කියමින් ඡායාරූපයකට පෙනී සිටිමින් විස්තර කියන්න කැමැති නෑ. එයාල හුඟ දෙනෙක් මල් ශාලාව අයිති බොස්ට බයයි රස්සාව නැතිවෙයි කියලා.
සමහර බොස්ලත් අනේ එපා එපා ෆොටෝ ඕන නෑ. නම් ගම් නැතිව විස්තරේ චුට්ටක් ඕනනම් දාගන්න කියල තමයි සමහර දේවල් කියන්නේ. එයාල කියන විදියට හරියට කරන කෙනාට මේක හොඳ ආදායම් මාර්ගයක්. ඒත් එයාල කියන්නේ මේ වගේ දේවල් කියල පත්තරවල ගිහින් බය වුණාම මේ තැන්වල ඩ්‍රැයිවර් රස්සාවකට කෙනෙක් හොයා ගන්න අමාරුවෙයි කියල.
සමහරු මේ කියන දේවල් ප්‍රතික්‍ෂේප කරමින් කියන්නේ මම මෙච්චර කාලයක ඉඳල මිනී ඇදල තියෙනවා. ඒත් කවදාකවත් ඔය කියන විදියේ අහඹු සිදුවීමකට මූණ දීල මඟ ඉඳල නෑ කියන එක. හැබැයි මල් ශාලාවල වැඩ කරන අති බහුතරයක් පිළිගන්නා දෙයක් තමයි අවමංගල රථ රෑට නතර කරලා තියෙනකොට ඒ ඇතුළෙන් විවිධ වූ ශබ්ඳ ඇසෙන බව. කිසිවකු නැතත් අගුළුලා ඇති ‍ෙදාරවල්ඇර වසන ශබ්ද?
කුමාර කියන්නේ අද වෙන රැකියාවක් කළත් මීට කලින් මල් ශාලාවක රියැදුරු රැකියාව කළ අයෙක්. මේ මරණයත් ගෙල වැලලාගෙන මියගිය කාන්තාවකගේ එකක්.
එදා අඟහරුවාදා දවසක්. සමහර අය අඟහරුවාදා රාත්‍රි 12 පහුවෙනකම් මරණේ ගෙදරට ගෙනියන්නේ නෑ. ඒ කියන්නේ රෑ 12 වෙනකල් මරණෙ තියාගෙන මල් ශාලාවට වෙලා නිදි කිරමින් බලාගෙන ඉන්නව කියන්නේ එපාවෙන වැඩක්. කුකුල් නින්දක් ගැහුවත් නින්ද යන්නෙ නෑ. එදා බැරිම තැන මම කිව්වා අයියා 12න් පස්සේ මිනිය ගෙට ගත්තට 12ට ඉස්සරවෙලා ගේ ළඟට ගෙනියන්න හොඳ නෑ කියල කවුරුවත් කියල නෑනේ. අපි තවත් පරක්කු නොවී මිනිය අරගෙන යමු. ගෙයි මිදුලෙ මිනිය තියාගෙන ඉඳල ‍ෙදාළහ පැන්නාම ඇතුළට ගත්තම ඉවරනේ. අපරාදෙනේ ඔයාල සේරම මෙහෙම රස්තියාදු වෙන්නේ කිව්වම කැමැති වුණා.
මොන හේතුවක් හින්දද කියන්න අදටත් මට තේරෙන්නෙ නෑ සමහර මිනී එම්බාම් කරල ඉවර වුණාම එම්බාම් කරපු කෙනාම කියනව මේ මරණේ නම් ටිකක් අප්සට් කියලා. ඒ වගේම අරන් යන කෙනාට මොකක් හරි සිද්ධියක් වෙනවා.
අපට එහෙම දෙයක් කිව්වට එයාට ඒ මිනිය කපනකම් එම්බාම් කරනකල් කිසි ගාණක් නෑ. සමහර වෙලාවට ඒ වැඩ කරන ගමන් සිගරට් එක උරද්දී අත් ආවරණවල ගෑවිලා තියෙන ලේවලට සිගරට් එක චුට්ටක් පෙඟිලා
ඒ කරන ගමන්ම, ඒ කරපු කෙනාම තමයි එහෙම කතාත් කියන්නේ.
එදා එයා එහෙම කතාවක් කියනව මිනිය ගෙනියන්න ආපු එයාලගේම කෙනෙක් අහගෙන හිටිය. ඒ හින්දද දන්නෑ මිනිය ගෙනියන වෑන් එකේ පිටිපස්සට කවුරුවත් එයාල ගොඩ වුණේ නෑ. මිය ගිහින් හිටපු කාන්තාවගේ ස්වාමිපුරුෂයා හිටියා. එයත් නැග්ගේ එයාල අරගෙන ඇවිත් තිබුණ වෑන් එකට.
මම කතා කළාම බොහොම අකැමැත්තෙන් වගේ කෙනෙක් ඇවිත් මිනිය ගෙනියන මම එළවන වෑන් එකේ ඉස්සරහට නැග්ගා. මම දැන් කල්පනා කරන්නේ මම වරද්ද ගත්තු වරද්ද ගැනිල්ල. මිනිය අරගෙන මෙතනින් ‍ෙදාළහ පහුවෙලා පිට වුණා නම් මම එහෙන් ආපහු එනකොට එළිවෙලා. ඒ හින්ද බය වෙන්න දෙයක් නෑ. ඒත් මේ කලින් යන හින්දා මට ආපහු එන්න වෙන්නේ රෑ එකට තනියම.
එතකොටම දැක්කා මගේ යාළුවෙක් ටිකක් සප්පායම් වෙලා ගෙදර යන්න එනවා මම එයාට කතා කරල වෑන් එකට නග්ග ගත්තා. පිටිපස්සෙ ඉන්න ඉඩ නෑ. සේසත්, ඇත්දළ ඒ සේරම උපකරණත් එක පැත්තක පටවල. යාළුව ඉඳගත්තේ මිනී පෙට්ටිය උඩ. ඒත් උගේ පපුව හා ඔළුව කෙළින්ම අපි දෙන්න මැද්දට දාගෙන ආවේ.
අපි ඒ ගිය පාරේ පාළු සොහොන් කනත්තක් අහුවෙනවා. ඒක පහුවෙනවත් එක්කම එක පාරටම ඇතුළේ තිබුණ ඇත්දළ, සේසත් දඩ බඩාස් ගාලා පෙරළෙන්න ගත්තා... අයිනේ හොඳට අසුරල තියපු දේවල් බිම වැටෙන්න විදියක් නෑ. ඒත් බිම වැටුණා. මහා ලොකුවට ඇහුණ ඒ සද්දය ඒ දේවල් බිම වැටීමකටත් වඩා කවුරු හරි ඒවා පොඩි පට්ටම් කරගෙන ඒ උඩ ඉඳගත්තා වගේ සද්දයක්. සොහොන් කනත්ත පහු කරනකොට අපි හිටියේ පාරක කන්දක් උඩ වගේ... එතනින් වාහනය පල්ලමට දාන කොටම එක පාරටම ‍ෙදාර ඇරිල ගියා. මම වාහනේ එහෙමම නතර කළා. එතන පල්ලම හින්දා ආයෙත් දොර ඉස්සරහට තල්ලුවෙලා ඇවිත් වැහුණා.
සමහර වෙලාවට තරමක් බීලා හිටපු මගේ යාළුවා අතරමඟින් වෑන් එකට ගොඩ කර ගන්නකොට එයා බාගෙට දොර වහගෙන නඟින්න ඇත්තේ. ඊට පස්සෙත් කිලෝමීටර් 25ක් තිහක් විතර ආවා. දොර වැහිලා තිබුණේ ඊට පස්සෙත් කිලෝමීටර් 25ක් තිහක් විතර ආවා. දොර වැහිලා තිබුණේ නැත්තන් ‍ෙදාර ඇරෙන්න තැන් ඕන තරම් තිබුණා. අනිත් එක මේ ‍ෙදාර ඇරුණේ ලොකු පල්ලමකදී. පල්ලමකදී යන වාහනයක ‍ෙදාරක් ඇරෙන්න කවුරු හෝ දොර ඇරල පසු පසට තල්ලු කරන්නම ඕන. ඒත් එදා ඒ දේ මම ඉස්සරහම සිදු වුණා.
සමහර විට මගේ යාළුවා ඒ කියන්නේ මිනී පෙට්ටිය උඩ ඉඳගෙන හිටපු යාළුවා ඒ දේ කරන්න ඇති කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. මමනේ දැක්කේ. වාහනේ ‍ෙදාර ඇරෙනකොටම උෟ ඉස්සරහ ෂීට් එකට පැනලත් ඉවරයි. ඒ කියන්නේ ඒ දේ කවදාකවත් උෟ කරපු දෙයක් නෙවෙයි.
ඊට පස්සේ වාහනය මළ ගෙදරට කිලෝමීටර් දෙක තුනක් මෙහා පොඩි ගම්මානයක් අයිනේ නතර කෙරුවා. වෑන් එකේ හිටපු එයාලගේ කෙනා මගේ යාළුවත් එක්ක කුටු කුටු ගාල වෑන් එකෙන් බැහැල ගම දිහාට ගියා.
විනාඩි පහ දහය ගිහින් පැයක් ගෙවිල ගියා. මම පුදුම බයකින් හිටියේ. ඒත් බොහොම අවංකවම කියන්නේ, එම්බාම් කරපු මගේ හිතවතා කියපු මේ මිනියත් තියාගෙන ඒ රෑ මැද්දෙ මම තනියම එතන හිටියත් මට වෙන කිසිම සිදුවීමක් ඇති වුණේ නෑ කියන එක ලියන්නම ඕන දෙයක්. මගේ යාළුවාවත් ඇදගෙන වෑන් එකේ ආපු කෙනා ගමට රිංගල තියෙන්නේ බය වෙච්චි පාර අරක්කු හොයාගෙන එන්න. ඒත් මිනියත් එක්ක හිටපු මට කිසිම දෙයක් වුණේ නෑ. සමහර විට වෑන් එක ඉස්සරහින් හා පැටියෙක් පැන්නා නම් මම සිහි නැති වෙන තරමේ බයකින් මගේ පපුව පිරිල තිබුණේ. ඒත් එහෙම දෙයක් වුණේ නෑ. ඒ හින්දා පල්ලමකට වෑන් එකක් බස්සනකොට උඩ පැත්තට ‍ෙදාරක් ඇරෙන්නේ කොහොමද කියලා අදටත් මම කල්පනා කරනවා. ඒ කුමාර කියපු කතාව.
එහෙත් බණ්ඩාරවෙල මල් ශාලාවක හර්ස් එකක රියැදුරු ලෙස රැකියාව කළ අයෙක් පැවැසුවේ මෙවැනි දේවල් මිනිසුන්ගේ මනසින් මවාගත් හෝ යම් යම් ආර්ථික වාසි ලබා ගැනීම සඳහා හෝ මල්ශාලාවේ හිමිකරු වෙත ආරංචි වීමට සලස්වන දේවල් යැයි තමන් කාලයක් විශ්වාස කළ බවයි.
'ඒත් අයියේ මට ඒ මිනිය අරගෙන යන්න තිබුණේ මැදිරිගිරියට. මඟදි බඩු නතර වුණා. ඒ කියන්නේ රෑ මැදියමේ අලි ගහන කැලෑවක් මැද්දෙ වාහනේ නැවතුණා. හැබැයි අලි නම් ආවේ නෑ. කොච්චර හදන්න බැලුවත් වාහනේ ස්ටාර්ට් වෙන්නෙ නෑ. අපේ වාහනේ පිටිපස්සෙන් ආපු එයාලගේ වාහනෙත් තියෙනවා. ඒකෙත් සෑහෙන පිරිසක් ඉන්නව, පොඩ්ඩ පොඩ්ඩ දන්න අය කොච්චර උත්සාහ කරල බැලුවත් ස්ටාර්ට් කරගන්න බැරිවුණා. ඒ විතරක් නෙවේ අපි දහ ‍ෙ දෙනෙක් දාලා තල්ලු කෙරුවත් හෙලවෙන්නේ නැති විදියට වාහනේ තද වෙලා.
පස්සේ බොසාට කෝල් කරල එයාගේ හිතවත් මල්ශාලාවකට කියල හර්ස් එකක් ගෙන්න ගෙන මිනී පෙට්ටිය ඒකට මාරු කෙරුවා. අපේ වාහනෙත් ඇදගෙන යන්න ඇවිත් තිබුණා. ඒත් නිකමට වගේ අන්තිම මොහොතේ ගහල බලන්න හිතුණා. මෙන්න බොලේ වාහනය ස්ටාර්ට්. ආපහු මල් ශාලාවට ඇවිල්ලත් ඊළඟ සර්විස් එක එනකලුත් කිසිම කරදරයක් නැතිව දිව්වා. ඇත්ත ඒකයි. නමුත් අපි කියන්නේ නෑ. හොල්මන් අවතාර මැරිච්ච මිනිසුන්ගේ මළ සිරුරු එක්ක ගමන් කරනවා කියල. ඒත් මොකක්දෝ අමුතු දෙයක් සිද්ධ වෙනවා සමහර වෙලාවට.
ඒත් ඊටත් වඩා දේවල් මල් ශාලාවල් ඇතුළේ ඉන්න කොල්ලොයි, ඒකෙ වැඩි කරන අයයි ඕනතරම් දැකල තියෙනව, ඒ වුණාට වැඩිපුර ඒවා ගැන හොයන්නෙ බලන්නෙ කතා කරන්නෙ නෑ. එහෙම වුණොත් මේ රස්සාව කරගෙන ඉන්න ලැබෙන එකක් නෑ.
හැබැයි ඔය මොන දේ ඇහුණත් දැක්කත්, සිදුවුණත් කිසිම කෙනකුට ජීවිත හානියක් අනතුරක් වගේ දෙයක් නම් වෙලා කියල ආරංචියක් නෑ.


---සත්‍ය අත්දැකීම්--- ---සත්‍ය අත්දැකීම්--- Reviewed by InvestCrypto on June 04, 2017 Rating: 5

No comments: