මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

---දියේ ගිලි මියගිය විශ්ව මලී සොයා ගමට එයි---


රත්පැහැ ගැන්වුණු සැදෑ හිරු කිරණ මහ වෙල්යාය වසාගෙන ඇත.

ටාං..... ටාං.... ටාං.......
ගමේ පන්සලේ හයේ තේවා මුරය වෙනුවෙන් හැඬ වෙන ඝණ්ඨාරයේ නාදය දසත පැතිරෙන්නේ දෝංකාරයද සමගින්මය. වෙල්යායට එපිටින් වූ වන ලැහැබ දෙසින් කෙමෙන් කෙමෙන් අන්ධකාරය ගලා එමින් පැවැතිණි. මලී සුපුරුදු ලෙසින් වෙල අයිනෙන් වැටුණු ගුරු පාර දිගේ පොත් මිටියද තුරුල්ලට ගෙන හෙමින් හෙමින් පියවර මැන්නාය.
පාසලෙන් පසු අමතර පන්තියකටද සහභාගි වී ඇය නිවසට පැමිණෙන්නේ මේ වෙලාවටය. ගම ඇයට හොඳින් හුරුය. ඇහැට කනට පෙනෙන පෙනුමකින් යුත් මලී තරමක් දඟකාර යුවතියකි.
ඈතින් එන අන්ධකාරය පිළිබඳ වැඩි කැළඹීමකින් තොරව ඇය සෙමින් සෙමින් ලාලිත්‍යයකට මාවත දිගේ පිය මැන්නේය. ඇයගේ ගමනේ වෙනදාට වඩා යම් රිද්මයක් ඇත. සිතා මතාම ඇය ඇගේ ගමන් රිද්මය වෙනස්කර ගන්නට හේතුවක්ද ඇත. ඒ වෙල අයිනෙන් වැටුණු මාවත කෙළවර පාලම අසල සිටින තරුණයාය. එහි සිටින කෙනා ඈතට නොපෙනුනද කහ පැහැති ටී - ෂර්ට් එක දුටු විට එය කාගේදැයි කියා සිතා ගැනීමට මලීට එතරම් අපහසු නැත. ඒ විශ්ව අයියාගේය.
දුරින් නෑ කමක් තිබුණද නෑ කමට එහා ගිය ළෙන්ගතුකමක් මලී හා විශ්ව තුළ මතුවෙමින් පැවතිණි. මලී තුළ විශ්ව, කෙරෙහි කැමැත්තක් මෝදුවෙමින් පැවතුණි.
මාස කිහිපයකට පෙර සාමාන්‍ය පෙළ විභාගය ලියූ විශ්ව උසස් පෙළට සූදානම් වෙමින් සිටියත් තවමත් සාමාන්‍ය පෙළ ප‍්‍රතිඵල ලැබී තිබුණේද නැත. ඇය ඔහුට වඩා වසරක් බාලය. විශ්ව ඈත එන මලී දෙස ඇසිපිය නොහෙලා බලා සිටියේය. ඇත්තෙන්ම මලී ලස්සනය.
‘මොනවද බලන්නේ ඔච්චර’
‘ලස්සන......’
‘කාගෙද.....?’
‘සියාතු මාමගේ අලූත් වසු පැටියගේ’
‘යනවා යන්ඩ......’
‘ඇත්තට.... අර ලියද්දේ ඉන්නේ’
‘කතා කරන්ඩ එපා මාත් එක්ක මම යනවා...’
‘ඉන්නවා.... මාත් එනවා’
‘මම හිටියේ මලී එනකම්මයි’
‘ඇයි මාමලගේ ගෙදර ගියේ නැද්ද?’
‘නෑ.... මම අද එහෙ යන්නේ නෑ. ඔයාව බලලා ගෙදර යනවා.’
‘යනවා යන්න බොරු කියන්නැතිව...’
ඔවුන් දෙදෙනා හෙමින් හෙමින් ගුරු පාර දිගේ ඉදිරියට ඇදුනේය.
මලීගේ ගමට ගම් දෙකකට පමණ ඈතින් විශ්වගේ නිවස පිහිටියේය. ඔහු සාමාන්‍ය පෙළට පාඩම් කරන කාලයේ නැවතී සිටියේ මලීගේ නිවෙස ආසන්නයේ පිහිටි විශ්වගේ මාමාගේ නිවසේය.
‘දුවන්නැතිව හෙමින් යනවකෝ’
‘මම දුවන්නෑ....’
‘මලී....’
‘මොකද නම පාඩම් කරනවද?’
‘නෑ....’
‘මම දෙයක් අහන්නද?’
‘ඔයා මට කැමැතිද?’
මලී නිහඬය. ඇය විශ්වට කැමැතිය. එහෙත් ගහෙන් ගෙඩි එන්නාසේ ඇසූ දෙයට ඇය තුළ පිළිතුරක් නොවීය.
‘ඇයි උත්තර දෙන්නැත්තේ. අකැමැති හින්දද?’
‘නෑ... මට බයයි’
‘ඒ කියන්නේ ඔයා කැමැතියි’
‘දන්නෑ.....’
ඇය දුවන්නට විය.
‘නංගී.... ඔහොම ඉන්න මම මාමලාගේ ගෙදර යන්නෑ. මම මෙහෙමම යනවා!
ඇය නතර විය.
‘ඔයාව අයිති මට විතරමයි. ගෙදර අය දන්නෑ මම ආවා කියලා. මම යනවා. මම එන්නන් ඔයාව බලන්න’
ඔහු පිටව ගියේය.
මලී හෙමින් හෙමින් නිවසට පිය මැන්නේ හද පිරි සතුටිනි. ඒ ඇයගේ පළමු ආදර අත්දැකීමයි. මොහොතින් මොහොත කාලය ගෙවී ගියේය. ඒ රාත‍්‍රිය ඇයගේ දිගුම රාත‍්‍රිය විය. ඒ ආදරණීය හැඟීම් ඇයගේ නින්දද ඇය වෙතින් උදුරාගෙන ඇත.
‘මේ ඇහුණද?’
ඒ මලීගේ තාත්තාගේ කටහඬය. උදේම කඩයට ගොස් ගෙට ගොඩවන විටම තාත්තාගේ කටහඬ ටිකක් උස් හඬින් ඇසීම එතරම් සුබදායී නොවන බව මලී පුරුද්දෙන්ම දනියි.
පෙරදිනේ වූ සිදුවීම ආරංචි වී ඇත්දැයි බියක් ඇයගේ සිතට නැගී ආවේය. ඇය කාමරයෙන් පිටතට නොපැමිණ එලෙසම සිටියේය.
‘අර රත්නේ අයියලාගේ පොඩි පුතා ගෙඟ් ගිහිල්ලා’
‘චාන්දනීලගේ ගෙදර නතර වෙලා හිටපු ළමයද?’
‘ඔව්’
‘කවදද?’
‘ඊයේ උදේ.... තාම මිනිය ලැබිලා නෑ....’
‘හත් දෙයියනේ...’
‘අම්මේ ඔය බොරු.....’ මට ඊයේ හවස විශ්ව අයියව හම්බවුණානේ.’
‘කොහේදිද?’
‘වෙල පාරෙදී, මම පන්ති ගිහින් එනකොට. එයාව හම්බවුණා. එයා මාත් එක්ක කතා කරලත් ගියා’ ඇය සිදුවූ සියල්ල පැවසුවේ නැත. මේ කතා බහ ගම පුරා පැතිර ගියේ විදුලි වේගයෙනි. හවස් වන විට විශ්වගේ මිනිය සොයා ගත්තත්. එය සම්පූර්ණයෙන්ම විකෘති වී තිබුණි. මලීට මේ සියල්ල තේරුම්ගත නොහැකි විය. ඇත්තටම ඔහු මිය ගියාද? එදා තමන්ගේ ආදරය විමසුවේ කවුරුන්ද?
කාලය හෙමින් හෙමින් ගෙවීගියේය.
ඇගේ පළමු ආදරය වචන ටිකකට පමණක් සීමාවූ අතර ටික දිනකින් ඇගේ සිතින් ඔහු ගැන මතකයද ඉවත්ව ගියේය. උසස් පෙළ සමත්වීමෙන් පසු කොළඹ පෞද්ගලික ආයතනයක රැුකියාවකට පැමිණි ඇය, කොළඹට ආසන්නයේ බෝඩිමක නතර වූවාය. විහඟ ඇය සේවය කළ ආයතනයේම තරුණයෙකි. ඇය පැමිණ දින සිටම ඇය කෙරෙහි වැඩි උනන්දුවක් ඔහු තුළ විය. අවසානයේ ආයතනයට පැමිණ වැඩි දිනක් යන්නට කලින් මලී පෙම්වතියක් වූවාය.
මාස කිහිපයක් ගෙවී ගියේය.
ඇය සුපුරුදු ලෙස සෙනසුරාදා වරුවෙන් වැඩ නිමවී ගමේ යෑමට පිටත් විය. ගොම්මන් කළුවර වෙල්යාය වසාගෙන මෝදු වෙමින් පවතියි. මලී දැන් පිරිපුන් තරුණියකි. ඩෙනිම් කලිසමක් ටී - ෂර්ටයක් ඇද ඇඳුම් බෑගය එක් අතකින් ඔසවාගෙන ඇය ගුරුපාර දිගේ පැමිණෙයි. මලී වෙනස් වුවද ගම එතරම්ම වෙනස්වී නැත. ඇයගේ සිත තුළ කුමක්දෝ චංචල හැඟීමක් මතුවෙමින් පැවතුණි. ඇය තරමක් වේගය වැඩි කළාය. වෙල්යාය නිමවන තැන පාලම මත කහ පැහැති ටී - ෂර්ට් එකක් ඇඳි තරුණයකු ඈතට පෙනෙයි. ඇය එක් වනම නතර විය. ඇයගේ හිත වේගයෙන් ගැහෙයි. එක් නිමේෂයකින් වසර තුන හතරකට පෙර ඇය මුහුණ දුන් සිදුවීම ඇගේ මනස තුළ හොල්මන් කරන්නට විය.
පැසී බරවී ඇති කුඹුරුයාය හරහා වේගයෙන් හමා ගිය සුළඟින් වෙල් යායට ඉහළින් වූ ගස් ඇඹරී යන ඇයුරු ඇය දුටුවේය. ඒ මැරුණු විශ්ව අයියාද? නැතහොත් වෙන අයෙක්ද? ඇගේ සිත සැලෙන්නට විය. ඇගේ ඇඟ සීතල වෙන බව ඇයට දැනුණේය. සිහින් දාඩිය ගත නහවා ගලා යන්නට විය. ඇය පසු පස හැරී බැලූවේ කිසිවෙක් හෝ පසුපසින් එයිදැයි දැන ගැනීමටය. කිසිවකුත් නැත. ඇය ටිකින් ටික ඉදිරියට පැමිණියේය.
ඔහු පාලමෙන් එපිට බලාගෙන සිටියි. මලී වේගයෙන් පාලම මඟහැර යෑමට උත්සහ දැරුවේ ඉතිපිසෝ ගාථාවද පවසමිනි.
‘මලී....’
ඒ විශ්වගේ කටහඬමය. ඇය එක්වනම ගල් ගැසී ගියේය. ඇයගේ දෙපා පණ නැතිවී යන බවක් ඇයට දැනෙන්නට විය. ඇය ඒ දෙස හැරී බැලූවේය.
‘බුදු අම්මෝ...’
ඉදිමී ගිය සැරව ගලන විරූපී වූ බැලීමට තරම් අප්පිරිය අයකු තමන් දෙස බලා සිටිනු ඇය දුටුවාය. ඇය දුවන්නට උත්සහ කළාය. එහෙත් ඇය පාලම මැදට ඇද වැටුණේය.
‘උඹව අයිති මට විතරයි. වෙන එකෙක්ට අයිති වෙන්න මම ඉඩ දෙන්නේ නෑ’ ඇයට අවසන් වරට ඇසුණේ එයයි. ඇයගේ මුහුණට එබෙන්න ඒ විරූපී මුහුණ ඇති කළ බිය ඇගේ ශරීරය අප‍්‍රාණික කළේය. ඇයට සිහිය එන විට ඇය සිටියේ ගමේ වෙද මාමාගේ පූජා කුටිය තුළය. ඒ ඇයගේ ප‍්‍රමාදය නිසා ඇය සොයා ආ පියාට ඇය හමුවීමෙන් අනතුරුවය.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර


---දියේ ගිලි මියගිය විශ්ව මලී සොයා ගමට එයි--- ---දියේ ගිලි මියගිය විශ්ව මලී සොයා ගමට එයි--- Reviewed by InvestCrypto on June 06, 2017 Rating: 5

No comments: