මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

---මිනී කාමරේ මුර කරද්දී ආරියදාසගේ තනියට මහ රෑ ආ අමුත්තා---


ඔහු මිනිස් සමාජය මෙන්ම මළ මිනී සමඟද වසර කිහිපයක් එකට ජීවත් වූ අයෙකි. ඔහු සේවය කළේ. රෝහලේ මිනී කාමරයේ මුරකරු හා බාරකරු ලෙසය. ඊට රැයක් දවාලක් තිබුණේ නැත. එදා අද මෙන් මිනී කාමර වටලා තාප්පවලින් වටකොටවත් සී.එෆ්.එල්. හෝ ටියුබ් ලයිට්වලින් ඒකාලෝක වී තිබුණේ නැත. මලානික ආලෝකයක් නිකුත් කළ ප්ලෝරසන් බල්බයකින් දෙකකින් අවට අඳුර යන්තම් මකාලමින් තිබිණි. සමහර මිනී කාමර තිබුණේ යමකුට මුරකරනවා තබා විනාඩි කිහිපයකට හිටගෙනවත් ඉන්නට හිතෙන්නේ නැති පාළු තැන්වලය.
රැකියාවට ගිය මුල් දවස්වල ආරියදාස ගතකළේ ඉතාමත් අසීරු ජීවිතයකි. එදා අද මෙන් මෘත ශරීරාගාරය තුළ අධි ශීතකරණ තිබුණේ නැත. එහෙයින් සතියකට තුන හතරක් අමු මිනී වරදින්නේ නැත. ඒ අතරේ පැපිලියාන මංසන්ධියේදී ලංගම බස් රථයකට යටවී ගිය තැඹිලි කරත්ත කොලුවාගේ පොඩිපට්ටම්ව ගිය දේහය ආරියදාස මහත් තැතිගැන්මකට ලක්කළේය. එය මිනී කරත්තේ බේසමක් මත ලේ විලක් මැද තවමත් තිබිණි. ආරියදාසගේ දෑස තත්පරයකට හෝ පියවුණේ නැත්තේ ඒ තැතිගැන්ම මතය.
ඔහු මිනී කාමරයේ ජෑම් ගස් යට බංකුවට වී වෛද්‍ය නේවාසිකාගාරයේ දැල්වෙමින් තිබූ ආලෝකය දෙස විපරමින් සිටියේ කවුරුන් හෝ නිදිවර්ජිතව සිටිනු ඇතැයි සිතාය.
වෙලාව රාත්‍රි ‍ෙදාළහ පසුවී තිබිණි. ආරියදාස ගුළිගැසී සිටි රෝහල් බංකුවේ අනෙක් කෙළවර "කිරිස්" හඬ නංවමින් තරමක් පැද්දිණ. තිගැස්සී ඇහැරුණු ඔහු දුටුවේ තමන් සිටි බංකුවේ අනෙක් කෙළවර වාඩි වී සිටි ඉරි සහිත සුදු සරමකින් හා බොක්සින් බැනියමකින් සැරසී හුන් හීන්දෑරි මනුස්සයෙකි. ඔහු ආරියදාස හා සිනාසුණුමුත් වචනයක් කතා කළේ නැත.
"ඔහේ ආපු එක මගේ තනියට හොඳයි" ආරියදාස තම කමිස අත රෝල් කරගෙන සිටි බුලත්විට දිගු කරන ගමන් කීවේය. එය අනුමත කළාක් මෙන් හිස ඉහළට පහළට වැනූ අමුත්තා බුලත්විට ගෙන හපන්නට විය.
"තමුසෙ බයවෙන්න ඕනෙ නෑ. මේ රස්සාව කරගෙන ඉන්නවා" හොල්මන් කතා නොකරන බව ආරියදාස අසා තිබුණේය. එහෙත් බුලත්විට අමුත්තාට දිගු කරන විට ඔහුගේ අත හා ගැටීමෙන් දැනුණු සීතල මළ මිනියකට සමාන බව ආරියදාසට දැනුණි. දෙදෙනා අතර වැඩි කතාබහක් නොවුණත් තනියට ආ අමුත්තා නිසා දෙගිඩියාවකින් හෝ කාලය ගතවී යත්ම පාන්දර ජාමයේ වන විට ආරියදාස නොදැනුවත්වම කිරාවැටෙන්නට විය. නමුත් ඔහු අවදි වන විට අමුත්තා සිටියේ නැත.
පවුලේ ආරවුලක් නිසා සැමියා බිරියගේ බෙල්ල කැපීය. ඇය ලේ විලක් මැද ළතෝනි දී ඇද වැටෙනවාත් සමඟ සැමියා අසල ළිඳට පැන්නේය.
එහෙත් බිරියගේ ජීවිතය අසල්වැසියන් නිසා බේරුණත් සැමියා ළිං පතුලේ තම අවසන් හුස්ම හෙළුවාය.
එම මළ මිනියද අවසානයේ මරණ පරීක්‍ෂණය පැවැත්වෙනතුරු ආරියදාසගේ බාරයට පැවරුණි.

දින දෙක තුනක් අමුත්තා නොපැමිණියෙන් ආරියදාසට දැනුණේ අමුතු කාංසියකි. එක්වරම "දඩස්" හඬක් මිනී කාමරය තුළින් ඇසුණෙන් ඔහු තිගැස්සී ගියේය. තවත් මොහොතකදී මිනී කාමරයේ යතුරු හිලෙන් එබී බැලූ ඔහු දුටුවේ සවස ළිඳට පැණ පන නසාගත් මළ මිනිය සිමෙන්ති මේසය මත වාඩි වී ඉකිගසමින් සිටින අයුරුය. මළ මිනියකට පණ ඇවිත් තිබෙනු ආරියදාස මුල්වරට දුටුවේ එදාය. ඔහුගේ ගත දහදියෙන් තෙත්ව පරාණ කූඩුව සට සටගා වෙව්ලන්නට පටන්ගත්තේය. ඒ බව තවත් වැඩිවන්නට වූයේ තවත් මිනියක් පහුවදා උදේ මෝචරියට ගෙනැවිත් අතෑරපු නිසා නොව ඔවුන් කී දේ නිසාය.
"මේකා ඊයේ රෑ කනමදයා වගේ බීගෙන මදිවට බැදපු මස් වර්ගයක් පාර දිගේ කාකා ඇවිල්ලා.... කනත්ත ළඟදි යකා ගහලා. ආයෙ එතැනමයි" නහයින් කටින් ලේ පෙරාගෙන තිබූ මිනිය බෙල්ල අවට සම්පූර්ණයෙන්ම නිල් පැහැ ගැන්වී තිබුණේය.
"අපෝ... කුලී වැඩක් කරනව මීට සැපයි" සුපුරුදු බංකුව මත ගුළිවී සිටි ආරියදාස සිතුවේය.
"බය වෙන්න එපා ඕයි. යක්කු එතරම් නරක උන් නෙවෙයි. ඒකා මොකටද පුළුටු කකා ආවේ. පුළුටු කියන්නේ මිනිස්සුන්ට අයිති කෑමක්යෑ?"
අමුත්තා බංකුවේ අනෙක් කෙළවරේ සිට අසන විට ආරියදාස අන්දුන්කුන්දුන් වී ගියේය. ඒ නිමේෂයේ ඔහුගේ මතකයට ආවෙ පසුගිය දිනක මිනී කාමරයේ අඬමින් සිටි අවතාරය. ඔහු එය අමුත්තාටද කීවේය.
"මේක ඇතුළට එනවුන් ඔහොම තමයි. මැරුණත් උන් වෛරයෙන්, කේ‍රා්ධයෙන්, දුකෙන් තවමත් ජීවත් වෙනවා. ඒ වුණාට මැරෙන හැම එකාම ඔහොම නැහැ. සමහර මළ මිනී එක්ක ජීවිත කාලයම වුණත් ඉන්න පුළුවන්. මං ආස්සරේ කරල තියෙන යක්කු තමුසෙ ආස්සරේ කරල තියෙනවද ඕයි"
"ඒ.. ඒ.. කොහොමද?" ආරියදාස ඇසුවේ ඇස්ගෙඩි නළලේ රන්දවාගනිමිනි.
"ඇයි අයිසේ තමුසෙට කලින් මංනෙ මෙහේ මුරකාරයා...."
ආරියදාසට උතුර දකුණ මාරු විය. මන්දයත් තමා මේ රැකියාවට ඒමට සතියකට පමණ පෙර එකී මුරකරුවා හෘදයාබාධයකින් මියගොස් සිටි නිසාය. එසේ නම් තමන් මෙතෙක් කල් ඇඟලුම් පෑ අමුත්තා සැබැවින්ම අවතාරයක් බව ආරියදාසට සක්සුදක් සේ පැහැදිලිය.
ඉන් සිදුවුණේ ආරියදාසගේ හිතේ මළවුන් ගැන තිබූ චකිතය, බය ගතින් දුරුව යෑමය. එහෙයින් ඔහුට වසර දහයකටත් වඩා වැඩි කාලයක් මිනී කාමරයේ මුරකරුවා හැටියට සේවය කිරීමට හැකිවූවා පමණක් නොව එකී රාජකාරියේ යෙදීම වෙනුවෙන් එම රෝහලේම සේවකයකු ලෙස උසස් වීමක් ලබන්නට තරම් හේ භාග්‍ය ලද්දේය. එම වාසනාව ආරියදාසට ගෙන ආවේ තමන්ට කලින් මිනී කාමරයේ මුරකළ අමුත්තාගේ අවතාරයයි. සැබැවින්ම අවතාරය විසින් ආරියදාසගේ හිතේ තිබුණු චකිතය බය දුරුකර නොදෙන්නට ආරියදාස මිනී කාමරයේ මුර රස්සාවටද ආයුබෝවන් කියන්නේද මුල් කාලයේදීමය.


Source: Link


---මිනී කාමරේ මුර කරද්දී ආරියදාසගේ තනියට මහ රෑ ආ අමුත්තා--- ---මිනී කාමරේ මුර කරද්දී ආරියදාසගේ තනියට මහ රෑ ආ අමුත්තා--- Reviewed by InvestCrypto on June 04, 2017 Rating: 5

No comments: