මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

---එක භයානක යකෙක්---



ඒ 1926 අවුරුද්ද! ඈත ගම්මානෙක ගුරුකම්වලට, පළාතකම ප්‍රසිද්ධ, තරුණ ගුරුන්නාන්සේ කෙනක් හිටියා… නමින් මොහු විමලසේන! වෙනත් පළාත්වලින් ගුරුන්නාන්සේව හොයාගෙන එන අයටත්, වෙහෙස නොබලා ගුරුකම් කරලා දුන්න මොහු, කල්‍යාණි නමැත්තිය සමග ඇති වූ විවාහ බන්දනයෙන් පසුව,ඈත පළාත් වලට ගිහින් ගුරුකම් කිරීම නැවත නවතා දැමුවේ, පළමුව තම බිරිදගේ රැකවරණයට කැප විය යුතු නිසයි!
එත් එක දවසක්….,.
“ගුරුනාන්සේ... !ගුරුනාන්සේ....!”
මිදුලේ ඉදන් කතා කරන කෙනෙක්ගේ කටහඩ අනුව, ගේ හරහා ආපු විමලසේන,සාලෙට සේන්දු උනේ, මල්ලක් එල්ලාගෙන, දාඩියෙන් නාලා, අමාරුවෙන් හිටන් ඉන්න තරුණ අමුත්තාට, ඉදගන්නයි අතින් සන්කරමින්! හුස්මක් හෙලමින්ම,පුටුවකට වැටුණු අමුත්තා දිහා බලමින්, විමලසේනත් ඉදගත්තේ
“සැහෙන්න දුරක් ගෙවන් ආව හැඩයි” කියමින්!
“අනේ ඔව් ගුරුන්නාන්සේ, ගම් හතරකට එහා ඉදන් මේ එන්නේ!” යි
කියමින් විමලසේන ගුරුන්නාන්සේගේ බිරිද, සංග්‍රහ කල වතුර වීදුරුවෙන්,වෙහෙස ටිකක් දිය කරපු අමුත්තා, තමාව ‘සරත්’යන නමින් හදුන්වා දුන්නා!
“කියමු බලන්න කාරණේ!”
කියමින් බුලත් හෙප්පුව අමුත්තාට දික් කරමින්, හරි බැරි ගැහි වාඩි උන විමලසේන, අමුත්තා කට අරිනකම්, ඇස් වෙහෙසේවුවේ, හිතේ මානෙට, බාහිර පෙනුමෙන්, මොහුගේ ප්‍රශ්නේ මැනගන්න!
“මම මේ ගුරුන්නාන්සේවම හොයාගෙන අවේ,ගුරුන්නාන්සේට කියලා ගුරුකමක් කරගන්න කියලයි! මේ වැඩේට ඔබතුමා ඇර, වෙන කෙනෙක් නැ කියලා රෙකමදාරු කලේ සිරිපාල ගුරුන්නාන්සේ!උන්දැ, දැන් වයසයි නිසා, මේ වැඩ කරන්න බැහැ කියලා තමයි කියන්නේ!” යි සරත් කියද්දී,
“හ්ම්ම් හොදයි! දැන් මොකද්ද, කරගන්න තියෙන ගුරුකම!” යි විමලසේන ඇහුවේ,තව මේ මාසෙට බාර ගත්තු වැඩ කියක්, ඉවර කරන්න තියෙනවද කියලා, හිතෙන් හිතමින්, මේ වැඩේ බාර නොගෙන ඉන්නවා, කියලා හිතට කියමින්!
“මගේ බිරිද මාලනීට, පෙරේත බැල්මක් වැටිලා තිබිලා, කාලෙකට ඉහතදී තොවිලයක් කරලා, සිරිපාල ගුරුන්නාන්සේ, ඒක අයින් කරලා දුන්නා! එත් දැන් දැන් අයෙත් පෙරේත දිෂ්ඨියක් ඇග වැටිලා වගේ, හැසිරෙනවාගුරුන්නාන්සේ…."
"එයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා… ඒ නිසා ඉක්මනින්ම, මේක අහවර කරගන්න කියලා තමයි, සිරිපාල ගුරුන්නාන්සේ කිවුවේ…. ඒකයි මම, වෙහෙස නොබලා, ඔබතුමා හමුවෙන්න මේ අවේ!"
‘අපොයි! ගැබ්බර කෙනෙක් නම්, ටිකක් භයානකයි! අනිත් වැඩ, එකක් දෙකක් එහාට මෙහාට කරලා, මේක කරලා දෙන්න ඕනේ’ යි කියල හිතෙන්ම හිතමින්,විමලසේන කටහඩ අවදි කලේ,
“වැඩත් ගොඩ වෙලා තියෙන්නේ මටත් මේ, හ්ම්ම්…. හොදයි එහෙමනම්, මගෙත් ගුරුවරයෙක් වෙච්ච, සිරිපාල ගුරුන්නාන්සේගේ කීමට, ගරු කිරීමක් හැටියට, මම මේ වැඩේ කරලා දෙන්නම්කෝ!” යි කියද්දී,
“පින් සිද්ද වෙනවා ගුරුන්නාන්සේට, මේ ලැබෙන්න ඉන්නේ අපේ දෙවෙනි දරුවා... එක දරුවෙක් කුසේදීම, නැති උනා කලින්!” යි සරත් කිවුවේ දෙනෙත් වලට ආ කදුළු හංගන්න එළිය දිහාව බලමින්….
“හ්ම් හොදයි! එහෙනම් මම ලෑස්ති වෙලා එනකන් ඔහොම ඉන්න...!”
කියමින් ගෙතුලට වැදුණු විමලසේන ගුරුන්නාන්සේ, හාමිනේටත් විස්තරේ කියා,දවස් කීපයක ගමනට අවැසි දේවල් ලෑස්ති කරගෙන, හාමිනේගේ ආරක්ෂාවට,එහා ගමේ ඉන්න, හමිනේගේම දෙමවුපියන්ගේ ගෙදරට, ඇයව ඇරලලා, සරත් එක්ක ඔහුගේ ගමට, යන්න පිටත් උනා! වෙහෙසකාරී, දවස් එකහමාරක ගමනෙන් පස්සේ, සරත්ගේ ගෙට ගොඩ උන පයින්ම, ඇග දැවටුණු අහිතකර ශක්තිය නිසා,එළියට ආපු විමලසේන ගුරුන්නාන්සේ, එළියේ ගහක් මුලෙන් වාඩි වෙලා, විවේක ගත්තේ, ගේ ඇතුලෙදි තමන්ට දැනුනු ඒ බලවේගේ තරම, හිතෙන් මැන ගනිමින්!
‘හ්ම්ම් ටිකක් දරුණු කාරණයක් වගේ! පෙරේතයෙකුත් නෙවෙයි!’ සිතමින්ම තමන්ලගින්ම වාඩි වෙලා ඉන්න, සරත්ගෙන් ඇහුවේ, “කොයි කලේද මේ සිද්ධිය පටන් ගත්තේ? මොකද්ද උනේ කියලා සම්පුර්ණ විස්තරේ මට කියන්න” කියලයි!
“ගුරුන්නාන්සේ, අපි බැදපු අලුතම, පහල ගග කිට්ටුව තමයි පැල අටවා ගත්තේ!දවසක් හවස් යාමේ, මාලනී ගගට ගිහිල්ලා ඇගපත දොවාගෙන එන්න! මමගෙදරට එනකොට, එයා කොන්ඩෙත් කඩාගෙන,ගෙයි මුල්ලකට වෙලා, දිය රෙද්ද පිටින්ම,වාඩි වෙලා හිටියා, බය වෙලා!”
“මම වද කරලා අහද්දී, තමයි කිවුවේ උන දේ! ….එවෙලේ නම් මම, හිනා වෙලා නිකන් හිටියා ගුරුන්නාන්සේ, මේ ගැනි, කරුවලේ විකාරයක් දකින්න ඇති කියලා! ඒ උනාට දවසෙන් දෙකෙන්, අමුතු දේවල් වෙන්න ගත්ත ගේ ඇතුලේ,වත්තේ එහෙම!….”
“හරි මට කියන්න මාලනී කිවුවද, එයා දැක්කේ මොනාද කියලා?”…. “ඔව් කිවුවා ගුරුන්නාන්සේ, එයා කිවුවේ, මුණ හිටන් කලුපාට රෝම වලින් වැහුණු මිනිහෙක්, ගගෙ එහා පැත්තේ කැලේ ඉදලා, එයා හිටපු පැත්තට,වතුරේ බැහැලා ආවා දැක්ක කියලා!”
සරත්, කතාව නවත්තලා,ටිකක් කල්පනා කරමින්, ගුරුන්නාන්සේ දිහා බලලා කිවුවේ “ඒ මිනිහා, ගග මැද ගැබුරට එද්දි, ටික ටික උස යනවා මාලනී දැක්කලු!අ… ගුරුන්නාන්සේ! යක්කු එනවද එහෙම පේන්න! මම නම් මුලින් මුලින්, මේ ගැනිගේ කතාව විස්වාස කළෙම නැහැ! එත් එදා රෑ ජාමෙ, පොළව හොල්ලගෙන,ගේ වටේ දුවන සද්දයක් ඇහෙන්න ගත්තා!”
“මම බය නැතිව, එළියට බැහැලා බැලුවා ගුරුන්නාන්සේ, මොකටද බොරු කියන්නේ... මම ඉස්තොප්පුවෙන් එළියට බහින කොට, ගේ පිටි පස්සෙන් දුවනවා ඇහෙනවා... මම පිටිපස්සට දුවන කොට, ගේ ඉස්සරහින් දුවනවා ඇහෙනවා!පස්සේ ටිකක් මගේ හිතත් ගැස්සුනා!
එත් මම, ඉස්සරහ කෑල්ලේ නැවතිලා බලන් හිටියා, දුවන එකා කොයි වෙලාවේ හරි, ඉස්සරහින් දුවයි නේ කියලා!” …. “ටික වෙලාවකින් සද්දේ නැවතුනා!….මමත් ‘දොර ලෑල්ල’ දාලා, ගෙට වෙලා හිටියා, බිමට එළිය ටිකක් වැටෙනකන්!යාන්තමට වගේ, එළිය වැටීගෙන එනකොට, මම එලියට බැහැලා බැලුවා ගුරුන්නාන්සේ, මගේ ඇස් දෙක, විස්වාස නැති උනා මට එවෙලේ!”
“ගේ වටේම බිම, ඌරො හාරලා වගේ, වලවල් හැදිලා තිබුනා! වටේම තියෙන ගස් වල පොඩි ඇති පතු, ගේ මිදුලේ හැම දිහාවේම වැටිලා, හරියට සුලියක් මිදුලේ කැරකිලා වගේ! දෙවෙනි දවසේ, දුවන සද්දේ ඇහුනේ නැහැ! ඒ උනාට වහලේ, පොල් අතු උඩ ඇවිදිනවා, ඇහෙන්න ගත්තා රෑ පුරාම! මම හිතුවේ වහලේ, කඩන් වැටෙයි කියලා…. අලියෙක් වහලේ උඩ ඇවිද්දා වගේ”
“එවෙලේ නිකමට වගේ හිතිලා, හොද තිත්ත කුණුහරුපෙන්, කෑගහල බැන්නාමම... ටික වෙලාවකින් සද්දේ නැවතුනා! යන්න ඇති මොකා උනත් කියලා,හිතලා අනිත් පැත්ත හැරෙන්න උනේ නැහැ, ගේ ලගටම වෙන්න තිබුන කොස් ගහේ, මහා විසාල අත්තක්, ඒ පැත්තේ වහලෙයි බිත්තියයි, කඩාගෙන ගේ ඇතුලට වැටුනා!”
“අපි ඇදී රෙදි පිටින්ම දිවුවා, එහා වත්තේ ගෙදරට! අටවා ගත්තු ගේ,පැත්තක්ම බිදිලා ගිහිල්ලා තිබුන, උදේ ඇවිත් බලද්දී! මාලනිව එයාලගේ අම්මලාගේ ගෙදර නවත්තල, මම ගියා, සිරිපාල ගුරුන්නාන්සේ හම්බවෙන්න!ගුරුන්නන්සේව එක්කන් ගෙදර එන කොට තමයි, මම දැනගත්තේ, මාලනීට දරුවෙක් ලැබෙන්න ඉදලා, ඒ දරුවා උදේ, නැති වෙලා ගියා කියලා!”
“නැන්දම්මා කිවුවේ මාස තුනක් වගේ, වෙන්න ඇති කියලා ඒ දරුවට! සිරිපාල ගුරුන්නාන්සේ තොවිලයක් නටලා, සෙත් ශාන්තියක් කරලා කිවුවේත්, ආයෙත් මේ යකා එන්න ඉඩ තියෙනවා,ඒ නිසා පරිස්සමෙන්, ජිවත් වෙන්න කියලයි! ඒ කිවුවත් වගේ, දැන් දෙවෙනි දරුවා ලැබෙන්න මාස 4 ක් තියා, අයෙත් මේ කරදරේ පටන් ගත්තා නේ, ගුරුන්නාන්සේ!”
යි කියමින්, සුසුමක් හෙලමින්, කතාව අවසන් කරපු සරත් දිහා, බලන් ඉදපු විමලසේන ගුරුන්නාන්සේ, ටිකක් වෙලා නිහඩවම කල්පනා කළේ, මේක නිකන් පෙරේත බැල්මක් නොවෙන එකේ, අගක් මුලක් නොදැන, වැඩේට අත ගහන එක,එක භයානකයි කියලයි!
“සිරිපාල ගුරුන්නාන්සේ, පණිවිඩයක් එවලා තියෙනවා, ඇවිල්ලා හම්බ වෙන්න කියලා, විමලසේන ගුරුන්නාන්සේට!” යි
සරත්ගේ නෑදෑ කෙනෙක් කියද්දී, විමලසේනට හිතුනේ, කෝකටත් කල යුතු දේ පිලිබදව, අවසන් නිගමනයකට පැමින්නෙන්න, සිරිපාල ගුරුන්නාන්සේගේත් අදහස දැනගැනීම, වටිනවා මෙතනදි කියලායි
“හොදයි! එහෙනම්, මම කියන බඩු ටික ලෑස්ති කරලා තියන්න, මම ගිහින් සිරිපාල ගුරුන්නාන්සේව හම්බ වෙලා එන්නම්!”
කියමින්, තොවිලෙට එකතු කරගත යුතු බඩු, විස්තර කරලා, සරත් විසින් ලෑස්ති කර දුන් ගොන් කරත්තෙට, නැග ගත්තු විමලසේන, වෙහෙස නොබලා, එහා ගමේ ඉන්න, සිරිපාල ගුරුන්නාන්සේව මුණ ගැහෙන්න ගියේ, තමාට වැඩි අත්දැකීම් ඇති, සිරිපාල ගුරුන්නාන්සේටත්, බැරි උන වැඩේ, තමා කරන්නේ කොහොමද කියලා කල්පනා කරමින්!
පැය දෙකක පමණ ගමනකින් පසු, සිරිපාල ගුරුන්නාන්සේගේ, ගේ පැත්තට, කරත්තේ හැරෙද්දීම, ඉස්තෝප්පුවේ, හාන්සි පුටුවේ, දිග ඇදිලා ඉන්න,සිරිපාල ගුරුන්නාන්සේව දැකපු විමලසේනට, හිතුනේ මිට අවුරුද්දකට පෙර,තමාගේ විවාහ මංගල්ලෙට සහභාගී වෙද්දී, හිටියට වඩා, දෙගුණයක් විතර, සිරිපාල ගුරුන්නාන්සේ, දැන් වයසට ගිහින් ඇති බවයි!
බාගෙට එක් තැන් වෙලා ඉන්න, සිරිපාල ගුරුන්නාන්සේගේ දැනුමෙන්, විශාල ප්‍රමාණයක් විමලසේනට තෑගි කරපු ගුරුන්නාන්සේ…ගුරු හරුකම් අතරින්,නිතරම කිවුවේ,
“මේ වැඩේ තනියම කරන්න වුනොත්, නොකර අත අරින්න,වෙන දේවල් හිතන්න එපා! සමහර දෝෂ කර්මනුකුලවයි සිද්ද වෙන්නේ!”
“ඒවා වලක්වන්න ලේසි නැහැ! ඉතින් මේකට හවුල් කරගන්න කෙනෙක් නැති උනොත්, ශාන්ති කර්මයක් කරලා අයින් වෙන්න!”
උපදෙස් වලට වඩා, අවවාද ලබපු විමලසේන ගුරුන්නසේ, එතනින් එන්න පිටත් උනේ, හිතේ බරක් එක්ක!
“අහවල් ගමේ ඉන්න ගුරාව, අඩගහ ගන්න බලන්න!” තනියම නම්, කරන්න එපා ළමයෝ තෙරුනානේ!” යි
සිරිපාල ගුරුනන්න්සේ අවසානේටත් කියපු නිසාම, ඒ ගමටත් ගිය විමලසේන ගුරුන්නන්සේ, ඒ ගමේ ගුරුන්නසේගෙන් මේ වැඩේට, දායකත්වය ඉල්ලු සැනින් ඔහු කිවේ,
“අපෝ ඔය වැඩේනම් මට බාරගන්න බැහැ! ඕක නුලෙන් ගැස්සුනොත්, මගේ බෙල්ල තමයි, දෙන්න වෙන්නේ යකාට!” කියලයි…
බඩ දරු අම්මා කෙනෙක්ව, අනතුරේ දාලා, අහක බලාගෙන යන එක හරිද? තමාගේ බුද්ධිත් එක්ක, මනුස්සකම ගැටෙද්දී, බුද්ධියට වඩා මනුස්සකම ගැන හිතපු විමලසේන ගුරුන්නසේ, තනියම හරි, මේක හැකි පමණින්, ඉවරකල යුතුයි කියලා, අවසානයේ, අවාසනාවන්ත, අවසන් නිගමනයකට ආවා!
දරුවෙක් ලැබෙන්න ඉන්න කාන්තාවකගේ ඇගට, යකෙක් ගෙන්වීම, ඉතාම භයානක දෙයක් වගේම, දරුවා ලැබෙනකන්, වැඩේ කල් දැම්මොත්, යකා දෙවෙනි බිල්ලත් ගන්නවා නිසැක බව, සිරිපාල ගුරුන්නසේ කියූ හැටියෙන්, දැනගත් විමලසෙන ගුරුන්නාන්සේ, කලයුතු වත් පිළිවෙත් ධාරණය කරගෙන, හිතේ හයියෙන්,තොවිලේ පටන් ගත්තා!
රෑ මදියමේදී, ගුරුන්නසේ දන්නා ශිල්ප යොදා, යකාව, මාලනිගේ ඇගට ගෙන්න ගත්තේ, දරුවටවත් ආතුරයටවත්, හානියක් කල නොහැකි වෙන්න පුටුවකට තියලා බැදලා, ඒ පුටුවත් හොලවන්න බැරි වෙන්න පොළවට තියලා බැදලායි!
මන්තර ජප කරලා යකා ගෙන්නුවත්, මාලනිගේ ශරීරයට, යකා ආ බව දැන ගැනීමට, කිසිම හෝඩුවාවක් නොපෙන්වා, මාලනී ඉතාම නිශ්ශබ්ධව ඉදගෙන ඉදීමෙන්, මේ යකා, වෙන යක්කු වගේ මෝඩයෙක් නොවන බවත්, කලබල කාරයෙක් නොවුනත්, ඉතාම භයානකම, වර්ගයේ එකෙක්, විය හැකි බවත්, එ මොහොතෙ විදුලියක් වගේ, විමලසේන ගුරුන්නාන්සේගේ ඔලුව හරහා ගියේ,ඔහුගේ හිත ටිකක් ගැස්සේද්දියි!
නර බිල්ලක්ම හැර, උබලගේ ලේ නැති කුකුල්ලු මට එපා!

‘හොදයි! එහෙනම් බලමුකෝ, උබේ රගපෑම කෙලවර වෙන තැන!’ යි හිතමින්,ගුරුන්නාන්සේ විවිධ මන්තර භාවිතා කරමින්, කිහිප වරක්ම,යකාට කතා කරන්න අණ කලා! ඒත්, කිසිම හැල හොලමනක් නැතිව, ගුරුන්නාන්සේව සතපහකට මායිම් නොකර ඉන්න, මේ යකා දැකලා, විමලසේනගුරුන්නාන්සේට, කෙන්තියකටත් වඩා ඇති උනේ විස්මයක්! ‘මේකා නම්,පොඩි පහේ යකෙක් නවෙයි!'....
හොදයි බලමු එහෙනම්, උබට මම, පරාද වෙයිද කියලා අද!’ යි සිතමින්, වඩා බලගතු මන්තරයක්, වතුරට ජප කරලා, පොල් මල් කිනිත්තකින්, මාලනිගේ ඇගට ඉස්සෙ,“දැන් උබේ කටේ, අගුලු ඇරෙයි නේ” කියමින්! ඒ කිවුවත් වගේම ඇගට, මන්තර වතුර වැටෙත්ම, අමාරුවෙන් ඇබරුණ මාලනී, ඔලුව උස්සල, එක එල්ලේ ගුරුන්නාන්සේ දිහා බැලුවේ, බැල්මෙන් තර්ජනය කරමින්!
මන්තර හැසිරවීම ගැන, හොද අවබෝධයකින් වගේම, මන්තර පාවිච්චි කරලා,අත්භූත බලවේග පාලනය කිරීම ගැන, රටේ නම ගිය කෙනෙක් උන, විමලසේන ගුරුන්නාන්සේ වචනයක් වත් නොකියා, ඒ බැල්ම ගණනකටවත් නොගෙන,තවත් සැරයක් පොල් මල් කිනිත්තෙන්, වතුර ටිකක් ඉහළා... බැමි ලිහුවොත්,පැනලා ඇවිත්, තමන්ව මරන්න තරම් කේන්තියක් ලියවිලා තිබුන, මාලනිගේ ඒ බොර පාට ඇස් දිහා බලාගෙනම, තවත් බලගතු මන්තරයක්, වතුර කෝප්පෙට මතුරන්න ගත්තේ, ‘උබ බය කරන්න, වෙන කෙනෙක් හොයාගනින්’ කියන්නා වගේ!

ටිකක් දුරට මන්තරේ මතුරද්දී, ඒ බලගතු මන්තරේට මෙල්ල උන යකා,ඉතාමත් ගැබුරු ස්වරයකින්,…. “මම, කල්ප කාලාන්තරයක් බලන් ඉදලයි,වරයක් ගත්තේ, නර බිල්ලක් ගන්න! එක නොගෙන මම යන්නේ නැහැ!”යි කිවුවත්, ගුරුන්නාන්සේ ඇහුනේ නැ වගේ, තමන්ගේ පාඩුවේ මන්තරේ මතුරද්දී, නැවතත් යකා කතා කලා! “මට මේ බිල්ල ගන්න නොලැබුනත්, වෙන නරයෙක්ව හරි බිලි ගන්නවා!
උබ මාව මේ ශරීරයෙන් එලෙවුවට, උබේ මන්තර වලට බැහැ, මම බිල්ලක් ගන්න එක නවත්තන්න! යි කියමින්, පුටුවට තියලා බැදපු බැමි වලින්,ගැලවෙන්න දගලන්න ගත්තයින්, නැවතත් මන්තර වතුර ටිකක් ඉහළා යකාව,යටත් කරගත්තු ගුරුන්නාන්සේ, “ඉතින් උබ එක බිල්ලක් ගත්ත නේද! දැන් උබේ වරය ඉවරයි නේ! මොකටද තවත් මෙතන ලගින්නේ” යි සැරෙන් අහද්දී, “මම ගත්තු බිල්ලක් නැහැ...මමබිල්ලක් නොගෙන යන්නෙත් නැහැ” යි යකා නැවතත් කිවුවා!
මුගේ බය නැති කම මදිවට පොළව පැලෙන බොරුත් කියනවනේ! යි හිතමින් ගුරුන්නාන්සේ,….“එතකොට මේ අතුරයාගේ, පලවෙනි දරුවා, බිලි ගත්තේ,උබේ සනුහුරේ වෙන එකෙක්ද!” යි අහද්දී, නිහඩව බලන් ඉදපු යකා, ඉදිරියට නැමීගෙන, මහා හයියෙන් කෑගහලා කිවුවේ… “මම ගත්තු බිල්ලක් නැහැ!බිල්ලක් නොගෙන මම යන්නේත් නැහැ!” කියලයි! ඒ වෙලාවේ,ගුරුන්නාන්සේට හිතුනේ, ‘සමහර විට කලින් දරුවා, ස්වභාවික විදියට නැතිඋනාද දන්නේ නැහැ, නැත්තන් මු, මේ හැටිම, මැරෙන්න හදන්නේ නැහැනේ’කියලයි!
‘පෙරේත ආත්මයක්’, ‘යකෙක්’ බවට පත් වෙන්නේ, කල්ප කාලාන්තරයක්, දුක් විදීමෙන් බව, විමලසේන ගුරුන්නාන්සේ දැනගෙන හිටියා! ඊටත් වඩාකාලයක්, වරයක් ලබා ගන්න, දුක් විදිය යුතු බව, සිරිසේන ගුරුන්නාන්සේගේ වචනෙන්, දැනගත්තු විමලසේන, මෙහෙම දුක් විදපු යකෙක්ව, ලේසියෙන් එළවන්න නොහැකි බවත්, රවට්ටලා වචනෙට බඳවා ගත්තත්, යකෙක් තියා මිනිහෙක් වත්, පොරොන්න්දු ඉටු කරන්නේ නැති නිසාම, ගුරුනන්න්සේ තීරණය කෙරුවේ, කාලයක් යනකන් බිල්ලක් ගන්න බැරි වෙන්න, යකාව මන්තර වලින් බැඳීමටයි!
එත් සිරිපාල ගුරුන්නසේගේ, දැඩි අවවාදය උනේ, ‘බිල්ල ගැනීම පහු කරවල,මන්තර වලින් බැදවිමක් කරන්න එපා’, කියන එක බව විමලසේනට මතක් උනේ, “ළමයෝ මන්තර වලින් හිර කලාම, උන් වයිර බැදගන්නවා... ඔය ළමයත් ඉස්සරහට, පවුල් පන්සල් වෙන්න එපැයි! ඒ ගැනත් හිතන්න! මු වරයක් ගත්තු එකෙක්! එහෙම එකෙක්, වැඩි කාලයකට බන්දන්නත් බැරි එකේ, බිල්ලක් ගන්නකන්, උබේ පස්සෙන්, ජිවිත කාලෙම පන්නයි!එකේ දෙකක් නැහැ අයේ!”
“කර්මයක් වෙනස් කරන්න, උබටයි මටයි, කරන්න දෙයක් නැහැ! දෙවි කෙනෙක්ගෙන් වත් උදවුවක් නැත්තේ එකයි! ඒ නිසා උබ, සෙත් ශාන්තියක් කරලා, ඒ ගැනිට ආරක්ෂාවක් කරපන්! ඔය බඩ දරු අම්මව බේරන්න නම්,උබට ඌව මන්තර වලින් බන්දන්නම වෙනවා! ඒ කියන්නේ ඌ වැටෙනවාඋබේ පස්සෙන්! මම හිතන්නේ නැහැ, ඌව රවට්ටලා නම්, එලවගන්න පුළුවන් වෙයි කියලා!
අනුන්ගේ දානෙට උබ අත ගහලා, විහින් මැරෙන්නයි වෙන්නේ උබට! මතකතියාගනින් විමලසේන, ‘උබට කවද හරි, පසු තැවෙන්න වෙයි, උබ මුව බැන්දුවොත්!” සිරිසේන ගුරුන්නසේ, කියූ වදන්, ඔලුවේ කැරකෙද්දී,විමලසේන හිතුවේ, කර්මයක් කියලා, ජිවිත දෙකක්, නැති වෙනකන් බලන් ඉන්න බැරි නිසාත්, තමන්ට බේරෙන්න නම්, තමන් දන්නා මන්තර, හොදටම ඇති බව දන්නා නිසාත්, අනිත් කාරණා අමතක කල ගුරුන්නාන්සේ, යකා එක්ක ගනුදෙනුවට ලෑස්ති උනා!
“හරි! උබට ප්‍රාණියෙක් නේ ඕනේ, මම උබට, දෙන්නම් ප්‍රාණියෙක්!, එකා අරගෙන මේ අතුරයව නිදහස් කරපන්, මම උබට දැඩි දඩුවම් කරන්න කලින්!උබට කැප කරන ඒ ප්‍රාණියව අරගෙන, නැවත කරදර කරන්න, එන්නේ නැහැ කියලා, සතර වරම් දෙවි රජවරුන්ගේ නමින් දිවුරලා, මේ ආතුරයාව, නිදහස් කරලා යන්න ඕනේ!මේක උබට දෙන, අවසාන අවස්ථාව!”
යි ගුරුන්නාන්සේ කිවුවේ, මෙහෙම යකෙක්ව, එලවන්න, දඩුවම් දෙන්න,ඇරුණම බිලි ගැනීම නවත්තන්න මන්තර තියා, මන්තර මාත්‍රයක්වත් තමන් දැන නොසිටියත්, යකා බය කරලා, රවට්ටලා, එළවීම ගොඩක් වෙලාවට,සාර්ථක ක්‍රමයක් වීම නිසාත්, ගොඩක් යක්කු මේ ආකාරයේ ගණුදෙනුවට,අවසානයේ කැමති වෙන නිසාත්ය! ගුරුන්නාන්සේගේ හිතේ තියෙන දේ,ඉවෙන් වගේ දැනගත්තු යකා, පෙරටත් වඩා හයියෙන් දගලමින්, කෑගහමින්“මට එපා උබලගේ ලේ නැති කුකුල්ලු!”
“මම ගන්නේ මනුස්ස ප්‍රාණියෙක්ව විතරයි! උබට පුළුවන්, මාව මේ පුටුවටම තියලා, හැමදාම බැදලා තියන්න! හැබැයි මම ගැලවුන දාට, බොට වෙන්නේ මැරෙන්නයි!” යි කියද්දී, විමලසේන ගුරුන්නාන්සේගේ, ඉවසීමේ සිමාව පැන්නයින්, දුම්මල සහ හුළු අත්තක් අරගෙන, මාලනී දිහාවට, යමින් ගමන් කිවුවේ “නැ උබට මම, කිසිම ප්‍රාණියෙක් කැප කැරෙන්නේ නැ! උබ දැන්, මේ දැන්, මේ ශරීරෙ ඇත ඇරලා යන්න ඕනේ!”
“නොගියොත් උබට මම කරන දේ දැනගන්! “බල සම්පන්න, ‘වෙසමුණි රජුන්’,අපේ මහා කාරුණික, ‘බුදු පියාණන්ට’ කිවා වගේ, පේවෙලා ඉන්න, මේ උපාසිකාවට වගේම, ජිවිත කාලයක්ම, මස්මාංශ අනුභාවයෙන් තොර වෙලා,පන්සිල් රැකගෙන, ජිවත් වෙන මගේ, කීමට ගරු නොකර, උබ මේ කරන කරදරය, මම කියනවා..... උබේ ‘යක්ෂ ස්වාමියන්ට’, දහස්ගණන් ‘යක්ෂ සේනාධිපතියන්ට’.... උබට අයිති නැති, පරාණයක් ගන්න, තවත් තැත් කලොත්, ‘යක්ෂ සෙන්පතියෙක්ව’ ගෙන්නලා, උබේ ඔලුව හත් කඩකට පලවනවා මම දැනගන්!”
“එතනිනුත් නොනැවතී, මම මේ කරදරය කියනවා, ‘හතළිහක් වෙන මහා යකුන්ට’.... ‘සතරවරම් දෙවියන්නට’….! ගම් හතක් ඇතුලත, කවදා හරි දවසක,උබ ගැන මට දකින්න, දැනගන්න, අහන්න, ලැබුනොත්, කලින් කි දඩුවම, උබට ලබා දෙනවා, මම සහතිකෙන්ම!” යි මහා හඩින්, වේගෙන් කියාගෙන යද්දී,මාලනී ඔලුව පහත් කරගෙන නිහඩ උනායින්, ගුරුන්නාන්සේ හිතුවේ, යකා යටත් වූ බවයි!
නමුත් ඔහු දැනගෙන හිටියේ නැහැ, ඔහු විශ්වාස කලේ නැහැ, සතරවරම් දෙවියන්ටවත් කීකරු නොවී, මේ යකා, කල්ප කාලාන්තරයක්, පෙරුම් පුරලා බලාපොරොත්තු උන, නර ප්‍රාණයක් අරගෙන මිසක්, හිස් අතින්, පිටමන්වෙන්නේ නැති වෙයි කියලා! යකා නිහඩ උනේ, අවස්ථානුකුලව පමණයි කියලා, ගුරුන්නාන්සේ දැනගනිද්දී, වෙන්න ඕනේ හැම දෙයක්ම වෙලා ඉවරයි කියලා, යකා නම්, එදා දැනගෙන ඉන්න ඇති!
වචනෙන්, වචනේ, බලෙන් වගේ කියවගෙන, යකාගෙන් පොරොන්දුවක් ගත්තේ, නැවතත් මේ ආතුරයාට, එයාගේ දරුවන්ට, කරදරයක් නොකරන බවටයි! යකා එහෙම වචනයකින්,පොරොන්දුවක් උනාට පස්සේ තවත්, බලගතු මන්තර කිහිපයකින්ම, යකාගේ නිදහස සිමාකරවලා, යන එන තැන් සිමා කරවලා, යකාව නිදහස් කරපු ගුරුන්නාන්සේගේ, මුණ දිහා, ටිකක් වෙලායනකන් බලන් ඉදපු යකා, මාලනිගේ ඇගෙන් පිට උනා!
තොවිලේ ඉවර කරලා, සෙත් ශාන්තියකුත් කරපු ගුරුන්නාන්සේ, වැඩි හොදට,ආරක්ෂාවකුත්, ගේ හතර කොනට කරලා, හැකි තරම් මස් මාංශයෙන්, තොර වෙලා පන්සිල් වලට ලං වෙලා, ජිවත් වෙන්න, මාලනීට සහ සරත්ට, දැඩි ලෙස අවවාද කරලා, ගෙදර එන්න පිටත් උනේ, යමින් ගමන්, සිරිපාලගුරුන්නාන්සේවත් හම්බ වෙලා, යන්න හිතා ගෙනයි!
සිරිපාල ගුරුන්නාන්සේගේ, අසනීපය වැඩි වෙලා, කලින්දා හවස, එයාගේ පුතා,තම ගෙදරට, ගුරුන්නාන්සේව රැගෙන ගිය බව, ගමේ කෙනක්ගෙන් දැනගත්විමලසේන, කෙලින්ම ගෙදර බලා එන්න, පිටත් උනා!එමින් ගමන්, තමන්ගේ බිරිදවත්, ඇගේ මහා ගෙදරින්, එකතු කරගත්තු විමලසේන ගුරුන්නාන්සේ, ගෙදරට ආ පයින්ම කලේ, කිසිම මළගිය ප්‍රාණියෙකුට, ඇතුල් විය නොහැකි ලෙස, වත්තේ හතර කොන, ප්‍රබල මන්තර යොදලා, ආරක්ෂාව තර කිරීම සහ,ගේ හතර කොනත්, එවැනිම මන්තර වලින් ආරක්ෂා කිරීමයි!
ඉන් පසුව, කිසිම හැල හොල්මනක්, කරදරයක්, විශේෂ සිදුවීමක්, සිදු නොවී,බොහොම නිශ්ශබ්ධ, මාස කිහිපයක් ගෙවුනත්, විමලසේන ‘ඒ භයානක යකා’ගැන තම අවධානය අඩු කලේ නැහැ!කාලයක්ම, කිසිම කරදරයක් නැතිව,ජිවත් උන විමලසේනට, හෙනහුරා ලැබුවේ, තම බිරිදට දරුවෙක් ලැබෙන්න මාස අටකුත් නික්මෙද්දියි! තම බිරිද ඉන්න තත්වෙන්, ඇයව තනි කරලා,ගමෙන් පිට නොවෙන්න, විමලසේන ගුරුන්නාන්සේ, තදින් හිතාගෙන හිටිය නිසාම, ඔහු ගමේ වැඩ වලට ඇරුනම, ගමෙන් පිට කිසිම වැඩකට නොගිහින් හිටියා!
එක දවසක්, රෑ ජාමේ, දොරට ගහන සද්දයක් ඇහුනු විමලසේන, වහාම ගොස්දොර ඇරියේ, මේ වෙලාවට, ගෙදරට එන්නේ, ගමේ අයෙක් බව දැනගෙනයි!ඒ හිතුවත් වගේ, ‘ගමේ ගැණු කෙනෙකුට යකෙක් වැහිලා, ළිදට පනින්නදගලනවා’ යි ආ අය පැවසුවත්, විමලසේන කිවුවේ, “මට මේ රෑ එන්න හැටියක්නැහැ! ආතුරයාව රෙද්දකින් ඔතලා, පුටුවකට තියලා බදින්න! මම උදෙන්ම එන්නම්” කියලයි!
එළි උන හැටියේම, පණිවිඩ කරුවෙක් යවලා, බිරිදගේ මව, ගෙදරට ගෙන්වා ගත්තු විමලසේන, ගේ වටේ ආරක්ෂාවන් තර කරලා, “මම එනකන්, කිසිම කෙනෙකුට, දොර අරින්න එපා!” යයි තදින් අවවාද කරලා, රෑ වෙන්න කලින්,එන්න බලාගෙන, ගමේ කෙළවරක තියෙන, අවේස උන ආතුරයාගේ, ගෙදරට ගියා!
ඒ ගියත්, විමලසේන ගුරුන්නාන්සේට, සැරෙන් සැරේ, අමුතුම හැගීමක්, අමුතු සංකාවක්, හිතට එබෙමින් තිබුන, බව දැනුනත්, හිතට වෙර අරන්, තොවිලය කරලා අතුරයව නිදහස් කරවලා, සෙත් ශාන්තියක් කරලා, එන්න පිටත් වෙද්දී ඉරත් බැහැලා ගිහින්! වත්තට ඇතුළු වෙද්දී, පළමුව වත්තේ හතර කොන,පරික්ෂා කිරීම, විමලසේනගේ දින චර්යාවේ කොටසක්!
වත්ත වටේම ගිහින්, ආරක්ෂාවට හානියක් නැති බව ස්ථිර කරගෙන, ගේදොර ලගට ගිහින්, බිරිදගේ නම කියමින්, දොරට තට්ටු කලා, කිහිප වරක්ම!බිරිදගේ මවටත් කතා කරමින්, දොරට තට්ටු කලත්, ගේ ඇතුලෙන් හිනීයටවත්,හඩක් නැති නිසා, ඔලුව පුරා නැගෙන, භයංකර සිතුවිලිත් එක්ක, වේගෙන් දොරේ වැදෙමින්, ඔහු දොර කඩාගෙන, ගේ ඇතුලට ගියේ, බිරිදගේ නම කියලා කෑගහමින්!
හොල්මන් වගේ නැගී සිටින, පුටු මේස අස්සෙන්,රෑ අදුර ගලන, බිරිදගේ කාමරේට, ඔහු දිවුවේ අවසිහියෙන් වගේ! ඒ අඩ අදුරින් ඔහු දැක්කේ, හොද සිහියෙන් මනුස්සයෙකුට, බැලිය නොහැකි දසුනක්! ‘බිරිදගේ දෙකඩ උනශරීරය, ඇදේ පැත්තක, ලේ ගංගාවක් මැද, වැටිලා තියෙද්දී... ඊට එහායින්,බිරිදගේ මවගේ, ඔලුව නැති ශරීරය, වැටිලා තියෙනවයි!’
ගිය සැනින්, දැතින් හිස බදාගෙන, එළියට ආපු ගුරුන්නාන්සේ, මහා හඩින් කෑගහමින්, මිදුලේ වැටිලා ඇඩුවේ, ගමේ මිනිස්සු, රෑන් පිටින්, ගේ ඇතුලේ පිරෙද්දියි! වෙනත් අයගේ උදවුවෙන්, මළ ගෙදර වැඩ කටයුතු කෙරෙද්දී, කතා බහක් නැතිව, බිම ඉදගෙන, ඇත බලන් ගුරුන්නාන්සේ, කල්පනා කළේ,කොහොමද මේක උනේ කියලයි!
‘මැරුණු, කුරුල්ලෙක්ට වත්’ වත්ත උඩින්, පියාබන්න බැරි තැනට, ආරක්ෂාවන් කරලත්, කොහොමද, යකෙක් මගේ වත්තට රිංගුවේ! ඔහුට දැනුනේ, ඔහුගේ ඔලුව විකාරයක් වේගෙන එනවා වගෙයි! මළ ගෙදරට ආපු, සිරිසේන ගුරුන්නාන්සේ, වෙනත් කෙනෙකුගේ වාරුවෙන්, විමලසේන ලගට අවේ,“මෙහෙට වරෙන්, උබට යමක් පෙන්නන්න” කියමිනුයි!
අවසිහියෙන්ම, නැගිට ගත්තු විමලසේන, සිරිසේන ගුරුන්නාන්සේ එක්ක ගියේ, ගෙදර වම් පැත්තේ, බිත්තිය ලගටයි! “අර බලපන්!” කියමින්, උඩ අතට ඇගිල්ලක්, දික් කරපු සිරිසේන ගුරුන්නාන්සේගේ අත අනුව ගොස්, ඒ දිශාව,බලපු විමලසේන දැක්කේ, අල්ලපු වත්තේ පොල් ගසක අත්තක්, ලාවට වගේ,තමන්ගේ ගෙදර වහලෙට, නැමිලා තියෙන බවයි! මිනීමැරුමේ, සියලු කාරණා පැහැදිලි වෙද්දී, විමලසේනට මතක් උනේ, සිරිසේන ගුරුන්නාන්සේ, කලින් දාක, කියපු දෙයයි!
“මතක තියාගනින් විමලසේන, ‘උබට කවද හරි, පසු තැවෙන්න වෙයි’, උබ මුව බැන්දුවොත්!”

Source: Link


---එක භයානක යකෙක්--- ---එක භයානක යකෙක්--- Reviewed by InvestCrypto on June 23, 2017 Rating: 5

No comments: