මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

---මුළු රැයක්‌ පුරා භූතයෙක්‌ පස්‌සෙන් එයි---


මේ සිද්ධිය වන විට මට වයස අවුරුදු පහළොවක්‌ පමණ ඇත. පහ ශිෂ්‍යත්ව විභාගය සමර්ථ වී මම වලල මධ්‍ය මහා විද්‍යාල නේවාසිකාගාරයට ඇතුළත් වුණෙමි. ගෙදර සිට විදුහලට දුර සැතපුමක්‌ පමණ වුවත් ශිෂ්‍යත්වය සමර්ථ වූ නිසා නේවාසිකාගාරයේ නැවතී ඉගෙනුමට මට සිදු විය. එක්‌ දිනක්‌ උදැසන නැඟිටින විට ඉවසිය නොහැකි තරම් දරුණු උණකින් මම පෙළුණෙමි. දහවල් වන විට ඇඟ කසමින් ඇඟේ කුඩා බිබිලි කිහිපයක්‌ මතු විය. දරුණු උණ සමඟ ඇඟපත දරුණු ලෙස කකියයි. හිස කෙළින් තබා ගැනීම පවා අසීරුය. ඒ නිසා නේවාසිකාගාර භාර ගුරු මහතාට දන්වා ගෙදර යැමට අවසර ලබා ගතිමි. තනිව යන නිසා වෙනත් අයෙකු කැටුව යැමට එවන්නදැයි ඔහු කළ යෝජනාව ඉවතලූ මම තනිව නිවස බලා ගියෙමි.
විදුහලේ සිට නිවසට ඇති දුර සැතපුමක්‌ වුවත් ඒ දිනවල මේ පාරේ බස්‌ ධාවනයක්‌ සිදු වූයේ නැත. මුළු දුරම පාළු පරිසරයක්‌ මැදින් ගමන් කළ යුතු විය. ප්‍රභූ පැළැන්තියකට අයත් වලව්වකට අයිති පොල්, රබර්, කොකෝවා, ගම්මිරිස්‌, වැවුණු, අඩක්‌ කළුවර ඇති ගහකොළවලින් මේ මුළු දුර වැසී ඇත. මේ රූස්‌ස ගස්‌ අතර මිනිස්‌ කටහඬක්‌ නැත. පාළුව දෙගුණ කරමින් එක දිගට රැහැයි රංචු මහ හඬින් හඬ නඟති. ඉඳහිට පොල් ගසක්‌ මුදුනේ අතුර බැඳ පොල් මල් තලා රා මුට්‌ටි බිමට බාන අයෙකු ඒ නිම කොට අතුර හොඳින් ඇද බලා උඩ ලණුව අල්ලාගෙන පහළ ලණුව දිගේ සෙමින් පා තබමින් අනිත් ගසට මාරු වෙයි. ගහකොළ රූස්‌ස බැවින් ඉර එළිය පවා බිමට නොවැටෙයි. මේ පාළු පාර කෙළවර වන්නේ සොහොන් පිට්‌ටනියකිනි. උණ වේදනාව පුපුරු ගහන ඇඟ රිදුම සමඟ ඉර මුදුන් වන යාමේ පයින් ගමන් කොට තනිව අවුත් සොහොන්පිටිය පසුකරන විට චකිතයක්‌ දැනෙයි. අලුතින් ඉදි වූ සොහොන් දෙක තුනක්‌ එහි විසිර ඇත. ගෙදරට එන විට ඇඟ ගිනියම් යකඩයක්‌ මෙන් රත් වී මුළු ඇඟම ගින්දර විහිදුවන්නට විය. දිව ගිලෙන තරම් පිපාසය දැඩි විය. මගේ ඇඟ නළල ඇඟපත අල්ලා බැලූ මව මහ දවල් ඉර මුදුන් වේලාවේ තනිව ඒම ගැන දොස්‌ නඟන්නට වූවාය. පිපාසය විනා බඩගින්නක්‌ නොදැනෙයි. තේ කෝප්පයක්‌ පානය කළ මම පසෙක වූ බූරු ඇඳක වැතිරුණෙමි. එකල අප විසූ නිවස කුඩාය. කුඩා ඉස්‌තෝප්පුවක්‌, කාමර දෙකක්‌, කටු මැටි ගැසූ කුස්‌සියක්‌ විය. වසා තිබුණේ පිදුරුය. එය ගිනියම් අව්ව ඇති විට ඇඟට සිසිල දෙයි. එදා හවස ගමේ පන්සලේ සූවිසි විවරණ පින්කමක්‌ ආරම්භ විය. කලින් යොදාගෙන තිබූ පරිදි පියා හා මව රාත්‍රි කෑම කා සූQවිසි විවරණ බැලීමට පන්සලට ගියහ.
නිවසේ ඇතුළුවන ස්‌ථානයේ වූ ඉස්‌තෝප්පුවේ ලෑලි ගැසූ ඇඳක්‌ විය. එහි නිදාගත්තේ අපේ මාමා කෙනෙකි. ඔහු ඉස්‌තෝප්පුවේ ඇඳ මත දිගා වී පුරුද්දක්‌ ලෙස බුලත් විට හපමින් පරණ කවි, බලි තොවිල් කවි, යන්ත්‍ර මන්ත්‍ර ශබ්ද නඟා නින්ද යනතුරු කියවයි. ඉස්‌තෝප්පුව ගාව ඉදිරි කාමරයේ බූරු ඇඳේ මම නිදා සිටියෙමි. රාත්‍රි කෑම අරුචිය නිසා කෑම නොගත් මම තේ කෝප්පයක්‌ බී ඇඳෙහි වැතිරී නින්ද එනතුරු ඒ මේ අත පෙරළුණෙමි. මා ළඟ ඇඳක පොඩි නංගී නිදයි. මගේ ඇඟේ වේදනාව යට කරගෙන දහඩිය පිහිල්ලකින් මෙන් වැගිරෙයි. නළල ඇඟපත දාඩියෙන් තෙත් වෙයි. නින්ද පේනතෙක්‌ මානයක නැත. කොට්‌ටය ඒ මේ අත උස්‌ පහත් කරමින් නිදා ගැනීමට තැත් කළත් ඒ සියල්ල බිඳ වැටෙයි. පන්සලේ කියන කවි, නැටුම්, බෙරහඬ කන් දෙබෑ කරමින් ශබ්දවාහිනියෙන් ප්‍රදේශය පුරා විසිරී යයි. මා සිටි කාමරයේ දොර හා ඉදිරිපස ඉස්‌තෝප්පුව යතුරු දැමූ දොරකින් වෙන්වී තිබිණි. මා නිදා සිටි කාමරය යතුරු දමා තිබූ දොර 'දඩාං' යන හඬ නඟමින් එක්‌වර ම ඇරුණේය. මම තිගැස්‌සී ඔළුව එසවීමේදී මා දුටු දෙය ඇඟ සලිත කරයි. ඉස්‌තෝප්පුවෙන් පිටත සිටින අයකු එහි සිට මා සිටින කාමරයේ දොර දෙසට අඩි දහයක්‌ දොළහක්‌ පමණ දිගට ගෙල දිගු කරයි. විනාඩි ගණනකට පසු ඔහු යළිත් දිගු කළ ගෙල ආපසු පස්‌සට ඇද ගනී. යළිත් දිගු බෙල්ල මා දෙසට විහිදවයි. විනාඩි කිහිපයකින් යළිත් මුහුණ පස්‌සට ඇද ගනී. ඉහවහා ගිය බයෙන් මම මුහුණ කොට්‌ටයේ ඔබා ගතිමි. දිග, විරූපී මුහුණ එල්ලෙන දිග දිව........ අඩි ගණනක්‌ දිග බෙල්ල....... මේ සැබෑවක්‌ද? උණ විකාරද? මම කල්පනා කළෙමි. ඒ උණ විකාර නොව නින්ද නැති මා ඉදිරියේ සැබෑ ලෙසම රකුසු වෙස්‌ගත් එල්ලෙන දිග දිව ඇති භයංකාර ඇස්‌ ඇති දිග බෙල්ල නැවතත් කාමරයට දිගු කරයි. නංගී තද නින්දේ පසුවෙයි. මම හයියෙන් කෑගැසුවෙමි. එහෙත් මුවින් හඬ පිට නොවෙයි. උගුර - තොල - කට සියල්ල වේලී ඇඟ සට සට ගා වෙව්ලයි.
දොර මහත් හඬ නඟමින් ඉබේ ම වැසුනි. මම නැඟිට ඇඳේම ඉඳගෙන දොර දෙස බැලුවෙමි. දොර තදින් වැසී ඇත. ඉස්‌තෝප්පුවේ නිදා සිටි මාමා මහත් හඬ නඟමින් අඩි තබමින් ගේ වටා දුවනු මට ඇසෙයි. ඔහු කිසියම් අයෙකු පිටුපස ලුහුබඳිමින් ගේ වටා දුවයි. හරක්‌ රෑනක්‌ ගාල කඩාගෙන දුවන්නා සේ අර අද්භූත අවතාරය ගේ වටා මිදුලේ හඬ නඟමින් දුවයි. ඉස්‌තෝප්පුවේ නිදා සිටි මාමා ඌ පසුපස පන්නමින් ලුහුබඳියි. දිවිල්ලේ කෙළවරක්‌ නැ. රවුම් තිහ හතළිහකට වඩා දෙදෙනා ගේ වටා දුවති. ගේ පිටුපස පිලේa ලිප දැල්වීමට පොල් ලෙලි ගොඩ ගසා තිබිණි. මාමා ඌ ලුහුබඳිමින් ඌ වෙත පොල් ලෙලිවලින් දමා ගසයි. හිටපිය බල්ල..... හිටපිය පෙරේතයා ඔහු පරුෂ වචනයෙන් ද බැණ වදිමින් ඌ ලුහුබඳියි. මගේ ඇඟ සට සට ගා ගැහෙයි. ඉහින් කනින් දාඩිය පෙරෙයි. තොල කට වේලී ඇත. පාන්දර තුනට පමණ කුකුළා හඬලයි. පන්සලේ සූවිසි විවරණ නිමා වී මිනිසුන් ගෙවල්වලට එන හඬ දැනෙයි. සියල්ල සන්සුන් වෙයි. අම්මා තාත්තා ඉදිරි දොර ඇරගෙන එන විටත් මට නින්දක්‌ තවම නැත.
"ඇයි නින්ද ගියේ නැද්ද?"
අම්මා අසයි
මම සිදු වූ සියල්ල ඇයට කීවෙමි.
"දෙයියන්ගේ ලෙඩ හැදීගෙන එනකොට සොහොන් පිට්‌ටනි පහුකරගෙන ඉර මුදුන් යාමේ ආපු එකේ වැරැද්ද. හෙට උදේ තෙල් ටිකක්‌ මතුරලා ගාමු."
ඇය මගේ හිසට අත තබයි.
පසුදා උදෑසන ඇඟට දැඩිව ක්‌ලාන්තය මතුව ඇත. මම බිත්තිය අල්ලා ගෙන දොර ඇරගෙන එළියට ගියෙමි. මිදුල හා ගේ වටා පිල් යකුන් නැටූ පිටියක්‌ බඳුය. ගල් කැට, ලී කැබලි, පොල් ලෙලි හැම තැන විසිරී ඇත.
"ඊයේ රෑ මොකද්ද ඔය ජංජාලේ?"
"මම දන්නෙ නෑ. කවුදොa එකෙක්‌ ගේ වටේ දිව්වා. මමත් පිටිපස්‌සෙන් පන්න පන්නා අතට අහුවෙන දේවලින් ගැහැව්වා. කුකුළා හඬලනකන්ම ඌ ගේ වටේ දිව්වා. මමත් එලව එලවා ගැහැව්වා. ඊට පස්‌සේ ඇඳට වැටිලා හොඳටම නින්ද ගියා.
මිදුල ඉස්‌තෝaප්පුව පුරා විසිරුණු ගල්මුල් ලී කැබැලි පොල්ලෙලි පැය ගණනක්‌ යනතුරු දෙදෙනකුගේ පිය සටහන් ගේ වටා විය. උදැසන වයසක යකැඳුරෙකු ගෙන්වා තෙල් මතුරා නළලේ ගෑමෙන් පසු උණ හා විකාර ගති අඩු වී යන්තම් නින්දට වැටෙනු මට දැනෙයි.

එස්‌. කේ. ජයවර්ධන - Divaina Newspaper

---මුළු රැයක්‌ පුරා භූතයෙක්‌ පස්‌සෙන් එයි--- ---මුළු රැයක්‌ පුරා භූතයෙක්‌ පස්‌සෙන් එයි--- Reviewed by InvestCrypto on June 06, 2017 Rating: 5

No comments: