මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

---අග්නි මහසෝනා---


උසස් පෙළ විභාගයෙන් උසස් ලෙස සමත් වුවත් දිගින් දිගටම උසස් අධ්‍යාපන කටයුතුවල නියැළීමේ උනන්දුවක් ජිතේන්ද්‍ර තුළ නොපැවතුණි. එයට හේතු වූයේ ඔහු
මුහුණපෑ ආර්ථික දුෂ්කරතාවන්ය. දකුණු පළාතෙන් සරසවියට පිවිසීමට වරම් ලැබූවන් අතරින් ඉහළම ලකුණු ලැබූ කිහිපදෙනා අතර ඔහුගේ නමද සටහන්වී පැවතුණි. එහෙත් දෛවය ඔහුට සරදම් කරමින් සිටියේය. දැඩි ආර්ථික දුෂ්කරතාවන්ගෙන් වෙළී සිටි ඔහුගේ මවුපියන්ට තම පුතාව සරසවියට යවා ඉගැන්වීමට තරම් වත්කමක් නොවීය.
උසස් පෙළ ප‍්‍රතිඵල නිකුත් වෙන්නටත් පෙර ජිතේන්ද්‍ර ඉගෙනීමේ ආශාව අතහැර දමා කොළඹට පැමිණියේ මේ හේතූන් නිසාය. අතරමං වූවකු සේ කොළඹට පැමිණ හෝමාගම ප‍්‍රදේශයේ කර්මාන්තශාලාවක කම්කරුවකු ලෙස සේවයට එක්වන ඔහු හෝමාගමට ආසන්නයෙන්ම කුලී කාමරයක නවාතැන් ගත්තේය.
එය පැරණි වලව් පන්නයේ නිවසකි. එළියෙන් දොරවල් යොදා තිබූ ඉදිරි කාමරයේ ජිතේන්ද්‍ර හා එම ආයතනයේ තවත් ලිපිකරුවකු නවාතැන් ගෙන සිටියහ. චේතනා එම නිවසේ දියණියයි. වසර පහකට පමණ පෙර චේතනාගේ පියා මියයාමත් සමගම තම මව හා එකම සොහොයුරිය සමග නිවසේ හුදෙකලා වීමට ඇයට සිදුවිය. ‘ගීතා අම්මා’ යනු ඔවුන්ගේ කුස්සි අම්මාය. ඇයද ඉතා වයස්ගත තැනැත්තියකි. ඔවුන් පාරම්පරිකව පොල් වතුවල උරුමක්කාරයන් වූ බැවින් පියාගේ මරණයෙන් පසුවද එතරම් ආර්ථික දුෂ්කරතාවක් ඔවුන්ට නොවීය.
පිරිමි ළමයකු නිවසේ නතර කරගැනීමේ මූලික අවශ්‍යතාව ලෙස ඔවුනට මතුවූ ගැටලූව වූයේ හදිසියකදී හෝ පිරිමි පුළුටක් නොමැති නිවසේ අඩුව මකාගැනීමය. මුදලක් උපයාගැනීමේ අවශ්‍යතාවක් ඔවුන් තුළ නොවීය. බෝඩින්කරයකු තෝරාගැනීමේදී ගුණගරුකභාවය මෙන්ම යහපත් බවද ඔවුන් දැඩි ලෙසම අපේක්ෂා කළේ ගැහැනු ළමුන් දෙදෙනකුගේ ආරක්ෂාව පිළිබඳ සිතිය යුතු නිසාය.
ඉවසීම, තැන්පත්කම මෙන්ම තමා කතා කරන කාගේ වුවද හිත දිනාගැනීමේ හැකියාවක් ජිතේන්ද්‍රට විය. වැඩි දිනක් යන්නට කලියෙන් ඔහු බෝඩින්කාරයකුට වඩා එම පවුලේ සමීප හිතවතකු බවට පත් විය. විවේක ලැබෙන අවස්ථාවලදී නිවසේ ගැහැනු ළමුන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතුවලට උපකාර කිරීමද ඔහු අතින් සිදුවිය.
මේ අතර උසස් පෙළ ප‍්‍රතිඵල පැමිණ ඇති බව දැනගැනීමත් සමගම ගමට යන ජිතේන්ද්‍ර යළි පැමිණෙන්නේ බිඳුණු සිතින් යුතුවය. ඒ තමා උසස් ලෙස විභාගය සමත් වුවත් සරසවි පිවිසීමට තමන්ට ආර්ථිකය හරස්වී තිබීමය. බෝඩිමට පැමිණීමත් සමගම ජිතේන්ද්‍රගේ හිත් වේදනාව චේතනාගේ පවුලේ අයගේ වේදනාවක් බවට පත්වන්නට තරම්ම ඔහු එම පවුලේ හිත දිනාගෙන තිබුණි.
මේ අතර චේතනාගේ හිත තුළ ජිතේන්ද්‍ර කෙරෙහි කැමැත්තක් ටිකින් ටික මෝදුවෙමින් පැවතුණි. ඔහු සරසවි පිවිසීමට තරම් උසස් ලෙස සමත් වී තිබීම එම සතුට තව තවත් වර්ධනය කරන්නට හේතු විය. ඇය තම මවට අපූර්ව යෝජනාවක් ඉදිරිපත් කළාය.
‘අම්මා, අපි ජිතේන්ද්‍ර අයියට ඉගෙනගන්න උදව් කරමු’
‘එයා රස්සාවක් කරනවනේ’
‘ඒත් එයා ඉගෙනගන්න දක්ෂයි. සල්ලි නැති නිසානේ කැම්පස් යන්නේ නැත්තේ.’
‘ඉතින් එයා රස්සාව නතර කරයිද?’
‘අම්මා අහලා බලන්ඩ.... තාත්තාට පිනක් සිද්ධ වෙන්ඩ කියලා හිතාගෙන අපි එයාට ඉගෙනගන්න උදව් කරමු. එයා නරක කෙනෙක් නෙමෙයිනේ...’
‘මම අහන්නම්’
පසුදා සවස චේතනාගේ මව ඔහු හා කතා කළාය.
‘පුතා ඔයා කැම්පස් යනවද?’
‘නැහැ ඇන්ටි’
‘ඇයි පුතා ඒ?’
‘තාත්තාට මට වියදම් කරන්ඩ විදියක් නෑ. ඒ අය ජීවත් වෙන්නෙත් අමාරුවෙන්’
‘ඔයා කැම්පස් යන්න. ඔයාට අපි වියදම් කරන්නම්’
‘එතකොට රස්සාව නතර කරන්න වෙනවනේ’
‘ඔව් ඔයා රස්සාව නතර කරන්න. ඔයාට මෙහෙම නතර වෙන්න පුළුවන්. බෝඩින් ගාස්තු අවශ්‍ය නෑ, මහපොළත් ඔයාට ලැබෙයිනේ. ඉතිරි වියදම් අපි දරන්නම්’
ජිතේන්ද්‍රට ඇති වූ සතුට අප‍්‍රමාණ විය. ඉන් පසු ඔහු කොළඹ සරසවියට පිවිසියේය. ඔහු තව තවත් පවුලේ අයකු බවට පත්වන්නට විය. චේතනාගේ කැමැත්ත ආදරයකට පෙරළුණේ ගින්දරයි, පුළුණුයි එකට තැබිය නොහැකිය යන කියමන සනාථ කරමින්ය. මොවුන් දෙදෙනාගේ ආදර සබඳතාවට කිසිවකුගෙන් බලපෑමක් පැමිණියේද නැත.
තමන්ගේ අධ්‍යාපන කටයුතුවලට පවුලේ ළඟම ඥාතියෙක් මෙන් චේතනා හා ඇගේ මව කරන උපකාර මතක් වන වාරයක් පාසා ජිතේන්ද්‍රගේ ඇස් කෙවෙණි තෙත් වූයේ තමන්ගේම අසරණකම මතක්විමෙනි.
අනික් අතට තමන් වෙනුවෙන් ඇඳුම් පැළඳුම්වල සිට එදිනෙදා වියදමට අවශ්‍ය මුදල් පවා ලබාදෙන චේතනා වෙනුවෙන් තම ජීවිතය වුවත් පූජා කිරීමට කැමැති වන ආකාරයේ මානසිකත්වයක් ඔහු තුළ විය.
කාලය ක‍්‍රමක‍්‍රමයෙන් ගතවිය. සමවයසේ තරුණ තරුණියන් සමග කෙළිදෙළෙන් සරසවියේ කාලය ගතකරන ජිතේන්ද්‍රගේ සිතට තවත් තරුණියක් පිළිබඳ අදහසක්
ඇතිවන්නේ මේ අතරතුරදීය.
උපාධියෙන් පසු විවාහවීමේ බලාපොරොත්තුවෙන් සිටි චේතනාට ඔහු පිළිබඳ කිසිදු අයුරකින් සැකයක් නොවිය. ඔවුන් නිවසේ තනිවූ අවස්ථාවල ඔවුනගේ සබඳතාව ආදරයෙන් බැහැරව බොහෝ දුර ගොස් තිබුණි. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. ජිතෙන්ද්‍ර උපාධිය ලබා සරසවියෙන් පිටවිය. පෞද්ගලික ආයතනයක ඉහළ
රැුකියාවක් ලැබුණු නිසා නුවර ප‍්‍රදේශයට යෑමට ඔහුට සිදු විය. මේ පිළිබඳ චේතනා කැමැත්තක් දැක්වූයේ නැත. චේතනා නොතකා හැරි ජිතේන්ද්‍ර තනි මතයට නුවර
රැුකියාවට ගියේය. දිනෙන් දින චේතනාව අමතක කර දැමීමට ඔහු උත්සහ ගන්නා බව වැඩි දිනක් යන්නට මත්තෙන් ඇයට වැටහුණි. ඇය ජිතේන්ද්‍රට කළ උදව් උපකාරවලින් ඔහු මනා ප‍්‍රයෝජන ගත්තද තමා ඔහු වෙනුවෙන් පි¥ පිවිතුරු ආදරයට ඔහු ද්‍රෝහි වූ බව ඇයට ස්ථිරවම පසක් වූයේ ජිතේන්ද්‍ර සිය දුරකතනයේ අංකය පවා වෙනස් කිරීමත් සමගය. මේ අතරතුර විශ්වවිද්‍යාලයේදී ඔහු සමග සබඳතාවක් පැවැත්වූ තරුණියක ගැන තොරතුරු චේතනාට දැනගන්නට ලැබුණි. එම ආරංචිය චේතනා තුළ ඇති කළේ දුකකට වඩා වෛරයකි.
මලයාලම් කපුවකු වූ මංග අයියා සොයා චේතනා සහ මව පැමිණෙන්නේ මේ අතරතුරය. ඒ ජිතේන්ද්‍ර සිදු කළ
වැරැුද්දට දඬුවමක් දීම උදෙසාය.
දේවාලයට ගොඩවෙත්ම මංග අයියා චේතනාගෙන් ඇසූ ප‍්‍රශ්නය ඇය කිසිවිටෙකත් බලාපොරොත්තු නොවු එකක් විය.
‘කෙල්ල බඳින්ඩ හිටපු එකා අමාරුවේ දාලා පැනලා ගියා නේද?’
චේතනා බිම බලාගත්තේ එය නිවසේ අයට රහසක් වූ නිසාය. ඇගේ මවගේ ඇස් උඩ ගියේ මංග අයියාගේ ඒ ප‍්‍රශ්නයත් සමගය.
‘මොකද උඹ කතා නැත්තේ... ඌ උඹව අමාරුවේ දැම්මා විතරක් නෙමෙයි උඹලව හොඳට ඇන්දෙව්වා නේද?’
‘ඌව ආයිත් උඹට ලැබෙන්නෑ. උඹත් එක්ක ඉන්න කාලෙත් තව කෙල්ලෙක් ඌට ඉඳලා තියෙනවා. ඒකිව බදින්ඩයි කල්පනාව. ඌව අතඇරලා දාපන්’
‘අපිට අපි දුන්න බඩු ටික ගන්ඩ ඕනේ’
‘මුඞ්ඩ කඩලා කළු ගාපු පොල් ගෙඩියකුයි, කළු ගාපු බිත්තරයකුයි ගෙනෙන්’
පසුදින ඔවුහු පොල් සහ බිත්තර රැුගෙන යළි මංග අයියා සොයා පැමිණියහ. දේවාලය තුළට පොල් සහ බිත්තර ගත් මංග අයියා විනාඩි කිහිපයක් ආරූඪයෙන් එය ජීවම් කරන්නට විය.
‘මේක යනගමන් කනත්තකට විසිකරගෙන පලයන්’ අනිවාර්යයෙන්ම දවස් තුනකින් මූ උඹලට කතා කරයි. දවස් හතක් ඇතුළත බඩු ටික දෙන්ඩ ඕනේ’
ඔවුන් පොල් ගෙඩිය සහ බිත්තරය කනත්තට විසිකර දින තුනක් ගෙවී ගියේය. මංග පැවසූ පරිදිම හවස් වරුවේ ජිතේන්ද්‍ර කතා කළේය.
‘ඔයාට මාව එපානම් මම අරන්දුන්න රත්තරන් බඩු ටිකයි, ලැප්ටොප් එකයි දෙන්න’
‘කවුද එපා වෙලා කිව්වේ’
‘ඔයා ගැන මම ඔක්කොම දන්නවා’
‘මොනවද දන්නේ’
‘බඳින්ඩ ඉන්න ගෑනු ළමයා ගැන....’
ජිතේන්ද්‍ර නිහඬ විය. අවසානයේ විසඳුමකින් තොරවම දුරකතනය විසන්ධි විය. මංග අයියා පැවසූ පරිදිම දින හතක් ගෙවී ගියද බඩු ටික ලැබුණේ නැත. චේතනා සහ මව යළි දේවාලයට පැමිණියේය.
‘අපිට බඩු ඕනේ නෑ. ඒකා කරපු ජරා වැඬේට ඕකව අනිවාර්යයෙන්ම මරලා දාන්ඩ ඕනේ’
‘ඒවා කරන්ඩ ඕන තරම් වැඩ තියෙනවා. හැබැයි එක හිතින් කරන්ඩ ඕනේ...’
ඒ අනුව සියල්ලෝ අවසන් තීරණයකට එළඹියහ. මංග අයියාගේ දේවාලයට පහළින් කුඩා කැලයක් ඇති අතර, ඒ හරහා ගලා යන දොළ පහරක්ද ඇත. එදින සිකුරාදා දිනයකි. දොළේ ඉවුරේ පන්දම් හතරක් දල්වා ඇත. ඒ අතර කළු රෙදි කඩක් එළා ඒ මත රතුමල් අතුරා ඇත. මංග අයියා දොළ ඉවුරෙන් ලබාගත් මැටිවලින් මිනිස් රුවක් තැනුවේය. රත්මල් ඇතිරූ කළුරෙද්දේ මැද මිනිස් රුව තැබුවේ රුවේ හිස බස්නාහිර දෙසට හරවමිනි.
රෙදි කඬේ එක් පසෙකින් චේතනා හා ඇයගේ මව වාඩිවී සිටියේය. මංග අයියා මරු සිටින දෙස බලා වාඩි වී සිටියි. මලානික හඳ එළියෙන් වනාන්තරයේ ගුප්ත බව තව තවත් වර්ධනය විය. දොළ පහරේ ශබ්දයත් සමගම චේතනාගේ සිත තුළ බියක් සමගම වේදනාවක් ඇති විය. වරින් වර තටු ගසා ඉගිලෙන වවුලන් හේතුවෙන් ඇගේ බිය තවදුරටත් සිත තුළ තෙරපෙන්නට විය.
මධ්‍යම රාත‍්‍රිය ටිකෙන් ටික එළඹියේය. මංග අයියා වේගයෙන් මතුරන්නට විය. ඉන්පසු පසෙක තිබූ එළු ලේ බඳුන අතට ගෙන මිනිස් රුව තුළට පුරවන්නට විය. මිනිස් රුව සාදා තිබුණේ ඇතුළත සිදුරක් සිටිනා ලෙසටය. ඉන්පසු මැටි ටිකකින් සිදුර වසා දමා යළි මතුරන්නට විය. වේලාව රාත‍්‍රී දොළහ පසුවී මිනිත්තු පහළොවක් ගතවී තිබිණි.
තව ටිකකින් මගේ ඇඟට අග්නි මහසෝනා එනවා. එයාට සිංහල කතා කරන්ඩ බෑ. කරන්ඩ ඕනේ දේ ගෝළයා කියයි. ඔය අතේ තියෙන උලෙන් අනින්ඩ කිව්වම
එකහිතින් අනින්ඩ ඕනේ.
විනාඩි කිහිපයක් ගත විය. මංග අයියා දකුණු අතේ ඇඟිලි දෙකක් බිමට තබා වචන කිහිපයක් පැවසීය. ඔහුගේ ශරීරය වේගයෙන් පිටුපසට ගැස්සි ගියේය. ඒ වනවිට ඔහුගේ මුහුණ බැලීමට නොහැකි තරම් රෞද්‍රය. ශරීරය හරවන විට ශරිරයේ අස්ථිවල ශබ්දය හොඳින් ඇසෙයි. ඔහුගේ මුවින් පිටවූයේ ඉතා වේගයෙන් හුස්ම ගන්නා ශබ්දයත්, මලයාලම් භාෂාවත් පමණි.
‘ඔය රූපයේ ඔළුවටයි, පපුවටයි අනින්න.’ ගෝළයා අණ දුන්නේය. චේතනා හා මව තම අත තිබූ උල් දෙකෙන් මැටි රුවට ඇන්නෝය. ඉන්පසු රූපය අතටගත් මහසෝනා පන්දමක් අතට ගෙන ගිනි කමින් එම රූපය ගිල දැමුවේ පාන් පෙත්තක් හපා කනවාටත් වඩා පහසුවෙනි. ඒ අතරතුර වරින් වර පන්දම කටේ දමමින් ගින්දරද කෑවේ චේතනාගේ සර්වාංගයම වෙව්ලා දමමිනි.
රාත‍්‍රී දෙක පමණ වන විට පූජාව නිම විය. මංග අයියා චේතනා ළඟට පැමිණියේය.
‘මරන්ඩ ඕනේ කිව්වට ඒක හිතාගෙන නෙමෙයි නේද පිහියෙන් ඇන්නේ....’
‘මගේ හිතට බයක් ආවා’
‘බයක් නෙවෙයි දුකක්’
‘මම කිව්වනේ එක හිතින් කරන දෙයක් කරන්ඩ කියලා’
‘ඌ මැරුණේ නෑ. ඒත් මං ඌට මාරයා පෙන්නුවා. දැන් ඌ මරුණා වගේ. මං ඌව ටිකෙන් ටික මරලා දානවා. අන්න ඌට අංශභාගේ. උඹගේ අතේ තමයි තීරණය තියෙන්නේ. ආයෙත් මහසෝනට පූජාවක් දුන්නොත් ඌව බේරෙයි. නැත්නම් ඌ සදාකාලිකවම එහෙමම ඉඳියි. කවදාහරි ඌව බේරගන්ඩ පුළුවන් වෙන්නෙත් උඹට විතරයි උන් දන්නේ නෑ අග්නි මහ සෝනාගේ හැටි.’
ඒ සමගම චේතනා නිහඬව බිම බලාගත්තේ අරමුණකින් තොරවයි.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර


---අග්නි මහසෝනා--- ---අග්නි මහසෝනා--- Reviewed by InvestCrypto on June 06, 2017 Rating: 5

No comments: