මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

---කිතුල්ගස නැමූ අමනුස්සයා---


පනම්පිටිය වෙදමහතාගේ අවසන් කටයුතු රඹුක්කනදී සිදු කර සියලු දෙනා පැමිණ සිටිති. හිරිවඩුන්න, පිටියේගම සුන්දර ගම් පියසක පිහිටි වෙදමහතාගේ වර්තමාන නිවස සුදෝ සුදු ඇඳුමෙන් හැඩවුණ චාම් ගැමි ජනතාවගේ මෙන්ම නෑදෑ හිතවතුන්ගෙන් පිරී පැවතිණි. තේ පැන් සංග්‍රහයෙන් පසුව තුනී වී ගිය ජනයා අතරින් අසල්වාසී කීප පොලක් හා ඥාතීන් විතරක් ඉතුරු විණි.
කලබැගෑනිය දුරු වී මධ්‍යම රාත්‍රිය එළඹෙමින් තිබුණා. බුලත් විට සප්පායම් වෙමින් කීප පොලක් වෙද මහතාගේත් වෙද මහතාගේ පරම්පරා ඉතිහාසය ගැන කථා කරමින් සිටිති. අවුරුදු 86ක් ආයු වළඳා මියගිය වෙද මහතා සර්වාංග මෙන්ම කැඩුම් බිඳුම් (විශේෂ) ආයුර්වේදී උපාධිය හැදෑරුවෙකි. නුවර වෙද මහතා නමින් හඳුන්වන පනම්පිටිය වෙදමහතාගේ පරම්පරාවේ ඈතට දිව යන අත්තා මුත්තා පවා පාරම්පරික සිංහල වෙද්දුය.
ජ්‍යොතිෂය, වෙදකම, මන්ත්‍ර ශාස්ත්‍රය එකට කැටිකර ගත් එම පනම්පිටිය පරම්පරාව මහනුවර කටුගස්තොට ආසන්න ජම්බුගහපිටිය කේන්ද්‍ර කර ගත්තෝ වෙති.
මන්ත්‍ර ශාස්ත්‍රය පරම්පරාවෙන් උරුම වූවත් පනම්පිටිය වෙද මහතා එයින් කිසිදු ප්‍රයෝජනයක් ගත්තේ නැත. භාවිත කළේම නැත. ඔහු කළේ සිංහල වෙදකම හැදෑරීම පමණයි.
නමුත් පනම්පිටිය වෙද මහතාගේ ආතා ජ්‍යොතිෂය, වෙදකම, මන්ත්‍ර ශාස්ත්‍රය ඒ තුනේම කෙළ පැමිණියකු විය. වෙදකමින් මෙන්ම කෙළ මන්ත්‍ර ශාස්ත්‍රයෙන් ද දැක් වූ දස්කම් පරම්පරාවේ මෙන්ම අවට ගම්වාසී ජනයා අතර පවා මතකයේ ඇත.
1920 වර්ෂවල ලංකාවේ සියලු පළාත් එවකට මෙකල මෙන් ජනාකීර්ණ නොවී තිබිණ. ප්‍රවාහන පහසුකම් අතින් ද පැවතියේ නොදියුණු තත්ත්වයකය. ප්‍රවාහන පහසුකම් වෙනුවට වැඩිපුර භාවිත කළේ බර කරත්තය. කාර් රථයක් පාරෙන් ගියත් ඒ උඩරට තේ වතු හිමියකුගේ වාහනයකි. පොදු වාහනය වූයේ බර කරත්තය.
සමයං කටයුතුවලට දුර බැහැර යන ආතා ආපසු එන්නේ සති ගණනකට පසුවය. ආතා නිවසින් බැහැරව යන්නේ නම්, එහි ගොස් ආපසු එනතුරු වත්ත හතර මායිම ආරක්‍ෂා කිරීම සඳහා එක්තරා අමනුෂ්‍යයකුට පවරා ගිය බව කියයි.
කවුරුන් හෝ හොරෙන් පොල් කැඩීමට ගසකට නගින විට ඊට එහායින් තවත් අයකු පොල් ගසට නගිනු පෙනේ. තවත් කවුරු හෝ හොරෙන් පුවක් කැඩීමට ගසකට නගින විට ඊට එහායින් ගසක තවත් කවුරුන් හෝ නගිනු පෙනේ. එවිට හොරා ගසෙන් බැස පලා යයි. එසේ නොවුණ විට එම හොරාගේ පිටට කවුරුන් හෝ තඩිබායි. එවිට හොරා ගස මුල ඇදගෙන වැටේ.
පනම්පිටිය ආතා සැන්දෑවට කිතුල් රා වඩියකින් සප්පායම් වීමට කැමතිය. එමනිසා වත්ත උඩහ අලුත පීදුණ කිතුල් මල කැපීම සඳහා අහල පහල දන්න අයකුට භාර දී තිබිණ. ගිවිසුම වූයේ එක දවසක් පෙරන කිතුල් රා පනම්පිටිය මැණිකේට දීමය. අනික් දවස රා මදින්නාට අයිතිය.
පනම්පිටිය අත්තාට ලැබුණ කිතුල් රාවලින් මැණිකේ කිතුල් පැණි සහ කිතුල් හකුරු හැදුවාය. පනම්පිටිය අත්තා සමයංවලට යන විට අර අමුනුෂ්‍යයාට මුළු වත්තම භාරකර යයි. කිතුල මදින්නා උඩහා කිතුලට යන විට “මැණිකේ මම කිතුලට යනවා” කියා නිවස අසලින් කියාගෙන යා යුතුය. අත්තම්මා එය ඇසී “හා..... පලයං” කියයි.
දිනක් කිතුල මදින්නා එය කැපීම සඳහා නිවස අසලින් යන විට මැණිකේට මතක් කර යාමට නොහැකි විය.
ඔහු උඩහට ගොස් කිතුල දිගේ නැග කිතුල කැපීමට පටන් ගත්තා පමණි. කවුදෝ ඔහුට කිතුල කැපීමට ඉඩ නොදෙයි. වරෙක උඩ සිට කිතුල් ගහ පහළට නමයි. නැවත කෙළින් කරයි. නැවත කිතුල් ගහ පහළට නමයි. නැවත කෙළින් කරයි. ඔහුට කෙසේවත් කිතුල කැපීමට ඉඩ නොදෙයි. ඔහු කිතුල බදාගෙන හයියෙන් කෑ මොර දෙයි.
“මැණිකේ...... මට කිතුල කපන්න දෙන්නෑ. කවුදෝ.... ගහ අදිනවා....” ඔහුගේ හඬ මුළු යාය පුරා දෝංකාරය දෙයි. මැණිකේ පහළ සිට කෑ ගසයි “හා.... හා.... කිතුල කපපං”
එවිට කිතුල් ගස ඇදීම නවතී. කිතුල මදින්නා කිතුල මැද මැණිකේ බැහැදකී. “නිලමේ කියල තියෙනවනේ මගෙන් අවසර ගන්නැතුව මේ හතර මායිමේ මුකුත් කරන්න එපා කියල.”
“නෑ මැණිකේ මට අමතක වුණා. මම කියාගෙන යන්න තමා සිටියේ....” රා මදින්නා කියාගෙන යයි.
ඒ අමනුෂ්‍යයා ආතා පවරපු රාජකාරිය හරියට කර ඇත.
තවත් දිනක ගමේ අසල්වැසියෙක් පැමිණෙයි. තමාගේ එළ වැස්සී වත්ත හරහා රැගෙන යන විට කොස් මුලකට වැස්සීගේ කකුලක් හිරවී උළුක්කු වී ඇති බව පවසයි.
ආතා බෙහෙත් පොට්ටනිය සාදා එය හරකාගේ බෙල්ලෙ එල්ලන්න කියයි. ගම්වැසියා මඳක් පසුබායි.
“නෑ.... නෑ.... වෙදමහත්තයෝ වැස්සිගෙ බෙල්ලෙ නොවෙයි කකුලයි උළුක්කු වෙලා තියෙන්නෙ”
“හරි.... හරි බොල මට තේරුණා. මේක කථා නොකර වැස්සිගෙ බෙල්ලෙ එල්ලපිය.”
ගම්වැසියා කථා නොකර පිටත්ව යයි.
පොට්ටනිය වැස්සිගෙ බෙල්ලෙ එල්ලයි.
ඊට පසු දින වැස්සිගෙ කකුලේ කොරය සනීප වී ඇත. වැස්සී හොඳින් ඇවිදියි. ගම්වැසියාට සංතෝෂය. බෙල්ලේ එල්ලපු බෙහෙත් පොට්ටනිය දවස් කීපයකට පසු කොහේ හෝ වැටී යයි. එය සොයා ගැනීමට නොහැක.
වෙදකම මිස යන්ත්‍ර ශාස්ත්‍රයට පරම්පරාවේ කවුරුත් උනන්දුවක් නොදැක්වූ නිසා ආතා ජීවිතේ අවසාන භාගයේ දරුණු ගණයේ මන්ත්‍ර අඩංගු පුස්කොළ පොත් ගිනිබත් කරන්න යෙදිණ. මහ ඉරුදාපනය, අමනුෂ්‍යයින්ගෙන් වැඩ ගැනීම, බැඳ ගැනීම, පිල්ලි ඇරීම ආදී නොයෙකුත් දරුණු වැඩ සඳහන් වූ පුස්කොළ පොත් ඒ අතර තිබිණි. එය අනාගතයේදී නොහික්මුණ අය අතට එම ශාස්ත්‍රය පත්වීම නිසා අවැඩක් විනාශයක් සිදුවන බව කියාය. ඉතුරු කළේ වෙදපොත් සහ සාමාන්‍ය මන්ත්‍ර පොත් පත් පමණි.
පනම්පිටිය ආතාගේ ජීවිතේ අවසාන භාගය ඉතා ඛේදජනක විය. එය තීන්දු ගමනක් විය. වර්තමානයේ කටුගස්තොට පොලිසිය පිහිටා ඇති තැනට තරමක් ඈතින් පිහිටි රොඩී ගමක සමයමකට ආතා ගොස් තිබිණ. සියලු වැඩ කරගෙන යන අතරතුර මිනී වළක දපා විනයක් කැපීමට පටන් ගත්තේය.
විනය කපාගෙන යන අතරතුර “කුකුළා දියව්” ආතා කෑගැසීය. ඔවුන් කුකුළා ගෙනත් නැත. සියලු දෙනා බියපත්ව සිටී. නිශ්ශබ්ද රාත්‍රියේ දැඩි සුළඟක් කනත්ත පුරා හමා ගියා.
මිනී වළ තුළින් ආතාගේ හඬ නැවත නැවත දෝංකාර දුන්නා.
“කුකුළා ගෙනත් නෑ හාංදුරුවනේ”. අයෙක් බියෙන් පැවසුවා. “මොනව බොල කුකුළා ගෙනත් නැහැ....”
“එහෙනම් තොපේ වැඬේ හරි. මං ඉවරයි මාව ගෙදර අරන් පලයන්....”
නැවතත් මහා හඬක් නගමින් කනත්ත පුරා දැඩි සුළඟක් හමා ගියේය.
පිරිස ආතා මැස්සක හිඳුවා ගඟ අසලට පැමිණියෝය. ගඟෙන් එහා ආතාගේ වත්තය. ගඟෙන් එගොඩට ගෙනයාමට පෙර ආතාගේ අවසන් හුස්ම වාතලයට මුසුවිය.
ඒ සමගම ආතාගේ බෙහෙත් කාමරයේ තිබූ බෝතල් මහ හඬින් පුපුරා ගියේය. බෝතල් පුපුරණ ශබ්දයට මැණිකේ බෙහෙත් කාමරය අසලට පැමිණියාය. මොකද්දෝ මහා නරක දෙයක් සිදු වී ඇති බව මැණිකෙට වැටහිණි.

Source: Link

---කිතුල්ගස නැමූ අමනුස්සයා--- ---කිතුල්ගස නැමූ අමනුස්සයා--- Reviewed by InvestCrypto on June 06, 2017 Rating: 5

No comments: