මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

---රමණි බේරාගත් කළු කම්බිලි යකා මාමණ්ඩිය එල්ලා මරයි---



රමණිගේ විවාහයට ඇත්තේ තව ටික දිනකි. ව්‍යාපාරික පවුලක හැදී වැඩුණු රමණි දුටුවකු වශීකර ගතහැකි රූප සොබාවයකින්ද යුතු සුන්දර තරුණියක් විය. ඇය කුඩාකල සිටම පවුල තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත්වූයේ නිරායාසයෙනි. එයට බලපෑ ප‍්‍රධානම හේතුවක් වූයේ ඇය ගැහැනු ළමයකු ලෙස ජීවත්වීමට වඩා පිරිමි ළමයකු ලෙස හැසිරීමට වැඩි ප‍්‍රියතාවක් දැක්වීමය. ගැහැනු ළමුන් තිදෙනෙක්ගෙන් යුත් පවුලේ පිරිමි ළමයකුගේ අඩුව පිරිමැසුණේ ඇයගෙනි.
වයස අවුරුදු දාහතර පමණ වනවිට ගෙදර තිබූ වාහන සියල්ල පැදවීමට ඇයට පුළුවන් විය. වයසින් වැඞී ඇය වැඩිවියට පත්වත්ම නිවසේ අනෙක් දරුවන් දෙදෙනාට වඩා තරමක වෙනස් චරිතයක් බවට ඇය පත්වූවාය. ඇය සිය කටයුතු තනිවම කර ගැනීමට උපරිම ලෙස උත්සහ දැරුවාය. කොළඹ නගරයට ආසන්නව සිය ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන ගිය රමණිගේ පවුලේ ආර්ථිකය ඒ වනවිට ඉතා ඉහළ මට්ටමක පැවතුණි.
ඇයගේ පවුලට කණකොකා හඬන්නට පටන්ගත්තේ, ඇයට වයස දහඅට ලබද්දීය. එතෙක් සතුටින් ගෙවුණු ජීවිතය නිමා වූ එම සිදුවීම ඇයට තවමත් හොඳින් මතකය. එදින ඇය සිය බාල නැගණියන් සමග කාමරයේ නිදාගෙන සිටියාය. මහ රැුයේ ඇයට එක්වනම ඇහැරුණි. එයට හේතු වූයේ රමණිගේ නැගණියගේ ඇඳ දෙසින් ඇසුණු ශබ්දයයි. ඇය වෙනදාට වඩා ඇඳේ ඒ මේ අතට දඟලන බවක් රමණිට වැටහුණි. නිවසේ විදුලි පහන් නිවා දමා නිදාගැනීමට හුරු වී සිටි නිසා අන්ධකාරය තුළ සිදුවන්නේ කුමක්ද කියා ඇයට එක්වරම සිතාගත නොහැකි විය.
‘පොඩි නංගි...... පොඩි නංගි.....’ රමණි කිහිපවරක්ම සිය නැගණියට කතාකළාය. ඒත් පිළිතුරක් නැත. අවසන ඇය ඇඳෙන් නැගී සිටියාය. ඇයගේ සිතටද තරමක බියක් දැනුණද, ඇය එය යටපත් කරගැනීමට වෙර දැරුවාය.
‘ටිං...... ටිං...... ටිං......’
එක්වරම ඇසුණු ඒ හඬින් ඇය තිගැස්සී ගියාය. සාලයේ තිබූ පැරණි ඔරලෝසුවේ රාත‍්‍රී දොළහ නාදවුණි. ඒ සමඟම ඇයගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය.
දඩිස්...... දඩිස්......
නැවතත් ඇයට නැගණියගේ ඇඳ දෙසින් අමුතු ශබ්දයක් ඇසුණි. රමණි කිසිත් නොසිතා නැගී සිට, බිත්තියෙහි වූ විදුලි පහන ක‍්‍රියාත්මක කළ රමණිට දැකගත හැකිවූයේ තරමක අපහසුවෙන් නැගණිය නින්දෙන්ම දඟලන අයුරුය. නැගණිය නින්දෙන්ම උගුර අල්ලාගෙන සිටියි. වරින්වර කකුල් ඒ මේ අත ගසයි. ඇය වහවහා නැගණියගේ ඇඳ සමීපයට ගොස්,
‘පොඩි නංගි.... පොඩි නංගි.... නැඟිටින්න.... නැඟිටින්න....’ යැයි කෑගැසුවේ නැගණියගේ කකුලටද පහරවල් කිහිපයක් ගසමිනි. එහෙත් ඇය නැගිට්ටේ නැත. ඇයට මෙය මහත් ගැටලූවක් විය. අවසානයේ රමණි සිය මවුපියන්ට මේ ගැන පවසා ඇයව ජයවර්ධනපුර රෝහලට රැුගෙන ගියාය.
එසැණින් ඇය හදිසි අනතුරු අංශයට ඇතුළුකළද ඇයට සිදු වී ඇත්තේ කුමක්දැයි කියා තේරුම්ග ැනීමට වෛද්‍යවරුන්ට හෝ නොහැකි විය. පසුවදා එළිවන විටද පරීක්‍ෂණ කිහිපයක් සිදු කෙරුණද ඵලක් වූයේ නැත.
 දිනෙන් දින ගෙවුණද රමණිගේ නැගණිය පියවි තත්ත්වයට පත් නොවූ අතර, ඇය අප‍්‍රාණිකව ඇඳ උඩ දිග ඇදී සිටියා පමණි.
වෛද්‍යවරු විවිධ නිගමනයන් ගනිමින් විවිධ ප‍්‍රතිකර්ම ලබාදෙන්නට වුවත් ඉන් කිසිදු ඵලයක් නොවිණි. අවසානයේ ගුප්ත ශාස්ත‍්‍රයේ පිහිට සොයා යන්නට රමණිගේ පවුලේ අයට සිදුවිය.
නව නුවර මාර්ගයේ කොළඹට ආසන්න, දේව ආරූඪයෙන් සාස්තර කියන ස්ථානයක් වෙත උදේ පාන්දරින්ම රමණි සහ ඇයගේ මව ගමන් ගත්තේ ඒ අනුවය. ඒ අසල්වැසියකුගෙන් ලැබුණු ඉඟියකට අනුවය. දේවකුටිය තුළට යන සියලූදෙනා තමන් පැමිණි කාරණය ගැන සිතාගෙන පොල් ගෙඩියක් තැබිය යුතුය.
කපු මහතා දේවාලය තුළට ඇතුළුවිය.
සලඹක් සොළවමින් ආවේශ වන හඬ දේවාලය තුළ ඇති කළේ ගුප්ත බවකි. කපුමහතා වරින්වර පොල් තැබීමේදී එක් එක් අය සිතූ කාරණාව හා පැමිණි අයගේ හැඩරුව කියා ඔවුනට අඬගසන්නේය. කපුමහතා තිරයෙන් එළියට පැමිණෙන්නේ නැත.
‘සිහියක් කටක් නැතුව ඉස්පිරිතාලේ දපලා ඉන්න ළමිස්සියෙක් ගැන අහන්ඩ ඇවිත් ඉන්න අය ආවනම්. ඔය කොල්ලෙක් වගේ කෙල්ලෙක් එක්ක ආපු කට්ටිය’
ඒ රමණිගේ වාරය බව තේරුම්ගැනීමට ඔවුනට ඒ තරම් වේලාවක් ගියේ නැත. මව සහ දියණිය දේවාලය තුළට පිවිසියහ. කපු මහතාගේ මුවින් තරමක ගෙරවිල්ලක් සමග වචන පිටවෙයි. ඒවා බියජනකය.
‘කෙල්ලට ගොඩක් අමාරුයි. තාම දොස්තරලට ලෙඩක් අහුවෙලා නෑ නේද?’ ‘නෑ’
‘කොහේ ලෙඩක් අහුවෙන්ඩද බොලන්.... කෙල්ලට දීපු දෙයක් තියෙන්නේ...’
‘දීපු දෙයක් කිව්වේ......’
‘උඹලත් එක්ක උඹගේ මාමණ්ඩි තරහයි නේද?’ අන්න ඌ දීපු දෙයක් කෙල්ලගේ බඬේ තියෙනවා. ඉක්මනට යමක් නොකළොත් කෙල්ලගේ ජීවිතේ විශ්වාස නෑ. මම දෙහි ගෙඩි පහක් දෙන්නම් ඇඳේ හතර කොණේ හතරක් තියන්න. අනිත් එක කොහොම හරි පොවන්න. ඊට පස්සේ ඔය තත්ත්වෙ ටිකක් අඩුවෙයි. හැබැයි බඬේ තියෙන දේ අස්කළේ නැත්නම් මහා විනාශයක් වෙයි’
කපු මහතා පැවසූ ලෙසම ඉන්පසු රමණිගේ නැගණිය වූ නෙළුම් පියවි තත්ත්වයට පැමිණියාය. ඇයගේ අමාශයේ වූ යම් කළු පැහැති ගුලියක් වැනි දෙයක් ඇය වමනය කරද්දී පිටවූයේ මතුරන ලද තැඹිලි පානයට දීමෙන් පසුය. මෙම සිදුවීමෙන් පසු රමණි හැර ඉතිරි දරුවන් දෙදෙනාම ඕස්ටේ‍්‍රලියාවට යැවීමට මවුපිය දෙපළ කටයුතු කළේ, ඔවුන්ගේ ආරක්‍ෂාව ගැන සිතාය. රමණිද ඔවුන් හා යැවීමට මවුපියන් උත්සහ දැරුවද ඇය මව හා පියා තනිකර පිටරට යෑමට කැමැති වූයේ නැත.
කාලය කෙමෙන් ගෙවී ගියේය. වරින් වර රමණිලාගේ පවුලට එරෙහිව ක‍්‍රියාත්මක වූ හදි හූනියම් කිහිපයක්ම කපාදැමීම සිදුවිය.
රමණිගේ විවාහය ආසන්න වෙමින් පැවතියේය. ඥාති පවුල්වලට බුලත් දීම බොහෝවිට සිදුවූයේ මවගේ අතින් වුවත්, හිතවත් පවුල්වලට බුලත් දුන්නේ රමණිය. ඇය එදිනත් ගමේ හිතවත් ගෙවල් කිහිපයකට ගොස් බුලත් දුන්නාය. හවස් ජාමයේද ඇය නිවෙස් කිහිපයකට යෑමට සිටියත් හදිසියේම මෙන් ඇයගේ ඇඟට අමුත්තක් දැනෙන්නට විය. ඇය යළි නිවසට පැමිණියාය.
එදින පටන්ගත් අසනීප තත්ත්වයෙන් පසු ඇයගේ ශරීර සෞඛ්‍යය දිනෙන් දින පිරිහෙන්නට විය. ඇය එය එතරම් ගණන් ගත්තේ නැත.
දින කිහිපයකට පසු රමණිගේ මංගල දිනය උදාවිය. සියලූ කටයුතු ලක ලැහැස්ති වෙමින් පැවතිණි. වෙනදා නොතිබුණු අයුරින් දැඩි චංචල බවක් එදින රමණිගේ සිතේ ඇතිවන බව ඇයට දැනුණි. ඒ විවාහයේ නුහුරු බව නිසායැයි සිතූ ඇය එය අමතක කරන්නට උත්සහ දැරුවාය. මංගල යුවළ පෝරුවට නගින හෝරාව කෙමෙන් කෙමෙන් උදාවෙමින් පැවතුණි.
නිවස පුරා ඇයට පෙනුණේ මහා අඳුරකි. එකී අන්ධකාරය මොහොතින් මොහොත වර්ධනය වෙමින් පැවතුණි. මේ සිදුවන්නේ කුමක්ද? ඇයට සිතාගත නොහැකිවිය.
පෝරුවට නගින හෝරාව එළඹියේය. අෂ්ඨක මධ්‍යයේ දෙදෙනාගේ ඇඟිලි එකට ගැටගැසුණි. ඉන්පසු මුදු මාරු කරගැනීමේ අවස්ථාව උදාවිය. එහෙත් එයට අවස්ථාව උදාවූයේ නැත. රමණිගේ අතැඟිල්ලට මුදුව පළදන්නට මනමාලයා ඇය දෙසට හැරුණා පමණි.
‘බුදුඅම්මෝ’
ඇය මර හඬින් කෑ ගසන්නට විය.
ඇය දුටුවේ තමා අසල සිටගෙන සිටින දරුණු පෙනුමක් සහිත මළයකෙකි. ඇයට මතක එපමණය. ඇය පෝරුව මතම සිහිසුන්ව ඇඳ වැටුණාය. විවාහයට පැමිණ සිටි පිරිස අන්දමන්ද වී ගියේ සිදුවූයේ කුමක්දැයි තේරුම්ගත නොහැකි වූ නිසාය.
මොහොතකට පසු ඇයට සිහිය ආවද පියවි සිහියක් ඇයට නොවීය. ඇයගේ ඔළුව අවුල් වී ගොසිනි. විවාහය පසෙක තබා ඇයව රෝහල වෙත රැුගෙන යෑමට මවුපියන්ට සිදුවුණි.
වෛද්‍යවරුන්ගේ තීරණය වූයේ ඇයට තදබල මානසික කම්පනයක් ඇති වූ බවයි.
ඒ සඳහා කොතෙක් ප‍්‍රතිකර්ම කළද ඉන් කිසිවකින් ඵලක් වූයේ නැත. රමණිගේ මවුපියන් වහවහා ඔවුනට පෙර අවස්ථාවකදීත් ශාන්තිකර්ම කළ කපුමහතා වෙත රමණිව රැුගෙන ගියේය.
‘ඈ බොල මනමාලි යනවද බුලත් දෙන්න? මේකිට බුලතක් පන්නලා’
කපුමහතා එක්වරම පැවැසීය.
‘බුලතක් පන්නලා කියන්නේ’
‘බුලත් දෙන්ඩ ගියාම මතුරපු බුලත් කොළයක් එක්ක බුලත් මාරු කරලා. ඒක හූනියමක්.
පෝරුවේදී ඒක තමයි පත්තුවෙලා තියෙන්නේ’
මේක ඉවරයක් කරලා දාන්ඩවෙයි. සිකුරාදා ?ට වරෙන් කළු කම්බිලිට හොඳ පූජාවක් තියමු. මේ කරදර කරන එකාට දඬුවමක් දෙන්ඩ ඕනේ’
කපුමහතා ඔවුන්ට උපදෙස් දුන්නේය.
සිකුරාදා රාත‍්‍රිය උදාවිය. කපුමහතා විසිඑක් මාළුව සමග උයන ලද බතක් ගොට්ටක දමා එයට බදින ලද බිත්තරයක්ද තබා ඒ මත කුඩා පන්දමක් සවිකළේය.
‘කෙල්ලට මේක අල්ලගන්ඩ දෙන්ඩ. දෙන්නෙක් දෙපැත්තෙන් එයාව අල්ලගන්ඩ’
යකැදුරා යක්බෙරය වයද්දී මන්ත‍්‍ර ජපය ඇරඹුවේය. රමණිගේ අතේ දොළගොටුව රඳවාගැනීම ඉතා අපහසුය. ඇය පිස්සුවෙන් මෙන් දැඟලීමට උත්සහකරයි. විනාඩි කිහිපයකට පසු කපුමහතා ළඟට පැමිණියේය.
‘හා... දැන් ඇති දැඟලූවා.... කළු කම්බිලි දෙවියෝ වඩින්ඩ ළඟයි. උන්දෑ මේ කෙල්ලගේ ඇගෙන් පිට නොවුණොත් දන්නවනේ වෙනදේ’
කළු කම්බිලි යක්ෂයා යනු සෙන්පතියෙකි. ඔහුට විරුද්ධවීමට තරම් යකෙක් නැත. විරුද්ධ වුවහොත් ඒ යක්‍ෂයන්ට හිමිවනුයේ කඩු පහරය. කපුමහතා ගොටුව අතට ගත්තේය. ඒ දෙවියන් එන බව හඟවමිණි.
ඉන්පසු ගොටුව මල් යහනේ තැබීය. ගතවූයේ මොහොතකි. රමණි සිහිසුන්ව බිම ඇඳ වැටුණාය. එහෙත් කපුමහතා දිගින් දිගට මතුරන්නට විය. මැතිරීම නිමවූයේ රමණිට සිහිය ලැබීමෙන් අනතුරුවය. ඇයට පියවි සිහිය ලැබී තිබුණි. කළු කම්බිලි දෙවියෝ යුක්තිය ඉටුකර ඇති බව පසුදා උදේ නිවසට පැමිණෙන විටම රමණිගේ පවුලේ අයට දැනගැනීමට හැකිවිය. ඒ මාමණ්ඩිය වත්ත පහළ අඹ ගසේ එල්ලී සියදිවි නසා ගැනීමේ පුවතයි.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර


---රමණි බේරාගත් කළු කම්බිලි යකා මාමණ්ඩිය එල්ලා මරයි--- ---රමණි බේරාගත් කළු කම්බිලි යකා මාමණ්ඩිය එල්ලා මරයි--- Reviewed by InvestCrypto on June 06, 2017 Rating: 5

No comments: