මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

---ඇත්ත කතාවක්---


රජෙක් වුණත් කවදා හරි කල කම් පල දෙනවානෙ..

ඒ වගේම ඉන්දියාව ආක්‍රමණය කරලා බලය තහවුරු කරගත්තු මෝගල් අධිරාජ්‍යයත්
කාලයත් එක්ක බලයෙන් පිරිහුණා.. මෝගල් අධිරාජ්‍යයේ බලය බිද වැටෙද්දිත් සමහර ප්‍රාන්ත රාජ්‍ය ස්වාධීනව තමන්ගේ බලය රැක ගත්තා.. අවුද් ප්‍රාන්තයත් කාලෙකදි ඒ වගේ බලවත්ව උන්නු රාජ්‍යයක්.

අවුද් කියලා කිව්වත් ඒ නම අයෝධ්‍යා කියන නමින් බිදී ආපු නමක්.. අවුද් ප්‍රාන්තය පාලනය කලේ මෝගල් රාජවංශයෙන්.. ඒ රාජ වංශයට අයිති මන්දිරයක් තමයි “මාල්චා මහල්.“ රාජවංශයේ බලය ටිකෙන් ටික පිරිහිලා යද්දි රාජවංශයේ සාමාජිකයින් කාලයත් එක්ක නැති වෙලා ගියා. බ්‍රිතාන්‍ය පාලනයත් එක්ක මේ රාජ වංශයට තිබුණ බලය එහෙම පිටින්ම නැති වෙලා ගියා.. බ්‍රිතාන්‍ය පාලනය ඉවර වෙලා ඉන්දියාව නිදහස් රටක් බවට පත් වෙන කාලෙ වෙනකොට මේ මාල්චා මහල් කියන රාජ මන්දිරය අයිති වෙලා තිබුණෙ මෝගල් අධිරාජ්‍යෙයකුගෙම මී මිණිපිරියෙකුට..
ඒ තමයි “විලායත් මහල්“ කුමරිය.

“අවුද් හි මෙහෙසිය“ නැති නම් විලායත් මහල් කුමරියට මේ රාජ මන්දිරය අයිති වෙලා තිබුණෙ ටික කාලයයි.. “මාල්චා මහල්“ රජ මන්දිරය ඉන්දියානු ආණ්ඩුවට පවර ගත්තා.. විලායත් මහල් කුමරියට සිද්ධ වුණා දරුවො දෙන්නවත් අරගෙන මාල්චා මහල් මාලිගයෙන් පිටමං වෙන්න.. විලායත් මහල් කුමරියටත් එයාගේ දරු දෙන්නාටත් ඒ පවුලේ බල්ලාටත් එතන ඉදන් නිවහන වුණේ නවදිල්ලියෙ දුම්රියපොලේ එක වේදිකාවක්..

මාලිගාව අහිමි වෙච්ච රජ මෙහෙසියයි කුමාරයයි කුමරියයි දුම්රියපොල වේදිකාවක යාචකයෝ වගේ අවුරුදු නවයක් ජීවත් වුණා.. ඒ තරම් අසරණ ජීවිතයක් ගෙවන්න වුණත් විලායත් මහල් කුමරියගෙ රාජකීය ලේවල ආඩම්බරයත් සටන් කාමී බවත් නැති වෙලා ගියේ නම් නෑ.. ඒ අවුරුදු නවය පුරාම විලායත් මහල් කුමරිය තමන්ගෙ මන්දිරයෙ අයිතිය වෙනුවෙන් ඉන්දියානු ආණ්ඩුවත් එක්ක සටන් කළා. නඩු කිව්වා..

අන්තිමේදි ඒ සටනින් විලායත් මහල් කුමරිය ජය ගත්තා. කුමරියගෙ ඉල්ලීමට ඔලුව නවන්න ඉන්දියානු රජයට සිද්ධ වුණා. 1985 අවුරුද්දෙදි මාල්චා මහල් මාලිගය ආපහු විලායත් මහල් කුමරියට බාර දෙන්න ඉන්දියානු ආණ්ඩුවට සිද්ධ වුණා.. ලස්සන වනාන්තර පසුබිමක හදලා තිබුණ මාල්චා මහල් මාලිගය ඒ වෙනකොට වල් බිහිවෙලා.. ගරා වැටිලා.. පාලුවට ගිය මාලිගාවෙ හොල්මන් අවතාර තියෙනවා කියලා මිනිස්සු විශ්වාස කරන්න පටන් අරගෙන.. ඒ වෙනකොට මේ මාලිගය තියෙන පැත්තටවත් ඇතුලු වෙන එකත් රජයෙන් තහනම් කරලාත් තිබුණා..

අවුරුදු නවයකට පස්සෙ විලායත් මහල් කුමරියත් දරු දෙන්නත් පදිංචියට එන්නෙ මේ ගරා වැටිච්ච, කැලෑවට ඇරුණු, මිනිස් වාසයෙන් එහෙම පිටින්ම ඈත් වෙච්ච පාලු මාලිගාවට..
ඒ මාලිගාවෙ පදිංචියට ආපු දවසෙ ඉදන් විලායත් මහල් කුමරියත් දරු දෙන්නත් ජීවත් වුණේ බාහිර ලෝකෙන් එහෙම පිටින්ම අයින් වෙලා වෙනස්ම ජීවිතයක්.. ඒ වෙනකොට මාලිගාවට විදුලියත් නෑ..
මාලිගාවට විදුලිය ගන්න ආණ්ඩුවෙන් ඉඩ දුන්නෙත් නෑ.. විදුලිය විතරක් නෙවෙයි වතුරත් නෑ..
ඒ මදිවට මාලිගාවට දොරක් ජනේලයක් වත් ඉතිරි වෙලා තිබුණෙත් නෑ.. වතුර පොදක් එළියක් නැති, අව්වෙන් වැස්සෙන් සීතලෙන් උවදුරු වලින් බේරෙන්න දොරක්වත් නැතිපට්ට පාලු හොල්මන් මන්දිරයක ජීවත් වෙන්න සිද්ධ වුණොත්..? ඒක මොන වගේ අත්දැකීමක් වෙයිද..?
විලායත් මහල් කුමරියත් දරු දෙන්නත් අවුරුදු ගානක් මේ අමිහිරි අත්දැකීම් මැද ජීවත් වුණා.. ආණ්ඩුවක් එක්ක තනියම සටන් කරපු රජ කුමරියටත් මේ අත්දැකීම් වල පීඩාව දරාගන්න බැරි වෙන්න ඇති.. ඒ හින්දා 1993 දෙසැම්බර් මාසෙ 10 වෙනිදා විලායත් මහල් මෙහෙසිය දියමන්ති කුඩු වලින් හදපු වසක් බීලා සියදිවි නසා ගත්තා.. මාල්චා මහල් මාලිගාවෙ ඉතිරි වුණේ
විලායත් මහල් මෙහෙසියගෙ දරු දෙන්නා ඒ කියන්නෙ රියාස් කුමාරයත් ශකීනා කුමරියත් ඒ අයගේ ආරක්ෂාවට හිටපු බල්ලන් රෑනත් විතරයි. අවුරුදු ගානක් කාත් කවුරුවත් නැතිව තමන්ව බලාගත්ත අම්මා නැති වුණාම ඒ දරු දෙන්නා කොච්චර කම්පනයකට පත් වෙන්න ඇතිද..? කොච්චර අසරණ වෙන්න ඇතිද..?

අම්මාගෙ සීතල මල සිරුරෙන්වත් වෙන් වෙන්න මේ දරු දෙන්නා කැමති වුණේ නෑ.. ඒ හින්දා විලායත් මහල් මෙහෙසිය මැරුණට පස්සෙත් දවස් දහයක් පුරාවටම විලායත් මහල් මෙහෙසියගෙ මල සිරුර මාලිගාවෙ මේසයක් උඩ තියාගෙන.. ඒ මේසෙ දෙපැත්තෙ ඉදගෙන.. අම්මාගෙ මල සිරුර දිහා බල බලා මේ දරු දෙන්නා වැලපුණා.. අම්මාගෙ මල මිණිය ටිකෙන් ටික නරක් වෙනකොට.. තවත් තියාගන්න බැරි බව තේරෙනකොට.. රියාස් කුමාරයා තනියම අම්මාව වල දමන්න වලක් කැපුවා.. අම්මාව මිහිදන් කරන්න කලින් දවසේ රියාස් කුමාරයයි ශකීනා කුමරියයි නිදාගත්තෙත් අම්මාගෙ මල මිණියට තුරුල් වෙලා. හිත කීරි ගැහෙනවා නේද.. ඒත් කතාව ඇත්ත.
විලායත් මහල් මෙහෙසියගෙ මල මිණිය මිහිදන් කළාට පස්සෙ.. ටික කාලයක් යනකොට
අවට ගම් වල මිනිස්සු මේ ගැන දැනගත්තා.. මිනිස්සු කතා වුණේ “අනේ දෙවියනේ අම්මා නැති දරුවො කොහොමද ජීවත් වෙන්නෙ..?“ කියලා නෙවෙයි. “පිටස්තර ලෝකෙන් අයින් වෙලා හිටියත් රජ පවුලක්නෙ.. හොදට රන් රිදී මුතු මැණික් ඇති.. නැත්තම් කොහොමද ඔහොම ජීවත් වෙන්නෙ..“ කියලා .. අම්මා නැති දරුවන්ගෙන් ඒ වත් කම් ටිකත් හොරකම් කරගන්න මිනිස්සු මාන බැලුවා..
මාල්චා මහල් මන්දිරයට හොරු පැන්නා.. මාලිගාව මංකොල්ල කෑවා මදිවට හංගපු වස්තුව හොයන්න විලායත් මහල් දේවියගෙ මිනී වලත් හෑරුවා.. මිනී වල හාරලා මිනියත් ගොඩ දමලා යන්න ගියා.. අම්මාගෙ මල සිරුර ගොඩ දමලා තියන හැටි දැක්කාම රියාස් කුමාරයටත් ශකීනා කුමරියටත් දරා ගන්න බැරි වුණා..රියාස් කුමාරයා ආයෙමත් අම්මව වල දැම්මෙ නෑ..

තවත් සැරයක් අම්මට මෙහෙම අවමන් විදින්න වුණොත්..? ඒ හින්දා අම්මාගෙ මල මිණිය තනියම ආදාහනය කළා.. එදා ඉදන් අද වෙනකලුත්ඒ කැලෑවට ඇරුණු පාලු මාලිගාවේ රියාස් කුමාරයත් ශකීනා කුමරියත් ජීවත් වෙනවා.. විලායත් මහල් මෙහෙසිය ඉතිරි කරලා ගිය රහසිගත වස්තුවෙන් ඒ දෙන්නා ජීවත් වෙනවා.. හැබැයි කවදාවත් පිටස්තර ලෝකයත් එක්ක පෑහෙන්න එන්නෙ නෑ..
කෑලි හැලෙන තරමට අබලන් වෙච්ච බයිසිකලයක නැගලා කලාතුරකින් දවසක කෑම බීම මොකවත් අරගෙන යන්න ගමකට එන රියාස් කුමාරයව ඉද හිටක අහල පහල ගම් වල අයට දකින්න ලැබෙනවා..

ඒත් ශකීනා කුමරියව නම් කාලෙකින් කවුරුවත් දැකලා නෑ..

Source: Link






---ඇත්ත කතාවක්--- ---ඇත්ත කතාවක්--- Reviewed by InvestCrypto on June 12, 2017 Rating: 5

No comments: