මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

---මහ රෑ වලව්වේ හොල්මන් කළ මිය ගිය ආරච්චිගේ අවතාරය---


දිවයිනේ නොයෙකුත් පළාත්වල සේවයේ යෙදී හුන් 'සදාර්' සාජන් මහත්තයාගේ මෙවර නවාතැන වූයේ 'වෑතර'ය. එය පිළියන්දල, හොරණ ප්‍රධාන මාර්ගයේ පිහිටි ගමකි. එවකට දරුවන් සතර දෙනකුගේ දයාබර පියෙක් වූ 'සදාර්' සාජන් මහත්තයාගේ දයාබර බිරිය වූයේ 'රාණි'ය. ඔහු ඇයට ආදරේට කීවේ 'මමී' කියාය.

හැටේ දශකයේ මුල්ම කාලයේ වන මෙම වකවානුව තුළ 'වෑතර' යනු දුෂ්කර පළාතකට සමානය. අඩුපහසුකම්වලින් හෙබි මෙම ප්‍රදේශය තුළ සාජන් මහත්තයාගේ සිත්තැවුලකට යම් හේතුවක් වී නම් ඒ ගොම්මන් යාමයට මත්තෙන් අවට බැහැගන්නා අඳුරය. රාත්‍රිය වන විට අවට පරිසරය කෑලි කපන අඳුරෙන් වැසී යන අතර ඒ කට්ට අඳුර යන්තම් හෝ මකාලන්නට සමත් වන්නේ භූමිතෙල් කුප්පි ලාම්පුවක් පමණි.

රුපියල් විසිපහක් හෝ තිහක කුලී පදනම මත ලබාගත් මෙම නිවෙස පැරැණි වලව්වක. හැඩයෙන් යුක්තය. පඩි දෙකක් ඉහළ නැඟගත් කල ඇති විවෘත කොටස මත රජකාලේ හාන්සි පුටුවකි. එය නිවසේ ඉදිරිපස කොනක කෙටි තාප්පය අසල තිබේ. නිවෙස් හිමියා පැවැසුවේ එය තමා පාවිච්චි කරන පුටුව බවත් එය තැබීමට ගැළපෙන එකම තැන මෙතැන බවත් තමන් පදිංචි වන තාවකාලික කාලය තුළ එය මෙසේ තිබුණාවේ යැයි ඔහු 'සදාර්' සාජන් මහත්තයාට පවසා තිබුණෙන් සාජන් මහත්තයාද සිතුවේ එය තමන්ටද අපූරු වින්දනයක් ගෙනදෙනු ඇතැයි කියාය. ඒ අනුව ඔහුද නිවසේ සිටින විවේකී මොහොතක වැඩි කාලයක් මේ පුටුවට බරදී මෙයට යාර සියයකට පමණ එහායින් දිවෙන කොළඹ - හොරණ මාර්ගය දෙස බලා සිටිමින් අමුතු වින්දනයක් ලැබීය.

සමහරදාට එම රාජකාරිය ඉටු කරන්නේ ඔහුගේ බිරිය 'රාණි'ය. ඔහු නිවසට ඒමට ප්‍රමාද වන මොහොතේ පටන් ඔහු නිවසට එනතුරාත් ඇය මත දරු පැටවුන් නින්දට යවා මේ පුටුවට බරදී ගේට්ටුව දෙසම බලා සිටින්නේ ඔහු එනතුරුය.
මේ ආරම්භ වන්නේ ඔවුන් වෑතරට පදිංචියට පැමිණ දෙවැනි සතියයි. ඒ වගේම 'සදාර්' සාජන් මහත්තයාගේ රාත්‍රි දහයට අවසන් වන වැඩ මුරයය. එදා අද මෙන් පැය අටේ ‍ෙදාළහේ වැනි වැඩමුර තිබුණේ නැත. තිබුණේ රෑ වැඩ දවල් වැඩ කියා වැඩමුර දෙකකි. එහෙත් සාජන් මහත්තයාට රෑ වැඩ කිරීමට අපහසු වූයේ කුඩා දරුවන් සතර දෙනකුත් සමඟ තම තරුණ බිරිය නන්නාඳුනන පළාතක පාළු වත්තක් මැද නිවසක තනියම රාත්‍රිය ගත කිරීම නිසාය. ඒ අනුව ඔහු තමන්ට හැකි උපරිම කාලයක් සේවය කිරීමට විශේෂ අවසරයක් තම ඉහළ නිලධාරියාගෙන් ලබාගෙන තිබිණි.

සාජන් මහත්තයා වැඩ ඇරී නිවසට එමින් සිටියේය. තම පොලිස් ස්ථානයේ සිට නිවසට ඒමට සැතපුම් තුනක පමණ දුරක් තිබූ අතර ඔහු ඒ දුර සමහරදාට ගෙවා එන්නේ පයින්ය. ඔහු නිවස ආසන්නයට එන විට රාත්‍රි එකොළහ පසුවී තිබෙන්නට ඇත. ඔහු අෑත තියාම දුටුවේ තම ආදරණීය බිරිය ඉස්තෝප්පුවේ හාන්සි දුටුවට බරදී පාර දෙස බලා සිටින අයුරකි. නමුත් ඇය කෙරෙහි ඔහුට පුංචි කේන්තියක් දැනුණේය. මන්දයත් කුප්පි ලාම්පුවක්වත් තමන්ගේ තනියට ළඟ තබා නොගැනීම ගැනය.
සාජන් මහත්තයා ඇය අසලට ළංවන්නට යාර කිහිපයක් තියෙද්දී 'මමී' යනුවෙන් ඇමැතුවේය. එහෙත් ඇය කිසිත් නො‍ෙදාඩා හාන්සි පුටුවෙන් නැඟිට පිළිකන්න දෙසට ගමන් ගත්තාය. ඒ සමගම අවට පැතිර ගියේ 'සඳුන්' සුවඳකි. සාජන් මහත්තයා දෙනෙත් පොඩිකර නැවත අවට විපරම් කළේය. වවුලකු සට....සට.....ගා එහා මෙහා දිවෙන හඬක් මිස අමුත්තක් දැනුණේ නැත.

ඔහු ‍ෙදාරට ගැසුවේය. ඔහුගේ බිරිය පැමිණ ‍ෙදාර ඇරියාය. කිසිදු අමුත්තක් පෙනෙන්නට නැත. ඔහු කිසිත් නො‍ෙදාඩා පසුවදා පටන් ඉස්තෝප්පුවේ කෙටි බිත්තිය මත භූමිතෙල් ලාම්පුවක් තබන ලෙස බිරියට නියෝග කළාය. තවත් දින කිහිපයක් ගතවිය. හැලහොල්මනක් නැත. සාජන් මහත්තයාට සිතුණේ තමන් 'මනස් ගාතයක්' දකින්නට ඇතැයි කියාය. සැනසුම් සුසුම් හෙළුෑ ඔහු තම රාජකාරි නිමකොට නිවසට එමින් සිටියේය. එදින ලාම්පුව නිවී තිබිණ. ඔහු එකවර බැලුවේ හාන්සි පුටුව දෙසය. ඔහුගේ සියොලඟම දහදියෙන් තෙත්ව ගියේය. කවුරුන් හෝ හාන්සි පුටුව මත වාඩිවී සිටියේය. ඔහු පත අඹ ගසකට මුවා වූවාය. විනාඩි කිහිපයක් බලා සිටියේ වන්නේ කුමක්ද කියාය.

තවත් දින දෙක තුනකින් පෝය ලබන නිසාදෝ හඳ එළිය යන්තමින් ඒ මේ අත එළිය කරමින් සිටියේය. ගස් අතු අතරින් ඉස්තෝප්පුව දෙසට කඩා වැටුණු සිහින් සඳ එළිය අමුත්තාගේ රුව දර්ශනය කළේය. ඇඳුමෙන් පැලඳුමෙන් පමණක් නොව පස්සට පීරා කරුංකා ගෙඩියක් තරමට බැඳ තිබූ කොණ්ඩයට ඉහළින් කුඩා දිස්නයක් පෙන්නුම් කළ ඉත්තෑ කූරු පනාවක් හා කළුවරේ වුවද මුහුණ හරහා ඇඳී ගොස් තිබූ පත රැවුල නියමාකාර ලෙසම ඔහු ආරච්චිල හැඩයක් ගෙන තිබිණි.
සාජන් මහත්තයාට තවත් හිතන්නට දෙයක් ඉදිරිව තිබුණේ නැත. ආරච්චිල හැඩය ගත් අමුත්තාත්, තමන් පදිංචිව සිටින වලව්වක හැඩය ගත් මෙම නිවසත් අතර සම්බන්ධය තවත් තේරුම්කර ගත යුතුව තිබුණේ නැත. නියත වශයෙන්ම මේ වලව්වේ අයිතිකාරයාගේ හොල්මන බව ඔහුට සිතුණේය. ඒ ක්‍ෂණයකින් බිමට නැමී අතට ගත් වැලි අහුර වෙත යමක් මැතිරූ ඔහු එයට කෙළබෙට්ටක් ගසා අවතාරය දෙසට දමා ගැසුවාය. අවතාරය නොපෙනී ගියේය.

අඩියට දෙකට ගෙට ගොඩවුණු සාජන් මහත්තයා ‍ෙදාරට පතබෑවේය. එහෙත් වෙනදා වේගයෙන් ‍ෙදාර ඇරුණේ නැත. විනාඩි කිහිපයකට පසු ගැහෙන සිරුරෙන් යුතුව බිරිය පැමිණ ‍ෙදාර ඇරියාය.
'ම....මමී....! ඔයා බය වුණාද....?
මීට විනාඩි කිහිපයක කලින් ඇය දරුවන් නිදිකරවා එළියේ තබන ලාම්පු කුප්පිය පත්තුකරන්නට සැරසුණා පමණි. 'චුරුස්'.... හඬක් ඇයට ඇසුණේ පිළිකන්න දෙසිනි. එය යමෙකු බුලත් කෙළ ගසන හඬට සමානය. ඒ සමගම පිළිකන්න දෙස සිට ඉදිරිපසට යමෙකු ගමන් කරන අඩි ශබ්දයක් ඇයට ඇසී තිබේ. එය නතර වුණේ තම ගෙපිළට ගොඩවීමෙනි.

ගතටත්, සිතටත් දිරියගත් ඇය යතුරු හිලෙන් ඉස්තෝප්පුව දෙස බැලුවේය. පිළිකන්නේ සිට පැමිණි රුව නිවසේ ඉදිරිපස ඇති හාන්සි පුටුවට බරදී දෙපා ඔසවා පුටුවේ ඇඳි දෙක මත දිගහැර තේජසින් යුතුව පාර දෙස බලා සිටියේය. කුප්පි ලාම්පුවවත් තබා ගන්නට නොහැකිව අය බිරාන්තව බලා සිට ඇත්තේ සාජන් මහත්තයා මේ අවතාරය දැක බියවන්නට හැකි නොවේදැයි සිතමින්ය. එහෙත් සාජන් මහත්තයාට හොල්මන් අවතාර අමුතු දේවල් නොවේ.

ඔහු සිතුවා සේම මේ සැරිසරන්නේ මෙම වලව්වේ අයිතිකරුවාය. දැන් මේ වලව්ව අයිති ඔහුගේම පුතකුට වුවත්, ඔවුන්ටද මේ දසුන අමුත්තක් නොවේ. බැරිම තැන ඔවුන් මෙම වලව්ව පාළුවට අතැර දමා ටික කාලයක් ගතවී තිබිණ. ඊට පසු පවුල් කිහිපයක් සඳහා කුලී පදනම මත බාරදී තිබුණත් හාන්සි පුටුව නම් තමන් ළඟට ගෙන ගියේ නැත්තේ තමන්ගේ පියාගේ හැටි දන්නා නිසාය. පොඩි දේකටත් උරණ වන ඔහු ඒ වෙනුවෙන් දැඩි දඬුවම් පමුණුවන්නේය.

මීට කලින් පදිංචිව සිටි පවුලේ කෙනෙක් මෙම හාන්සි පුටුව නිවස පිටුපස දර මැස්ස ළඟ තබාවිත් අපූරු දඬුවමක් වින්දේය. ඒ රාත්‍රියේ ඇති වූ ශරීර අවශ්‍යතාව කියා එළියට ගිය ඔහු කිසිදු හේතුවක් නොමැතිව රෑ එළිවෙන තුරා එම හාන්සි පුටුව මත දිගාවී සිටීමය. තවත් දිනක් ඔහු ඉස්තෝප්පුවේ මෙම හාන්සි පුටුව මත දිගාවී සිටියේ තරමක් බමන මතිනි. ඒ හේතුවෙන් ඔහු නින්දට වැටුණේය. එහෙත් රාත්‍රියේදී නිවැසියන්ට 'දඩස්' ගාන හඬක් ඇසුණු නිසා ඔවුන් ‍ෙදාර ඇර බලන විට එකී පුද්ගලයා සිටියේ හාන්සි පුටුවට අඩි කිහිපයක් එහාට විසිවී ගොසින්ය. ඔවුන්ද මෙම නිවස අතහැරදමා දිව්වේ සියැසින්ම ආරච්චිල අවතාරය දැකීම නිසාය.

අද එම ස්ථානයේ සුවිසල් මන්දිර පවා තැනී ඇත. ජනවහරේ පැවැතෙන්නේ වස්තු දේපළ තන්හා ඇත්තවුන්ගේ මිය ගිය ප්‍රාණය මෙසේ මළපෙරේතයන්ගේ වෙස් ගෙන කල්ප කාලාන්තරයක් තිස්සේ වුවද හොල්මන් වැඩ කරන්නට හැකියාව ඇති බවය. එහෙත් දැන් හොල්මන්වලට ඇති තැන බිංදුවට බැස ඇත. ඒ පසුගිය කාල වකවානුව තුළ සිදුවූ මිනිස් සංහාරය නිසා විය යුතුය. විනාඩියෙන් විනාඩිය, අඩියෙන් අඩිය මළමිනී උඩින් ගමන් ගිය අපට අද හොල්මනකට තියා මහසෝනාවටත් බය හිතෙන්නේ නැත.

එහෙත් මෙකී සිදුවීම් බොහොමයක් හෝ සියල්ලක්ම පාහේ අතීතයේ සිදුවීම් ලෙස අතීතයට බැර කිරීමට හැකියාවක් නැත. තම දේපළ අතැරදමා යෑමට අකැමැත්තක් ඒ ගෘහය වටා, නැතිනම් ඒ භූමිය වටා සැරසරන මියගිය ප්‍රාණකාරියක් ගැන මා මීට මාස කිහිපයකට පෙර අසා දැනගත්තේ එකී අයගේම පවුලේ උදවියගෙන්මය. එබැවින් හොල්මන් අවතාර ගැන කතා කිරීම පවා විහිළුවකට ගන්නා සමාජයක් තුළ හොල්මන් වැඩ නොකළත් මළගිය ප්‍රාණකරුවන් සැරිසරන්නට ඇති ඉඩකඩ නම් තවමත් නැත්තේ නොවේ යන්න පසක් වන්නේ මෙකී සිදුවීම පමණක් නොව පසුගිය කාලය තුළ වාර්තා වූ විවිධ සිදුවීම් හරහාය.

(උපුටා ගැනිමකි)
---මහ රෑ වලව්වේ හොල්මන් කළ මිය ගිය ආරච්චිගේ අවතාරය--- ---මහ රෑ වලව්වේ හොල්මන් කළ මිය ගිය ආරච්චිගේ අවතාරය--- Reviewed by InvestCrypto on July 10, 2017 Rating: 5

No comments: