මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

---පාළු තේ කම්හල---


මම සෑහෙන වෙලාවක් එයා එනතුරු බලා ඉන්නැති. මගෙ වටේටම තිබුණේ ඉවරයක් නැති මීදුමක්. ඊටත් වඩා ඉවසන්න බැරි සීතලක්! වෙව්ලුම්කන අත් දෙකත් බැඳගෙන මම එයා එනතුරුම හිටියා. එයා නාවත් මීදුම පහවෙලා ගියාට පස්සේ බටර්කප් මල් තැන් තැන්වල ඕනවට එපාවට පිපිච්ච පරණ සුසානය මට පෙනුණා. ඒ පරණ සොහොන් බිමේ අලුත් පස්කන්දක් උඩ තිබුණෙ සුදුපාට අත්මේස් එකක්. එක ඇඟිල්ලක් අහිමි වෙච්ච ලේ තැවරුණු සුදුපාට අත්මේස් එකක්!
* * * * * *
රස්සාවේ හැටියට ජයරත්න පුරුදු වෙලා හිටියේ ඕනම වෙලාවක ඕනම තැනකට යන්න. සුදු කමිසෙ යටවෙන විදිහට, තදවෙන්නම සරම ඔතාගත්තු ජයරත්න ඊටත් උඩින් ගැටගහ ගත්තේ දුඹුරුපාට පරණ ඉණ පටිය. දෙතුන් වතාවක්ම කහිමින් හිටිය මිනීකාරෙක පණගැන්වෙද්දි හිතට මොකද්දෝ සහනයක් දැනුණා.රේඩියෝවේ පිරිත් සද්දෙත් වැඩිකරගෙන මල්ශාලාව ළඟින් පිටත් වෙද්දි වෙලාව හරියටම පාන්දර හතර පහුවුණා විතරයි.වෙනදා පාළුව තනිකම මකන්න රාමන් හිටියත්, එදා ජයරත්නට අමුතු චකිතයක් දැනුණේ නැහැ. ටවුමෙ ඉඳලා ලූල්කඳුරේ මිනිය බාර දෙන්න ඕන ගෙදරට තිබුණේ පැයක විතර ගමනක්.ඒත් වංගු හරවමින් තේපඳුරු අස්සෙන් වැටුණු වළගොඩැලි සහිත ගුරුපාරෙ යන ගමනට පැය එකහමාරකට වඩා ගතවෙන්නැති.ජයරත්න සුක්කානම දකුණට කැපුවේ වමට ඇලවෙන ගමන්.වංගුව වැඩි නිසාමදෝ මිනීපෙට්ටිය ලිස්සලා ගිහින් කාරෙකේ පැත්තක 'ඩොකොස්' ගාලා වැදෙන හඬ ජයරත්නට ඇහුණා.
ලූල්කඳුරේ ගුවන් ව්දුලි කණුවක් නොතිබිච්ච නිසාම රේඩියෝවෙන් ඇහුණේ ගෝසාවක් - පිරිත නතර වෙලා තිබුණා. මිනීකාරෙක උවමනා කරන තැනට එද්දි කඳුබෑවුමෙන් යන්තමින් ඉර එළියක් වැටෙමින් තිබුණා. ඒත් වටේටම පැතිරිලා තිබුණේ හද්ද මීදුමක්! ඒ මීදුම මැදින් පෙනුණෙත් ළපටි තේ පඳුරු විතරමයි. කාරෙක නවත්තපු වංගුව ළඟින් උඩහට තිබුණු අඩිපාරේ ජයරත්න පියවර මැන්නේ මිනීපෙට්ටිය කාරෙක ඇතුළෙ තියෙද්දිමයි. තට්ටතනියම ම! මැරිච්ච කෙනාගෙ ගෙදර තිබුණේ ගුරුපාර කෙලවර කන්ද මුදුනට වෙන්නමයි.ජයරත්නගෙ අරමුණ වුණේ මිනීපෙට්ටිය උස්සගෙන යන්න පුළුවන් විදිහට, මළගෙදර පාළු කපන්න ආපු කීපදෙනෙක් අඬගහගෙන එන්න.
* * * * * *
ඉහළට ඉගෙන ගන්න වජිරාට තිබුණේ ලොකු ආසාවක්.අප්පච්චි මළාට පස්සේ ලෙඩගාණේ හිටිය අම්මවත් දාලා තවදුරටත් ඉස්කෝලෙ යන්න වජිරාට හිතදුන්නේ නෑ.බිත්තියෙ කුරුටු බලි අඳින නංගිටයි මල්ලිටයි උගන්නන්න ඕන නිසාමයි වජිරා අවුරුද්දකට විතර එපිටදී පැට්ටේරියෙ වැඩට බැඳුණේ. තරමක් දුරට ඉගෙනගෙන තිබුණු නිසා ලියන කියන වැඩකට සම්බන්ධවෙන්න ඇයට පුළුවන් වුණා. දවල්වරුවේ ගෙනෙන තේ දළුවල බර කිරලා ගණන් හිලව් තියන එක කළේ වජිරා. කොළඹ ඉඳන් නිවාඩුවට ලූල්කඳුරට ආපු පැට්ටේරිය අයිති තාබෲ මහත්තයගෙ ලොකුපුතා, වජිරාට මුණගැහුණේ ඔය අතරෙදිමයි. තමන්ව තේ පඳුරු අතරේ ලස්සනට හිටවලා පොඩිමහත්තයා ගත්තු පින්තූරයක් ආදරයෙන් රාමු කරලා, වජිරා ගෙදර ඉස්ටූල් එක උඩ තියලා තිබුණා. ඒත් වජිරගෙ ආරදය රාමුකළේ පොඩිමහත්තය බව දැනගෙන ඉන්නැත්තේ තේ පඳුරු යායම විතරයි.
* * * * * *
ජයරත්න කන්ද මුදුණෙ ගේදරට ගොඩවෙනකොට වජිරාගෙ අම්ම හිටියෙ තේ පඳුරු අතරෙ ඉන්න විදිහට රාමු කරපු වජිරව බදාගෙන. ඒ ඇස්වල ගලාගෙන ගිය කඳුළු වියළිලා තිබුණා. ජයරත්නගෙ ආගමනයත් එක්ක කැරම්බෝඩ් එක උඩ ඒ මේ අත දුවපු ඉත්තො ටිකකට නතර වුණා.ජයරත්නගෙ මල්ශාලාවෙ සුදු ඇඳුම, වජිරාගෙ අම්මට නොකියා කිව්වේ පහළ වංගුව ළඟ තමන්ව එක්කරගෙන යන්න එනකං වජිරා බලං ඉන්න බව. ඒ එක්කම වේළුණු කඳුළුමතුපිටට තවත් කඳුළු වැස්සක් වැටුණේ අම්මගෙ අඳෝනාව කඳුමුදුණෙ මීදුම අස්සේ හංගමින්.
ජයරත්න පල්ලම බැස්සා. කැරම්බෝඩ් එක වටේ හිටිය තරුණ ගැටව් කීපදෙනෙකුත් ජයරත්න පස්සෙන් වැටුණා. පාන්දර පින්න මැදින් තේ පඳුරු අතරින් මීදුම දෙබෑකරගෙන කට්ටිය ළංවුණේ වංගුවේ නතරකරල තිබුණ මිනීකාරෙක ළඟට. ඒත්......කාරෙකෙ පිටිපස්ස දොර තිබුණෙ ඉස්සිලා. ජයරත්නගෙ කටේ යටිතල්ල පහතට වැටුණෙ ඉබේටමයි. ඊළඟට සරම ටිකක් ඉහළට වෙන්නට උස්සාගත්තු ජයරත්න අඩියට දෙකට ගුරුපාරෙන් කාරෙක ළඟට ළංවුණා. හිතාගන්න බැරිවිදිහට මිනීපෙට්ටිය තිබුණෙ ඇරල දාලා. දෙපැත්තට වෙච්ච පියන්පතක් උඩ තිබුණේ එක සුදු අත්මේස් එකක් විතරයි. ඒක වජිරාගෙ මිනියෙ අත් වහන්න දාපු එකක් බව හිතාගන්න ජයරත්නට අමාරු වුණේ නැහැ.ඒත්..........වජිරා පෙට්ටිය ඇතුළේ හිටියෙ නැහැ!!! කිසිම හෝඩුවාවක් නැතිවෙන්න වජිරාඅගෙ මිනිය මීදුම අතරෙ අතුරුදහන් වෙලා තිබුණා.
* * * * * * * * *
ලොකුමහත්තයා වජිරාව පැට්ටේරියෙන් අයින් කළේ, වජිරා කාටත් හොරා පාන්දරම ඔක්කාරෙ කරන්න පටන් ගත්තු දවස්වලමයි. බංගලාව ඉස්සරහ දෙතුන් විටක්ම වජිරා හඬාවැටිලා තිබුණත් ඒ දුක අහන්න පොඩිමහත්තයා ඇවිත් නැහැ- කැමරාවයි පොඩිමහත්තයයි දෙන්නම කොළඹ ගිහින් තිබුණා.ලොකුමහත්තයා වජිරව ආයෙමත් වැඩට අරන් තිබුණේ 'හැමදේම එළිකරනවා' කියලා තර්ජනය කළාට පස්සෙයි. ඒත් එදා හවසම කවුරුත් අහල පහළ නොහිටි වෙලාවක වජිරා මැෂිමකට අහුවුණු ආරංචිය තේ පඳුරු උඩින් පියඹලා ගියා. පදනමක් නැති ඔප්පු නොවුණු ඕපාදූප කතා ලූල්කඳුර පුරා පැතිරෙද්දි තැන්තැන්වල කැපුම් තුවාල එක්ක වජිරගෙ මිනිය මැෂිමෙන් එළියට ගත්තේ එක අඟිල්ලක් නැතිවමයි.
* * * * * * *
ජයරත්නටවත් කාටව්ත් හිතාගන්න අමාරු වුණා මිනියට සිද්ධවුණු දේ. දවස් ගාණක් තිස්සේ හොයා බැලුවත් කිසිම ඵලක් නොවුණු තැන නිකම්ම පාංශුකූලෙ වඩම්මලා පිං දුන්නා. ඒත් සතියක් දෙකක් යන්නත් මත්තෙන් ගම්මානෙ පුරාම ඇළලිලා ගියේ ගැඹුරු භීතිකාවක්.පාන්දරම තේ දළු නෙළන්න ගිය කීපදෙනෙක්ම දැකල තිබුණේ සුදුපාටින් මිනියක් වගේ සැරසිච්ච වජිරව. මීදුම මැදින් කැපුම්තුවාල එක්ක ලේ ගලමින් එන වජිරව දුටු හැමෝම දුවල තිබුණෙ දළුකූඩ මග විසිකරලමයි. ඊටත් ටික දවසකට පස්සේ එක ඇඟිල්ලක් අහිමි වෙච්ච ලේ තැවරුණු සුදු අත්මේස් එකක් වජිරා ඇඹරුණු මැෂිමෙ තිබිලා හම්බුණහම හැමෝගෙම බය දෙගුණ තෙගුණ වුණා.ලූල්කඳුර පුරා කවුරුත් නොදන්නා බලවේගයක් ගලාගෙන යන බව මිනිස්සුන්ට දැනුණා. හැන්දෑ වෙද්දිම ගෙවල්වලට වෙලා දොරවල් වහගන්න මිනිස්සු පුරුදු වුණේ ඒ නිසාමමයි.
අත්මේස් එක ලැබිච්ච වෙලාවේ ඉඳන්ම ලොකුමහත්තයා හිටියෙ විකාරෙන් වගේ. වජිරගේ රූපෙ පැට්ටේරිය වටේ සක්මන් කරන හැටිත් කීප දෙනෙක්ම දැකලා තිබුණා. ලොකුමහත්තයා අසනීප වුණාට පස්සේ පැට්ටේරියෙ වැඩ නතර වුණා. බංගලාවෙ ඉඳන් එනගමන් ජීප් එක තේ පඳුරු කඩාගෙන පහළට වැටිල තිබුණා.
බරපතළ තුවාලයක් නොතිබුණත් ලොකුමහත්තයගෙ බෙල්ලෙ තිබුණු අත්ලක සලකුණ දොස්තරවරුන්ට ගෙනාවෙත් ප්‍රෙහේලිකාවක්.ඒ අත්සලකුණේ තිබුණේ ඇඟිලි හතරක් විතරයි!!!

පැට්ටේරිය පාළු වුණා. ඒ වටේටම වැවුණේ අඳුරු ගස් ගොන්නක්.තවමත් මීදුම නැගෙන පාන්දර ජාමයට එකම එක අත්මේස් එකක් දාගත්තු වජිරා පැට්ටේරිය ඉස්සරහා බලන් ඉන්නවලු - පොඩිමහත්තයා එනකං -වේදනාවෙන් ඉකිගසමින්!

Source: Link

---පාළු තේ කම්හල--- ---පාළු තේ කම්හල--- Reviewed by InvestCrypto on July 11, 2017 Rating: 5

No comments: