මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

---බෝනික්කී---


" සර්.... බහින්න... සර් බහින තැන මේක නේද... අයියෝ.... ශික් මේ යකා ...."
කල්පනාවත් නැති වෙන තරමට බීමතින් සිටි ඔහු රථයෙන් බස්සවා ගැනීම ඉතාමත් අපහසු විය... ටයි කෝට් පැලද සිටියත් බීමත්කම ඔහු බල්ලෙක් මෙන් පහලට ඇද දමා ඇත.. නිවස ඉදිරියේ අපගේ දෙබස ඇසී එලියට ආවේ ඔහුගේ බිරිද විය යුතුය...
" මැඩම් මහත්තයා බහින් නෑනේ...."
" ඒයි... ඒයී.... බහින්න මේ මනුස්සය යන්න ඕනා...."
ඇයගේ හඩට ඇගමැලි කඩමින් හරි බරි ගැහෙමින් මොන මොනවදෝ කෙදිරි ගාමින් ඔහු එලියට ඇදුනි..
" මැඩම් .... ටැක්සි ෆී එක 1200 යි...."
ඔහුවත් වත්තම් කරගෙන යාමට සැරසුනු ඇයට මා මතක් කලෙමි...
" ආ ඉන්න..."
ඔහුගේ සාක්කුවෙන්ම 1500ක් ඇද ඇය මා අත තැබුවා ය.
" මල්ලි කොයි පැත්තටද යන්නේ... "
මා ඉතිරි මුදල් දෙන අතර ඇය ඇසීය.
" කොලඹ පැත්තට මැඩම්.."
" ආ එහෙනම් මෙහෙ වටයක් යන්න ඕන නෑ.. තව ටිකක් ඉස්සරහට ගියාම ලොකු වංගුවක් එක්ක වමට පාරක් තියෙයි එකෙ යන්න මේන් රෝඩ් එකට ගොඩක් ලගයි .. "
" හා මැඩම්.. තැන්ක් යූ... මං ගිහින් එන්නම් මැඩම්.."
මා ඇගෙන් සමු ගත්තෙමි... රථයට නැග සිතියම ( google map) නැවත කොලඹ දෙසට සකසා ගත්තත් ඇය කී පාර පෙන්වුයේ අතුරු පාරක් ලෙසයි.. නමුත් එය කෙටි පාරක් බව සැකයක් නැත.. වේලාව රාත්‍රි 10.50 යි... විනාඩි 10ක් හෝ කලින් ගෙදර යාමට ඇත්නම් කොච්චර දෙයක් ද සිතු මා දෙවරක් නොසිතා කෙටි පාරෙන් යන්නට තීරණය කලෙමි...
එවිටම මාගේ ජංගම දුරකථන ය නාද විය...
" හෙලෝ ....."
" ඇයි පරක්කු...."
" අනේ දුර හයර් එකක් ආව මං දැන් එන ගමන් .... ඔයා නිදා ගන්න.. බබා නිදිද..."
" ඔව් බලන් ඉදල නින්ද ගිහින්...හා පරිස්සමෙන් එන්න හොදෙ...."
නිවසට යාමට ප්‍රමාද වන්නේ කලාතුරකින් නිසා බිරිද ද බිය වී ඇත...
..........................................................................
එය මාරක වංගුවකි.... කුඩා වුවත් කඩතොලු රහිත පාරක් නිසා අපහසුවක් නැතිව ගමන් කලෙමි... දෙපස රබර් ගස් ද තේක්ක ගස්ද හදුනා ගත නොහැක නමුත් වගා යායක් බව පැහැදිලිය...
ගතේ මහන්සියට ද මන්දා නුහුරු හැගීමක් සිතට ඇති විය.... එය පාලුවක් ද බියක් ද දෙගිඩියාව ක් ද යැයි නොතේරෙයි.. රේඩියොවෙන් නොකඩවා ඇහෙන වේග රිද්ම සංගීතය ට එය යටපත් කිරීමට නොහැකි විය... තැනින් තැන විදුලි එලිය මතු වූවේ ලග ලගම වැස්සක්ද එන බවට පේන කියමිනි... එය සැබෑය නමුත් ඇද හැලුනේ වැලි කැට මෙන් සියුමැලි පොද වැස්සකි...
රේඩියෝවේ හඩත්... වීදුරුව මත ඇතිල්ලෙන වයිපරයේ හඩත් .. පොලොවට එරෙහිව යන ටයර් හඩත් සමග එකතු වූ රථයේ ඉදිරිපස අලවා තිබූ හිස නටවන බල්ලා හිස වනමින් මගෙ හිතේ ඇති වූ පාලු හැගීමට කොලොප්පන් කරන්නට විය...
ගස් පෙල අවසානයි... විශාල වෙල් යායක් මැදට ඇතුල් වත්ම මැඩියන්ද පෙර ශබ්දයන්ට එකතු විය... විදුලි එලිය අහස පුරා පැහැදිලි ව රටා මැවුවත් මා ඇස් යොමු වූයේ අහස දෙසට නම් නොවේ.... රථයේ ලාම්පු එලියටත් ඈතින් දිස්වූ චලනය වන දෙයක් දෙසට මගෙ දෑස් යොමු විය..
එක් වරම ඒ කුමක්ද පැහැදිලි නොවුනත් රථය ඉදිරියට ඇදෙද්දී ඒ මිනිස් රුවක් එපමණක් නොව කාන්තාවක් බවම පැහැදිලි විය..
මේ රෑ මේ කැලේ මේ වැස්සේ ගැහැනියක තනියම පාරේ කුමක් කරනවාද යන පැනය ආවේ සිතෙහි බිය යන සිතුවිල්ලට අත්තිවාරම් දමමිනි.
වේගයෙන් ඈ පසු කර යනවාද නැතිනම් ඇයගේ හදිස්සිය අසනවාද සිත පොරබදයි ..
වාහනයෙ එලියට ඒ දෙසට හැරුනු ඇය අත දමා නවත්තන ලෙස සංඥා කලේ කරදරයකට උදවු ඉල්ලන්නට මෙනි... රෙදි වලින් එතූ යමක් ඇගේ ළැමට තුරුල් කරන් සිටින බව දුටුවේ දැන්‍ ය. හ්ම්ම්ම්ම් ඇය මග හැර යාමට තීරණය කලත් ඇය ඇත්තටම කරදරේක නම්.... මට සිතිනි...
රථයේ වේගය වැඩි කර ඇය අසලින්ම වේගයෙන් ගියෙමි... රේඩියෝවේ හඩ පරදවමින් " මගෙ දරුවා...." යැයි ඈ කෑ ගසන හඩ පමණක් මට ඇසිනි ... ඈ පසු කර ගොස් පැති කණ්ණාඩියෙන් බැලුවේ හිතෙ චකිතය දුරු කර ගැනීමටයි... වෙනසක් නැත ඇය තවමත් දරුවෙක් යැයි සිතිය හැකි යමක් තුරුල් කරගෙන අඩමින් ඉදිරියට ම දුවයි...
මා තිරිංග තද කල ක්ෂණයට වේගයෙන් ආ රථය ක්‍රී.....ස් හඩ නංවමින් මදක් ඉදිරියට ඇදී නතරවිය... රාත්‍රියේ අතරමං වූ කෙනෙක් දමා යන්නේ කෙසේ දැයි යන පවුකාර වරදකාරි හැගීම මගේ නතරවීමට හේතුව විය... ඕනෑම දෙයක් සිදු වන්නට මා රථය නැවත පසු පසට පැදවූයෙමි ...
" මොකද ප්‍රශ්නේ... කොහෙද මේ රෑ දුවන්නේ...."
රථයේ සිටම පැති වීදුරුව පහත් කර මා ඇසුවෙමි..
" අනේ මගෙ දරුවට සනීප නෑ... ඉක්මනට හොස්පිටල් එකට ගිහින් දානවාද....."
කලු වී වල ගැසූ ඇස් ගුලු කියා පෑවේ ඈ සති ගණනක් නිදි වර්ජිත බවයි... අවුල් වූ කැරලි කෙස් ඉබාගාතේ විසිරී ඇත... පසු පසින් එලවා එන යමකට බයෙන් මෙන් ඇය නිතර පසුපස බලමින් කතා කලාය.. සැබවින්ම උදවුවක් අවශ්‍ය කෙනෙක් බවට සැක කිරීමට හේතුවක් මට නොවීය...
" හරි නගින්නකො...."
නැවතත් පසුපස බැලූ ඈ වහාම රථයේ පිටිපසට ගොඩ විය..
කාරයේ සිතියම ආශ්‍රයෙන් ලගම රෝහලට ගමනාන්තය සැකසූ මම ඒ දෙසට ගමන් කලෙමි.. රාත්‍රියේ නිසා මටත් නොදැනීම සෑහෙන වේගයෙන් ගමන් කල බව මතකය.. තරමක් දුර ආවත් ඈ කිසිවක් නොකී නිසා පසුපස බලන කණ්ණාඩිය ඇය දෙසට හරවා විටින් විට ඈ දෙසද බැලුවෙමි.. ඇ තුරුල් කරගෙන සිටි දරුවා අඩන්නේවත් දගලන්නේ වත් නැත..
" බබා ට මොකද...."
" එයාට සනීප නෑ... එයා නිදි..."
මට සගවන්නට මෙන් දරුවා ළයට හොවා ගත් ඇය නොරිස්සුම් ලෙස කණ්ණාඩියෙන් මා දෙස බලමින් කිවුවාය...
මමද නැවත් කිසිවක් අසන්නට නොගියේ මට එය අදාල නොවන නිසාය.
සිතියමට අනුව පාලු අතුරු පාර ඉවර වෙන්නට ඇත්තේ තව ටික දුරකි.. නමුත් සිදුවූ අනපේක්ෂිත සිදුවීම නිසා මට උන් හිටි තැන් අමතක විය...
" ටට් ටට් ටට් ටට් ටට්....."
තේරුම් ගැනීමට නොහැකි ශබ්දයක් ඇසුන හෙයින් රතයේ වේගය බාල කර රෝද වලටත් එන්ජිම දෙසටත් හොදින් කන් යොමා ගමන් කලෙමි... කිසිවක් නැත..
" ටට් ටට් ටට් ටට් ටට්....."
පෙරටත් වඩා එය පැහැදිලිව ඇසෙත්ම රතය ගැස්සෙන්නට විය.... එක් වරම ඇස් යොමු වූයේ කණ්ණාඩිය දෙසටයි... දෙවියනේ.... කෝ මේ ගෑණී....
පාර මැදම රථය නතර කලේ සිතාමතාම නොවේ... මා පසුපස බැලුවෙමි...
" අනේ දෙයියනේ මේ මොකද මේ....."
පසු පස අසුනේ දිගා වී සිටින ඈ වතුරෙන් ගොඩ දැමූ මාලුවෙක් මෙන් ගැසෙයි... උඩ ගිය ඇස් වල පෙනෙන්නට ඇත්තේ සුදු ඉංගිරියාව පමණි... මරණාසන්නව මෙන් හුස්ම ගනි.. ටට් ටට් ටට් ගාමින් පිටතට ඇසෙන තරමටම ඈ දත්මිටි කයි.. ඇයට කුමක් වීද... ඈ හැසිරුනේ යක්ශයෙකු ආවේශ වූවෙකු මෙනි
මට කල හැකි කිසිවක් නැත... ‍රථය පණ ගන්වා වේගයෙන් ඇදුනෙමි
" පොඩ්ඩක් ඉන්න.... තව ටිකයි... තව ටිකයි...."
ඇයට නෑසෙන බව දැන දැනත් එලෙස කීවේ ඈ සැනසිමටද මට සැනසීමටද මා නොදනී.... එය රෝගයක් ද වෙනත් දෙයක් ද මට දැනීමක් නැත... ඇය මැරෙයි ද යන බයෙන් මගෙ සිරිගඩු පිපී ඇත. නොනවත්වා කියවන දෙබස් පේලිය පැහැදිලි නොවුනත් " මරන්න දෙන් නෑ" වැනි වචන කිහිපයක් තේරුම් ගැනීමට හැකි විය..
ආ වේගයෙන් ම වාහනය රෝහලට ඇතුල් කරන විටත් ඇය අඩ සිහියෙන් මෙන් දොඩවයි... කාරණය දැනුම් දුන් විට ක්‍රියාත්මක වූ රෝහල් සේවකයින් වහාම ඈ ඇතුලට ගෙන ගියේ තොරතුරු සටහන් කර ගැනිමට මා නතර කර ගනිමිනි .
.........................................................................
" ඇයි මෙච්චර රෑ වුනේ..."
නිදි කඩමින් දොර විවර කල මගේ බිරිද ඇසුවේ මින් පෙර එසෙ වී නැති නිසායි
" අපෝ ඒ ගැන නම් කියල වැඩක් නෑ.. හරි මහන්සි.. එපා වුනා අද නම්..."
ඇදුම් උනා දමා ඇග පත සෝදා ආවේ ඉතිරි පැය කිහිපයවත් සුව නින්දක් බලාපොරොත්තුවෙනි . ඇදට වැටීමට පෙර පුංචි දුවගේ සුව දුක් බැලීමටද අමතක නොකලෙමි. සුරංගනාවියක් සුරංගනා ලෝකයේ කොහේ හෝ අතරමං වී සුන්දර සිහිනයක් දක්නා මෙන් ඇගේ සුන්දර මුහුණ බැබලෙමින් තිබිණ .. නින්ද නොකඩා සියුම් හාදුවක් ලබා දී මම ඇදට ආවෙමි
" මාව හෙට උදේම ඇහැරන්න හොදද.. "
නිදා ගැනීමට රෑ වූ නිසා හෙට උදේ ඇහැරීම අපහසු බව හොදින් දන්නා හෙයින් මම මගේ බිරිද චාමි ට කීවෙමි.
" කීං කීං කීං...."
කොට්ටයට හිස තිබ්බා පමණි
"" ඒ මොකක්ද ඒයි... වාහනේ නේද...."
රථයේ ආරක්ෂක එලාමය හිටිහැටියේ නාද වන්නේ ඇයි ......
සාලයේත් ඉස්තෝප්පුවේ ත් විදුලි පහන් දැල්වූ මා යතුර ගෙන එලාමය ක්‍රියා විරහිත කලෙමි. දොර විවර කර වටපිට බැලුවද කිසිවක් සිදුවූ බවට සලකුණක්වත් නැත. සියල්ල ඉතාමත් නිශ්ශබ්ද ය.. කෝකටත් කියා රථයේ දොරවල් නැවත් පරීක්ෂා කලේ සිතේ සැක නැති කර ගැනීමටයි.
රථයේ පිටුපස දොර විවර කර වසත්ම අසුන යට යමක් තිබෙනු දුටුවේ අහම්බෙනි ... සුදු රෙද්දකින් ඔතා තිබූ එය මගෙ මතකයට ආවේ ප්‍රමාදවය..
" දෙයියනේ.... අර දරුවා ....."
වහාම පැන ඔහු අතට ගතිමි ... මෙතරම් වේලාවක් එය සිහි නොවූයේ කෙසේදැයි මම මගෙන්ම ප්‍රශ්න කර ගතිමි..
" මේ මොන විකාරයක් ද...."
එහි දරුවෙක් නැත.. ඒ ගැහැනිය දරුවා කියා ඇත්තේ බෝනික්කකු ට ය... හ්ම්ම් ඇයට පිස්සුද ... මා බෝනික්කා ඔතා තිබූ රෙදි කඩ ඉවත් කලෙමි.. නිල් ඇස් සහිත ජීවමාන දරුවෙකුගේ ප්‍රමාණය ට සමාන රෙදි බෝනික්කාට අන්දවා තිබුනේ සුදු පැහැ ලෝගුවක් මෙන් දිගු ගවුමකි.. බෝනික්කා අන්දවා ඇත්තේ ගැහැණු දරුවෙකු මෙනි. උගේ දිගටි කෙස් ඇත්තම කෙස් වලට සමානය...
" ඒ මොකක්ද....."
මා නැවත නිවසට ඇතුල් වන විට දොරකඩ සිටගෙන සිටි චාමි ඇසීය.
" අද පිස්සු ගෑනියෙක් නැග්ගා.. ඒ ගෑනිගේ බෝනික්කා දාලා ගිහින්..."
කෙටියෙන් විස්තර කරන ගමන් බෝනික්කිය සාලයේ පුටුව උඩට විසි කර දැම්මේ නිදි මත ඉවසීමට නොහැකි නිසාය.
ඇදට වැටුනු මා හට තත්පර ගණනකින් නින්ද යන්නට ඇත...
.......................................................................
" ම්ම්ම්ම් හික් .... හික්.. ඉහි.. ඉහි.."
ඉකි බිදුම් හඩක්... නින්ද කැඩුනේ ඒ හඩිනි.. චූටි දූ නැගිටලා වත් ද.. මා චාමි දෙස බැලුවත් ඈ සුව නින්දේ පසු විය.. කාමරයේම වෙනම පිහිටි ඇදක සිටි දුව ද අවදි වී ඇති බවක් දක්නට නැත...හ්ම්ම් මටම බැලීමට සිදුවේ..
විදුලි පහන් නොදල්වා ම හෙමින් හෙමින් ගමන් කලේ කවුරුන් හෝ ඇහැරෙතැයි සිතාය. පරිසරය කෙතරම් නිහඩද කියතොත් ඔරලෝසුවේ කටු වදින හඩ පවා ඇසේ...ඉකි බිදීම කොහෙන් ඇසේදැයි පැහැදිලි නැත.. අද දවසම මහා අත්භූත දිනයක් බව මට හැගුනි.. කුස්සියත් අනෙක් කාමරයත් සෝදිසි කල මා සාලයට ඇතුල් වී අදුරේම අතපත ගෑවේ විදුලි පහන් දැල්වීමට ස්විචය සොයමිනි. අදුරට හුරු වූ ඇස් වලින් දුටු අපැහැදිලි දර්ශන වලින් සිත මහත් සේ කම්පනය විය...
සාලයේ දිග සැටිය මත ගැහැණු දරුවෙක් මා දෙස බලා අඩන සැටි මට පෙනුනි .... ඒ දෙස බලාගෙනම විදුලි පහන දැල්වුවෙමි ....පහන් දැල් වු විගස සියල්ල නිහඩ විය...
" අහ්හ්හ්හ්හ්හ්..." තදින් හිත ගැස්සුනේ පුටුව මත මමම තැබූ බෝනික්කි එක එල්ලේ මා දෙස බලා සිටිනු දැකීමෙනි.... හ්ම්ම්ම්ම් විකාර.. මටම කියා ගත් මා නැවත කාමරයට විත් නිදා ගත්තෙමි..
..........................................................................
" ට්‍රීං .... ට්‍රීං...."
" ශික් මොකාද මේ උදේ පාන්දර කෝල් කරන්නේ.... හෙලෝ..."
" හෙලෝ... මං මේ කතා කරන්නේ ඊයේ ඔයා හොස්පිටල් දාපු ගෑනු කෙනාගෙ හස්බන්ඩ්..."
" ආ කියන්න...."
" මට ඔබ තුමා මුණගැහෙන්න පුලුවන් ද... මගේ wife ගේ බෝනික්කි ඔබතුමා ලගද..."
" අනේ ඔව් එයා දාලා ගිහිල්ලනේ... මං ඔය පැත්තේ එද්දි ගෙනත් දෙන්නම්..."
" තැන කිවුවොත් මං ඇවිත් ගන්නම්... ඔබ තුමා අද මේ පැත්තේ එන්නේ නෑනේ නේද.."
" අද නම් එන් නෑ මං ගෙනත් දෙන්නම්.. බයවෙන්න එපා...කෝකටත් මට ඇඩ්‍රස් එක දෙන්නකෝ ඔය පැත්තේ ආවොත් දීගෙන යන්නම්..."
ලිපිනය ගෙන මම දුරකථන ය විසංදි කලේ ඔහු කුමන අරමුණෙන් මා සිටින ස්ථානය අසන්නේදැයි නොදන්නා නිසාවෙනි.. අනෙක මේ කැහැටු බෝනික්කා මෙතරම් වටින්නේ ඇයි ද මට සිතිනි..
හරි හැටි නින්දකුත් නොලද නිසා අදි මදි කරමින් රැකියාවට යාමට සූදානම් වුනෙමි.. නිවසෙන් බහින්නට සුදානම් වෙද්දී රථයෙ යතුර කාමරයේ බව මතක් විය. කාමරයට ඇතුල් වී යතුරත් ගෙන අවසාන වතාවට කණ්ණාඩියෙන් බැලුවෙමි....
" මොනවා....."
මා කණ්ණාඩියෙන් දුටුවේ චූටි දූගේ ඇද මත සුදු පාට නිදන ඇදුමක් හැදගත් තවත් කෙල්ලක් නිදා ගෙන ඉන්නවා ලෙසය .. ඒ තැති ගැන්ම කෝපයක් කර ගත් මා
" චාමී.....මෙහෙ එන්න..."
" අම්මෝ ඇයි අනෙ කෑ ගහන්නේ...."
" පිස්සුද ඔයාට අර ජරා බෝනික්කා චූටි දූ ලගින් තිබ්බේ...."
" පිස්සුද අනේ මම තිබ්බේ නෑ උදේ එලියට ගියාම දැනුයි කාමරේට ආවෙත්... ළමයම ගන්න ඇති එයා දන් නෑනෙ ඔයා එයාට ගෙනාව කියලා හිතන්න ඇති..."
" හා හා දැන් ඕකව අරන් ළමයට ගන්න බැරි තැනකින් තියන්නකෝ හෙට ගිහින් දෙනකන්.."
සිදු වූ දේ මට සිතා ගත නොහැකි විය.. " දෙයියනේ මම කණ්ණාඩියෙන් දැක්කේ ඇත්ත ගැහැණු ළමයෙක් වගේමනේ " චූටි දූ ඇදෙන් බැහැල එනව මම දැකේවත් නෑනේ" මට සිතිනි
තනිව කල්පනා කරමින් නිවසින් පිටත් වූයේ සිත සන්සුන් බවකින් නම් නොවේ. කෙමෙන් කෙමෙන් දිනය ගත වුනත් සිත තිබුනේ නිවස තුලය...
" ට්‍රීං ...... ට්‍රීං...."
දිගින් දිගටම මා සම්බන්ධ කර ගැනීමට උත්සහ කරන්නේ පිස්සු ගැහැණිය ගේ සැමියාය.. නමුත් මා ඔහු මග හැරියේ හිතාමතාම ය...
" කරුණාකර හැකි ඉක්මනින් මට බෝනික්කා ලැබෙන්නට සලස්වන්න...." කිහිප වරක්ම නාද කිරීමෙන් පසු ඔහු කෙටි පණිවිඩයක් එවා තිබුනේ ඉතාමත් හදිස්සියෙන් මෙනි.. නමුත් මේ මොහොතේ මට කිරීමට කිසිම දෙයක් නැත....
පෙර දිනත් ඉතා තදින් වෙහෙස වූ නිසා මා අද තරමක් කලින් ගෙදර යාමට තීරණය කලෙමි..
.......................................................................
රාත්‍රිය උදා විය.... මුලු නිවසම අනවශ්‍ය ලෙස සන්සුන් බව මට සිතිනි... ඒ නිහඩ සන්සුන් බවම මට වදයක් විය... සියල්ලොම වෙනත් ලෝකයක සිටින මෙන් නිහඩය.. වෙනදා ගේ පුරාම දුව පැන නටන චූටි දූ අද එකම තැන බලා ගත් අත බලා සිටී...
" ඇයි මේ දූට සනීප නැද්ද .... ඇයි ඔක්කොම ගල් ගිලල වගේ කිසි සද්දයක් නැත්තේ..."
" මුකුත් නෑ... "
කියා චාමි දරුවාද රැගෙන කාමරයට ගියාය...
කිසිවක් වටහා ගත නොහැකි වූ මාද කෑම පිගාන පැත්තට දමා අත් සෝදා කාමරයට ආවෙමි.. එක්වරම ඈතින් ඇසුනු බල්ලෙකුගේ උඩු බිරුම කියන්නට තැනුවේ අද නම් මහා මූසල දවසක් බවය... අප නිවසේ අප හැර තවත් කෙනෙකු සිටිදො මට දැනෙන්නට විය.නිදි යහනේ සිට කල්පනා සයුර ක ගිලී සිටියේ උත්තර සොයන්නට වත් ගැටලුව නොදන්නා නිසාවෙනි ...
එක්වරම තිගැස්සී ඇහැරුනේ චූටි දූගේ මර ලතෝනි හඩ නිසාය...
" චාමී.... චාමි දෙයියනේ මොකද මේ...."
චාමි චූටි දූට අමානුශික ලෙස පහර දෙමින් සිටින්නේ යකෙක් ආවේස වූ අයෙකු මෙනි ... කෙස් වැටිය කඩා දමා දත් මිටි කමින් පුදුමාකාර ආවේගයකින් පහර දෙමින් සිටි ඇයට තිබුනේ පුදුම ශක්තියකි.. ඇයව ඇද බිමට දමා තද කර ගත්තේ වෙන කිරීමට කිසිවක් නොමැති නිසාය.. උඩ ගිය ඇස් , ටට් ටට් ටට් හඩින් එකට වදින දත්.. මට සිහි කලේ පෙරදින රෝහල් ගත කල ගැහැණිය ය. මින් පෙර කිසි දිනක චාමිට මෙසේ වී නැත...
ඇයව යටපත් කිරිමට මට ඇයට පහර දීමටද සිදු විය... ඇගේ විදුරු මස් වලින් ලේ ගලා යයි... ඇය මන්තරයක් වගේ කෙදිරුවේ " මගෙ දරුවා... මගෙ දරුවා... " යන්න පමනකි . විනාඩි 10ක් පමණ ඈ සමග පොර බදන විට ඇය කෙමෙන් සිහිසුන් විය...
" චාමී... චාමී... හරි හරි දැන් හරි.. "
මා ඇයව තුරුල් කර ගතිමි...
සිදු වූයේ කුමක්ද කියා මමවත් දන්නේ නැත.. මනස්ගාත විස්වාස නොකලත් මෙය නම් අමනුෂ්‍ය බලවේගයක් ද යැයි මටද සිතුනි..සන්සුන් වූ චාමි ඇදෙන් තබා හඩමින් සිටි චූටි දූ වඩා ගත්තේ ඇයවද සැනසීමටය... එලිය වැටීමටද තව බොහෝ වේලා ඇත.. තවමත් වේලාව පාන්දර 1.15 ට ආසන්නය... ඇයවත් ඇගේ යහන මත තබා නිම්ද යන තෙක් සිටි මා කුස්සියට ගියේ පොර බදා ඇතිවු මහන්සියට වතුර උගුරක් බීමටයි...
ශීතකරණය ඇර එහි තිබූ බියර් කෑන් 3 කුත් ඇපල් ගෙඩියක් හා පිහියත් රැගෙන සාලයට ගොස් වාඩි වූයේ මෙයින්වත් සහනයක් ලැබේ යැයි සිතාය... සැටිය මත වාඩිවී බියර් බොමින් ඇපල් පෙති කපමින් කෑවෙමි.. බියර් කෑන් 3 අවසාන වන්නට ආසන්න වත්ම නින්දද මා ලගටම පැමිණ ඇත... නමුත් සැටියේම ඇලවූයේ නිදා ගැනිමට නම් නොවේ..
වෙරි මතටද මන්දා සියල්ල කැරකෙනවා මෙන් පෙනුනි... අදුරේ ම කවුරුන් හෝ අඩමින් සාලය පුරා දුවන හඩ ඇසුනි. නැගිට ගොස් ඒ කුමක්ද කියා බැලීමට උවමනා වුවත් ගතට කිසිදු පණක් නොවීය. මේ හීනයක්ද ඇත්තක්ද තේරුම් ගත නොහැකි තරමට දෙලොවක අතරමං වී ඇති සේය.
අපහසුවෙන් කෙසේ හෝ පුටුවේ වාඩි වුනෙමි..
" කවුද මේ... මොනාද ඕනේ.... "
මා ඇසුවේ මා ඉදිරියේ සිටගෙන සිටි නාදුනන දැරියගෙනි... ඇය අර බෝනික්කාද අතෙහි දරා සිටියාය...
කිසිවක් නොකී ඇය සෙමින් සෙමින් මා ලගට ඇදෙයි... ඇගේ කට සෙලවෙන බව පෙනුනත් ඈ කියන දේ මට ඇසෙන්නේ නැත..
" එපා... එපා ලගට එන්න එපා... මොනාද උබට ඕනේ.... අපිට පාඩුවේ ඉන්න දීපන්...."
මම කෑ ගැසුවෙමි.. නමුත් ඈ නතර වූයේ නැත.
ඇගේ හුස්ම දැනෙන තෙක් මා ලගටම ආ ඇය අත දිගු කර මගේ කම්මුලට අත තැබීය.. බියෙන් භ්‍රාන්ත වූ මා වහා ක්‍රියාත්මක වී අත තිබු පිහිය ඇගේ ගෙල හරලා යවත්ම
" තාත්ති......."
කියා කෑ ගැසීය.. ඇයට කීමට හැකි වූයේ එපමණකි... පිහි පහරින් විසි වූ ලේ මගෙ මුහුණ පුරා ඉසිරවිය ... සියල්ල සිහිනයක රූප රාමු මෙනි....
" ට්‍රීං.... ට්‍රීං...ට්‍රීඊඊඊඊං ....." මා පියවි සිහියට ආවේ දුරකතනයේ නොනවතින නාදයටයි....
" අනේ..... එපා.... මගෙ දුවේ... මගෙ චූටි දුවේ.... නෑ නෑ අනේ ....."
මගෙ පිහි පහරින් උගුරු දණ්ඩ වෙන්වු ඇය මා අසලම වැටී සිටී.. ඇගේ ලේ වලින් ඈ අත තිබූ බෝනික්කිය පෙගී ගොස් ය.. බෝනික්කියත් චූටි දුවත් මා දෙසම බලා සිටී... අනෙ දෙවියනේ මං වගේ පවු කාරයෙක්.... ඇය තුරුලට ගෙන මා ඉකි ගසමින් හැඩුවෙමි... බස් වැටුනු බෝනික්කි මා දෙස බලා සිටියේ සිනාසෙමින් යැයි මට සිත්නි...
" ට්‍රීඊඊඊඊං .... ට්‍රීඊඊඊඊං ......' දුරකථන ට ඉස්පාසුවක් නැත... කතා කිරීමට නොහැකි වුවත් එය ක්‍රියාත්මක කර පැත්තකින් තැබුවෙමි..
" හෙලෝ... හෙලෝ.. කතා කරපන් මිනිහෝ.... " පැත්තකින් තැබූ දුරකතනයේ මට ඇසේ..
" හෙලෝ... මට දැන් ඔය බෝනික්කා එපා... ඔය බෝනික්කා තමයි මගෙ ගෑනිගේ දරුවා.. ඒක හොය හොය පිස්සුවෙන් වගේ හිටපු ඒ ගෑනි ඊයෙ රෑ හොස්පිටල් එකේ බෙල්ලෙ වැල දාගෙන මැරිලා.... උබ තමා මගෙ ගෑනිව මරා ගත්තේ...දැන් මට ඕකෙන් වැඩක් නෑ... ඒත් මතක තියා ගන්නවා.. ඔය බෝනික්කි පුරවලා තියෙන්නේ මගෙ මැරිච්ච දරුවගේ මිනී අලු වලින්.... උබට සාප වෙනවා මේ කරපු දේට...."
සියල්ල නිලංකාර විය... මෙතෙක් කල් මා නිවසේ තබාගෙන සිටියේ මලගිය කෙනෙක්ගේ මිනී අලු ද...දෙවියනේ මොකක්ද මම මේ කලේ.. මේ සියල්ල මේ බෝනික්කාගේ සාපයද..... මගෙ බිරිද ට ආවේශ උනේ අර ගෑනිද...
............................................................................
වසර 5 කට පසු..
බිරිදට අමානුශික ලෙස පහර දීමත්... පහර දී ගෙල කපා තම දරුවා ඝාතනය කිරීමේ වරදටත් වැරදි කරු වූ මා බන්ධනාගාර ගත වීමෙන් වසර 5කට පසු යහපත් හැසිරීම මත ලැබුනු ජනාධිපති සමාව යටතේ නිදහස් වීමට හැකි විය...
නිවසට යන විටත් දැන ගන්නට ලැබුනේ චාමි අයහපත් මානසික තත්වය නිසා මානසික රෝහලේ නේවාසික ව ප්‍රතිකාර ලබන බව යි..
මා කෙලින්ම ගමන් කලේ රෝහල වෙතයි... ඇයව රැගෙන එන තෙක් මද වේලාවක් රැදී සිටියෙමි... ඇය දුටු මා එක්වරම නැගිටවිය
" දෙවියනේ චාමි ඔයා......"
දෙතුන් වරක් හිස ඇල කරමින් මා දෙස බැලූ ඈ යන්නට ගියාය... මේ ඇයමද වෙනත් අයෙක් ද යැයි අදුනා ගැනීමටද අපහසුය.. ඇගේ කෙස් අවුල් වී ඇස් යට ගොස් ඇස් වටේ කලු වී ඇත... නමුත් ඇගේ අතේ දරා සිටි බෝනික්කිය වසර ගනනාවක් ගියත් මට අමතක වන්නේ නැත....
අහෝ දෙවියනේ... තවමත් සියල්ල නිමා වී නැත්ද....
නිමි..

ප්‍රගීත් ලීටස්

Source: Link


---බෝනික්කී--- ---බෝනික්කී--- Reviewed by InvestCrypto on August 17, 2017 Rating: 5

No comments: