මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

---පෙළපත් දෙකක් සුනු විසුනු කල මඩුවන්වෙල වලවුවේ ශාපය---


මුළු මහත් නින්දගමම නිදිවර්ජිතව බලා සිටින්නේ කොයි මොහොතේ කෙබඳු පණිවිඩයක් වලව්වෙන් ඒද කියාය. අක්කර හතළිස් දහසකට ආසන්න නින්දගම් භූමිය පුරා අණසක පැතිරූ ‘මඩුවන්වෙල දිසාවේ’ සිය සයනයේ හාන්සි වී මහත් ආයාසයෙන් හුස්ම ගනිමින් සිටියි. කෙර මැණිකේ තමන්ගේ එකම ශක්තිය වූ පියාණන්ගේ අවසන් මොහොත දෙස වික්ෂිප්තව බලා සිටින්නේ මින් මතු තමන්ට වන්නේ කුමක්දැයි නොදැනය. කලවානේ මැණිකේ සිය සැමියා දෙස ආදරයත් සානුකම්පාවත් මුසු වූ හැඟුමින් බලා සිටින්නීය. එහෙත් දිසාවේට එය දැනෙන්නේ කුමාරිහාමි කලකිරීමෙන් තමන් දෙස බලා සිටිනවා සේය.
මුල් මැණිකේ කොර වූ දියණියක උරුම කර මෙලොව හැර ගිය පසු තමන්වත් ඒ දියණියත් බලාගත්තේ කලවානේ මැණිකේ බව ඔහුගේ හෘදයසාක්ෂිය හොඳින් දනී. එහෙත් දේපළ සම්බන්ධව තීරණයේදී තමන්ගේ ආබාධිත දියණිය මෙන්ම බිරිය මේ මහා නින්දගමේ උරුමයෙන් ඉවත් කිරීමට දිසාවේ ගත් තීරණය ඔහුගේ සිතට වද දෙයි.

මඩුවන්වෙල පෙළපත් නාමය ගත්තද ඒ නමට තමන්ගේ සැබෑ හිමිකමක් නොතිබුණු බවද ඔහුගේ සිත කකියන්නට හේතුවකි. සිය තරුණ මව හා විවාහ වී සිටි මඩුවන්වල නමැත්තා තමන් පිළිසිඳ ගන්නටත් පෙර මිය ගිය බව ඔහු දනී. එනිසා මඩුවන්වෙල පරපුර අවසන් වූයේ තමා බිහි වන්නටත් පෙර බව ඔහුට සිහි වෙයි. තමන්ගේ සැබෑ පියා වූ මවගේ දෙවැනි කසාදයේ මොලමුරේ ලේ උරුමයට මඩුවන්වෙල දිසාවේ සිය දේපළ පවරන්නේ සැක සංකා දෙකක් පෙරදැරිවය. එකක් නම්, තම මව කළා මෙන්ම කලවානේ මැණිකේද තමන්ගෙන් පසු තනි නොතනියට නොගැළපෙන බින්නයක් කරගත හොත් නුසුදුස්සකුට නින්දගම් උරුමය පැවරෙන්නේය.

දෙවැන්න තම ආබාධිත දියණිය – කොර මැණිකේගේ දුර්වලකමින් සල්ලාලයකු ප්‍රයෝජන ගත හොත් ඒ නොහොබිනාකමේ ප්‍රතිඵලය තමන් භුක්තිවිඳි දේපළ සියල්ලට වග කියනු ඇත. මේ දෙකරුණම රදළ දේපළ සම්මතයට විරුද්ධය. එහෙත් කලවානේ මැණිකේගේ මෙන්ම කෙර මැණිකේගේ හදවතේ වේදනාව මඩුවන්වෙල නමට මෙන්ම මොලමුරේ පරපුරට ශාප කරනු ඇත්දැයි ඔහුට සැකයක්ද මතු වෙයි.
ඔහුගේ තේජස ගතේ වේදනාවෙන් මැකිය නොහැකි වුවත් හදවතේ වේදනාවෙන් මැකී ගොස් ඇද්දැයි කලවානේ මැණිකේටද සිතේ.


දිසාවේගේ හොඳම ගෝලයා වූ ජුවානිස් අමතන මැණිකේ පන්සල වෙත සේවකයකු යවා නායක ස්වාමීන් වහන්සේට තොරතුරු දන්වා වඩම්මන්නැයි උපදෙස් දෙයි. වෙනෙකකු ගියහොත් පමා වේයැයි සිතා ජුවානිස්ම නාහිමියන් සොයා දිව යයි. හාමුදුරුවන් වෙත වැඳ නමස්කාර කොට සිය ‘හාන්දුරුවන්ගේ’ තත්ත්වය පැහැදිලි කරන ඔහු සමඟ නාහිමියන් වලව්වට වඩින්නේ තවත් දෙනමක් කැටුව පිරිත් දේශනා කීරීමටය. අභිමානවත් සිංහල බෞද්ධයකු වූ මඩුවන්වෙල දිසාවේ වෙව්ලන දෑත් එක් කොට සංඝයා වහන්සේට නමස්කාර කිරීමට උත්සාහ දරයි.

ඔහුගේ මුවින් නිකුත් වූ අවසන් අණ වූයේ නාහිමියන්ට පූජා කිරීමට වලව්වේ භාණ්ඩ කීපයක් ගෙන එන ලෙස සිහින් හඬින් සේවකයන්ට කළ දැන්වීමයි. පිරිත් සජ්ඣායනය අවසන් වීමට පෙරම තෙවරක් සාධුකාර දෙන දිසාවේ සිය සිය අවසන් සුසුම වාතලයට මුසු කළේය. අක්කර හතළිස් දහසක් පමණ වූ නින්දගම පුරා මේ පණිවිඩය පැතිරීමට මිනිත්තු හතළිහක් වත් ගත නොවන්නට ඇත.

වලව්වේ මෙතෙක් පැවැති උත්සවවලදී මෙන්ම දිසාවේගේ අවසන් කටයුතුවලදීද සැරසිලිවලින් අඩුවක් නොවීමටත්, උඩරට චාරිත්‍රානුකූලව දේහය රැඳි චිතකය ගිනි දැල්වීමටත් පිරිස විසින් කටයුතු යොදන ලදි. මඩුවන්වල මුදලින්දාරාමාධිපති කෑල්ලේ සාරානන්ද හිමියන් ප්‍රමුඛ සංඝයා වහන්සේ පාංශුකූලය දුන්හ. කොතරම් හොඳ-නොහොඳ තිබුණද අවසන් හුස්ම හෙළූ අයකුගේ අගුණක් කීම සිංහලයේ පුරුද්දක් නොවේ.
එසේම මඩුවන්වෙල දිසාවේ වැන්නකු වෙනුවෙන් එය කෙසේ වත් සිදු වන්නේ නැත. එනිසා නැඟී සිටින්නේ රක්වානේ රණසිංහ කිවිඳුය:

පාදෙස් දෙස පෙරවර කිතුරැස් විහිදා
ලෝ උස් කුල නාගත ලෙළ දුන් වොරඳා
ජේමිස් විලියම් මඩුවන්වෙල මැතිඳා
සේ රැස් ගනරන් කොත බිඳ ගිය මෙසඳා
හිඟ මග අයට සහ නෑ මිතුරනට ළැදී
මහ රන් මසු කුඹුරු වතු පිටි පුදකරදී
කළ අණ එසවු මඩුවන්වෙලට ජය බැඳී
අගරජතුමා ඔබවද ඔටුනු නොපැලඳී

ඔටුනු නොපලන් රජකු ලෙස ආධිපත්‍ය පතුරමින්, අධිරාජ්‍යවාදීන්ගේ සුදු කුමාරයන්ට අභියෝග කරන්නට හැකි කළු කුමාරයකු ලෙස මඩුවන්වෙල දිසාවේට සිය තේජස පෙන්වන්නට හැකි වූයේ පරම්පරා ගණනක් පුරා අඛණ්ඩව වර්ධනය කරගත් ධනය, බලය, කීර්තිය නිසාය. ඒ ඉතිහාසයේ සොඳුරු අඳුරු තැන් ක්‍රිස්තු වර්ෂ 1521 දක්වා ගමන් කරන බව මඩුවන්වෙල ඉතිහාසය සොයන බොහෝ දෙනාගේ මතයයි. ඒ කතා මෙන්ම කාල තිරය සඟවන මඩුවන්වෙල කතා සොයා අපි ගියෙමු.

ඇඹිලිපිටියෙන් කොලොන්න බුළුතොට පාරේ සැතපුම් පහළොවක් පමණ මඟ ගෙවා කඳුවළල්ලකින් වට වූ නිම්නයක පිහිටි වලව් භූමිය ආසන්නයට මමත් සුදතුත් සමඟ ආචාර්ය අකිල විජය රාජපක්ෂ සහ උදය ඇමතියගොඩ බස්නායක නිලමේ රැගෙන පරිස්සමින් ළඟා වූයේ රියැදුරු චමින්දය. එහෙත් රජ මැඳුරක මෙන් පවුරු තුනකින් වට වූ වලව් භූමියේ පිටක පවුරේ ඇති ගල් උළුවස්සෙන් ඇතුළු වීම තහනම්ය.
මෙරට සිංහල පුරට අධිපති මැති උතුමන්ගේ විමන ගැනා
පාරට දොරටුව ගල් කණු කප්පා මල්වලිනුත් හැඩ වැඩ කරනා
වෙහෙරට රන් කොත සේ කලස් පිට මොනරුන් දිලිසෙමිනා
මෙරට පවතින ගල් උළුවස්සට කිව්වා සිව්පද සන්තොසිනා
මඩුවන්වෙල පිළිබඳ වෛද්‍ය ශාන්ත දුනුකාර ලියූ ‘මඩුවන්වෙලට පියමං’ පර්යේෂණාත්මක කෘතියේ ඇති කවියක් මට මතක් විය.
අපි අනෙක් දොරටුවෙන් ඇතුළු වීමු. දෙවැනි පවුරේ ගල් දොරටුවෙන් ඇතුළු වන අප පිළිගත්තේ විමලසිරි මහතාය.

“ඔය දොරටුවත් හදලා තියෙන්නේ සුද්දට හිස නමාගෙන එන්නලු. ඔතනින් අශ්වයා පිටේ ඔළුව කෙළින් තියන් එන්න පුළුවන් දිසාවේට විතරයි. අනෙක් හැමෝම අශ්වයාගෙන් බහින්න හරි හොඳටම නැවෙන්න හරි ඕනෑ. වලව්වට එන සුද්දන් මෙල්ල කරන්න තමයි ඔය ඔක්කොම කරලා තියෙන්නේ.”
අක්කර දහස් ගණන ක්‍රමයෙන් හීන වී දැන් ඉතිරිව ඇත්තේ හාත් පස රූස්ස ගස්වලින් පිරුණු අක්කර හයක පමණ බිමකි. ඒ මැද අතීත ශ්‍රී විභූතියක සාක්ෂි පමණක් දරා සිටින වලව්ව පිහිටියේ පහන් කවුළු තාප්පයෙන් ආරක්ෂාව ලබමිනි. වලව්වක් ලෙස මෙය ගොඩ නැඟෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1700දී රාජ මුද්‍රාව සහිත තඹ උළුකැටයක් රජුගෙන් ලැබීමත් සමඟය.
එතෙක් පැවතුණේ පොල් අතු හෙවිල්ලූ තරමක නිවෙසක් ලෙසිනි. තඹ උළුකැටය ලැබෙන්නේ අපූරු ආකාරයකටය. මඩුවන්වෙල පරපුර පිළිබඳ පැරැණිම ලිඛිත සාක්ෂිය ලෙස සැලකෙන්නේ 1619දී ලියන ලද සපරගමු ලේකම් මිටියයි. දෙවැනි ලිඛිත සාක්ෂිය වන්නේ මේ තඹ උළුකැටයේ කතාවයි. එනිසා ඇතැමුන් සිතන්නේ මඩුවන්වෙල පරපුරේ මූලාරම්භය දාහත්වන සියවසින් ඇරඹෙන බවය. එහෙත් ‘මඩුවන්වෙලට පියමං’ පොතේ සටහන් වන අයුරින් මෙන්ම කුඩා කතරගම බස්නායක නිලමේ උදය ඇමතියගොඩ මහතා ගෙනෙන සාධක අනුව මඩුවන්වෙල පෙළපත ඇරැඹෙන්නේ ‘විජයබා කොල්ලය’ සමයේය.
“හයවැනි විජයබාහු රජ්ජුරුවන්ට පළමු බිසවගෙන් පුත්තු තුන්දෙනෙක් හිටියා. බුවනෙකබාහු, රයිගම් බණ්ඩාර සහ මායාදුන්නෙ කියලා. ඒත් තමන්ගෙන් පස්සේ ඔටුන්න හිමි කුමාරයා බවට නම් කරන්න යන්නේ දෙවැනි බිරියගේ කලින් විවාහයේ පුතා දේවරාජ. මේ කුමාරයා වයසිනුත් බාලයි. අනෙක මේක බිසවයි කඳුරේ බණ්ඩාර සහ ඒකනායක මුදලි කියන ප්‍රධාන ඇමැතිවරු දෙන්නෙකුයි කළ කුමන්ත්‍රණයක්. මේ ගැන ආරංචි වන කුමාරවරු උඩරට පාලනය කරන ජයවීර බණ්ඩාරත් උදවු කරගෙන පියරජතුමාට එරෙහිව සේනාව සංවිධානය කරනවා. වයසක රජතුමා බය වෙලා සාමසාකච්ඡා මඟින් විසඳුමකට එමු කියලා පණිවිඩ යවනවා. ඒකත් කුමන්ත්‍රණයේ කොටසක් කුමාරයන් අල්ලගන්න.

ඒ වුණත් කුමාරයන් කියන්නේ ඇමැතිවරු දෙන්නා දෙනවා නම් විතරක් සාකච්ඡාවට එකඟයි කියලයි. බැරිතැන ඇමැතිවරු දෙන්නා කුමාරවරුන් කඳවුරු බැඳලා තිබුණ කැලණියට එවලා වෙන උපායකින් පුතුන් තිදෙනාව අල්ලාගන්න රජ්ජුරුවෝ සැලසුම් කරනවා. ඒත් කැලණි යන අතරමඟදි ඒකනායක මුදලි පැනගන්නවා. කඳුරේ බණ්ඩාර කුමරවරුන්ගෙන් මැරුම්කනවා. පැනගත් ඒකනායක මුදලි සපරගමුවේ සාමාන්‍ය ගැමියෙක් වගේ හැංගිලා ඉන්නවා.” ඇමතියගොඩ නිලමේ විස්තර කළේය. ඉතිරිය විමලසිරි මහතා සම්පූර්ණ කරයි.

“විජයබා කොල්ලයෙන් කුමාරවරු දිනපු බව දැනගත්තාම කොලොන්න පැත්තට පැනගන්න මුදලි මේ පාළු පෙනුම තිබෙන ස්වාභාවික කඳු වළල්ලෙන් වට වුණු ප්‍රදේශයේ තල්ගහ කොරටුවේ පුංචි ගෙයක් හදාගෙන අත්වල කරගැට එනකල් වගා වැඩ කරලා ඒකනායක නම හංගාගෙන හිටියා. හැබැයි ගම්මුන්ට උදවුපදවු කරලා ජනප්‍රසාදයටත් පත් වුණා. අද දෙදරන්ගමුව වෙහෙර කියන දෙබරන්ගමුව විහාරය එහෙම කළාට පස්සේ ඒකනායක ගම්මුන්ගේ ගෞරවනීය චරිතයක් වුණා. ගමේ හොඳ පවුලකින් පෙළවහකුත් කරගත්තා.
ඒ අයට ලැබුණා පුතෙක්. ඒකනායක මුදලි මේ පුතාට තමන්ගේ රහස කීවා ඒ වගේම දන්න හැම දේම ඉගැන්නුවා. තරුණ පුතා යනවා හේන් කොටන්න බල්ලන්දෑවට. එතැනදි තමයි අර හාවාට නරියා පැරදෙනවා දකින්නේ. හාවා කන් දෙක උස්සලා කකුල්දෙකෙන් හිටගෙන බැලුවලු නරියා දිහා නරියා බය වෙලා පැනලම දිව්වලු. ඒ තැන තමයි මේ වලව්වේ මුල් ගේ හදන්නේ. මේ තියෙන්නේ ඒ තැන.”
කාමර කොටස් 131ක් සහ මැද මිදුල් 42ක් තිබූ වලව්වේ එක මැද මිදුලක් අලංකාරවත් අයුරින් වට කර තනා තිබේ.

ඒ හරියටම හාවාට නරියා බිය වූ ස්ථානය යැයි විශ්වාස කෙරේ. ‘මඩුවන්වෙලට පියමං’ පොතෙන් වෛද්‍ය ශාන්ත දුනුකාර තර්ක කරන්නේ ගම්පොළ රාජධානි සමයේ ආර්ය චක්‍රවර්තීන් දකුණ ආක්‍රමණය මෙල්ල කිරීමට බලකොටුවක් තැනීමට ස්ථානයක් සොයමින් සිටියදී තුන්වැනි වික්‍රමබාහු රජුගේ අග්‍ර පුරෝහිත නිශ්ශංක අලගක්කෝනාරට දියවන්නා ඔය අසල නයකුට මුගටියකු පරාද වූ බව දැනගන්නට ලැබී එතැන ජය බිමක් බව දැන කොටුව ඉදි කළේලු.
එවැනි දෑ දන්නේ රාජසභාවල උන් අය පමණි. එනිසා එවැනි දැනුමක් පුතුට එන්නේ ඒකනායක මුදලිඳුගේ පැරණි ඉගැන්වීම්වලින් විය යුතු බවයි. එනිසා මඩුවන්වෙල වලව්වේ ඉතිහාසය 1521 දක්වා ගමන් කළ යුතු නිසාය.

මේ පිළිබඳ තර්ක-විතර්ක කරමින් සිටින අපට දැනගන්නට ලැබුණේ අපූරු කතාවකි. ඒ අවසන් වශයෙන් මේ වලව්වේ විසූ මඩුවන්වෙල දිසාවේ උපන් කාමරයේදී කරලිනා හාමි නමින් සිටි සේවිකාවක දකින්නට ඇතැමුන්ට හැකි වන බවයි.

Source: Link
---පෙළපත් දෙකක් සුනු විසුනු කල මඩුවන්වෙල වලවුවේ ශාපය--- ---පෙළපත් දෙකක් සුනු විසුනු කල මඩුවන්වෙල වලවුවේ ශාපය--- Reviewed by InvestCrypto on September 14, 2017 Rating: 5

No comments: