මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

---එම්බාම් කිරීම - තවත් එක කතාවක්---


" අප්පා මල්ලි පරක්කුයි නෙ... අපි වැඩේ බාගෙට ඉවර කලානේ... දැන් අන්තිම ටික යන්නේ"
" අයියෝ.... මොනා කරන්නද කමක් නෑ ඉතින්.. දන්නවනෙ පොඩි දුරක් නෙමේනෙ කොලඹ ඉදල එනවා කියන්නේ.. ආ මචන් මේ ඉන්නෙ ජෝශප් අයියා.. කට්ටිය දන්නෙ එම්බාම් ජෝසෙ කියලා.... ජෝසෙ අයියා මෙයා තමා මං කිවුවේ.. පත්තරේට අලුත් කොල්ලෙක් "
මා කැදවාගෙන ආ මිතුරා මට ඔවුන්වත් ඔවුන්ට මාවත් හදුන්වා දුන්නේ එලෙසයි
" අම්මප මල්ලි රටේ ලෝකෙ වෙන ලියන්න දේවල් ඇත්තෙම නැද්ද මේ මිනි කපන අපි ගැන ලියන්න හිතුනේ"
" එහෙම නෙමෙයි මහත්තයා..."
" අපෝ අපෝ ඔය මහත්තයා කෑලි මට සෙට් වෙන් නෑනෙ... එක්කො අයියා නැත්තම් ජෝසේ..."
ඔහුව නුරුස්සා ගැනීම මගේ වැඩේට බධාවක් වෙයි සිතූ මා කතාව වෙනස් කලෙමි..
" හරි ජෝසෙ අයියා.. මෙහෙමයි.. අනිත් ඒව හැම එකාම වාර්තා කරනවනේ මට ඕන පොඩ්ඩක් වෙනස් එකක් ලියන්න... ඒකයි මේ පැත්තෙ ආවෙ "
" ඕන මගුලක්... දැන් මේ වැඩේ නම් ඉවරයි.. පොඩි එකා මෙහෙ වරෙන්.. මේ බොඩි එකේ ඇදුම් ටික සෙට් කරලා ගනින් මං උඩට ගිහින් එන්නම්.. යං මල්ලිලා උඩට..."
ඔහු එසේ කියන විට මා දේහය දෙසත් එම්බාම් කාමරයේ ඇතුලතත් අධ්‍යයනය කලෙමි.. සිමෙන්තියෙන් බැද ටයිල් කරන ලද මේසයක් මත හැඩි දැඩි මල සිරුර තබා තිබින. දරා ගැනීමට නොහැකි වූයේ සැර ෆෝමලින් ගදත් පිච්ච මල් සුවදත් ය..
තවත් වටපිට බැලුවේ මගේ වාර්තා ව රසවත් කිරීමට හෝඩුවාවක් ලැබේ දැයි සිතමිනි.. එය එසේ විය නමුත් එයින් ඇතිවූ පිලිකුල මගේ මොලයේ හැම නහරයක්ම වියලවා හරින්නට ඇතැයි මට සිතිනි. සිමෙන්ති මේසය යට තිබුනේ ලේ පිරවූ තරමක් විශාල බාල්දියකි එපමණක් නොව ඒ අසලම ශරීර අභ්‍යන්තර අවයව පිරුණු භාජනයක්ද විය..
" මේ... අයියා දෙයක් ඇහුවට කමක් නැද්ද .."
" අහපන් මල්ලි ...."
ඔහු වැඩි හිතවත් කමක් පෙන්නුවේ මා මුදල් ගෙවන බව දැනගෙනද නැතිනම් බීමත්ව සිටි නිසාද යන්න මට සිතා ගත නොහැකි විය
" මේ හැම මිනියකම ඇතුලේ කෑලි අයි කරන් නෑ නේද... ඒත් ඇයි මේකේ..."
" ආ... දැන් ඔහොම වැටිල හිටියට මැරෙන්න කලින් සුපිරි පොරක්.. ළමයි එහෙම රට ඉතින් සතියක් විතර තියා ගන්න ඕන කියුවා ඒකයි කෑලි ගැලෙවුවේ.. "
" ආ... ඒක එහෙමද... හරි හරි..."
මා එය සටහන් කර ගතිමි.. පසුව ඔහු පසුපස උඩ තට්ටුවට ගියේ ඔහුගේ ආරාධනය මතයි.. ඒ යන අතර විවිද වර්න වල මල් වඩම් ද අලංකාර කැටයම් යෙදූ මීනී පෙට්ටිද පසු කලේ මගේ අවසන් ගමන ගැනත් මෙතෙක් නොතිබූ බයක් අනිත්‍ය බවක් සිතට එක් කරමිනි
තරප්පු පෙලකින් ඉහලට නැගගත් විට හමුවන්නේ බාගෙට සාදා නිමකල ශාලාවක් වැනි ගොඩනැගිලි කොටසකි. කටු කටු කොන්ක්‍රීට් පොලවකින් යුක්ත වූයේ ටයිල් කිරිමට බලපොරොත්තුවෙන් විය යුතුය.
එහි කොනක කෑම මේසයක්ද පුටු කිහිපයක් ද විය.. අනෙක් කොන කිහිප දෙනෙකුගේ රෙදි වැනූ රෙදි වැලක්ද විය..
" ශා මරු තැනකනෙ අයියගෙ ශොප් එක තියෙන්නේ"
මා එසේ කියුවේ සදලුතලය දෙසට ඇදෙන ගමන්ය. මන්ද එතැනට මනා ව මුහුදු වෙරලත් රළ කැඩීමට සාදා ඇති ගල් වැටියත් පෙනෙන නිසාය..
" ආහ් ඔව් මල්ලි මං මෙතැන ගන්න කලින් එයාලා මේක ගෙස්ට් එකක් කරන්න හැදුවෙ.. ඒකයි සුපිරි තැනක් හොයලා තියෙන්නේ..."
කෑම මේසයේ එක් පුටුවක වාඩි වෙන ගමන් ඔහු කීවේය...
" ජෝසෙ අයියා.. වැඩේ හරි... බාරදීල එන්නද..."
" ආ හරි පොඩ්ඩෝ පලයන්... හොද එකා වගේ එද්දි අර ටික මතක ඇතුව ගෙනෙන් හොදේ... මේ ජීව ගේ කඩෙන් ඌරො 2ක් දා ගනින්.. මේ මල්ලි මොනාද සැන්ඩි සෝඩ කෝක් ස්ප්‍රයිට්.."
ඔවුන්ගේ සූදානම මට වැටහිනි..
" ස්ප්‍රයිට් හොදයි අයියේ ...."
මා කීවේ නොබීවත් බීවත් මේසයේ රැදී සිටිය යුතු නිසාවෙනි.
" මේ පොඩ්ඩෙ මල්ලි තනියමද යන්නේ..."
" ඔව් මහත්තයා ඇයි..."
" එහෙනම් මාවත් ඔය මගින් හලාගෙන යමන්කො. "
මගේ මිතුරා ඔහුට කීය
" මේ මිනිත් දාගෙන වාහන පදින්න බය නැද්ද පොඩ්ඩේ.. "
මම ඇසුවෙමි
" හෙ හේ... මේ මනුස්සය ජීවත් වෙලා ඉද්දි නම් ගමම බයයි... දැන් මොන රෙද්දකට බය වෙන්නද මහත්තයෝ ..."
කියූ ඔහු සිනාසෙමින් යන්නට විය..
" මේ මේ පොඩ්ඩේ... යන ගමන් මයිකල් ව එවපන්... වැඩක් ආවොත් කරන්න එකෙක් නෑනේ.. "
සදළුතලයට දිව ආ ජොසෙ පහතට එබී කෑ ගැසුවේ පොඩ්ඩේ පිටත් වේ යැයි සිතා විය යුතුය...
" මල්ලි අද රෑ ඉදල මල්ලිගෙ විස්තරේ ලියා ගන්න... දැන් 7ටත් කිට්ටුයි ඇග පත ටිකක් සෝදගෙන එන්න එහනම්.. පොඩ්ඩෙ එද්දි 9 විතර වෙයි."
ඔහු එසේ කියා නිම වෙද්දීම පහල ඔෆිස් කාමරයේ දුරකතනය නාද වන්නට විය.. ඔහු වහා එහි දිව ගියේ රැකියාව කෙරෙහි ඔහුගේ උනන්දුව ප්‍රදර්ශනය කරමිනි
සටහන් පොත අතට ගෙන මෙතෙක් මා සොයා ගත් කරුණු පිලිවෙලකට පෙල ගසා ගත්තේ හෙට උදෑසන වන විට ඒවා අමතක වීමට ඉඩකඩ ඇති නිසාය
ඉන්පසු බෑගයේ තිබූ තුවායත් කොට කලිසමක් හා කමිසයක් ගෙන පහලට ගියේ නාන කාමරය සොයාගෙනය... කරුමයකි එය පිහිටියේ එම්බාම් කාමරයට යාබදවය..
එය එතරම් විශාල එකක් නොවීය, පියනක් නැති කොමඩ් එකක් හා බාල්දියක් ද මලක් නැති වතුර මලක් ( shower ) ද එහි විය. රතු පාට සිමෙන්ති පොලොවේ තැනින් තැන කැඩී මතු කෙරුවේ මඩ සහිත අප්‍රසන්න පරිසරයකි. තුවාය සහ ඇදුම් එල්ලා ගත්තේ අපහසුවෙන් සොයා ගත් ඇණකයයි..
කොලඹ මල් ශාලා කොතෙක් පැවතියත් මා මෙහි පැමිනියේ එම්බාම් කිරිම ගැන පමනක් ලිවීමට නොවන බව ඔවුන් දන්නේ නැත. නමුත් ඒ පිලිබඳ සංවාදය ආරම්භ කරන්නේ කෙසේදැයි මා කල්පනා කලෙමි. නාන කාමරය කල්පනා කිරීමට සුදුසුම තැනක් මගේ සුපුරුදු අත්දැකීමකි


" ජෝසෙ අයියා....."
අලුත් කටහඩකි. මේ මයිකල් විය යුතුය...
" ආ.. මයිකල්... වරෙන් වරෙන්.. කෙලින්ම ඇතුලට අරන් යමන්..."
වතුර කරාමය අරිනවාත් සමග ඇසුනු.. ඔවුන්ගේ දෙබස පැහැදිලි වුවත් තේරුම අපහැදිලි විය. කෙසේ වෙතත් එය මට අදාල නැත. මා නැවත මගේ වැඩයට යොමු වීමි.
" චිටි චිටිස් ටර්ර්ර්ර්....."
මා ගැස්සී ගියේ හදිසියේ අඩපන වන්නට වූ විදුලි බුබුල ශබ්දයත් සමග නිවි නිවී පත්තු වන්නට වූ නිසාය.. නමුත් තප්පර ගනනකින් එක යතා තත්වයට පත් විය.. එහෙත් එය විනාඩි ගනනකට සීමා විය
" ඔහ් ශිට් මොන මගුලක් ද.."
මට කියවුනි... මුලු කුටියම අන්දකාරයටය යට විය.. එපමනක් නොව චටස් ගා දොර අගුල් වැටෙන ශබ්දයක් ඇසීය.. මා අතපත ගා දොරේ අගුල සොයා ගෙන එය ඇරියත් දොර විවුර්ත වූයේ නැත... එම්බාම් කුටියක් අසල පුංචි කාමරයක සිරවීමේ අත්දැකීම කිසිදාක ලබා නැති නිසා මා ඉතාමත් තැති ගත්තෙමි.. තවත් කිරීමට දෙයක් නැති තැන තුවාය ඉන පටලාගෙන දොරට තඩිබෑවෙමි
" ජෝසේ අයියා.... ජොසෙ අයියේ.. කවුරුත් නැද්ද...."
මම කෑ ගැසුවෙමි
විනාඩියක් පමණ ගත වුවත් එය පැයක් පමණ මට දැනිනි..
" චටස්..."
අගුලක් විවෘත විය.. ඒ සමගම විදුලි බුබුලද දැල්විනි.. වැලි කැට වලට පොලව සීරෙමින් ක්‍රී......ස් හඩක් සමග දොර විවෘත විය
" මොකො මල්ලි මේ කෑ ගහන්නේ මං උඩ ඉදන් දුවගෙන ආවේ..."
මා ඉදිරියේ සිටියේ ජෝසෙ අයියාය
" එක පාර ලයිට් ගිහින් දොර ලොක් වුනා..."
මම හති දමමින් කීවෙමි
" හ හා හා.... මයිකල්... මෙහෙ වරෙන්... හා හා හා.."
ඔහු සමච්චල් ලෙස සිනහ විය..
" ඕඕඕ ජෝසේ අයියා.. අප්පටසිරි මේ කවුද...."
" උබත් හරි වැඩ තමා බං මයිකල් කරන්නෙ... මේ මල්ලි ඇතුලෙ ඉද්දි උබ ලයිට් නිවලා දොර වැහුවද... "
" සන්තානම් මෑනියනේ.... කවුද ජෝසෙ අයියා දන්නේ... මම ඔක්කම වහලා යන්න ගියා.."
ඔවුන් දෙදෙනාගේ සිනහවට මමත් හවුල් විය..
" හරි හරි මල්ලි නාගෙන එන්න ආයෙ කවුරුත් වහන්නේ නෑ...."
මහත් ලැජ්ජාවත් සමග දොර වසාගෙන මම හනික ඇගපත සෝදා ඇදුමක් දා ගත්තෙමි.. එය මගේ පත්‍තර ජීවිතයේ කිසිදාක අමතක නොවන සිදුවීමක් වනු නොඅනුමානය..
......................................................................
නාන කාමරයේ සිට එලියට එන විටම හමුවන එම්බාම් කාමරයේ දොර අසලම මා නතර වූයේ ඇයිදැයි නොදනිමි.. නිසොල්මන්ව ඒ වසා තිබූ දොර දෙස බලා සිටිද්දී මට ඇසුනේ හීන් කෙදිරිලි හඩකි එය ගැහැනියක ගේ ද පිරිමියෙකුගේද පැහැදිලි නොවුනත් මගෙ සිත කීවේ ඒ දොර විවෘත කරන ලෙසමයි.. අඩියෙන් අඩිය තබා ඒ දෙසට පියමැන්නෙමි... දකුණු අත දිගුකර දොර අගුලට අත තැබුවා පමණි කවුරුන් හෝ මගේ උරහිසෙන් අල්ලා තද කරනවත් සමග මා ගැස්සී ගියෙමි
" ආහ්...."
" මහත්තයා මොකද මෙතන .... ජොසෙ අයියා ඇතුලේ වැඩක් යමු උඩට..."
නපුරු පෙනුමක් මවා ගත් මයිකල් දැක මා සිත සලිත විය. ඔවුන් කුමක් හෝ සගවන්නේදැයි මට සිතිනි
" ආ... හරි මේ මේ සද්දයක් ආවා ඒකයි බැලුවේ..."
කියා ඔහු මග හැර මා උඩ තට්‍ටුවට යන විටත් මත්පැන් මේසය ට වටපිටාව සකස් කර තිබින.. කඩිසර ව පොඩ්ඩේ ඒ සියලු කටයුතු සිදු කරන අතර මයිකල් ද විත් එයට සහය විය.
" පොඩ්ඩේ කලින් ආවද ? "
මම ඇසුවෙමි ..
" කලින් නෑ සර්.. 9ට 10 යි වෙලාව.."
මා වේලාව බැලුවේ එවිටය.. ඒත් එක්කම තෙත බරිත වූ දෑත් පිස දමමින් ජෝසේ අයියාද එතැනට පැමින වාඩි විය..
" පොඩ්ඩේ.. අරකත් ලෑස්ති කරල ගනින්...මේ අර කොනේ ලයිට් එක තියලා මේ ඔක්කම නිමපන් වෙරල පැත්තෙ එකත් තියපන්..."
ජෝසෙ කියූ සැනින් පොඩ්ඩෙ පිටුපස දොරකින් පහලට දිව යනු දුටිමි..
" පොඩ්ඩෙ එනකල් අපි පටන් ගමු..."
අදුරේම ගල් අරක්කු බෝතලයක් අතට ගත් ජෝසේ අසල තිබූ වීදුරුවෙන් අඩක්ම පුරෝගෙන ඔහු අතින්ම මා අත තිබූ වීදුරුවටද අරක්කු වත් කර බෝතලය මයිකල් ට දිගු කලේය.
"චියර්ස්...."
යන ව්චනය තුන්දෙනාගේම කටින් පිටවෙද්දී එකිනෙක ගැටුනු වීදුරු හඩත් සමග අපගේ අල්ලාප සල්ලාපය ආරම්භ විය...
.............................................................................
පැය බාගයක් පමණ ගත වෙද්දී බෝතලය සිතුවාට වඩා වේගයෙන් හලා ගත් ඔවුන් දෙස මා බලා සිටියේ තවමත් පලමු වීදුරුවේ අඩක් පමණ තොලගාමිනි. එකෙනෙහිම දුම් දමන පීරිසියක් රැගෙන පොඩ්ඩේ එතැනට එන විට මයිකල් හා ජෝසේ එයට කෙල හැලුවේ මල පෙරේතයින් දෙදෙනෙකු මෙනි.
" අයියා .. මතක් වෙන්නත් එක්ක ෆොටෝ 1ක් ගන්නද..."
" ගනින් බං ගනින්..."
කියමින් ඔහු මස් දීසිය වෙතට අත දිගු කලේය ඔහුට දැන් කිසිවක් ගනනක් නැත...
ලද අවසරයෙන් දුරකතනය අතට ගත් මා එක් රූපයක් ගතිමි....
" හ්හ්හ්හ්හ්හ්....ඒ මොකක්ද.."
මට කියවුනේ චායාරූප යේ ෆ්ලෑශ් එලියෙන් මා දුටු විකාර රූපය නිසාය.. මා දුටුවේ ජෝසේ ගේ පුටුවට පිටුපා ඇති පඩිපෙලේ අවසාන පඩිය මත සිට ගෙන සිටි කාන්තා චායාවකි..
වහාම ඒ ගත් රූපය පරීක්ෂා කර බැලුවත් එහි කිසිවක් සටහන් වී නැත.. සැක හැර දැන ගැනීම සදහා නැවතත් ඒ ලෙසම චායාරූපයක් ගතිමි. හ්ම්ම් මෙවර එහි කිසිවක් නොවීය.. මටත් විකාර යැයි මට සිතිනි.
" මල්ලි කාලා බලන්නකෝ පීකුදු කෑල්ලක්... අපෙ පොඩ්ඩෙගේ වැඩ.. සුපිරිම තමා ඉතින්.."
බැලූ බැල්මටම එය රසවත් බව නම් සැකයක් නැත ඉදිරියට නැවී මස් කැබැල්ලට අත තබනවාත් සමග මගේ දුරකතනය නාද විය... මස් කැබැල්ල එතැනම තබා දුරකථන ය ගෙන සදලුතලය ට ගියෙමි..
" කියහන් මචන්...."
" කොහොමද වැඩේ ගොඩද..."
" අවුලක් නෑ... දැන් මේ කට්ටිය සෙට් වෙලා ඉන්නේ..."
" ඕක තමා වේලාව අහන්න තියන ඔක්කොම අහපන්. අර ගැනත් ශේප් එකේ අහපන්..."
ඔහු එතනින් පසු කියූ දේවල් මගෙ දෙසවනට නොගියේ මගේ මනස වෙනත් දෙයක තිබූ නිසාය.. සදලුතලයේ විදුලි ලාම්පුව නිසා මුලු වෙරලම පැහැදිලි ව පෙනිනි..
වෙරල කොනේ රැල්ල පාගමින් සිටියේ කාන්තාවක් බව හොදින් ම පැහැදිලිය ... ඇය බලා සිටියේ මුහුද දෙසයි.. ඇගේ කැරලි කෙස්වැටිය මුහුදු සුලගෙන් ගසා ගියේ ඉතාමත් අකීකරුවයි..
මෙතෙක් නිසොල්මන්ව සිටි ඇය හිමින් පියවර තබා මුහුද දෙසට ඇදෙන්නට විය.. ඉතාමත් ශාන්ත ගමනින් ඉදිරියට ඇදුනු ඇය රළ කැඩීම සදහා දමා ඇති ගල් වැටිය දෙසට පියමන් කලේය.. තව අඩි කිහිපයක් ඉදිරියට ගිය හොත් ඇය රැල්ලට බිලිවනු නියතය
" හෝව් හෝ....ව්.. කොහෙද ඔය යන්නේ වැටෙයි බලාගෙන...."
අත තිබූ වීදුරුවද බිම දමා මා දිව ගියේ ගල් වැටිය දෙසටයි... ඇය මේ කුමක් කරන්නට සැරසෙන්නේද මට සිතාගත නොහැකි විය.. හැමු තද සුලගෙන් කුපිත වූ සැඩ රැල්ල ගල්වැටියේ වැදී මහා හඩක් නංවමින් පුපුරා ගියේ පෙන වැස්සක් මවමිනි
දණක් පමන වතුර ඇති මුහුදු රැල්ලේ පා තබමින් ගොස් ග්‍රීස් මෙන් ලිස්සන ගල් වැටියට නැග ඉතා අසීරුවෙන් ඇයට කෑ ගැසීමි. ඒ වන විටත් ඇය ගල් වැටියේ අවසානයට ලංව ඇත..
" කවුද ඔයා... ඇයි මේ රෑ ඔතන.. රැල්ල සැරයි වැටෙයි බලාගෙන.... "
දෑත් එකට එක් කර මුවට තබා මුහුදේ හඩට ඔබ්බෙන් මා කෑ ගැසුවෙමි
එය ඇසුනාක් මෙන් ඇය ලයාන්විතව හිස හරවා මා දෙස බලා ඒ වේගයෙන්ම නැවත මුහුද දෙස බැලීය...
" දෙයියනේ ...."
මට කියවුනේ මුහුද පලා ඇදෙන විශාල රැල්ල දැකීමෙනි.. පලා යාමට කාලයක් නැතිනිසා ගල්වැටිය මතම වාඩි වී දෑතින් හිස බදා ගතිමි.. නිමේෂයක් ගතවිය.. දඩා..ං යන හඩින් වැටියේ වැදුනු රැල්ල කෑලි කෑලි කැඩී විසිවූ වරුසාවෙන් මගේ මුලු ගතම නැහැවී පෙගී ගියේය.
ඇස් වලට ගිය ලුනු වතුර පිසදා බලන විට ඇය එතැන සිටියේ නැත... ඇයට කුමක් වීද මට කිසිවක් සොයා ගත නොහැකි විය..
මෙය ජෝසේ අයියාට කිව යුතු යැයි සිතූ මා සීරුවෙන් ගල් වැටියෙ බැස වෙරල දිගේ එම්බාම් ශාලාවට දිව ගියෙමි. පසුපස දොරෙන් ගොඩනැගිල්ලට ඇතුල් වන්නට හැදුවා පමණි..
" අම්මෝ..." මට කෑ ගැසිනි
බැල්කනියේ සිට පහල ගොඩ ගසා තිබූ ගඩොල් ගොඩක් මත කවුරුන් හෝ පොලවේ ගැසුවා යැයි සිතෙන තරම් වේගයෙන් බිමට පතිත වූයේ මයිකල් ය.. වැටුනු වේගයෙන්ම ඔහු පරලොව ගියේ කොදු ඇට පෙල දෙකට කැඩී බව බැලු බැල්මටම පෙනී ගියේය..
" කොහ් කොහ් කොහ්..හ්හ්හ්හ් හ්හ්හ්හ්හ්"
නමුත් එසේ නැත දෙතුන් වතාවක් කහින ලද මයිකල් වැරෙන් හුස්ම ගන්නට විය
" මයිකල් අයියා මයිකල්...."
මට කීමට ලැබුනේ එපමණකි.. බැල්කනිය දෙසට දිගුකල ඔහුගේ සුරත පණ නැතිව කඩා වැටුනේ අවසන් හුස්මද පිට කරමිනි
" මොක්ක්ද මේ වෙන්නේ "
මට කිසිවක් සිතා ගත නොහැකි විය... මගෙ මුලු ගතම හිරිවැටී ඇති සේය
" ජොසෙ අයියේ ... පොඩ්ඩේ... "යැයි කෑ ගසමින් මම උඩට දිවුවෙමි..
" මොනවා... පොඩ්ඩේ.... පොඩ්ඩේ......."
ගෙල පසාරු කර යන පරිදි අරක්කු බෝතල් කටුවකින් පහර කා සිටි ඔහු පුටු පෙරලා බිම වැටී සිටියහ. මොන මගුලක්ද මෙතන වෙලා තියෙන්නේ... යැයි සිතන්නටත් පෙර සියල්ල අන්ධකාර විය.. සියලුම විදුලි පහන් නිවී මුලු පරිසරයම නිහඩ අදුරක ගිල්වීය..
" එපා... එපා.... "
නිහඩ බව බිදිමින් පහල මාලයේ සිට කෑ ගැසුවේ ජොසෙ අයියා බව මට හොදින්ම පැහැදිලිය . දුර කතනය අතට ගත්තේ අදුරේ මග සොයා ගැනීමටය ... නමුත් අවාසනාවක මහත.. ලුණු වතුරෙන් නැහැවුනු මාගේ සාක්කුවේ තිබූ දුරකථන ය අක්‍රීය වී ඇත..
" ශික් ශික් ශික්...."
බිත්තිය දිගේ අතගාමින් පඩිපෙල දිගේ පහලට බහින විටත් ජොසෙ ගේ බෙරිහන් දීම පැවතිනි. එය ඇසෙන්නේ එම්බාම් කාමරය දෙසිනි.. මා ඒ දෙසට දුවන විට මගෙ ඇගේ හැපී මල් වඩම් මල් පෝච්චි වැටෙන හඩ මට ඇසුනේ යක්ෂ සේනාවක් පොලොව පලාගෙන මා මරන්නට ඇදෙනවාක් මෙනි
" ජෝසේ අයියා.... ජොසෙ අයියා ...."
කෑ ගසමින් දොර තල්ලු කලත් එය ඇතුලතින් වැසී තිබිනි.. කොතරම් තල්ලූ කලත් එය සෙලවුනේවත් නැත.. කාමරය ඇතුලෙන් මරහඩ දුන් ජෝසෙ නිහඩ විය... තත්පර ගනනකට මට ඇසුනේ මගේම හුස්ම හඩත් හද ගැස්මත් පමණි
අවසන් වරට මා දොර තල්ලු කරත්ම එය පහසුවෙන් විවෘත වූයේ ඇතුලත අගුල ඉවත් කර දැමූ සේය... කාමරයෙන් වහනය වූයේ ඉතා අමිහිරි ගන්ධයකි.. එයටම මිශ්‍ර වු පිච්ච මල් සුවද එක දෙගුන තෙගුන කරවීය. කුටියේ කොනක ජනෙල් වීදුරුවෙන් වීදි ලාම්පුවක එලිය කාමරය තුලට පතිත විය.
" ආහ්...... අම්මෝ....."
එම්බාම් කාමරයේ කොනක වැතිර සිටියේ ලේ පෙරා ගත් ජෝසෙ අයියාය මට කිසිවක් සිතා ගැනීමට නොහැකිව බලා සිටියෙමි.. ජෝසෙ ගේ ගෙල සිට උදරය ඉවර වෙන තෙක් කපා විවෘත කර තිබුනේ කුනු ගොඩක් පහුරු ගෑ බල්ලෙක් මෙනි... ඔහුගේ මුහුන යක්ශයෙකු ට බිය වූ ආතුරයෙන් මෙන් විකෘති වී තිබින.
මා කුමක් කරම්දැයි සිතා ගත නොහැකිව වටපිට බැලුවෙමි.
" දෙවි හාමුදුරුවනේ .... නෑ නෑ මේක වෙන්න බෑ... "
බිය වූ මා වැටුනේ කාමරයේ දොර අසලයි.. මගේ දෑසින් කදුලු වැටෙන්නට වූයේ බිය පාලනය කිරීමට නැහැකි වූ තැනය.. එම්බාම් මේසය මත දිගාකර තිබුනේ මට වෙරලේ හමුවූ යුවතියයි... ඒ මුහුණ ඒ කැරලි කෙස් මට කිසිදා අමතක වන්නේ නැත..ඇගේ පපු ප්‍රදේශය කපා විවෘත කර නැවත මසා දමා තිබින..
" දෙයියනේ මේක කොහොමද වුනේ ඒ කෙල්ල මෙතන කොහොමද.... කවුද මේ කට්ටියව මැරුවේ...."
ක්ලාන්ත ගතිය සමග පොර බදිමින් මා කල්පනා කලේ මිනිමරුවා කවුරු වුවත් ඌ තවමත් ඇතුලත සිටිය යුතුය... එත් පිටවීමට තැනක් නැති වසා දැමූ කාමරයේ ජෝසෙ මරා දැමුවේ කවුරුන් ද. මගෙ සිත බියෙන් සලිත විය... සිතට ආවේ පැන යා යුතුයි යන්න පමණි
කෙතරම් බිය වුවත් මට සිතුනේ මෙහි කිසිම සාක්ශියක් ඉතුරු නොකර පලා යා යුතු බවයි...
අදුරේම හනික දුව ගොස් තෙත ඇදුම් බෑගයට දමා පාරට බැස බැස දිවුවෙමි .... මට යා යුතු දිශාවක් සිතා ගත නොහැකි විය.. මට සිහියට ආවේ මගේ යහලුවා පමණි...
" ඩොග් ඩොහ් ඩොහ්..."
" අඩෝ මොකෝ බං මේ..."
" වතුර... වතුර..."
මට මතක එපමනකි...
..........................................................................
දින 3 කට පසු
" මචං... උබ දැක්කද.... පත්තරේ අර සීන් එක ගිහින් අරන් බලපන්... "
" ඇත්තමද බං ... මොකක්ද පත්තරේ...."
" ඉරිදා ලංකාදීප බලපංකෝ..."
මා කාර්‍යාලයේ පත්තර මේසය දෙසට දිවුවෙමි..
" කෝ කෝ කෝ මේක...."
" මිනි මස් කෑ එම්බාම් කරුවෝ අභිරහස් ලෙස මරා දමයි....
පසුගිය බදාදා ( 13) දින හලාවත ප්‍රදේශයේ වෙරල ආසන්නයේ තිබූ මල් ශාලාවක පුද්ගලයන් තිදෙනෙක් අභිරහස් ලෙස ඝාතනය කර ඇති බව සදහන් වේ.. පොලීසිය පවසන අන්දමට බීමත්ව සිටි මොවුන් බීමත්ව එකිනෙකා මරා ගන්නට ඇතැයි විස්වාස කෙරේ.. නමුත් විශෙශ්ෂ නම් ඔවුන්ගේ කටගැස්ම සදහා යොදා ගත් එක් වර්ගයක් මනුෂ්‍ය අක්මාවක් වීමයි ... එහිම මුල්තැන්ගේහි තිබී අමු අක්මා කොටසක් ද පිගානක තිබී පීකුදු ලෙස පිසින අක්මා කැබලිද සොයාගෙන ඇත.. ( 4 පිටුවට )
මා හනික 4 පිටුවට පෙරලුවේ එහි ඉතිරි කොටස කියවීමටයි... නමුත් මගේ ඇස ගැටුනේ වෙනත් ප්‍රවෘත්තියකි..
" හලාවත වෙලර තිරයට නිරුවත් කාන්තා මලසිරුරක් ගොඩ ගසයි..."
පසුගියදා හලාවත වෙරල තීරයට නිරුවත් කාන්තා මල සිරුරක් ගොඩ ගසා තිබින මිනි මැරුමක් යැයි සැක කෙරෙන අතර මේ යුවතියගේ පපු කුහරය විවර කර අක්මාව සොරාගෙන නැවත මසා දමා තිබූ බව සදහන් වේ.."
දෙවියනේ මොකක්ද මේ වෙන්නේ... මේ කියන්නේ එම්බාම් කාමරයේ හිටපු කෙල්ල ගැනද.. ඒ කෙල්ල මුහුදට ගියේ කොහොමද...ඒ කියන්නේ අරුන් මට කවන්න හැදුවේ මේ කෙල්ල මරල ගත්ත අක්මාවද.. නැත්තම් මැරුනට පස්සේ ගත්තද.. එතකොට කවුද අර ගල් වැටිය උඩ හිටපු කෙල්ල... අරුන්ව මැරුවේ මේ කෙල්ලද.. ඇයි මට මුකුත් නොකලේ... කිසිවක් සිතා ගැනීමට නොහැකිව මා එතැනම වාඩි විය.. කවදාවත් විසදාගත නොහැකි අභිරහසක් මගෙ සිතේ තැන්පත් විය..
නිමි
........................................................................
මුහුදුබඩ පලාත් වල සිදුවන සත්‍ය සිදුවීම් ලෙස මිනි මස් කන මිනිසුන් වාර්තා වී ඇත. එවැනි සිදුවීමක් අලලා රචනා කරන ලද නිර්මාණයකි

Source: Link

---එම්බාම් කිරීම - තවත් එක කතාවක්--- ---එම්බාම් කිරීම - තවත් එක කතාවක්--- Reviewed by InvestCrypto on October 13, 2017 Rating: 5

No comments: