මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

---සුමනාගේ ආත්මය හොල්මන් වංගුවේදී මිනිසුන් බිලිගනියි---



පෙරදා සවස සිට ඇදහැළෙන චුරු චුරු වැස්ස තවමත් නිමාවී නැත. පියල් ඔරලෝසුවේ කටු දෙස බලාගෙන සිටියේ අරමුණකින් තොරවය. පෙරදා රාත‍්‍රියේ එක්වරම ඇති වූ දරුවාගේ උණ ගතිය හේතුවෙන් නිදිවර්ජිතව රැුය පහන් කිරීමට ඔහුට සිදුවිය. යාන්තමට වගේ බිම්කළුවර පහවන තෙක් ඔහු බලා සිටියේ උදේ රැුයින්ම දරුවා වෛද්‍යවරයකු වෙත රැුගෙන යෑමටය.

‘ජීවන්ති පහයි වෙලාව. අපි යමුද?’
‘උදේ වැඩි නැද්ද පියල්’

‘හයට ඩොක්ටර් එනවනේ. දැන්ම ගියොත් අපිට පළවැනි අංකයම ගන්න පුළුවන්’
තිදෙනාම ඔවුන්ගේ රතු පැහැති කාරයට නැගුණහ. පියල් කොළඹ නගරයට ආසන්න ප‍්‍රධාන මාර්ගයක් දිගේ වේගයෙන් වාහනය පදවාගෙන යන්නට වූයේ, මුල් අංකයක් ලබාගැනීමේ බලාපොරොත්තුවත් සමගය. රැුය පුරා පැවති චුරු චුරු වැස්ස හේතුවෙන් තරමක මීදුමකින් මාර්ගය වැසී ගොසිණි. කිසිදා සිතට නොදැනි මොකක්දෝ අමුත්තක් පියල්ගේ හිත තුළ තෙරපෙමින් පැවතුණි. ඒ පෙරදා රැුයේ නිදිවැරීම නිසා ඇති වූ නිදිමත හා දරුවාගේ රෝගී තත්ත්වය නිසායැයි ඔහුට සිතුණේය.

මාර්ගය ඉදිරියෙන් වූ වංගුව හේතුවෙන් වාහනයේ වේගය තරමක් අඩු කළ පියල් වීදුරුවේ බැඳී ඇති ජල වාෂ්ප අතින් පිහිදා දැමුවේ මාර්ගය හොඳින් පෙනෙන ආකරයටයි. වංගුව පසුකර ඔහුට ගමන් කළ හැකිවූයේ ටික දුරකි. තමා දරුවා දෙස බලා නැවත ඉදිරිය බලත්ම පාර මැද මිනිසකු සිටිනු ඔහු දුටුවේය. පියල් එකවරම වේගයෙන් වාහනය දකුණු පසට කැපුවේ මේ නන්නාඳුනන මිනිසා වාහනයේ වැදීම වළකාගනු පිණිසය.

ක්රාස්..... දඩං.......

පියල් දුටුවේ ඉදිරියෙන් දැල්වුණු ආලෝක ධාරා දෙකක් පමණි. ඒ ඔහුගේ අවසන් දැකීමයි. වේගයෙන් පැමිණි නගරාන්තර බසයක් කාරය කුඩු පට්ටම් කරමින් ඇදී ගොස් මාර්ගයෙන් එළියට පැන නතර විය. කාරයේ ගමන්කළ තිදෙනාම මෙලොව ජීවත් වූ අවසන් තත්පර කිහිපය ඒ විය.

ඒ ඉතා මැතකදී සිදුවූ සිදුවිමකි. මීට වසරකට පමණ පෙර එම ස්ථානයේදීම මුහුණ දුන් සිදුවීම් කිහිපයක් එක්වනම මගේ සිතට නැගුණි. වෙලාව රාත‍්‍රී නවයට පමණ ඇත. මාත් මාගේ බිරිඳත් යතුරු පැදියේ නැගී නිවසට පැමිණෙමින් සිටියෙමු. කලින් කී අනතුර සිදුවූ ස්ථානයට තරමක් ඈත තිබියදී වූ එක්වනම ‘නවත්තන්ඩ... නවත්තන්ඩ.. ඉස්සරහ බස් එකක්’ යනුවෙන් බිරිඳ කෑ ගසද්දීම මා හෙමින් ගමන් කරමින් තිබූ බයිසිකලය නතර කර ගත්තෙමි. මා ගමන් කළ දෙසටම ගමන්කළ වායු සමනය කළ අධි සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයේ නවතා ඇත. මා වෙනත් කල්පනාවක පැමිණියේද නැත. එහෙත් මා බස් රථය දුටුවේ ඒ මොහොතේදීමය. සුඛෝපභෝගී බස් රථයට ගෑවෙන නොගෑවෙන ලෙස බයිසිකලය නතර වී ඇත.

‘ඇයි.... ඔයා බස් එක දැක්කේ නැද්ද?’
‘නෑ....’
‘මට හිතුණා, ඒකයි මම කෑගැසුවේ’

දින කිහිපයක් ගෙවී ගියේය. එදින තරමක වැහි පොදයක් පතිත වෙමින් පැවතුණි. මාත් බිරිඳත් සුපුරුදු ලෙස කාර්යාල කටයුතු නිමවී යතුරුපැදියේ නිවසට ගමන් කරමින් සිටියෙමු. මීට පෙර දිනයකදී මගේ යතුරුපැදිය බසයේ හැපීමට ගොස් බේරුණු ස්ථානය පසුවී යතුරුපැදිය ඉදිරියටම ගමන් කරමින් තිබුණි.

‘දඩාං.............’

වේගයෙන් ආ යමක් එක්වනම යතුරු පැදියේ ගැටුණේය.
මා ඉතා තදින් යතුරු පැදියේ හැඬලය අල්ලා ගත්තෙමි. දැඩි වෙහෙසක් දරා නොවැටී බේරුණත් යතුරු පැදිය නතර වූයේ, මාර්ගය අයිනේ වූ කානුව තුළය. මාර්ගයේ කිසිවක් නැත. එසේනම් යතුරු පැදිය වැදුණේ කුමකද? යතුරු පැදියෙන් බැස මා පසුපස බැලූ විට පාර මැද වාඩිවී අප දෙස බලා සිටිනා වඳුරෙක්ගේ ඇස් දෙක ගිනි බෝල දෙකක් මෙන් දිස්වන්නට විය. මම වහා එය බිරිඳට පෙන්වීමට බිරිඳට කතාකර යළි ඒ දෙස බලන විට කලින් දුටු ගිනිබෝල ඇස් ඇති වඳුරා පෙනෙන්නට නැත.
ඇත්තටම ඒ වඳුරෙක්ද? රාත‍්‍රියට වඳුරන් ගමන් නොකරයි. ඌ වඳුරෙක්ම නම් ඇස් රත් පැහැ වූයේ කෙසේද? හිතේ පිරි ප‍්‍රශ්න රැුසක් සමගිින් අපි එතැනින් නික්ම ගියෙමු. ඉන්පසු අප එම සීමාව තුළ ගමන් කරන විට බොහෝ කල්පනාවෙන් ගමන් කිරීමට හුරුවූයෙමු. එදින සෙනසුරාදා දිනයකි. වේලාව සවස හයහමාර පමණ වන්නට ඇත. එදින අප දෙදෙනා ලොකු කතාබහක් පිටම හෙමින් හෙමින් යතුරුපැදියේ පැමිණෙමින් සිටියෙමු. කලින් පැවසූ වංගුවේ වූ කහ ඉර පසුකරනවාත් සමගම දිග සර්පයකු පාර හරහා ඇදෙනු මම දුටුවෙමි. යතුරු පැදිය නැවැත්වීමට වේලාවක් නැත. යතුරුපැදිය සර්පයාගේ ඇඟ උඩින් යද්දෙන් යැයි සිතා කකුල් ඔසවා ගත්තේ ඉබේටමය.

‘ඇයි’
‘ඔයා දැක්කේ නැද්ද සර්පයෙක්’
‘කොහේද’
‘සයිකලේට අහුවුණා’
‘පිස්සු’

ඇය මට සමච්චලයෙන් මෙන් සිනාසුණාය.
වහාම අපි සයිකලය නවත්වා බැලූවෙමු. කිසිදු සර්පයෙක් නැත. ‘මේ හරියේ මොකක් හරි අමුතු දෙයක් තියෙනවා’ අප ඉදිරියේ වූ තැඹිලි කඩයක් අසල බයිසිකලය නවත්වා කඩයේ මුදලාලි සමග කතාබහට වැටුණෙමු.

‘අයියේ මේ හරියේ වාහන අනතුරු ටිකක් වැඩියි නේද’
‘ඇයි මල්ලී’

මේ ස්ථානයේදී මා මුහුණදුන් සිදුවීම් සියල්ලම මම ඔහුට පැවසුවෙමි.
‘ඔව් මල්ලී, මාසෙකට වාහන හය හතක් හැප්පෙනවාමයි. දවසක් සුමනා කියලා ගෑනු කෙනෙකුයි එයාගේ දරුවයි ඔය කහ ඉරෙන් පාර පනිනකොට, ලොකු වාහනයකින් ඒ දෙන්නා යට කරන් ගියා. එදා ඉ`දන් මෙතැන ඉඳලා හැතැප්මක් විතර සීමාවේ මරණ ඕන තරම් වුණා.’ ඒ ගෑනු කෙනා මේ වංගුවේ හොල්මන් කරනවා කියලා තමයි හැමෝම කියන්නේ. ඒ නිසා මෙතැනට හොල්මන් වංගුව කියලත් කියනවා.

කෙසේ හෝ ඒ මාරක ඉසව්වේදී තවදුරටත් කුඩා වාහන බොහොමයක් විවිධ සතුන් බේරීමට ගොස් අනතුරුවලට ලක්වී ඇති අතරම, විශාල වාහනවලට මුහුණදීමට සිදුවී ඇත්තේ වෙනස් ආකාරයක සිදුවීමකටය.

වෙලාව රාත‍්‍රී එකොළහට පමණ ඇත. වරායේ ජැටියට ගල් ගෙනයන ලොරියක් වේගයෙන් කොළඹ දෙසට ඇදී එයි. සිරිදාස වසර විස්සක් තිස්සේ ටිපර් රථ රියැදුරකු ලෙස සේවය කළ අයෙකි. ඔහුට රාත‍්‍රී සේවය හොඳින් පුරුදුය. ලොරිය කුඩා කාරයකටත් වඩා හොඳින් දෑතට හුරුය. අප කලින් පැවසූ වංගුව අසල මිනිසකු සිටින අයුරු ඔහු ලොරියේ හෙඞ් ලයිටයෙන් ඈතදීම දුටුවේය. ඒ නන්නාඳුනන මිනිසා වාහනයට අත දිගු කරගෙනම සිටි අතර, එය වාහනය නවත්තන ලෙස කළ ඉල්ලීමක් හා සමානය. වාහනය ළං වන්නට ළං වන්නට මිනිසාගේ උස මෙන්ම, මාර්ගයට දික් කරගෙන ඇති අතද දික් වන්නට විය. ලොරිය ළංවන විට ඔහු ලොරියටත් වඩා උස ගොස් ඇත. මිනිසා හැර යමක් ඔහු දුටුවේ නැත.

වාහනය නැවැත්වීමට තිරිංග පාගන්නට තැත් කළ ඔහුට පෑගුණේ ඇක්සලලේටරයයි. වාහනයේ වේගය එකවරම වැඩි විය.
දඩාං....

ඉදිරියේ නවතා තිබූ ගල් ගෙනයන ලොරියකම ඔහුගේ ලොරිය වැදුණේ අධික වේගයෙනි. රියැදුරු කුටිය කුඩු වී ගියේය. ඔහුට මතක අවසන් වරට දුටු මිනිසාවය. කෙසේ හෝ සිරිදාසගේ ජීවිතය බේරුණි. මිනිසුන් සිරිදාසව එළියට ගත්තේ අලවංගු යොදා දොර කඩා දැමීමෙනි. ඒ තරමටම ඒ අනතුර ප‍්‍රබලවිය.

මේ සියලූ සිදුවීම්වලින් අනතුරුව අද වෙද්දී ගමේ මිනිසුන් එක්ව එම ස්ථානයේ බුදු මැඳුරක් ඉදිකර රාත‍්‍රිය පුරා පිරිත් විකාශය කරන්නට වැඩ කටයුතු යොදා ඇත. එහෙත් සම්පූර්ණයෙන්ම අනතුරු නිමාවී නැත. මෙහි හොල්මන් කරනුයේ කවුරුන්ද? එය තවමත් නොවිසඳුණු ගැටලූවකි

Source:Link


---සුමනාගේ ආත්මය හොල්මන් වංගුවේදී මිනිසුන් බිලිගනියි--- ---සුමනාගේ ආත්මය හොල්මන් වංගුවේදී මිනිසුන් බිලිගනියි--- Reviewed by InvestCrypto on November 25, 2017 Rating: 5

No comments: