මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

---පලිගනිමි---


ඒ උඳුවප් මහේ තවත් එක් ශීතල රාත්‍රියකි.වෙහෙසකාරී දිනයක නිමාවත් රැගෙන හන්තාන අඩවියෙහි කොණක වූ කුඩා සුන්දර ගම්මානයක ගම්වැසියන් සියල්ලෝම සාමකාමී තද නින්දේ පසුවූහ.විටින් විට ඇසෙන නරින්ගේ හූ හඬත් බල්ලන්ගේ උඩුබිරුමත් නිහැඬියාව මදකට බිඳ දැමුවත් එය කිසිවෙකුගේ නිදිසුවය බිඳ දැමීමට තරම් ප්‍රභල නොවීය.

එහෙත් ගම්මානය කොණක පිහිටා තිබූ විසල් බංගලාවේ විසූ මෙහෙකාර තරුණියක වූ රාණි හට නම් මෙය වේදනාත්මක මෙන්ම තීරණාත්මක රාත්‍රියක්ද විය.ඇය වේදනාවෙන් හා ආත්මානුකම්පාවෙන් නැගූ සිහින් ඉකිබිඳුම කිසිවෙකුටත් නෑසුණි.හෝරාවකටත් අධික කාලයක් ඇගේ කුඩා කුටිය තුල ශීතල ගෙබිම මත වැතිර හඬමින් සිටි ඈ අවසානයේ තීරණයකට එළැඹියාය.කඳුළු පිසදමමින් තිර අධිෂ්ඨානයෙන් යුතුව නැගී සිටි ඈ දරාගත නොහැකි වේදනාවෙන් තවත් එක් වරක් ඇගේ කුටියේ කොණක බිත්තියෙහි අලවා තිබූ ඇයගේ මව හා පියා ගේ කුඩා චායාරූපය දෙස නෙත් හෙලමින් දිගු සුසුමක් හෙලුවාය .

"මට සමාවෙන්න අප්පා..අම්මා....ඔයාලට මං ආදරෙයි...."

තමාටම මුමුණාගත් ඈ සෙමෙන් කුටියේ දොර විවර කරගෙන යාබදව පිහිටා තුබූ මුළුතැන්ගෙය වෙත පියමැන්නාය.අඳුරේම අත පත ගාමින් එහි මුල්ලක තබා තිබූ භූමිතෙල් බූලිය සොයාගත් ඈ ගිනිපෙට්ටියක්ද රැගෙන නිවසින් ඉවතට පියමැන්නාය.අනතුරුව භූමිතෙල් බූලිය විවර කර හිසෙහි සිටම එය වත් කරගෙන තවත් එක් වරක් මෙතෙක් කල් ඇය විසූ නිවස දෙස නෙත් හෙලූ ඈ වෙව්ලන දෑතින් ගිනිපෙට්ටිය ගෙන ගිනිකූරක් දල්වා ගත්තාය.

@ @ @ @ @ @ 

* * * * * * * * * * * * * * * * *
"අඩෝ....මලියා...උඹ දන්නවද වැඩක්..."

සුපුරුදු පරිදි සිකුරාදා රාත්‍රියෙහි මිතුරන් තිදෙනා සමඟ මධුවිත තොලගෑමට එක්ව පදමට මත් වී හුන් නිමල් දුම්වැටියක් දල්වා ගනිමින්ම කතාවකට මුලපිරුවේය.

"උඹලට මතකද අර උඩහ පැත්තෙ බංගලාවේ වැඩකාර කෙල්ල....අර ගිනිතියාගෙන මැරුනෙ බං මාස දෙක තුනකට කලින්..."

"ඔව් ඔව්...ඉතින්...."

මලින්ද,සමීර හා කසුන් තවත් වීදුරුවක් පුරවා ගනිමින්ම අත්වැල් ඇල්ලුවෝය.
"ඒකි ඒ බංගලාවේ හොල්මන් කරනවලු බං.....බංගලාවේ උන් ඒක අතෑරලා කොළඹ ගිහිල්ල කියන්නෙ...."

නිමල් කතාව නිම කලේය.

"ඔව් බං ඔය කතාව මටත් ආරංචියි....ඔය කෙල්ල ඔය මහත්තයා අතින් කරදරයක් වෙලාලුනි ගිනි තියාගෙන තියෙන්නෙ..."

මලින්ද ද එය අනුමත කලේය.එහෙත් පිරිසෙන්ම ආඩම්බර ගති පැවතුම් වලින් සමන්විත වූ කසුන් නම් එය ඒ ආකාරයෙන්ම පිලිගැනීමට මදක් මැලි විය.

"මම නම් විශ්වාස කරන්නෙ නැහැ බං ඕවා....හොල්මන් කියන්නෙ බන් හෙල්ලෙන මනස....ඕව මිනිස්සුන්ගෙ බොරු කතා බන්"

කසුන් පැවසුවත් අනිත් තිදෙනාම ඔහුට කරුණු පැහැදිලි කිරීමට තැත් කලෝය.
"හරි.....උඹලා කියන්නෙ හොල්මන් තියනවා කියලනෙ.යමන් ඒ බංගලාවට දැන්..."

සියල්ලන්ගේම තර්ක වලට සවන් දුන් කසුන් අවසානයේ ස්ථිර හඬින් පවසමින් නැගී සිටියේය.හොල්මන් තිබෙන බව අසා තිබුනත් සෙස්සෝ තුලද ඒ පිලිබඳ ස්ථිර විශ්වාසයක් නොතිබුණු හෙයින් හා පදමට මත් වී සිටි බැවින් ඔවුන්ද එයට එක පයින් කැමැත්ත ප්‍රකාශ කලෝය.අවසාන මත්පැන් ස්වල්පයත් අවසන් කල තරුණයින් සිව්දෙනා අවසානයේ රාත්‍රී දොළහෙ කණිසමත් පසුවී තවත් මිනිත්තු කිහිපයක් ඉක්ම ගිය තැන සමීරට අයත් ත්‍රීරෝද රථයේ නැගී බංගලාව වෙත ගමන් කලෝය.

බංගලාව වෙත ළඟා වූ තරුණයින් සිව් දෙනා ගේට්ටුවේ සිට මදක් දුරින් ත්‍රීරෝද රථය නවත්වා සෙමෙන් සෙමෙන් බංගලාවේ ගේට්ටුව වෙත පා නැගුවේය.මාස කිහිපයක්ම අතහැර තිබුනු බැවින් වල් වැදී තිබුනු බංගලාව තුලින් දිස්වූයේ අද්භූත පෙනුමකි.වැසිබර අහස් කුස හේතුවෙන් වලාකුලක සැඟවී හුන් චන්ද්‍රයාගෙන් විහිදුණු මලානික ආලෝකය එය තවත් තීව්‍ර කිරීමට සමත් විය.බංගලාවේ පිටත ස්වභාවයෙන් බීමතින් පසු වූ තරුණයින් සිව් දෙනාගේ සිත් මදකට සලිත වුවත් අත තිබූ ජංගම දුරකථන වල ආලෝකයෙන් බොහෝ වේලා ගේට්ටුවෙන් පිටත සිට ඇතුලත පරීක්ෂාවට ලක් කල ඔවුන්ගේ දෙනෙත් වලට අද්භූත යමක් හසු නොවීමෙන් මද වේලාවකින් බිය පහව ගියේය.

"හහ්....මං කිවුවනෙ....කෝ දැන් උඹලගෙ හොල්මන්.....හිටපන් මම කතා කරන්න......

"ඒයි....තංගච්චි...වාංග.....තංගච්චි වාංග...."

තවත් සුළු මොහොතක් එලෙස ඇතුලත පරීක්ෂාවට ලක් කල කසුන් ජයග්‍රාහී හඬින් කෑ ගසන්නට විය.ඒ සමගම ගතවූයේ තත්පරයකටත් වඩා අඩු කාලයකි.මුළු පරිසරයම මිනී පිළිස්සෙන විට නැගෙන පුළුටු ගඳකින් වෙලී ගියේය.සඳ තව තවත් වළාකුළු අතර සැඟවී යන්නට විය.එතැන් පටන් ජංගම දුරකථන ආලෝකයෙන් කසුන් හට ගේට්ටුවෙන් ඇතුලත ඉකිබිඳිමින් හඬන තරුණියක දැක ගත හැකි විය.

"අ...අර අර...කව්ද බං ඒ...ඒකි ඉන්නවා බං...."

කසුන් එදෙසට අත දිගු කරමින් පවසනවාත් සමඟම මිතුරන්ගේ දෙනෙත් විසල් කරමින් ඔහුගේ සම පිළිස්සුනු අයෙකු ආකාරයට හැකිලෙන්නට විය.මුහුණ විරූපිව ගියේය.ඔහුගේ කටහඬද වෙනස් වූ අතර ඔහු තරුණියක මෙන් දමිළ බසින් කතා කරන්නට විය.සිදුවන දේ වටහා ගැනීමට සමත් වූ මිතුරන් තිදෙනාගේ වෙරි සිඳී ගියේය.වහා කසුන්වද ඇදගෙන ත්‍රීරෝද රථය වෙතදිවගිය තිදෙනා එවෙලෙහිම මලින්දගේ යෝජනාව පරිදි වේගයෙන් ගම්මානයේ පන්සල වෙත රිය ධාවනය කලෝය.
නායක ස්වාමීන් වහන්සේ අවධි කර සිදු වූ සියල්ල හෙලි කල ඔවුහු ඒ වනවිටත් යතා තත්ත්වයට පත්ව හුන් කසුන් පිලිබඳව ද නොවලහා පැවසීය.මදක් කල්පනාවෙ නිමග්න වූ උන්වහන්සේ මහත් උපේක්ෂාවෙන් කතාව ආරම්භ කලහ.

"මේ දරුවෝ කරලා තියෙන්නෙ නම් බොහොම අනවශ්‍ය වැඩක්.....මට මේ දරුවට පිරිත් පැන් ටිකක් පොවලා පිරිත් කරපු නූලක් දාන්න පුලුවන්...ඒත් මේ දරුවව හැකි ඉක්මණින් අපේ සිරිපාල කට්ටඬි මහත්තයා ළඟට අරන් ගියොත් තමයි හොඳ...."

"ඒත් අපේ හාමුදුරුවනේ..සිරිපාල මාමා ඉන්නෙත් ඔය බංගලාව ට හැරෙන තුංමංහන්දියෙන් උඩහ පාරේ නේද???අපි කොහොමද ඔය පාරෙන් අයෙම යන්නේ.."

සමීර බැගෑපත්ව විමසීය.

"ඔය දරුවො යමක් කරන්න කලින් ටිකක් හිතුවනම් මේ වගේ දෙයක් වෙන්නෙ නැහැ නොවැ.....හ්ම් හ්ම්ම්....ඒකට කාරි නැහැ...ඔය පිරිත් නූල් කරේ තියනකම් බයවෙන්න කාරි නැහැ....දැන් ඉතින් මේ දරුවත් අරන් පිටත් වුනානම්....."

ස්වාමින් වහන්සේගේ කතාවෙන් සැනසුම් සුසුමක් හෙලූ මිතුරෝ කසුන්වද නංවාගෙන සිරිපාල සොයා පිටත් විය.එහෙත් තුංමංහන්දිය ලං වෙනවාත් සමඟම අවාසනාවකට මෙන් එක්වරම ත්‍රීරෝද රථය නතර විය.හාත්පසම නැවතත් මිනී පිළිස්සෙන ගඳින් වැසී ගියේය.ඒත් සමඟම තරුණියකගේ හඬින් මහ හඬින් දමිළ ගී ගයන්නට වූ කසුන් රථයෙන් බැසීමට උත්සහ කලේය.එක්වරම ස්වාමින් වහන්සේගෙ බස් සිහියට නැගුණු නිමල් වහා කසුන්ගේ ගෙල දෙස නෙත් හෙලුවේය. 

අවාසනාවකි...ස්වාමින් වහන්සේ විසින් පිරිත් කොට කසුන්ගේ කරට දැමූ නූල එහි නොවීය.බියෙන් තැති ගත් සමීර මලින්ද සහ නිමල් මදක් ඔවුනොවුන්ගේ මුහුණ දෙස බලාගත්වනම බලා සිටියෝය.
"නිමා උඹ ඕකව හයියෙන් අල්ල ගනින්.....අපි මේක තල්ලු කරන් හරි යමු...."

එක්වරම යමක් සිහිවූවාක් මෙන් රියදුරු අසුනෙන් ඉවතට පැනගත් සමීර ත්‍රීරෝද රථයඉදිරියට තල්ලු කරන්නට විය.තවත් මොහොතක්වත් පමා නොවූ මලින්දද ඔහුට එක් විය.නිමල් කසුන් ගේ පහර කමින්ම ඔහුව තරයේ අල්ලාගෙන සිටියෝය.

අවසානයේ තුංමංහන්දිය පසුවී මදක් ඉදිරියට තල්ලු කලපසු ත්‍රී රෝද රථය නැවතත් පණගැන්වීමට ඔවුහු සමත් විය.අවසානයේ කෙසේ හෝ කසුන්ද රැගෙන සිරිපාල ගේ නිවසට ගිය ඔවුහු සිරිපාලට ද සිදු වූ සියල්ල නොවළහා පැවසීය.සියල්ලටම සාවධානයෙන් සවන් දුන් සිරිපාල කපු මහතා ඒ වනවිටත් ඔවුන්ගේ ත්‍රී රෝද රථය වෙතට පනිමින් බුරමින් සිටි ටොමියා දෙසද බලා සියල්ල වටහා ගෙන කසුන්ගේ කරට මැතිරූ ඇප නූලක් දමා ඒ වනවිටත් ඔවුන්ගේ ත්‍රී රෝද රථයට වී සිටි රාණි ඇමතුවේය.

"හ්ම්ම්ම්......දැන් කිවුවනම් බලන්න තමුන් මොකද මේ දරුවන්ට කරදර කරන්නෙ...."

"........."
"දැන් මන් සැරයක් ඇහුවා නෙව....කියාපිය...තෝ මොකද මේ දරුවන්ට කරදර කරන්නෙ..."
"මම ආවෙ මුන් මට කතාකරපු නිසා....මං ඉන්නවා කියලා පෙන්නන්න...මුංගෙන් මට වැඩක් නැහැ..මට ඕන එකා අරගෙන මමම යනවා...."

"කව්ද උඹට ඕන එකා...."

එහෙත් ඇසුණේ වියරු සිනහවක් පමණි.ඉන්පසුව සියල්ල සන්සුන් විය.කෙතෙක් උත්සහ කලත් රාණි නැවත නොආවේය.මිතුරන් සිව් දෙනාට මෙන්ම ත්‍රී රෝද රථයට ද ආරක්ෂාවක් කල කපු මහතා සිව්දෙනාම පසු දින පහන් වන තෙක් ඔහුගේ නිවසේ රඳවා ගත්තේය.

ඉන් පසු කෙදිනකවත් කසුන් හා ඔහුගේ මිතුරන් හොල්මන් සහ අවතාර පිළිබඳව නම් අවිශ්වාස නොකලේය.ඉන් මාස තුනකට පසු කොළඹ පදිංචි ව සිටි බංගලාවේ අයිතිකරුද නිදි යහන මතම ගෙලෙහි ඇඟිලි සළකුණු සහිතව අභිරහස් ලෙස මියගොස් සිටියේය.ඉන්පසු කිසිවෙකු කෙදිනකවත් රාණි නොදුටුවේය.එහෙත් අදටත් වල් බිහිවී පාළුවට ගිය බංගලාව ගම්වැසියන් හට රාණිව නිබඳවම සිහියට නංවයි....

Source: Link

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..



---පලිගනිමි--- ---පලිගනිමි--- Reviewed by InvestCrypto on March 31, 2018 Rating: 5

No comments: