මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

---(නො)මළ මිනි---



" හොදටම විස්වාසද මේ රස්සාවට කැමැත්තෙන්මයි ආවේ කියලා..."
" ඔව් මහත්තයො "
" කලින් driving රස්සාව කරල තියනවා ද "
" ඔව්...ඒත් මිනී කාර් එකකනම් නෙමේ , කොළඹ මහත්තයෙක් ගෙ ගෙදර "
" ම් ම් කවද ඉදන්ද එන්ට පුලුවන් වැඩට "
" අද නතර වෙන්න බලාගෙනමයි ආවේ... "

කාලකණ්ණි කමට පොතේ පතේ වැඩ නොකල නිසා අවසානයේ ඉතුරු වූයේ මිනී කාරයක රියදුරු රැකියාව පමණකි . හැමෝටම මේ රස්සාව කරන්න හයියක් නෑනේ යන්න මට හිත හදාගැනීමට තිබූ එකම සිතුවිල්ල විය.

" අයියේ මල් ශාලාව කොහෙද තියෙන්නෙ..."
වටපිට බැලූ මා ඇසූවේ එවැනි කටයුත්තක ට ඉඩක් මෙහි නොතිබූ නිසාය
එක් වරම තියුණු බැල්මක් එල්ල කල ඔහු කීවේ
" මෙතන office එක ඒක තියෙන්නෙ වෙනම, අනික ඔහේගෙ රාජකාරිය මිනිය ගිහින් බාර දෙන එක විතරයි තේරුනානෙ ? "

තේරුම් ගත්තත් නැතත් ඔව් කියනවා හැර වෙන විකල්පයක් මට තිබුනේ නැත.
" ඔ.. ඔව් ඔව්..."
මා කීවේ වැරදි දෙයක් ඇසුවා නම් සමා වෙන්න යන බැල්මද සහිතවය.
ඔහු නැගි සිටියේ මේසය යටින් ඇද ගත් කිහිලි කරු දෙකක අදාරයෙනි මේසයෙන් එලියට එන විට මා ඔහුගේ දෙපා දෙස වුවමනාවෙන් බැලුවෙමි . ම්ම්ම්ම්ම් ඔහුට තිබුනේ එක් පාදයක් පමණි..
" යමු කාමරේ පෙන්නන්න.."


මට නතර වීමට තිබුණේ ඔහු office එක යැයි හැදින්වූ ගොඩනැගිල්ලේම පිටුපස කොටසකය. ඇඳකුත් බිත්තියටම ගැසූ ඇදුම් වැටකුත් බිත්තිය මුල්ලටවන්න විදුලි පේනුවකුත් එය අසල ඉටි රෙද්ද ක් එලා පිගන් කෝප්ප කිහිපයකුත් පමණක් එහි විය

ඇඳුම් රාක්කය මත ඒ වන විටත් අත් කොට කමිසයක් හා කලිසමක් එල්ලා තිබුණේ මාත් සමග තවත් කෙනෙක් සිටින බව අගවමිනි , එක්කො කලින් හිටපු කෙනෙක් ගේ වෙන්න ඇතැයි කියාද මට සිතිනි.
තරමක් හවස් වී තිබූ නිසා හාන්සි වී සිටීම හැර වෙන කරන්නට දෙයක් නොතිබිනි. කාන්දු වූ වතුර බිංදු වලින් විවිධ රටා මැවුනු සුදු සිවිලිම දෙස බලා කල්පනා කිරීමට දෙයක් කල්පනා කරමින් සිටියෙමි. කාමරය පුරා මහා මුඩු පුස් ගදක් හමන්නෙ හිරු එලිය යාන්තමින්වත් කාන්දු නොවන නිසා වන්නට ඇත. මල්ශාලා කාර්‍යාලය මෙතරම් මූසල නම් මල්ශාලා ව කෙසේ ඇතිදැයි මා සිතුවෙමි. බාගෙ විට එසේ නැතිව ඇත මා සිටින්නේ මල්ශාලා කාර්‍යාලය ක බව මා සිත දන්නා නිසා මේ මූසල කම මවිසින් ම මවා ගන්නට ඇත.

යාන්තමින් ඇස් පියවීගෙන ආවත් හිටි හැටියේ දෙසවන් යොමු වූයේ සිවිලිම මත ඇසෙන අඩි හඩකටය. දඩ දඩ හඩින් කිහිප වතාවක් එහා මෙහා දිවූ ඒ හඩ එක්වරම මා හිස මුදුනින් නතර විය.
" හප්පා....මොකක්ද ඒ ගඳ....."
මටම කියවිනි.

ඇඳ පොල්ලක් ගලවාගත් මා ඇඳ මත සිටගෙන සිවිලිම් කොටුවකට තට්ටු කලෙමි. කිසිදු ප්‍රතික්‍රියාව ක් නැත... තවත් වැරෙන් තට්ටු කලෙමි. මහා හඩින් මොර දුන්නේ කෝපාවිෂ්ඨ වූ බළලෙකි....
" හිහ්.. කාලකණ්ණි පූසෙක්....."

නැවත දඩ බඩ සද්දයත් සමග ඌ ඉවත් වූවායැයි මට පසක් විය.
" මල්ලි... "
වේගයෙන් දොර විවර කරමින් කළමනාකරු කෑ ගැසීය. මා තවමත් ඇඳ මතය.
ඉතා වුවමනාවෙන් මා දැස බැලූ ඔහු.
" වැඩක් ඇවිත්.. ඉක්මනට යන්න. අද රෑම යවන්න ඕන හදිස්සි එකක්."
" මේ රෑ..."
මම කීවේ මගේ සිතටමයි.
" හා හා අයියේ.."
ඇදෙන් බසිමින් කීවෙමි. ඒ පිම්මෙන්ම කලිසමක් හා කමිසයක් දමා ගත් මා කාමරයෙන් එලියට යන විටත් ඔරලෝසුවේ 9 කණිසම වැදුනේ මට බලෙන්ම වේලාව පෙන්වන්නට මෙනි

" මල්ලි එතනට ගිහිල්ල ගුණය එක්ක එකතු වෙලා බොඩි එක කාර් එකට දා ගන්න. මේක තමා තැන මෙතනට අරන් යන්න එතන ඉන්නවා අපේ පුශ්පෙ මළ ගෙදරට ඌ අරන් යයි මල්ලි මෙහෙ නතර වෙන්න. පුශ්පයා දන්නවා වැඩේ. මල්ලි අද පලවෙනි දවසනෙ හරියට දන් නෑනේ මළ ගෙදර කොහෙමද වෙන්න ඕනෙ කියලා ... හරිනෙ..."
" ම්ම්ම් හ්ම්ම්."
කියමින් මම යන්නට හැරුනෙමි

" කොහෙද යන්නේ... අර බයිසිකලේ අරන් යනවා පයින් ගිහින් කීය වෙනකන් යන්නද..."
මද සිනහවක් ඔහුට පා සයිකලය ගෙන පදින අතර ඔහු මට කියූ පිලිවෙල ගලපා ගන්නට උත්සහ කලෙමි. ඔහු කී සැටියට මට මිනිය ගෙනයාමට ඇත්තේ මග දුරකි.එතැන සිට පුශ්පෙ නම් කෙනා මිනිය සමග රථය ගෙන යනු ඇත. ම්ම්ම්ම් අද මගේ පලමු දිනය නිසා මටත් පුරුදු වීමට එය උපකාරයක් වනු ඇත

" ආ... ඔහේද අලුත් ඩ්‍රයිවර්..." සැර පරුෂ මුහුණ ක් තිබුනත් සුහදව කතා කල ඔහු ගුණේ වන්නට ඇත ඒ වන විටත් බීමතින් සිටි ඔහුට ඒ මුස්පේන්තු මුහුණ හිමිවන්නට ඇත්තේද බීමත් කම නිසා වන්නට ඇත.
" ඔ ඔව්... මේ ගුණේ අයියාද ..."
සැක හැර දැන ගන්නට මා ඇසීමි.
" ඔව් ඔව්... ගුණය තමයි.."
ඒ වන විටත් වසා දමා තිබූ මිනී පෙට්ටිය අවසන් වරට පිසදමමින් ඔහු පැවසීය.
" මලය වරෙන් අල්ලමු..."

පෙට්ටිය පැත්තකට වාරු දෙමින් ඔහු කෑ ගැසීය. ගල් පිලිමයක් ලෙසින් බලා සිටි මා දිව ගොස් අනික් පැත්තෙන් වාරු දී ඔසවා ගතිමි. තාත්තාගේ පෙට්ටියට කර දුන් පසු මිනි පෙට්ටියකට අත ගැසූ පලමු වර එය වුවත් මින් පසු දිගටම මේ මගේ ජීවිතේ බව සිහිවනවිට බඩ පපුව දගෙන යන බව මට දැනිනි..
රථයේ ඩිකිය මත එය සීරුවෙන් තැබීමට උත්සහ කලත් මා අතින් එය දඩස් ගා අත හැරුනේ අත තුවාල වේවි යැයි බියටය

" මොන හු%#**#&#- ක් ද කරන්නෙ පරිස්සමෙන් %@%&# "
අමු කුණුහරුප වලින් ගුණේ මට බැන්නේ ලෝකෙ තියන ලොකුම වරද කල එකා මා මෙනි. කුමක් කරන්නද රැකියාව රැක ගැනීමට නම් බල්ලෙකු මෙන් නිහඩව සිටිය යුතු නිසාවෙන් ම මා නිහඩවම සිටියෙමි.
මිනි පෙට්ටියක් දකින විට ඕනෑම කෙනෙක්ට මතු වන ප්‍රශ්නය මටද මතු විය.

" මොනා වෙලාද..."
පෙට්ටිය දෙස බලමින් ගුණෙගෙන් ඇසීමි
" පොඩි එකියක් කාලකණ්ණි කම තමා ඉතින් කෝච්චිය ට පැනලා..."
" හපොයි... "
මට කියවිනි.

" බොසා කියුවනේ කෙරෙන විදිය නේද ... එහෙනම් මලය ප්‍රවේසමෙන් හොදේ.. වැඩි වේගෙන් යන්න ඕන නෑ මැරුණ එකා කීයට ගෙදර ගියාම මොකද. ඉස්සරහ රෝදෙක හුලං අඩු ගතියක් තිබ්බ පුශ්පෙ ට කියපන් මොනා හරි කර ගන්න කියලා. එහෙනම් ජය වේවා.."

මුන් නම් පුදුම කාලකණ්ණි ලෙස මට සිතුනි. මිනියක් ලග තබාගෙන මෙසේ සතුටු විය හැකිදැයි මට සිතිනි. හ්ම්ම්ම් එහෙම වෙන්නට පුලුවන මන්ද මගේම ආච්චිගේ මළ ගෙදරත් බූරු ගසමින් මා විනෝද වී නම් අනුන්ගේ මිනියකට මුන් මොකට දුක් වෙන්නද.

දෙවියන් බුදුන් සිහි කර නමෝ විත්තියෙන් ගමන ආරම්භ කලේ ලොක්කා ගමන් මාර්ගය ඇඳ දුන් කොලයත් යාබද අසුනේ තබා ගනිමිනි, සුලගට යාම වැලැක්වීම සඳහා ඒ මත දුරකතනයද තබා සීරුවෙන් රථය පාරට ගතිමි. නගරය පසු කරන විටත් රාත්‍රී 10ට ආසන්න වුවත් තවමත් කොල පාට විදුලි පහන් වලින් එලිය වුනු කෑම කඩ කිහිපයක් පමණක් විවුර්ත ව පැවතිනි.

නාගරික කලාපය කෙමෙන් ඈත් වන්නට වන්නට වෙනදා නුපුරුදු හැගීමක් හිතට දැනෙන්නට වූයේ නාදුනන මල මිනියක් මා පසු පසම හඹා එන බව මගෙ සිත සැරින් සැරේ මට ඇවිටිලි කල නිසාවෙනි. ඒ නිසා වෙනදාට වඩා වැඩි වාර ගනනක් පසු පස බලන කණ්නාඩිය දෙස ඇස් යොමු වූයේ හිතාමතාම නොවේ.
දෙනියායෙන් ගමන් ආරම්භ කල මා පැය 2 කට ආසන්න කාලයක් දකුණු දිශාව බලා ගමන් කලේ ලොක්කාගේ සිතියමට අනුවය.. ඒ අනුව තව මද දුරකින් මා අපරැක්ක මාතර දෙසට හැරවිය යුතු බව සිහි තබා ගනිමින් ඉදිරියට ආවෙමි.

දහවලට තරමක් මිනිසුන් දැකිය හැකි වුවත් දැන් නම් බල්ලෙක්වත් නොමැති තරම් පාලු වූවේ රාත්‍රී 12 ට ආසන්න වී ඇති නිසා වන්නට ඇත. බැලු බැලු අත තේ වතුත් සාගර බදු වෙල් යායවලුත් හැර හිත හදා ගැනීමටවත් මනුස්ස පුලුටක් නැත..

පාලුව මකා ගැනීමට රේඩියෝ එක දැම්මත් විටින් විට කැඩී යන සංඥා නිසා එයින් මතු වූවේ මහා විකෘති හඩවල් ය. එය මගේ බිය තවත් වැඩි කල නිසා වහාම ක්‍රියා විරහිත කලෙමි. සාමන්‍ය මිනී රථ රියදුරන් ගමන අතරතුර මත්පැන් ගන්නා හේතුව මට මනාව වැටහිනි. දුක යනු මට එවැනි සූදානමක් නොතිබීමයි.

ආ මග නිවැරදි නම් මා මේ වන විට අපරැක්ක මාතර මාර්ගයේ සිටිය යුතුය. මන්ද මගේ ගමනාන්තය සදහන්ව තිබුනේ ඇල්ලකන්ද රක්ෂිතය බටහිර කෙලවර ආසන්න තැනකි. වරදින්නට හේතුවක් නැත වම්පසින් දිස් වන අන්ධකාර වනාන්තරය එය විය යුතුය. මේ රැහැයියන්ගේ හඩ මට තවත් ඉදිරියට නොයා ඉන්න යැයි අනතුරු අගවන්නට මෙන් මහා හඬින් කෑ ගසයි...

මද වේගයක් පවත්වා ගනිමින් තවත් දුර ඇදුනෙමි... මා සිටින්නේ වෙනම ලෝකයක විය යුතුය. මින් පෙර මේ මග ගොස් ඇතත් මෙතරම් ගුප්තව මූසලව මට දැනී නැත. රථයේ කවුලුව අතරින් රිංගා එන සීතල සුලග ආවේ කැලයේ තිබූ රැහැයි ශබ්ධය ත් අරගෙනමය. මාර්ගය නිවැරදි ඇතැයි මා සිතමි එය සනාත කර ගැනීමට නැවත් කොලය දෙස බැලුවා පමණි.

" දඩා..ස් ..... දඩා...ස්.."
" ඔහ් ශික්...."
සිතන්නටවත් මොහොතක් ඉඩ නොදී අලි නාවන වලක් බඳු විශාල වලක වැටී ගොඩ ආවේ රථය උඩ විසි කරමිනි..

මා වහාම පසුපස බැලුවේ මිනි පෙට්ටිය දෙසය. අහෝ ඇති යන්තම් එයට මුකුත් වී නැත. ඇතිවූ ශබ්ධය අනුව නම් කාරයට හානියක් වී තිබිය යුතුමය.. සිතු මම කාරයෙන් බැස රෝද 4ම පරීක්ශා කලේ දුරකතනයේ ලාම්පු එලිය ආධාරයෙනි.

වාසනවන් එයට කිසිදු හානියක් නැත.. බැස ගත් ඇසිල්ලේ මේ තරම් දුරක් සිර කරගෙන ආ සුලුදියත් සිදුවා ගෙනම යමි සිතා පාර අයිනේ තිබූ සියඹලා ගසට කිට්ටු කලෙමි. කාරිය කරන අතරතුර ඉබේටම වටපිට බැලුනේ ගස මුදුනේ සිට මොකෙක් හෝ මා දෙස බලා සිටින බව හැගුණ නිසාය. මළ කුනක් සමග සියඹලා ගසක් යට සිටගෙන මගුලක් කරම් දැයි සිහි වූයේ එවිටය...

හීන් සීරුවේ ටෝර්ච් එලිය ගසට අල්ලා බැලුවේ ඒ යකා මොකාද කියාය .. දිලිසෙන ඇස් දෙකක්....
" හ්හ්හ්හ්හ්.... &$$@@% වවුලා... "

මට කෑ ගැසුනේ මහා හඩින් කෑ ගහමින් මගේ හිස අසලින් ම ඇදුනු විශාල වවුල් තඩියෙන් නිසාවෙනි. ඌ රථය පසු කරත්ම ඩොහ් යන හඩක් රථය තුලින් ඇසුනි... රථය තුලින් හැර එවන් හඩක් ඇසෙන්නට වෙන තැනක් නැත...වහාම රථය වෙත ඇදුනේ තට්ට තනියම මේ කැලයේ මිය යාමට මට අවශ්‍ය නොවූ නිසාවෙනි.
වාහනයට ගොඩ වී යතුර කැරකුවේ ලේ බොන රකුසෙක් මා මරා දමාවි යැයි ප්‍රාණ බය දැනීමත් නිසාය.

නමුත් අවාසනාවක මහත
 " දෙයියනේ මේ කැලේ නම් එපා...."
පලමු වරත් දෙවන වරත් තෙවන වරත් රථයට පණ ආවේ නැත.....
තව එක් සැරයක් උත්සක කරමි....
" හ්හ්හ් ඇති යාන්තම්..... "
මට කියවිනි රථය පණ ගැන්විනි... නමුත් ඒ සතුට ක්ෂණයකින් නැති වූයේ ඊලග මොහොතේ සිදුවූ ගුප්ත සිදුවීමෙනි.

වාහනය තරමක් ඉදිරියට ගනිද්දීම මිනී පෙට්ටිය "ඩොග් " ගා ගැස්සුනේ දුරක සිට වේගයෙන් දුව ආ මොකෙක් හෝ එය උඩට පැන්නාක් යැයි සිතෙන ලෙසය....
" මො.. මො.. මොකක්ද ඒ.... "

බැස ගියොත් මහා කැලය, කාරයේ සිටියොත් මළ මිනියක්... මා කුමක් කරම්ද.... කරන්නට දෙයක් නැත.. සිත දැඩි කර වේගය වැඩි කලේ ගමනාන්තය තව සුලු දුරකින් එලබෙන නිසාය. නමුත්...
" ක්‍ර්.....ස්.... දොහ් ඩිග් ඩිග්...."

මොකෙක් හෝ පෙට්ටිය සූරමින් දගලයි.... පසු පස බලන කන්නාඩියෙන් මොකෙක්වත් පේන්නට නැත... දෙයියො බුදුන් සිහි කලත් කනට ඇසෙන දේ අඩු වුනේ නැත...එය එන්න එන්නට වැඩි වූවා පමණි. රථය නතර කල තැනදී අමනුස්ස බැල්මක් වැටුන බව නිසැකය...

උගුරකට වියලී ඇත... මටත් නොදැනිම වලවල් පිරුනු ගුරු පාරේ හැකි උපරිම වේගයට රිය පැදවූයේ බියටමය... පලක් නැත මොකෙක් හෝ මිනී පෙට්ටිය අරින්නට මාන බලයි.. පෙට්ට්ටියේ පියන් දඩ දඩ ගා ඈත් වෙමින් නැවත් වැසෙයි... ඒ වේගයෙන්ම අගේ පපුවත් ගැහුනේ බිය ඉහවහා ගිය තැනය..

එයින් නතර වූයේ නැත... වාහනය පසුපසින් හීන් කෙදිරිලි හඩක් ද ඇසෙන්නට වූයේ මගේ සියොලඟ ම දහඩියෙන් තෙත් කරමිනි. මගේ හුස්ම හඩ මටම ඇහෙද්දී
" ම්ම්ම්ම්ම්ම් .... ම්ම්ම්ම්ම් "
ලෙස කෙදිරිය ඇසේ... දෙයියනේ මේකිට පණ ඇවිත්.... මගෙ සිත කියද්දී කැලය දෙවනත් කරමින් කැලේ මැදින් මහා විලාපයක් ඇසුනේ මරු පහරක් කෑ ගැහැනියක් බව නම් විස්වාසය. එක් වරම මිනි පෙට්ටි පියන් අගලක් පමණ ඈත් කරමින් දඩාස් ගා ශබ්ධයක් ඇසෙත්ම මා ඒ දෙස බැලුවෙමි... සියල්ල නිහඩ විය....

" අම්මො......."
ඉදිරියට හැරුනා පමණි .... මට යාර 20ක් පමණ ඉදිරියෙන් කැලයෙන් මතුවූයේ හිසින් ලේ පෙරා ගත් කෙල්ලෙකි.. සුදු මැලි මූණ එක් පසක් ද ඇදුමද ඒ ලේ වලින් පෙගී තිබුනි... අනිච්චානුගවම තිරිංග තද විය... පලක් නැත පැඩලය අඩියටම පෑගුවත් වේගය එසේමය. වලට වැටෙද්දී තිරිංග හානි වන්නට ඇත .අත් තිරිංග ක්ෂණික ව ඇද්දෙමි. තප්පර 2ක් ඇතුලත සියල්ල සිදුවන්නට ඇත ඈ තවමත් මා දෙස බලා සිටී... සිර වුනු රෝද ගුරු පාරේ ලිස්සා වට 2ක් පමණ රථය කැරකවී කැලයට විසි වී
දඩා....ං
මහ හඩක් සමග ගසක පතිත විය...

මුලු ලෝකයම මා වටා කැරකේ... කී.....ං යන ශබ්ධය කන් දෙක අගුල් දමා ඇත. දැලක් දැම්මා සේ ඇස් බොද විය.. එහෙම්ම අසුනට බර වී හිස බදා ගතිමි. නැවී තිබූ පැති කණ්ඩියෙන් කාරය ඇතුල මට පෙනුනත් ඒ පෙනුන දෑ සැබෑවක් විය නොහැකිය.

මිනි පෙට්ටිය ඇරී ඇත කාරයේ පසුපස දොරත් ඇරී ඇත.. මා දුටුවේ එයින් බැස ගත් ගැහැනියකගේ රූපයකි... මා මනො විකාර වී ඇත... කරකැවිල්ල වැඩි විය. දෑස් වසා ගතිමි......

දෑස් විවර කරන විට මට අදහා ගත නොහැකි විය... මා සිටියේ ලෑලි වලින් කල කාමරයක් තුලය...
" ආහ්... දෙයියනේ...."
මට කියවිනි. මා සිටි තැනට තරමක් එහායින් තබා තිබ්බේ මා ගෙන ආ මිනී පෙට්ටියයි.... වහලයේ එල්ලා තිබූ ආරෝපිත ලන්තෑරුමකින් කාමරයේ අදුර යාන්තමින් මැකී ඇත. තාමත් මේ කරුමය අවසන් නැතැයි මට සිතිනි. මගේ අත් හා පා බැද දමා ඇති බව මට වැටහුනේ නැගිටින්නට උත්සහ කරද්දීය..
" මේ මොන මගුලක් ද ..."

කිසිවක් සිතා ගැනීමට නොහැකිය... පැය කාලක පමණ වෙහෙසකින් පසු මට පලමුව දෑත් ද දෙවනුව දෙපාද ලිහිල් කර ගැනීමට හැකි විය. වහාම දුව ගොස් දොර අරින්නට හැදුවත් එය පිටතින් අගුල් දමා ඇත... කිහිප වරක් උත්සහ කලත් පලක් නොවීය...

ඒ අසලම හිද පෙට්ටිය දෙස බලා කල්පනා කලේ අනතුරත් සමග මා දුටු දේ සැබෑවක්ද යන්නයි.. එය දැන ගැනීමට වෙන ක්‍රමයක් නැත.... මා මිනී පෙට්ටිය ඇරීමට තීරණය කලෙමි..
තීරණය ගත් විගස මුලු පරිසරය ම තවත් නිහඩ සහ අදුරු වූ බව මට හැගුනා විය හැකි ය. අඩියෙන් අඩිය කිට්ටු කර මිනී පෙට්ටිය පාමුල දණ නමා දොර අගුලු ඉවත් කලෙමි. මෙයින් මා කුමක් බලාපොරොත්තු වේ දැයි මා නොදනිමි. ප්‍රාර්ථනයක් නැත පාලු කැලයක් මැද මෙහි මිනිය තිබුනොත් ඒ සමග තනියම ඉන්නට සිදුවනු ඇත, නොතිබුනොත් මිනියට නැවත පණ ආ බව මට විස්වාස කරන්න වනු ඇත ... අනේ දෙවියනේ .....
දෑස් වසාගෙන එක් වරම පියන් මෑත් කලෙමි....

" හ්හ්......."
මට කියවිනි.... එහි මිනිය නැත... එහෙනම් මා දුටු දේ සත්‍යයක් ..... ඒ ගැන සිතන්නටවත් මොහොතක් ලැබුනේ නැත කාමරයේ දොර මහා හඩින් ඇරී සීතල සුලගක් හැමීය. ඒ දෙස බලත් ම වැදුනු පහරකින් මා විසි වී ගොස් බිත්තියේ වැදිනි..
" වල් පරයා... තෝ අපිව විනාස කලා යකෝ...."

හැඩි දැඩි පිරිමියෙකි.... දඩු අඩු මෙන් දෑත් වලින් මගේ ගෙල මිරිකාගෙන ඌ කෑ ගසයි. ඌ කියන දේ තේරුමක් මා දන්නේ නැත. මා දැන දැන වරදක් කලේ නැත්. එය තේරුම් කරන්නට වරම් නොලද මට තේරුනේ දෑස් දැවිල්ලකි. ඒවා එලියට පනීවි යැයි මට සිතිනි .වැරෙන් හුස්ම ගත්තත් උගුරෙන් පහලට ඒවා ගලා ගියේ නැත...දෑස් පියවීමට ආසන්න වත් ම මා බොදවූ දෑසින් දුටුවේ ඌ පිටුපස සිටගෙන සිටි ලේ නැහැවුනු ගැහැනියකි...

" චරස්....."
" හ්හ්හ්හහහ... හ්හ්හහ...."
උගේ දෑත් ලිහිල් විය... උගේ කටින් ගලා ආ ලේ මගෙ මුහුණ පුරා වැක් කෙරුනේ පිලිකුල් කරමිනි . උගේ කටින් මතුවී තිබුනේ ලී උලකි... තප්පර කිහිපයක් මා දෙස බලා සිටි ඌ දඩහ් ගා බිම පතිත විය..
ලේ පෙරා ගත් ගැහැනිය කැලය මැදින් රථයට පැන්න තරුණිය බව මට සිහි විය . ඇය අඩියෙන් අඩිය මා වෙත ලං විය... මෙය මාගේද අවසානය වනු ඇත. ඈ තවත් ලං වී මගේ මුහුණට බර විය....
" නැගිටින්න ඉක්මනින් මෙතනින් පැන ගමු...."

සති 2කට පසු..

" මිනී කාර් රියදුරු ගේ ඔත්තුවෙන් ජාවරම් කරුවන් දැලේ..."

" රූමත් තරුණියන් පැහැරගෙන ගොස් විදෙස් රට වලට විකිනූ ජාවාරම් කරුවන් පිරිසක් නීතියේ රැහැනට හසු කර ගැනීමට පසුගිය දා මාතර පොලීසිය සමත් විය. විශේෂත්වය නම් මෙම කාන්තාවන් ප්‍රවාහනය කර තිබුනේ මිනී කාර් වල මළ සිරුරු ලෙසයි. මිනී රථ පහසුවෙන් පොලිස් නිරීක්ෂණයට ලක් නොවන නිසා මේ ජාවාරම සෑහෙන සාර්ථකව කර ඇති බව සදහන්. සිහි සුන් කල කාන්තාවන් මිනි පෙට්ටි තුල සගවා ඇල්ලකන්ද ප්‍රදේශයට ගෙනැවිත් රාත්‍රියේම මාතර පාතෙගම ට ගෙනගොස් ධීවර බෝට්ටු මුවාවෙන් මුහුදු මගින් වෙනත් රට වලට අලෙවි කර ඇති බව විස්වාස කෙරේ. මෙහෙයුම සදහා ඔත්තුව ලබා දුන් මිනී කාර් රථ රියදුරු රුවන් කුමාර මහතාට පොලිස් උත්තමාචාරය හා ස්තුතිය හිමි වන බව මාතර පොලිස් ස්ථානධිපති තුමා තව දුරටත් කියා සිටියා..."

" ඔහොම තමා ආර්ටිකල් එක එන්නේ. මෙ ඉරිද පත්තරෙන් බලන්න පුලුවන් මේ හොදයි නේද..."
" අනේ මට නම් ඕව තේරෙන් නෑ... "
මම කීවෙමි

" ඒක නෙමෙයි එතකොට ඔයා අරන් ගිය මිනි පෙට්ටියෙ කෙල්ලට මොකද වුනේ... " වාර්තා කරු ඇසීය
" ඒක නම් මම දන්නෙත් නෑ.. මට එයාගෙ මූණ දකින්න වුනේම නෑනේ... හ්ම්ම්ම් දෙයියන් ගෙ පිහිටෙන් මම පාප කර්මයක් කර ගන්න ගිහින් පණ බේරගෙන ආවා කියලා විතරයි මම දන්නේ..."

නිමි.

මම ප්‍රගීත් ලීටස්

Source: Link

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..



---(නො)මළ මිනි--- ---(නො)මළ මිනි--- Reviewed by InvestCrypto on April 21, 2018 Rating: 5

No comments: