මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

---හමුදා කදවුරට කොටි පහර දෙද්දී ගුවන් නියමුවන් බේරා ගන්නට අඳුරේ ආ අමුත්තා---


යුද්ධය අවසන් වෙමින් තිබූ කාල වකවානුවයි. නැගෙනහිර පලාතෙන් ඒවන විට එල්ටීටීඊ ක‍්‍රියාකාරකම් බොහෝදුරට තුරන් කර තිබුණි. ඇතැම් අවස්ථාවල තැනින් තැන සුලූ සිද්ධීන් කිහිපයක් පමණක් වාර්තා විය. නැගෙනහිර පලාතේ ලාහුගල, කුමන කැලෑවේ එල්ටීටීඊ ක‍්‍රියාකාරින් කදවුරු බැද ඇතිබවට කතාබහ නම් අඩුවක් නැතිවිය.

කලකට ඉහතදී කතරගමටත්, යාල ජාතික වනෝද්‍යානයේ සංචාරක බංගලාවලටත් කොටි පහරදීම් සිදුවිය. ඉන්පසු යාල ජාතික වනෝද්‍යානය තුළ තිබු ඇතැම් සංචාරක බංගලා ආශ‍්‍රිතව ආරක්‍ෂක හමුදා කදවුරු ඉදිවිය. මේ තිබු බිය නිසා සංචාරකයන්ගේ පැමිණිමද බොහෝ සෙයින් අඩුවිය. කුමන ජාතික වනෝද්‍යානයද කලක් තිස්සේ මහජනයාට විවෘත නොකර වසා දැමුණේ ද ආරක්‍ෂක හේතූන් නිසාය.

කෙසේ වෙතත් සාමකතාවලින් පසු යළි කුමන ජාතික වනෝද්‍යානය මහජනතාවට විවෘත කෙරිණි. ඒවනවිට කුමන කැලේ කදවුරු බැදගෙන සිටි කොටි ත‍්‍රස්තවාදීහූ නැගෙනහිර කෝමාරි, ඇතුල් කැලෑ ප‍්‍රදේශ වලට සංක‍්‍රමණය වුහ. නමුත් සාමකතා බිද වැටීමත් සමගම කොටි යළි පෙරපරිදිම කුමන ජාතික වනෝද්‍යානයේ පෙර පැවති කොටි කදවුරුවලටම පැමිණ විවිධ ත‍්‍රස්ත ක‍්‍රියාවන් සිදුකළහ.

කොටි ත‍්‍රස්තයන්ට කුමන වනෝද්‍යානයට වැඩිපුරම පැමිණියේ මුහුදු මාර්ගයෙනි. විශේෂයෙන් ඔකද දේවාලය අසලත්, පැරණි කුමන ගම්මානය අසලත් වු මුහුදු තීරවලින් ඔවුන් කුමනට ඇතුල්වූයේ ධිවරයන්ගේ වෙස් ගැනීමෙනි. කොටි ත‍්‍රස්තයන් කුමන කැලෑවේ සිටියද එහි සිටින වනසතුන් ගැන හොයාබලන වනජිවී නිලධාරීන් කුමන හැර නොගියේය.

වරක් කුමන වනජිවි කාර්යාලය පිහිටි ඔකද පිවිසුම් මධ්‍යස්ථානයේ සේවය කළ වනජීවියට සම්බන්‍ධ සේවකයන් දෙදෙනකු ඔකද සිට පානමට බවුසරයකින් එද්දී ක්ලේමෝ බෝම්බයකට ගොදුරුවිය. වනජිවී ඉහළ නිලධාරීන් එහිසිටි සේවකයන්ට ඔකද පිවිසුම් මධ්‍යස්ථානය අතහැර එන ලෙස දැනුම් දුන්නේය. වනජීවි නිළධාරීන් නොමැතිවීම වනසතුන්ගේ ජිවිතවලට අවදානමක් ගෙනාවේය. ඒබව දත් වනජිවී දෙපාර්තමේන්තුවේ සහකාර අඩවි ආරක්‍ෂකවරයෙක්වු බී. ගුණසිංහ මහතා ඇතුළු පිරිසක් කුමනින් නොයාමට තීරණය කළේය.

‘‘කොටි ත‍්‍රස්තයන්ට වඩා කතරගම දෙවියන් ප‍්‍රබලයි. අපි ඉන්නේ වනසතුන් රකින්න. අපි මෙතනින් ගියොත් ඔවුන් දඩයක්කරුවන් ඇතුළු විවිධ පුද්ගලයන්ගේ තුවක්කුවලට ගොදුවන්නට ඉඩ තියනවා. ඒ හින්දා අපි මෙහෙ ඉ`දිමු යැයි’’ ඔවුහු තීරණය කළහ.

මේ කාලය තරමක් නියංසමයකි. 2008 වර්ෂය නිසා යුද්ධයේ අවසන් කාල පරිච්ෙඡ්දයයි. කුමන වනොද්‍යානයේ වැව්වල ජලයත් සිදීයාමේ තර්ජනයක ලක්ව තිබුණේය. වැහිකාලයට කඩාගෙන යන වැව් කාලයකින් ප‍්‍රතිසංස්කරණය නොකිරිම නිසා ඒවා අබලන්ව තිබුණි. මේ නිසා වනසතුන්ගේ පිපාසය නිවීමට තිබූ අවස්ථාවන් අඩුව තිබුණි.

එහෙත් මේ කාලයේ රටේ විවිධ ප‍්‍රදේශවල සිටි පරිසර හිතකාමීන් කුමන කැලෑවේ වන සතුන්ගේ ප‍්‍රයෝජනයට අවශ්‍ය වැව් ආදිය ප‍්‍රතිසංස්කරණය කිරිමට පෞද්ගලික මුදලින් ආධාර උපකාර කළහ. විශ‍්‍රාමික වනජීවි අධ්‍යක්‍ෂවරයෙකුවූ ෂර්ලි පෙරේරා මහතා මේ කියන වකවානුවේ ඔක`ද කාර්යාලය ආසන්නයේ ඇති කිල්ලංවල වැව ප‍්‍රතිසංස්කරණය කිරිම ඔහුගේ මූලිකත්වයෙන් සිදුකෙරෙමින් පැවතුණි. ඩෝසර් යන්ත‍්‍රයක්ද ගෙනවිත් තිබුණි.

දිනක් ෂර්ලි පෙරේරා මහතා කුමනට පැමිණියේ එහි කටයුතු පිරික්සීමටය. ඔහු සමග එවකට එයාර්ලංකා ගුවන් සේවයේ රාජකාරී කළ ගුවන් නියමුවන් පිරිසක්ද පැමිණියේ සංවර්ධන කටයුතු සදහා ඔවුන්ගේද දායකත්වය දීමටය. මේ පැමිණි පිරිස වාහන පහකින් කොළඹ සිට පොතුවිල්, පානම, හරහා ඔකදට පැමිණි අතර ඔවුන් නවාතැන් ගත්තේ ඔක`ද සිට කිලෝමීටර් විස්සක් පමණ කුමන වනෝද්‍යානය ඇතුළට වන්නට පිහිටි ‘‘ඇදකුඹුක’’ ප‍්‍රදේශයයි.

එහි කදවුරුගෙන සිටි පිරිස දිවා කාලයේ ඔකදට පැමිණ වැවේ ඉදිකිරිම් නිරීක්‍ෂණය කළහ. වනජිවි නිලධාරින් කිහිප දෙනෙක් පමණක් මේ පිරිසගේ ආරක්‍ෂාවට සිටියහ. ‘‘ඇදකුඹුක’’ ලෙසින් හදුන්වන්නේ කුමන ජාතික වනෝද්‍යානයෙන් යාල ජාතික වනෝද්‍යනයේ අංක දෙක කලාපයට කුමන පැත්තෙන් ඇතුළුවිමට ඇති මාර්ගය පිහිට ප‍්‍රදේශයටය. කුඹුක්කන් ඔයෙන් එගොඩවන්නේ මෙතැනිනි. කුඩාකැබිලිත්ත හෙවත් මඩමෙතොට දේවාලය පිහිටා ඇත්තේද ඒ ආසන්නයේය.

අද මෙන් සන්නිවේදන පහසුකම් එදා නොතිබුනේය. පානම ගමටද ජංගම දුරකතන සංඥා ලැබුණේ නම් ඒ තැනින් තැනටය. හදිසි පණිවිඩයක්නම් කෙනෙකු ගිහිං කිවයුතුය. 2008 සැප්තැම්බර් මාසයේ දිනයක්වු එදින ෂර්ලි පෙරේරා මහතා ඇතුළු පිරිස ඔකද සිට ඇදකුඹුකට ගියේ රාත‍්‍රිය එහි ගත කරන්නටය.
මේ අතර අදුරු වැටෙත්ම ඔකද වනජිවී කාර්යාලයට ලැබුණු පණිවිඩයකින් කියවුනේ අසුබ ආරංචියකි. කුමන වනෝද්‍යානය හරහා පැමිණි කොටි ත‍්‍රස්තවාදීන් කණ්ඩායමක් යාල ජාතික වනෝද්‍යානයේ තල්ගස්මංකඩ පිහිටි යුද හමුදා කදවුරට දරුණු ප‍්‍රහාරයක් එල්ල කරන බව එම පණිවිඩයයි.

කුමන හරහා යාලට යන්නේ නම් ‘‘ඇදකුඹුකෙන්’’ කුඹුකන්ඔය තරණය කර පොත්තන, පිළින්නාව හරහා යාල කලාප අංක දෙක ඔස්සේ ගොස් මැණික් ගෙ`ගන් එගොඩවී යායුතුය. එසේ යද්දී මැණික් ගෙ`ගන් එගොඩව ටිකදුරක් යනවිට තල්ගස්මංකඩ කදවුර හමුවෙයි. එතැන පෙර තිබුණේ සංචාරක බංගලාවකි.
සවස පහයි තිහට පමණ ප‍්‍රහාරය ආරම්භව ඇතිබව ඔකදට ලැබුණු පණිවිඩයෙන් කියැවිණි. ඔකද කාර්යාලයේ සිටි ගුණසිංහ මහතා ඇතුලූ නිලධාරින් මහත් කලබලයට පත්විය. ඒ වනවිට වනජිවි ඇමතිවරයා වූයේ පාඨලි චම්පික රණවක මහතායි. වනජිවී ඉහළ නිලධාරින්ගේ උපදෙස වුයේ වහාම ඔක`ද කාර්යාලය අතහැර පසු බසින ලෙසයි. නමුත් එය හදිසියේ කළ හැකි දෙයක් නොවීය.

හේතුව කුමන වන සතුන්ගේ ප‍්‍රයෝජනයට වැවක් හදන්නට ආ පිරිසක් කුමන මහ කැලෑවේය. කිලෝමීටර් විස්සක් තරම් ඈත කැලෑවේ සිටි මේ කණ්ඩායම ආපසු ගෙන්වා ගන්නට පණිවිඩයක් යවන්නට ක‍්‍රමයක් ඇත්තේම නැත. තල්ගස්මංකඩට ප‍්‍රහාරය එල්ලකළ කොටි එහි යද්දී හෝ ආපසු කුමනට පසු බසිද්දී ‘‘ඇදකුඹුකේ’’ සිටින පිරිස නෙත ගැටුණොත් සිදුවන්නේ මහ විනාශයක් බව අඩවි සහකාර ගුණසිංහ මහතා ඇතුලූ වනජීවි නිලධාරින්ට අවබෝධ විය.

අවස්ථාවේ හැටියට කළ හැකි වෙනත් කිසිම දෙයක් නැත. කෙසේ හෝ ඇදකුඹුකට ගොස් පිරිස ගැන සොයා බැලිය යුතුය. ඒ යනමග කොටි ත‍්‍රස්තයන් සැගවී සිටිය හැක. එසේ වුවොත් ගමන දැඩි සේ අවදානම්ය. වෙනත් කළ හැකි කිසිදු විකල්පයක් නොවු නිසා ගුණසිංහ මහතා කතරගම දෙවියන් සිහිකරමින් වන සතුන්ගේ යහපතට පැමිණි පිරිසට අතුරු ආන්තරාවක් නොවී රැකදෙන්නැයිද ඔවුන් කැදවාගෙන එන්නට යන තමන්ට ද පිහිටාරක්‍ෂාව ලබාදෙන්නැයිද ඉල්ලා කාර්යාලයේ තිබු යතුරු පැදියට නැගුණේ තවත් නිලධාරියෙකු සමගය.
දසතින් අදුර දෝරේ ගලමින් තිබු ඒ මුසළ ගොම්මනේ ඔහුගේ යතුරු පැදිය ඔකද සිට කුමන මහ කැලැවේ ඇතුළට ඇදෙයි. ගුරුපාර දෙපස කැලෑවේ වන සතුන් ඒවනවිටත් ආහාර සොයා කැලෑවේ එහා මෙහා යන්නට පටන් ගෙනය. ඉදිරියේ පාර අද්දර වනඅලි රංචුවකි. යතුරු පැදියේ එළියෙන් ඉදිරියේ සිටින සතුන් පමණක් පෙනෙයි. වටපිටාව මහ කැලෑව නිසා කිසිවක් නොපෙනෙයි. ආරක්‍ෂාවට ඇත්තේ යතුරුපැදියේ පිටුපස සිටින වනජිවි නිලධාරියා අතැති ‘‘සොට්ගන්’’ වර්ගයට අයත් ගිනිඅවිය පමණි.

නමුත් ගිනිඅවියට වඩා ගුණසිංහ මහතාට ‘‘කතරගම දෙවියන්’’ විශ්වාසය. ඔහු යතුරු පැදියේ සිටම ඉදිරියේ සිටින වනඅලි රංචුව දැක කතරගම දෙවියන්ගෙන් ඉල්ලා සිටියේ තමන් යන ගමනට වනසතුන්ගේ බාධා ඉවත්කර දෙන ලෙසය. විදුලි පන්දමක එලියක් හෝ විදුලි පහන් එළියක් දුටු විගස පන්නාගෙන එන වනඅලි පාරෙන් ඉවත්වූයේ ගුණසිංහ මහතා යන ගමනට සුලූ හෝ බාධා කිරිමක් මහා ව්‍යවසනයක මුලක් බවට ඉවෙන් මෙන් දැනගෙන දැයි සිතුණි.

ගුරුපාර ඔස්සේ කුඩා කැබිලිත්ත හෙවත් මඩමෙතොට දේවාලය අසලට යතුරු පැදියේ පැමිණි ගුණසිංහ මහතා හනික ඉන් බැස්සේය. කපුරුපෙත්තක් දල්වා පහනක් පත්තුකර කතරගම දෙවියන් සිහිකර ඉදිරියට ඇදුනේය. උපද්‍රවයකින් තොරව පිරිස සිටිනු දුටු ගුණසිංහ මහතාට ඇතිවුයේ නිමකළ නොහැකි සතුටකි. ඒවනවිටත් සිදුවන්නේ කුමක්දැයි නොදැන සිටි අමුත්තෝ ගුණසිංහ මහතා කීි පණිවිඩය අසා තුෂ්නිම්භූත වුහ.
විනාඩි කිහිපයක් ඇතුළත් පිරිස තමන් පැමිණි වාහන පහට නැග ආපසු ඔකද බලා පිටත්වුහ. ආපසු එද්දිද මඩමේතොට දේවාලයට ගොඩවී පහනක් දැල්වූ ගුණසිංහ මහතා කණ්ඩායමට රාත‍්‍රියේ උපද්‍රවයකින් තොරව ඔක`දට යන්නට පිහිට ආරක්‍ෂාව දෙන්නැයි කතරගම දෙවියන්ගෙන් ඉල්ලා සිටියේය.
‘‘මේවනවිට තල්ගස්මංකඩ ප‍්‍රහාරය සිදුවී අවසන් වන්නට බොහෝ සෙයින් ඉඩතිබුණි. එසේ වූවානම් ප‍්‍රහාරයට සම්බන්‍ධ ත‍්‍රස්තයන් පසු බසින්නේ මේ ඉසව්වටය. ඒ නිසා වහාම මේ ප‍්‍රදේශයෙන් ඉවත්විය යුතුය. කුමන කැලෑවේ කොටි ත‍්‍රස්තයන් ගැවසෙන නිසා පසුබසින කොටි ත‍්‍රස්තයන් සොයා ආරක්‍ෂක අංශ ඒවනවිට කුමනට ඇතුළුවන්නේදැයි ඔත්තු බලන්නට කොටි ත‍්‍රස්තයන් මේ යන මග වුවද රැුකවල් ලා සිටිය හැකිය.
දැන් ඒගැන හිතන්නට වෙලාවක් නොවේ ගුණසිංහ මහතාගේ යතුරු පැදිය පෙරටු කරගත් වාහන පහ ගුවන් නියමුවන්ද නංවාගෙන ඔකදට ආවේ අතුරු ආන්තරාවක් නැතිවය. ඒවනවිට රාත‍්‍රී 09.30 පමණව තිබුණි. ඔක`ද කාර්යාලයට නුදුරින් කැලේට වන්නට වාහන නැවැත්වුයේ වැව කපන ඩෝසර රැුකගන්නට එන වනඅලි කිහිපදෙනාටද එහි ආරක්‍ෂාව බාර දෙමිනි.

කතරගම දෙවියන්ගේ පිහිටෙන් පිරිසේ කිසිවෙකුටත් අතුරු ආන්ත‍්‍රාවක් නොවී ඒ බියකරු රාත‍්‍රිය පහන්විය. පසුදා උදෑසනම යුදහමුදා විශේෂ බලකා කණ්ඩායමක් හෙලිකොප්ටර් දෙකකින් ඔකදට පැමිණියේ ඒවනවිට කුමන වනෝද්‍යානයට ගිය එයාර්ලංකා ගුවන් නියමුවන් ගැන විපරම් කරන්නටය. ඔවුන්ගේ ඥාතීන් හිතවතුන් ඒවනවිට ගුවන් නියමුවන් ගැන කිසිදු තොරතුරක් නොලද නිසාත් තල්ගස්මංකඩ ප‍්‍රහාරය සිදුකළ කොටි ත‍්‍රස්තයන් කුමන වනෝද්‍යානයට පසුබැස ඇතිබවට ලද ආරංචි නිසා මහත් බියට පත්ව සිටියේය.
කෙසේ වෙතත් ඔකද සිට පානම දක්වා මාර්ගය නැගෙනහිර පළාතේ එවකට ආරක්‍ෂාවට සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ (එස්.ටී.එෆ්) පරීක්‍ෂාවකින් පසු ෂර්ලි පෙරේරා මහතා ඇතුළු ඔහුගේ හිතවත් ගුවන් නියමුවන් පානම පොතුවිල හරහා ආපසු පිටත්ව ආවේය.

ඒවනවිට කිල්ලංවල වැවේ වැඩ අවසන් කිරිමට තිබුණේ සුලූ කොටසකි. වැව ප‍්‍රතිසංස්කරණය කරනවිට වනඅලියෙක් එහි නිතරම ආ ගියේය. ඉක්මනින් වැව හදාදෙන්නැයි මෙන් ඒ වනඅලියා ඉල්ලන සේයාවක් පෙන්නුම් කළේය. කිසිවෙකුට කරදරයක් නොකළ මේ වනඅලියා වැව ප‍්‍රතිසංස්කරණය කරන්නන්ට වෙස්වලා ගත් ආශ්ර්වාදයක් විය.

තල්ගස්මංකඩ ප‍්‍රහාරයෙන් කලබලවු වනජිවී දෙපාර්තමේන්තුව ඔකද අතහැර එන්නයි නිලධාරින්ට උපදෙස් දුන්නේය. වැව හදන්නට ගෙනා ඩෝසරයත් රැගෙන ආපසු පිටත්විය යුතුවිය. නමුත් එළඹෙන වියළි කාලයේ තම කැලෑසගයන්ට දියපොදක් බොන්නට ඇති එකම ස්වාභාවික උල්පතෙන් ගලන දිය බිදු කිහිපය රැස්කර කිල්ලංවල වැව තනා නොයන්නැයි නිහඩව ආයාචනා කළ වනඅලියාගේ හැගීම් අවබෝධකරගත් වනජිවි නිලධාරීන් කතරගම දෙවියන්ගේ පිහිට ආරක්‍ෂාව පැතුවේ වැවේ වැඩටික අවසන් කරන්නටය.
ලක්‍ෂ දෙකහමාරක පමණවු පෞද්ගලික මුදලක් වැය කර සතුන්ට වතුර බොන්නට හැකිවන පරිදි වැව ප‍්‍රතිසංස්කරණය කළ වනජිවි නිලධාරීන් ඔකදින් මාස තුනකට ඉවත්වූයේ ආරක්‍ෂක අංශවලට එහි ඉදිරිකටයුතු බාර දෙමිනි. ජිවිත පරදුවට තබා තම වර්ගයාගේ පවස නිවන්නට වෙහෙස ගත් මේ මිනිස් පුත‍්‍රයන් තමන්ගෙන් ඈත්වන බව දැනගෙනදෝ මෙතෙක් දිනක් සමීපව සිටි වනඅලියා ඔකද හැරයන තම ආරක්‍ෂකයන් දෙස බලා සිටියේ නිසොල්මන්වය.

මෙතතරම් විශල ව්‍යවසනයක් සිදුවුවද අබඇටයක තරම් උපද්‍රවයක් මේ පිරිසට නොවුණේ කතරගම දෙවියන්ගේ පිහිටාරක්‍ෂාව තමන්ට ලැබුණු නිසායැයි පිරිස විශ්වාස කළහ. ඊට හේතුවක්ද තිබුණි. ගුවන් නියමුවන් රැදීසිටි ‘‘ඇදකුඹුක’’ ආසන්නයේ ගසක අට්ටාලයක් තනා කොටි ත‍්‍රස්තයන් ඔත්තුබලා තිබූ බව පසුව එහි කළ සෝදිසි මෙහෙයුම්වලදි දැක ගන්නට ලැබුණි. යම් හෙයකින් තල්ගස්මංකට ප‍්‍රහාරයෙන් කොටි ත‍්‍රස්තයන් පසුබසින විටත් ගුවන් නියමුවන් ඇදකුඹුකේ සිටියානම් ඔවුනද ප‍්‍රහාරයකට ලක්වන්නට ඉඩතිබුණි.
එහෙත් එසේ නොවුනේ ඔවුන්ට කතරගම දේවියන්ගේ පිහිට ලැබුණු නිසාවෙනි. තල්ගස්මංකඩට ප‍්‍රහාර එල්ලකළ කොටි ත‍්‍රස්තයන්ට පසු කාලයක සිය ජිවිතවලින් වන්දි ගෙවන්නට සිදුවිය.
නිමි.

උපුටා ගන්නා ලද්දකි

 Source: Link

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..



---හමුදා කදවුරට කොටි පහර දෙද්දී ගුවන් නියමුවන් බේරා ගන්නට අඳුරේ ආ අමුත්තා--- ---හමුදා කදවුරට කොටි පහර දෙද්දී ගුවන් නියමුවන් බේරා ගන්නට අඳුරේ ආ අමුත්තා--- Reviewed by InvestCrypto on May 20, 2018 Rating: 5

No comments: