මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

---ශාන්තිකර්මය---



" මල්ලි ගස් නගින්න පුලුවන් නේ....?"
" හෙ හෙ..... "
සෙනවිගේ පැනයට මගේ පිලිතුර වූයේ සිනහවක් පමණි. සැබවින්ම මට අතු නැති ගස් නැගීමට බැරිය. එතනින් පසු නිහඩව ඉදිරියට ගමන් කල ඔහු ගහක් මුල අත ගා යමක් ගොඩ ගත්තේය. දෙයියනේ... ඒ දිගු තුවකකුවකි.

" ඇයි අයියේ ගස් නගින්න පුලුවන් ද ඇහුවෙ.."
මා නැවත පෙර දෙබසට ගියේ තුවක්කුව ගත් පසු ඔහු මගෙන් ගස් නැගීමට හැකිද ඇසුවේ විහිලුවට නොවන බව වැටහුන නිසාය.

" රෑට තනි අලිය කැරකෙන්න පුලුවන් මේ පැත්තෙ "
කියමින් සෙනවි අයියා තුවක්කුව කඩා මල්ලකින් ගත් උණ්ඩයක් බටයට ඇතුල් කර තුවක්කුව කර තබාගෙන දිගටම ගමන් කලේය.

මෙතෙක් නොතිබූ බයක් කොහෙන් මගෙ සිතට ආවද මන්දා. සරසවියේ නිවාඩු කාලයේ කිරීමට දෙයක් නොමැති කල රෑ පැල් රැකීමේ අත්දැකීම පමණකි මට විදින්නට වුවමනා වූයේ. නමතු දැන් නම් එය ඊට වඩා ත්‍රාසජනක වන බව සැකයක් ඇත.

සතර වටින්ම ගොම්මන් කලුවර වැටුනත් සෙවන සදන්නට ගස් නොමැති එලිමහන් බිමක් නිසා තවමත් මග නොපෙනී යන තරමටම අදුරු නැත. ගමන මදකට නතර වූයේ දොල පහරක් ලගයි. හාත්පස අදුරු නොවුනත් දොළ අවට පුදුම ගුප්ත අදුරු බවක් මට දැනුනි මට දැනුනු දේ ඔවුන්ටත් දැනෙන්නට ඇතැයි මට සිතුනේ එක එකා තම අත තිබූ විදුලි පහන් දල්වා ගත් නිසාය.

අදුර වැටී ඇත්තේ දොළ දෙපස සරුවට වැඩී තිබූ කුඹුක් ගස් නිසා බව මට පසක් විය. ගස්වල සෙවණැලි පතුල නොපෙනෙන තරමට ජලය කලු පැහැ ගැන්වූ නිසා එය මූසල ගතියෙන් පිරී ඉතිරී තිබින. සියල්ලෝම වටපිට බලමින් සිටියේ කොයි මොහොතේ හෝ යකෙක් තමාගේ ඇගට පනීවි යැයි බියෙන් මෙන් සෝදිසියෙනි.
" මාරුවෙන් මාරුවට පොඩ්ඩක් ඇගපත සෝද ගමු තෙහෙට්ටුව යන්න එක්ක. වැඩි දුර යන්න එපා නිකන් වතුරට බැහැලා සෝද ගන්න. අතනින් තමයි තනිය වතුරට එන්නෙ "

කියා එකෙක් අත තිබූ පන්දමේ ආලෝකය එහා ඉවුරට නාබිගත කලේය. දෙයියනේ එතන ඉවුර කැඩී පාරක් ලෙස සැකසී ඇත. ඔවුන්ගේ බියට හේතුව මට වැටහිනි තුවක්කුව අතැති සෙනවි පන්දමත් සමග තුවක්කුව මානාගෙන ඉද්දී අපි වතුරට බැස්සෙමු.
සෙවණගල පලාත දහවලට දැඩි උණුසුම් වුවත් රාත්‍රී වන්නට වන්නට සීතල වන බව දැනුනේ වතුරට අඩිය තබන විටය. දොළ පහරේ සීතලට දෙපා හිරි වැටී ගියේ මා මුවින් අම්මෝ යන හඩ නිරායාසයෙන් එලියට පනිමිනි.

දැන් කරන්න්නට දෙයක් නැත ඇග ගිලෙන පරුදි වතුරට එබෙන්නට හැකි වන තෙක් ඉදිරියට ගියේ වෙවුලන දෙපා වලිනි. වෙව්ලන්නට හේතුව සීතලම පමණක් නොවන බව දන්නේ මා පමණකි. කුඩා කල සිටම මා අඩිය නොපෙනෙන වතුර වලට බය තැනැත්තෙකි. මට සිතෙන්නෙ කවුරුන් හෝ මා දෙපා වලින් අල්ලා මාව දිය යටට ඇදගෙන යාවී කියාය..

" කකුලෙ මොනා හරි වැදුනොත් බය වෙන්න එපා. මේකෙ ආදො එහෙම ඉන්නව උන් ඇතිල්ලිලා යනවා..."
මගේ හිත කියෙවුවාක් මෙන් එකෙක් මට කතා කරනු ඇසී මා ඒ දෙස බැලීය. දෙයියනේ මා දෑත් පපුවට ගුලි කරගෙන සෑහෙන වෙලා වතුර දෙස බලාගෙන සිටි බව මට කල්පනා වූයේ මට කතා කල එකා සබන් ගාන්නටත් පටන් ගෙන සිටි නිසාය. වහාම දෙතුන් වරක් වතුරට එබී හැකි ඉක්මනින් ගොඩට ආවේ ආදෙක් ගේ වත් ස්පර්ශයක් මට ඒ මොහොතේ කම්පනයක් විය හැකි නිසාය

මටත් වඩා උස බඩ ඉරිඟු ගස් මැදින් මග දන්න උන් පසුපස දැන් නම් ගමනාන්තයට කිට්ටු බව දැනුනේ වියලී ගිය ගසක් මත තනා තිබූ පැල් කොටය දැකීමෙනි.

" මල්ලිලා මේකෙ ඉන්න. අපි අල්ලපු හේනෙ පැලට යනවා. මේකෙ රෑ කෑම තියනවා... එහෙ මෙහෙ ඇවිදින්න යන්න එපා හරිය. කොහෙ කොහෙ තුවක්කු බැදල තියනවාද දන් නෑ. "
සියල්ල අනුමත කරමින් මා හිස වැනීය.
" මාමේ.... අද බොන්නෙ එහෙම නෑ හරිය.. මේ කොල්ලවත් බලාගෙන ඉන්න ඕනේ. "
මැදි විට පැනපු වැඩිහිටියෙක්ට මා බාර දෙමින් ඔහු කීය.
" මම බිවුවත් නිදා ගන්නවද නෑනෙ... උඹල යමන් ලා. කොලුවො නැගපන් බලන්න උඩහට."
" අනේ මගෙ කට... "

ඔවුන්ගේ උසුලු විසුලු මටත් සිනහවක් ගෙන එන්නට විය. ගසටම අමුණා තිබූ ඉනි පඩි වලට වාරු දෙමින් වෙන් වී යන අනිත් කණ්ඩායම දෙස බලා සිටියෙමි මග යන ගමනුත් විහිලු කරමින් යන අනෙක් සගයින් ගේ විදුලි ලාම්පු එලිය සෑහෙන දුරක් යන තෙක් පෙනී කෙමෙන් අතුරුදන් විය...
ගස උඩ පැලට නැග ගත් විට සෑහෙන පාලුවක් දැනෙන්නට ගත්තේ විශාල මුහුදක පුංචි බෝට්ටුවක තනි වී සිටින හැගීම ගෙන එමිනි. නමුත් මේ අත්දැකීම කෙසෙ වචන වලින් කියන්නදැයි මම නොදනිමි.

" මාමේ.... මම කොච්චර කල් ද පැල් රකින්න අරගෙන.. "
කුමක් හෝ දෙබසක් පටන් ගත යුතු නිසා මම ඇසුවෙමි.
" කොල්ලා කාලේ ඉදලාම මේක තමා කරන්නේ.. පහු ගිය ටිකේ නම් කොටින්ගෙන් හරි කරදර. අර ඈත කැලෑවෙන් එහා කොටි ගම්මාන."
" හම්මෝ .... බය නැද්ද ඉතින්..."
" උන් අපිට නම් මුකුත් කලේ නෑ හිටි ගමන් කෑම නම් අරං යනවා මෙහෙ ගම් වලින්."
" පැල් රකිද්දි වෙච්ච අමතක වෙන් නැති ඒව එහෙම වෙලා නැද්ද මාමේ...."
" හපොයි මොකෝ නැතුව...එදත් අද වගේම පෝය දවසක්... හොදට හද එලිය"
කියමින් ඔහු අත තිබූ පං මල්ලෙන් කඩදාසි වලින් එතූ යමක් එලියට ගෙන අපට දුන් කෑම පාර්සලයෙන් එකක් ද ලෙහා ගත්තේය. කඩදාසියේ ඔත තිබ්බේ අරකකු කාලක් බව හදුනා ගැනීමට මට අපහසු නොවීය.
" චුට්ටක් ගත්තට කමක් නෑ නේද... වස කම්මලී රෑ ඉන්න ගියාම මුකුත් නැතුව."
මූඩිය කඩන කරස් සද්දයත් සමග ඔහු මගෙන් ඇසීය.

" අපෝ කමක් නෑ මාමේ..."
ලද අවසරයෙන් අමුවෙන්ම උගුරක් කටට ගෙන මූණ ඇඹුල් කරමින් බත් මුලේ තිබූ හාල්මැස්සෙක් ගෙන කටේ ඔබා ගත්තේය
" හ්ර්ර්ර්... තුහ්.. ම්ම්ම්ම් ඉස්සර අපේ පැල් කොටයක් තිබුනා අර අපි නාපු දොළ කිට්ටුව.. ඒක බිම තමා අටවලා තිබුනේ.."

ඔහු කතාවට මුල පිරීය. අවදානය යොමු කරන බව පෙන්වීමට මමත් හරි බරි ගැසී වාඩි වුනෙමි.
" ඕකෙ ඉන්නකොට ගිනි මැලයක් ගහ ගන්නවා... සීතලටයි.. සත්තු එනවටයි... දවසක් මම ඕකෙ තනියම පැල් රැක රැක උන්නා... එදත් පොඩ්ඩක් දාලා ඇල වෙලා උන්නේ.. ඔන්න බොලේ පැල කණ්ඩිය ඉස්සරහ පදුරු සෙලවෙන්න ගත්ත."

තවත් උගුරක් ගෙන කාරා කෙල ගසා පහල බැලුවේ ඒ සිදුවීම නැවත සිදු වේදෝ බියෙන් මෙනි. ඔහු අනුගමනය කරමින් මාත් පහල බැලීය. වෙනසක් නැත

" මං හිතුවා කාලකණ්ණි වල් ඌරෙක් කියලා.. ටෝර්ච් එක අරන් ගස් හෙලවෙන පැත්තට මෑනුවා ... හප්පේ... ඒ ඇස් දෙක..... ජිල් බෝල වගේ.. ගස් අස්සෙන් මං දැක්කේ එච්චරයි. මට හිතුනා මූ කුරුමානම් අල්ලන්නෙ මටෙයි කියලා.. බයටම මං ගිනි පෙලෙල්ලක් අතට අරං වරෙන් පුතා කියලා හිතා ගත්තා..."
මාමා බිය හන්ගාගෙන වීර චරිතයක් මවන්නට හැදුවත් ඔහුට ඔහුගේ ඇස් වල බිය හන්ගන්නට බැරි බව මට පෙනුනි.

" තප්පරයක්වත් ගියේ නෑ ඌ පුදුම වේගෙකින් දුවගෙන ආවා.... උගෙ මුලු ඇගෙන්ම වතුර බේරෙනවා... උ ආපු වේගේටම මම කෑ ගහගෙන පස්සට පැනපි. පුදුමෙ කියන්නෙ පුතා අනිත් හැම සතාම ගින්දරට බයයි.. මේ යක්ශයා ආපු ගමන් පැන්නේ ගිනි ගොඩට... ඒකා ඒක උඩ පහුරු ගගා දගලලා ආපහු දොල පැත්තට දිවුවා... මට ඌ වතුරට පනින සද්දෙත් ඇහුනා..."
ඔහු බෝතලේ සම්පූර්ණයෙන් කනපිට හරවා කටේ තබා ගත් නිසා එය අවසන් බව තේරුම් ගන්න අමාරු වූයේ නැත.

" හත් දෙයියනේ ඌ දිය බල්ලෙක් වගේ... ඒත් හත්තලාමෙ මෙහෙ කොහෙද එහෙම උන්. කොහෙද මේ කාලකණ්ණි ඔක්කම හිතන් ඉන්නේ මං බීල දැකපුව කියලානේ... දවස් 7ක් සහලවල උණ... අනෙ අම්මෝ මතක් වෙද්දිත් හිරි ගඩු පුප්පනවා..."
කරවට තිබූ ලේන්සුවෙන් මුහුණ පිස දා ගෙන. බෝතලයක තිබූ වතුර වලින් අත් සෝදා ගුලිකර තැබු පං මල්ලට හිස තබාගෙන ඇල වුනේ.
" කොලුවො මම නිදි නෑ ... ඇල වෙලා ඉන්නේ මොකක් හරි ඇහුනොත් කතාකරපන්.."
කියමිනි.

මොහුගේ හැසිරීම අනුව මූ කී කතාව ඇත්තද බොරුද සිතා ගැනීමට මට නොහැකිවිය. නමුත් ආතක් පාතක් නොපෙනෙන මේ පාලු බිමේ මොන ජාතියේ උන් ඉන්නට නොහැකිද කියා සිතමින් ඉමක් නොපෙනන අහස දෙස බලමින් කල්පනා කලෙමි.
" දෙයියනේ..."
මට කියවුනේ අහසේ තනිවූ සද දැකීමෙනි. වෙනදාට වඩා විශාලව තිබු එය වෙනදා මෙන් නොව රත් පැහැයෙන් බැබලෙන්නට විය

" මාමෙ....."
හ්ම්ම් මූ නම් වස කම්මැලියෙකි. ඒ ටිකට මූ මර නින්දේය. දැනුනේ පුදුම පාලුවකි. සීතල සුලගත් රැහැයියන්ගේ හඩත් සුලගට වැනෙන ඉරිගු කොල වල හඩත් පරිසරයේ නිහඩ බව සමග තරග කලේය.
පැලේ කණුවකට වාරු වෙමින් ලබන අත්දැකීම ගැන සැකෙවින් වින්දේ මේ හුදකාලාවේ තනිවම කරන්නට අන් දෙයක් නැති නිසාය. ඈතින් එන හුලගත් සමග කනට හුරු හඩක් ගෙන ආව නිසා දෑස් වසා හොඩින් සවන් යොමු කලේ මේ හඩ අදුනා ගැනීමටය... ම්ම්ම් කිසිවක් නැත නිහඩ බව පමණකි.. නැවත දෑස් විවර කලෙමි .. ඒ හඩ පෙරට වඩා වැඩිවී ඇසිනි. මට වැරදී නැත ඒ බෙර හඩකි... යක් බෙර හඩකි...
කොහේ හරි තොවිලයක් ද කොහෙද කියා ගනිමින් ඇස් වසා එයට සවන් දී සිටියෙමි. රැහැයි හඩත් පදුරු පත්‍ර වල සට පට හඩත් සමග එක් වූ යක් බෙර හඩ මුලු පරිසරය ම මූසල කලේ මළවුන් නැවත කැදවා මේ ලෝකය උන්ට බාර දෙන්නට මෙනි

බෑගයට අත දැමුවේ කම්මැලිකම නැති කර ගන්න සිතා දුරකතනය අතට ගැනීමටය. ක්‍රියා විරහිත කර තිබූ එය ක්‍රියාත්මක වන්නට ගත්වූ කාලය කල්පයක් මෙන් දිගු වූ බව මට හැගුනේ පාලුවේ දැඩි කමට වන්නට ඇත.
හ්ම්ම් වැඩක් නැත.. මමත් මෝඩයෙකි මේ හද්දා පිටිසර වන්නියේ සංඥා කොයින්ද.. කියා ගනිමින් නැවත එය බෑගයට දැමීමට උත්සහා කලෙමි.
" ඔහ් ශිට්....." අතින් ගිලිහුණු ජංගමය පැලේ ලෑලි අතර හිඩසකින් රිංගා බිමටම පතිත වුනේ පටස් යන හඩ නංවමිනි.
" අයියෝ මොන මගුලක්ද මංදා... "

කරන්නට දෙයක් නැත එය ගන්මට බිමට බහින්නටම සිදු වේ.. මුනිං අතට නමා තිබූ මාමාගේ ටෝර්ච් 1ත් අතට ගෙන බිමට බැසීමට තීරණය කලෙමි.
පන්දමත් දල්වාගෙන පඩියෙන් පඩිය පය තැබන අතරම හතර වටේටම එලිය අල්ලා බැලුවේ කෑලි කැපිය හැකි තරම් අදුරක් මා වෙලාගෙන සිටින බව දැනුනි නිසාය. මා කරන්නට යන්නේ එතරම් වීර ක්‍රියාවක් නොවන බව දැනුනත් හනික ගසෙන් බැස දුර කථනය වැටුනු තැනට දිවුවෙමි. නමුත් එය ගන්නට නැවී නැවත කෙලින් වන්නටවත් මට කාලයක් නොවීය.. මා පිටුපස තිබූ පදුරු සෙලවෙන්නට වුයේ සුලගට නොවන බව නම් ඒකාන්තයෙන්ම මට විස්වාසය ....
වහාම පන්දම ඒ අතට යොමු කරද්දී දක්නට ලැබුනේ පදුරු පේලිය මැදින් මොකෙක් හෝ මා දෙසට දුවගෙන එන බවය...

" දෙයියනේ අර සතාද දන් නෑ.. " සිතා දුවගොස් ඉනිමගේ එල්ලුනත් මා දුන් වාරුව එයට දරා ගැනීමට නොහැකිව කරාස් හඩ නංවමින් මා බිම පතිත විය..
" මාමේ.... මාමේ...."
ශික් ඵලක් නැත ඌ මර නින්දේ.. ගස මුල වකුටු වී පන්දම මානා ගෙන හීටියෙමි නමුත් එක් වරම සිහියට ආවේ මූ එලිය දෙසට දුවගෙන එන සතෙක් බව මාමා කියූ කතාවයි. වහාම පන්දම නිවාදමා අදුරේ ගිලුනෙමි..
මගේ හද ගැස්ම නවතාලමින් දුර සිට වේගයෙන් පැමිනි මොකෙක් හෝ සර බර හඩින් පදුරු අතරින් මා සිටි තැනට පැන දඩස් ගා බිම පතිත වනු මට ඇසිනි..
පරිසරය රැහැයියන්ට බාර දී සියල්ල නිහඩ විය. මා නැවත පන්දම දැල්වීය පදුරු පොඩි වී තැලී තිබිනි . හ්හ්හ්හ්හ්හ්හ් පදුරු මායිමේ සිට ගලා ආ ලේ පහරකි. මා ලේ පහර දිගේම පන්දම ගෙන ආවෙමි..
" අහ්හ්හ්හ්හ්....... "

මට කෑ ගැසිනි. එහි වූයේ හොදින් වැඩුනු වල් ඌරෙකි... දෙයියනේ උගේ හොම්බ ඇස් අසලට වෙනකන්ම කැඩී ගොස් ලේ ගලමින් ඇත... ඔහ් ශිට් මං බය වුනු තරමක්... මේ හක්ක පටස් කාපු වල් ඌරෙක්. මටම කියා ගත්තෙමි..
ගැගෙන පපුව අතින් තද කර නැවත පැලට නැගීමට ඒ දෙසට හැරුණා පමණි
" අම්මෝ....."
මා පස්සට විසි විය..
" හම්මෝ සෙනවි අයියා ... මං බය වුන තරමක්... "
ඔහු මා අසලට එන තෙක්ම දැනුනේ නැත..
ඒ වන විටත් එක එල්ලෙම මා උගේ මූණ ට පන්දම අල්ලා සිටියෙන්. නිකරුනේ භයංකාර මුහුණ ක් මැවීය.
" දොළ අයිනේ ශාන්තිකර්මයක්... යමු බලන්න..."
කියා හැරී ඔහු මට ඉස්සර විය .

හා හෝ බෑ කීමට වත් මට ඉඩ ලැබුනේ නැත. අවසන් වරටත් මා උඩ පැල දෙස බලා ඔහු පසු පස ගමන් කලෙමි. ඉරිඟු ගස් පීරමින් ඔහු පසු පස ගමන් කලේ මූණ ට වැදෙන පත්‍ර අපහසුවෙන් ඈත් කරමිනි. ඒවා ඉවත් කිරීමට දෑත් වනන විට පන්දම් එලිය ඒ මේ අත ගොස් විකාර රූප මැවුවේ මා හද සලිත කරමිනි.
ඒවායින් මගේ ගමන අඩාල වු නිසා සෙනවි මගෙන් සෑහෙන ඈතට ගොස් ඇත රත් පැහැ සද එලියෙන් පදුරු අතරින් උගේ චායාව පමණක් පෙණුන නිසා මා ඒ දෙසට දිවුවෙමි... දුවන අතරම පිටු පස බැලුවා නොවේ ඉබේටම බැලිනි. ඉදිරියට ඇදෙන්නට ඇදෙන්නට බෙර හඩ තව තවත් තීව්‍ර ලෙස ඇසෙන්නට විය.
" අයියො.. ශික්... අයියේ ... චුට්ටක් ඉන්ඩෝ....."

යමක පැටලී මගේ බාටා සෙරප්පුවේ පටිය ගැලවී තව ඇසිලෙන් මා බිම පතිත වනු ඇත.වහාම නැවී පන්දමත් උරහිසට හා බෙල්ලට තද කර ගෙන සෙරප්පුව නැවත අපහසුවෙන් සකසා ගතිමි. නමුත් මා නැවත නැගිට්ටේ බියත් දුකහ් මුසු වූ තරහකිනි. මන්ද ඌ මා දමා ගොස් ඇත.
වෙඩි කෑ ඌරෙකු මෙන් මා කලබල විය. කොහෙට යන්නදෝ මට සිතා ගැනීමට නොහැකි විය. ආපස්සට යන්නට බැරි තරම් දුර අප ආවෙමු . ඇරත් මේ රෑ මා කෙසේ හොයන්නද. කල හැකි එකම දේ බෙර හඩ ඇසෙන දෙසට ගමන් කිරිම පමණකි

ගස් පීරමින් හැකි වේගයෙන් ඒ දෙසට ඇදුනේ මිනිස් පුලුටක් දක්නට හැකි එකම තැන එය නිසාය. ගස් වලට අමතරව වෙනසකට කියා දකින්නට හැකි වූයේ රතු පැහැ හද පමණකි. බෙරයේ ලය වේගවත් වෙද්දී එහි මූසල බව පරිසරය පුරාම විහිදුවා හැරීය. හිටි ගමන් මහා විලාප හඩින් නරියන් උඩු බුරන්නට වූයේ බෙර හඩින් කෝප වූ යක්ශකින් මෙනි.
මගේ වේගය තවත් වැඩි විය.. නමුත් ඒ දෙසට දිවුවේ මා පමණක් ම ද කියා මට සැක හිතුනේ කිසිම සුලගක් නැතිව ගස් පදුරු ඒ මේ අත සෙලවුනේ මොක්කු හෝ ඒ අතට දුව යන බව අගවමිනි. බෙර හඩ පුදුමාකාර ආවේගයකින් වාදනය විය, මගේ හද ගැස්මත් ඊට අනුරූපව වේගවත් වුනේ එයින් ගෙන ආ භයානක හඩටය , දෙසවන් ලග ඇසෙන නරින්ගේ උඩු බිරුම් හඩින් කන් පැලෙන්නට මෙන් විය.. අත් දෙකෙන් කන් වසාගෙන " එපා......." යැයි මහ හඩින් මා කෑගසත්ම පදුරු අවසන් වී එලිමහනකට ප්‍රවිශ්ඨ විය.
" හ්හ්හ් හ.... හ්හ්හ් හ..."

මගේ හුස්ම මට ඇසෙන පරිදි සියල නිහඩ ය. කුමක් වූවාද මට සිතා ගැනීමට නොහැකි විය.. බලාපොරොත්තු වූයේ මිනිසුන් පිරුනු ශාන්තිකර්මය කි. නමුත් මෙහි තිබුනේ කුමක්ද මට අදටත් පැහැදිලි නැත.
කණු 4ක් සිටුවා එහි හුළු අතු දල්වා ඇත ඒ කොටුව මැද පස් කන්ඩියක් මත කාන්තාවක් වැතිර සිටියාය. ඇගේ හිස පැත්තේ තවත් සුදු සාරි හැදගත් 3 දෙනෙක් එරමිණියා ගොතා මට පිටුපා වාඩි වී සිටියහ. ඔවුහු යාතිකාවක් කරන්නාක් මෙන් තාලයට ඉදිරියට පසු පසට පැද්දෙන්නට විය
" දෙයියනේ මේ මොකක්ද ?....."

මම වටපිට බැලුවේ මේ දෙසට ආ සෙනවි පෙනෙන්නට සිටී ද යන්නයි. නමුත් කිසිවෙක් නැත. විකල්පයක් නොමැති නිසා මා බලා සිටියෙමි. කොතරම් බලා සිටියත් මුන් සෙලවෙන පාටක් නැත... ඩග් ඩහ් ඩහ්.... මගේ හද ගැස්ම වේගවත් වී සීතල පරදා දාඩිය් දමන්නට වූයේ සිදුවන කිසිම දෙයක් සාමාන්‍ය නොවන බව වැටහුනු නිසාය.
" හෞ........."

ඈතින් මහා... මූසල නරියෙකුගේ දිගු උඩු බිරුමක් ඇසිනි... එය කෙතරම් දිගුද කියතොත් බියටම නතර වූ හුස්ම නිසා මට ක්ලාන්ත වීමට ආසන්න විය. උගේ බිරුම නතර වී තප්පරයක් යන්නට පෙර තවත් එකෙක් ඌට නොදෙවනි ලෙස බිරීය . ඈත මුහුදේ සිට රැල්ලක් වෙරල ට ඇදෙන්නාක් මෙන් එකෙක් පරයා එකෙක් උඩු බිරුම් වලින් මුලු කැලෑවම දෙවනත් කරමින් ඒ හඩ මා දෙසට ඇදෙන්නට විය.
දෙසවන් වසා හඩමින් එතැනම දණ ගසා ගත්තේ කිරීමට කිසිවක් නැති තැනය. ඒ හඩ මා වටකරගෙන එක් වරම නිහඩ විය.. නමුත් ඒ වැඩි වේලාවකට නම් නොවේ...
" නෑ නෑ නෑ.... වෙන්න බෑ..... " මම කෑ ගැසීමි.
මේ දකින දේ කොහෙත් ම විය නොහැකිය

වාඩි වී සිටි ගැහැණු තුන් දෙනා හිස පමණක් ඔසවා සද දෙස බලා මහා හඩින් උඩු බුරන්නට විය... සැබවින්ම එය විලාපයකි මහා විලාපයකි... දෙයියනේ .... මට කිසිවක් සිතා ගැනීමට නොහැකිය.. මේ මනුෂ්‍යයින් ද... උන් උඩු බුරන්නේ ඇයි..එක් වරම උන් බිම අතුරා තිබූ දේහය වෙතට නැමුනි එහි සිදුවන දේ නොපෙනුනත් පස් කණ්ඩිය දිගේ ගලා ගිය ලේ පහරින් මට වන්නේ කුමක් දැයි සිතා ගැනීමට හැකි විය...
අන් කල හැකි කිසිවක් නැත.... ආපසු හැරී දිවීමට සැරසුනා පමණි.. සෙරප්පු පටිය ගැලවී මා එතැනම් බිම පතිත විය... විසිවී ගොස් යමක තදින් හිස වදිනවා පමණක් මතකය. බොදවූ දෑසින් මා ව්ටපිට බැලීමි. ගස් අතරින් මතුවූ සුදුමැලි වූ ඇවිදින මළ කදන් වගේ උන් අර දේහය දෙසට ඇදී ගියෝය.
" හ්හ්හ්හ්හ්හ්හ්හ්......."

කෑ ගැසෙන්නට ගියත් මා දෑතින් කට වසා ගත්තෙමි.. මා හිස අසලින්ම පා තබා කවුරුන් හෝ සිටගෙන සිටී...
" ඔහ්... දෙවියනේ සෙනවි...."
මට සිතුනි. වට පිට නොබැලූ ඌත් කැලයෙන් මතුවූ අනික් උන් මෙන් ගාටමින් දේහයට ඇදී ගියේ නූලකින් නටවන රූකඩයක් මෙනි...
නැවතත් අපසුවෙන් නැගිට ගත් මා දෑතින් හිස බදාගෙන මා ඒ මේ අත වැනි වැනි දිවුවෙමි. මා යන අත මා දන්නේත් නැත... කොතරම් දුරක් ගියාද මා දන්නේත් නැත... අවසන් වරට මතක තිබුනෙ ගසක් මුල ඇද වැටෙනවා පමණි....

" චටස්.... චටස්...."
කම්මුල් හරහා වැදුනු අතුල් පහර වලින් මා දෑස් හැරියෙමි.. හිරු එළිය නිසා මට දෑස් හැරිමට නොහැකි විය..
" කොලුවො. කොල්ලෝ...."
එ මාමාගෙ කට හඩය . අමාරුවෙන් හිස ඔසවමින් මා වාඩි විය. ඒ වනවිටත් මා සිටියේ ගමන් ගන්නා ටැක්ටරයක ය... මාමා හැර තවත් පිරිසක් එහි විය. උන් මා දෙස බලා සිටියේ මරණයෙන් පිබිදුණු එකෙකු ලෙසය...
" සෙනවි...."
මා ඇසුවෙමි.

" සෙනවියට ඊයෙ තුවක්කුවක් පත්තු වෙලා... වැඩක් නෑ ලේ ගිහින් ම මැරිල කැලෙන් එලියට එන්නත් කලින්.... ඌව ඇන්න යන ගමන් උන් පැලට ගොඩ වුනාම තමා දන්නේ පුතා නෑ කියලා ... හම්මේ මං බය වුන තරමක්...."
මම ඔහුගේ මූණ දෙස බලා සිටියෙමි. සැබවින්ම ඔහුගේ බිය තවමත් ඉවත් වී නැත... ටැක්ටරයක නතර කල නිසා මා වටපිට බැලීය . පාර අයිනේ සිටියේ කාකි ඇදුමින් සැරසුණු නිලධාරීන් කිහිපදෙනිකි.
ඔවුන් ඔසවාගෙන යන මැස්සක් මත සුදු රෙද්දකින් ඔතා තැබූ මිනියක් වටා රැස්ව සිටියහ. මා ඒ දෙසට අත දිගු කලේ ඒ සෙනවිදැයි දැන ගැනීමටය .

" ඊයේ පුතාව හොයද්දි හම්බුනේ... ගෑණු කෙනෙක් අදුන ගන්න බෑ සත්තු කාලා... අප්පෝ ඒක... මතක් වෙද්දිත් ඕක්කරේ එනව... ඇම්බියුලොන්ස් එක එනකං ඔය ඇත්තේ.."
ඔහු කර තිබූ ලේන්සුවෙන් මුහුණ වසා ගනිමින් කීය.
" සත්තු කාලා..... " මට කියවිනි. මේ අර කෙල්ලවත් ද... එතකොට මං ඊයේ රෑ දැකපු දේවල් ඇත්තද.. මාව එක්කන් ගියෙ සෙනවි නෙමෙයිද... දෙයියනේ ... මා පිස්සෙකු වනු නොඅනුමානය..

නිමි.

17 වන නිර්මාණය .
මම ප්‍රගීත් ලීටස්

Source: Link

මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.


අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..

---ශාන්තිකර්මය--- ---ශාන්තිකර්මය--- Reviewed by InvestCrypto on May 25, 2018 Rating: 5

No comments: