මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

---ඔංචිල්ලාව (සත්‍ය සිදුවීමක් ඇසුරෙන්)---


" අම්මෝ උඹ කොහොමද බන් මේ වැස්සෙ ආවෙ.."
" මොනා කරන්නද බන් අපිට ඉතින් වැස්සෙ ගුලි වෙලා නිදා ගත්තොත් පුක පැලෙන්න කන්න තමා වෙන්නෙ.. ඉඳා duty ඕෆ් sign කරල office එකට දීගෙන යමන්. "
" හ්ම් හ්ම් අපි ගියා... ගුඩ් නයිට් වේවා.. නෑනෙ ගුඩ් මෝනිම් වේවා..."

කෑලි කැපිය හැකි ඝණ අඳුරට කොහෙදෝ සිට ඇදහැලුණු ධාරානිපාත වරුසාව එක් කලේ කාලකණ්නි මූසල බවක්. උපන් ගෙයිම සීතල දියතලාවට පාන්දර 2ට පමණ ඇදහැලෙන වැස්සේ තෙමෙනවාට වඩා නිරුවතින් අධි ශීතකරණයක් තුල වැතිරී සිටීම සුවදායකය.
ගොම කොළ පාට වැහි කබාය පොරවා ගත් මා ජංගම දුරකතනය වැස්සෙන් ආරක්ෂා කරගනු වස් සිලි උරයක දමා වැහි කබා සාක්කුවක ආරක්ෂිතව බහා ගතිමි. ප්‍රති ආරෝපිත විදුලි පන්දම දල්වාගෙන පලමු අඩිය මුර කුටියෙන් පිටතට තැබුවේ යායුතු ගමන යා යුතුම නිසාවෙනි.

හිතේ ධෛරියට යාර 200ක් පමණ එක පිම්මේ දුව ආවත් යක්ෂයන් විසින් දමා ගසන බොරලු කැට මෙන් වැහි බිදු ඝණ සහ වේගවත්‍ ය, හෝ... හඩ මිස අන් කිසිදු හඩක් ඇසෙන්නේ නැත, මුහුණ පසාරු කරන ජල ප්‍රහාරයෙන් බේරීම සදහා වම් අතින් ආවරණයක් සදා ගත්තත් විදුලි පන්දමේ ආලෝකය වැස්සට පරාද වීම නිසා අසල වූ විශාල මැයි ගසේ පිහිට පැතීමට තීරණය කලෙමි.

කාර්‍යාලය වෙත තව හැතැප්ම බාගයක වගේ දුරක් ඇත. ළමා ක්‍රීඩා සංකීර්ණය අසල වූ මැයි ගස මට තරමක් සහය වූ නිසා වැස්ස බාල වන තුරු මෙහි රැදීම සුදුසු ය. විදුලි පන්දමද නිවාදමා වැස්ස දෙස බලාසිටිනු හැර කරන්නට දෙයක් මට නොතිබින . වැසි වතුරෙදි මග හැරුණු ඇටකටු පසාරු කරන සීතල නිසා කටකට ගා එකට වැදුනු දත් කුට්ටම කැඩී විසිවේදෝ යන බියට වැහි කබායෙ කොලරය දත් අතර රුවා ගතිමි.

" දෙයියෝ සාක්කි...."
මට කියවුනේ ඒ වන තුරු ඈත තැනින් තැන දැල්වෙමින් තිබූ සියලු විදුලි පහන් නිවී යන්නට වූ නිසාය. හිගන්නගෙ පාත්තරයට හෙනහුරා කඩාපැනීම මෙය යැයි මට සිතිනි. වැස්ස අඩු වන පාටක් නැත නමුත් වැස්සේ යාමටද සිතක් නැත. ඒත් රාජකාරි වේලාව අවසන්වී නින්දට නියම කර ඇති කාලය වැස්සක් නිසා ගෙවා දැමීම මෝඩ වැඩකි. නැවත වැස්සට අඩිය තැබීමට පෙර පන්දම දැල්වීමි

" මොනවා...."
ක්‍රියාත්මක වූ පන්දම අහම්බෙන් මෙන් විහිදී ගියේ ළමා උයන දෙසටය. දුටු දෙයි ඇස් අදහාගත නොහැකි වූවා සේම බියක්ද කම්පනයක් ද ඇති විය.
ක්‍රීඩාපිටිය කොනක තනා තිබූ ඔංචිල්ලා 4න් එකක මට පිටුපා කවුරුන් හෝ හිදගෙන සිටී, ඇස් පුංචි කර බලද්දී ඒ ගැහැණු රුවක් බව පසක් විය.
" දෙයියනේ මේ වැස්සෙ කෙල්ලෙක්.... "

මම කල්පනා කලෙමි. අවතාර ගැන මහා විස්වාසයක් නොමැති වුවත් මේ දසුනෙන් බිය වූවා නොකීවොත් එය බොරුවක් වනු ඇත. නමුත් මෙහි අගක් මුලක් සොයා ගත යුතුය. පන්දම් එලිය ඒ දෙසටම මානාගෙන මා ක්‍රීඩා පිටිය වෙතට ඇදුනෙමි. වැස්සේ හඩ පරදා හද ගැස්ම පිට වන්න වලි කද්දී පියවරෙන් පියවර මා ලං වීමි. අපහැදිලි ව තිබූ රූප කෙමෙන් කෙමෙන් පැහැදිලි වෙද්දී බයත් තිගැස්මත් දෙගුන් තෙගුන විය.

ඈ සම්පූර්ණ නැහැවී රාත්‍රි ඇදුම මෙන්ම පිට දිගේ වැටී ඇති කෙස්වැටිය පෙගී ඇගටම සිරුරටම ඇලී ඇත. තවමත් ඇයගේ මුහුණ නොපෙනුනත් ඇගේ හිස සෙලවෙන රටාව අනුව කවුරුන් සමග හෝ සංවාදයක යෙදෙන බව ඇඟවීය.
" හ්හ්හ් ......"
ඔංචිල්ලා 4න් 2ක් පමණක් පැද්දෙමින් තිබිණ එකක් නාදුනන ස්ත්‍රී ය සිටින එකය අනෙක එයටම යාබදව තිබූ හිස් ඔංචිල්ලාව ය, නමුත් එහි කිසිවෙක් නැත ඇය කතා කරමින් සිටින්නේ පැද්දෙන ඔංචිල්ලාව දෙස බලාගෙනය. කුමක්ද මේ වෙන්නෙ සිතා ගත නොහැකිය. හිස් ඔංචිල්ලාව පැද්දෙන්නේ සුළගට නම් හිස්ව තිබෙන අනෙක් ඔංචිල්ලා 2ත් චලනය විය යුතු නොවේද. ?

" කවුද ඔය..... ළමයා.... මොකද මෙතන කරන්නෙ..."
වැහි ඝෝෂාවට වඩා උස් හඩින් මා කෑ ගැසීමි. නමුත් ප්‍රතිචාරයක් නැත. කීප වතාවක්ම එය අසමින් දශමයෙන් දශමය ලං වුනෙමි.
" මේ වැස්සෙ මොකද ක...."

වැකිය සම්පූර්ණ කිරීමට නොහැකි විය. මගෙ වචන වලට ප්‍රතිචාර දැක්වූ ඈ පොලොවට පා තබා ඔංචිලි පැදීම නතර කලාය. ඒ ක්ෂණිකවම ක්‍රියාත්මක වූ ඈ ඔංචිල්ලා ලෑල්ල මත සිට ගත්තේ වැඳිරියක් මෙනි. මහ හඩින් අපහැදිලි මොන මොනවදෝ කියවමින් ඈ ඔංචිල්ලාව මත සිටගෙන සිටියත් පිටුපා සිටි ඇයගේ මුහුණ තවමත් මට වසන් වී ඇත...
බිය දෙගොඩතලා ගියත් යුද්ධ කාලයේ වන්නියේ මරණ බියත් සමග සටන් කල හැටි සිහි කරගෙන අංශක 180ක් ඇය වටා ගොස් ඇගේ මුහුණට විදුලි පන්දම එල්ල කලෙමි.
" ආ..... අම්මෝ....."

හෙණයක් ගැසුවාටත් වඩා වේගවත්ව කුමක් සිදු වූවාදැයි මට සිතා ගත නොහැකි විය. වේගයෙන් විහිදුනු ඇගෙ දකුණු පාදය මගෙ නාස් පොල්ල හරහා ගියේ ඉහ මොළ ගැලවී යන තරම් ආවේගයකිනි.දැක ගත හැකි වූයේ වැසි දිය බේරුණු කොණ්ඩ ගස් වලින් මුහුණ වැසී ඇති බව පමණකි.
පන්දම විසි කර දෑතින්ම මුහුණ බදා ගත්තේ වේදනාව ඉවසාගත නොහැකි තැනය. වේදනාවටත් වඩා වක්කඩ කැඩුවාක් මෙන් ඇස් වලට ඉණූ කඳුලු වදයක් විය. වැහි වතුරත් කඳුලුත් අඳුරත් සෑහෙන වේලාවකට මා අන්ධයකු කරවූ බව නිසැකය.

සැලකිය යුතු කාලයකට පසු වටපිට බැලුවත් නාදුනන කෙල්ලගේ චායාවක් වත් නොවීය, හිත තවත් නොසන්සුන්‍ ය, දැන් ධාරානිපාත වර්ෂාවත් සුලු දෙයකි,
" දෙයියනේ ඒ හොල්මනක් ද ?...."
මා මගෙන් ම ප්‍රශ්න කලෙමි . එසේ නොවේ නම් මේ වෙලාවේ අතුරුදන් වූ ඈ කෙසේ සොයන්නද, වගකිවයුතු නිලධාරියෙක් සැටියට මෙය සුලුවෙන් තැකීමටද නොහැකිය. වෙන විකල්පයක් නැත් තැන වැස්සේම කාන්තා නේවාසිකාගාරය වෙත දිව ගියේ කෙල්ල ගැන හෝඩුවාවක් ගත හැකි එකම ස්තානය එය නිසාවෙනි.

" ඉන්දික මොකද මේ වෙලාවෙ..."
කඩිමුඩියේ කාන්තා නේවාසිකාගාරය වෙත කඩා වැදුනු මා දෙස පාලිකාව හෙලුවේ ප්‍රශ්නාර්ථයක් සහිත බැල්මකි.
" අක්කෙ ඉක්මනට බලන්න ළමයෙක් අඩුද කියල...."
" මොකක් .. එ මොකටද ? "
" විස්තර කරන්න වෙලාවක් නෑ ... දෙයියන්ගෙ නාමට බලල ඉන්නකො..."

මගේ බැරෑරුම් මුහුණ නිසා ඈ කිසිවක් නොපවසාම නේවාසිකාගාරය තුලට රිංගා ගත්තාය, විදුලි පහන් දැල්වේ යැයි බලාපොරොත්තු වුවත් එසේ නොවූයේ විදුලි ඇණහිටීම නිසා වන්නට ඇත, විනාඩියකට පමණ පසුව ඇතුලතින් සෙමින් නැගුණ කසුකුසුව ඝෝශාවක් වන අයුරු මා පිටත සිට අසා සිටියෙමි.
" මහවැලියෙ ළමය නෑ.... මහවැලියෙ ළමය නෑ... " කියමින් එකිනෙකා පරයා කෑ ගසන හඩ මහා කලබලයක් ඇති කිරීමට සමත් විය.

" දෙයියනේ මල්ලි ළමයෙක් නෑ තමා... මල්ලි දැක්කද..."
" ඔව් අක්කෙ, මේ මහ වැස්සෙ ground එකේ හිටිය, මම අහන්න කියල ලගට ගියාම මට ගහල කොහෙ අතුරුදහන් වුනාද දන් නෑ..."

මගේ කතාව අසන අතරතුර ඈ ඉහල තැන් වලට අමතන්නට උත්සහ කලාය
" සර්... සර්... අනේ සර් බිලට් එකේ ළමයෙක් නෑ..."
ඇගේ මුහුණ මැලවී යනු මා දුටුවෙමි.
" හා.. හා.. හරි සර් .. ඔව් සර් හා සර්..."

අනෙක් කොනෙන් ලැබුණු අණෙන් ක්‍රියාත්මක වූ ඈ මා හා තව පිරිසක් කැටුව පිරික්සුම් මෙහෙයුමක් දියත් කරන්නට පිටත් වන අතර කාර්‍යාලයෙන් ද එවා තිබූ තව කීප දෙනෙක් මගදී අපට හමු විය.
" මහවැලියෙ කෙල්ල "ලෙස හැදින්වූ ඇය නමින් "චන්දිමා" විය
" චන්දිමා....." චන්දිමා..."

පන්දම් ආලෝකය ඒ මේ අත යවමින් වැස්ස පරයා හැමෝම එක් හඩින් කෑ ගැසුවත් ඊට පිලිතුරක් චන්දිමාගෙන් නොලැබිනි. භූමිය පුරා කණ්ඩායම් ඒ මේ අත විහිදෙද්දී මා කැටුව ආ පිරිස සිද්දිය මුහුණදුන් සීමාවට එක්ව ගොස් සිදුවූ දෑ පැහැදිලි කලෙමි.

අවස්තාවට සහය වන්නට වැස්ස තරමක් මලානික වුවත් රාත්‍රි අදුර නම් කිසි වෙනසක් නොවීය, පාන්දර ආසන්න වත්ම හමා එන ඇටකටු පොඩි කරවන සීතල නොතකා සියලු දෙනා තම නැතිවූ සොයුරිය සෙවීමට කැප වීම නම් සතුටට කරුණක් විය.
" ටිටි ටිං ටිං .. ටිටි ටිං ටිං.."
නොකියා වර්ගයේ දුරකතනය ක නාදයෙන් සියල්ලන්ගේ අවදානය බිදී යද්දී පාලිකාව වෙව්ලන දෑතින් එය අතට ගත්තේ බියටද සීතලටද නිශ්චිත නොවීය"

" හෙ හෙලො...."
" අනේ අනේ මැඩම් ඉක්මනට එන්නකො.. අනේ බයයි .. අර කෙල්ල ඇවිත් එයා හරි අමුතුයි. අනෙ එන්න මැඩම් අනේ..."
අනෙක් කොනේ හඩ කොතරම් තියුණුද කියතොත් අවට සියල්ලන්ටම සංවාදය ඕනවටත් වඩා පැහැදිලිව ඇසීය.
" ළමය ඇවිල්ලලු ...."
වේගයෙන් ඒ දෙසට දුවමින් ඈ කීවාය. දිවිල්ලට තරමක් අඩු වේගයෙන් එක පොදියට සියල්ලන් නේවාසිකාගාරය වෙත ඇදෙන විටත් සෙසු නිලයන්ට අමතරව ඉහල නිලධාරීන් කීප දෙනෙක් ද එහි රැස්ව සිටියෝය.

" කෝ දැන්..."
පොදි කමින් සිටි ළමෝ අත දිගහැර පෙන්වමින් අපට ඉඩ සාදා දීමට දෙපසට වූහ. දෙපසට අසුරා ඇති ඇඳ පේලි කීපයක් පසු කර යද්දී එක් ඇදක් මත වැතිර සිටි තෙත් බරි වූ තරුණිය එක්වරම මට හඳුනා ගත හැකි විය.
වකුටු වී වතුරෙන් ගොඩ දැමූ මාලුවෙක් මෙන් ගැසෙමින් සිටි ඈ දැක බිය නොවුයේ නම් පුදුමයකි. ඇගේ මුවින් පිටවන තේරුම් ගත නොහැකි අමුතු හඩ ඒ බිය සිය දහස් ගුණයකින් වැඩි කලාය. එය පිරිමි හඩක්දෝ සැක හිතෙන තරමට ගොරහැඩි වීම ගුප්තය.

" මේ කෙල්ලට මොන යකෙක් වැහිලද.... ළමයො... ළමයෝ... නැගිටින්න..."
පාලිකා තැන ඇගේ දෙවුරෙන් අල්ලා සෙලවූවත් පලක් නොවීය,
" කෝ ටිකක් ඉඩ දෙන්න බලන්න..."
සියල්ලෝම මීයට පිම්බාක් මෙන් නිහඩ වූයෙ නිලයටත් වඩා ගුණ ධර්ම වලින් ඉහල සමරසිංහ මහතාගේ ආගමනයත් සමගය.
" ළමයි මට වතුර වීදුරුවක් දෙන්න..."
ඔහුගේ ඉල්ලීම සැනින් ක්‍රියාත්මක වූයේ ඒ වන විටත් කීප දෙනෙක් ම වතුර ගසා ඇයව ප්‍රකෘති තත්වයට ගැනිමට සිතා වතුර වීදුර අත තබා සිටි නිසාවෙනි.

බුදු ගුණත් තව මන්තර කීපයකුත් තෙපලූ ඔහු ආතුරයා දියෙන් තෙමූ අතර අවසානයේ වේගවත් කම්මුල් පහරක් ද පතිත කලේය. එහි වේදනාව බලා ඉන්න උන්ටත් දැනුන බව උන්ගේ කටින් පිටවූ " ස්ස්ස්ස්...." හඩින් පැහැදිලි විය.
ප්‍රාතිහාර්යයක් ... කෙල්ල අපහසුවෙන් මෙන් පියවි සිහියට එන්නට උත්සහ කලාය.
" දැන් සේරම හරි යයි, ඒත් කෙල්ලට සීතල අල්ලල තියෙන්නේ, කෝප්‍රල් ළමය ලෑස්ති කරල ගන්න. ඉන්දික වාහනේ ගේන්නකො කෝකටත් දියතලාවට ගෙනියමු. "

ඒ රාජකාරිය ද මටම පැවරිණි, ඔහුගේ විධාන අනුව සියල්ල සිදු විය, ප්‍රශ්න අවසන් වත්ම වැස්සද අවසන් ය. සියල්ල නිමා වන බව පෙරනිමිති පෙන්නන්නට මෙන් නැගෙනහිර අහසේ යාන්තමට හිරුද එබෙමින් තිබුනේය.

රෝහල් ගත කිරීමෙන් පසු මගේ රාජකාරිය අවසන් වුවත් මෙහි අගමුල දැන ගැනීමේ පිපාසාව නම් සංසිඳුනේ නැත.
කැඩෙට් පුහුණුව සඳහා මෙහි එන බොහෝ දෙනෙක් විවිධාකාර අත්භූත අත්දැකීම් වලට මූණ දෙන බව රහසක් නොවුනත් මෙහි යම් විශේශයක් දැනෙන්නට ඇත්තේ මේ මා සෘජුව මුහුණ දුන් පලමු සිදුවීම නිසා වන්නට ඇත.
පසුදා උදෑසන නිවාඩු දිනයක් වූ බැවින් අවසන් විනිශ්චය ඇගේ මුවින්ම ලබා ගැනීමට සිතා රෝහල වෙත ගියෙමි.
චන්දිමා වෙත ලං වූයේ ඇගේ කතාව අසා ගැනීමටය. පෙනුන තරම් අසන්නීපයක් නැතත් ඇගේ ඇස් වටා තද කලු පැහැයක් ගෙන තිබුනේ ඇගේ මුහුණ සම්පූර්ණ විකෘති කරමිනි.

" දැන් කොහිමද.."
" ම්ම්ම්ම්ම්"...ඔයාද මාව හොස්පිටල් අරන් ආවෙ "
" මම තමා වාහනේ අරන් ආවෙ.."
" හ්ම්ම්ම් ඇයි ඔයාල මාව හොස්පිටල් ගෙනාවෙ මට මුකුත් වෙලා නෑනෙ.."
" එහෙනම් මොකක්ද අර මහ රෑ වැස්සෙ නටපු විකාරෙ."
" හ්ම්ම්ම්... මම ගියෙ සුදත් අයිය මුණගැහෙන්න"
" ඒ කවුද..."
" ඒක දිග කතාවක්.. "
" අපිට පැයක් තියනව මදිද...."

" හ්ම්ම්ම් කියන්නම්... මගෙ ගම දෙහිඅත්තකණ්ඩිය , සුදත් අයියත් ඒ ගමේමයි.. අපි ගොඩක් ආදරෙන් හිටිය, ඒත් දවසක් මගෙ පෙරැත්තට එයා මාව වැවේ ඔරු පදින්න එක්ක ගියා... හ්ම්ම් මොනා වුනාද මන්ද ඔරුව පෙරලුනා එක පාරට, දෙතුන් පාරක් වතුරෙ ගිලිල ගොඩ ආපු මං ඔරු කඳේ එල්ලුනා, ඒත් සුදත් අයිය පේන්න හිටියෙ නෑ. එයාට පීනන්න පුලුවන් ඒත් එයා ගොඩ එනව මම දැක්කෙ නෑ, මම බය වුනා... මම ඉක්මනට පීනල ගොඩ ආව,

හ්ම්ම්ම්ම් මිනිය ගොඩ ගත්තෙ දවස් 2 කට පස්සෙ.. ඒත් සුදත් අයිය මාව අත ඇරල ගිහින් තිබ්බෙ නෑ.. හැමදාම රෑ එයා මගෙ ලග ඉන්නව වගේ දැනුන, මම ගමෙන් ආවෙත් ඒ නිසාමයි.. ඒත් මෙහෙ ආව කියල වෙනසක් වුනේ නෑ... ඊයෙ රෑත් එයා මාව බලන්න ආව, වෙලාවකට එයා මාව එක්කන් යන්න හදනව... වෙලාවකට එයා මගෙ ඇග ඇතුලෙම ජීවත් වෙනව. දැනුත් බලන් ඇති කොහෙ හරි ඉදන්..."

කියමින් ඈ වටපිට බැලීය. මගෙ උගුර කට වියලී ගියේ ඈ රාත්‍රියේ දෙඩවූ පිරිමි හඩ සිහි වීමෙනි. ඈට දීමට උත්තරයක් මට නොවීය. එයට වෙලාවක්ද නොලැබුමේ වෛද්‍යවරයා ගේ ආගමනයත් සමගය.
වෙදදුරුට ඈ පිරික්සා යන්නට හැර මා ඔහු පසුපස ගියෙමි, ඇගේ කතාව මා දන්නා මුත් වෛද්‍යවරයා ගේ මතයද දැනගත යුතුය.

" ඩොක්ට ලෙඩාට කොහොමද..."
" දැන් නම් ප්‍රශ්නයක් නෑ.. ඒත් දිගටම බෙහෙත් කරන්න වෙයි..."
" මොකක්ද ඩොක්ට අසනීපෙ."
" දරුණු හිස්ටීරියා තත්වයක්.."
" ඒ කියුවෙ.."
" තදබල මානසික ව්‍යාකූලත්වයක් . බය වෙන්න දෙයක් නෑ treatment කලාම හරි යයි."
ඈ මුහුණ පෑ සිදුවීමත් එක්ක මානසික ව්‍යාකූලත්වය ක් ඇති නොවුනානම් එය පුදුමයකි. විද්‍යාවත් අවිද්‍යාවත් අතර මා අතරමං වුනෙමි. වෛද්‍යවරයා නිවැරදි විය හැකිය නමුත් චන්දිමා කියු දේ එක හෙලා ප්‍රතික්ෂේප කල නොහැකිය,.
මන්ද ඔංචිල්ලා හතරක් තිබූ තැන චන්දිමා අසල තිබූ ඔංචිල්ලාව පමණක් තාලයට පැද්දෙන අයුරු මා බලා සිටියෙමි.

සතියකට පසු

පුහුණුව අවසානය, ඔවුන්ගේ නික්මයාමේ දිනයට පෙර අවසන් රාත්‍රිය එයය, රෝහලෙන් නිදහස් කල චන්දිමාද සිනහමුසු මුහුණින් ගිනි මැල සාදයේ රැස්ව සිටි පිරිස අතර විය, නැටුම් ගැයුම් වලින් රාත්‍රිය වර්ණවත් විය, හේතුවක් නොදැනම මගේ ඇස් චන්දිමා ලගම නතර වී ඇත.

ඇගේ පෙර තිබූ සිනහව අතුරුදන් ය, ඇගේ ඇස් එක එල්ලේ යමක් දෙස ඇලී පවතී, මුහුණේ පෙනුනේ විරූපී කෑදර බවකි, සතෙකුගේ හැර එවන් මුහුණක් මා දැක නැත.
ඈ බලාසිටින්නේ කොනක දැල්වෙමින් තිබු මස් පුලුස්සනය ( බාබකියු ) දෙසය, ඈ කකුලේ ඇගිලි වලින් නොඉවසිල්ලෙන් මහපොලොව හාරමින් සිටී දෑත් වෙවුලමින් තිබේ.

කෝකියා පදමට පිලිස්සුනු මස් කැබැල්ලක රස බලනු මා දුටිමි, වේගයෙන් නැගී සිටි චන්දිමා හති දමන බල්ලෙක් මෙන් හුස්ම අදිනු මා බලා සිටියෙමි. තත්පරයකටත් අඩු කාලයක් ගත විය සිතා ගැනීමටවත් නොහැකි වේගයෙන් දිවගිය ඈ වැදිරියක මෙන් කෝකියාගේ දෙවුරේ එල්ලී චර චර ගා ලේ විහිදෙන තුරු ගෙල විකුවේ තවමත් සියල්ල අවසන් නොවන බව පසක් කරමිනි.

සමාප්තයි...
වසර ගණනාවකට පෙර හමුදා කදවුරක් ආශ්‍රිත ව සිදුවූ සත්‍ය සිදුවීමකි, කතාව මට කියන්නේ ඔබ වැනිම මගේ පාඨකයෙක්. නම් ගම් මනක්කල්පිතයි , මේ පිලිබඳ තීරණයක් දීමට මම නොදනිමි, කතා නායකයා මෙන්ම මමත් විද්‍යාවත් අවිද්‍යාවත් අතර අතරමං වී ඇත්තෙමි. රසවින්දනය සදහා අතිශෝක්තිය එක් කර ඇතත් සිද්දි මූලය 100% සත්‍ය බව

උපුටා ගැනීමකි..-ප්‍රගීත් ලීටස්
Source: Link
අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..




---ඔංචිල්ලාව (සත්‍ය සිදුවීමක් ඇසුරෙන්)--- ---ඔංචිල්ලාව (සත්‍ය සිදුවීමක් ඇසුරෙන්)--- Reviewed by InvestCrypto on June 10, 2019 Rating: 5

No comments: