මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

10 July 2017

---වලව්වේ හොල්මන්---


විමලසූරිය යනු ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. ඔහු අළුත් ව්‍යාපාරික කටයුත්තකට අතගැසුවේය. නාවල රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ විශාල නිවස ලොකු මුදලකට විකුණා ගම්පහට ආසන්න නගරයක තෙල් පිරවුම් හලක් මිලදී ගත්තේය. ඒ ආසන්නයේම ඔහුට පදිංචියට නිවසක් සොයා ගත යුතු විය. නිවාස කිහිපයක් පිළිබඳ තොරතුරු ලැබුණ ද ඔහුගේ සිත ගියේ ඉන්ධන පිරවුම්හලට සැතපුමක් පමණ දුරින් පිහිටි පාරම්පරික වලව්වකට ය. එම වලව්ව විකිණීම උදෙසාම අතරමැදි සමාගමක් විසින් නවීන අංග උපාංග සහිත වලව්ව ප්‍රතිසංස්කරණය කර තිබුණි. විමලසූරිය මහතා මිලියන නවය හමාරකට වලව්ව මිලදී ගත්තේය. බිරිඳ, පුතා, දුව හා කාලයක සිට ඔවුන් ළඟ සේවය කළ සේවිකාව හා වත්ත බලාකියා ගත් මැදිවියේ පුද්ගලයා ද සමඟින් විමලසූරිය මහතා වලව්වේ පදිංචියට පැමිණියේය.

විශාල පොල් වත්තක් මැද පිහිටි මෙම වලව්වේ වර්තමාන හිමිකරුවන් විදේශගතව සිටින බැවින් කාලාන්තරයක් තිස්සේ වසා දමා තිබී ඇත. දුව සහ පුතා ඉහළ මහලයේ කාමර දෙකක ද මව සහ පියා පහළ කාමරයක් ද තමන් සඳහා වෙන් කර ගත්හ. ඉහළ මහලයේ පඩි පෙළ සම්පූර්ණයෙන්ම ඉදිකර පැවතුණේ ඝනකම් කුඹුක් ලී වලිනි. ඉහළ මහලට පඩිපෙළ සම්බන්ධ වන ස්ථානයේ ආලින්දයකට භාවිත කළ හැකි ඉඩකඩක් පැවතුණි. එම ස්ථානයේ විශාල ජනේලයක් වූ අතර පුටුවක වාඩි වූ විට ද වත්තේ ඉදිරි කොටස හා මාර්ගය ඉතා දර්ශනීය ලෙස දැකගත හැකි වෙයි.

නිවසේ පදිංචියට පැමිණ ගෙවී ගියේ දින දෙක තුනකි. මධ්‍යම රාත්‍රීය පසුවන තෙක් පරිගණකයේ කටයුතු කරමින් සිටි විමලසූරියගේ පුතා වූ නිර්මාල්ට ඉහළ මහලේ ආලින්දය දෙසින් ලී පොළොවේ යමක් පැද්දෙන හඬක් දිගින් දිගටම ඇසෙන්නට විය. ඔහු ටික වේලාවක් එම ශබ්දයට කන් දීගෙන සිටියේය. එම ශබ්දය නොනවත්වාම ඇසෙයි. ශබ්දය කුමක්දැයි සොයා බැලිය යුතු යැයි සිතූ නිර්මාල් ආලින්දය දෙසට යාමට තීරණය කළේය. නිර්මාල්ගේ කාමරයේ දොර විවර වන්නේ කෙලින්ම ආලින්දයටය. වැඩි චකිතයකින් තොරව නිර්මාල් දොර හැරියේය. දුටු දසුනින් ඔහු භිරන්තට්ටු වී ගියේය. ආලින්දයේ ජනේලය අසල එළිය දෙස බලාගෙන ගැහැණු කෙනෙකු පැද්දෙන පුටුවක වාඩි වී පැද්දෙමින් සිටියි. ඒ ඇසෙනුයේ පුටුවෙන් නැගෙන හඬයි. ලා නිල් පැහැයට හුරු සුදු ආලෝකයක් ඇගේ ශරීරය වටා පවතියි. නිර්මාල් කරන්නේ කුමක්දැයි යන්න අවබෝධයකින් තොරව තත්ත්පර කිහිපයක් බලා සිටියේය. පැද්දෙමින් සිටි කාන්තාව නිර්මාල් දෙසට හැරිණි. ඇගේ ගිනි රත්පැහැ ඇස්දෙක දුටු නිර්මාල් මර හඬ දී කෑ ගැසුවේය. කාමරයට ඇතුළු වී දොර වසා ගත්තේ කෙසේදැයි කියා හෝ ඔහුට මතක නැත. ඔහු අධික ලෙස තැති ගත්තේය. නිර්මාල්ගේ කෑ ගැසීමත් සමඟම නිවසේ සියල්ලෝ උඩුමහලට දිව ආවෝය. නිර්මාල්ගේ දොරට තට්ටු කරනු වෙනුවට දොර ඇරගෙන ඇතුළට ගියහ. දොර ලොක් කර නැත. කට්ටිය ඇතුළට යද්දීත් නිර්මාල් කෑ ගසමින් සිටියේය. ඇඳට ඔහුගේ මුහුණ ඔබාගෙන සිටි නිර්මාල්ගේ පිටට පියා අත තබත්ම නිර්මාල් තවත් ගැස්සී කෑ ගසන්නට විය. නිවසේ සියල්ලෝ පැමිණ කතා කරත්ම ඔහු තරමක් සන්සුන් විය


ඔහු දුටු දේ පිළිබඳ පැවසුවත් කිසිවකු එය විශ්වාස නොකළේය. නිර්මාල් දැඩි ලෙස තැති ගැන්වී සිටියේය. පසු දා පහන් විය. නිර්මාල්ට හොඳටම උණ ගැනී තිබුණි. පසුදින උදයේ දියණිය වූ හංසිකා පුදුමාකාර කථාවක් පැවසුවාය. නිවසට පැමිණ ගත වූ දින හතරේදීම සෑම දිනකම උදයේ ආලින්දයේ තබා තිබූ සෙටියේ නිර්මාල් පැවසූ තැන තබා ඇති පුටු දෙක ඈත් කර දමා තිබූ බවය. එය තමා විසින් සෑම දිනකම යලි ළං කළ බව ඇය පැවසුවාය. මේ සිදුවීම් සමඟම ඔවුහු උඩු මහළ අත් හැරියහ. නිර්මාල්ට දෙහි කපා ආරක්ෂා නූලක් දැමුණ අතර ඔහු සුවය ලැබීය.

කාලය කෙමෙන් ගෙවී යන්නට විය. සෑමදාම රාත්‍රීයේ කිරි කිරි ශබ්දය සැමටම ඇසෙයි. මෙය නිවසේ අයට මහත් වූ හිසරදයක් බවට පත් විය. ඔවුහු මෙම ගැටලුවෙන් මිදෙන්නට මාර්ග සොයන්නට විය. මංග අයියා පිළිබඳ ඔවුන්ට අසන්නට ලැබුණේ මේ අතරතුරය.

විමලසූරිය මහතා මංග අයියා හමු වී සියල්ල විස්තර කළේය. කටයුතු සම්පාදනය කිරීමට පෙර දිනක් මංග අයියා පැමිණ තමන්ට නිවසේ නතර විය යුතු යැයි පැවසීය. කතාකරගත් පරිදි මංග අයියා පැමිණියේය. ඉහළ මාලයේ නිර්මාල්ගේ කාමරයේ නතර විය. උඩුමහලේ සියලු ලයිට් නිවා ඔහු නිදා ගත්තේය. වෙහෙසත් සමඟ ඔහුට නින්ද ගියේය. රාත්‍රීයේ කවුරුන් හෝ කාමරයට පැමිණෙනු දැනී මංග අයියා අවදි විය. ඔහු දුටුවේ මැදිවිය පසු කළ කාන්තාවකි. ඇයගේ කර දෙපැත්තේ උරහිස් වැසෙන ලෙස ගොතන ලද පෙනුම සහිත රෙද්දක් විය. ඇය වටා ලා නිල් පැහැයට හුරු සුදු ආලෝකයක් පවතියි. ඇය කෙලින්ම මංග අසලට පැමිණියාය. මංග බිය වූයේ නැත. ඇයගේ ගිනි පුළුගු වන් ඇස් දෙකට ද මංග බිය වූයේ නැත. යකුන් මෙල්ල කළ මංගට මෙය මහ දෙයක් නොවීය. කිසි අමනුෂ්‍යයෙකුට මංගගේ ශරීරයට ළංවිය නොහැකි බව ඔහු දනියි.

”උඹ හදන්නේ අපිව එලවන්නද? මේ අපේ වලව්ව.”
”කවුද එහෙම කිව්වේ?” මංග කිසිවක් නොදන්නා සේ ඇසීය.
”උඹ හිතුවේ මං මෝඩයෙක් කියලද? උඹ ආවේ බලාගෙන යන්ඩනේ අපිව එලවන්නේ කොහොමද කියලා. එලවන්ඩ පුළුවන් ද කියලා බලපන්” යැයි කී එම මළගිය ආත්මය නොපෙනී ගියේය.

ඔහුට පුටුවක හඬක් ඇසුණේ නැත. ඊට වඩා සජීවී අවස්ථාවකට මුහුණ දීමට සිදුවිය. මෙවැනි දෙයක් කළ හැක්කේ යම් ශක්තිමත් ආත්මයකට පමණක් බව මංග අත්දැකීමෙන්ම දනියි. අනෙක් කරුණ වූයේ ඒ අවස්ථාවේ ඇයත් සමඟ තවත් කිහිප දෙනකු සිටිය යුතු යැයි ඔහුට අවබෝධ වීමයි. මෙවන් අය ඉවත් කිරීම පහසු නොවන බව මංග අත්දැකීමෙන්ම දනියි. පසුදා උදයේ සිදු වූ සිදුවීම නිවසේ අයට මංග නොපැවසූ අතර ශබ්දය ඇසුණු බව පමණක් පැවසුවේය. ඔහු එසේ කළේ නිවසේ අය එය විශ්වාස නොකරන බැවිණි.

නිවසේ දෝෂය ඉවත් කිරීම සඳහා සති දෙකකට එහා දිනයක් යොදා ගත්තේය. මංග පිටව ගියේය. එදින රාත්‍රීයේ සිදු වූයේ නොසිතූ දෙයකි. මෙතෙක් පැවති කිරි කිරි ශබ්දය වෙනුවට බර අඩි තබන ශබ්දය, විවිධ භාණ්ඩ පොළොවේ ගැටෙන ශබ්ද රාත්‍රීය පුරා ඉහළ මහලයෙන් ඇසෙන්නට විය. පසුදින බලන විට බිම පෙරළුන දෙයක් ද නැත. මෙම ගැටලුව නිසා නිවැසියෝ හෙම්බත් වී සිටියෝය. මංග පිටවී දෙවැනි රැුයේදී රාත්‍රී දහයාමාරට පමණ සියල්ලෝ සාලයේ අසුන්ගෙන සිටියහ. ඉහළ මාලයේ නිතර ශබ්ද නැගේ. ඔවුහු මේ පිළිබඳ කතා කර කර සිටියහ. එක් වරම බිරිඳ යටි ගිරියෙන් කෑ ගැසුවාය. ඇය පඩි පෙළ ඉහළ බලාගෙන සිටියාය. විමලසූරිය ද ඒ දසුන දුටුවේය. ළමුන් සිටියේ පඩිපෙළට පිටුපාය. ඔවුන් එය නොදුටුවෝය. යම් ඡායාවක් දෙකක් පඩිපෙළ ඉහළ සිට ඔවුහු දෙස බලා සිටියහ.

නිවසේ සියල්ලෝ එදින රාත්‍රියේම නිවසින් පිටවීමට තීරණය කළෝය. පූජාව පැවැත්වෙන දිනය දක්වාම ඔවුහු නිවසට පැමිණියේ නැත. දෙසතියකට පසු පූජාව සූදානම් විය. මලයාලම් පූජා විධි අප දැක ඇති තොවිල් ශාන්ති කර්මවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. සාලයේ බිම තින්නූර් නම් අළුවලින් චක්‍ර තුනක් අඳිනු ලබයි. පළමු වැන්න මලයාලම් දේව චක්‍රයයි. දෙවැන්න දිශ්ඨි බන්ධනයයි. අනෙක නිවසේ ආරක්ෂාවට අඳින ලද යන්ත්රය ජීවම් වීමට තබන මණ්ඩල චක්‍රයයි.
දේව චක්‍රය මධ්‍යයේ පොල් ගෙඩිය හා අඹ කොළ සහිත මුට්ටි තුන තබන අතර බිම අඳින චක්‍රය වැසී යන ලෙස පාට පාට මල් දමයි. මල් ඉතා විශාල ප්‍රමාණයක් මේ සඳහා අවශ්‍ය වෙයි. පලතුරු මල් අතර තබයි. දිශ්ඨි බන්ධනය තුළට රත් මල් හා බැදුම් වර්ග පමණක් භාවිත කරනු ලබයි. පූජාව ආරම්භයත් සමඟම යන්ත්රය ඉබේ ජීවම් වීම ඇරඹෙයි. මලයාලි ශාස්ත්‍රයේ පවතින විශේෂත්වය ද එයයි.

පූජාව ඇරඹීමත් සමඟම මංගගේ ගෝලයකු දිශ්ඨි බන්ධනය තුළ වාඩි කරවීය. ඉන්පසු මන්ත්ර කිහිපයක් පවසා තින්නූර් ටිකක් ඔහුගේ නළලේ ආලේප කළේය. ටික වේලාවකින් ඔහු සලිත වන්නට විය. බන්ධන චක්‍රය යනු නිවසේ සිටින සියලු මළගිය ආත්ම ගෙන්වා එම කොටුව තුළට ගෙන කොටු කර ගැනීමට අඳිනු ලබන එකකි. ඒ මත පුද්ගලයකු තැබුවේ එම ආත්මයත් සමඟ කතා බහ කිරීමටය. ටික වේලාවකින් ඔහු ගැහැනු හඬකින් මහ හඬින් සිනාසෙන්නට විය.

”උඹ ආයිත් ආවද? බලමු උඹ කොහොමද අපිව එළවන්නේ කියලා”.

මුලින් සැර දැමූ මළගිය ආත්මය මංග අයියා මතුරන ලද තින්නූර් ආලේප කළ කඩුව අතට ගත්ම සැර බාල වන්නට විය. ඇය තමන් පිළිබඳ සහ පෙර සිදුවීමක් විස්තර කරන්නට විය. අදින් වසර හැට හැත්තෑවකට පෙර ඉංග්‍රීසි හුරුවට හැදුණු යුවළක් වලව්වේ ජීවත් වී ඇත. වතු හිමිකරුවකු වූ ස්වාමියා බිරිඳ පිළිබඳ උනන්දුවක් දක්වා නැත. ස්වාමියාගේ මිතුරකු සමඟ අනියම් සබඳතාවක් ඇති කර ගන්නා ඇය ඔහුව වරින් වර නිවසට ගෙන්වා ගත්තාය. අවසානයේ සිදු වන්නේ ඉහළ මහලයේ පැද්දෙන පුටුව මතදීම ස්වාමියාගේ වෙඩි පහරකින් ජීවිතයෙන් වන්දි ගෙවීමටය. මිතුරාට ද නිවස තුළම පහරදී මරා දමා ඇත. ඔවුන් දෙදෙනාගේ ආත්මයන් මේ දක්වාම නිවසේ වෙසෙයි. වරින් වර නිවස මිලදී ගන්නා අය ටික දිනකින් නිවස විකුණා දැමීමට සිදුවන සිදුවීම් මේ මළගිය ආත්ම විසින් ඇති කරනු ලබයි.

සියලු පූජා අවසානයේ මළගිය ආත්ම යම් බන්ධනයකට ලක් කර ඉවත් කරනු ලබයි. මලයාලි ශාස්ත්‍රයට අනුව එම මළගිය ආත්ම ඉන්පසු මලයාලි ඇදුරාගේ සේවයට බන්ධනය වෙයි. මලයාලි ගුරුකමේ අවසන් උද්වේගකර අවස්ථාව වනුයේ දෙදෙනකු කඩුව ඔසවාගෙන සිටින විට එහි කැපෙන පැත්ත මත මලයාලි ඇදුරා සිටගෙන නිවැසියන්ගේ ආරක්ෂාවට නලලේ සින්දූර් ආලේප කිරීමයි. බොහෝ විට කඩුව මත සිට ගන්නා අවස්ථාවේ ඇදුරාගේ ශරීරයේ සිටින්නේ මලයාලි මහසෝනාය. මොහු ඉතා දරුණුය. කඩුව හරිහැටි අල්ලා ගැනීමට නොහැකි වුවහොත් අත ඇති පන්දමෙන් හෝ අත ඇති දෙයින් පහර කෑමට සිදුවෙයි. කෙසේ හෝ පූජාව අවසන් විය. නිවසේ දෝෂය ඉවත් විය. ටික කලකින් නිවස සාමාන්‍ය තත්ත්වයට පත් විය.


Source:Link

No comments:

Post a Comment