මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

23 October 2017

---මට ඊයෙ රෑ වෙච්ච සිදුවීමක්---


 මම හොල්මන් අදුශ්‍යමාන දේවල් විස්වාස කරාට ඊයෙ රාත්‍රිය වෙනකම් මට ඒ වගේ සිදුවීම් අත්දකින්න ලැබිලා තිබුනේ නැහැ...වැල් වටාරම් නැතුව කෙලින්ම කතාවට බහිමු

ඊයෙ මම maths cls ගිහින් ගෙදර එත්දි රෑ අටට විතර ඇති.ආපු ගමන්ම පුරුද්දක් විදිහට මම wash එකක් දාගෙන කෑම කනවා එදා රෑ උයලා තිබුනෙ chicken මම කාලා ඉවර උනාම අම්මා කිව්වා ලොකු අම්මලාගෙ දිහාට මේ මස් භාජනේ ගිහින් දෙන්න යන්න එන්න කියලා...

මම ඉතින් ඕක ගෙනියන්න දෙන්නෙක් ඕනෙ නෑනෙ මම ඕක ගිහින් දීලා එන්නම් කියලා භාජනේ අතට ගත්තේ මම හොල්මන් එච්චර care කරන්නෙ නැති නිසා😏.අම්මා කීප සැරයක්ම එන්න ඇහුවත් මම ඕනෙ නෑ කියලා කිව්වා...😏

මම ඉන්න පැත්ත ටිකක් ග්‍රාමීයයි ලඟ ලඟ ගෙවල් පිහිටන්නෙ නෑ.ලොකු අම්මලාගෙ ගෙදරට 500m විතර යන්න ඕනෙ...අර භාජනෙත් අරගෙන බයික් එකේ යන්න බැරි නිසා ඔන්න ඔහෙ පයින්ම යන්න තීරනය කලා...අනික phone එකත් ඔබ ඔබාම යන්න පුලුවන්නේ එ්කයි😂
අම්මා කීවා ඕක ඔ⁣හොම අරන් යන්න එපා අඟුරු කෑල්ලක් වත් අරන් යන්න කියලා...gas cooker එකේ අඟුරු නෑනෙ ඉතින්😂 මම නිකම්ම phone එකත් අරන් පාරට බැස්සා flash එක ඕනෙත් නෑ වගේ එලිය තිබුනා පාර පේන ගානට...

ඕක අරගෙන මීටර් 100ක් විතර යද්දි මට නිකන් අමුත්තක් වගේ දැන් දැනෙනවා...මම යන ගමනුත් මේ group එකේ post ඇපෘ කර කර තමා ගියේ😂...ඒ පාර හරිම මූසල පාටයි බල්ලොත් උඩුබුරනවා දැන් අර දැනිච්ච අමුත්ත ටිකක් තදට දැනෙනවා

මම phone එකේ flash එකත් දාගත්තා ඒ වෙලාවෙ එහා පැත්ත හැරිලා බලන්න හදලත් ම්ම්ම් පස්සෙ හිතුනා ඕනෙ නෑ කියලා...දැන් ලොකු අම්මලාගෙ ගෙදරට 200m වගේ ඇති දැව් මට තේරෙනා හොඳටම ටිකක් විසාල එකෙක් පිටිපස්සෙන් එනවම තමා කියලා...😨
මොනා කරන්නද ඉතින් දුවන්නත් බෑනෙ😂 ම් ඒ වෙලාවේ මරු කතරට දිය බිඳක්සේ නුවණ පහල උනා...මම නැවතුනා හිතට හයිය අරන් එහා පැත්ත හැරුනා...අම්මට සිරි මම දැක්ක දේ....මුකුත් නෑ😂😂😂

මනෝ විකාර කියලා යන්න ගියා...තවත් අඩි දෙක තුනක් යද්දි අඩි සද්දෙ ලඟ ලඟම ඇහෙනවා😵 දැන් නම් හොඳටම සුවර් මොකෙක් හරි පසුපස එනවම තමා කියලා...

ඒත් මම ශරීර ආරක්ශාවක් කරගෙන හිටපු නිසා එච්චර බයක් නම් දැනුනේ නෑ...එහෙම උනත් ඇවිදිද්දි අඩි සද්දෙ ඇහෙන්න තරම් බලවත් එකෙක් පස්සෙන් එනකොට උගෙ අදහස මාව බිලිගන්න එක මිසක් මගෙ ඇගට රිංගන එක නොවේනේ😢

මම නැවතිලා මස් එක බිමින් තියලා වෙසමුනි දැහැන මතුරන ගමන් ම⁣ගෙ වටේට වලල්ලක් ඇඳගත්තා මට දැන් විස්වාසයි මේකෙ ඇතුලෙ මට කරදරයක් නෑ කියලා😎
ඊට පස්සෙ මූ ඇතුලට නාවට එතනින් යන්නෙ නෑ කියලා පරිසරයේ අමුත්තෙන් මට තේරුනා...අම්මට සිරි අවාරෙට පොල්වැටෙනවා වගේ වාහන යන මේ පාරෙ මගෙ වාසනාවටද මන්දා බයික් එකක් එනවා😁
බයික් එක ඇවිත් නැවැත්තුවා බැලින්නම් ලොකු අම්මගෙ පුතා😃 මම අර මස් භාජනෙත් අරගෙන බයික් එකට නැගලා යන ගමනුත් වෙච්ච සිද්ධිය ගැන හිත හිතයි ගියේ😕

ඔය වගේ සිද්ධියක් වෙච්ච පලවෙනි වතාව.ඒත් ගෙදර කාටවත් කීවෙ නෑ😄 කියන්නෙ කෝමද අම්මා සිය සැරයක් විතර කීවනෙ තනියම යන්ඩ එපා කියලත්😂
හැබැයි ඉතින් කෝම උනත් මම තාමත් care කරන්නෑ වැඩිය...

මම - දෙව්මිණ™️
කැමති අය රික්කුවකුත් දාන් යමු

20 October 2017

---කුරිරු දඩයම---



පොඩ්ඩෙ මාමා කියන්නෙ ගමේ හැමෝම දන්න කියන ඩයල් එකක් මාමගෙ රස්සාව උනේ කිතුල් හකුරැ හදලා විකුණන එක 🍯🍯 ආහ් ඒක එක රස්සාවක් විතරයි ඊට අමතරව ගමේ පිරිමි අය විතරක් නෙමෙයි ගැණු අයටත් මෙයාව හරියට මතක් උනා මොකද ඉතිං ගමේ හොර අරක්කු ව්‍යාපාරය කෙරැනෙ මෙයාගෙ අතිං ( ගෑනු අයටනම් තමන්ගෙ මහත්තයා බීගෙන ගෙදර එනකොට පොඩ්ඩෙ මාමගෙ පරම්පරාවම මතක් වෙනවලු) 🍶 🍶

ඒ විතරක් නෙමෙයි සත්තු දඩයම් කරන්නත් පොඩ්ඩෙ මාමා පුරැදු වෙලා හිටියා 🍖🍖🍖 දවල් කාලෙට වඩා මේ මනුස්සයට රෑට තමයි ගමන් බිමන් තිබුනෙ දවසක් තමන්ගෙ වැඩ ටික ඉවර කරලා මහ රෑ 11.30ට විතර මුව මස් වගේකුත් අරගෙන පොඩ්ඩෙ මාමා ගෙදර යනවලු දැන් වගේ නෙමෙයිනෙ ඉස්සර ගම්වල ගෙවල් වලට වැඩිය තිබ්බෙ කැලෑවනෙ ඔහොම යනකොට තියෙනවලු ඔයක් මේ ඔයෙන් නාලා කරලා තමයි මාමා හැමදාම යන්නෙ එදත් ඉතිං වෙනදා වගේම මුව මස් ටික ගලක් උඩිං තියලා මාමා නානවලු 💦💦

ටික වෙලාවකින් මාමට ඇහෙනවලු කෙල්ලො ටිකක් හිනා වෙනවා මාමත් පැනියනෙ පොඩ්ඩක් ඉතිං හැරිලා බැලුවලු බලනකොට ගෑනු ලමයි තුන් දෙනෙක් දිය රෙදිත් ඇදන් නාන්න එනවලු 😶😶 මාමට එතනිං යන්න හිත දීලත් නෑ ඒ උනත් ඉතිං මේ මහ රෑ ගෑනු නාන දිහා බලන් ඉන්නයැ කියලා හිතලා මාම ගොඩට ඇවිත් යන්න ලෑස්ති උනාලු ආයෙමත් ඉතිං අර මුව මස් ටිකත් උස්සගෙන අඩි පාර දිගේ යනවලු ඔහොම යනකොට අර ගෑනු ලමයි තුන් දෙනාගෙන් එක්කෙනෙක් මාමට කතා කරනවලු ඩයල් එක හැරිලා බලනකොට එක ගෑනු ලමයෙක් පිටි පස්සෙන් එනවලු මාමට වැඩේ තේරැනාලු අතේ තියෙන්නෙ මුව මස් ඊටත් දැන් මහ රෑ මාමා එතන බිම තිබිලා අහුලගත්තලු දිග කෝට්ටක් දැන් ඉතිං ඒකත් වන වන අර ගෑනු ලමයත් එක්ක කතාවකුත් දාගෙන පොඩ්ඩෙ මාමා යනවලු ( කෝට්ටක් වන වන යනකොට අර ගෑනු කෙනාට ඉස්සර වෙන්න බෑළු බැරි වෙලා හරි ඉස්සර උනොත් ඉවරම තමයිලු) ගේ ගාවට ගිය මාමා " හාමිනේ ඉලපතත් අරං වරෙන්කෝ " කියලා කෑ ගැහුවලු කෝට්ට වන වන ඉන්න මාමවයි අතේ තිබ්බ මස් උරෙයි දැක්ක ගමං නැන්දට වැඩේ තේරිලා 😕😕


ඉලපතත් අරං කුණු හරැප දෙක තුනකුත් කියාගෙනම නැන්දා එලියට බැස්සලු එතකොටම මාමා දැක්කලු අර ගෑනු කෙනා කොස් ගහ ගාවින් නොපෙනී යනවා 😳😳 ඔය වගේ දවස් දෙක තුනක්ම උනාලු.. 😶😶 ඒත් ඉතිං වාසනාව උනත් හැමදාම පස්සෙන් එන්නෑනෙ දවසක් නැන්දා ඉලපතත් අරං කුනු හරැප කියං එලියට බහිනකොට මාමට ඇහුනළු උබ ඊලග දවසෙනම් ඉවරයි කියලා අර ගෑනු කෙනා කියනවා මාමා ඒක එච්චර ගනන් අරං නෑ 😉😉 දවසක් රෑ මාමා ගෙදර ආවෙ නෑලු නැන්දත් ඉතිං උදේ වෙනකන් බලං හිටියලු ගිය මගුලකිං උදේට එයිනෙ කියලා 😠😠 ඒත් උදේ ඇවිල්ලත් නෑ බැරිම තැන නැන්දා ලෑස්ති උනාලු මාමව හොයන්න යන්න ඒත් ඉතිං ගෙදරිං එලියට එක අඩියක් තියන්න උනේ නෑලු පොඩි එකෙක් කෑ ගහගෙන දුවගෙන එනවලු " නැන්දෙ නැන්දෙ පොඩ්ඩෙ මාමා පහල ඇල ගාව බෙල්ල කැඩිලා වැටිලා ඉන්නවා.."

Source: Link


16 October 2017

---ලක්දිවදී දෘශ්‍යමාන වූ ප්‍රේතයන්---


පුරාණ සීහළ වත්ථුවේ ප්‍රේතයන් පිළිබඳ තොරතුරු ඇත්තේය. සීහළ වත්ථුවේ සඳහන් වන්නේ ලක්දිවදී දෘශ්‍යමාන වූ ප්‍රේතයන් ගැනය.

අතීතයේ හෙළදිව විසූ භික්ෂූන් වහන්සේලා පිරිසක් මහබෝ (ජයශ්‍රී මහා බෝධිය) වැඳීම සඳහා ගම් නියම් ගම්හි පා ගමනින් වැඩම කරන්නාහ. බොහෝ වෙහෙසකරව ඇවිද ගිය උන්වහන්සේලා මොහොතකින් දුෂ්කර වන මැදක අතරමං වූහ. පාරක් හඳුනා ගත නොහැකියේය.
‘දැන් කුමක් කරමුද?’ භික්ෂූහු කල්පනා කළහ.

එක් භික්ෂු නමක්, ඇත් රැළක් ගිය මගක් දැක ඒ අසල ගලක ගිලී සිටින මනුෂ්‍යයකු දුටුවේය.
මොහුගෙන් අපට පාර අසා ගත හැකියේය.
සංඝ ස්ථවිරයන් වහන්සේ පැමිණ,
අපි මහ බෝ වන්දනාවේ යම්හ. දින සතක් වනයේ අතරමංව සිටිමු. අපට මාර්ගය කිව මැනවැයි කීහ.
එවේලේ,
ස්වාමීනී, ඔබ වහන්සේලා දින හතක් වනයේ අතරමංව මාර්ගය ඉල්ලා සිටිති. මා බුද්ධාන්තර තුනක්ම මෙහි මංමුළා වී සිටිමි.

භික්ෂූහු පුදුම වූහ.

ඔබ කවරෙක්ද, මෙසේ සිටින්නට ඔබ කළ අකුසලය කවරක්දැයි විචාළහ.
ස්වාමීනී මම කුකුසඳ බුදුන්ගේ කාලයෙහි මනුෂ්‍යයකු වී සිට බොහෝ පව්කම් කළෙමි. එදා මරණින් මතු ප්‍රේත ලෝකයට වැටිණි. සිව් යොදුනක් දිග මේ ගල් පර්වතය මුදුනේ ගිලී පොළොවෙන් උඩට ශරීරයේ කොටසක් පෙනෙමින් මෙසේම සිටිමි. එහෙත් මගේ කර්ම ගෙවී යාමක් මට නොපෙනෙන්නේය.
ප්‍රේතය, ඔබ බුද්ධාන්තර තුනක් මෙසේ සිටියා යැයි කියන්නේ කෙසේද?

ස්වාමීනී, ඔබ වහන්සේලා නොදන්නේද? බුදුවරු මව් කුසක පිළිසිඳ ගනිද්දීත්, මව් කුසින් බිහි වෙද්දීත්, බුදුවන විටත්, දම්සක් දෙසන විටත්, ආයු සංස්කාරය හරින විටත්, පිරිනිවෙනා විටත් ලොව පුරා විස්මය ජනක දේ සිදුවෙයි. මම ද ඒවා දැක ඇත්තෙමි. බුදු උපතේදී අහසෙහිත්, ගල් මුදුනෙහිත්, පොළොවෙහිත් පියුම් පිපෙත්. පියුම් මැළවී පරවී යන්නේ බුදුවරු පිරිනිවී යන කල්හිය. දැන් බුදුවරු තිදෙනෙක් මා ගලේ සිරවී සිටිද්දී පහළ වී පිරිනිවියේය. ඒ බව මා දැන ගත්තේ මේ ගලේ හටගෙන මැළවී ගිය පියුම් වලිනි බුදුවරු 3 ක් පහළවිත් මට මේ අකුසලය ගෙවා සසරින් ගොඩ ඒමට නොහැකි විය.
භික්ෂූහු පුදුම ඉපැදූහ.

ප්‍රේතය මේ සා ගලක ශරීරයේ හරි අඩකට වැඩියෙන් සිරවී කොටසක් ගලෙන් උඩට මතුවී, යාමට ඒමට, කෑමට බීමට නොහැකිව මෙවැනි අකුසලයක් විඳීමට ඔබ කළ පාපය කවරක්ද?


ස්වාමීනී, පෙර කකුසඳ බුදුන්ගේ සමයෙහි සංඝයාට අයිති කුඹුරක් තිබිණි. මාගේ කුඹුරද තිබුණේ ඒ අසලමය. මම කුඹුර ඉමේ වූ ගල් කණුව ගලවා සංඝයාගේ කුඹුරේ සවි කළෙමි. එතැන් පටන් සඟ සතු කුඹුරුහි කොටසක් මගේ කොටගෙන භුක්ති වින්දෙමි. එහි විපාකය මෙයයි. මම ප්‍රේත ලෝකයේ දුක් අනුභව කරමින් ඉක්ම ගිය කාලය වර්ෂ වලින් මෙතැකැයි කිව නොහැකිය. දැන් අවීචියට ගොස් ඉතිරි විපාක වින්ද යුතුය.
අතීතයේ මිනිස්සු සඟ සතු දේපළ සොරා කන අය ගල් ප්‍රේතයන්වී උපදිනවා යැයි කීවේ, මෙවැනි අටුවා කතා අනුසාර කොට ගනිමිනි.

මේ ප්‍රේතයාගේ පෙර භවයේ මනස මැරී නැත. හේ පෙර භවය සිහි නඟන්නේය. මනස මේ විශ්ව ධාතුව පුරා පැතිර යන්නේය. එබැවින් කර ගන්නා අකුසල කර්ම කරණකොට කය මියැදෙන අතර මනස තිබුණු තැනින් ගැලවී තවත් තැනක නැවත හටගත්තේය. කර ගන්නා ලද කර්මවලට අනුව කය උපදින ස්ථානය තීරණය වන්නේය. පුනර්භවය ප්‍රකාශ කර ඇතැම්හු දිව්‍ය ලෝක, අපාය පිළිබඳව පවසන තොරතුරු මිත්‍යාවක් ලෙස සැලකිය නොහැක්කේ සිත හැමවිටම මේ ත්‍රි සහශ්‍රී ලෝක ධාතුව පුරාම තමන්ගේ හට ගැනීම සොයමින් ගමන් කරන නියාය.

Source: Link


13 October 2017

---එම්බාම් කිරීම - තවත් එක කතාවක්---


" අප්පා මල්ලි පරක්කුයි නෙ... අපි වැඩේ බාගෙට ඉවර කලානේ... දැන් අන්තිම ටික යන්නේ"
" අයියෝ.... මොනා කරන්නද කමක් නෑ ඉතින්.. දන්නවනෙ පොඩි දුරක් නෙමේනෙ කොලඹ ඉදල එනවා කියන්නේ.. ආ මචන් මේ ඉන්නෙ ජෝශප් අයියා.. කට්ටිය දන්නෙ එම්බාම් ජෝසෙ කියලා.... ජෝසෙ අයියා මෙයා තමා මං කිවුවේ.. පත්තරේට අලුත් කොල්ලෙක් "
මා කැදවාගෙන ආ මිතුරා මට ඔවුන්වත් ඔවුන්ට මාවත් හදුන්වා දුන්නේ එලෙසයි
" අම්මප මල්ලි රටේ ලෝකෙ වෙන ලියන්න දේවල් ඇත්තෙම නැද්ද මේ මිනි කපන අපි ගැන ලියන්න හිතුනේ"
" එහෙම නෙමෙයි මහත්තයා..."
" අපෝ අපෝ ඔය මහත්තයා කෑලි මට සෙට් වෙන් නෑනෙ... එක්කො අයියා නැත්තම් ජෝසේ..."
ඔහුව නුරුස්සා ගැනීම මගේ වැඩේට බධාවක් වෙයි සිතූ මා කතාව වෙනස් කලෙමි..
" හරි ජෝසෙ අයියා.. මෙහෙමයි.. අනිත් ඒව හැම එකාම වාර්තා කරනවනේ මට ඕන පොඩ්ඩක් වෙනස් එකක් ලියන්න... ඒකයි මේ පැත්තෙ ආවෙ "
" ඕන මගුලක්... දැන් මේ වැඩේ නම් ඉවරයි.. පොඩි එකා මෙහෙ වරෙන්.. මේ බොඩි එකේ ඇදුම් ටික සෙට් කරලා ගනින් මං උඩට ගිහින් එන්නම්.. යං මල්ලිලා උඩට..."
ඔහු එසේ කියන විට මා දේහය දෙසත් එම්බාම් කාමරයේ ඇතුලතත් අධ්‍යයනය කලෙමි.. සිමෙන්තියෙන් බැද ටයිල් කරන ලද මේසයක් මත හැඩි දැඩි මල සිරුර තබා තිබින. දරා ගැනීමට නොහැකි වූයේ සැර ෆෝමලින් ගදත් පිච්ච මල් සුවදත් ය..
තවත් වටපිට බැලුවේ මගේ වාර්තා ව රසවත් කිරීමට හෝඩුවාවක් ලැබේ දැයි සිතමිනි.. එය එසේ විය නමුත් එයින් ඇතිවූ පිලිකුල මගේ මොලයේ හැම නහරයක්ම වියලවා හරින්නට ඇතැයි මට සිතිනි. සිමෙන්ති මේසය යට තිබුනේ ලේ පිරවූ තරමක් විශාල බාල්දියකි එපමණක් නොව ඒ අසලම ශරීර අභ්‍යන්තර අවයව පිරුණු භාජනයක්ද විය..
" මේ... අයියා දෙයක් ඇහුවට කමක් නැද්ද .."
" අහපන් මල්ලි ...."
ඔහු වැඩි හිතවත් කමක් පෙන්නුවේ මා මුදල් ගෙවන බව දැනගෙනද නැතිනම් බීමත්ව සිටි නිසාද යන්න මට සිතා ගත නොහැකි විය
" මේ හැම මිනියකම ඇතුලේ කෑලි අයි කරන් නෑ නේද... ඒත් ඇයි මේකේ..."
" ආ... දැන් ඔහොම වැටිල හිටියට මැරෙන්න කලින් සුපිරි පොරක්.. ළමයි එහෙම රට ඉතින් සතියක් විතර තියා ගන්න ඕන කියුවා ඒකයි කෑලි ගැලෙවුවේ.. "
" ආ... ඒක එහෙමද... හරි හරි..."
මා එය සටහන් කර ගතිමි.. පසුව ඔහු පසුපස උඩ තට්ටුවට ගියේ ඔහුගේ ආරාධනය මතයි.. ඒ යන අතර විවිද වර්න වල මල් වඩම් ද අලංකාර කැටයම් යෙදූ මීනී පෙට්ටිද පසු කලේ මගේ අවසන් ගමන ගැනත් මෙතෙක් නොතිබූ බයක් අනිත්‍ය බවක් සිතට එක් කරමිනි
තරප්පු පෙලකින් ඉහලට නැගගත් විට හමුවන්නේ බාගෙට සාදා නිමකල ශාලාවක් වැනි ගොඩනැගිලි කොටසකි. කටු කටු කොන්ක්‍රීට් පොලවකින් යුක්ත වූයේ ටයිල් කිරිමට බලපොරොත්තුවෙන් විය යුතුය.
එහි කොනක කෑම මේසයක්ද පුටු කිහිපයක් ද විය.. අනෙක් කොන කිහිප දෙනෙකුගේ රෙදි වැනූ රෙදි වැලක්ද විය..
" ශා මරු තැනකනෙ අයියගෙ ශොප් එක තියෙන්නේ"
මා එසේ කියුවේ සදලුතලය දෙසට ඇදෙන ගමන්ය. මන්ද එතැනට මනා ව මුහුදු වෙරලත් රළ කැඩීමට සාදා ඇති ගල් වැටියත් පෙනෙන නිසාය..
" ආහ් ඔව් මල්ලි මං මෙතැන ගන්න කලින් එයාලා මේක ගෙස්ට් එකක් කරන්න හැදුවෙ.. ඒකයි සුපිරි තැනක් හොයලා තියෙන්නේ..."
කෑම මේසයේ එක් පුටුවක වාඩි වෙන ගමන් ඔහු කීවේය...
" ජෝසෙ අයියා.. වැඩේ හරි... බාරදීල එන්නද..."
" ආ හරි පොඩ්ඩෝ පලයන්... හොද එකා වගේ එද්දි අර ටික මතක ඇතුව ගෙනෙන් හොදේ... මේ ජීව ගේ කඩෙන් ඌරො 2ක් දා ගනින්.. මේ මල්ලි මොනාද සැන්ඩි සෝඩ කෝක් ස්ප්‍රයිට්.."
ඔවුන්ගේ සූදානම මට වැටහිනි..
" ස්ප්‍රයිට් හොදයි අයියේ ...."
මා කීවේ නොබීවත් බීවත් මේසයේ රැදී සිටිය යුතු නිසාවෙනි.
" මේ පොඩ්ඩෙ මල්ලි තනියමද යන්නේ..."
" ඔව් මහත්තයා ඇයි..."
" එහෙනම් මාවත් ඔය මගින් හලාගෙන යමන්කො. "
මගේ මිතුරා ඔහුට කීය
" මේ මිනිත් දාගෙන වාහන පදින්න බය නැද්ද පොඩ්ඩේ.. "
මම ඇසුවෙමි
" හෙ හේ... මේ මනුස්සය ජීවත් වෙලා ඉද්දි නම් ගමම බයයි... දැන් මොන රෙද්දකට බය වෙන්නද මහත්තයෝ ..."
කියූ ඔහු සිනාසෙමින් යන්නට විය..
" මේ මේ පොඩ්ඩේ... යන ගමන් මයිකල් ව එවපන්... වැඩක් ආවොත් කරන්න එකෙක් නෑනේ.. "
සදළුතලයට දිව ආ ජොසෙ පහතට එබී කෑ ගැසුවේ පොඩ්ඩේ පිටත් වේ යැයි සිතා විය යුතුය...
" මල්ලි අද රෑ ඉදල මල්ලිගෙ විස්තරේ ලියා ගන්න... දැන් 7ටත් කිට්ටුයි ඇග පත ටිකක් සෝදගෙන එන්න එහනම්.. පොඩ්ඩෙ එද්දි 9 විතර වෙයි."
ඔහු එසේ කියා නිම වෙද්දීම පහල ඔෆිස් කාමරයේ දුරකතනය නාද වන්නට විය.. ඔහු වහා එහි දිව ගියේ රැකියාව කෙරෙහි ඔහුගේ උනන්දුව ප්‍රදර්ශනය කරමිනි
සටහන් පොත අතට ගෙන මෙතෙක් මා සොයා ගත් කරුණු පිලිවෙලකට පෙල ගසා ගත්තේ හෙට උදෑසන වන විට ඒවා අමතක වීමට ඉඩකඩ ඇති නිසාය
ඉන්පසු බෑගයේ තිබූ තුවායත් කොට කලිසමක් හා කමිසයක් ගෙන පහලට ගියේ නාන කාමරය සොයාගෙනය... කරුමයකි එය පිහිටියේ එම්බාම් කාමරයට යාබදවය..
එය එතරම් විශාල එකක් නොවීය, පියනක් නැති කොමඩ් එකක් හා බාල්දියක් ද මලක් නැති වතුර මලක් ( shower ) ද එහි විය. රතු පාට සිමෙන්ති පොලොවේ තැනින් තැන කැඩී මතු කෙරුවේ මඩ සහිත අප්‍රසන්න පරිසරයකි. තුවාය සහ ඇදුම් එල්ලා ගත්තේ අපහසුවෙන් සොයා ගත් ඇණකයයි..
කොලඹ මල් ශාලා කොතෙක් පැවතියත් මා මෙහි පැමිනියේ එම්බාම් කිරිම ගැන පමනක් ලිවීමට නොවන බව ඔවුන් දන්නේ නැත. නමුත් ඒ පිලිබඳ සංවාදය ආරම්භ කරන්නේ කෙසේදැයි මා කල්පනා කලෙමි. නාන කාමරය කල්පනා කිරීමට සුදුසුම තැනක් මගේ සුපුරුදු අත්දැකීමකි


" ජෝසෙ අයියා....."
අලුත් කටහඩකි. මේ මයිකල් විය යුතුය...
" ආ.. මයිකල්... වරෙන් වරෙන්.. කෙලින්ම ඇතුලට අරන් යමන්..."
වතුර කරාමය අරිනවාත් සමග ඇසුනු.. ඔවුන්ගේ දෙබස පැහැදිලි වුවත් තේරුම අපහැදිලි විය. කෙසේ වෙතත් එය මට අදාල නැත. මා නැවත මගේ වැඩයට යොමු වීමි.
" චිටි චිටිස් ටර්ර්ර්ර්....."
මා ගැස්සී ගියේ හදිසියේ අඩපන වන්නට වූ විදුලි බුබුල ශබ්දයත් සමග නිවි නිවී පත්තු වන්නට වූ නිසාය.. නමුත් තප්පර ගනනකින් එක යතා තත්වයට පත් විය.. එහෙත් එය විනාඩි ගනනකට සීමා විය
" ඔහ් ශිට් මොන මගුලක් ද.."
මට කියවුනි... මුලු කුටියම අන්දකාරයටය යට විය.. එපමනක් නොව චටස් ගා දොර අගුල් වැටෙන ශබ්දයක් ඇසීය.. මා අතපත ගා දොරේ අගුල සොයා ගෙන එය ඇරියත් දොර විවුර්ත වූයේ නැත... එම්බාම් කුටියක් අසල පුංචි කාමරයක සිරවීමේ අත්දැකීම කිසිදාක ලබා නැති නිසා මා ඉතාමත් තැති ගත්තෙමි.. තවත් කිරීමට දෙයක් නැති තැන තුවාය ඉන පටලාගෙන දොරට තඩිබෑවෙමි
" ජෝසේ අයියා.... ජොසෙ අයියේ.. කවුරුත් නැද්ද...."
මම කෑ ගැසුවෙමි
විනාඩියක් පමණ ගත වුවත් එය පැයක් පමණ මට දැනිනි..
" චටස්..."
අගුලක් විවෘත විය.. ඒ සමගම විදුලි බුබුලද දැල්විනි.. වැලි කැට වලට පොලව සීරෙමින් ක්‍රී......ස් හඩක් සමග දොර විවෘත විය
" මොකො මල්ලි මේ කෑ ගහන්නේ මං උඩ ඉදන් දුවගෙන ආවේ..."
මා ඉදිරියේ සිටියේ ජෝසෙ අයියාය
" එක පාර ලයිට් ගිහින් දොර ලොක් වුනා..."
මම හති දමමින් කීවෙමි
" හ හා හා.... මයිකල්... මෙහෙ වරෙන්... හා හා හා.."
ඔහු සමච්චල් ලෙස සිනහ විය..
" ඕඕඕ ජෝසේ අයියා.. අප්පටසිරි මේ කවුද...."
" උබත් හරි වැඩ තමා බං මයිකල් කරන්නෙ... මේ මල්ලි ඇතුලෙ ඉද්දි උබ ලයිට් නිවලා දොර වැහුවද... "
" සන්තානම් මෑනියනේ.... කවුද ජෝසෙ අයියා දන්නේ... මම ඔක්කම වහලා යන්න ගියා.."
ඔවුන් දෙදෙනාගේ සිනහවට මමත් හවුල් විය..
" හරි හරි මල්ලි නාගෙන එන්න ආයෙ කවුරුත් වහන්නේ නෑ...."
මහත් ලැජ්ජාවත් සමග දොර වසාගෙන මම හනික ඇගපත සෝදා ඇදුමක් දා ගත්තෙමි.. එය මගේ පත්‍තර ජීවිතයේ කිසිදාක අමතක නොවන සිදුවීමක් වනු නොඅනුමානය..
......................................................................
නාන කාමරයේ සිට එලියට එන විටම හමුවන එම්බාම් කාමරයේ දොර අසලම මා නතර වූයේ ඇයිදැයි නොදනිමි.. නිසොල්මන්ව ඒ වසා තිබූ දොර දෙස බලා සිටිද්දී මට ඇසුනේ හීන් කෙදිරිලි හඩකි එය ගැහැනියක ගේ ද පිරිමියෙකුගේද පැහැදිලි නොවුනත් මගෙ සිත කීවේ ඒ දොර විවෘත කරන ලෙසමයි.. අඩියෙන් අඩිය තබා ඒ දෙසට පියමැන්නෙමි... දකුණු අත දිගුකර දොර අගුලට අත තැබුවා පමණි කවුරුන් හෝ මගේ උරහිසෙන් අල්ලා තද කරනවත් සමග මා ගැස්සී ගියෙමි
" ආහ්...."
" මහත්තයා මොකද මෙතන .... ජොසෙ අයියා ඇතුලේ වැඩක් යමු උඩට..."
නපුරු පෙනුමක් මවා ගත් මයිකල් දැක මා සිත සලිත විය. ඔවුන් කුමක් හෝ සගවන්නේදැයි මට සිතිනි
" ආ... හරි මේ මේ සද්දයක් ආවා ඒකයි බැලුවේ..."
කියා ඔහු මග හැර මා උඩ තට්‍ටුවට යන විටත් මත්පැන් මේසය ට වටපිටාව සකස් කර තිබින.. කඩිසර ව පොඩ්ඩේ ඒ සියලු කටයුතු සිදු කරන අතර මයිකල් ද විත් එයට සහය විය.
" පොඩ්ඩේ කලින් ආවද ? "
මම ඇසුවෙමි ..
" කලින් නෑ සර්.. 9ට 10 යි වෙලාව.."
මා වේලාව බැලුවේ එවිටය.. ඒත් එක්කම තෙත බරිත වූ දෑත් පිස දමමින් ජෝසේ අයියාද එතැනට පැමින වාඩි විය..
" පොඩ්ඩේ.. අරකත් ලෑස්ති කරල ගනින්...මේ අර කොනේ ලයිට් එක තියලා මේ ඔක්කම නිමපන් වෙරල පැත්තෙ එකත් තියපන්..."
ජෝසෙ කියූ සැනින් පොඩ්ඩෙ පිටුපස දොරකින් පහලට දිව යනු දුටිමි..
" පොඩ්ඩෙ එනකල් අපි පටන් ගමු..."
අදුරේම ගල් අරක්කු බෝතලයක් අතට ගත් ජෝසේ අසල තිබූ වීදුරුවෙන් අඩක්ම පුරෝගෙන ඔහු අතින්ම මා අත තිබූ වීදුරුවටද අරක්කු වත් කර බෝතලය මයිකල් ට දිගු කලේය.
"චියර්ස්...."
යන ව්චනය තුන්දෙනාගේම කටින් පිටවෙද්දී එකිනෙක ගැටුනු වීදුරු හඩත් සමග අපගේ අල්ලාප සල්ලාපය ආරම්භ විය...
.............................................................................
පැය බාගයක් පමණ ගත වෙද්දී බෝතලය සිතුවාට වඩා වේගයෙන් හලා ගත් ඔවුන් දෙස මා බලා සිටියේ තවමත් පලමු වීදුරුවේ අඩක් පමණ තොලගාමිනි. එකෙනෙහිම දුම් දමන පීරිසියක් රැගෙන පොඩ්ඩේ එතැනට එන විට මයිකල් හා ජෝසේ එයට කෙල හැලුවේ මල පෙරේතයින් දෙදෙනෙකු මෙනි.
" අයියා .. මතක් වෙන්නත් එක්ක ෆොටෝ 1ක් ගන්නද..."
" ගනින් බං ගනින්..."
කියමින් ඔහු මස් දීසිය වෙතට අත දිගු කලේය ඔහුට දැන් කිසිවක් ගනනක් නැත...
ලද අවසරයෙන් දුරකතනය අතට ගත් මා එක් රූපයක් ගතිමි....
" හ්හ්හ්හ්හ්හ්....ඒ මොකක්ද.."
මට කියවුනේ චායාරූප යේ ෆ්ලෑශ් එලියෙන් මා දුටු විකාර රූපය නිසාය.. මා දුටුවේ ජෝසේ ගේ පුටුවට පිටුපා ඇති පඩිපෙලේ අවසාන පඩිය මත සිට ගෙන සිටි කාන්තා චායාවකි..
වහාම ඒ ගත් රූපය පරීක්ෂා කර බැලුවත් එහි කිසිවක් සටහන් වී නැත.. සැක හැර දැන ගැනීම සදහා නැවතත් ඒ ලෙසම චායාරූපයක් ගතිමි. හ්ම්ම් මෙවර එහි කිසිවක් නොවීය.. මටත් විකාර යැයි මට සිතිනි.
" මල්ලි කාලා බලන්නකෝ පීකුදු කෑල්ලක්... අපෙ පොඩ්ඩෙගේ වැඩ.. සුපිරිම තමා ඉතින්.."
බැලූ බැල්මටම එය රසවත් බව නම් සැකයක් නැත ඉදිරියට නැවී මස් කැබැල්ලට අත තබනවාත් සමග මගේ දුරකතනය නාද විය... මස් කැබැල්ල එතැනම තබා දුරකථන ය ගෙන සදලුතලය ට ගියෙමි..
" කියහන් මචන්...."
" කොහොමද වැඩේ ගොඩද..."
" අවුලක් නෑ... දැන් මේ කට්ටිය සෙට් වෙලා ඉන්නේ..."
" ඕක තමා වේලාව අහන්න තියන ඔක්කොම අහපන්. අර ගැනත් ශේප් එකේ අහපන්..."
ඔහු එතනින් පසු කියූ දේවල් මගෙ දෙසවනට නොගියේ මගේ මනස වෙනත් දෙයක තිබූ නිසාය.. සදලුතලයේ විදුලි ලාම්පුව නිසා මුලු වෙරලම පැහැදිලි ව පෙනිනි..
වෙරල කොනේ රැල්ල පාගමින් සිටියේ කාන්තාවක් බව හොදින් ම පැහැදිලිය ... ඇය බලා සිටියේ මුහුද දෙසයි.. ඇගේ කැරලි කෙස්වැටිය මුහුදු සුලගෙන් ගසා ගියේ ඉතාමත් අකීකරුවයි..
මෙතෙක් නිසොල්මන්ව සිටි ඇය හිමින් පියවර තබා මුහුද දෙසට ඇදෙන්නට විය.. ඉතාමත් ශාන්ත ගමනින් ඉදිරියට ඇදුනු ඇය රළ කැඩීම සදහා දමා ඇති ගල් වැටිය දෙසට පියමන් කලේය.. තව අඩි කිහිපයක් ඉදිරියට ගිය හොත් ඇය රැල්ලට බිලිවනු නියතය
" හෝව් හෝ....ව්.. කොහෙද ඔය යන්නේ වැටෙයි බලාගෙන...."
අත තිබූ වීදුරුවද බිම දමා මා දිව ගියේ ගල් වැටිය දෙසටයි... ඇය මේ කුමක් කරන්නට සැරසෙන්නේද මට සිතාගත නොහැකි විය.. හැමු තද සුලගෙන් කුපිත වූ සැඩ රැල්ල ගල්වැටියේ වැදී මහා හඩක් නංවමින් පුපුරා ගියේ පෙන වැස්සක් මවමිනි
දණක් පමන වතුර ඇති මුහුදු රැල්ලේ පා තබමින් ගොස් ග්‍රීස් මෙන් ලිස්සන ගල් වැටියට නැග ඉතා අසීරුවෙන් ඇයට කෑ ගැසීමි. ඒ වන විටත් ඇය ගල් වැටියේ අවසානයට ලංව ඇත..
" කවුද ඔයා... ඇයි මේ රෑ ඔතන.. රැල්ල සැරයි වැටෙයි බලාගෙන.... "
දෑත් එකට එක් කර මුවට තබා මුහුදේ හඩට ඔබ්බෙන් මා කෑ ගැසුවෙමි
එය ඇසුනාක් මෙන් ඇය ලයාන්විතව හිස හරවා මා දෙස බලා ඒ වේගයෙන්ම නැවත මුහුද දෙස බැලීය...
" දෙයියනේ ...."
මට කියවුනේ මුහුද පලා ඇදෙන විශාල රැල්ල දැකීමෙනි.. පලා යාමට කාලයක් නැතිනිසා ගල්වැටිය මතම වාඩි වී දෑතින් හිස බදා ගතිමි.. නිමේෂයක් ගතවිය.. දඩා..ං යන හඩින් වැටියේ වැදුනු රැල්ල කෑලි කෑලි කැඩී විසිවූ වරුසාවෙන් මගේ මුලු ගතම නැහැවී පෙගී ගියේය.
ඇස් වලට ගිය ලුනු වතුර පිසදා බලන විට ඇය එතැන සිටියේ නැත... ඇයට කුමක් වීද මට කිසිවක් සොයා ගත නොහැකි විය..
මෙය ජෝසේ අයියාට කිව යුතු යැයි සිතූ මා සීරුවෙන් ගල් වැටියෙ බැස වෙරල දිගේ එම්බාම් ශාලාවට දිව ගියෙමි. පසුපස දොරෙන් ගොඩනැගිල්ලට ඇතුල් වන්නට හැදුවා පමණි..
" අම්මෝ..." මට කෑ ගැසිනි
බැල්කනියේ සිට පහල ගොඩ ගසා තිබූ ගඩොල් ගොඩක් මත කවුරුන් හෝ පොලවේ ගැසුවා යැයි සිතෙන තරම් වේගයෙන් බිමට පතිත වූයේ මයිකල් ය.. වැටුනු වේගයෙන්ම ඔහු පරලොව ගියේ කොදු ඇට පෙල දෙකට කැඩී බව බැලු බැල්මටම පෙනී ගියේය..
" කොහ් කොහ් කොහ්..හ්හ්හ්හ් හ්හ්හ්හ්හ්"
නමුත් එසේ නැත දෙතුන් වතාවක් කහින ලද මයිකල් වැරෙන් හුස්ම ගන්නට විය
" මයිකල් අයියා මයිකල්...."
මට කීමට ලැබුනේ එපමණකි.. බැල්කනිය දෙසට දිගුකල ඔහුගේ සුරත පණ නැතිව කඩා වැටුනේ අවසන් හුස්මද පිට කරමිනි
" මොක්ක්ද මේ වෙන්නේ "
මට කිසිවක් සිතා ගත නොහැකි විය... මගෙ මුලු ගතම හිරිවැටී ඇති සේය
" ජොසෙ අයියේ ... පොඩ්ඩේ... "යැයි කෑ ගසමින් මම උඩට දිවුවෙමි..
" මොනවා... පොඩ්ඩේ.... පොඩ්ඩේ......."
ගෙල පසාරු කර යන පරිදි අරක්කු බෝතල් කටුවකින් පහර කා සිටි ඔහු පුටු පෙරලා බිම වැටී සිටියහ. මොන මගුලක්ද මෙතන වෙලා තියෙන්නේ... යැයි සිතන්නටත් පෙර සියල්ල අන්ධකාර විය.. සියලුම විදුලි පහන් නිවී මුලු පරිසරයම නිහඩ අදුරක ගිල්වීය..
" එපා... එපා.... "
නිහඩ බව බිදිමින් පහල මාලයේ සිට කෑ ගැසුවේ ජොසෙ අයියා බව මට හොදින්ම පැහැදිලිය . දුර කතනය අතට ගත්තේ අදුරේ මග සොයා ගැනීමටය ... නමුත් අවාසනාවක මහත.. ලුණු වතුරෙන් නැහැවුනු මාගේ සාක්කුවේ තිබූ දුරකථන ය අක්‍රීය වී ඇත..
" ශික් ශික් ශික්...."
බිත්තිය දිගේ අතගාමින් පඩිපෙල දිගේ පහලට බහින විටත් ජොසෙ ගේ බෙරිහන් දීම පැවතිනි. එය ඇසෙන්නේ එම්බාම් කාමරය දෙසිනි.. මා ඒ දෙසට දුවන විට මගෙ ඇගේ හැපී මල් වඩම් මල් පෝච්චි වැටෙන හඩ මට ඇසුනේ යක්ෂ සේනාවක් පොලොව පලාගෙන මා මරන්නට ඇදෙනවාක් මෙනි
" ජෝසේ අයියා.... ජොසෙ අයියා ...."
කෑ ගසමින් දොර තල්ලු කලත් එය ඇතුලතින් වැසී තිබිනි.. කොතරම් තල්ලූ කලත් එය සෙලවුනේවත් නැත.. කාමරය ඇතුලෙන් මරහඩ දුන් ජෝසෙ නිහඩ විය... තත්පර ගනනකට මට ඇසුනේ මගේම හුස්ම හඩත් හද ගැස්මත් පමණි
අවසන් වරට මා දොර තල්ලු කරත්ම එය පහසුවෙන් විවෘත වූයේ ඇතුලත අගුල ඉවත් කර දැමූ සේය... කාමරයෙන් වහනය වූයේ ඉතා අමිහිරි ගන්ධයකි.. එයටම මිශ්‍ර වු පිච්ච මල් සුවද එක දෙගුන තෙගුන කරවීය. කුටියේ කොනක ජනෙල් වීදුරුවෙන් වීදි ලාම්පුවක එලිය කාමරය තුලට පතිත විය.
" ආහ්...... අම්මෝ....."
එම්බාම් කාමරයේ කොනක වැතිර සිටියේ ලේ පෙරා ගත් ජෝසෙ අයියාය මට කිසිවක් සිතා ගැනීමට නොහැකිව බලා සිටියෙමි.. ජෝසෙ ගේ ගෙල සිට උදරය ඉවර වෙන තෙක් කපා විවෘත කර තිබුනේ කුනු ගොඩක් පහුරු ගෑ බල්ලෙක් මෙනි... ඔහුගේ මුහුන යක්ශයෙකු ට බිය වූ ආතුරයෙන් මෙන් විකෘති වී තිබින.
මා කුමක් කරම්දැයි සිතා ගත නොහැකිව වටපිට බැලුවෙමි.
" දෙවි හාමුදුරුවනේ .... නෑ නෑ මේක වෙන්න බෑ... "
බිය වූ මා වැටුනේ කාමරයේ දොර අසලයි.. මගේ දෑසින් කදුලු වැටෙන්නට වූයේ බිය පාලනය කිරීමට නැහැකි වූ තැනය.. එම්බාම් මේසය මත දිගාකර තිබුනේ මට වෙරලේ හමුවූ යුවතියයි... ඒ මුහුණ ඒ කැරලි කෙස් මට කිසිදා අමතක වන්නේ නැත..ඇගේ පපු ප්‍රදේශය කපා විවෘත කර නැවත මසා දමා තිබින..
" දෙයියනේ මේක කොහොමද වුනේ ඒ කෙල්ල මෙතන කොහොමද.... කවුද මේ කට්ටියව මැරුවේ...."
ක්ලාන්ත ගතිය සමග පොර බදිමින් මා කල්පනා කලේ මිනිමරුවා කවුරු වුවත් ඌ තවමත් ඇතුලත සිටිය යුතුය... එත් පිටවීමට තැනක් නැති වසා දැමූ කාමරයේ ජෝසෙ මරා දැමුවේ කවුරුන් ද. මගෙ සිත බියෙන් සලිත විය... සිතට ආවේ පැන යා යුතුයි යන්න පමණි
කෙතරම් බිය වුවත් මට සිතුනේ මෙහි කිසිම සාක්ශියක් ඉතුරු නොකර පලා යා යුතු බවයි...
අදුරේම හනික දුව ගොස් තෙත ඇදුම් බෑගයට දමා පාරට බැස බැස දිවුවෙමි .... මට යා යුතු දිශාවක් සිතා ගත නොහැකි විය.. මට සිහියට ආවේ මගේ යහලුවා පමණි...
" ඩොග් ඩොහ් ඩොහ්..."
" අඩෝ මොකෝ බං මේ..."
" වතුර... වතුර..."
මට මතක එපමනකි...
..........................................................................
දින 3 කට පසු
" මචං... උබ දැක්කද.... පත්තරේ අර සීන් එක ගිහින් අරන් බලපන්... "
" ඇත්තමද බං ... මොකක්ද පත්තරේ...."
" ඉරිදා ලංකාදීප බලපංකෝ..."
මා කාර්‍යාලයේ පත්තර මේසය දෙසට දිවුවෙමි..
" කෝ කෝ කෝ මේක...."
" මිනි මස් කෑ එම්බාම් කරුවෝ අභිරහස් ලෙස මරා දමයි....
පසුගිය බදාදා ( 13) දින හලාවත ප්‍රදේශයේ වෙරල ආසන්නයේ තිබූ මල් ශාලාවක පුද්ගලයන් තිදෙනෙක් අභිරහස් ලෙස ඝාතනය කර ඇති බව සදහන් වේ.. පොලීසිය පවසන අන්දමට බීමත්ව සිටි මොවුන් බීමත්ව එකිනෙකා මරා ගන්නට ඇතැයි විස්වාස කෙරේ.. නමුත් විශෙශ්ෂ නම් ඔවුන්ගේ කටගැස්ම සදහා යොදා ගත් එක් වර්ගයක් මනුෂ්‍ය අක්මාවක් වීමයි ... එහිම මුල්තැන්ගේහි තිබී අමු අක්මා කොටසක් ද පිගානක තිබී පීකුදු ලෙස පිසින අක්මා කැබලිද සොයාගෙන ඇත.. ( 4 පිටුවට )
මා හනික 4 පිටුවට පෙරලුවේ එහි ඉතිරි කොටස කියවීමටයි... නමුත් මගේ ඇස ගැටුනේ වෙනත් ප්‍රවෘත්තියකි..
" හලාවත වෙලර තිරයට නිරුවත් කාන්තා මලසිරුරක් ගොඩ ගසයි..."
පසුගියදා හලාවත වෙරල තීරයට නිරුවත් කාන්තා මල සිරුරක් ගොඩ ගසා තිබින මිනි මැරුමක් යැයි සැක කෙරෙන අතර මේ යුවතියගේ පපු කුහරය විවර කර අක්මාව සොරාගෙන නැවත මසා දමා තිබූ බව සදහන් වේ.."
දෙවියනේ මොකක්ද මේ වෙන්නේ... මේ කියන්නේ එම්බාම් කාමරයේ හිටපු කෙල්ල ගැනද.. ඒ කෙල්ල මුහුදට ගියේ කොහොමද...ඒ කියන්නේ අරුන් මට කවන්න හැදුවේ මේ කෙල්ල මරල ගත්ත අක්මාවද.. නැත්තම් මැරුනට පස්සේ ගත්තද.. එතකොට කවුද අර ගල් වැටිය උඩ හිටපු කෙල්ල... අරුන්ව මැරුවේ මේ කෙල්ලද.. ඇයි මට මුකුත් නොකලේ... කිසිවක් සිතා ගැනීමට නොහැකිව මා එතැනම වාඩි විය.. කවදාවත් විසදාගත නොහැකි අභිරහසක් මගෙ සිතේ තැන්පත් විය..
නිමි
........................................................................
මුහුදුබඩ පලාත් වල සිදුවන සත්‍ය සිදුවීම් ලෙස මිනි මස් කන මිනිසුන් වාර්තා වී ඇත. එවැනි සිදුවීමක් අලලා රචනා කරන ලද නිර්මාණයකි

Source: Link

11 October 2017

---මහසෝනාගේ හෝරාව---


සියාතුගේ මලගෙදරට මිනිය බලන්ඩ ආපු කාගේත් කතාව වුයේ ගමේ දින තුනකදී සිදුවූ මරණයන් තුන පිලිබදවයි.
" බලපන්කො ගහක් ගලක් වගේ හිටපු මිනිස්සු තුන්දෙනේක්නේ මෙහෙම හේතුවක් හොයාගන්ඩ බැරිව මරුනේ හරියට ගමට යකෙක් ඇවිල්ල බිලි අරගෙන යනවා වගේ"
අප්පු හාමි පැවසුවා
" තුන්දෙනාම මරුනේ මහා රෑ "
මරතේරිස් පැවසුවේ බුලත් කෙල පාරක් මිදුලට ගහන ගමන්.
" මටනම් බයේ බැ දැන්නම් රෑට තනියම එලියට පහලියටවත් යන්ඩ "
ඒ ගුනේරිස්.
ඔවුන්ගේ කතාවලට මදක් ඇහුන් කන් දෙමින් සිටි සිරියා යටි හිතෙන් හිනාවුනා. ඇය බොමින් සිටි සුරුට්ටුවේ දුම නහයෙන් පිට කෙරුවා.
"අනේ මෙහෙමත් පිරිමි ලැජ්ජා නැතිව සරන් ඇදන් ඉන්නවනේ බයගුල්ලෝ"
සිරියා සිතුවේ එහෙමයි. ඇය වටපිට බැලුවා. #තැනක කට්ටියක් කාඩ් සෙල්ලන් කරයි. තව තැනක කට්ටියක් දාන් අදියි.
" දැන් ගෙදර යන්ඩ ඕනේ "
සිරියා පුටුවෙන් නැගිට්ටේ එහෙම හිතාගෙන.
" මං යනවා උබල දැන්ම ගෙවල් දොරවල් වලට යන්නේ නැනේ "
ඇය අසල උන් මිනිසුන්ට කිවේ පොදුවේ. මියගිය සියාතුගේ බිරිද ඒ ඇසි එලියට ආවා. දවසම අඩ ආඩා සිටි ඇයගේ මුණ තිබුනේ ඉදිමිලා.
" සිරියා මේ රෑ යන්ඩ එපා අද ඉදල හෙට උදේ යමන් නංගියේ අද හදත් නෑ අනික අපේ ගමට මේ දවස්වල වෙන්නෙත් එච්චර හොද දේවල් නෙමේ "
සියතුගේ බිරිද කිව්වේ සිරියාගේ ගමන නවත්තන්ඩයි.
"අනේ ඕවට මං බයවෙයි අක්කේ "
සිරියා මිදුලට බැස අදුරේ නොපෙනී ගියේ සමච්චලේට වගේ හිනාවකුත් වෙලා අවසානේ. අමාවක දවසක මළ ගෙදරක සිට තනියම කට්ට කරුවලේ සිරියා ගිය දෙස මළගෙදරට රැස්ව සිටි අය බලා සිටියේ පුදුමයෙන්.

" මේකිනම් මහා යක්ෂ ගෑනියක් නොවැ පිරිමියෙකුටත් නැති නිර්භීත කමක් තියෙන්නේ "
අප්පුහාමි පැවසුවේ පුටුවක හිද ගනිමින්.
" ඔව් ඉතින් සිරියා කරන්නෙත් පිරිමි කරන වැඩමනේ සුරුට්ටු බොනවා ගස් වල නැගල පොල් කඩනවා කරත්ත දක්කනවා "
මරතෙරිස් කියා ගෙන කියාගෙන ගියා එකදිගට.
" මගේ හිතේ සිරියා ඉපදිලා තියෙන්නේ පිරිමි නැකතක "
" ඔව් ඉතින් නැත්නං මේ මහා රෑ ඔය පාලු පාරේ මොන ගෑනිද තනිපංගලමේ යන්නේ අනික මිණී පිටිය ලගිනුත් යන්ඩ එපයි අද හවස පුච්චලා දාපු ටිකිරි බණ්ඩාගේ දර සෑයත් තවම පිච්චෙනවා ඇති. ඔය වගේ තැන්වල යක්කු වැහි වැහලා"
අප්පු හාමි තව පාරකට බුලත් විටක් කන්න සිතා බුලත් කොලයක හුණු ගෑවා.


සිරියා ඔය මොන යකෙකුටවත් බය නැතුව ඉදිරියටම ඇදුනා සුරුට්ටුවකුත් උර උර. කරුවලේ ගමන් ගොස් සිටි ඇයගේ ඇස් කලුවරට හොදටම දැන් හුරුය්. ඇයට ඇගේ ගෙදරට යාමට තවත් සැතපුම් දෙකක් පමන පයින් යාමට ඕනෑය. දැන් ඇය පැමිණ ඇත්තේ මිනිස් වාසයක් කොහොමවත් නැති ඉසව්වකටයි. මිනිස් කටහඩක් අසන්නටවත් නොලැබෙන ඉසව්වේ නිශාචාර සතුන්ගේ හඩනම් නොඅඩුව ඇසුනේ මහා මූසල විදිහට.
එක පසකින් නරින්ගේ හු හඩ වෙන කෙනෙකුගේ නම් සිතේ බිය ජනක සිතුවිලි අවදිකරයි. තවත් පසෙකින් බස්සන්ගේ හ්ම් හ්ම් හඩයි. දැන් සිරියා මළගෙදරින් දල්වාගෙන ආ සුරුට්ටුව ඉවර වෙන්ඩත් ලන්වෙලා. ඇය ලග තව සුරුට්ටු තිබුනද ඒවා දැල්වීමට ගිනි පෙට්ටියක් නම් ඇය ලග තිබුනේ නෑ.


එකවරම සිරියා යන ගමන් මගේ ඉදිරියේ තිබු පදුරක් අසලින් ඇය ඉදිරියට පැන්නේ විශාල සතෙක්. ඉන් මදක් ඇය කලබල වුනා. අදුරට හුරු වී තිබුණු ඇස්වලින් ඇය දුටුවේ තඩි වල් උරෙක්. ඌ කෑ ගසමින්ම ඉදිරියට දුව ගොස් යලිත් ගස් අතරින් සැගව ගියේ හීයක වේගෙන්.
ඉන් සිරියා මදක් කලබල වුනත් ඇය ඉදිරියටම ගියා.
දැන් සිරියාගේ සුරුට්ටුවේ වෙන උරන්නට දෙයක් නැ. ඇය සුරුට්ටු කොටය විසි කර දමා යලිත් ඉදිරියට ගියා. යලිත් තමා ඉදිරියේ හෙමින් සැරේ සතෙක් යන බව සිරියාට ඇසෙන්නට වුනේ මේ සමගයි
." තවත් වල් උරෙක්වත්ද? . "
නැත මෙවර වල උරෙක් නෙමේ ඒ විශාල කළු මී හරකෙක්ය. ඌ සිරියා ඉස්සරහින් ගියේ කෑ ගසමින්. සිරියාද ඒ පසුපසින් ගමන් කරන්නට වුනා.
" දැන් පරිසරය එන්න එන්නම සීතලයි. සිරියාගේ අත පය පවා ගැහෙන්නට තරම් ඒ සීතල දරුනුයි.. එකවරම ආ සීතල ගැන සිරියාද හිටියේ මදක් පුදුමයෙන්.
" දැන්නම් සුරුට්ටුවක් උරන්ඩ තිබුනානම් නියමයි. ඒත් කොහෙන්ද ගින්දර. "
ගිනි පෙට්ටිය අමතකව පැමිණීම නිසා ඇය සිටියේ බලවත් කනස්සල්ලෙන්. ඇය තමාටම බැණ ගත්තා. මී හරකානම් කිසිම ගානක් නැතිව කෑ ගසමින් තවමත් ඉදිරියෙන් යයි.

මදක් දුරක් යද්දී සිරියාට සිතට සහනයක් ගෙන දෙමින් ඇය යමක් දුටුවා. ඇය එතනට කිට්ටු කරන්නට වුනේ සැනසුම් සුසුමක් හෙලා. මී හරකාද දැන් සිටින්නේ එතනට ගොස් නිදාගෙනයි. වෙන කෙනෙකුනම් ඒ දසුන දුටුවේනම් සිතන්නේ හැකි ඉක්මනින් ඒ දෙසවත් නොබලා හැකි ඉක්මනින් ඒ ඉසව්වෙන් පිටව යාමටයි. නමුත් සිරියා ඕවාට බිය නැත. ඇය ඉක්මනින්ම එතනට ගමන් කළා.
ඇය ගමන් කලේ වෙන කොහාටවත් නෙමේ. මෙදින හවස මිනි පිටියේ මියගිය ටිකිරි බණ්ඩා පුච්චන ලද දර සෑය ලගටයි. එය තවමත් පිච්චෙමින් පැවතුනේ රන්වන් පාටින්. මිනිසුන් වලදමන ලද මිණී පිටියේ පස් ගොඩැලි අතර දර සැයේ දැල්වෙන ගිනි අගුරු තිබුනේ විරාජමානව.
" මගේ වෙලාව හොදයි,,,,,දැන් මේ අගුරු වලින් සුරුට්ටුවක් පත්තු කර ගන්ඩ පුළුවන් සීතලට නියම තැන "
සිරියා දැවෙන දර සෑය අසල අනකුටු ගසමින් සිතුවා. ඇය හැට්ටය අස්සෙන් සුරුට්ටුවක් ගන්න ගමන් මී හරකා ඉන්න තැන දෙසද බලන්නට අමතක කලේ නෑ. මී හරකා ඇය කරන්න යන දෙය දෙස බලන් සිටියේ ගිණී ගත් දෑසේන්. සිරියාට ඒ ගැන ගානක් නෑ. ඇය දර සැය දෙස බලාන කතා කරන්නට වුනා ඊට පස්සේ.
" කොහොමද ටිකිරි බන්ඩෝ ඔන්න මං උබේ තනියට උබත් එක්ක කතා කරන්ඩ ආවා "
ඇය සුරුට්ටුවක් උරමින් නහයෙන් දුම පිට කළා. එවිටම ඇය පිටුපසින් යම් කිසි හඩක් නැගුනු අතර සිරියා පිටුපස හැරී බැලුවේ කුතුහලයෙන්. පළමුව ඇය දුටුවේ කාල වර්ණ ශරීරක්.
ඇය ඉහලට ඇස් යොමු කෙරුවා.

"දෙයි හාමුදුරුවනේ"
කවදාවත් බිය හදුනන් නැති සිරියාව බයකරන්නට ඇය දැකපු දේ සමත් වෙලා තිබුනා.
ඇය ඉදිරියේ සිටියේ කාලවර්ණ ශරීරයක් හෙබි මිනිහෙක්.. නෑ. ඔහුට මිනිසෙකු කියන්නට කෙසේවත් බැරිය. ඔහුගේ ඔලුව කළු පාට වලස් හිසකින් යුතු වූ අතර ඉදිරිපස හිසකෙස් තිබුනේ බට ලී වගේ කෙලින් වෙලා. පසුපස හිසකෙස් පහතට වැටි තිබුන. ගිනි ගෙන දැවෙන ඇස් ගොරකා මද මෙන් ඉදිරියට නෙරා විත් තිබු අතර බෙල්ලේ මිනිස් හිස් කබල් වලින් යුත් එල්ලෙන මාලයක් තිබුනේ හෙලවෙමින්. කට වටේටම තිබුනේ රතු ලේ .. ඒ වා කටෙන් පෙරි පෙරී තිබ්බා. එක අතක අතක තියුණු හෙල්ලයකි.
" ක... ක කවුද උබ "
සිරියා ඇසුවේ බියෙනි.
" මමද,,,,,, මං තමා මහාසෝනා "
ගොරහැඩි කටහඩින් ඔහු පවසන විට සිරියා හොදටම බිය වුනා.
මේ නම් නියත ලෙසම මහසෝනාම බව සිරියා සිතුවේ වෙව්ලමින්. ඇය ඉක්මනින් නැගිටිමින් අඩි දහයක් පමණ ඉදිරියට දිව ගියේ උගෙන් බේරෙන්ඩ හිතන්. ඒත් සිරියාට දිව යන්න හැකිවුණේ ඒ අඩි දහයම පමනයි. යකඩ අතකින් අල්ල ගත්ත මෙන් ඇගේ බෙල්ල පිටුපසින් අල්ලාගත් මහසෝනා ඇයව ඉහලට එසෙව්වා.
" අනේ මට යන්න දෙන්න මම මොකද්ද ඔබතුමාට කල වරද "
" වැරද්ද තෝ මට කැපවෙලා තිබ්බ මේ සැයේ දරවලින් සුරුට්ටු පත්තු කෙරුව "
" අනේ මං එහෙම දෙයක් දැනගෙන හිටියේ නෑ මට අනුකම්පා කරන්ඩ "
" මම ලග සමාව කියලා දෙයක් නෑ "

පසුදා සියාතුගේ මිනිය වල දමන්ට වළක් කපන්ඩ ආ ගම්මු දුටුවේ ඊයේ පුච්චන ලද දැන් දැවී ගොස් අළු වී ඇති ටිකිරි බණ්ඩාගේ දර සෑය අසල වැටි මියගොස් සිටින සිරියාගේ නිසල සිරුරයි. ඔවුන් ඒ ලගට කිට්ටු වී බලන්නට වුනේ නොසන්සුන්වෙමින්.
ඇස්

ලොකුකරගෙන මිය ගොස් සිටි සිරියාව දකින කාට වුවද බිය සිතේ.
" මහසෝනා ගහලා පෙන්නේ නැද්ද බෙල්ලේ දම් පාටින් ඇගිලි පහම තියෙනවා "
එක මිනිසෙකු කිව්වෙ මැරුන සිරියගේ බෙල්ල දෙසට ඇගිල්ල දික්කරන්.
"හ්ම්ම්ම්ම්ම්ම්,, ඒක තමා වෙලා තියෙන්නේ ,, මට තවත් මැවි මැවී පේනවා ඊයේ සිරියා මලගෙදරින් ආපු හැටි"
තවකෙකු කිව්වා.
" ඒක නෙමේ සිරියා එක්ක අදට අපේ ගමේ එකපිට දවස් හතරක හතර දෙනෙක් මරුනා , නේද????,,මටනම් දැන් ගමේ ඉන්ඩත් බයයි. මේ ගම මහාසෝනට බැල්ම වැටිලා තියෙන්නේ හෙට කාට නපුරක් වෙයිද දන්නේ නෑ "

තව මිනිසෙකු කිව්වේ බයෙන් වගේ.
ඔවු සමහරවිට ඒක වෙන්ඩත් පුලුවන්. ඊලග දවසෙත් මිනිසෙකු බිලිබා ගන්නට මහසෝනා එදින රාත්රිය එළබෙන කම් ඉවසිල්ලක් නැතිව බලාන ඉන්නට පුළුවන් ,,, කොහාට හරි වෙලා.

නිමි.

09 October 2017

---භූතාත්ම වෙතින් කලාව උගත් ලොව හොඳම ගුප්ත චිත්‍ර ශිල්පිනිය---


දන්නා දවසේ සිටම ඇය ආසා කළේ සුසාන භූමි, සොහොන් ගෙවල්, සොහොන් ගල් සහ ආදාහනාගාර යනාදියටය. කතෝලික සම්භවයකින් එන රටක්‌ වන එංගලන්තයේ ජනයා වැඩි වශයෙන් මෘත දේහ භුමදානය කළ ද සෙසු පිරිස ආදාහනාගාර වෙත යොමු වූහ. තම සිරුර පොළොවට පස්‌ කරනවාද, නැත්නම් අළු බවට පත් කර ගංගාවක හෝ සාගරයක විසුරුවා හරිනවාද තීන්දු කරන්නේ කෙනෙකුගේ අන්තිම කැමැත්තයි. මේ දෙවනුව කී චාරිත්‍රය හින්දු චාරිත්‍රයක්‌ වුවද, කතෝලික සමය පවතින ඇතැම් රටවල බහුලව සිදු කෙරෙයි. අප කියන මේ 'ඇය' හෙවත් කොරල් පොල්ගී (Coral Polge) ළමයකුව සිටි කාලයේදී මළ මිනිසුන්ගේ අළු දමන ගංගා සහ මිනී දවන ආදාහනාගාර අසල හුදෙකලාව හිඳගෙන චිත්‍ර අඳින්නට පුරුදුව සිටියාය. මේ දැරිය වැඩිහිටි ගැහැනියක ලෙස ජීවිතය කෙලවර කරන්නේ 'ගුප්ත චිත්‍ර කලාව' හෙවත් භූතාත්මවල උපකාරයෙන් චිත්‍ර කර්මයෙහි යෙදුණු ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පිනියක ලෙස ය. උඩුකය චිත්‍ර ඇඳීමෙහිලා ඇය තුළ තිබූ හැකියාව ඉතා විශිෂ්ටය. එහෙත් ඇය හැම විටම ඇන්දේ තමා විසින් කිසි කලෙකත් හැබැහින් නොදක්‌නා ලද අයගේ උඩුකය චිත්‍ර ය. සිය මියගිය ඥතියකු හෝ මිත්‍රයකුගේ චිත්‍රයක්‌ ඇඳ ගන්නට කෙනෙකුට ඕනෑ වූ විට කළ යුතුව තිබුණේ මියගිය පුද්ගලයා ජීවතුන් අතර සිටියදී පරිහරණය කළ දෙයක්‌ හෝ ඔහුගේ අත් අකුරු සහිත ලියුමක්‌ ගෙන කොරල් පොල්ගි හමුවීමය. ඊළඟ මොහොතේදී ඇය චිත්‍රය අඳින්නට පටන් ගනී. එය හරියටම මියගිය පුද්ගලයා හා සමාන වන අතර එම චිත්‍ර ඇනවුම රැගෙන ඇය වෙත එන අයට අවශ්‍ය චිත්‍රයම වන්නේය. ඇනවුම ගෙනෙන්නාට අවශ්‍ය වන්නේ මියගිය තැනැත්තාගේ පැති පෙනුම සහිත චිත්‍රයක්‌ නම් කොරල් පොල්ගී ඒ බව නො අසාම පැති පෙනුම ඇඳ දෙයි. අවශ්‍යතාව ඉදිරි පෙනුම නම් ඒ බව නොකීවද කොරල් පොල්ගී එම චිත්‍රය අඳී. චිත්‍රය ඇඳ ගන්නට එන අයගෙන් ඇය කිසි විටෙකත් ප්‍රශ්න අසන්නේ නැත. කෙනකුගේ මතය වන්නේ මෙලොව පහළ වූ එකම ගුප්ත චිත්‍ර ශිල්පිනිය කොරල් පොල්ගී බවය. මේ චිත්‍ර කලාවට Spiritual Art යනුවෙන් කීවද එය සිංහලට පරිවර්තනය කිරීමේදී ගුප්ත විද්‍යාව අනුසාරයෙන් කරන කලාවක්‌ නිසා ගුප්ත චිත්‍ර කලාව යන්න වඩා යෝග්‍ය ය.

ගුප්ත චිත්‍ර කලාවට ඉතිහාසයක්‌ තිබේ. අබිරහස්‌ මිනීමරුවන්ගේ ස්‌වරූපය වචනයෙන් විස්‌තර කරන ගුප්ත ශාස්‌ත්‍රඥයෝ ලෝකයේ විවිධ රටවල සිටිති. ප්‍රශ්නය ඒ මිනිසුන්ට චිත්‍ර ඇඳීමට බැරි වීමය. එහෙත් කොරල් පොල්ගී ට මියගිය තැනැත්තියගේ හැඩ රුව වචනයෙන් විස්‌තර කරන්නට බැරිය. ඇය දන්නා එකම ශිල්පය ඒ රූපය ඇඳ දීමය. පළමුවැනි ක්‍රමයට වඩා මේ දෙවැනි ක්‍රමය ප්‍රායෝගිකය. ඇය චිත්‍ර අඳින්නේ පැන්සලයෙනි. නැත්නම් පැස්‌ටල්වලිනි.

කොරල් පොල්ගී සිය අසමසම හැකියාව යුරෝපය, ස්‌කැන්ඩිනේවියානු රටවල්, කැනඩාව, ඇමරිකාව, ඔස්‌ටේ්‍රලියාව යන රටවල ප්‍රදර්ශනය කර ඇත. ඇය චිත්‍ර අඳින අයුරු වාර්තා චිත්‍රපටකරුවන් විසින් රූපගත කරනු ලැබ තිබේ. ඇය ඇතැම් තැනෙක චිත්‍ර අඳින විට එම අවස්‌ථාව පුළුල් තිර ප්‍රොජෙක්‌ටර මගින් විශාල කර පෙන්වූ අවස්‌ථා තිබේ. (Coral Polge) යන නම අන්තර්ජාලයෙහි ටයිප් කළ විට ඇය ගැන ඇති වෙබ් අඩවි සහ Youtube චිත්‍රපට රැසක්‌ බලාගත හැකිය. ඇය චිත්‍ර අඳින විට එම චිත්‍රයකින් මියගිය පුද්ගලයකු මතුවන විට එම පුද්ගලයාගේ ඥාතීන් හඬා වැටුණු අවස්‌ථා බහුලය. විද්වතුන් කියන්නේ ඇයට අධි මානසික ශක්‌තියක්‌ ඇති බවය. සමහරු ඇය සැක කරති. එහෙත් ඒ සැක සංකාවලින් ඇයට කිසි කලෙකත් වැඩක්‌ නොවීය.



නැඟෙනහිර ලන්ඩනයේ ඉපදී හැදී වැඩෙන කොරල් පොල්ගී ළමා වියේ සිටම මරණය නමැති සංසිද්ධිය කෙරෙහි මහත් උනන්දුවකින් පසු වූවාය. ඇය මුලින්ම අඳින්නේ සොහොන් ගල් අතර සැරි සරමින් හඬා වැළපෙන්නේ යෑයි කියන සුරංගනාවන්ගේ චිත්‍ර ය. චිත්‍රපට ශාලා කළමනාකරුවකු වන කොරල් පොල්ගී ගේ පියා පසු කලෙක එංගලන්තයේම හැරෝ නමැති පළාතට මාරුවක්‌ ලබයි. මුළු පවුලම එහි යති. එහිදී ඇය හැරෝ නගරයේ චිත්‍ර කලා පාසලට ඇතුළත් වන්නීය. එහෙත් ඇය නිතරම අඳින්නේ ගුරුවරයා කියන දෙය නොව ගැහැනුන් හා පිරිමින්ගේ මුහුණු ය. ඇයගේ චිත්‍ර ඉතා නිවැරැදි පරිමාණයන්ගෙන් යුක්‌ත බව ගුරුවරු පිළිගනිති. එහෙත් ඇයට චින්තනමය හැකියාවක්‌ නැති බව ගුරුවරු කියති. ඇයට භූමි දර්ශන ඇඳිය නොහැක. කෙනෙකුගේ රුව දෙස බලාගෙන එය හරියටම ඇඳිය නොහැක. දිනක්‌ ඇගේ ගුරුවරියක්‌ තම උඩුකය චිත්‍රයක්‌ අඳින ලෙස කොරල් පොල්ගී ට නියම කරයි. ගුරුවරිය දෙස එක වරක්‌ පමණක්‌ බලන ඇය ටික වේලාවකින් චිත්‍ර ඇඳ නිම කරයි. චිත්‍රය දෙස බලන ගුරුවරිය ක්‌ලාන්තව ඇඳ වැටෙන්නීය. එහි සිටින්නේ ගුරුවරියගේ මියගිය මවය. තමාට චින්තනමය ශක්‌තියක්‌ නැති බව වාසියක්‌ යෑයි දිනක්‌ ඇය කීවාය. "චින්තනමය ශක්‌තියක්‌ තිබෙන විට අප අඳින්නේ අපට අවශ්‍ය දෙයයි. එබඳු ශක්‌තියක්‌ නැති විට එතැන හටගන්නා රික්‌තයට පිවිසෙන භූතාත්මය තමන්ට අවශ්‍ය චිත්‍රය මා ලවා ඇඳ ගනී" ඇගේ තර්කය සැබෑවකි. ජීවතුන් අතර සිටින අයගේ උඩුකය චිත්‍ර ඇඳීමට හැකි අය ඕනෑ තරම් සිටිති. එහෙත් පින්තූර නැති මළගිය ප්‍රාණකාරයකුගේ චිත්‍ර අඳීමට හැකි අය මිහිමත නැත.

කොරල් පොල්ගී (Coral Polge) ගුප්ත විද්‍යාව හෙවත් මනුෂ්‍යයන්ගේ අධ්‍යාත්ම හරහා ගනුදෙනු කිරීමේ කාර්යය ඉගෙන ගන්නේ වයස 23 පිරුණු විට රූමත් තරුණියක ලෙස ය. විවිධ ප්‍රශ්නවලදී ලන්ඩනයේ අඳුරු වීථිවල සිටින ගුප්ත විද්‍යා ශාස්‌ත්‍රකරුවන් සොයා යන්නට ඇගේ මාපියෝ පුරුදුව සිටියහ. එහෙත් ඔවුන්ට කිසිදු ආකාරයක චිත්ත බලයක්‌ තිබුණේ නැත. කොරල් ගේ නැන්දණියක වතුර පිරවූ කෝප්පයක්‌ දෙස බලාගෙන ශාස්‌ත්‍ර කීමට දැන සිටියාය. ඒ පවුලේ කාටවත් එතැනින් එහා කිසිදු සුවිශේෂී චිත්ත බලයක්‌ තිබුණේ නැත. මේ අතර එක්‌ රාත්‍රියක කොරල් පොල්ගී, හැරෝ නගරයේ අධ්‍යාත්මික දේවස්‌ථානය ලෙස හැඳින්වෙන ස්‌ථානයකට යයි. ඇය මියගිය අයගේ චිත්‍ර ඇඳීමේ හැකියාව ඇත්තියක බව එහිදී ඇයට කිසිවෙක්‌ කියයි. මෙයින් පසුව ද විවිධ අවස්‌ථාවලදී ගුප්ත චිත්‍ර කලාවට යොමුවන ලෙස භූතාත්ම ඇයට දන්වති.


කොරල් පොල්ගී මුල් වතාවට විවාහ වන්නේ 1950 දීය. ගැහැනියක වීමට තීරණය කරන ඇය හුදෙකලාව සිටින විට පැන්සල් හා කොළ කැබලි ගෙන විවිධ දේ ලියයි. එසේ ලියන දේ තමන්ට අවශ්‍ය දේ නොව පිටස්‌තර බලවේග විසින් කියනු ලබන දේ බව ඇයට වැටහෙයි. මේ අනුව ඇය ගුප්ත ශාස්‌ත්‍රය ඉගෙනීමට තැනක්‌ සොයයි. එහෙත් ගුප්ත ශාස්‌ත්‍ර පාසල් ලන්ඩයේ නැත. හැරෝ ප්‍රදේශයේත් නැත. මේ අතර ඇය තමන් අසල කිසිවකු සිටින විට අඳින චිත්‍රය සිය පියා හෝ මවගේ රූපකාය බව ඇය අසල සිටින්නා කියයි. ඇගේ ගුප්ත චිත්‍ර කලාවේ නිසි ආරම්භය එතැනයි. ඇය මියගිය අයකුගේ චිත්‍රයක්‌ ඇඳ නිම කරනනේ විනාඩි කිsහිපයක්‌ තුළ ය.

ඇගේ පළමු විවාහය කඩා වැටෙන්නේ ද මේ ගුප්ත ශාස්‌ත්‍රය නිසා ය. ඇය දෙවන වරට විවාහ වන්නේ ටොම් ජොන්සන් සමඟය. ඔහු බ්‍රිතාන්‍ය ගුප්ත ශාස්‌ත්‍රඥ සංගමයේ ලේකම් ය. 1984 වන විට ඇය විසින් අඳින ලද මළගිය ප්‍රාණකාරන්ගේ පින්තූර ප්‍රමාණය 90000 කි. (Worlds Greatest Mystics) පොතෙනි.

අනුර සොලමන්ස්‌

08 October 2017

---මළගිය ආත්ම සිටින බ්‍රිතාන්‍යයේ අත්භූත වාසභවන---


මෙලොව පණ ඇති මිනිසකු අඩිය නොතබන කුරිරුකම් ගැබ්ව ඇති නපුරු දුෂ්ට ආත්මයන්ගෙන් සැදුම්ලත් ස්‌ථාන තිබෙන බව විශ්වාස කරන මිනිසුන් අදටත් සිටී. විවිධ අපරාධවලට ලක්‌වූවන් සහ ඇතැම් දුෂ්ට පුද්ලයන්, මරණයට පත්වීමෙන් ඔවුන්ගේ ආත්ම ද්වේශසහගත සිතිවිලිවලින් පණ ඇත්තවුන් පෙළීමට ලක්‌ කරන්නේය. යනු ඔවුන් විශ්වාස කරන ඒ එක්‌ මතයකි.

යුරෝපයේ, හිරු නොබසින අධිරාජ්‍යය සේ සැලකෙන මහා බ්‍රිතාන්‍යයේ අඳුරින් පිරුණු එරට වැඩිම මළගිය ආත්ම ගණනක්‌ වෙසෙනවා යෑයි සැලකෙන ඇඟ කිළිපොළා යන අත්භූත වාසභවන ගැන කියෑවෙන මේ කතාව එවැන්නකි.

බ්‍රිතාන්‍යයේ ESSE ග්‍රාමයේ "ඔසිත් (EYTH) නම් වීදිය තුළ පිහිටා තිබෙන ශතවර්ෂ ගණනාවක්‌ පැරැණි මෙම නිවස බැලූබැල්මට තේජාන්විතය. එහෙත් එහි ඇතුළත සැරිසරන්නේ, ද්වේශසහගත ආත්මයන්. යුරෝපයේ ප්‍රබල මිථ්‍යාවක එන, එළුවකුගේ හිසක්‌ සහිත ඉතා දුෂ්ට, නපුරු යක්‌ෂ ආත්මයේ රුදුරු බලපෑම දැන් මේ නිවස වෙළාගෙන තිබෙන්නේ.




මෙම නිවසේ අත්භූත බලපෑම් ආරම්භ වීම පිළිබඳ ඉතිහාසගත 20 වන සියවසටත් එහාට ඇදී යන්නකි. පෙරදී මෙය දරුණු සිරකරුවන් ගෙන එන ලද සිරගෙයකි. (මධ්‍යතන යුගයේ) කාලයත් සමඟ සිරමැදිරි තුළ සිටින සිරකරුවන් මරණයට පත්වීමත් සමඟ, ඔවුන්ගේ ද්වේශ සහගත ආත්මයත්, මේ නිවසේ සැරිසැරීමට පටන් ගැනුණි. 16 වන සියවසේදී මේ නිවස තුළදී ගුප්ත මායා දන්නා (මායාකාරියන්) කාන්තාවන් අටදෙනෙකු අනේක විද වධ දීමෙන් අනතුරුව මරා දැමූ බවට වාර්තා වේ. රුදුරු පීඩා ආරම්භවීම සිදුව ඇත්තේ ඉන් අනතුරුවය.

මිත්‍යා විශ්වාස හෝ මනෝ ප්‍රබන්ධ හෝ වේවා මිනිසුන් විශ්වාස කරන අන්දමට අත්භූත බලවේග ලොව සත්‍ය වශයෙන් පවතින බව බොහෝ දෙනා අත්දැකීමෙන් දන්නා කරුණකි. නමුත් ඇතැමුන් එය විශ්වාස කරන්නේ නැත. මෙම නිවසේ වර්තමාන හිමිකාරිය, වැනීසා මිචෙල් (Vanesa Mitcell) 2004 වසරේ මෙම නිවස මිලදී ගන්නා විට එහි පවත්නා අන්තරාය ගැන අල්පයකුදු දැන සිටියේ නැත. ඉන් අනතුරුව ගැමියන් විසින් භූතාත්මය ගැන ඇයට පැහැදිලි කරදුන් පසුවද, ඇය සිදුකළේ, සිනාසී, එසේනම් එය නරකක්‌ නොවන බව ඔවුන්ට පැවසීමය. නමුත් ඇය සැබෑ නරකාදියකට වැටුණේ ඉන් අනතුරුවය. තම වැඩිමල් පුත් ජෙසී සමඟ නිවසේ පදිංචියට එන විට ඇය මාස අටක ගැබිනියකි. මුලින්ම ඇයට විවිධ ශබ්ද ඇසීමට පටන් ගැනුණි. ඉන් අනතුරුව විවිධ අත්භූත රූප පෙනෙන්නට පටන් ගැනුණි.

ඇතැම් අවස්‌ථාවල නිවස පුරාම ඝන රුධිර පැල්ලම් වැටී තිබුණ අවස්‌ථාද, දක්‌නට ලැබුණු බව ඇය පවසන්නීය.
මම විශ්වාස කරනවා මේ නිවස තුළ සැබෑවටම යක්‍ෂයකු වෙසෙනවා, මම එය අත්දැකීමෙන්ම දන්නවා. මෙහි ජීවත් වූ අවුරුදු කිහිපය තුළදී නිවස තුළ සැරිසරන අඳුරු ආත්මයන් මම දුටුවා. මට නිතරම දැනුණා කවුරුන් හෝ මගේ පිටුපසට තදින් පහරදෙන බවක්‌ මම ඒ වන විට ගැබිනියක්‌ නිසා මේ අත්භූත දේ සමඟ නිවස තුළ සිටීම කිසිසේත්ම සුරක්‌ෂිත වූයේ නැහැ. ඇය පවසන්නීය.

එක්‌ වරක්‌ ඇය CCඔඪ කැමරා තුළින් නිවස පිටතත් ඇතුළතත් නිදැල්ලේ සැරිසරන ආත්මයන්හි ඡායාරූප ලබාගත්තේය. ඒ ඡායාරූපවලින් දරුණු යක්‍ෂයාගේ ප්‍රතිරූප විද්‍යාdමාන වන බව ඇගේ අදහස විය. වැනීසා මිචෙල්, මේ වනවිට මේ නිවසේ පදිංචි වී නොසිටියත් ඇගේ අත්දැකීම් බියජනකය.
මම බොහෝ රාත්‍රීන්වල නිදා ගත්තේ නැහැ. එසේ නොවුණත් මම නිදාගත්තා මගේ මුළු සිරුරම ඇද පොරවනයෙන් වසාගෙන. ඒ වගේම මුළු නිවසේ සෑම කාමරයකම විදුලි පහන් පැය 24 පුරාම දැල්වූවා. ඇතැම් දිනවල මගේ පුංචි පුතා නිදි. ඒත් මට ඇසෙනවා ඔහුගේ සෙල්ලම් බඩු ඉබේම ක්‍රියාත්මක වෙනවා.
මේ නිවසේ සිදුවන මායාකාරී සිදුවීම් අත්භූත චිත්‍රපටයක්‌ වගේ යෑයි කෙනකුට සිතිය හැක. නමුත් සත්‍ය අසත්‍යතාව තහවුරු කිරීමට ඔහු හෝ ඇය මේ නිවසේ එක්‌ රැයක්‌ හෝ ගතකළ යුතුය.
එවිට ඔබට පෙනේවි රාක්‌කවල පොත් ඉබේම ඉහළ අහසට පාවී ඇදී යනවා. නිදන කාමරය තුළ සාලයේ නාන කාමරය නිවස පුරාම අඳුරු සෙවණැලි සැරිසරාවි ඇතැම්විට ඇසේවි කවුරුන් හෝ කේන්තියෙන් කෙඳිරිගාන හඬක්‌ ඇය කියන්නීය.

කෙසේවෙතත් මෙම නිවසේ හිමිකාරිය වැනීසා දැන් එය විකිණීමට සූදානම්ය. නමුත් ඒ එහි ඇති අද්භූත බව සඟවා නොවේ. ඇය ලබාගත් විවිධ ආත්මයන්ගේ ඡායාරූප පවා ඇය ප්‍රදර්ශනය කර ඇත. එසේ නම් මේ නිවස මිලදී ගන්නා බ්‍රිතාන්‍යයේ වැඩිම මළගිය ආත්ම ගණනක්‌ වෙසෙන නිවසේ අනාගත හිමිකරුවාය. දැන දැන මිලට ගැනීම බොරු නිර්භීතකමක්‌ පෙන්වීමද? ඔල්මාදයක්‌ද? නිවස අවට ගම්වාසීන් දැන් ඒ පිළිබඳ ප්‍රශ්න නඟන්ගේ එයයි. මන්ද දැනටමත් එක්‌ පුද්ගලයෙකු එහි පදිංචිවීමට සූදානම්ය. ඔහු නමින් මිකී රෝලින් පෙර සූදානමකට මෙන් ඔහු එහි දැනටමත් පදිංචි හමාරය. ඔහු මුහුණදෙන අත්දැකීම් ඉදිරියේදී ලෝකයටම බලාගත හැකිය. නමුත් එය ත්‍රාසයටද භීතියටද මුසු එකක්‌ වේයෑයි කල්තියා කිව නොහැකිය.

ලිහිනි උදයන්ති ජයතිස්‌ස

07 October 2017

---ගන්ධබ්බයෝ---


" ටිං ටොං...."
" ටිං ටොං .. ටිං ටොං..."
" කෝ බං රෙද්ද මුන්... සජියා... කෝ බං උඹලා.."
කිහිපවරක් ම දොර සීනුව නාද කලත් ප්‍රතිචාරයක් නැති තැන මම කෑ ගැසුවෙමි.. නමුත් කිසිම ප්‍රතිචාරයක් නැත. දොර හැඩලය කරකවා බැලුවේ බැරිම තැනය.. පුදුමයි එය අගුල් දමා නැත..
එතරම් පැරැණි නිවසක් නොවුවත් දොර විවෘත වන විට සරනේරු වලින් දත් හිරිවට්ටන කිරි කිරි හඩක් නැගුනේ රාත්‍රිය සිතල නිසා විය යුතුය...
" සජී.... සජියා...."
අදුරුම අදුරු නිවස තුලට අඩියෙන් අඩිය පා තබබින් ගියේ කිසිවක් සිතා ගැනීමට නොහැකිවය
" ක්‍රී......ස්.. දඩාං...."
" අහ්හ්හ්...."
මට කියවුනේ නොසිතූ මොහොතක දොර වැසී ගිය නිසාය. වහාම දුරකතනය අතට ගෙන සජීට ඇමතුවෙමි...
" ට්‍රීඊඊඊඊං ට්‍රීඊඊඊඊං "
නිවස තුල දුරකථන ය නාද වේ ඒත් ප්‍රතිචාර නැත.. ශබ්දය අනුගමනය කරමින් මා ඒ දිශාවට ඇදුනෙමි.
නිවසේ එක් කාමරයක දල්වා ඇති විදුලි පහනෙන් විහිදෙන ආලෝකය කාමරයේ දොර හරහා දිගටිව කුස්සිය දෙසට විහිදී ඇත.. නුහුරු නුපුරුදු තැනක් නොවුවත් මා සිත තදින් තැතිගෙන ඇත..
" කුකූ... කුකු... කුකු..."
"ශිට් ..."
ඔරලෝසුවේ කුරුල්ලා රාත්‍රි 8 සටහන් කරද්දී මට කෑ ගැසුනි.. ඒ දෙස බලා නැවත ඉදිරිය බලන විට මා දුටුවෙ දොර අසල සිටින ගැහැණු රූපයකි..
" සංජූ .... මේ ඔයාද..."
ඒ සෙවනැල්ල දොරටුවෙන් කාන්දු වන ආලෝකය දිගේ දිගටිව ඇදී යයි...
" අනෙ අම්මෝ.... "
කාමරයෙන් එලියට ආවේ සුදු ඇදුමක් හැද කෙස් වැටියෙන් මුහුන වසා ගත් ගැහැණියකි.... පස්සෙන් පස්සට ගිය මා පය පැටලී වැටුනේ සෝෆා එක මතයි..
" සප්‍රා....යිස්......"
විදුලි පහන් දැල්විනි... අහු මුලු වල සැගවී සිටි එක එකා එක එක හඩ නංවමින් එලියට පැන්නේ මට ඔච්චම් කරමින් සිනහ වෙමිනි...
" හැපි බර්ත් දේ ටූ යූ.... ////" තාලයට ගායනා කරමින් සංජු අලංකාර කේක් ගෙඩියක්ද රැගෙන ආවේ සැබවින්ම මා පුදුමයට පත් කරමිනි...
" උඹ දැක්කද මුගෙ මූනා.... ශිකේ බං කලුවරේ වීඩියො කර ගන්න බැරි උනානේ..."
" වීඩියෝ තමා දොර වහන්න ගිහින් තව ටිකෙන් ගම කනව උඹ.."
" අඩෝ තෑන්ක්ස් බං උබල ඔක්කටම.... සිරාවටම පට්ට විදියට බය වුනා.. කවුද බං ඒ කෙල්ල..."
" අපේ තඩියගෙ කෙල්ල මදූ බං.... ඇදුම් මාරු කරන් එයි..."
සැබවින්ම එය අතිශය විනෝදාත්මක විය.. වසර ගනනක මිතුරු පෙම නිසා සියල්ලන්ගේ උපන්දින සැමරීම අපගේ සිරිතයි.. නමුත් තරුණ වියට පවුල් ජීවිත වලට බර පැටවෙද්දී ඒ සම්ප්‍රදාය න් වියැකී යාමට කාටවත් දොස් කීමටද නොහැක..
" අඩෝ උබත් ඉක්මනට බැදපන්කො බං... බලහන් අපි ලස්සනට ජීවත් වෙන හැටි..."
පිරිස අතරින් තවමත් තනිකඩව සිටියේ මා පමණක් වීම උන් ට මහත් හිසරදයකි
" අපෝ මේ.... උබල කලින් අමාරුවෙ වැටුනා නම් ඔහොම හිටපන්.. මට තව වැඩ තියනවා.."
" මෙන්න අපේ අලුත් ජෝඩුවත් එනවා.. "
කතාව වෙනතක හැරුනේ ලගදි විවාහ වූ අශේන් හා එරන්දි යුවලත් සාදයට එක් වූ නිසාවෙනි. කෙසේ හෝ දැන් 8 දෙනෙකු සම්පූර්ණ වී ඇත. තනිකඩව සිටියේ මමත් හොල්මනට රගපෑ කෙල්ල මධූ ගේ නැගෙනියත් පමණි..
බියර් බෝතල් හා විවිධ අලංකාර කෑම වර්ග වලින් සැරසුනු මේසය වටා රවුමට වාඩි වී අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට වූයේ කාලයකට පසු එකිනෙකා ගේ වැඩ කටයුතු ගැන යාවත්කාලීන කර ගැනීමට අවශ්‍ය නිසාවෙනි ..
" තඩිය කොහොමද බං උබේ අර භූත සීන් එක තාමත් හොයනවද ඒවා..."
" ඔව් බං මේ ලගදිත් මං බලන්න ගියා මැරුන ආත්ම ගෙනත් කතා කරන තැනක් සිරාවටම එනවා බං එහෙම ..."
" එතකොට උඹ...."
තඩියා හෙවත් සුපුන් ඇසුවේ මගෙන් ය
" මං මේ ටිකේ මෝහනය ගැන පොඩ්ඩක් study කරනවා බං ජොලියට වගේ"
" අනේ ඔයා මෝහනය කරන්න දන්නවා ද..... අනෙ අනෙ මාව මෝහනය කරන්නකෝ..."
තඩියාගේ බිරිද මදූ ඇවිටිලි කරන්නට වූයේ මැජික් බලාපොරොත්තු වන පොඩි එකියක මෙනි
" පිස්සුද ඒව එහෙම කරන්න බෑ...."
" අනේ පල පල... උබල දන්න රෙද්ද... "
සියල්ලට සවන් දෙමින් සිටි සජී කියුවේ ඌ කිසිවක් විස්වාස නොකරන එකෙන් නිසාය.
" හරි තඩිය උබට පුලුවන් නම් දැන් ආත්මයක් ගෙනත් පෙන්නපන්... "
අශේන් සජීට එකග වන්නට මෙන් පැවසීය
" හරි අපි එහෙනම් experiment 1ක් කරමු.. මචං උබ මෝහනය කරල mind එක zero කරපන් මං එතනට මැරිච්ච එකෙක් ගෙ ආත්මයක් ඇදල පෙන්නන්නම්..."
තඩියා කීවේ වෙරි මතේද ඇත්තටද මට සිතා ගත නොහැකි විය..
" හ්ම්ම් හරි කවුද volunteer "
මම ඇසුවෙමි...
" මම මම මම.... අනෙ කවුරු හරි වීඩියෝ කරන්න හොදේ "
මදූ බෙරිහන් දෙන්නට විය..
" අනේ බය නැද්ද අනේ.. මට නම් බයේ බෑ... මං කුස්සියට ගිහින් එතකන් කෑම ලෑස්ති කරන්නම්කෝ.."
සංජු නැගිට ගියේ මුහුණ පුලුටු කරගෙනය...
" හරි එහෙනම් පටන් ගමු... මදූ එන්න මෙතනින් ඇවිත් උපරිම පහසු විදියට වාඩි වෙන්නකෝ...උඹ flight mode දාලා වීඩියෝ කරපන් අනිත් ඔක්කම ෆෝන් ඕෆ් කරන්න. මගදි බාධා වෙන්න බෑ හරි... මදූ ලෑස්තිද..."
" මං රෙඩී...."
" හ්ම්ම් ඔයා දැන් ඇහුම්කන් දෙන්නෙ මට විතරයි.... ඇස් වහ ගන්න.... හිමිනි හිමින් හුස්ම ඉහලට ගන්න.... උඩට.... පහලට.. උඩට.. පහලට.. ඔයාට දැන් දැනෙනවා ඔයාගේ නාස් පුඩු වල සීතල සුලං වදිනවා.... හුස්ම පිට කරනකොට උනුසුම් හුලං වදිනවා ඔයාට දැනෙනවා...
එතනට හිත යොමුකරන්න.. ඔයාට දැන් දැනෙන්නෙ එච්චරයි.... ඔයාට ඇහෙන හැම දේම අහන්න.. ඔරලෝසුවේ සද්දේ.... රැහැයියන්ගේ සද්දේ.... වාහන සද්දේ... ඔයාගෙ හුස්ම වැටෙන සද්දේ... ඔයාගෙ හදවත ගැහෙන සද්දේ... මගේ කටහඩ....
( සියලට අවනත වෙමින් ඈ සංසුන්ව ඇති බව මා දුටිමි.. අනෙක් උන්ද හුස්ම හඩවත් පිට නොවන සේ බලා සිටී)
දැන්..... ඔයාට ඔරලෝසුවේ සද්දේ ඇහෙන්නේ නැති වෙනවා.... රැහැයියන් ගෙ සද්දෙත් නැති වෙනවා... වාහන සද්දේ හුස්ම හද ගැස්ම ඒ මුකුත් ඇහෙන්නේ නෑ... ලොකූ නිහැඩියාවක් ...ඒ නිහැඩියාවට ඇහුම්කන් දෙන්න... ඒ ලොකු ලොකූ නිහැඩියාව මැදින් මගේ කටහඩ විතරයි ඔයාට ඇහෙන්නේ මං කියන දේ විතරයි ඔයා කරන්නේ... ඒකට එකග නම් දබර ඇගිල්ලෙන් 3 පාරක් තට්ටු කරන්න...
( සීරුවෙන් ඇය එසේ කරන විට මා සාර්තක බව වටහා ගතිමි...)
දැන්.. ඔබ ඔබේ ශරීරයෙන් ඉවත් වෙන්නයි යන්නේ... ටික වේලාවකට ඔබ ශරීරයෙන් ඉවත් වන්න ඕනා... මං අත්පුඩියක් ගැහුවම ඔයා සම්පූර්ණ හිස් වෙනවා... "
" ටහ්..." අත්පුඩියක් සමග මල කදක් මෙන් ඇගේ හිස කඩා වැටිනි....
" හරි උඹ ගෙන්නපන් දැන් මේ ඇගට කාව හරි "
මා කීවෙමි
" මේ විශ්ව යේ මේ පොලොවේ මේ නිවසේ අපි තනිවී නැති බව දනිමු.... ජීවත් වන මිනිසුන් වන අප සමගම ජීවිතය හැරගිය අමනුෂ්‍ය ආත්ම මේ දැන් අප අතර සැරිසරන බව අප දනිමු... මා ආරාධනය කරන්නේ ඔබටයි.. ඔබ වෙනුවෙන් අප හිස් මනුස්ස ශරීරයක් පිලියෙල කර ඇත... මේ මොහොතේ මෙතන සැරිසරන මලගිය ඇත්තෙක් වේ නම් මැයගේ ශරීරයට ඇතුල් වී අප සමග කතා කරන්න යම් සංඥාව ක් ලබා දෙන්නා..."
එකෙනෙහිම නිවසේ විදුලි පහන් නිවී නැවත පත්තු වූයේ ඌ ඉල්ලී සංඥාව ට ප්‍රතිචාරයක් මෙනි... සීතල සුලගක් ද ඇක කීරි ගසමින් හමා ගියාද මට එසේ දැනුනාද සිහියක් නැත...උගේ ඒ වචන වලින් අපවද කිලිපොළා යන බියකට ඇද දැමීය.
" දෙයියනේ මේ බලපන් "
ඒ අශේන් ය..
මෝහනයට පත් වූ මදු හිමින් හිමින් හිස කරකවන්නට විය... පැත්තක් විවර වූ කටින් කෙල බේරෙන්නට වූයේ පෙරේතයෙකු මෙනි.. ඇයට ආත්මයක් ඇතුල් වී ඇති සේය..
" උඹ කවුද...."
සුපුන් ඇසුවේ තර්ජනාත්මක ලෙසයි..
එවිට මදූ ගේ හිස කරකැවිල්ල නතර විය.. එක්වරම හිස එසවූ ඈ දෑස් විවර කල විට ඒවා උඩ ගොස් තිබිනි..
" උඹ කවුද.... ඇයි මට එන්න කිවුවේ....."
සෙම බැදුනු ඇදුම රෝගියෙක් මෙන් ඈ කෑ ගැසීය
" එන්න කිවුවේ ඕනා නිසා... කියපං උඹ මැරුනේ කොහොමද...."
" හුස්ම හිරවෙලා... ලේලි මට බෙහෙත් දුන්නේ නෑ... පපුව හිර වෙලා මැරුනා...."
දුකෙන් මෙන් ඈ දෙඩවීය
" මැරෙද්දි උබේ වයස කීයද..."
" 78 යි.... මට කන්න ගෙනත් දීපිය.... " එතැන තිබූ මස් පිගානෙන් අල්ලක් පිරෙන්න මස් ගත් ඈ කටේ ඔබාගෙන කෑ ගැසීය
" උඹ ට එන්න කිවුවේ කන්න බොන්න දෙන්න නෙමෙයි... දැන් පලයන්... මේ ඇගෙන් පලයන් ආයෙ පැත්ත පලාතේ ආවොත් මුහුද යටට යවනවා...."
" යන්න බෑ යකෝ මට යන්න බෑ...."
ඈ අසුනෙන් නැගිට අසුන මතට නැග කෑ ගැසීය.. වහාම ඉදිරියට පැන්න මා හා අශේන් ඇය තදින් අල්ලා ගත්තේ ඊලගට කුමක් වේදැයි නොදන්නා නිසාවෙනි..
සුපුන් මන්තරයක් මෙන් මොන මොනවද දොඩවන්නට විය..
"මොනවාද උඹ මතුරන්නේ මං ඕවට බය නෑ යකෝ... හා හා හා... හා....."
ඇය වියරු ලෙස සිනාසුනේ යක්ශනියක මෙනි.. ගොතාතිබූ කෙස් වැටිය කඩා දැමූ ඇය හිස පහලට කර දගලන්නට විය
ඇගේ ශබ්ධයටද මන්දා.. අවටින් බල්ලො උඩු බුරන හඩ මූසල ලෙස ඇසෙන්නට විය.. මුලු පරිසරයම මහත් විපර්යාසයකට ලක් වූවා ද නැතිනම් මට එසේ දැනුනාද මම නොදනිමි නමුත් එසේ විය.....
ටික වේලාවක් එසේ සිනාසෙමින් සිටි ඈ සාමන්‍ය ලෙස සිනාසෙන්නට විය...
" උඹලට නම් පිස්සු බං..."
ඈ කී දේ අපට සිතා ගත නොහැකිය ඇය තවමත් කොක් හඩලා සිනාසෙයි.. ඒත් ඒ අර වියරු සිනහව නොවේ...
" මදූ...."
එරන්දි ඇසුවාය...
" මදූ තමයි බං... උඹල චාටර් යකෝ රැවටෙනවා කියලා ඔහොම රැවටෙනවද ..."
" තොගෙ අම්මට.. මදූ උබ නම්... බැල්ලි යකෝ අපි බය වුනා ඕයි..."
මේ සියල්ල ඇගේ රගපෑමකි...
" එතකොට උඹ මෝහනය වුනේ නැද්ද... "
" කෙහෙල්මල... මං හිනා නොවී හිටියේ බොහොම අමාරුවෙන්... කියල කලා වගෙ ලයිට් එකත් ඩිම් වුනා...කො මේ ෆෝන් එක දෙනවාකෝ වීඩියෝ එක බලන්න..."
ඒ වචන පෙල නම් මට මහත් ලැජ්ජවක් විය... ශික් සැබවින්ම අප නොසෑහෙන්න බිය වූ බව නම් අසත්‍ය නොවේ.. ලැජ්ජා ව වසා ගැනීමේ අරමුණින් අප සියල්ල සිනහ වුනෙමු..
" පල යන්න... අපිව හොල්මන් කරල එනව මෙතන ... "
" දෙනවකො මෙහෙට...."
මදූ සජී ගේ ඇගේ එල්ලී දුරකථන ය උදුරා ගන්නට තැත් කලත් සජී එයට ඉඩ දුන්නේ නැත..
" කෑම ලෑස්ති..."
සිනහව අතරින් අපට ඇසුනේ සංජු ගේ කට හඩයි.. නමුත් ඒ මුහුනේ සිනහවක් නම් නොවීය.. සජී සහ මදූ තුරුල් වී මෙන් එක ලග හිදීම ඇයට රුස්සන්නට නැතැයි මම සිතීමි
කෑම මේසය වටා වට වන විටත් සියල්ලෝම කතා වුයේ මදූ ගේ රගපෑම පිලිබදවයි... නමුත් තවමත් සංජු ගේ මුහුනේ නම් ප්‍රියමනාප බවක් දක්නට ලැබුනේ නැත.
" සංජු මොකෝ මේ...."
බලා ඉන්නට බැරිම තැන සජී ඇසීය
" මුකුත් නෑ..."
කිටියෙන් පිල්තුරු දුන් ඈ මේසයෙන් නැගිට කුස්සියට ගියා ය...
" ගනන් ගන්න එපා බං වෙලාවකට එයා එහෙම තමා..."
සජී පැවසුවේ අපට සැනසීමටද ඔහුට සැනසීමටද නොදනිමු..
කෑමෙන් පසු ගීතමය වින්දනයක් ගත් අප කෙලිදෙලෙන් කාලය ගත කලෙමු... කෙසේ හෝ දැන් රෑ බෝවී ඇති බැවින් සියල්ලන්ට සමු ගැනීමට කාලය පැමිණ ඇත..
" උඹලා ඔක්කටම තැන්ක්ස් බන් මම නම් පට්ට හැපි..."
" හෙ හේ උඹ විතරක් නෙමෙ බන් අපිත් සුපිරි ආතල් 1ක් ගත්තා... ජීවිතේට අමතක වෙන් නෑ..."
" එහෙනම් සජී සංජු අපි යනවා... කෑම ටික නම් මරු ආ..."
ඇය හිස වැනුවේ අපට යන්නට අවසර දුන්නාක් සේය...
"මේ අර වීඩීයෝ එක fb දාන්න හොදේ...."
එකිනෙකාගෙන් සමු ගත් අප නිවෙස් බලා පිටත් වූයේ යක්කූ ගස් නගින වෙලාවට ත් පසු ව ය.
.........................................................................
" හම්මේ...."
ගතේ මහන්සිය වචනයකින් පිට කරමින් පාවහන් ගලවා ඇදුම් පිටින්ම සයනයට වැටුනේ දුරකථනය ද ආරෝපණය වන්නට සවි කිරීමෙන් පසුවය.. සිදුවීම් පෙල ගලපමින් තනිවම මුවගට සිනහවක් මවා ගත් මා දෑස් පියා ගත්තේ නිදි මතටත් වඩා මත් මතටය...
" ඩ්‍ ර්ර්ර්ර්ර්ර්ර්ං.... ඩ් ර්ර්ර්ර්ර්ර්ර්ං ...."
ශික් සුව නින්දට වැටෙන්න යද්දීම ගැස්සී ඇහැරුනේ මේසය මත එලිය විහිදුවමින් දෙදරන දුරකථන යේ හඩ නිසා ය... ඇමතුම සජීගේ නිවසෙනි
" ම්ම්ම්ම්ම්ම් හෙලෝ...."
" ආ.... එපා... අනේ.... හ හ හා.... ඈ...."
" හෙලෝ හලෝ.... ඇයි බං..."
මට ඇසුනේ අපැහැදිලි කෑ ගැසීම් පමණකි... එකිනෙක ට වෙනස් කට හඩවල් 3න් 1ක් සජී ගේ බව අදුනාගත්තත් අනෙක්වා විකෘති හඩවල් ලෙස ඇසුනි..
" හෙලෝ.... ප්‍ර ප්‍ර. ප්‍රගියා.. මාව බේර ගනින්.... අනෙ අම්මෝ ආආආඅ ... එපා.... "
" හෙලෝ හෙලෝ... මට මුකුත් තෙරෙන් නෑ....."
කුමක් හෝ කරදරයක් වන බව නොඅනුමානය ... වහාම නිවසින් එලියට පැනගත් මා මෝටර් සයිකලය ට නැග හැකි ඉක්මනට එහි පිටත් විය.... වේලාව පාන්දර 2 ට ආසන්න බවට යාන්තමින් මතකයක් ඇත... මේ කුමක් වන්නේද.. තවත් විහිලුවක් ද මට සිතා ගත නොහැකිය...
මිදුල තුලට ම රථය ඇතුල් කල මා දුව ගොස් දොරට තඩිබෑවේ පිල්තුරක් බලාපොරොත්තුවෙනි .... නමුත් කිසිවක් නොවූවා සේ සියල්ල නිහඩය... මා නිවස වටෙන් ගොස් ජනේලයකින් බැලීමට තැත් කලත් සියලු ජනෙල් තිර වලින් වසා තිබූ නිසා ඇතුලත පෙනුනේ නැත..
සාක්කුවට අත දැමුවේ ඇමතුමක් ගැනීමට දුරකථන ය ගැනීමටයි..
" ශික් මල මගුල ... එක මේසෙ උඩනේ...."
එයද නිශ්ඵල විය.. දැන් කුමක් කරම්ද... එක්වරම නිවස තුලින් ඇසුනේ බඩු මුට්ටු පෙරලා දමන හඩකි... එසේ නම් නිසැකවම යමක් සිදුවනු ඇත... නැවත දොර අසලට ගොස් පා පහරක් ගැසුවේ කෙසේ හෝ ඇතුල් වීමටයි.. 3 වන පා පහර ත් සමග අගුල ගැලවි ගොස් දොර විවෘත විය...
රාත්‍රිය ටත් වඩා නිවස තුල අන්ධකාර ය... ඇස් අදුරට හුරු වන තෙක් එහෙ මෙහෙ හැපෙමින් විසිවී යද්දී අතට අසු වුනේ හිස් බියර් බෝතලය කි.. වෙලාවේ හැටියට අතට අසුවු එකම ආයුධය එයයි..
සියල්ල ටම වඩා දරා ගත් නොහැකි වූයේ දැඩි නිහැඩියාවයි... කෑලි කපන අදුරට නිහඩ බව එක් කලේ පුදුමාකාර බියකි.. සෙමින් සෙමින් සජීලාගේ නිදන කාමරයට පිය නගත්ම දොර යටින් ගලා ආ තෙත යමක් පැගෙනු දැනුනෙ...
" දෙයියනේ ලේ...."
සිතට ආ ආවේගයෙන්ම දොර විවර කලත් එහෙ කිසිවක් නොවීය ලේ පාර කාමරය ඇතුලටම ගලා යයි . ඒ මග ඔස්සේ අඩියක් පාසා අඩියක් තබද්දී කොහෙන්දො ආ සුලගකින් " දඩාං..." යන හඩින් දොර වැසුනු හඩට බිය වූ මා බිම වැටෙත්ම අත තිබූ බියර් බෝතලය රෝල් වී ගියේ ඇද යටටයි...
මාගේ ආරක්ෂාවට තිබු එකම ආයුධ ය එය බැවින් ඇද යටට අත් දැමුවේ එය ගැනීමටයි..
" අම්මෝ..... "
මට කෑ ගැසිනි ... අදුරේ ම සීතල අතකින් මගේ අත අල්ලා ගත් බව මට දැනුනි.....ම් එයින් ගැලවුනි මා පසුපසට බඩගෑවෙමි ....මගේ අත ලේ වලින් තෙත් වී ඇත ... පසෙකට වී මා බලා සිටිද්දී ඇද යටින් මතු වූයේ අතකි... දෙයියනේ තවත් අතක්... උගුරෙන් අමුත් හඩක් නිකුත් කරමින් කවුරුන් හෝ ඇද යටින් මතු විය... එය දෙස බලම්දෝ නැද්දෝ කියා සිතද්දීම
" දෙයියනේ සජී...."
ඇද යට සිට බඩගාමින් ආවේ සජීය.මා ඉදිරියට පැන ඔහු වත්‍තම් කර උකුලට ගතිමි..
" සජී සජී ... කතා කරපන් මොකක්ද උනේ..."
ඔහු ලේ වලින් නැහැවී සිටි නිසා තුවාල වී ඇත්තේ කිහේදැයි නිශ්චය කර ගත නොහැක...
" සංජු... ස. ස.. සං..." ඌ ගොත ගැසීය..
" වතු...ර..."
" ඔහොම හිටපං මං ඉක්මනින් අරන් එන්නම්..."
වහාම නැගිට අදුරෙ ම කුස්සියට දුවන්නට යත්ම නෙත ගැටුනේ සජී ගේ දුරකථන යි.. එයද රැගෙන කුස්සියට දිවුවේ තවමත් සිදුවූ දේ ගලපා ගත නොහැකි නමුත් පොලීසිය ට හෝ උදවු ලබා ගැනීමට හැකි තැනකට කතා කිරීමේ අරමුණෙනි..
කුස්සිය එක යුද පිටියකි.. සීසීකඩ විසිරුනු බඩු මුට්ටු පොඩිවී කැඩී බිදි ඇත. අතට අසුවුනූ කෝප්පයකට වතුර පුරාවා ගත් මට බැලුනේ මා ඉදිරියේ ඇති ජනේලය දෙසයි...
" ආම්මෝ..... "
මට කෑ ගැසුනි... ජනේලයේ වීදුරුවෙන් මා දුටුවේ මා පසු පස සිටගෙන සිටින ගැහැණියකගේ චායාවකි. පසු පස හැරී බලන විට කිසිවෙක් නොවීය... දැන් නම් හිත හොදටම නොසන්සුන් වී ඇත...
හිත සංසුන් කර ගැනීමට සුලු මොහොතක් වත් ලැබුනේ නැත.. නාන කාමරය දෙසින් ඇසුනේ ගැහැනියක් කෑ ගසන හඩකි...
" සංජු... සංජූ...."
යැයි කෑ ගසමින් මා ඒ ඇතුලටම දිවුවෙමි... නමුත් කිසිවක් නැත... නිහඩ බව බිදිමින් ඇසෙන්නේ බාත් ටබ් එක තුලට බිංදු බිංදු වතුර වැටෙන හඩ පමණි.. එය සම්පූර්ණයෙන් ම වතුර පුරවා ඇත...
ආපසු හැරුනු මා දුරකථනය අතට ගෙන ක්‍රියාත්මක කලෙමි.. එය අවසන් වරට බලමින් සිටි වීඩියෝවකින් නතර වී ඇත... එම වීඩියෝව අප පෙර දින කල වීඩියෝවයි එය එක රූප රාමුවක නතර කර තිබුනි.. ( pause )
" දෙයියනේ... "
මට කියවුනේ ඒ රූප රාමුවෙ සිටියේ මධූ ය... එපමනක් නොව මධු ට පිටුපසින් තවත් කාන්තාවකගේ චායාවක් විය... ඒ කුතුහලය නිසා වීඩියෝව මුල සිට ධාවනය කලෙමි. චායාව මතු වන්නේ මෝහනය අතරතුර වූ විදුලි ඇනහිටීමත් සමගය
" නෑ නෑ නෑ මේක වෙන්න බෑ ... මේ ඉන්නේ ...."
මට සිතීමට ලැබුනේ එපමණකි.. නාන කාමරයේ දොර තල්ලු කරමින් මා දෙසට පැන ආ සංජු තල්ලු කර දැමූ පහරින් මා ඇද වැටුනේ බාත් ටබ් එක තුලට යි.. ඈ හදුනාගත නොහැකි තරම් විරූපීය...ජලයෙන් පිරි ඇති එහි මා ගිලී ගියේ කවුරුන් හෝ මා ගොඩ ඒමට බැරි ලෙස තද කර ඇති ලෙසය...
හුස්ම නතර වීමට තව මොහොතක් වත් නැති බව මට සිතිනි.. හැකි වෙර යොදා අතපය ගසා ජලයෙන් ගොඩට ආවෙමි.. මා හැර එහි කිසිවෙක් නොවීය... දැන් නම් මෙහෙ අත්බූත දෙයක් සිදුවන බව නොඅනුමානය තවත් මෙහි රැදීම නුවණක්කාර නැත...
" ශික්... ෆෝන් එකත් වතුරේ ..."
මා දිවගියේ සජීගේ කාමරය දෙසටයි... ඌ අමාරුවෙන් හුස්ම අදිමින් සිටී..
" සජී සජී අපි මෙතනින් යමු..."
කියා මා ඔහු වත්තම් කර ගැනීමට සැරසුනා පමණි
" අනූ... අ.. අ.. අනූ...."
කියා ඉතාමත් අමාරුවෙන් වචන ගලපා ගත් ඔහු කීවේය
" අනූ ... අනූ කොහෙද බං මෙහේ..."
කටින් එසේ කීවත් ඒ වචන වලින් මගෙ හද පසාරු කරගෙන යන බියක් දැනවීය..
මගේ කරට උඩින් ඔහු අත දිගු කලේ යමක් පෙන්වන්නට මෙනි.... ඒත් සමගම ඌගේ අවසන් සුසුමද පිටවූ බව මා දුටිමි.. මා හැරී බැලුවෙ ඔහු පෙන්වන්නට තැත් කල දෙයයි
" අනේ දෙවියනේ.... එපා... සංජූ...."
මට කෑ ගැසිනි... රාත්‍රි ඇදුමින් සැරසී සිටි ඈ සයනය ඉහල වහලයේ තිබූ පංකාව ට දැමූ ඇද ඇතිරිල්ලකින් එල්ලී ... ඇගේ මිනිය කැරකෙමින් තිබිනි... වමනයත් කැරකිල්ලත් මග හැර ගන්නට මට නොහැකි විය...
සුලු මොහොතක් වත් එතන නොසිටි මා එලියට දිවුවෙමි... ළහිරු යාන්තමින් පායා එද්දී යාබද නිවසක දොරකට තඩිබෑවෙමි ..
මට කිසිවක් සිතා ගත නොහැකි විය... අනූ යනු සජී අතින් අනාත වී ඒ දුකෙන් ගෙල වැල ලාගෙන ජීවිතයෙන් සමු ගත් තරුණියයි... වීඩියෝවේ තිබුනේ ඇගේ චායාමවද බව මට විස්වාස නැත... ඒත් මේ කුමක් සිදුවීද... මලවුන්ට ආරාධනා කරන විට ඈ පැමිණියාවත් ද...
දොර විවෘත විය.. මා රැක සිටි අවසන් ශක්තිය ද අවසන් ව ක්ලාන්තව වැටුනෙමි..
නිමි