මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

04 June 2017

---සොපිනෝනා---



සොපිනෝනා විවාහ වූ දිනයේ සිටම අධික දුක් කන්දරාවක් විඳි ගැහැනියකි. තමන්ගේ හිතගත් ගමේ තරුණයකු සිටියදී මවුපියන්ගේ යෝජනාවක් මත හොරණට ආසන්නයේ පිහිටි වලව්වක තරුණයකු සමග දීග යන්නට ඇයට සිදුවූයේ ඇයගේ දැඩි අකැමැත්ත මතය. ඒ අදින් වසර හැට අටකට පමණ පෙරදීය. මඟුල් කපුවා මනමාලයා ගැන කියූ සියලූ යහගුණ බොරු බව ඇය තේරුම් ගත්තේ විවාහ වී දින කිහිපයක් ගතවෙද්දීය. බේබදුකමත්, සල්ලාලකමත් මුළු ජීවිතයම කරගත් මිනිසකුට අයත්, අභාවයට යන ඉපැරැණි වලව්වක් තුළ මුළු දිවියම ගෙවා දමන්නට ඇයට සිදුවූයේ අවාසනාවන්ත ආකාරයටය.
ඇය තුළ පැවති වලව් මාන්නය හේතුවෙන් විවාහය බිඳදමාගෙන යළි ගෙදර යන්නටද කැමැත්තක් ඇය තුළ නැත. දවසපුරා අධික ලෙස මත්වතුර පානය කරන සැමියාගෙන් ඇයට දවස පුරාම හිමිවූයේ, අනේකවිධ වධහිංසා පමණි. අලූත විවාහ වූ යුවළක් තුළ ඇති ආදරය, සෙනෙහස ඇයට විඳින්නට හැකිවූයේ නැත. ඒ වෙනුවට අසභ්‍ය ආකාරයේ බැණ වැදීම්, පහරකෑම් හා හිත්වේදනාවන් ඇයට නොඅඩුව ලැබුණි.
ඔහුට සොපිනෝනා අවශ්‍ය වූයේ සිය කායික අවශ්‍යතා ඉටුකර ගැනීමට පමණි. ඔහු තමා ළඟට පැමිණෙනවාටවත් ඇය කැමැත්තක් නොදැක්වූවාය. විවාහ වූ මුල් කාලයේ ඇය බියට පත්කර තම අවශ්‍යතා ඉටුකර ගත් සැමියා කල්ගත වෙද්දී බලහත්කාරයෙන්ම ඇය හා යහන්ගත වන්නට පුරුදු විය. සොපිනෝනාට මෙය මහත් පීඩාවක් වූ අතර මත්වතුර පානය කොට වෙරි මතින් සිහියක් කටක් නොමැති මිනිසකු හා යහන්ගත වීම ඇයට දැඩි පිළිකුල් සහගත අත්දැකීමක් විය. ඒ සියල්ලටම වඩා මත්වතුරින් විකෘති වූ මනසකින් හෙබි, කිසිදු ආදර හැඟීමක් නොමැති මිනිසකුගේ පීඩාකාරී හැසිරීම් රටාව දරාගැනීමට තරම් හැකියාවක් ඇයට තිබුණේ නැත. සොපිනෝනා ගැබ්ගන්නේ මේ කාලයේදීය.
ඒ ඇයගේ බේබදු සැමියාගෙන්මය. එවන් පරිසරයක් තුළ වුවද ඔහුගේ බේබදුකම හෝ සොපිනෝනා විඳි පීඩාවන් කිසිදු අයුරකින් අඩුවූයේ නැත. දරුවා කුස තුළ දරාගෙන වුවත් ඔහුගේ පීඩාකාරී ශරීර අවශ්‍යතා ඉටුකරදීමට ඇයට සිදුවිය. අවසානයේ ඇය දැඩි තීරණයක් ගනිමින් ඔහු නිවසට පැමිණෙන අවස්ථාවේදී සිය කාමරයට වී දොරගුළු දමා ගැනීමට ඇය හුරුවූවාය. මුල් දින කිහිපයේ ඇයගේ කාමරයේ දොරට ගසමින් අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු ඇයගේ සැමියා ඊළඟට කළේ කිසිදු ලෙසකින් හෝ ඇය නොසිතූ දෙයකි. ඇය කාමරයේ සිටියදීම නිවසේ මෙහෙකාර තරුණියට ඔහු අතවර කළේ හිත්පිත් නොමැත්තකු විලසිනි. එදින සිදුවීමෙන් පසු ඔහු ඇය ගැන සොයමින් ඈ සමග ලිංගික සබඳතා නොපැවැත්වීය. සොපිනෝනාගේ ඇස් ඉදිරිපිට ඔහු දිගින් දිගටම මෙහෙකාර තරුණියට බලහත්කාරකම් කරමින් සිය කායික අවශ්‍යතා ඉටු කරගත්තේය.
මේ සියලූ සිදුවීම් මැද තම කුසට ආ දරුවා කෙරෙහි ද සොපිනෝනා තුළ වූයේ දැඩි වෛරයකි. යහපත් විවාහ සබඳතාවක් හරහා උපන් දරුවකුට වඩා එම දරුවා තමාට සිදු වූ බලහත්කාරකමකින් උපන් දරුවකු යැයි යන හැඟීම ඇය තුළ විය. ඒ හේතුවෙන් තම දරුවාට දැඩි ලෙස වෛර කළ සොපිනෝනා ඉන් නොනැවතී එම වලව් පරපුරේ සියල්ලන්ටම දැඩි ලෙස වෛර කළාය.
කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියෙන් ඇයගේ දරු ප‍්‍රසූතිය සිදුවීමට නියමිත කාලයද පැමිණියේය. ඇයට විළිරුදාව සෑදෙන මොහොතේද කිසිදු වගකීමකින් තොරව ඇයගේ සැමියා අධික බීමතින් පසුවිය. ඉනුත් නොනැවතී වින්නඹු මාතාව නිවසට පැමිණෙන විටද ඇය කාත් කවුරුන් හෝ නොමැතිව දරුවා බිහිකර අවසන්ය. ඇයගේ පැමිණීම ඒ ප‍්‍රමාද බව හඟවමින් ඒ වනවිටත් සොපිනෝනා දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයේ පසු වූ අතර, කොතෙකුත් ප‍්‍රතිකාර කළද සොපිනෝනා දරුවා ඉපදී සුළු මොහොතකින් මෙලොව හැරදමා ගියාය. සොපිනෝනාගේ මව දරුවා රැගෙන ගියේ මෙතෙක් සිය දියණිය විඳි දුක් කරදර සියල්ල ඔවුන්ට මළගෙදරදී දැනගැනීමට ලැබීමත් සමගය.
සොපිනෝනා මියගොස් ගෙවී ගියේ තුන්මසකි. ඇයගේ සැමියාගේ වැඩිමහල් සහෝදරිය වූ ශ‍්‍රියාලතා පදිංචිව සිටියේ අළුත්ගමට ආසන්නයේ වූ අතර ඇය දරුවකු ලැබීමට ආසන්න කාලයේ පසුවූවාය. එක් දිනක් හවස හයට පමණ ඔවුන්ගේ නිවසේ ඉදිරි දොරට තට්ටු කරන ශබ්දයක් ඇසුණි. නිවසේ කිසිවකුත් පෙනෙන්නට සිටියේ නැත. ඇය ‘කවුද’ යැයි හඬ නගමින් ඇසුවද කිසිවකු උත්තර දුන්නේද නැත. මඳ වේලාවක් නිහඬව සිටිමින් නිවසේ දොර විවර කළ ඇය දුටුවේ කිසිලෙසකවත් බලාපොරොත්තු නොවූ දෙයකි. දොරට තරමක් ඉදිරියෙන් සුදු ඇඳුමකින් සැරසී කොණ්ඩය අවුල් වී ගිය ගැහැනියක් සිටගෙන සිටියාය. දොර විවර කළ සැණින් දුටු මේ දසුනින් ශ‍්‍රියාලතා දැඩි ලෙස බියපත් වූවාය. ඇයට ඉබේටම මෙන් කෑගැසුණි. පැමිණ සිටි අමුත්තියගේ මුහුණ දුටුවිට ඇය තව තවත් බියට පත් වූවාය. ඒ අන් කිසිවකු නොව මියගිය සොපිනෝනාය. මළගිය ආත්මය තමා දෙසට අත් දිගු කළ බව මතකය. එසැණින් ඇය සිහිසුන්ව ඇද වැටුණාය.
අසල්වැසියන් ඇය රෝහල්ගත කර තිබූ අතර ඇයට ඇතිවූ අධික කම්පනය හේතුවෙන් ඇයට දරුගැබ පවා අහිමි විය. ඇයගේ ජීවිතය බේරුණේද දැඩි අවදානම් සහගත තත්ත්වයක් මැද්දේ සති කිහිපයක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබීමෙන් අනතුරුවය.
ඒ ආකාරයට සොපිනෝනා සිය සැමියාගේ සහෝදරියගෙන් ඇරඹූ පලිගැනීම අද දක්වාම ක‍්‍රියාත්මක වෙමින් පවතී. එම පවුලේ එවකට සිටි දරුවන්ට පසු අලූතින් කිසිදු දරුවකුට මෙලොව එළිය දැකීමට සොපිනෝනාගේ ආත්මය ඉඩ දුන්නේ නැත. ඒ සියලූ දරුවන් කුස තුළදීම විනාශ කර දමන්නට තරම් ඇය වෛරයෙන් කටයුතු කළාය.
සොපිනෝනා මියයන විට ඇයගේ සැමියාගේ වැඩිමහල් සහෝදරයාට වයස අවුරුදු පහක් පමණ පිරිමි දරුවකු විය. සොපිනෝනාගේ මරණයත් සමග දිගින් දිගටම හොරණ සිදු වූ සිදුවීම් හේතුවෙන් ඔහුගේ සිය පවුලම කොළඹ පදිංචියට පැමිණියේ තම දරුවා හෝ මේ අනතුරුවලින් බේරාගැනීමේ ප‍්‍රධාන අරමුණද සහිතවය. කාලය කෙමෙන් ගෙවී ගියේය. සොපිනෝනා මියගිය වලව්වේ එකල සිටි සැමියා, සේවිකාව මෙන්ම සැමියාගේ මව ද අකාලයේ මියගියේය. වලව්ව ගරා වැටෙමින් වල් වැදී ගිය අතර, එය භූත බංගලාවක් යැයි ගමපුරා රාවයක් පැතිර ගියේ රාත‍්‍රී කාලයේ වේදනාවෙන් කෑ ගසන ගැහැනියකගේ හඬ නිවස දෙසින් ඇසුණු බොහෝ පිරිසක් ගමේ සිටි නිසාය. අප පෙර කී සොපිනෝනාගේ සැමියාගේ වැඩිමහල් සොහොයුරාගේ දරුවා විවාහ වූයේ ඇය මියගොස් වසර තිහකට පමණ පසුවය. ඔහු සේවය කළේ ප‍්‍රසිද්ධ සමාගමක නීති උපදේශකයකු ලෙසින් වූ අතර ඔහුගේ බිරිඳ ද එම ආයතනයේම උසස් තනතුරක් දරන්නියකි. විවාහ වී වසර කිහිපයකට පසු ඇය ගැබ් ගත්තාය. මාස හයකට පමණ පසු එක් දිනක් ඇය රැකියාවට නොගොස් නිවසේ නතර වූයේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසාය.
අසනීප තත්ත්වයෙන් පසු වූ ඇය ඇඳේ හාන්සි වී සිටියාය. නොදැනීම ඇය නින්දට වැටුණු අතර ඇය සිහිනයක් දුටුවාය. ඒ සිහිනය සැබෑ සිදුවීම් මාලාවක් මෙන්ය. ඇයගේ සැමියා හදිසියේ නිවසට පැමිණෙයි. ඔවුන්ගේ ගේට්ටුව අසල සිටි සුදු හැඳගත් ගැහැනියක් එක්වරම ඔහුට පොල්ලකින් පහර දෙන්නට පටන් ගනියි. පොලූ පහර වැදී ඔහු බිම ඇද වැටුණු පසුද ඇය නොනවත්වාම පහර දෙන්නට වූවාය. ඉන්පසු වියරුවෙන් මෙන් ඇය සිනාසුණාය. සැමියා ලේ විලක් මැද වැටී සිටින අයුරු ඇය දුටුවාය.
ඒ සැණින් අවදි වූ ඇය වේගයෙන් ඇඳෙන් බිමට පැන නිවසේ දොරද වේගයෙන් හැර ගේට්ටුව දෙසට දිවගියාය. ඒ සිය සැමියා සොයන්නටය. ඇයගේ කකුල පැටලී ගේට්ටුව දක්වා ඇති ගල් ඇල්ලූ මාර්ගයේ ඇය ඇදගෙන වැටුණි. ඇයට මතක එපමණය. සිහිය එනවිට ඇය සිටියේ රෝහලේය. ඇයගේ පළමු දරුවා කුස තුළදීම මිය ගොස් තිබුණි. එම සිදුවීමෙන් වසර අටක් ගෙවී ගියද තවම ඔවුනට දරුවකු නැත. සොපිනෝනා සැමියාගෙන්, ඇය විඳි දුක් කන්දරාව ඔහුගේ පරපුරටම දී පරපුරද විනාශකර දැමුවේ එලෙසිනි.

Source: Link 

---සුද්දප්පු මාමා---


රාජකාරි කටයුත්තක් සඳහා බදුලු ගිය ජස්ටින් මහතා එම රාජකාරිය නිමා කොට රාත්‍රියේම යළි කොළඹ ඒමට පිටවූයේ පසු දින පෙරවරු නවය වන විට තවත් රැස්වීමකට සහභාගි වීමට තිබෙන නිසාය. ඔහු ඒ සඳහා තෝරාගත්තේ බදුලු මහියංගණය මාර්ගයයි. කුමන හේතුවක් මත ඒ මාර්ගය තෝරාගත්තද කියා ඔහුටම නොතේරුණත් දහඅට වංගුව යන්තම් පසුකරන විටිත් රාත්‍රියේ හොඳම වෙලාව පසුකර තිබිණි. වෙනත් මඟක් තියෙද්දී මේ මාර්ගයෙන් ඒම ගැන සිටියේ පසුතැවීමෙනි. පසුතැවීමෙන් පලක් නොවුණු තැන ඔහු වාහනයේ වේගය තරමක් වැඩි කළේය. එහෙත් යෑමට ලැබුණේ සැතපුම් කිහිපයක් පමණි. "චූස්....." හ¾ඩින් ඉදිරිපස රෝදයේ හුළං බුරුල් වන විට ජස්ටින්ට එළොව පොල් පෙනේනට පටන්ගත්තේය. ඩිකියේ තිබූ ජැක්කුව අතට ගත්තත් කට්ට කපන අඳුරේ තනිව දෙයක් කරගත නොහැකිව ඇඹරෙමින් ඒ මේ අත විපරම් කළේය.
තමන්ට යාර දහයකට පහළොවක අෑතින් පුංචි මඩුවක කිසියම් කෙනකු තමන් දෙස එක එල්ලේම බලා සිටිනු ජස්ටින් දුටුවේය. ඔහු හනිකට එතනට දිව්වේය. "හුළං ගසනු ලැබේ" බෝඩ් ලෑල්ල බාගෙට වේයො කා තිබේ. පෙනුමින් වින්කලයක් වගේ වුණත් එය ගරාවැටෙන්නට ආසන්නය. වින්කල්කරු කිසිත් නොකියාම නොපැකිලවම ජස්ටින් ඉදිරියට එමින් "යං" කියන්නා සේ දකුණත ඉදිරියට දිගු කළාය. වින්කල්කරුගේ දැඩි උපකාරය මැද විනාඩි දහයකටත් අඩු කාලයකදී ඔස්ටින් රථයේ රෝදය මාරුකර ගැනීමට ජස්ටින්ට හැකි විය.
ජස්ටින් දෙවියන්ට මෙන්ම වින්කල්කරුටද පින්දී ඔහු අත රුපියල් පහේ කොලක් තැබුවාය. ඒ කාලයේ වාහන "පැච් එකක්" දැමීමට පවා අය කළේ රුපියල් දෙකකි.
ජස්ටින් ඊළඟ වාරයේ බදුලු යන විට මේ මාර්ගයම යළි තෝරාගත්තේ කෘතගුණ සැලකීමක් වශයෙන් වින්කල්කරු මුණගැසී වචනයක් දෙකක් ‍ෙදාඩා යෑමටය. හරිහැටි සලකුණක් නැතත් "හුළං බෝඩ් ලෑල්ල" ජස්ටින්ට හොඳින් මතකය. කෙසේ හෝ තැන සොයාගත් ජස්ටින් බිරියද සමඟ වාහනයෙන් බැසගත්තේ යක්කු ගස් උඩ බල්ටිගහන වේලාවේ තමන්ට උදව් උපකාර කළ අසරණ මනුස්සයා දැකීමටය.
එහෙත් මෑතකදී එහි යමකු වාසය කළ බවක් නම් පෙනෙන්නට නොතිබුණේ වින්කලයක් බඳු එම ස්ථානය එතරමටම දිරාපත්ව ගොස් තිබූ නිසාය. වේලාවට මෙන් දරමිටි බැඳගත් පාපැදිකරුවෙක් ජස්ටින්ලා පසුකර යෑමට සිටියේය.
"මහත්තයා ඔය අහන්නේ සුද්දප්පු මාමා ගැන. හරිම හොඳ මනුස්සයා" බයිසිකල්කරු කියාගෙන යයි.
"ගිය සතියේ දවසක මහ රෑ මටත් හරියට උදව් කෙරුවා. වාහනේ පැච් එකක් ගිහිල්ලා. එහෙම උදවිය හොයාගන්න අමාරුයි. මම මේ බැලුවේ මේක හදාගන්න මොකක් හරි උදව්වක් කරන්න..."
ජස්ටින් පවසන දේ බයිසිකල්කරු අසා සිටියේ ගොඩයාට මැජික් පෙන්නුවා සේය. අනතුරුව තොලකට ලෙවකාගත් කෙළ ගුළියක් ගිලගත් ඔහු ජස්ටින් ඇමැතුවේය.
"ඇ... ඇත්තටම ම... මහත්තයාට සු.... සුද්දප්පු මාමා උදව් කළාද?"
"ඔව්... ඇයි. ඇයි ඒ මනුස්සයට කරදරයක්ද?"
"නෑ.... මහත්තයා ඔය සුද්දප්පු මාමා මළේ මීට අවුරුද්දකට විතර කලින්. එදා ඉඳලම ඔය මනුස්සයා මහ රෑ පාරේ යන එන අයට හරියට පිහිටට එනවා. පණපිටින් ඉන්දැද්දීත් ඔහොමම තමා"
ජස්ටින් මහතා බිරියගේ මුවත් බිරිය ඔහුගේ මුවත් මාරුවෙන් මාරුවට බලාගත්තා විනා වෙනත් යමක් සිතන්නට දෙයක් තිබුණේ නැත.
ඉන් අනතුරුව බදුලු ගිය කිහිපවිටක්ම ජස්ටින් මහතා සුද්දප්පු මාමා දැක ගැනීමට උත්සාහ කළත් එය සාර්ථක නොවුණේ කරදරයට පත් කෙනකුගේ පිහිටකට පමණක් ඔහු පෙනී සිටින නිසාය. ඒ අනුව සුද්දප්පුද අවතාරයකි. එහෙත් දන්නා කියන කෙනෙකුවත් සුද්දප්පුගේ අවතාරයට බය වුණේ නැත. සුද්දප්පු කිසිවකුත් බිය නොගන්වා පෙනී නොපෙනී ගියා පමණි

Source: Link



---මිනී කාමරේ මුර කරද්දී ආරියදාසගේ තනියට මහ රෑ ආ අමුත්තා---


ඔහු මිනිස් සමාජය මෙන්ම මළ මිනී සමඟද වසර කිහිපයක් එකට ජීවත් වූ අයෙකි. ඔහු සේවය කළේ. රෝහලේ මිනී කාමරයේ මුරකරු හා බාරකරු ලෙසය. ඊට රැයක් දවාලක් තිබුණේ නැත. එදා අද මෙන් මිනී කාමර වටලා තාප්පවලින් වටකොටවත් සී.එෆ්.එල්. හෝ ටියුබ් ලයිට්වලින් ඒකාලෝක වී තිබුණේ නැත. මලානික ආලෝකයක් නිකුත් කළ ප්ලෝරසන් බල්බයකින් දෙකකින් අවට අඳුර යන්තම් මකාලමින් තිබිණි. සමහර මිනී කාමර තිබුණේ යමකුට මුරකරනවා තබා විනාඩි කිහිපයකට හිටගෙනවත් ඉන්නට හිතෙන්නේ නැති පාළු තැන්වලය.
රැකියාවට ගිය මුල් දවස්වල ආරියදාස ගතකළේ ඉතාමත් අසීරු ජීවිතයකි. එදා අද මෙන් මෘත ශරීරාගාරය තුළ අධි ශීතකරණ තිබුණේ නැත. එහෙයින් සතියකට තුන හතරක් අමු මිනී වරදින්නේ නැත. ඒ අතරේ පැපිලියාන මංසන්ධියේදී ලංගම බස් රථයකට යටවී ගිය තැඹිලි කරත්ත කොලුවාගේ පොඩිපට්ටම්ව ගිය දේහය ආරියදාස මහත් තැතිගැන්මකට ලක්කළේය. එය මිනී කරත්තේ බේසමක් මත ලේ විලක් මැද තවමත් තිබිණි. ආරියදාසගේ දෑස තත්පරයකට හෝ පියවුණේ නැත්තේ ඒ තැතිගැන්ම මතය.
ඔහු මිනී කාමරයේ ජෑම් ගස් යට බංකුවට වී වෛද්‍ය නේවාසිකාගාරයේ දැල්වෙමින් තිබූ ආලෝකය දෙස විපරමින් සිටියේ කවුරුන් හෝ නිදිවර්ජිතව සිටිනු ඇතැයි සිතාය.
වෙලාව රාත්‍රි ‍ෙදාළහ පසුවී තිබිණි. ආරියදාස ගුළිගැසී සිටි රෝහල් බංකුවේ අනෙක් කෙළවර "කිරිස්" හඬ නංවමින් තරමක් පැද්දිණ. තිගැස්සී ඇහැරුණු ඔහු දුටුවේ තමන් සිටි බංකුවේ අනෙක් කෙළවර වාඩි වී සිටි ඉරි සහිත සුදු සරමකින් හා බොක්සින් බැනියමකින් සැරසී හුන් හීන්දෑරි මනුස්සයෙකි. ඔහු ආරියදාස හා සිනාසුණුමුත් වචනයක් කතා කළේ නැත.
"ඔහේ ආපු එක මගේ තනියට හොඳයි" ආරියදාස තම කමිස අත රෝල් කරගෙන සිටි බුලත්විට දිගු කරන ගමන් කීවේය. එය අනුමත කළාක් මෙන් හිස ඉහළට පහළට වැනූ අමුත්තා බුලත්විට ගෙන හපන්නට විය.
"තමුසෙ බයවෙන්න ඕනෙ නෑ. මේ රස්සාව කරගෙන ඉන්නවා" හොල්මන් කතා නොකරන බව ආරියදාස අසා තිබුණේය. එහෙත් බුලත්විට අමුත්තාට දිගු කරන විට ඔහුගේ අත හා ගැටීමෙන් දැනුණු සීතල මළ මිනියකට සමාන බව ආරියදාසට දැනුණි. දෙදෙනා අතර වැඩි කතාබහක් නොවුණත් තනියට ආ අමුත්තා නිසා දෙගිඩියාවකින් හෝ කාලය ගතවී යත්ම පාන්දර ජාමයේ වන විට ආරියදාස නොදැනුවත්වම කිරාවැටෙන්නට විය. නමුත් ඔහු අවදි වන විට අමුත්තා සිටියේ නැත.
පවුලේ ආරවුලක් නිසා සැමියා බිරියගේ බෙල්ල කැපීය. ඇය ලේ විලක් මැද ළතෝනි දී ඇද වැටෙනවාත් සමඟ සැමියා අසල ළිඳට පැන්නේය.
එහෙත් බිරියගේ ජීවිතය අසල්වැසියන් නිසා බේරුණත් සැමියා ළිං පතුලේ තම අවසන් හුස්ම හෙළුවාය.
එම මළ මිනියද අවසානයේ මරණ පරීක්‍ෂණය පැවැත්වෙනතුරු ආරියදාසගේ බාරයට පැවරුණි.

දින දෙක තුනක් අමුත්තා නොපැමිණියෙන් ආරියදාසට දැනුණේ අමුතු කාංසියකි. එක්වරම "දඩස්" හඬක් මිනී කාමරය තුළින් ඇසුණෙන් ඔහු තිගැස්සී ගියේය. තවත් මොහොතකදී මිනී කාමරයේ යතුරු හිලෙන් එබී බැලූ ඔහු දුටුවේ සවස ළිඳට පැණ පන නසාගත් මළ මිනිය සිමෙන්ති මේසය මත වාඩි වී ඉකිගසමින් සිටින අයුරුය. මළ මිනියකට පණ ඇවිත් තිබෙනු ආරියදාස මුල්වරට දුටුවේ එදාය. ඔහුගේ ගත දහදියෙන් තෙත්ව පරාණ කූඩුව සට සටගා වෙව්ලන්නට පටන්ගත්තේය. ඒ බව තවත් වැඩිවන්නට වූයේ තවත් මිනියක් පහුවදා උදේ මෝචරියට ගෙනැවිත් අතෑරපු නිසා නොව ඔවුන් කී දේ නිසාය.
"මේකා ඊයේ රෑ කනමදයා වගේ බීගෙන මදිවට බැදපු මස් වර්ගයක් පාර දිගේ කාකා ඇවිල්ලා.... කනත්ත ළඟදි යකා ගහලා. ආයෙ එතැනමයි" නහයින් කටින් ලේ පෙරාගෙන තිබූ මිනිය බෙල්ල අවට සම්පූර්ණයෙන්ම නිල් පැහැ ගැන්වී තිබුණේය.
"අපෝ... කුලී වැඩක් කරනව මීට සැපයි" සුපුරුදු බංකුව මත ගුළිවී සිටි ආරියදාස සිතුවේය.
"බය වෙන්න එපා ඕයි. යක්කු එතරම් නරක උන් නෙවෙයි. ඒකා මොකටද පුළුටු කකා ආවේ. පුළුටු කියන්නේ මිනිස්සුන්ට අයිති කෑමක්යෑ?"
අමුත්තා බංකුවේ අනෙක් කෙළවරේ සිට අසන විට ආරියදාස අන්දුන්කුන්දුන් වී ගියේය. ඒ නිමේෂයේ ඔහුගේ මතකයට ආවෙ පසුගිය දිනක මිනී කාමරයේ අඬමින් සිටි අවතාරය. ඔහු එය අමුත්තාටද කීවේය.
"මේක ඇතුළට එනවුන් ඔහොම තමයි. මැරුණත් උන් වෛරයෙන්, කේ‍රා්ධයෙන්, දුකෙන් තවමත් ජීවත් වෙනවා. ඒ වුණාට මැරෙන හැම එකාම ඔහොම නැහැ. සමහර මළ මිනී එක්ක ජීවිත කාලයම වුණත් ඉන්න පුළුවන්. මං ආස්සරේ කරල තියෙන යක්කු තමුසෙ ආස්සරේ කරල තියෙනවද ඕයි"
"ඒ.. ඒ.. කොහොමද?" ආරියදාස ඇසුවේ ඇස්ගෙඩි නළලේ රන්දවාගනිමිනි.
"ඇයි අයිසේ තමුසෙට කලින් මංනෙ මෙහේ මුරකාරයා...."
ආරියදාසට උතුර දකුණ මාරු විය. මන්දයත් තමා මේ රැකියාවට ඒමට සතියකට පමණ පෙර එකී මුරකරුවා හෘදයාබාධයකින් මියගොස් සිටි නිසාය. එසේ නම් තමන් මෙතෙක් කල් ඇඟලුම් පෑ අමුත්තා සැබැවින්ම අවතාරයක් බව ආරියදාසට සක්සුදක් සේ පැහැදිලිය.
ඉන් සිදුවුණේ ආරියදාසගේ හිතේ මළවුන් ගැන තිබූ චකිතය, බය ගතින් දුරුව යෑමය. එහෙයින් ඔහුට වසර දහයකටත් වඩා වැඩි කාලයක් මිනී කාමරයේ මුරකරුවා හැටියට සේවය කිරීමට හැකිවූවා පමණක් නොව එකී රාජකාරියේ යෙදීම වෙනුවෙන් එම රෝහලේම සේවකයකු ලෙස උසස් වීමක් ලබන්නට තරම් හේ භාග්‍ය ලද්දේය. එම වාසනාව ආරියදාසට ගෙන ආවේ තමන්ට කලින් මිනී කාමරයේ මුරකළ අමුත්තාගේ අවතාරයයි. සැබැවින්ම අවතාරය විසින් ආරියදාසගේ හිතේ තිබුණු චකිතය බය දුරුකර නොදෙන්නට ආරියදාස මිනී කාමරයේ මුර රස්සාවටද ආයුබෝවන් කියන්නේද මුල් කාලයේදීමය.


Source: Link


---සත්‍ය අත්දැකීම්---



ඒ වෙනකොට වෙලාව රාත්‍රි 9ට විතර ඇති. මහරෝහලේ රසායනාගාරය ඇතුළෙත් කීප දෙනෙක් තාම වැඩ. එතන ලේ සාම්පල් පරීක්‍ෂණ කටයුතු සිදුකරන තැනට ඇවිත් හිස දැම්මේ අවුරුදු 55ක පමණ අයෙක්. ඔහු රෝගියෙක්. රෝහලේ නේවාසික රෝගියෙක් බව පෙනෙනවා ඔහු එක් අතකින් එල්ලාගෙන ඉන්න සේලයින් බෝතලය දැක්කාම. බොහොම අසාධ්‍ය පාටක් පෙනුණේ. කොණ්ඩෙ රැවුල අසාමාන්‍ය විදියට වැවිල තිබුණු හින්දා තරමක විරූපී පෙනුමකුත් තිබුණා.
'මොකද මේ ලෙඩ්ඩු මෙහාට රිංගන්න එන්නේ යන්න යන්න!!'
'අනේ මහත්තයෝ මගේ ලේ රිපෝට් එක ගෙනියන්න පුළුවන්ද'
'හරි හරි. අපි ඒක වාට්ටුවට එවන්නම්. ඔයා අමාරු ලෙඩෙක් නේද? යන්න වාට්ටුවට'
'අනේ සර්... ඉක්මනට ගෙනියන්න කිව්වා'
බේරෙන්න බැරිම තැන තුණ්ඩු ටික තෝරන ගමන් නම ඇහුවා.
'මොකක්ද නම!'
'පියදාස, එම්.කේ. පියදාස'
'හරි! හරි! පියදාස වාට්ටුවට යන්න මම රිපෝට් එක වාට්ටුවට එවන්නම්' ඊට පස්සේ කිසිම කතා බහක් නැතිව එයා වාට්ටුව පැත්තට ඇවිදගෙන ගියා. ගිහින් විනාඩි පහක්වත් ගියෙ නෑ. ආයෙත් ආවා. ඇවිල්ල ඉල්ලනව එයාගේ දවල් ගත්ත ලේ රිපෝට් එක ඉක්මනට දෙන්නලු.
මම ඇහුව ඔයා කොයි වාට්ටුවේද ඉන්නේ කියල. දැඩි සත්කාර ඒකකයෙලු. දෙයි හාමුදුරුවනේ එච්චර අමාරු ලෙඩෙක්ද මෙහෙම ඇවිදගෙන එහෙ මෙහෙ යන්නේ.
මට ඇති වුණේ පුදුම තරහක් 'යනව මෙතනින් යන්න. ඔහේ අපිවත් අමාරුවේ දාන්නද මේ හදන්නේ' කියල බැන්නාම එයා සේලයින් බෝතලෙත් එක අතකින් එල්ලගෙන බොහොම අමාරුවෙන් වාගේ නොණ්ඩි ගහමින් වාට්ටුව දෙසට ඇවිදගෙන ගියා.
මට තරහ ඉවසන්න බෑ. වාට්ටු භාරව ඉන්න අයට පිස්සුද මෙහෙම අමාරු ලෙඩ්ඩුන්ව රිපෝට් ඉල්ලගෙන යන්න එවන්නේ. මම කෝල් එකක් අරගෙන දැඩි සත්කාර ඒකකයේ මිසීට කතා කළා.
'මොනවද මේ කරන වැඩ. එක එක ලෙඩ්ඩු එවන්නෙ ඇයි ලේ රිපෝට් ඉල්ලගෙන යන්න'
'කෝ අපි කාවවත් එව්වෙ නෑ. එහෙනම් වෙන වාට්ටුවකින් වෙන්න ඇති.'
'නැත්තෙ මොකද! ලෙඩාමනේ කිව්වේ එයා දැඩි සත්කාර ඒකකයෙ ඉන්නේ කියලා'
'අනේ නෑ. අපි නම් මේකෙ ඉන්න අය එහෙම යවන්නෙ නෑ. මෙකක්ද නම කිව්වේ...'
'පියදාස, එම්.කේ. පියදාස කියලයි කිව්වෙ. අවුරුදු පනස් පහක හැටක විතර කොණ්ඩෙ රැවුල වවාගත්තු සීය කෙනෙක්...'
'කොයි වෙලාවෙද ආවේ...'
'දෙපාරක් ආවා. අන්තිම සැරේ ඇවිත් ගිහින් දැන් විනාඩි දෙකක්වත් නෑ'
'වෙන්න බෑ. මේ දැඩි සත්කාර ඒකකයේ හිටපු එම්.කේ. පියදාස කියන ලෙඩා දැන් පැය භාගයකට කලින් මැරුණනේ!'
මට හිතාගන්න බැරිව ගියා ඒ පිළිතුර. ඒ හින්දම තමයි ඒ මැරුණ කියන කෙනාගේ ඇඳ අසලට ගියේ. ඊට පස්සේ තමයි දෙලොව රත් වුණේ.
මේ පැය භාගයකට කලින් මැරණයි කියන්නේ දැන් විනාඩි කීපයකට කලින් මගේ ඉස්සරහට ඇවිදගෙන ඇවිත් එයාගේ ලේ රිපෝට් එක ඉල්ලපු කෙනාම නේද? ඒ ඇඳගෙන හිටපු බැනියමමයි. ඒ ඇඳගෙන හිටපු සරමමයි. මට කිසි දෙයක් හිතාගන්න බෑ. අවුරුදු විසි පහක විතර ඉස්පිරිතාල ජීවිතේ මෙහෙම සිදුවීමකට මුහුණ දුන්නමයි.
මම ඒ සිදුවීම තවත් දිගින් දිගටම කාටවත් කියන්න ගියෙ නෑ. කිව්වත් කවුරුවත් පිළිගන්න එකක් නෑ. ඒත් මට හොඳටම විශ්වාසයි එහෙම දෙයක් වුණා කියල. ඒත් දෙවියනේ මේ ඉස්පිරිතාලවල් ඇතුළේ මිනිස්සු මැරෙන විදිහට මේවා හොල්මන් පුරයවල් වෙන්න ඕනනේ. ඒත් එහෙම දේවල් නෑ කියල අද ඉඳල මම හිතන්නේ කොහොමද? මේ මම හොඳ පියවි සිහියෙන් ඇස් දෙකට දැක්ක දේනේ.
ඒ මළ සිරුර එම්බාම් කරන්න හම්බ වෙලා තියෙන්නේ ඒ රසායනාගාරයේදී අද්භූත සිදුවීමට මුහුණ දුන් කෙනා දන්න කියන අයකුට. එයා මෘත ශරීරාගාරයේ ඉඳල එම සිරුර එම්බාම් කරන්න රැගෙන යන අන්දම දැක්කට පස්සේ තමයි මේ සිදුවීම ගැන කියල ටිකක් කල්පනාවෙන් වැඩ කරන්න කියල තියෙන්නේ.
නිකම් නෙමේ කියල තියෙන්නේ. මේ මැරිල ඉන්න මනුස්සයා මැරිල ඇඳේ ඉන්න කොට මගේ ළඟට භූත වේශයකින් ආපු කෙනෙක්. ඒ හින්ද පරිස්සමට යමන් මල්ලි කියලත් තියෙනවා.
ඒ මල්ලි වාහනේ එළවගෙන එයාගේ මල් ශාලාවට ගියා. කිසිම සද්දයක්වත් වෙනසක්වත් දැනුණේ නැතිලු. ඊට පස්සේ එයාගේ මල් ශාලාවේදී එම්බාම් කටයුතු ටික ඉවර කරල ලස්සනට මිනිය ඥාතීන්ට භාර දුන්නාම ඒ අය අරන් ගියා. යාළුවා කිව්ව දෙයින් පස්සේ බලාපොරොත්තුවෙන් හිටිය මොනම භූතයෙක් තියා කිසිම සිදුවීමක්වත් නෑ. ඒක තමයි ඇත්ත.
අපි එම්බාම් කටයුතු කොච්චරවත් කරල තියෙනවා. ඒත් කවදාකවත් එහෙම දේවල් මේ තැන්වලදී දැකල නෑ. මල් ශාලාවක ඉඳල සමහර මරණ තනියම අරගෙන යනව බොහොම දුර පළාත්වලට. ඒත් එහෙම දේවල් අඩුයි කියන්නේ නැත්තෙම නෑ කියන එක නෙමෙයි.
එක එක අසාමාන්‍ය සිදුවීම්වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. හැබැයි යක්කු, පෙරේතයෝ, භූතයෝ ඒ මොකෙක්වත් නම් කවදාවත් දැකල නෑ. එහෙම දේවල් ගැන නෙමෙයි මේ කියන්නේ. මරණයක් වාහනේ දාගෙන එහා මෙහා ගෙනියනකොට සිද්ධ වෙන දේවල්.
හැබැයි එකක් කියන්න ඕන. මේ හැම දෙයක්ම වෙලා තියෙන්නේ හදිසි මරණයක් එහා මෙහා ගෙනියනකොට. මොනව හරි විශේෂ දෙයක් වුණාම මගේ ගෝලයෝ ආපු ගමන් කියනවා.
මේ දේ සිද්ධ වුණේ ගිනි තියාගෙන මැරිල හිටපු කෙනකුගේ සිරුරක් ඒ ගෙදර ඉඳල ඉස්පිරිතාලෙ මෘත ශරීරාගාරයට ගෙනියනකොට. පිච්චුණු මරණයක් හින්ද ඕජස් ගලනව. ඒක ඉටි රෙද්දකින් ඔතල තිබ්බත් පොඩ්ඩක් හරි පෙරෙන හින්දා අපි ඒක ලොරියේ තට්ටුවේ බිමින් තිබ්බේ. ඒ තියල පිටි පස්සේ දොර වහල අපි එළවගෙන ආවා.
මිනිය ලොරියට පටවපු කෙනත් මගෙත් එක්ක ඉස්සරහේ ඉඳගෙන ආවා. ඥාතීන් වෙනම වෑන් එකක ආවේ. අපි මිනී කාමරේ ළඟට ඇවිත් ලොරියේ පිටිපස්ස ‍ෙදාර ඇරල බලනකොට මෙන්න බොලේ යටින් තියල තිබුණ මිනිය සීට් එක උඩ. ෂීට් එක උඩ තියපු එකක්නම් එනකොට ලොරිය එහාට මෙහාට හෙල්ලිලා බිමට වැටෙන්න පුළුවන්. ඒත් බිම තියපු එකක් කොහොමද ෂීට් එක උඩට යන්නේ. ඔය ඇස් දෙකට දැක්ක එක සිදුවීමක්.
සමහර මරණ අරගෙන යනකොට මේ හොඳට තියෙන වාහනේ ටයර් පුපුරලා යනව. එකක් නෙවේ ටයර් තුනේම හුළං එක සැරේ ගිහින් තියෙන අවස්ථා නම් ඕන තරම්. එව්ව එච්චර අපි ගණන් ගන්නෙ නෑ. වාහන කියන ඒව කොතැනත් කැඩෙනවනේ.
හැබැයි වෙනසකට තියෙන්නේ මේ කැඩෙන තැන් සහ කැඩෙන වෙලාවල්. සමහර වෙලාවට හරියටම මැදියම් රෑ 12ට මහා පාළු කැලෑවක් මැද්දෙ. එහෙම නැත්තන් සොහොන් පිටියක් ඉස්සරහ. කොච්චර ගැහුවත් වාහනේ ස්ටාර්ට් වෙන්නෙ නෑ. මේ උදේ පාන්දර තෙල් වතුර බලල අරගෙන ආපු වාහනේ වතුර බින්දුවක් නෑ රේඩියේටරේ ඇතුළේ. එහෙම වෙන වෙලාවල් තියෙනවා. ඒකට පිළියම් හැටියට දැන් අපි හුඟ දෙනෙක් අෑත දුරකට මිනියක් අරගෙන යනවා නම් හුඟක් වෙලාවට වතුර කෑන් එකක් දාගෙන යන්න අමතක කරන්නේ නෑ.
එක එක රියැදුරන්ට විවිධ වූ අත්දැකීම්වලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. ඒත් ඒ අත්දැකීම් ලබපු කිසිම කෙනෙක් මෙන්න මේ දේ එදා මේ පාරෙදි මේ දවසේ මේ විදියට සිද්ධ වුණා කියල කියමින් ඡායාරූපයකට පෙනී සිටිමින් විස්තර කියන්න කැමැති නෑ. එයාල හුඟ දෙනෙක් මල් ශාලාව අයිති බොස්ට බයයි රස්සාව නැතිවෙයි කියලා.
සමහර බොස්ලත් අනේ එපා එපා ෆොටෝ ඕන නෑ. නම් ගම් නැතිව විස්තරේ චුට්ටක් ඕනනම් දාගන්න කියල තමයි සමහර දේවල් කියන්නේ. එයාල කියන විදියට හරියට කරන කෙනාට මේක හොඳ ආදායම් මාර්ගයක්. ඒත් එයාල කියන්නේ මේ වගේ දේවල් කියල පත්තරවල ගිහින් බය වුණාම මේ තැන්වල ඩ්‍රැයිවර් රස්සාවකට කෙනෙක් හොයා ගන්න අමාරුවෙයි කියල.
සමහරු මේ කියන දේවල් ප්‍රතික්‍ෂේප කරමින් කියන්නේ මම මෙච්චර කාලයක ඉඳල මිනී ඇදල තියෙනවා. ඒත් කවදාකවත් ඔය කියන විදියේ අහඹු සිදුවීමකට මූණ දීල මඟ ඉඳල නෑ කියන එක. හැබැයි මල් ශාලාවල වැඩ කරන අති බහුතරයක් පිළිගන්නා දෙයක් තමයි අවමංගල රථ රෑට නතර කරලා තියෙනකොට ඒ ඇතුළෙන් විවිධ වූ ශබ්ඳ ඇසෙන බව. කිසිවකු නැතත් අගුළුලා ඇති ‍ෙදාරවල්ඇර වසන ශබ්ද?
කුමාර කියන්නේ අද වෙන රැකියාවක් කළත් මීට කලින් මල් ශාලාවක රියැදුරු රැකියාව කළ අයෙක්. මේ මරණයත් ගෙල වැලලාගෙන මියගිය කාන්තාවකගේ එකක්.
එදා අඟහරුවාදා දවසක්. සමහර අය අඟහරුවාදා රාත්‍රි 12 පහුවෙනකම් මරණේ ගෙදරට ගෙනියන්නේ නෑ. ඒ කියන්නේ රෑ 12 වෙනකල් මරණෙ තියාගෙන මල් ශාලාවට වෙලා නිදි කිරමින් බලාගෙන ඉන්නව කියන්නේ එපාවෙන වැඩක්. කුකුල් නින්දක් ගැහුවත් නින්ද යන්නෙ නෑ. එදා බැරිම තැන මම කිව්වා අයියා 12න් පස්සේ මිනිය ගෙට ගත්තට 12ට ඉස්සරවෙලා ගේ ළඟට ගෙනියන්න හොඳ නෑ කියල කවුරුවත් කියල නෑනේ. අපි තවත් පරක්කු නොවී මිනිය අරගෙන යමු. ගෙයි මිදුලෙ මිනිය තියාගෙන ඉඳල ‍ෙදාළහ පැන්නාම ඇතුළට ගත්තම ඉවරනේ. අපරාදෙනේ ඔයාල සේරම මෙහෙම රස්තියාදු වෙන්නේ කිව්වම කැමැති වුණා.
මොන හේතුවක් හින්දද කියන්න අදටත් මට තේරෙන්නෙ නෑ සමහර මිනී එම්බාම් කරල ඉවර වුණාම එම්බාම් කරපු කෙනාම කියනව මේ මරණේ නම් ටිකක් අප්සට් කියලා. ඒ වගේම අරන් යන කෙනාට මොකක් හරි සිද්ධියක් වෙනවා.
අපට එහෙම දෙයක් කිව්වට එයාට ඒ මිනිය කපනකම් එම්බාම් කරනකල් කිසි ගාණක් නෑ. සමහර වෙලාවට ඒ වැඩ කරන ගමන් සිගරට් එක උරද්දී අත් ආවරණවල ගෑවිලා තියෙන ලේවලට සිගරට් එක චුට්ටක් පෙඟිලා
ඒ කරන ගමන්ම, ඒ කරපු කෙනාම තමයි එහෙම කතාත් කියන්නේ.
එදා එයා එහෙම කතාවක් කියනව මිනිය ගෙනියන්න ආපු එයාලගේම කෙනෙක් අහගෙන හිටිය. ඒ හින්දද දන්නෑ මිනිය ගෙනියන වෑන් එකේ පිටිපස්සට කවුරුවත් එයාල ගොඩ වුණේ නෑ. මිය ගිහින් හිටපු කාන්තාවගේ ස්වාමිපුරුෂයා හිටියා. එයත් නැග්ගේ එයාල අරගෙන ඇවිත් තිබුණ වෑන් එකට.
මම කතා කළාම බොහොම අකැමැත්තෙන් වගේ කෙනෙක් ඇවිත් මිනිය ගෙනියන මම එළවන වෑන් එකේ ඉස්සරහට නැග්ගා. මම දැන් කල්පනා කරන්නේ මම වරද්ද ගත්තු වරද්ද ගැනිල්ල. මිනිය අරගෙන මෙතනින් ‍ෙදාළහ පහුවෙලා පිට වුණා නම් මම එහෙන් ආපහු එනකොට එළිවෙලා. ඒ හින්ද බය වෙන්න දෙයක් නෑ. ඒත් මේ කලින් යන හින්දා මට ආපහු එන්න වෙන්නේ රෑ එකට තනියම.
එතකොටම දැක්කා මගේ යාළුවෙක් ටිකක් සප්පායම් වෙලා ගෙදර යන්න එනවා මම එයාට කතා කරල වෑන් එකට නග්ග ගත්තා. පිටිපස්සෙ ඉන්න ඉඩ නෑ. සේසත්, ඇත්දළ ඒ සේරම උපකරණත් එක පැත්තක පටවල. යාළුව ඉඳගත්තේ මිනී පෙට්ටිය උඩ. ඒත් උගේ පපුව හා ඔළුව කෙළින්ම අපි දෙන්න මැද්දට දාගෙන ආවේ.
අපි ඒ ගිය පාරේ පාළු සොහොන් කනත්තක් අහුවෙනවා. ඒක පහුවෙනවත් එක්කම එක පාරටම ඇතුළේ තිබුණ ඇත්දළ, සේසත් දඩ බඩාස් ගාලා පෙරළෙන්න ගත්තා... අයිනේ හොඳට අසුරල තියපු දේවල් බිම වැටෙන්න විදියක් නෑ. ඒත් බිම වැටුණා. මහා ලොකුවට ඇහුණ ඒ සද්දය ඒ දේවල් බිම වැටීමකටත් වඩා කවුරු හරි ඒවා පොඩි පට්ටම් කරගෙන ඒ උඩ ඉඳගත්තා වගේ සද්දයක්. සොහොන් කනත්ත පහු කරනකොට අපි හිටියේ පාරක කන්දක් උඩ වගේ... එතනින් වාහනය පල්ලමට දාන කොටම එක පාරටම ‍ෙදාර ඇරිල ගියා. මම වාහනේ එහෙමම නතර කළා. එතන පල්ලම හින්දා ආයෙත් දොර ඉස්සරහට තල්ලුවෙලා ඇවිත් වැහුණා.
සමහර වෙලාවට තරමක් බීලා හිටපු මගේ යාළුවා අතරමඟින් වෑන් එකට ගොඩ කර ගන්නකොට එයා බාගෙට දොර වහගෙන නඟින්න ඇත්තේ. ඊට පස්සෙත් කිලෝමීටර් 25ක් තිහක් විතර ආවා. දොර වැහිලා තිබුණේ ඊට පස්සෙත් කිලෝමීටර් 25ක් තිහක් විතර ආවා. දොර වැහිලා තිබුණේ නැත්තන් ‍ෙදාර ඇරෙන්න තැන් ඕන තරම් තිබුණා. අනිත් එක මේ ‍ෙදාර ඇරුණේ ලොකු පල්ලමකදී. පල්ලමකදී යන වාහනයක ‍ෙදාරක් ඇරෙන්න කවුරු හෝ දොර ඇරල පසු පසට තල්ලු කරන්නම ඕන. ඒත් එදා ඒ දේ මම ඉස්සරහම සිදු වුණා.
සමහර විට මගේ යාළුවා ඒ කියන්නේ මිනී පෙට්ටිය උඩ ඉඳගෙන හිටපු යාළුවා ඒ දේ කරන්න ඇති කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. මමනේ දැක්කේ. වාහනේ ‍ෙදාර ඇරෙනකොටම උෟ ඉස්සරහ ෂීට් එකට පැනලත් ඉවරයි. ඒ කියන්නේ ඒ දේ කවදාකවත් උෟ කරපු දෙයක් නෙවෙයි.
ඊට පස්සේ වාහනය මළ ගෙදරට කිලෝමීටර් දෙක තුනක් මෙහා පොඩි ගම්මානයක් අයිනේ නතර කෙරුවා. වෑන් එකේ හිටපු එයාලගේ කෙනා මගේ යාළුවත් එක්ක කුටු කුටු ගාල වෑන් එකෙන් බැහැල ගම දිහාට ගියා.
විනාඩි පහ දහය ගිහින් පැයක් ගෙවිල ගියා. මම පුදුම බයකින් හිටියේ. ඒත් බොහොම අවංකවම කියන්නේ, එම්බාම් කරපු මගේ හිතවතා කියපු මේ මිනියත් තියාගෙන ඒ රෑ මැද්දෙ මම තනියම එතන හිටියත් මට වෙන කිසිම සිදුවීමක් ඇති වුණේ නෑ කියන එක ලියන්නම ඕන දෙයක්. මගේ යාළුවාවත් ඇදගෙන වෑන් එකේ ආපු කෙනා ගමට රිංගල තියෙන්නේ බය වෙච්චි පාර අරක්කු හොයාගෙන එන්න. ඒත් මිනියත් එක්ක හිටපු මට කිසිම දෙයක් වුණේ නෑ. සමහර විට වෑන් එක ඉස්සරහින් හා පැටියෙක් පැන්නා නම් මම සිහි නැති වෙන තරමේ බයකින් මගේ පපුව පිරිල තිබුණේ. ඒත් එහෙම දෙයක් වුණේ නෑ. ඒ හින්දා පල්ලමකට වෑන් එකක් බස්සනකොට උඩ පැත්තට ‍ෙදාරක් ඇරෙන්නේ කොහොමද කියලා අදටත් මම කල්පනා කරනවා. ඒ කුමාර කියපු කතාව.
එහෙත් බණ්ඩාරවෙල මල් ශාලාවක හර්ස් එකක රියැදුරු ලෙස රැකියාව කළ අයෙක් පැවැසුවේ මෙවැනි දේවල් මිනිසුන්ගේ මනසින් මවාගත් හෝ යම් යම් ආර්ථික වාසි ලබා ගැනීම සඳහා හෝ මල්ශාලාවේ හිමිකරු වෙත ආරංචි වීමට සලස්වන දේවල් යැයි තමන් කාලයක් විශ්වාස කළ බවයි.
'ඒත් අයියේ මට ඒ මිනිය අරගෙන යන්න තිබුණේ මැදිරිගිරියට. මඟදි බඩු නතර වුණා. ඒ කියන්නේ රෑ මැදියමේ අලි ගහන කැලෑවක් මැද්දෙ වාහනේ නැවතුණා. හැබැයි අලි නම් ආවේ නෑ. කොච්චර හදන්න බැලුවත් වාහනේ ස්ටාර්ට් වෙන්නෙ නෑ. අපේ වාහනේ පිටිපස්සෙන් ආපු එයාලගේ වාහනෙත් තියෙනවා. ඒකෙත් සෑහෙන පිරිසක් ඉන්නව, පොඩ්ඩ පොඩ්ඩ දන්න අය කොච්චර උත්සාහ කරල බැලුවත් ස්ටාර්ට් කරගන්න බැරිවුණා. ඒ විතරක් නෙවේ අපි දහ ‍ෙ දෙනෙක් දාලා තල්ලු කෙරුවත් හෙලවෙන්නේ නැති විදියට වාහනේ තද වෙලා.
පස්සේ බොසාට කෝල් කරල එයාගේ හිතවත් මල්ශාලාවකට කියල හර්ස් එකක් ගෙන්න ගෙන මිනී පෙට්ටිය ඒකට මාරු කෙරුවා. අපේ වාහනෙත් ඇදගෙන යන්න ඇවිත් තිබුණා. ඒත් නිකමට වගේ අන්තිම මොහොතේ ගහල බලන්න හිතුණා. මෙන්න බොලේ වාහනය ස්ටාර්ට්. ආපහු මල් ශාලාවට ඇවිල්ලත් ඊළඟ සර්විස් එක එනකලුත් කිසිම කරදරයක් නැතිව දිව්වා. ඇත්ත ඒකයි. නමුත් අපි කියන්නේ නෑ. හොල්මන් අවතාර මැරිච්ච මිනිසුන්ගේ මළ සිරුරු එක්ක ගමන් කරනවා කියල. ඒත් මොකක්දෝ අමුතු දෙයක් සිද්ධ වෙනවා සමහර වෙලාවට.
ඒත් ඊටත් වඩා දේවල් මල් ශාලාවල් ඇතුළේ ඉන්න කොල්ලොයි, ඒකෙ වැඩි කරන අයයි ඕනතරම් දැකල තියෙනව, ඒ වුණාට වැඩිපුර ඒවා ගැන හොයන්නෙ බලන්නෙ කතා කරන්නෙ නෑ. එහෙම වුණොත් මේ රස්සාව කරගෙන ඉන්න ලැබෙන එකක් නෑ.
හැබැයි ඔය මොන දේ ඇහුණත් දැක්කත්, සිදුවුණත් කිසිම කෙනකුට ජීවිත හානියක් අනතුරක් වගේ දෙයක් නම් වෙලා කියල ආරංචියක් නෑ.