මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

15 June 2017

---රෝගී මව පණ මෙන් රැක ගත් පුංචිරාළට විස්මිත තෑග්ගක්---


පුංචිරාළ යනු දහනව වන සියවසේ අග භාගයේ වන්නි හත්පත්තුවේ ගමක විසූ අන්තිම අවිහිංසක තරුණයෙකි. කුඩා කාලයේ දීම පියා මිය යාම නිසා අසරණ වූ මවටත්,සොයුරු සොයුරියන්ටත් පිහිටට පැමිණි පුංචිරාළ හේන් ගොවිතැනින් සහ ප‍්‍රදේශයේ ප‍්‍රභූ නිවෙස්වල බැල මෙහෙවර කිරීමෙන් තම පවුල නඩත්තු කළේ ය. කෙසේ හෝ නිසි කල වයස් පැමිණි පසු සොයුරු සොයුරියන් විවාහ වුව ද විවාහයක් පිළිබඳව සිතීමට පුංචිරාළට ඉඩක් නොතිබිණි. ඒ එම කාලය වන විට ඔහුගේ මව අංශභාග රෝගයෙන් පෙළුණු බැවිනි.
කෙසේ හෝ පසු කාලය වන විට අංශභාග රෝගය නිසා ඇ‍ඳෙන් නැගිට ගැනීමට වත් නොහැකි තත්ත්වයට පත් මව රැක බලා ගැනීමට යාම නිසා පුංචිරාළගේ හේන් වගාව වරින් වර වන සතුන්ට ගොදුරු වී විනාශ විය. එය ඔවුන්ගේ ජීවන පැවැත්මට මරු පහරක් විණි. මේ තත්ත්වය යටතේ පවා නොපසුබට වූ පුංචිරාළ ඉන්පසු ප‍්‍රදේශයේ ධනවතුන්ගේ නිවෙස්වල වැඩපළට යද්දී තම කෙසඟ රෝගී මව ඔලොගුවක් වැනි උරයක බහා පිටේ එල්ලාගෙන යාමට පුරුදු විය. මෙය බොහෝ දෙනකුගේ විස්මයටත්,කුතුහලයටත් හේතු වූ මුත් ඒ හැරුණු කොට තම මව සම්බන්ධයෙන් ගත හැකි අන් පියවරක් ද ඔහුට නොපෙනිණ. ඊට හේතුව ඒ වන විට උපන් ගමින් දුර බැහැර ප‍්‍රදේශවල වෙසෙන සොයුරු සොයුරියන් සිය මව කෙරෙහි කිසිදු උනන්දුවක් නොදැක්වීම ය.
කාලය කෙමෙන් ගත විණි. පුංචිරාළ විසින් ලබා දුන් අනේක විධ ප‍්‍රතිකාර අබිබවා මවගේ රෝගය වඩාත් අසාධ්‍ය විය. එසේ දුශ්සාධ්‍ය වූ එක්තරා රාත‍්‍රියක මව පුංචිරාළ තමන් ළඟට කැඳවීය.
‘‘පුතේ, උඹ මං වෙනුවෙන් මට ඇප උපස්ථාන කරන්න උඹේ ජීවිතේ හොඳම කාලේ නාස්ති කරගත්තා. ඒත්, දැන් උඹ දුක් විඳපු කාලේ ඉවරයි. උඹ මට කරපු මේ ඇප උපස්ථානවලට උඹට මහා ධන නිධානයක් පහළ වෙන එක පහළ වෙනවාමයි.’’
මේ වදන් පෙළ අසීරුවෙන් කියාගත් එම මවගේ ගෙල එසැනින් කඩා වැටී මුව ද පැත්තකට හැරුණි. ඉන්පසු තම මව මෙලොව හැරගිය බව වටහා ගත් පුංචිරාළ ද හඬාවැළපී තම ශක්ති පමණින් ඇගේ අවසන් කටයුතු සිදුකොට නිමවාලී ය.
එහෙත්, ඒ වන විට මව වෙනුවෙන් කැපවීම නිසා හරි හැටි ජීවත් වීමටවත් මඟක් නොතිබුණු පුංචිරාළට තම මව උදෙසා හත් දවසේ දානය දීම පවා හුදෙක් සිහිනයක් පමණක් විය. එහෙත් එසේ කියා තම මවට පින් නොපමුණුවා හිඳින්නට ද ඔහුට නොපුළුවන. අවසානයේ පුංචිරාළ එක් තීරණයකට එළැඹිණි. එනම් තමන්ට ඇති හැකි ප‍්‍රමාණයෙන් දන් වේලක් සකසා එය ප‍්‍රදේශයේ විහාරස්ථානයට පූජා කිරීම ය. ඒ අනුව ප‍්‍රදේශයෙන් උපයා සපයාගත හැකි ව්‍යංජන පිණිස වන බෝග වර්ග කිහිපයක් සොයා ගත් පුංචිරාළ දානයට අවශ්‍ය වෙනත් කළමනා සෙවීමට කඩමණ්ඩිය බලා පිටත් විය. එහි දී දානය පිසීමට අවශ්‍ය දුරු මිරිස් තුන පහ මිලට ගත් ඔහු වියළි හාල්මැස්සන් යම් ප‍්‍රමාණයක් මිලට ගත්තේ එම දාන වේල අංග සම්පූර්ණ වනු පිණිසය.
දහවල කෙමෙන් ගෙවී යමින් සන්ධ්‍යා කාලය එළඹෙමින් තිබිණ. කඩමණ්ඩියට ගිය පුංචිරාළ නැවත හනි හනික ගම් පියස බලා පා නගන්නට වූයේ සිව් දෙසින් හාත්පස කළු කරමින් මහ වර්ෂාවකට අර අදින්නට වූ බැවිනි. එසේම තවත් මඳවේලාවකින් මහ වැසි ඇද හැලෙන්නට වූයේ ඔහුගේ ගමන මුළුමනින් නතර කොට දමමිනි. කෙසේ හෝ වන පියස මැද දී මෙම වැස්සෙන් බේරීමට මඟක් සෙවූ පුංචිරාළට අද්දර තිබූ ගල් ගෙයක් පෙනිණ. ඔහු එම ගල්ලෙන තුළට සේන්දු විය. එහෙත්,වැස්ස නතර කරන පාටක් නැත. විදුලි කොටමින්,හෙණ හඬතලමින් එක දිගට මහ වැසි ඇද හැලෙයි. දැන් පුංචි රාළට ගල් ලෙනින් පිටතට එනු තබා සිතන්නටවත් නොහැක. ඒ මදිවාට කෙමෙන් රාත‍්‍රිය ද බෝ වෙමින් තිබේ.
පුංචි රාළට පසුදා දිය යුතු දානය සිහිපත් විය. එය තමන් විසින්ම උයා පිහා විහාරස්ථානයට පූජා කළ යුතු ය. ඒ සඳහා යම් කාලයක් ද ගත වන බව ඔහුට වැටහිණ. ඒ සමඟම තමන් අත වූ හාල්මැස්සන් මුල පුංචිරාළගේ නෙත ගැටිණ. දානය පිසීම පිණිස ඒවායේ ඔළු කැඞීමට ද යම් කාලයක් ගතවන බව ඒ සමඟම ඔහුගේ සිහියට නැඟිණි. එසැණින් ඔහුට කදිම අදහසක් පහළ විය. එනම් මෙම ධාරානිපාත වර්ෂාවෙන් මුවා වීම පිණිස ගල් ලෙන තුළ හිඳින කාලය තුළ මෙම හාල්මැස්සන්ගේ ඔළු කඩා දැමීමට ය. ඒ අනුව පුංචිරාළ වැස්සේ මේඝ ගර්ජනා හඬට සවන් දෙමින් තමන් අත වූ හාල්මැස්සන් මුල ලිහා උන් එකි’නෙකාගේ ඔළු කඩමින් අද්දර වූ ගල්තලය මතට වීසි කරන්නට විය.
ඒ අතරේ හිටිහැටියේ කන් බිහිරි කරවන මහා හෙණ හඬක් මතුවිණි. කුමකින් කුමක් සිදුවූයේදැයි සිතාගත නොහැකි පුංචි රාළ අන්දමන්ද විය. ඒ සමඟම වටපිටට දෙනෙත් යොමු කළ ඔහුට තමන් ඉදිරියේ ඇති මහා ආලෝක ධාරාවක් දැකිය හැකි විණි. එකෙනෙහිම තමන් සමීපයේ ඇති ගල්තලය පුපුරා ගොස් ඇති බවත්, එම ආලෝකය නිකුත් වනුයේ එතුළින් බවත් පුංචිරාළට වැටහුණි. ඉන් විස්මයෙන් ඇළලී ගිය හෙතෙම එම දෙබෑ වූ ගල්තලය තුළින් ඇතුළට හිස පොවා බැලී ය. එවිට ඔහුට දක්නට ලැබුණේ එම කුහරය රන්, රිදී, මුතු මැණික් ආදියෙන් පිරී ඉතිරී ඇති බවකි. එමෙන්ම ඒවා මත ඇති පත්ඉරුවක් වැනි දෙයක් ද පුංචිරාළට දක්නට ලැබුණු අතර එහි මෙබඳු අදහසක් ඇති වැකියක් තිබිණි.
‘‘අසවල් රජතුමන් විසින් තැන්පත් කොට ඇති අසවල් ප‍්‍රමාණයෙන් යුතු ධනස්කන්ධයක් මෙහි නිදන් කොට ඇත. සිය දෙනකුගේ ගෙල සිඳ උන්ගේ හිස් මේ ගල් තලය මත හෙළා බහිරව දේවතාවුන් වහන්සේ සතුටු කරන්නකුට හැර මේ ධනයට අන් කිසිවකුටත් හිමිකම් කීමට නොපුළුවන.’’
ඒ අනුව තමන් හාල්මැස්සන් සිය දෙනකුගේ ඔළු කඩා එම ගල් තලය මත හෙළීමෙන් නොදැනුවත්වම හෝ එම බහිරව පූජාව ද සිදුකොට ඇති බව පුංචිරාළට වැටහිණ. පසුව මවගේ අවසන් පැතුම සනාථ කරමින් එම ධනස්කන්ධයේ තනි හිමිකරු බවට පත් පුංචිරාළ හත්කෝරළයේ පදිංචියට පැමිණ එහි මහා ධනවතකු බවට පත් විය. ඔහුගේ පරපුර අද ද හත්කෝරලයේ කෝටිපතියන් බවත් ඔවුන්ගෙන් සමහරෙක් දේශපාලනයට ද පිවිස ඇති බවත් වන්නි හත්පත්තුවේ ගැමියෝ කියති.

ලක්බිම

---ගැහැනුන් බිලිගත් සල්ලාල කපුවා කකුළුවෙක් වෙයි---


හක්මන ප‍්‍රදේශයේ ජීවත් වූ ජයන්ත මුළු ගම්මානයටම පිළිලයක් ලෙස ගැමියන් හැඳින්වූයේ ඔහුගේ ක‍්‍රියාකලාපය එතරම්ම අයහපත් වූ නිසා ය. දඩබ්බර ගති පැවැතුම්වලින් හෙබි ජයන්ත නොබෝ දිනකින් හමුදාවට බැඳුණි. ඔහු හමුදාවට බැඳීමත් සමඟ ගමේ මිනිසුන් ඔහු කෙරෙහි තිබූ අප‍්‍රසාදය මුසු වූ බිය තවදුරටත් වැඩි විය. ඒ මෙවන් නොමනා හැසිරීම් ඇත්තකු අතට බලය ලැබීමෙන් සිදුවන විනාශය පිළිබඳ ඔවුහු දැන සිටි නිසා ය.
හමුදාවට බැඳුණ ද ජයන්ත වැඩි කලක් හමුදාවේ සිටියේ නැත. ටික දිනකින් ඔහු ඉන් පලා ආවේ ය. ඒ එද්දී ඔහු සතුව ආයුධ කිහිපයක් ද විය. මේ අතරතුර යන්ත‍්‍ර මන්ත‍්‍ර කටයුතුවලින් ජනප‍්‍රියත්වය හිමි කරගෙන සිටි හිමිනමකගේ ආරක්ෂකයකු ලෙස කටයුතු කරන්නට ජයන්තට අවස්ථාව සැලසුණි.
මෙම හිමිනමට ආයුධ සන්නද්ධ ආරක්ෂකයන් හය දෙනෙක් සිටියෝ ය. උන්වහන්සේ නිදන් හොයා ගිය හිමිනමකි. ඒ හිමියන්ට ආරක්ෂකයන් අවශ්‍ය වූයේ ඒ සඳහා ය. දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් සමඟ එක්ව භාගයට භාගය බෙදා ගැනීමේ පදනමින් බොහෝ නිදන්වලට වග කියන්නට හිමි නම ඇතුළු පිරිසට හැකි විය.
හිමිනම ළඟ වසර පහකට පමණ ආසන්න කාලයක් සේවය කළ ජයන්තට යන්ත‍්‍ර මන්ත‍්‍ර පිළිබඳ හුරුවක් ඇති වූයේ හිමියන්ගේ ආරක්ෂකයාට අමතරව අතවැසියා ලෙසින් ද කටයුතු කිරීම හේතුවෙනි. මෙතෙක් කරන ලද රැුකියාව අමතක කළ ජයන්ත ඉන්පසු අලූත් වැඩකට අත ගැසුවේ ය. ඒ දේවාලයක් ඇරඹීමයි. එම දේවාලයේ කපු මහතා ජයන්ත ය. හිමිනම ඇසුරෙන් හුරු වූ පොඩි පොඩි යන්ත‍්‍ර මන්ත‍්‍ර කටයුතු හරහා සැලකිය යුතු තරමේ ආදායමක් උපයා ගැනීමට ජයන්තට හැකිවිණි. ශාස්ත‍්‍රයට වඩා මවාපෑම ඔහු තුළ පැවැතුණි.
ජයන්ත වැඩි වශයෙන්ම ප‍්‍රකට වූයේ වශී කර්ම උදෙසා ය. දුර බැහැර ප‍්‍රදේශවලින් ජයන්ත කපු මහතා සොයා එන පිරිස දිනෙන් දින ඉහළ යන්නට විය. මේ සමානවම ජයන්ත කපු මහතාගේ සල්ලාලකම ද වැඩි වන්නට විය. ඇහැට කනට පෙනෙන කාන්තාවක් හෝ තරුණියක් යම් ගුරුකමක් කරවා ගන්නට තමන් වෙත පැමිණියහොත් තම පහත් ආශාවන් උදෙසා ඔවුන්ව නම්මවා ගැනීමට ද හේ තමා දන්නා ශාස්ත‍්‍රයම භාවිත කළේ ය.
ඔහු එකම පවුලේ අක්කා නගෝ දෙදෙනාම එකම නිවසේ තබාගෙන පවුල් කෑවේ ය. මේ දෙදෙනා ද ශාන්තිකර්මයක් කර ගැනීමට ඔහු සොයා පැමිණි දෙදෙනකු වූ අතර ඔහු එළිපිට ම තම පහත් ආශාවන්ටම මුල් තැන දී කටයුතු කරන්නට විය. ඔහුගේ දැලට පැටළුණු බොහෝ තරුණියන්ට තමන්ට සිදුවූයේ කුමක්ද යන්න හෝ පිළිබඳ අවබෝධයක් නැත. ඔහුට මෙවන් නොපනත්කම් කිරීමට උපකාර වූයේ වශී තෙලයි.
මේ අතර නුවර ප‍්‍රදේශයේ ජීවත් වූ වසන්ති නම් අවුරුදු දහසයක තරුණිය සිය නැන්දා සමඟ ජයන්ත කපු මහතා හමුවීමට පැමිණෙන්නේ නැන්දාගේ වුවමනාවකට ය. ඒ හැරදා ගිය සැමියා යළි ගෙන්වා ගැනීමේ නැන්දාගේ අරමුණ ඉටු කරගැනීමට ය. කෙසේ හෝ සැමියා යළි ගෙන්වා දෙන බව පවසා විවිධ පූජාවන් උදෙසා අවස්ථා කිහිපයක් වසන්තිව හා නැන්දාව දේවාලය වෙත ගෙන්වා ගන්නා ජයන්ත සුපුරුදු පරිදි වසන්තිව තම දැලට හසුකර ගැනීමට සමත් වූයේ ය.
පෙර කතා කිහිපයක සඳහන් වූ මගේ අයියා වෙත වසන්ති හා නැන්දා පැමිණෙන්නේ සාස්තරයක් ඇසීම සඳහා ය. ජයන්ත කපුවාගෙන් වසන්තිට සිදුවූ ඇබැද්දිය නැන්දා දැනගන්නේ ඒ අවස්ථාවේදී ය. බොහෝ දෙනෙක් නොදැන සිටි, ජයන්තගේ නොපනත්කම් මංග අයියාගේ අඳුනට පෙනෙන්නට විය. අවසානයේ ඔහුගේ අඳුනට පැමිණියේ මලයාලි කාලි ය. මලයාලි කාලි යනු ඉතා දරුණු දේවතාවියකි. වරදට දඬුවම් දීමත් වැරැුදි කරන්නවුන් විනාශ කර දැමීමත් ඇයගේ කාර්යයයි.
මලයාලි කාලි දේවතාවිය මංග අයියාට නියෝගයක් දුන්නා ය. එම නියෝගය මංගගේ කටින් පිට විය.
”මූව නවත්තන්ඩ ඕනේ. මේකා නටපු කාලේ දැන් ඇති හොඳටම. මේකා දෙයියෝ විකුණලා ගෑනු බර ගණනක් අමාරුවේ දාලා. කාලි මෑණියන්ට හොඳටම තරහා ගිහිල්ලා”
එම සිදුවීම එසේ සිදු විය. මංග අයියා දැඩි තීරණයකට එළඹියේ ය. වැරැුදි කරුවන්ට දඬුවම් දීමට දෙවියන් අවසර දී ඇත. එසේනම් කළ යුත්තේ කුමක්දැයි ඔහු කල්පනා කරන්නට විය. ඕනෑම සතුරකුට දිය යුතු දඬුවමක් පිළිබඳ කල්පනා කළ සැණින් සිහියට නැෙඟන්නේ මරා දැමීම ය. මලයාලි ශාස්ත‍්‍රයේ දී මිනිසකු මරා දැමීම එතරම් අපහසු කාර්යයක් ද නොවන බව මංග අයියා දනියි. එහෙත් ජයන්ත වැනි පහත් මිනිසුන්ට ගැළපෙන දඬුවම (මරණය* නොවන බව මංගගේ අදහස විය.
ඔහු හොඳින් උගත් එහෙත් මෙතෙක් කිසිදු දිනක අත්හදා බලා නොතිබුණු දෙයක් අත්හදා බලන්නට තීරණය කළේ ය. ඒ අනුව මාසේ පෝය දා රාත‍්‍රියේ මංග අයියා තම කාර්ය ඇරඹී ය. පළමු කාර්යය වූයේ දිය කකුළුවකු අල්ලා ගැනීම ය. මාසේ පෝය දිනය යනු දැඩි කළුවර දිනයකි. වනාන්තර මැදින් ගලා බසිනා ඇළ පහරක් වෙත ගිය මංග අයියා සහ ඔහුගේ අතවැසියා ඇළ ඉවුරේ කකුළුවන් සොයමින් ඉදිරියට ඇදෙති. දැඩි අන්ධකාරය තම කාර්යයට බාධාවක් වුවත් මධ්‍යම ප‍්‍රමාණයේ කකුළුවකු සොයා ගැනීම උදෙසා ඔවුන් ඉදිරියට ම ගමන් කළේ ය. දිය කකුළුවකු අල්ලා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන්නේ අන්ධකාරය හා ජලය මඟින් කකුළුවාට සපයන ආරක්ෂාව නිසා ය. ජලයේ ගල්වල එල්ලී සිටින කකුළුවකු ගෝනියකට මැදිකර අල්ලා ගැනීම උදෙසා සෑහෙන වෙහෙසක් දැරීමට ඔවුන් දෙදෙනාටම සිදුවුණි. එහෙත් අවසානයේ තම කාර්යය ඉෂ්ට කර ගැනීමට මංග අයියාට හැකි විය.
ඉන්පසු කකුළුවාව මංග අයියා පූජා කටයුතු සිදු කරන ස්ථානයට රැුගෙන ආවේ ය.
කකුළුවාව කුඩා කූඩයකට දමා වසා පූජා ස්ථානයේ බිම තැබූ හෙතෙම තින්නූර් (තින්නූර් යනු පූජා කටයුතුවලට භාවිත කරන අළු වර්ගයකි* උපයෝගි කර ගනිමින් යන්ත‍්‍රයක් ඇන්දේ ය.
මලයාලි පූජාවලට අවශ්‍ය පන්දම්, කපුරු, රත්මල්, අරක්කු, කළු සුරුට්ටු සියල්ල සූදානම්ව ඇත. සුදු පැහැති සරමට උඩින් රතු රෙද්දක් ඔතා පූජාවට සුදානම්ව සිටි මංග අයියා පූජාව ඇරඹුවේ ය. අමු කපුරු ගුලියක් තැටියට දමා පත්තු කර බිත්තිය අසල බිම වාඩිවූ ඔහු අතේ ඇඟිලි දෙකක් බිමට තබා මන්ත‍්‍රයක් මැතුරුවේ ය. එවිටම අධික වේගයෙන් මංගගේ අත් සහ හිස විසිවී ගොස් පසුපසින් වූ බිත්තියේ වේගයෙන් වැදුණි. ඒ සංඥාව මංගගේ ශරීරයට ඔහු වැඩ ගන්නා මළගිය ආත්ම ඇතුළු වූ බවයි. මංග අයියා පවසන පරිදි ඔහු ඒ ශක්තීන් ට අඬගසන අවස්ථාවේදී ඒ සමීප දොර කෙළින් මාර්ගයේ කිසිවකු හෝ නොසිටිය යුතු වෙයි. ඒ යම් කිසි අයකු ඉදිරියෙන් සිටියොත් මළගිය ආත්මය පැමිණෙන වේගයටය. ඔහුට දැඩි අනතුරකට මුහුණ දීමට සිදුවනු ඇත. එය සාමාන්‍ය මිනිසකුට දැරිය නොහැකි වේගයක් බව ඔහුගේ අදහසයි.
මළගිය ආත්මය ශරීරයට පැමිණීමෙන් පසු පූජාව ඇරඹුණි. මැතිරීම්, කපුරු දැල්වීම් සමඟින් පූජාව දිගින් දිගට සිදු කෙරීගෙන යයි. එක් වරම යළිත් වරක් මංගගේ ශරීරයේ ප‍්‍රබල ගැස්මක් සිදු විය. යළි ප‍්‍රබල ආත්මයක් මංගගේ ශරීරයට ආරූඪ වූ බව ඔහුගේ ගෝලයා අත්දැකීමෙන් දනියි. එවන් අවස්ථාවලදී අලූතින් කපුරු දැල්වීම සිදු කළ යුතු ය. මලයාලි කාලි පැමිණ ඇත. මංගගේ මුහුණින් දිස්වනුයේ රෞද්‍ර ස්වරූපයකි.
”දීපන් කකුළුවව” මංග ඉල්ලා සිටියේ ය. ඒ මංග නොව කාලි ය.
දඟලන අඬු සහිතව සිටින කකුළුවාව අතට ගත් ඔහු එම සතා මුඛය ළඟට ගෙන මතුරන්නට විය. කකුළුවාගේ අඬුවලට මංගගේ ඇඟිලි මැදිවී තද වුවත් ඒවා තුවාල නොවන්නේ ශරීරය තුළ ඇති කාලි ශක්තිය නිසා විය යුතු ය. දියකරන ලද රතු සින්¥ර් අතට ගත් මංග කකුළුවාගේ ශරීරය මතුපිට හොඳින් ආලේප කළේ ය. ඉන්පසු සිහින් කම්බියක් ගෙන අඬු ටික එකට තබා ගැටගැසුවේ ය. දැන් කකුළුවා දිස්වනුයේ රත්පැහැ ගුලියක් ලෙසිනි. අවසානයේ කපුරු පෙත්තක් ගෙන කකුළුවා මත තබා පත්තු කළේ ය. කපුරු පෙත්ත දැවී ගියේ ය. කකුළුවාට කිසිවක් සිදු වූයේ නැත.
මංගගේ නිවස ආසන්නයේ පාළුවට ගිය ගල් වළක් වෙයි. පූජාව නිමා වූ පසු ඔහු කකුළුවාව ගෙන ගොස් ගල්වළට දැමුවේ ය. අඬු ගැටගැසූ කකුළුවා ගල් වළේ පතුලට පාවී ගියේ ය. පූජාව අවසන් විය.
ජයන්ත කපු මහතා මේ කිසිවක් දැන සිටියේ නැත. පූජාව සිදු වූ රාත‍්‍රියේ ජයන්ත කපු මහතා නින්දෙන් එක්වරම අතපය වකුටු කරගත්තේ මංග අයියා ගැටගැසූ කකුළුවා මෙනි.
ඔහු එදා අත්පා දරදඬු කරගෙන තිබුණේ කකුළුවාගේ ස්වරූපයටම ය. වසර දහයක් පමණ ගෙවී ගොස් ඇතත් කිසිම වෛද්‍යවරයකුට ඔහුගේ රෝගය අවබෝධකර ගැනීම හෝ ඔහුගේ ‘වකුටුභාවය’ සුවකර ගැනීමට නොහැකි වී ඇත.
කකුළුවා තුළට ඇතුළු කර ඇත්තේ මළගිය ආත්මයක් වන බැවින් කිසිදු ආහාරයක් නොගෙන ඕනෑම කාලයක් ජීවත්වීමට කකුළුවාට හැකි ය. කකුළුවා මිය යන්නේ තමන්ට භාරදුන් මිනිස් ශරීරය මිය ගිය දිනයටය. වකුටු වූ මිනිසා දිගහැර ගැනීමට නම් කකුළුවා සොයාගෙන බැමි කැපිය යුතු ය.මන්ත‍්‍ර ශාස්ත‍්‍රයෙන් තම වැරැුදි අවශ්‍යතා ඉටු කර ගන්නට උත්සහ දැරූ ජයන්තට දඬුවම් විඳින්නට සිදුවූයේ එලෙස ය.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී
කාංචන ගීත මනමේන්ද්‍ර

---හොල්මන් අවතාර පෙනෙන කාල සටහන---


රෑ 6.00-7.15- කාලවලදී අපට මුණ ගැහෙන්නේ සාමාන්‍ය මලගිය නෑදෑයන්ගේ ආත්මයි...(නිදසුනකට තම මිය ගිය සියා හෝ ආච්චිගේ කාමරය තුලින් බැදුම් සුවදවල් පැමිණීම .තනිව ගමන් කරනවිට මෙය දැඩිව දැනේ......නමුත් දැනෙන්නේ එම පවුලේ සාමාජිකයෙකුට පමණි නැතොත් අන් අයට දැනුනහොත් එතන අවතාර බලපෑම් නොමැත)
රැ 7.20 -8.00-මේ කාලයේදී බොහොමයක් බලපෑම් ඇතිවන්නේ මහසෝන් අවතාරය....හෝ ඔයවල් වල මාළු අල්ලන්නට පහර දෙන රලමහ අවතාරය ගේ බලපෑම් ය....(මේවා බොහොමයක් සිදුවන්නේ ග්‍රාමීය ප්‍රදේශවලය )
රැ 8.21 - 9.30-මේ කාලයේදී බොහොමයක්ම ඉතාමත් දරුණු අවතාරවල බලපෑම් ලැබෙන වේලාවකි ....නිදසුනකට හිතේ සැනසිමකින් මිය නොගිය ආත්ම ..පලිගැනීමේ චේතනාවෙන් මියගිය අය ...මිනිසුන් බිලි ගැනීමට තැත් කිරීම (නිදසුනකට යක්කල මෝහිනී ,රාගම සුදු අක්කා, කිරිදිවැල මහේෂිකා,සීදුවේ හන්දිය අසල සිටින අවතාරය ... යන සිද්දි)
රෑ 9.45-11.30-මෙම කාලයේදී බොහොමයක් බලපෑම් ඇතිවන්නේ ඉඩම් තණ්හාවෙන් මිය ගිය සහ නිධන් රකින බහිරවයන්ගේ මගිනි ( නිදසුනකට තම ඉඩමට තණ්හාවෙන් මියගොස් පසුව එය මිලදී ගන්න තැනැත්තා බිය වැද්දීම....නිධන් අසලට පැමිණෙන අය බියකර පලවා හැරීම විශේෂයෙන්ම බහිරවයාගේ පහරදීම් වලට සිල්වත් පුද්ගලයෝ හසු නොවෙති ඔවුනට ගෞරව කරති )
රැ 11.32 -12.00-මෙම කාලවලදී වැඩියෙන්ම පහරදීම් වලට ලක්වෙන්නේ මොහිනිගේ අවතාරයෙනි මුණු පුස්තක හැකාගේ වාර්තා වලට අනුව මොහිනිගේ වැඩිම සහ දරුණුම පහර දීම් වලට ලක් වන්නේ මෙම කාලයේදී (නිදසුනකට බැන්දීයමුල්ල වෙල අසලදී ත්‍රි විලයකට ගොඩ වැදී රියදුරාගේ ලේ බිමට උත්සහ කිරීම...නැතහොත් රියදුරාට පෙනෙන ලෙස තම අතෙහි සිටින දරුවාගේ බෙල්ල අනුභව කිරීම ....සුදු ඇදගත් කතක් වාහනවල පැන අනතුරු කර තුවාල ලැබූ පුද්ගලයා ගේ මුහුණ අතගා සිනාසී අතුරුදහන් වීම මේවා බොහොමයක් සිදුවන්නේ නාගරික සහ අර්ධ ග්‍රාමීය පළාත් වලය )
පාන්දර 12.07-2.00-මේ කාලවලදී අපට බලපෑම් ලැබෙන්නේ අප ආරක්ෂා කරන මලගිය ප්‍රාණකරුවන් හෝ හදිස්සියේ ම මියගොස් ඒ පිලිබදව තම මිතුරන්ට හෝ මවට දැනුම්දීමට පැමිණෙන හිත හොද ආත්මයි(නිදසුනකට හොදම යහළුවෙකු මිය ගොස් ඔබ ලගට පැමිණ ගිහින් එන්නම් මචන් කියා පැවසීම.....අම්මේ මම යන්නම් එහෙනම් කියා පැවසීම )මෙම කාල පරාසයේ 12.00-1.00 දක්වා අප නින්දෙන් දකින සිහින වලින් පවා මලගිය ඉතා හිතවත් නෑදෑයෙක් පෙනීම .......නැතහොත් තමුන් බලාපොරොත්තු වෙන දෙයක් සිහිනෙන් දුටුවහොත් එය නිතැතින්ම ඉෂ්ඨ වෙන සම්භාවිතාව වැඩිය එමෙන්ම
පාන්දර 2.12-3.18-මේ කාලවලදී බොහෝ බලපෑම් ලැබෙන්නේ මල යක්ෂනියගෙනි නැතහොත් යක්ෂයාට සුවද වැටෙන වයසේ සිටින අවුරුදු 19 20 වයස් වල සිටින පවුලේ වැඩිමහල් පිරිමි දරුවා මෙම අත්දැකීමට හෝ වෙනත් බිය ඇතිවන සිද්දියකට මුහුණ දීමේ සම්භාවිතාව වැඩිය...
පාන්දර 4.00-5.20 මෙම කාලය දෙවි දේවතාවුන් බහුලව සැරිසරන වේලාවකි විශේෂයෙන්ම දෙව් අප්සරාවියන් අහසින් ගමන් කරන්නේ මේ කාල පරාසයේදී ය නැතහොත් තම මියගිය පුද්ගලයකු ජිවත්ව සිටි කාලයේ කාල පින්දම් අනුව දේව භවයක ඉපදී ඇත්නම් ඔහු ජිවත්වුන් නිවස හෝ කාමරයෙන් සමන්පිච්ච මල් සුවදක් හැමීම හීනෙන් පැමිණ පින් ඉල්ලීම (නිදසුනකට තනිව යන විට දැඩි සුවද මල් හෝ පිච්ච මල් සුවදක් දැනීම.....නිදසුනකට දේවතා එලි වලින් යන දෙවි වරුන් වරියන් වෙහෙර විහාර ආගමික සිද්ධස්ථාන වැදපුදා ගන්නේ මෙම වේලාවේදීය මට්ට කොල්ලගේ බලපෑමද මේ වෙලව්දී එකවරක් සිදුවී ඇත )
පාන්දර 5.30-6.14 මෙම කාලයේදී නැවතත් තම මලගිය හිතවතුන්ගේ හෝ ප්‍රදේශ වාසීන්ගේ අවතාර පෙනීම වැඩිය නිදසුනකට කිදගම්මුල්ලේ හෝටලය අසල සැරිසරන අවතාරය වැනි ඒවාය නමුත් හිරිහැරයක් නොමැත.

පාන්දර 6.16-6.45 මෙම කාලය නැවතත් දෙවි වරුන්ගේ සැරිසරණ වෙලාවයි

විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතු දෙයකි

Source: Link

---සුනාමියට සිව් මසකට පෙර මුහුද ගොඩගලන බව කී අමුත්තා---


කුමණ ජාතික වනෝද්‍යානය මැද පිහිටි මහකැබිලිත්ත සියඹලා දේවාලය පිහිටි ප‍්‍රදේශය දැන් වෙනදා තරම් සාමකාමී වටාපිටාවක් ඇති පරිසරයක් නොවේ. එහි ඇත්තේ කලබලකාරී වාතාවාරණයකි. ඇතැම් අවස්ථාවල දෙදහසකට ආසන්න පිරිසක් කුඹුක්කන්ඔය ඉවුරු දෙකේත් ඔයේත් සිටිති. ඒ අය අතරින් වැඩි දෙනෙක් විනෝදය පිණිස එහි ආ ගෑණු පිරිමි බව පෙනෙන්නට ඇත්තේ ඔවුන් හැසිරෙන ආකාරය නිරීක්‍ෂණය කළ විටය.
දැන් එහි ඇති සියඹලා දේවාලය පිහිටි බිමේ කැලෑවේ සැගව සිටින වනඅලි කිහිප දෙනා ඒ අවටම සැරි සරන්නට පුරුදුව සිටිති. සියඹලා දේවාලයට ගෙනියන පුජාවට්ටිවල පළතුරු සුවද නිසාම මේ වනඅලි දැන් සියඹලා දේවාලය හැර නොයති.
මේ සියඹලා දේවාලයේ එසේත් නැත්නම් සියඹලා වෘක්ෂයේ කතරගම දෙවියන් භාවනානයෝගිව වැඩ වෙසෙතැයි යන විශ්වාසය නිසා වසර ගණනකට පෙර එහි ආ අතලොස්සක්වු බැතිමතුන් දැන් එහි නොඑති. ඔවුන් බොහෝ දෙනෙක් පවසන්නේ මේ නිස්කලංක, පරිසරය දැන් දුෂණයවී ඇති බවයි. කලබලකාරී නිසා එහි පැමිණ තම අභිමතාර්ථයන් කිසිසේත් ඉටුකරගත නොහැකි නිසා පැමිණීමෙන් ඵලක් නොවන බවය.
කතරගම දේව අඩවියේ පිලිවෙතින් හැසිරෙන කිසිම කෙනෙකුට සතා සිවුපාවුන්ගෙන් හෝ වෙනත් අතුරු ආන්තරා නොවෙතැයි යන විශ්වාසය ඇතැමුන් බැහැරකර ඇතත් වනාන්තරය ගැන දන්නා හැම දෙනෙක්ම එය විශ්්වාස කරති. වනාන්තරයේදි පාර වැරදි අතරමංවු විටකදි කතරගම දෙවියන් සිහිකර කොළඅත්තක් එල්ලා තමන්ට පාරතොට පෙන්වන ලෙස හිතින් ඉල්ලා සිටීම සිරිතකි.
එවන් බොහෝ අවස්ථාවල කවුරුන් හෝ හමුවී පාර පෙන්වා කරදරයකින් තොරව පැමිණීමට හැකිවු අය බොහෝය. මේ නිසා දේව අඩවියේ හාස්කම් නැතැයි කටමැත දොඩමින් මස්මාලූ අනුභව කරමින්, මත්වතුර බොමින් ගංජා සුරුට්ටු උරමින් යනඑන බොහෝ දෙනෙකුගේ ජිවිත ඇතැම් අවස්ථාවලදි බේරෙන්නේ පෙර පිනකිනි.
යුද සමයේ කුමණ වනෝද්‍යානයේ දෙපා කොටි හෙවත් ත‍්‍රස්තවාදීන් සැරිසැරූ නිසා මහකැබිලිත්ත වසරේ වැඩි දිනක් පැවතුනේ පාලූවටය. නමුත් 2002 කොටි ත‍්‍රස්තයන් හා සටන්විරාම ඇතිකරගෙන සාම ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු යළිත් කුමණ පානම හරහා අතරින් පතර මහකැබිලිත්තට යන්නට එන්නට කිහිප දෙනා පුරුදුවිය. තවත් පිරිස් කොටියාගල හරහා එන්නට පුරුදු විය.
මේ සටන් විරාමයෙන් පසු ගතවූ මුල්ම දවස්වල මඩමෙතොට දේවාලයට පැමිණ ගල්අමුණ කදවුරු බිමේ රැය පහන්කර යන පිරිස් අතරින් මහ කැබිලිත්තට ගියේ නම් අතලොස්සකි. වනජිවී දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයෙක් ලෙස සේවය කර විශ‍්‍රාම ගත් ෂර්ලි පෙරේරා මහතා වනාන්තරයට සතා සිවුපාවාට බෙහෙවින්ම ඇලූම් කළේය. නියං කාලවලදි මිතුරන් සමග කුමණට එන ඔහු කුඩා වැව් පිළිසකර කරමින් වනසතුන්ගේ පිපාසය නිවන්නට බොහෝ වෙහෙස මහන්සි ගත්තේය.
දෙදහස් හතර වසරේ අගොස්තු මාසයේ ෂර්ලි පෙරේරා මහතා පානම හරහා කුමණට පැමිණියේ ඉඩෝර සමයේ වන සතුන් දැක බලා ගන්නටය. පාද යාත‍්‍රාවේ එන උතුරු නැගෙනහිර ජනතාව කුමණ ජාතික වනෝද්‍යාන හරහා කතරගමට පැමිණ ද අවසන්ය. මේ කාලයේ කුමණ උද්‍යාන පාලකවරයාව සිටියේ එම්.ආර්. මොහොමඞ් මහතාය. නියෝජ්‍ය උද්‍යානභාරකරු වුයේ ඞී.පී. සියාසිංහ මහතාය. සහකාර වනසත්ව අඩවිආරක්‍ෂක බී. ගුණසිංහ, වනසත්ව නියාමක කේ. සේනාරත්න වැනි පිරිසක් කුමණ සේවය කළේය.
ෂර්ලි පෙරේරා මහතා සමග පරිසරවේදීන් පිරිසක් පැමිණ ගල්අමුණ කදවුරු බිමට ගියේ රැයක් එහි ගත කරන්නටය. මඩමෙතොට දේවාලයට පඩුරු දමා කපුරු පත්තුකර ඇදකුඹුකේද පසුකර ටික දුරක් ගියවිට ගල්අමුණ කදවුරු බිම හමුවෙයි. ඉඩෝරය නිසා වනාන්තරය ඇතුළේ ගස්යට තිබු කොළ අතුපවා වේළී ගොසිනි. කුඹුක්කන්ඔය මුහුදට වැටෙන්නට ඇත්තේ කිලෝමීටර් කිහිපයක් වුවත් කුඹුක්කන් ඔය කේඩෑරිවි ගොසිනි. හැන්දෑ කළුවර ගලා හැලෙද්දී වන සත්තු දිය බොන්නට කුඹුක්කන් ඔයට ඇදෙති.
වනසතුන්ට දිය බොන්නට බාධාවක් නොවන පරිදි කූඩාරම් ඉදි කරන්නට ෂර්ලි පෙරේරා මහතා උපදෙස් දුන්නේ වනසතුන්ට ඇති ආදරය නිසාය. වියළි කාලගුණ සහිත ඒ රාත‍්‍රිය ගංඉවුරේ ගත කළේ බෙහෙවින් සතුටිනි. ගංඉවුරේ වු හෝහපුටුවන්ගෙන් බේරෙන්නට ගිනිමැලය ප‍්‍රමාණවත් නොවීය. එහෙත් කූඩාරම තුළ හෝහපුටුවන් නැත. නමුත් දාහය වැඩිය. රාත‍්‍රියේ නිහඩබව බින්දේ නිශාචර සතුන්ය.
කුමුක්කන් ඔයේ කූඩාරම තුළ ගෙවු රැය පහන්විය. ෂර්ලි පෙරේරා මහතා පාන්දර හයට පමණ කුඹුකන්ඔයට බහින්නට ආවේ මුහුණ සෝදන්නටය. ඒ එක්කම කුඹුක්කන් ඔයේ ඉහළ දෙස සිටි අමුත්තෙකු එනු පෙනිනි. ඇටමාලයක් බෙල්ලේ දාගෙන දුඹුරු පැහැ රෙදිකඩකින් යටිකය වැසී ඇතත් උඩුකය නිරුවත්ය.
මේ අමුත්තා එන්නේ මහකැබිලිත්ත පැත්තේ සිටය. මොහු කවුදැයි කාටත් ගැටලූවක් විය. අමුත්තා තමන් කවුදැයි හදුන්වා දුන්නේ ගාල්ල කුරුදුගහ හැතැක්ම ප‍්‍රදේශයේ බෞද්ධ මධ්‍යස්ථානයක සිට භාවනා කරන තමන් කුමණ මහ වනාන්තරයේ සිට භාවනා කරන බවයි. ඔහු තමන්ට තේ විදුරුවක් දෙන්නැයි ඉල්ලා සිටියේය.
‘‘මේ මහකැලේ තනියම භාවනා කරනවනම් වෙන්න බෑ. තව කල්ලියක් එක්ක කැලේ නිදන් හාරනවාද දන්නේ නෑ. අපි දැකලා ඔත්තු බලන්න ආවාද දන්නේ නෑ. කොයිකටත් පරිස්සමින් බලාගෙන ඉදිමු.’’ කෙනෙක් කීවේය.
‘‘කුමණ කැලෑවේ පෞරාණික වැව් අමුණු තියනවා. මණ්ඩාගල කණබිසෝවැවේ බිසෝ කොටුව පහුගිය වකවානුවේ කඩන්නට ගත් උත්සාහයක් ගැනද වාර්තා වුණා. වනජීවී නිලධාරින්ගේ ඇසවසා කොටියාගල පැත්තෙන් මහකැබිලිත්තට එන මුවාවෙන් පැමිණ කුඹුකන්ඔය දිගේ ඇදකුමුකේට පැමිණ එතැනින් යාල කලාප අංක දෙකට පිවිසෙන ජාවාරම්කරුවන්ගේ ඔත්තු කාරයෙක්ද කොහේද.?’’ තවත් කෙනෙක් කීවේය.
මහකැබිලිත්තේ සිට පැමිණි අමුත්තා තමන් ගාල්ලට යන බව කීවේය. හිරු නැගි හෝරා තුනක් පමණ ගතවනවිට ගල්අමුණේ ගතකළ පිරිස ආපසු ඕකන්‍ද වනජිවි මධ්‍යස්ථානය වෙත එන්නට සුදානම් වූහ.
උදෑසන තමන් හමුවට ආ අමුත්තා තවමත් පිරිස සමගය. වැඩි කතා බහක් නැති මේ අමුත්තා හොරෙක් හෝ ජාවාරම්කාරයෙක් විය නොහැකි බව ටික වේලාවක් යනවිට එහි සිටි වැඩි දෙනෙකුට අවබෝධවිය. නමුත් භාවනා කරන්නට ගාල්ලේ සිට කුමණ කැලැවට පැමිණිය යුතුමද? යන්න ඔවුන්ට තිබු ප‍්‍රධානම ප‍්‍රශ්නය එය විය.
නොකිළිටි, පිරිසිදු, මහ කැබිලිත්ත හාස්කම් වලින් අනුන නිසා වනාන්තරය මැද වුවත් වනසතෙකුගේ හිංසාවක් නැතිබව හොදින් දන්නා අය සිත නිවාගන්නට මෙහි එති. කුමණ මහකැලෑවේ කිලෝමීටර් සිය ගණනකට ආසන්න දුරක් මිනිස් වාසයෙන් තොරව පසුකරන්නේ යාල සහ කුමණ දෙසින් පැමිණියහොත් පමණය. කොටියාගල දෙසින් එය කිලෝමීටර් හතළිහකට ආසන්නය.
ගාල්ලේ සිට ආ බව කියන මේ අමුත්තා තනිවම මහ කැලෑවේ මහකැබිලිත්තේ සිට ගල් අමුණට පැමිණ ඇත්තේද කිලෝමීටර් තිස් පහකට වඩා දුරක් ගෙවාගෙන පා ගමනිනි. මෙවැනි ආකාරයට මහකැබිලිත්තට කලකට ඉහතදි ගිය බව නොරහසකි. කුමණ ගම්මානයේ වැසියෝ සිය ගොවිතැන් පටන් ගන්නට පෙරත් අස්වනු නෙළා අවසන්වු පසු එහි අග‍්‍ර කොටසත් රැගෙන මහකැබැලිත්තට එළෙස ගියේ ඒ වගාවන් වන සතුන්ගේ රැක දුන් කතරගම දෙවියන්ට පූජා කරන්නටය. ඒවැනි ගමන්ද ද එදා ගියේ අදමෙන් වාහන වල නොව පාගමනිනි. ඒනිසා මේ අමුත්තාටද මහකැබැලිත්තේ සිට පයින් එන්නට බැරිකමක් නැතිබව හොදින් වැටහිනි.
‘‘දිව්ලානේගොඩ කන්ද පැත්තෙ ඇති පැරණි බෞද්ධ නටබුන්වත් සොයා ආ කෙනෙක්ද?’’ අමුත්තා ගැන සමහරුන්ට විශාල ගැටලූ ගෙනදෙන කාරණයක් විය. සාමාන්‍යයෙන් කැලෑවට යන කෙනෙක් ජිවිතය රැක ගන්නට මොනවා හෝ ආහාර ටිකක් රැගෙන යාම පුරුද්දකි. අඩුම තරමින් විස්කෝතු පැකට් එකක්වත් රැගෙන යනු ලබයි. නමුත් මේ අමුත්තා සතුව ඒ කිසි දෙයක් නැත.
අමුත්තා ගැන මෙවැනි සිතිවිලි දහසක් ඇති නැති වෙමින් පිරිස නැවති සිටි තැන තිබු අන්තිම භාණ්ඩයත් ජිප් රියට පටවා ගත්තේ ආපසු යන බලාපොරොත්තුවෙනි. ගාලූ යන්නට ආ මේ අමුත්තාට තමන් සමග ඕකන්‍දට ගොස් එතැනින් පානමට ගිය පසු බස් රථයක පොතුවිල්, සියඹලාණ්ඩුව, මොණරාගල, වැල්ලවාය, තණමල්විල, වීරවිල, හම්බන්තොට, තංගල්ල, මාතර හරහා ගාල්ලට යා හැකි බව පිරිසට දන්වන ලදී. ඊට එකගවු අමුත්තාද පිරිස පැමිණි ජීප් රථයට ගොඩවිය.
කුමණ වනාන්තරයේ අසිරිය බලමින් පිරිස ඕකන්‍දට ආපසු එනවිට හවස්විය. ඕකන්දේ සිට මිනිස් වාසයක් ඇති පානම ගමටද තවත් කිලෝමීටර් විස්සක් පමණ ඇති නිසා රාත‍්‍රියේ යනවාට වඩා පසුදාම යනඑක හොදබව පිරිසේ වැඩි දෙනෙකුගේ අදහස විය. ඒ බව අමුත්තාටද දන්වන ලදි. ඔහු ද හිසනමා ඒ අදහසට ගරු කලේය.
ඕකන්‍ද වනජිවී මධ්‍යස්ථානයේ නැවතුණු වැඩි දෙනෙක් නුදුරුව පිහිටි ඕකන්‍ද දේවාලයට යන්නට අමතක නොකළහ. දේවාලයේ පිටුපසින් ඇති කෙටි පාර ඒ සදහා භාවිතා කිරීම සිරිතය. අමුත්තාද ඕකන්‍ද දේවාලයට ගියේය. අමුත්තාගේ හැසිරීම අනුව ඔහු ඕකන්‍දට ආ පළමු අවස්ථාව පෙන්නුම් කළේය. අදුර වැටෙද්දි මේ අමුත්තා වනජිවී නිලධාරින් සිරිතක් ලෙස දල්වන බුදු පහන ද දැල්ලූවේය. පන්සිල්ද ගෙන ඒවා පූජා කළේය.
’‘මේ තැනැත්තා ඇත්තටම භාවනා කරන කෙනෙක් විය යුතුමයි.’’ ඔහුගේ චර්යාවන් උදේ සිට නිරික්‍ෂණය කළ වැඩි දෙනෙකුගේ අදහස විය. රාත‍්‍රියේ ආහාරය පිළියෙළ වෙන තෙක් පිරිස කතාබහේ නිරත වෙද්දි අමුත්තා අපූරු අනාවැකියක් කීවේය.
‘‘තව නොබෝ දිනකින් මුහුදෙ රැල්ල අඩි අසුවක් විතර වැඩිවෙනවා. මුහුද ගොඩට ගලනවා. මේ අපි ඉන්න තැන් යටවෙනවා. ඒ වුණාට ඔයාලා කාටවත් කරදරයක් වෙන්නේ නෑ. මෙතන ඉන්න වැඩි දෙනෙක් ප‍්‍රතිපත්ති ගරුක අය නිසා ඔයාලා ආරක්‍ෂා වෙනවා.’’ අමුත්තා කීවේය.
අමුත්තාගේ ඒ අනාවැකිය ගැන සමහරු නොතැකූහ. මුහුද ගොඩගැලූවත් ඕකන්‍ද වනජීවී මධ්‍යස්ථානයේ සිට මීටර් පන්සියයකට වැඩි දුරක් මුහුදට ඇත්තේය. වාරකන් කාලය බොහෝ අය හදුන්වන්නේද මුහුද ගොඩගලන සමය ලෙසය. අමුත්තා මේ කියන්නට ඇත්තේ ඒ ගැන වෙන්නට ඇති යැයි පිරිස සිතන්නට විය.
පසුදා පහන් වීමෙන් පසු පිරිස ඕකන්දෙන් පිටත් වෙන්නට සුදානම් වූහ. නමුත් ඔවුන් සමග සිටි අමුත්තාට ආපහු මහ කැබිලිත්තට යන්නට ඕනෑ බව දන්වන ලදි. ගාලූ යන්නට ආ අමුත්තා යළි මහකැබිලිත්තට යන්නේ ඇයිද කාටත් ප‍්‍රශ්නයකි. කිලෝමීටර් හැටකට වැඩිදුරක් ඔහු පයින් ආපසු ආ යුතුය. ගමනෙ බැරෑරුම්කම පෙන්වාදුන්නද අමුත්තාගේ අදහසේ වෙනසක් නොවීය. අමුත්තා කුමණ මහ වනාන්තරය තුළට පයින් යද්දි සෙසු පිරිස ජීප් රථයෙන් පානම බලා පිටත්වූහ.
එදා මේ අමුත්තා කී අනාවැකිය මාස හතරකට පමණ පසු සත්‍ය වුයේය. ඒ මුහුද ගොඩගැලූ සුනාමියයි. සුනාමිය යන වචනය අමුත්තාගේ කටින් පිට නොවුවත් ඔහු කී ආකාරයටම මුහුද ගොඩ ගැලූවේය. ඕකන්‍ද වනජිවී මධ්‍යස්ථානයද සුනාමියෙන් යටවිය. අමුත්තා කී පරිදිම කිසිදු වනජීවී නිලධාරියෙකුට හානියක් නොවීය. අමුත්තාගේ අනාවැකිය ගැන පසුව සමහරු කතා කරන්නට ද වුහ. ඇත්තටම එදා භාවනාකරන පුද්ගලයෙකුගේ වෙස් ගෙන හිටියේ ‘‘කතරගම දෙවියන්’’ යැයි සමහරු කියන්නට වූහ.