ඔයාලා දන්නවනේ මේ ඔක්කොම ලියන සිදුවීම් ගොඩක් සම්බන්ධ වෙන්නේ මා මිත්ර කපු මහත්තයා සුරේන්ද්ර අයියා අත ගහපු කේස් එක්ක.... මේ සිදු වීම නං මං හොය හොය හිටපු ප්රශ්ණ ගොඩකට උත්තර හම්බවුන කේස් එකක්.... විශ්වාසය අවිශ්වාසය කෙසේ උනත් සමහර දේවල් ගැන බැහැර නොකර හිතන්නට ඉතිරි කරපු සිද්ධියක්.... මේ සිද්ධිය වාගේම තවත් සිද්ධියක් මගේ නැනා කෙනෙකුටත් වුණා, එකත් පස්සේ කියන්නම්කො, මේ සිදු වීම එක්ක කර්මය කියන එකට අදාළව තර්ක කරන්නත් සාකච්චා කරන්නත් බොහෝ දේවල් ඇති කියල හිතනවා.... ඒ වගේම මේක කියවන ඔයාලා මේකේ තියෙන කථා රසය විතරක් අර ගන්නවානම් මගේ කොටන වැඩෙන් තේරුමක් තියේද කියලත් වෙලාවකට හිතෙනවා මොකද ගොඩක් දෙනෙක් මං කලින් දාපු සිද්දි දෙකම දැක්කේ කථාවක් විදියට විතරයි, වරදක් දකින්නේ නැ මම.... එත් මේ සිදුවීම ඇතුලේ තියෙන හරය මොන වගේද කියන එක ගැන අදහසක් දක්වන්න පුළුවනි නං වඩාත් හොඳයි....
දැනට අවුරුදු 3,4ක් ඇති මේ සිද්ධිය වෙනකොට මම අපේ තාත්තට කරලා තිබුණ කොඩිවිනේ කපු මහත්තයට කියලා අයින් කරලා ඉවර කරලා තිබුණ කාලේ...
(මගේ පළවෙනි අත්දැකීම ඉස්සෙල්ලාම කියවලාම මේක කියවවුවොත් හොඳයි කියලා මට හිතෙනවා මොකද මේකේ සමහර තැන් වල හොඳ අවබෝධයක් එන්නේ එතකොට... මේ තියෙන්නේ ඒ අත්දැකීම...
http://www.holmankatha.com/2018/12/01.html
පස්සේ මටත් ඕනි වුණේ ඔයාලට වාගේම මේකේ සත්ය අසත්ය ගැන විපරන් කරගෙන මම, මං විසින්ම පරීක්ෂණ නිරීක්ෂණ කරන එකයි, නිගමනය ඔයාලට ඉතිරි කරනවා.... ඇත්තටම කියනවා නං කපු මහත්තයාගේ ළඟටම ලංවෙලා මට සැක ඇරලා දැන ගන්න ගොඩක් දේවල් තිබුන නිසා මං එයත් එක්ක එකතු වෙලා එයාගේ ආව තේව වැඩ වලට ගොඩක් උදවු කලා, මගේම නිරීක්ෂණ වලටත් ඒක ලොකු පහසුවක් වුණා... මං කපු මහත්තයත් එක්ක වැඩ වලට ආවේ ඇත්ත නැත්ත බලන්න කියලා කිසි විටකත් මං කපු මහත්තයට දැනෙන්න හැරියේ නැ.... එකට මං වග බලා ගත්තා අදටත් එහෙමයි...
මේ සිදුවීමත් මං ලියන්නේ කිසිම කෙනෙකුගේ මතයක් වෙනස් කරන්න නෙවෙයි...
දුම්මල වරමකුත් අතට අරගෙනම පටන් ගමු නේද........
මේ සිද්ධිය වුණේ බදුල්ලේ හාලි ඇල පැත්තේ, කියන්න ඕනි මේක තමයි මං අපේ කපු මහත්තයාත් එක්ක ගිය අන්තිම ගොඩ ගැනිල්ල... ඊට ඉස්සෙල්ලා මේ වාගේ ගොඩ දාන සීන්ස් දොළහකට විතර මං ගියා, එයා නං තාමත් කරගෙන යනවා හැබැයි මගේ ගමන හේතු ගොඩක් නිසා එහෙමම නැවතුනා.... මේ කථාව මට ගොඩක් දිගට විස්තර ඇතුව ලියන්න හිතෙන්නෙම නැ ඇයිද මන්දා.... කමක් නැ ලියන්නම්...
නිලන්ති........! නිලන්ති අක්කා දැනට ඇටම්පිටිය ඉස්කෝලේ ටිචින්ග් කරන්නේ එයාගේ මහත්තයා නං නැ... ඒ එයාව අතහැරලා දාල ගිහිල්ලා නිලන්ති අක්කට ළමයි නං නැ.... නිලන්ති අක්කා කිවුවාට එයාට කොහමත් අවු.45ක් වත් ඇති, දැනට ජිවත් වෙන්නේ එයාගේ අම්මා එක්ක අම්මටත් ලොකු තේරුමක් නැ... අසනීපයි ඉතින්...
කොහම හරි දැනටත් ලොකු වගතුවක් නැ මෙයාගේ ජිවිතේ. නිලන්ති අක්කා බඳින්න කලින් එයාගේ අතීතයට යන්නම වෙනවා. නිලන්ති අක්කා රුපයෙන් අගතැම්පත් කෙනෙක් කියලා කියන්නත් බැ ඒ කාලේදී උනත්..... පොඩ්ඩක් හැබැයි ඒ කාලේදී මහතට ඉඳලා තියෙනවා... බාහිර උපධියටම මෙයාගේ තරුණ කාලේ දියවෙලා යනකොට කසාදයක් කරලා දෙන්න මහන්සි උනේ නිලන්ති අක්කගේ අම්මා...... ඔය අතරේම නිලන්ති අක්කගේ හිතේ තිබුණු ලොකුම බලාපොරොත්තුව ගුරු පත්වීම කියන ඒක එයාගේ පෙර පිනකට ලැබෙනවා....! පෙර පිනද පවද කියලා දැන් තමයි හිතන්න ඕනි.... නිලන්ති අක්කගේ අම්මා එයාට ප්රොපොසල් බල බලා නේ හිටියේ.... ඔය අතරේ කැරකි කැරකි තිබුන ප්රොපොසල් එකක් නිලන්ති අක්කට සෙට් වෙනවා ඒකට නිලන්ති අක්කාගේ ගුරු පත්වීම 50% විතරම බලපෑවා කියන්න පුළුවනි.
රස්සාවයි පරස්තාවයි එකවර හරියනවා කියන්නේ ඉතිං කොහම සතුටු වෙන්න ඕනි කාරණාද.... පවුලේ එකම ළමයා තමයි නිලන්ති අක්කා උපතින්ම තරමක දේපල ඉඩ කඩං වලට උරුමකන් කිවුවා.... ඒ කියන්නේ නිලන්ති අක්කලාට යමක් කමක් තියෙනවා... අර මං ඉස්සෙල්ලා කිවුවේ ප්රොපොසල් එක හරි යන්න එයාගේ ජොබ් එක 50% බලපෑවා කියලා... ඉතුරු 50% හරි ගියේ ඔන්න ඔය දේපළ උරුමෙට.... නිලන්ති අක්කාගේ අම්මාට ලොකු සමාජ දැනුමක් තිබුනේ නැ. අම්මට ඕන වුනේ දුවව තවත් වයසට යන එකේ කොහම හරි හොඳ කෙනෙකුට බන්දලා දෙන්නයි, දැන් ඔතනින් තමයි ජයසිංහ මෙතනට එන්ටර් වෙන්නේ ජයසිංහ කියන්නේ නිලන්ති අක්කාව කසාද බඳින්න කැමති වුන කෙනාට..... කොහම කොහම හරි ඔය මගුල කෙරුණා.... දෙන්නම ලොකුවට අදුනා ගත්තේ නැති වුනාට නිලන්ති අක්කා පවුල් ජිවිතේ බැලන්ස් එකේ ගෙනියන්න ෆුල් ට්රයි එකක් දීලා තියෙනවා.... ඒක කැපකිරීම් වලින් තේරෙනවා....
මෙහෙම කසාද ජිවිතේ අවුරුද්දක් දෙකක් ගතවෙලා ගියා..... ජයසිංහ රට ඉඳලා ආපු විදියට තමයි ඉඳලා තියෙන්නේ, දැන් දැන් මිනිහගේ හැසිරීම වෙනස් වීගෙන එනවා ගැටුම් ගොඩයි... වෙනත් අනියම් සීන්ස් තියෙනවා කියලා නිලන්ති අක්කාට අතේ මාට්ටු වෙනවා.... ඕවා මේවා ඔක්කම ඇදිලා ගෙදර හැමදාම මරා ගන්නවා දෙන්නා... මරා ගන්නේ ගොඩක් වෙලාවට ජයසිංහ නොයෙක් ඉල්ලීම් කරනවා නිලන්ති අක්කාගෙන්, ඔය ඉල්ලීම් අතරින් ප්රධානම ඉල්ලීම වෙලා තියෙන්නේ නිලන්ති අක්කාට උරුමයෙන්ම ලැබෙන ඉඩ කඩං වලට සම අයිතියක් එන විදියට ඔප්පු ටික හදාගන්න ඒක, ඕකට නිලන්ති අක්කා කැමති වෙලාම නැ.... ජයසිංහ ඕකට කැමැත්ත ගන්න වශී ගුරුකන් එහෙමත් කරලා, එත් එච්චර සාර්ථක වෙලා නැ.
හැමදාමත් දරුණුවටම දෙන්නගේ ගැටුම් වැඩි වෙනවා මෙහෙම දවසක් දෙන්නා හොඳටම රණ්ඩු වෙලා ජයසිංහ තමන්ගේ ඉනේ ගහගෙන හිටපු පිහියකින් නිලන්ති අක්කාගේ කොන්ඩේ කපලා එකත් අරගෙන ඒ වෙලාවේම තමන්ගේ රෙදි ටිකත් අරගෙන ඔය ගෙදරින් යන්නම ගියා...
එහෙම යනකොට ජයසිංහ කියලා තිබුනා
"බලා ගනිල්ලා තොපිලට වෙන දේ.... මං ආයේ එන්නේ තොපිලා දෙන්නා පාරට වැටුනම මෙහෙන්..."
ඔන්න ඔහම කියලා මිනිහා ගෙදරින් ගිහිං තියෙනවා... මේ වෙනකන් ආරංචියක් නෑලු....
ජයසිංහ ගෙදරින් ගියාට පස්සේ ගෙදර සාමකාමී, හැබැයි එච්චරටම තදින් ඉල්ලීම් කර කර හිටපු මිනිහා එක පාරටම ඇයි ගියේ කියන ප්රශ්නේ නිලන්ති අක්කාගේ හිතට හොඳටම වද දුන්නා... ඔය ප්රශ්නෙට උත්තර නැ අම්මටයි දුවටයි දෙන්නටම.....
මේක පොඩි අතුරු කථාවක් මේ ගැන කියන්නම ඕනි නැත්තන් මේ සිද්ධියේ පොඩි හිඩැසක් හිටිනවා,
ජයසිංහ ගෙදරින් ගියාට පස්සේ නිලන්ති අක්කගේ ගෙදරට හේතු අහේතු කියාගෙන දුක සැප බලන්නයි කියාගෙන නිතරම රිංගන්න බලපු ජයසිංහගේ අතිජාත මිත්රයෙක් හිටියා මේ එකී නොකී හැම කෙන්ගෙඩියකම දන්න, ඒ තමයි නාලක, නාලක කියන්නේ ජයසිංහත් එක්කම එකටම බිස්නස් වැඩ කරපු කෙනා... නිලන්ති අක්කා හැබැයි හැම වෙලාවේම මිනිහා කියන කරන දේවල් ගැන විපරමෙන් තමයි හිටියේ....
නිලන්ති අක්කලා ගැන මාර කරුණාවක් තිබිලා තියෙන්නේ නාලකට... දැන් නාලකගේ වැඩෙත් අර අතුරුදහන් වෙලා ගිය ජයසිංහට බනින එක තමයි... කොහම කොහම හරි නිලන්ති අක්කලාගේ ආරක්ෂාවටත් තනි නොතියටත් කියලා ටිකක් හොඳ වර්ගයේ බලු පැටියෙක් ගෙනත් දීලා තියෙනවා මේ නාලක කියන මනුස්සයා.... ඊට පස්සේ එයාගෙම වියදමෙන් බාස් කෙනෙකුත් ගෙන්නන් ඇවිල්ලා බලු පැටියාට හොඳ කුඩුවක් හදන්න ඕනි කියලා එකත් හදලා දීලා තියෙනවා හැබැයි මේ වැඩේට නං නිලන්ති අක්කලා ගොඩක් කැමති වෙලා තියෙනවා...
කාලය හෙමිට ගත වෙනවා.... නිලන්ති අක්කලාගේ ගෙදර වත්ත මායිම සලකුණු වෙන්න වත්ත පිටිපස්සේ අඹ ගස් දෙකකුත් ඉස්සරහ පැත්තෙන් කොස් ගහකුත් කිතුල් ගහකුත් තියෙනවා ඒ කියන්නේ වත්ත හතර මායිම දැන ගන්න හරිම ලේසි... හරි පුදුම වැඩක් ඉස්සෙල්ලම කොස් ගහේ ගෙඩි හැදෙන එක ක්රමයෙන් නැවතිලා... කොස් ගහ ක්රමයෙන් මැරෙන්න අර ගන්න තියෙනවා... එත් එක්කම රැට කොස්ගහේ ලගින්න එන වවුලන් වැඩි වෙලා තියෙනවා.... කොස් ගහට සාපේක්ෂව අනික් ගස් තුනත් ක්රමයෙන් මැරෙන්න අරගෙන තියෙනවා.... අන්තිමට දැන් තියෙන්නේ හොඳටම කොළ හැලුණු ගස් හතරක් හරිම මුසල පෙනුමට හරියට හොල්මන් ෆිල්ම් එකක ගෙයක් වාගේ ... හ්ම්ම්ම්.... දැන් ගස් මැරිලා නිසා පස්සේ මෙයාල ඒ ගස් කපලා අයින් කරලා තියෙනවා... ඊට අමතරව ගෙදර හිටපු බල්ලා කන්නේ නැතුව හොඳටම කෙට්ටු වෙලා මැරිලා ගිහිං තියෙනවා, බල්ලාට නුවරින් පවා බෙහෙත් ගෙන්නලා දීලා තියෙනවා.
එකී නොකී අත්භූත සිද්ධි ගොඩක් එක්ක නිලන්ති අක්කගේ අම්මා හොඳටම ලෙඩ වෙනවා, කෑම අරුච්චිය කියන ඒක උපරිමයටම තිබිලා තියෙනවා... සිංහල බෙහෙත් ඉංග්රීසි බෙහෙත් ගත්තත් තාවකාලික සුවයක් විතරයි තිබිලා තියෙන්නේ.... වැඩේ කියන්නේ නිලන්ති අක්කටත් ඔය ලෙඩ ලිස්ට් එකම සෙට් වෙන්න වැඩි දවසක් ගිහිං තිබුනේ නැ.... කොච්චර බෙහෙත් ගත්තත් නිලන්ති අක්කා කියන විදියට වෙල් තුනෙන් එකක් අනිවාර්යෙන්ම අනිත් පැත්තට වමනේ කරලා තියෙනවා... ගැස්ටයිටිස් කියලත් සියළු බෙහෙත්, වෙදකන් කරලා තියෙනවා... කොහමත් ඔය අසනීප උඩ මෙයාලා මානසිකවත් ශාරීරිකවත් හොඳටම වැටිලා තියෙනවා... හැබැයි ඉතිං අර ජයසිංහ කපාගෙන ගිය කොන්ඩේ නං ආයෙත් දිගට වැවිලා.
ඉතිං මේ ඉවරයක් නැති දුක් ගැහැට ඉවසා ගන්න බැරුව කාලය ගත වෙනවා... ඔය අතරේ නිලන්ති අක්කගේ ස්ටාෆ් එකේ යාළුවෙකුගේ මාර්ගයෙන් ඇටම්පිටියේ දේවාලෙකට නිලන්ති අක්කා යනවා ලොකු විශ්වාසයක් නම් තිබිලා නැ. එත් එතනින් කියලා තියෙනවා විනයක් කරලා තියෙනවා කියලා... පස්සේ දේවාලේ කට්ටිය ඇවිත් ශාන්ති කර්මයක් කරලා තියෙනවා නිලන්ති අක්කලාගේ ගෙදර... පුහුලක් එහෙම කපලා තියෙනවා.... ආරක්ෂාවට කියලා ගෙදර බෝතල් වගේකුත් එල්ලලා තියෙනවා.... මේ හැමදේම කරලත් ටික දවසක් ගත වුනත් ලෙඩ දුක්වලත් අනිත් කරදර වලත් අඩුවක් වෙලා නැ..... ඒක නිසා නිලන්ති අක්කා ආපහු ඇටම්පිටියේ දේවාලෙට ගිහිං ඒ අයට මේ විස්තරේ කියනවා.... දේවාලේ කපුවා කියන්නේ එයා කරපු ආරක්ෂාව කිල්ලට අහුවෙලා, ආපහු කොඩි විනයක් කරලලු... ඇත්තටම මේක විශ්වාස කරන්න පුළුවන් ද? එත් අසරණ වෙලා ඉන්න කෙනෙකුට අවිශ්වාසයක් කියන එක මේ වෙලාවේ හිතෙන්නේ නැනේ... දේවාලේ කපුවා කියන්නේ ආපහු කොඩි විනේ කපන්න ඕනි කියලයි.... "කමක් නැ මේ පාර හරියටම කරනවා....."
ඔහොම හිතාගෙන නිලන්ති අක්කා කරන්ඩ ඕනි දේවල් ඔක්කම අහගෙන යන වියදම් ටිකත් අහගෙනම ඔතනින් එනවා..... මේ වැඩේට නිලන්ති අක්කා දැනට 65,000/- කට වැඩි මුදලක් වියදන් කරලා තිබුනා... දැන් ආයෙත් ගාන කැපෙන්නයි යන්නේ, ඒ කියන්නේ දෙවෙනි පාර නිසා කපුවා ඩිස්කවුන්ට් එකක් දීලා ඒ කියන්නේ 10ක් අඩු කරලා 55,000/-ක් ඉල්ලලා....
මේ වෙලාවේ හැටියට ඉතිරි වෙලා තිබුනේ නිලන්ති අක්කගේ අම්මාගේ හංගාගෙන හිටපු කර මාලයක් විතරයි... ඕකත් අම්මාගෙන් කොහම හරි අරගෙන නිලන්ති අක්කා බදුල්ල ටවුන් එකට එන්නේ එයා රත්තරං බඩු ගන්න ඒන කඩේට අම්මාගේ මාලේ බැංකුවට තියලා කියක් ගන්න පුළුවනිද කියලා ඉස්සෙල්ලා බලාගන්න..... කඩේ මුදලාලි නිලන්ති අක්කාගෙන් මේ හදිස්සිය ගැනත් එයාගේ බාහිර රූපෙට මොකද වෙලා තියෙන කියන එකත් බොහොම විස්තර ඇතුව අහගන්නවා.....ඔය රත්තරං බඩු කඩෙන්ම තමයි අපේ සුරේන්ද්ර අයියා (කපු මහත්තයා) එයාගේ වැඩ වලට සූර හදාගන්නේ...!
ඉතිං නිලන්ති අක්කාට අපේ සුරේන්ද්ර කපු අයියා ගැන කියලා එයා කරන්ඩ ගිය වැඩේ නවත්තලා කඩේ මුදලාලි නිලන්ති අක්කව සුරේන්ද්ර කපු අයියට සම්බන්ධ කරලා දෙනවා.... ඔතනින් තමයි මටත් මේ සීන් එකට එන්ටර් වෙන්න ලැබුණේ.... නිලන්ති අක්කලා වගේ කිදෙනෙකුගේ සල්ලි මේ විදියට නැති නාස්ති වෙන්න ඇද්ද මේ වගේ ශිල්පෙ දන්නවා වගේ කරන රඟපෑම් වලින් කියලා මට හිතුනා....
මේ වැඩේ සුරේන්ද්ර අයියාට භාර දෙන්න නිලන්ති අක්කා තීරණය කරලා තියෙනවා.... ඒ නිලන්ති අක්කා එයාගේ වත්තෙන් පස් සාම්පලයක් අරගෙන ගිහිං සුරේන්ද්ර අයියාට කියලා ආරුඩයෙන් බලලා, එතැනදී කියවෙලා තියෙනවා නිලන්ති අක්කලාගේ වත්තේ කාලෙක ඉඳලා යම්කිසි දෙයක් වළලලා තියෙනවා කියලා... මට ඔය විස්තර ටික සුරේන්ද්ර අයියා කිවුවා.... සුපුරුදු විදියට මං මගේ නිරීක්ෂණ චාරිකාවට සෙට් වුණා..... දැන් ඇවිල්ලා තියෙන්නේ වළලලා තියෙන දේවල් ගොඩ දාන දවස.... පුරුදු විදියටම සුරේන්ද්ර අයියා බදුල්ලෙන් රාත්රී 8 විතර නිලන්ති අක්කලාගේ ගෙදරට අපි සෙට් එකත් එක්කම පිටත් වුණා....
සුරේන්ද්ර අයියාගේ මේ ගොඩ දාන වැඩේ කරන්නේ එකම පිළිවෙලකට තමයි.... ඔයාලට මතකයි නං හරි කියවලා තියෙනවා නං හරි මගේ තාත්තගේ වැඩේ කරපු විදිය, අන්න ඒ විදියටම තමයි මේ වැඩ ටිකත් වෙන්නේ!
ඒ සිද්ධිය කියවලා නැත්තන් අර මං උඩම දාල තියෙන ලින්ක් එකට ගිහිල්ලා එක කියවලා එන්න එතකොට තමයි මේක කරන විදිය හොඳටම මීටර් වෙන්නේ.
හැමදාමත් වගේ එදත් ගම්බාර දෙවියන්ට භාර හාර වෙලා අපි රෑ මැදියම වෙනකොට වැඩේ පටන් ගත්තා සුරේන්ද්ර අයියා ආරුඩය බවට පරිවර්තනේ වුණා....
ඇත්තටම මට මෙතැනදී වැඩේ කරන විදිය එහෙමත් නැත්නම් මේ ගොඩදාන වැඩේ විස්තර ඇතුව ලියන එකට වඩා වැදගත් දෙයක් තියෙනවා මේ සිදු වීම ඇතුලේ ඔයාලට හිතන්න දෙන්න, ඒක නිසයි මං මේ වැඩේ කෙරෙන විදිය ලියන්න අකමැති....
අපි කලින් දන්නවනේ සුරේන්ද්ර කපු මහත්තයා මේ වැඩේ කරන විදිය... ආරුඩය තමන්ගේ රාජකාරිය පටන් ගත්තා නිලන්ති අක්කලාගේ වත්ත හතර වටේටම ගිහිං අර මැරුණු කොස් ගහ එත් එක්කම අඹ ගස් වල මුලට වෙන්න පස් යටට හාරාගෙන ගිහිං යම් දේවල් කිකක් ආරුඩය විසින් උඩට ඇදලා ගත්තා... ආරුඩය විසින් ගිහිල්ලා පෙන්නන තැන් ඔක්කොම අලවංගුව උදැල්ල අරගෙන හාරන්න මාත් උදවු කලා... නිලන්ති අක්කලාගේ බල්ලා හිටපු කුඩුව යටට සිමෙන්ති කොන්ක්රීට් දාල ඒක උඩ යකඩ බාර් දාල පොඩි වහලයක් ගහලා හදලා තිබුණු කුඩුවක්.... අර හතර මායිමෙන් ගත්ත දේවල් වලට පස්සේ අපිට පට්ට කට්ටක් සෙට් වෙන්ඩ වැඩි වෙලාවක් ගියේනැ කෙලින්ම ආරුඩේ ගියේ අර බලු කුඩුව ඉස්සරහට එහෙම ගිහිල්ලා ඕක ගලවන්ඩ කියලා අපිට සංඥාවක් දුන්නා හැමෝගෙම උදවුවෙන් ඕක අයින් කලත් අපි නොහිතපු දෙයක් ආරුඩයෙන් ලකුණු කරලා දුන්නා කඩලා හාරන්න කියලා, ඒ කියන්නේ බලු කුඩුවේ කොන්ක්රීට් පොළවේ තැනක් හම්මෝ....! ඒක කඩන්න පැයකට කිට්ටු කාලයක් ගියා, සැහෙන ඝනකමට ඒ කොන්ක්රීට් ඒක දාල තිබුණා.... ඔහොම කඩලා පිහිටි පොළව පැදෙනකොටම ආරුඩය අපිව නවත්තලා එයා අපි හාරපු වලට අත් දෙක දාල සැහෙන ආයාසයකින් තරමක් ලොකු පාර්සලයක් වගේ දෙයක් ඇදලා ගත්තා... මේ දේවල් සේරම එකතු කරලා වතුර බේසමකට දාපු ආරුඩය, එකින් ඒක බෙසමින් එළියට අරගෙන කුඩු කරන ගමන් බලන්නට වුණා..... මේවා මට නං අමුතු දේවල් නෙවෙයි නිසා මට ලොකු පුදුමයක් වුනේ නැ... ඒවාගේ තිබුනේ මිනී ඇට, ඇඳපු සුර, තෙල් කුප්පි, මිනී අළු කියලා සැක කරන අළු....
දැන් මගේ අවධානේ තිබ්බේ අර බලු කුඩුව තිබුන තැන මොනාද තිබුනේ කියන එකයි... අන්තිමට බලන්න තිබුනෙත් ඒක...
ආරුඩය අන්තිමට ඒ පාර්සලේ එළියට අරගෙන එකේ තිබුණ ෂොපින් බැග් ලිහලා සුදු රෙදි කෑල්ලකින් ඔතලා තියෙන දෙයක් දිග හරිනවා... දැන් කාගේත් අවධානය, කාගේත් ඇස් ගෙඩි නතර වෙලා තිබුණේ ඔය පාර්සලෙට.... මම මිට කලින් ඔහොම දෙයක් දැකලා තිබුනෙම නැ.... එතන තිබුනේ තරමක් පරණ වුණ ගැහැණු කෙනෙකුගේ නයිටි ගවුමක්... එකෙන් මිනී හිස් කබලක් ඔතලා.. කහපාට නුල් වගයකින් ගැට ගහලා ඒ ගැට අවසානයේ සුර හතර පහකුත් එකට තියෙලම බැඳලා.... තරමක දිග කොණ්ඩයක් ගුලි කරලා හිස් කබලේ ඇතුල් පැත්තට ඔබලා.... මේවා එකින් එක පිළිවලට හැමෝටම පෙන්න ආරුඩයේ අතින්ම ගෙදර සිමෙන්ති පොළව උඩ දිග හැරියා... අසනීපයෙන් හිටිය නිලන්ති අක්කත් අම්මත් එක ලඟට වෙලා මේවා දිහා බලාගෙන හිටියා.... එත් එක්කම මෙතන අර ගුළි ගැහිලා තිබුණු කොන්ඩෙත් එක්ක පැටලිලා තිබුණු පුංචි පබළු වගේ ඇට සහිත කොන්ඩේට දාන අභාරණේත් අර නයිටි ගවුමත් නිලන්ති අක්කා එයාගේ ඒවා කියලා අදුනා ගත්තා....
ඒ දේවල් දිහා බලාගෙන හිටපු නිලන්ති අක්කා "අනේ අම්මේ......" කියාගෙනම අම්මාගේ කකුල් දෙක ළඟ සිහි නැතුව ඇදගෙන වැටුනා.....
නිලන්ති අක්කාගේ අවනඩුව ගැන දන්න හැමෝටම අමුතුවෙන් තෙරුන් ගන්න දෙයක් එතන ඉතුරු වෙලා තිබුනේ නැ.... එදා ජයසිංහ නිලන්ති අක්කාගෙන් කපාගෙන ගිය කොන්ඩේ හැම ප්රශ්නෙකටම උත්තර කියලා දුන්නා.....
මගේ හිතේ තිබුණු ප්රශ්ණ ගොඩකටත් එදා විසදුම් ලැබුණා... නිලන්ති අක්කලාට අද වෙනකොටනන් ලොකුවට අවුලක් වෙලා නැ.. එයාලගේ ලෙඩත් දැන් හොඳ අතට හැරිලා... එත් ජයසිංහ කොහෙද? එයා ගැන මේ වෙනකම් ආරංචියක් නැ... මේ සිදුවීමෙන් පස්සේ මගේ සුපුරුදු ප්රශ්ණ වලට උත්තර දීපු අපේ කපු සුරේන්ද්ර අයියා කිවුවේ... ඔය ගැනු කෙනාගේ මනුස්සයා ඕක කරලා තියෙන්නේ තමන්ගේ කසාද ගැනිගෙයි අනිත් අයගෙයි ඔළුව විකාර කරලා තමන්ට ඒ දේපළ අයිති කර ගන්ඩලු.... එත් සුරේන්ද්ර අයියා කිවුවේ.. "මල්ලි ආයේ එන්නේ නැ ඔය මිනිහා".... එච්චරයි මාත් ආයේ අහන්න ගියේ නැ ඒ ගැන.... මේ සිදුවීමත් එක්කම මන් කලින් කිවුවා වාගේම මේ ගොඩ දාන වැඩ වලට පස්සෙන් යන එක නැවතුනා.... එකට ගොඩක් හේතු තිබුණා... සුරේන්ද්ර අයියාත් ආයේ මගෙන් ඇහුවේ නැ ඇයි මල්ලී දැන් එන්නේ නැත්තේ කියලා .... ඔයාලට හිතෙන දේ කියන්න.... ඔයාලටත් මේ වාගේ අසාමාන්ය කරදර වලට මුණ දෙන අය ඉන්නවනං ඒ අය ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න.... අද වගේ ගොඩක් රැඩිකල් විදියට හිතන ඇන්දඩ්රොයිඩ් සමාජයක තර්ක කරමින් මේවා සමාජ ගත කරන්නවත්, මගේ මතයේ එල්ලීගෙන මේක හරි කියන්නවත්, තවත් කෙනෙකුගේ මති මතාන්තර වෙනස් කිරීමටත් මට කිසිම වුවමනාවක් නැත... මට අවශ්‍ය වුණේ මං මගේ ඇස් දෙකෙන් දැකපු දේ, අත්දැකීමක් විදියට අපේ හොල්මන් අත්භූත යාළුවොත් එක්ක බෙදා ගන්න විතරයි......!
ඔං එහෙනං මං ගියා.....!
මං නවතිනවා හැමෝටම බුදු සරණයි !
by Kavinda Rathnayake
Source: Link