මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

22 October 2019

---පැල් රැකපු කෝරලේ---



මේ කතාව මට කීවේත් අපේ අංගම්මන සීයාම තමයි. දැනට අවුරුදු හැටකට විතර කලින් සිද්ධ වුන සිදුවීමක්. අංගම්මන සීයා මන්තර ගුරුකම් පැත්තෙන් සුපිරිම වැඩ්ඩෙක් කියලා මම ඔයාලාට කලින් කතාවකත් කියලා තියෙනවානේ. ඒ වගේම අංගම්මන සීයාගේ තාත්තාත් ඒ කාලේ හිටිය සුපිරිම වැඩ්ඩෙක්ලු. මේ දෙන්නා කරපු වැඩක් ගැන තමයි මම මේ ඔයාලාට කියන්න හදන්නේ.

1960 වර්ෂයේ විතර අපේ ගම සුද්දෝ හදපු විශාල තේ වතු යායක් කියලා මම කලින් කීවානේ. ඒ වගේම මහලියද්ද කියලා විශාල කුඹුරු යායකුත් ගම මැද්දේ තියෙනවා. මේ කුඹුරු යායේ එක් පසෙකින් ලස්සන ඔයකුත් ගලාගෙන යනවා. අනෙක් පසින් කෝරලේ වත්ත කියන කැලෑ ඉඩමක් තමයි තියෙන්නේ. අද වෙනවිට කාපට් පාරවල් එහෙම ඉදිවෙලා ටිකක් දියුනු වෙලා තිබුනාට, ඒ කාලේනම් අපේ ගම හරිම දුෂ්කර ගමක් කියලයි අංගම්මන සීයා කියන්නේ.

මේ කියන කාලේ අංගම්මන සීයා අවුරුදු විස්සක විතර තරුණයෙක්ලු. ගමේ මිනිස්සුන්ගේ ප්‍රධාන ගොවිතැන තේ වගාව වුන නිසා, වසර ගනනාවක්ම මම අර කලින් කියපු මහලියද්ද කුඹුරු යාය පුරන් වෙලාලු තිබුනේ. මේ මහලියද්ද ඒකාලේ අයිතිවෙලා තිබුණේ ගමේ කොරලේ මහත්තයාටලු. මේ කෝරලේ මහත්තයා අපේ අංගම්මන සීයාගේ මාමා කෙනෙක්ලු. ලඟම නෑදෑයෙක් වුනත් මේ කෝරලේ මහත්තයා හැමෝටම කෲර විදිහට සලකපු, යකෙක් වගේ මිනිහෙක්ලු. ඒ වගේම තමන්ගේ නෑදෑයන්ටත් හතුරුකම්මලු කළේ.

අපේ අංගම්මන සීයලාට ඒකාලේ කුඹුරු තිබිලා නෑ. ඒ නිසා අංගම්මන සීයාට හිතුනාලු කෝරලේ මහත්තයා හම්බවෙලා පුරන්වෙලා යන මහලියද්ද කුඹුර අඳේට වැඩකරන්න ඉල්ලාගන්න. මේ කෝරලේ මහත්තයා ඒකාලේ ජීවත්වුන වලව්ව තිබිලා තියෙන්නේ මම අර කලින් කියපු කෝරලේ වත්ත කියන ඉඩමේ මැද හරියේ කඳුගැටයක් උඩ. ඉතින් අපේ අංගම්මන සීයාත් හොඳ කිතුල් පැනි බෝතලයක් එහෙම අරගෙන කෝරලේ මහත්තයා හම්බවෙන්න ගිහින් තියෙනවා කෝරලේ වලව්වට. අංගම්මන සීයාගේ අදහස අහපු කෝරලේ මහත්තයා, " තොපි එකෙක්ටවත් මම බිම් අඟලක් දෙන්නේ නෑ. කුඹුර ඔහේ පුරන්වෙලා ගියපුදෙන් " කියලා අංගම්මන සීයාව බැනලා එලවාගත්තාලු.

මේ කෝරලේ මහත්තයා අංගම්මන සීයාගේ මවගේ සහෝදරයා වුන නිසා අංගම්මන සීයලාටත් හරියට බැලුවොත් මහලියද්ද කුඹුරේ අයිතියක් තියෙනවාලු. එදා සිද්ධවුන දේ අංගම්මන සීයා ගෙදර ගිහින් එයාගේ තාත්තාට කීවාම එයාට හොඳටම කේන්ති ගිහින්, කෝරලේ වලව්වට ගිහින් කෝරලේ මහත්තයාට කනේ ඇඟිලි ගහගන්න දෙක තුනක් කියලා තියෙනවා. ඒ වගේම පහුවදාම අංගම්මන සීයාවත් එක්කගෙන මහලියද්දට ගියපු එයාගේ තාත්තා මහලියද්ද හරහා දඬු වැටකුත් ගහලා තමන්ගේ කොටස වෙන් කරගෙන අංගම්මන සීයාට ඒ කොටස වගාකරන්න කියලා තියෙනවා.

අංගම්මන සීයාගේ තාත්තා වගේම දක්ෂයෙක් නොවුනත්, කෝරලේ මහත්තයාත් මන්තර ගුරුකම් පැත්තෙන් යම් තරමක වැඩ්ඩෙක්ලු. කොහොමහරි අංගම්මන සීයාත් මහන්සියෙන් කුඹුර වගා කරලා එහෙම වල් සතුන්ගෙන් ගොයම ආරක්ෂා කරන්න ඕනේ නිසා හැමදාම අඳුර වැටීගෙන එන කොට කුඹුරේ ඉදිකරපු පැලට ගිහින් පැල් රකිනවාලු. දවසක් මේ විදිහට පැලට වෙලා කවියක් එහෙම කිය කිය ඉද්දි අංගම්මන සීයා දැක්කාලු හුලුඅත්තකුත් පත්තුකරගෙන කෝරලේ මහත්තයා කුඹුරේ නියර දිගේ ගමන් කරනවා. අංගම්මන සීයා හිටිය පැල පහුකරලා යද්දී හයියෙන් කාරලා කෙල පාරක් ගහපු කෝරලේ මහත්තයා අංගම්මන සීයාටත් රවාගෙන පිටවෙලා යන්න ගියාලු. එදා රාත්‍රියේ අංගම්මන සීයාට ටිකක් නින්ද ගියාලු එකපාරම කුඹුර දිහාවෙන් ඇහුන ශබ්දයක් නිසා ගැස්සිලා ඇහැරුන අංගම්මන සීයාට දකින්න ලැබිලා තියෙන්නේ, විශාල වල් ඌරෝ රංචුවක් කුඹුර විනාස කරනවාලු. ඉක්මනින්ම හුලුඅත්තකුත් පත්තු කරගෙන කෑගහගෙන ඒ පැත්තට දුවපු අංගම්මන සීයා පුදුම වුනාලු. පැලේ ඉද්දි දැකපු ඌරෝ රංචුව කුඹුරේ ඉඳලා නෑ ඒ වගේම කුඹුරත් කලින් තිබුණා වගේම විනාස නොවී තිබුනාලු.

මේ සිදුවුන දේ හරිහැටි තේරුම් ගැනීමට නොහැකිව කල්පනා කරමින්ම අපහු පැලට එන්න හිතාගෙන අංගම්මන සීයා හුලුඅත්තත් වන වනා ආවලු. පැලට නගින්න තියෙන ඉණිමගේ අඩි දෙක තුනක් ඉහලට නගිනකොට මොකක්හරි අමුත්තක් දැනුන නිසා අංගම්මන සීයාට පැලේ ඉහල බැලිලා තියෙනවා. කලුම කලු මිනිස් ශරීරයක් සහ ඌරු ඔලුවක් තියෙන අමනුස්සයෙක් පැලේ ඉහල ඉඳගෙන අංගම්මන සීයා දිහා බලාන ඉඳලා හිනාවුනාලු. ඒ වෙලාවේනම් අංගම්මන සීයාට හීන්දාඩිය දැම්මාලු. ඒත් එයාගේ තාත්තාට පිංසිද්ද වෙන්න ගුරුකම් වැඩ ගැන යම්කිසි දැනුමක් ඒ වෙනකොටත් ලබලා හිටිය අංගම්මන සීයා තැනට සුදුසු මන්තරයක් මතුරන්න පටන්ගත්තාලු. ඒ එක්කම අර අමනුෂ්‍යයා හයියෙන් හූවකුත් කියාගෙන පැලෙන් පහලට පැනලා දිව්වාලු.

ඒ අමනුස්ස හූ හඬ ගමේ ගොඩක් දුරකට ඇහිලා තියෙනවා. ඒ වගේම ඒ හඬ ඇහිලා කෝරලේ මහත්තයාත් හුලුඅත්තකුත් අරන් කුඹුර අයිනට ඇවිත් එබිකම් කරලා බලනවා දැකපු අපේ අංගම්මන සීයාත් හිටපු තැනම මැරිලා වැටිලා වගේ දිගාවුනාලු. නියර දිගේ එතනට ඇවිත් බලපු කෝරලේ මහත්තයා ආපහු හැරිලා හිනාවෙවී යන්න ගියාලු.
පහුවදා උදේ ගෙදර ගිහින් සිද්ධ වුන දේ අංගම්මන සීයා එයාගේ තාත්තාට කියලා තියෙනවා. ඒක අහපු තාත්තා කාමරේට ගිහින් මතුරන්න පටන්ගත්තාලු. ඒ විතරක් නෙවෙයි " ආයේ උඹ පැල් රකින්න යන්න ඕනේ නෑ.... කෝරලේම ඒ ටික කරයි " කියලා හිනාවෙවී මිදුල දිහාවට ගියාලු.

කොහොමහරි එදා හවස අංගම්මන සීයාට හිතිලා තියෙනවා කුඹුර පැත්තේ ගිහින් බලන්න. ඒ නිසා ටිකක් ඇඳිරි වැටුනාට පස්සේ සීයා හුලුඅත්තකුත් පත්තුකරගෙන කුඹුර පැත්තට ගියාලු. කුඹුරේ පැල කිට්ටුවට යද්දී,අංගම්මන සීයාට පේනවාලු කෝරලේ මහත්තයා පැල උඩ ඉඳගෙන එක එල්ලේම කුඹුර දිහාවම බලාගෙන ඉන්නවා. කෝරලේ මහත්තයා බලාන ඉන්න දිසාව දිහා බලපු අංගම්මන සීයාට, අර කලින් දවසේ දැකපු කලුම කලු මිනිස් සිරුරක්සහ ඌරු ඔලුවක් තියෙන අමනුස්සයා කෝරලේ මහත්තයා දිහාවම බලාන ඉන්නවා දකින්න ලැබුනාලු. අංගම්මන සීයාත් මේකනම් අනිවාරයෙන්ම තාත්තාගේ හපන්කමක් තමයි කියලා හිතලා, තනියම හිනාවෙවී ගෙදර ගියාලු.
පහුවදා උදේ ගෙදර මිදුලේ ඉඳලා අඬ අඬා කෑගහන පිරිමි කටහඬක් ඇහිලා අංගම්මන සීයා ඒ දිහාවට ගියාලු. ඒ යනකොට ඉස්තෝප්පුවෙ හාන්සිපුටුවකට වෙලා ඉන්න තාත්තාගේ කකුල බදාගෙන කෝරලේ මහත්තයා අඬනවාලු.
" අනේ මල්ලියේ..... මේ මල යකාගෙන් මාව ගලවලා දියන්...." කියලා.
අංගම්මන සීයාගේ තාත්තාත් කියනවාලු " උඹ එවාපු යකා උඹම තියාගනින් අයියේ... අපිට ඌගෙන් ඇති වැඩක් නෑ...." කියලා.
බැලින්නම්, එදා කෝරලේ මහත්තයා අංගම්මන සීයා පැල් රැක රැක ඉද්දි කුඹුර මැදින් යන ගමන් ගුරුකමක් කරලා කුඹුරට යකෙක් බන්දලා තමයි ගිහින් තියෙන්නේ. ඒ බව දැනගත්තු අංගම්මන සීයාගේ තාත්තා, ඒ බන්දනය කපලා ඒ යකාවම කෝරලේ මහත්තයා පස්සේ යන විදිහට ගුරුකමක් කරලා.

කොහොමහරි කුඹුරේ ගොයම් කපනකන්ම කෝරලේ මහත්තයාට රෑ පැල් රකින්න සිද්ධ වුනාලු. ගොයම් කපලා බැත ගෙට ගෙනාව දවසේ හවස අංගම්මන සීයාත් අඬගහගෙන කෝරලේ වලව්වට ගියපු තාත්තා, මන්තරයක් අල්ලට මතුරලා කෝරලේ මහත්තයාගේ නලලට අත තියලා තමයිලු ඒ බන්දනය කපලා තියෙන්නේ. එදායින් පස්සේ ආයේ කවදාවත් කෝරලේ මහත්තයා අංගම්මන සීයලාටනම් කිසිම දෙයක් කරන්න ආවේ නැතිලු. ඒ විතරක් නෙමෙයි සීයලාට අයිතිවෙන්න තිබුණ ඉඩම් පවා බෙදලා වෙන් කරලා දුන්නාලු.

ඒ කාලේ ඔය වගේ සුපිරි වැඩ්ඩෝ ඉඳලා තියෙනවා. අංගම්මන සීයාත් ඒ වගේම වැඩ්ඩෙක් කියලා තමයි අපේ ගමේ අය කියන්නේ. ඒත් දැන් එයාට වයස නිසා ගෙදරින් එලියට යන්නෙත් කලාතුරකින් තමයි. දුකට කාරනේ තමයි අංගම්මන සීයාගෙන් පස්සේ මේ ශාස්ත්‍රය ඉදිරියට ගෙනයන්න එයාට දරුවෙක්වත්, ⁣හරිහමන් ගෝලයෙක්වත් නොවීම.

Source: Link


08 October 2019

---ගල් බංගලාවේ ගැහැණු ආත්මය---



මම මුලින් රැකියාව කළේ ටෙලිනාට්‍යය නිෂ්පාදක කන්ඩායමක. ඉතින් අපේ රැකියාවේ හැටියට රටේ නොයෙක් නොයෙක් තැන් වලට යන්නත් සිද්ධ වෙනවා. මේ කියන සිද්ධිය සිදුවෙනකොට අපි හිටියේ මහනුවර පලාතේ පැරැණි ගල් බංගලාවක. රූගත කරමින් හිටියේ හොල්මන් චිත්‍රපටයක්.

පළමුවෙනි දවසේ අපි නුගේගොඩ තිබුණු අපේ කාර්‍යාලයෙන් පාන්දරින්ම පිටත්වුනේ මහනුවර බලා යන්න. පහුවදා ෂූටින් පටන්ගන්න නිසා එදා කලින්ම නුවර ගිහින් ලොජ් වෙන්න තමයි අපි ප්ලෑන් කලේ. කොහොම හරි 35 දෙනෙක්ගෙන් සමන්විත වුන අපේ කණ්ඩායම හවස තුන විතර වෙනකොට නුවරට ගියා. නිෂ්පාදන කලමනාකරු කලින්ම අපිට ලොජ් වෙන්න තැනක් කතාකරලා තිබුනත් ඒ ගනුදෙනුවේ මොකක්හරි පොඩි අවුලක් නිසා අපිට ඒ ස්ථානයේ නවාතැන් දෙන්න ඒ අය අකමැති වුනා. අන්තිමට හවස හය විතර වෙනකන් නුවර ටවුමට වෙලා නවතින්න තැනක් හෙවුවත් අපි හොයපු විදිහේ තැනක් හොයාගන්න බැරිවුනා. ඒ අතරේ තමයි නිෂ්පාදන කලමනාකරුට පහුවදා රූගත කිරීම් සිදුකිරීමට යොදාගෙන තිබුණු ගල් බංගලාවේ හිමිකරු දුරකථනයෙන් කතාකලේ. ඒ අපි පසුවදා සිදුකරන රූගත කිරීම් ගැන අහන්න. අපිට සිදුවෙලා තියෙන නවාතැන් ප්‍රශ්නය දැනගත්තම ඔහු අපි හැමෝටම නවාතැන් ගැනීමට ගල් බංගලාවම සූදානම් කරලා දුන්නා.

ඉතින් එච්චර වෙලාවක් කට්ට කකා නුවර ටවුමට වෙලා චාටර් වෙවී හිටිය අපි දෙයියෙක් දුන්නා වගේ හම්බවුන නවාතැන වෙත ගියේ ෆුල් හැපී එකෙන්. නුවර ටවුමට වෙලා ඉන්න අතරේ අපේ සෙට් එකේ ඉන්න හොඳට කන බොන එවුන් ටික අවශ්‍යකරන දේවල් මදිනැතිව අරගන්නත් අමතක කළේ නෑ.

ගල් බංගලාව තිබුනේ නුවර ටවුමෙ ඉඳලා කිලෝමීටර් 15 ක් විතර දුරින් කඳු මුදුනක. කොහොමහරි අපි බංගලාවට එනකොට හොඳටම කලුවරත් වැටිලයි තිබුණේ. බංගලාවක් කීවට ඒක හරියට මාලිගාවක් වගේ විශාල එකක්. අපි ගියපු වාහන බංගලාවේ මිදුලේ නවත්තනකොටත් බංගලාව තිබුණේ තද අඳුරක. අපේ වාහනවල සද්දේ ඇහිලද කොහෙද ඊට විනාඩි 5 ට විතර පස්සේ කාකි කබායකුයි සරමකුයි ඇඳගත්ත මිනිහෙක් අපි ආව පාර දිගේ දුවගෙන ඇවිත් බංගලාවෙ දොර ඇරලා ලයිට් දැම්ම. මිදුලේ ලයිට් දැම්මට පස්සේ තමයි මම දැක්කේ මිදුලත් බංගලාව තරමටම මහා විශාල මිදුලක් කියලා. ඒ මිදුලේ දකුණු පැත්තේ කෙලවරේම තුන්දෙනෙක් එකතුවුනත් බදන්න බැරි තරම් විශාල සල් ගහකුත් තිබුනා.

මුරකාරයා ඇවිත් දොර ඇරලා දුන්නට පස්සේ අපිත් අපේ බෑග් එහෙම අරගෙන බංගලාවට ඇතුල්වුනා. පහල තට්ටුව ෂූටින් වලට අවශ්‍ය නිසා අපිට කාමර වෙන්කරලා තිබුනේ උඩ තට්ටුවේ. බංගලාවේ ප්‍රධාන ශාලාවෙන් පටන්ගෙන ඉහලට නැගුණු පඩිපෙලක ගමන්කරපු අපි ටිකක් විශාල සාලයකටයි ඇතුල් වුනේ. ඒ ශාලාවේ දෙපැත්තෙන්ම කොරිඩෝ දෙකක් තිබුනා. ඒ කොරිඩෝ දෙකේම පේලියට කාමර තිහකට නොඅඩු සංක්‍යාවක් තිබුනා. අපේ සෙට් එකට, ඒ කියන්නේ කැමරා කණ්ඩායමේ අට දෙනාට වෙන් වුනේ බංගලාවේ උඩුමහලේ දකුණු පැත්තේ කෙරවලේම කාමර දෙක. අනෙක් කාමර හැම එකකම වගේ මේ කාමර දෙකෙත් ඩබල් ඇඳන් දෙක දෙක තිබුන නිසා අපේ අට දෙනා හතර හතර කාමර දෙකට බෙදිලා ගියා. මගේ කාමරේ හිටියේ මමයි, දෙලයි, සුප්පයි, කැන්ඩියයි. අපේ කාමරෙන් එලියට දොරක් තිබුනා. මම ඒ දොර ඇරපුවමයි දැක්කේ ඒ දොර ඇරෙන්නේ අඩි හයේ දහයේ වගේ බැල්කනියකට කියලා. දොර ඇරපුවාම සීතල හුලඟකුත් ආවා. ඒ එක්කම ආව සල් මල් සුවඳ නිසා වටපිට බලනකොටයි මම දැක්කේ, මම අර කලින් කීව විශාල සල් ගහ තිබුණේ අපේ කාමරේ බැල්කනියට මීටර් දහයක විතර දුරින් කියලා.

දෙලයි, කැන්ඩියයි, සුප්පයි කාමරේ තිබුණ බාත්රූම් එකට පොරකද්දී මම හෙමිහිට බැල්කනියේ ආරක්ෂක වැට ලඟට ගියේ සීතල හුලඟින් ඇඟට දැනෙන සනීපය තව ටිකක් විඳින්න හිතාගෙන. ඒත් ඒ එක්කම මගේ පිටුපසින් කවුරුහරි ඉන්නවා වගේ දැනුන නිසා මම ආපහු හැරිලා බැලුවා. බලනකොට මෙන්න බංගලාවේ මුරකාරයා මගේ පිටිපස්සේ හිටගෙන. එකපාරම ඒ මිනිහව අඩ අඳුරේ දැක්කම මමත් ටිකක් තිගැස්සුනා. ඒත් ඒ බව පෙන්වන්නේ නැතිව මම ඒ මිනිහාට කතාකලා.

' ඇයි මාමේ මොකක්හරි උවමනාවක්ද? ' මම ඇහුවා.

' උවමනාවක්නම් නෙමෙයි මහත්තයෝ. මම මේ පොරවනා ටික ගෙනත් දෙන්න ආවමයි මහත්තයා තනියම මෙතන ඉන්නවා දැක්කේ. ආ මේ ටික අරගෙන මේ දොර වහලා දැම්මනම්... මේ වගේ සීතලක ඔහොම එලියට වෙලා ඉන්න හොඳ නෑ.. '

මුරකාරයා එහෙම කීවේ මගේ උරහිසට උඩින් සල් ගහ තිබ්බ දිහාව සැරෙන් සැරේ හොරැහින් බලනගමන්. එයා ටිකක් බයෙන් වගේ හිටියේ කියලත් මට හිතුනා. කොහොමහරි මමත් ඒ කතාවට ඔලුව වනලා කාමරේ ඇතුලට ඇවිත් දොර වැහුවා. ගෙනාපු පොරවනා ටික ඇඳ උඩින් තියපු මුරකාරයා ආපහු යන්න ගිහිනුත්, ටිකක් නතරවෙලා ආපහු අපි දිහාට හැරුනා.

' කොහොමටත් මහත්තයෝ ඇඳිරි වැටුනායින් පස්සේ ඔය සල්ගහ තියෙන පැත්තේ නොයා ඉන්න ඕනේ. ඔය බැල්කනි කෑල්ලටත් නොයා හිටියොත් තමයි හොඳ '
මුරකාරයාගේ කතාවෙන් පුදුමයට පත්වුන දෙලා ඇඳෙන් බැහැලා මුරකාරයා ලඟට ගියා.
' ඇයි ලොකුඋන්නැහේ එහෙම කීවේ? ' දෙලා ඇහුවා.
' නෑ මහත්තයෝ දන්නේ නැද්ද ඉතින් ඔය එක එක දේවල් තියෙනවානේ.... අනිත්එක ඔතනින් පල්ලෙහා මහ ගණ කැලෑව. වල් ඌරෝ, දිවියෝ සතා සරුපයෝ පිරිලා.'

එහෙම කියපු මුරකාරයා අඩියට දෙකට එතැනින් පිටවෙලා ගියා. ඒ⁣ වෙනකොට කාමරේ හිටියේ දෙලයි, මමයි, කැන්ඩියයි විතරයි. සුප්පා හිටියේ බාත්රූම් එක ඇතුලේ. අපේ සෙට් එකෙන් බයම එකා සුප්පා නිසා අපි කොලඹදීම කතාකරගෙන ආවේ බංගලාවට ආව වෙලාවක ඕකව හොඳට බය කරමු කියලා. ඒත් මුරකාරයාගේ කතාවෙන් පස්සේ අපිටත් පොඩි බයක් වගේ එකක් නොදැනුනාම නෙමෙයි. ඒ නිසාම වෙන්න ඇති කැන්ඩියා කීවා ඩ්‍රිංක් එකක් දාමු කියලා. මමත් වොෂ් දැමිල්ල පස්සට දාලා වැඩේට එන්ටර් වුනා. ඒත් ගෙනාපු කලමනා සේරම වාහනේ ඇතුලේ දාලා ඇවිත් කියලා මතක්වුනේ ඒවෙලාවේ. ඉතින් මමයි, දෙලයි, කැන්ඩියයි, සුප්පා වොෂ් දානකන් වාහනෙන් බඩුටික අරන් එන්න එලියට ගියා. අපි එලියට යනකොටම බංගලාවේ ඉස්තෝප්පුවෙ හිටපු මුරකාරයා අපෙන් ඇහුවා කොහේද යන්නේ කියලා. අපි පොරට ඇත්ත විස්තරේ කීවා. ඒ අතරේ දෙලා මුරකාරයාටත් පොඩි අඩියක් ගහන්න කතා කළා. ඒකට එක පයින් කැමතිවෙච්ච මුරකාරයාත් අපිත් එක්ක වාහනේ ලඟට අවේ ටෝච් එකත් පත්තුකරගෙන.

අවශ්‍ය කලමනා ටික අරන් ආපහු බංගලාව ඇතුලට යන්න හිතාගෙන ඒ පැත්තට ටෝච් එක ගහපු මුරකාරයා එකපාරට ' යන්න එපා.... මහත්තයෝ. ඔය පැත්තට යන්න එපා......' කියාන කෑගහගෙන සල් ගහ තිබුන පැත්තට දුවන්න වුනා. අපිත් ඒ පිටිපස්සේ දුවනකොට මුරකාරයාගේ ටෝච් එලියට තමයි දැක්කේ, සුප්පා කලුවරේම බංගලාවේ ඉස්සරහින් බැහැලා සල්ගහ පැත්තට යනවා. මුරකාරයාගේ කෑගැහිල්ලට ගමන නතරකරපු සුප්පා බයවෙලා වගේ අපි දිහා බලාගෙන හිටියා. සුප්පා ලඟට ගියපු අපි කොහෙද යන්න ගියේ කියලා ඇහුවම ඌ කියනවා වොෂ් දාලා ඇවිත් තුවාය බැල්කනියේ වැටේ වැනුවලු, එකපාරම ආව හුලඟට ඒක එලියට වැටුනාලු. ඒක ගන්නලු යන්න ගියේ. කොහොම හරි තුවාය ගැනිල්ල පහුවදාට කල්දාලා අපි සුප්පාවත් ඇදගෙන මුරකාරයාත් එක්ක අපේ කාමරේට ආව. බැල්කනියෙ දොරත් හායි ගාලා ඇරල දාලා තමයි සුප්පා තුවාය ගේන්න ගිහින් තියෙන්නේ.

ඇරලා දාලා තිබුණ බැල්කනියේ දොර වහන්න ගියාම තමයි මට දෙලෝ රත්වුනේ. සුප්පා බිමට වැටුනයි කියාපු තුවාය මෙන්න යස අගේට බැල්කනි වැටේ තියෙනවා. මම ඒක පෙන්නුවාට පස්සේ සුප්පා දිවුරා දිවුරා කියනවා තුවාය හුලඟට වැටුනමයි කියලා. අපේ කතාව අතරේ කාගෙන්වත් අවසරයක් නැතිව බෝතලයක් කඩපු මුරකාරයා එක හුස්මට ප්ලාස්ටික් කප් එකක්ම හිස් කරලා කාකි කබා අතෙන් කට පිහදාගෙන කතාව පටන්ගත්තා.
' මහත්තයෝ ඔයගැන වාදකරන්න දෙයක් නෑ අනිවාරෙන්ම මේ මහත්තයා දකින්න ඇති ඔය තුවාය පහලට වැටෙනවා. ඒකනේ ඒ මහත්තයා කලුවරේම ගියේ. හොඳ වෙලාවට තමයි අපි මේ මහත්තයා එලියට යද්දිම දැක්කේ. නැත්නම් ඉතින් මේ මහත්තයාව හෙට උදේ ඔය සල් ගහ යටදි හම්බෙන්නේ හොඳටම පිස්සු වැටිලා තමයි. මේ සේරම අරකිගේ වැඩ. '
' මොකක්ද ලොකුඋන්නැහේ ඒ කතාව? ' කිසිම දෙයක් නොදැන හිටපු සුප්පා බයවෙලා එහෙම ඇහුවා.
තවත් එක කප්එකක් පුරවලාම හිස් කරපු මුරකාරයා ආයෙත් කතාව පටන්ගත්තා.

' මහත්තයලා බයවෙයි කියලා හිතලයි මම ඉස්සරලා මේ ගැන කීවේ නැත්තේ. ඒත් දැන් නොකියා බැහැනේ..... ' කියලා මුරකාරයා කතාව පටන්ගත්තා. කතාව ඉවර කරනකොට මුරකාරයා එක්ක අපි සෙට් එක බෝතල් හතරක්ම ඉවර කරලා. එහා කාමරේ හිටපු අපේ අනිත් හතරදෙනත් කතාව මැදදි කාමරේට ආව නිසා, මුරකාරයාගේ කතාව ටිකක් නවත්තලා සුප්පට වෙච්ච ඇබැද්දියත් කියලා ආයෙත් මුල ඉඳලා කතාව කියන්න මුරකාරයාට සිද්දවුනා. අපේ කතාව ගොඩක් දිග්ගැස්සෙන නිසා මම මුරකාරයා කියපු කතාව කෙටියෙන් කියන්නම්.

දැනට අවුරුදු බරගානකට කලින්, ඒ කියන්නේ මේ බංගලාවේ වර්ථමාන අයිතිකාරයා මේ බංගලාව සල්ලිවලට ගන්න කලින් මේ බංගලාව අයිතිවෙලා තියෙන්නේ රදළ පරපුරකට. ඒ පරපුරේ එක පිරිමියෙක් ඉඳලා තියෙනවා අවිවාහකයෙක්. එයා අවිවාහක වුනාට ගෑනුන්ගෙන්නම් අඩුවක් තිබිලා නෑ. ඒ කාලේ හිටිය හොඳම සල්ලාලයෙක්ලු. සල්ලි බලෙන් තමන්ට හිතෙන හිතෙන ගමේ හිටිය ගෑනු යටත්කර ගත්තත්, එක කෙල්ලක් විතරක් මිනිහගේ සල්ලි බලේට යටත් වෙන්න කැමතිවෙලා නෑ. ඉතින් එකදවසක් රාත්‍රියක මේ මිනිහා තමන්ගේ ගෝලයොත් එක්ක එකතුවෙලා අර කෙල්ලව බලෙන්ම බංගලාවට අරන් ඇවිත් තමන්ගේ ආශාව ඉෂ්ඨ කරගෙන. ඒ කාරණය සමාජයෙන් වහන්කරන්න ඕනේ නිසා ඒ කෙල්ලගේ බෙල්ල කපලා මරලා ඔය සල්ගහ පාමුල වැලලුවාලු. ඉතින් මුලු පිරිමි සනුහරේම ගැන වෛරයකින් මැරුණ මේ කෙල්ලගේ ආත්මය සල්ගහ යටට වෙලා ඉන්නවාලු, ඉඩක් ලැබුන වෙලාවට පිරිමින්ගෙන් පලිගන්න බලාගෙන. ඒ විතරක් නෙවෙයි. මේ මුරකාරයා මේ බංගලාවට එන්නෙත් දවාලෙට විතරයිලු. කවුරුහරි ආවොත් විතරලු රෑට ඉන්නේ.

කොහොමහරි අපි ඔය බංගලාවේ දවස් 28 ක් හිටියා. ඒ දවස් 28 අතරේ තවත් ගොඩක් දේවල් සිද්ධ වුනා. මේ කතාව කියවලා බලලා ඔයාලා කැමතිනම් මට කියන්නකෝ... එතකොට මම අනිත් දේවලුත් කියන්නම්.

Source: Link



02 September 2019

---අළුතින් ගත්ත ගෙදර---


මේ සිද්දිය වෙලා දැනට අවුරුදු 4 විතර ඇති.කෙටියෙන්ම කියන්නන් ලිව්වට වඩා දේවල් ගොඩක් තියෙනව මේ සිදු වීමේ.මේක මගේ යාළුවෙක්ට වෙච්ච සිදුවීමක්,සෑහෙන කාලෙක ඉදන් මිනිහව මං දන්න අදුරනවා

පොරට රත්නපුරේ තේ වත්තක තිබ්ච්ච ටිකක් ලොකු තට්ටු දෙකේ බංගලාවක් මිනිහගේ තාත්තා අරන් දුන්නා,අම්මයි තාත්තයි රට පදිංචියට ගිහින් එහේ ඉදන් වැඩ කරගෙන ඉන්නවා,ඒ දෙන්නා මෙහෙට වැඩිය කැමැත්තක් නම් නැ,කොල්ලා මෙහෙ තනියම ඉන්න හින්දා තේ වත්තේ වැඩ ටිකත් බලාගෙන පාඩුවෙ ඉදියා.

ඉතින් ඔහොම ඉතින් සතියක් දෙකක් යනකොට ඒ කොල්ලා රෑට රෑට බය වෙන්න පටන් ගත්තා,සීන් එක මටත් කිව්වා ඉතින්,මං හිතුවෙ මූ මට ජෝක් එකට කියනව කියල,

ගෙදර තට්ටු දෙකට තියෙන එකේ උඩ කාමරේක තමා පොර ඉන්නේ,ඌ කියන්නේ රෑ 12 ට 1 විතර දම්වැල් සද්දයක් ඇහෙනවා කියල.ඒ කියන්නේ උඩ තට්ටුවේ ඉදන් පහල තට්ටුවට දම්වැල් ටිකක් ඇදගෙන අඩි තිය තිය සද්දෙන් තරප්පුව බහිනව වගේ සද්දයක් කියල.කොල්ල මේක බලන්න ගිහින් නැ අහගෙන ඉදල විතරයි තනියම ඉන්න හින්දා.
පස්සේ දවස් දෙක තුනකට පස්සෙ මමත් එන්නම්කො ටික දවසක් නවතින්න කියල කිව්වා,

ඔන්න ඉතින් කිව්වා වගේම මමත් එහේ ගියා.ගිය දවසෙ නිදාගන්නම ඕන කියල අදහසක් තිබ්බේ නැ.මං කිව්වා කාමරේ නැතුව එලියේ බැල්කනි කෑල්ලක් තියෙනව ඒකට වෙලා මොකෝ වෙන්නේ කියල බලමු කියල.මොකද ඒකේ ඉන්නකොට ගේ ඇතුලෙ තරප්පුව වගේම යට තට්ටුවේ සාලෙ වෙනකල්ම පේනවා.

ඔහොම ඉන්නකොට දැන් 10 පහුවෙලා 11 ටත් කිට්ටු උනා,යාන්තන් දෙන්නත් එක්ක පොඩි ඇලට් එකක් දාගෙන ඉන්නකොට මහා කර්කෂක ගඳක් ආව නහය ගලෝගෙන යන්න.ඒත් එක්කම අරූ මට කිව්ව දම්වැල් සද්දෙත් ටිකෙන් ටික ඇහෙන්න පටන් ගත්තා.මං ඔහොම්මම අරුත් එක්ක ජනේලයේ කර්ටන් එක ඈත් කරල හිමින් සීරුවේ බැලුවා.
අම්මෝ ජීවිතේටවත් කිව්වට විශ්වාස නොකරන දෙයක් තමා දැක්කේ,බොක්ක කූල් උනා,අධික සීතලක් තිබ්බට දාඩිය දාල ගියා.

ටිකක් මැදි වයසේ වගේ මනුස්සයෙක්ගේ වේශයක් (සුදු පාට දුම් පටල වලින් හැදුනු) රුවක් දම්වැල් ටිකක් ඇගේ දාගෙන, දම්වැල් බාගයක් බිම ඇතිල්ලිගෙන තරප්පුව බහිනවා.

ඒක තමා මෙච්චර දවස් ඌට ඇහිලා තියෙන්නේ.මං අරුට කිව්වා සද්ද කරන්නැතුව බලන් ඉදපන් කියල,කෑ ගැහුවත් අහල පහල සැහෙන දුරක් යනකන් ගෙයක් පේන මානෙකවත් නැ.
මටත් පුදුමයි මේකා මේ හොල්මන් එක්ක කොහොම හිටියද කියල,

පොර දැන් වෙව්ලනවා මට කරකියාගන්න දෙයක් නැ.අපි දැක්ක ඒ වේශය තරප්පුවෙනුත් බැහැල දොරෙනුත් එලියට බැහැල යනව අපි බැල්කනියේ ඉදන් බලාගෙන වැඩේ.මං අරුට කිව්වා ඔහොම්ම ඉදල හෙට උදේ අම්මටයි තාත්තටයි කියල මෙහෙ වහලා දාල යමු කියල.

කිව්ව වගේම අපි උදේ වෙනකල් ඉදල නින්ද ගියෙත් නැ.උදෙන්ම දොරවලුත් වහල අපි ආව හොරණට.
සති දෙකක් ගියාට පස්සෙ අර කොල්ලගේ අම්මයි තාත්තයිත් ආව.ආපහු එහෙ බංගලාවට ගියා බලන්න මුළු පාලතම මූසල පාටයි,අපි මේ ගේ ගැන ටිකක් අල්ලපු ගමක වයසක සීයා කෙනෙක් ගෙන් ඇහුවා,

එයා කිව්වේ දැනට අවුරුදු 50 විතර ඉස්සර මේ වත්තෙ අයිතිකාර මනුස්සයව ඒ ගෙදර හිටපු කිහිපදෙනෙක් විසින් ඉඩම්ආරවුලකට ගේ ඇතුලෙදිම දම්වැල් වලින් ගැටගහල මරලා දාල ඔය කිව්ව බංගලාව ඇතුලෙ වල දාල සිමෙන්ති දාල වහල තාමත් තියෙනව කියල,ඒ නිසා තමා මේ මනුස්සය මේ විදියට ගේ ඇතුලෙ ඇවිද ඇවිද ඉන්නේ.

ඉතින් කොහොම නමුත් මේ කතාව කාටවත් වැඩිය නොකියා බංගලාව අත්හැරල දාල ඒ කොල්ලා වෙනත් පැත්තක පදිංචියට ගියා,

මට කියන්න තියෙන්නෙ ඉතින් ගෙයක්,ඉඩමක් ගන්න ගියොත් හොදට හොයල බලල ගන්න කියල තමයි.නැත්තන් සෑහෙන කරදර වලට මුහුණ දෙන්නත් වෙනවා.

Source: Link



13 August 2019

---666 අභිරහස---


හායි යාලුවනේ අද කාලෙකට පස්සේ අලුත ධෙයක් ගෙනාවා අපි 666 ගැන ගොඩක් දෙනෙක් දැකල තියනවා අහල තියනවා එත් මොකක්ද මේ 666 කියන්නේ ? එකට හේතු උන කාරනා මොනවද ? අන්න ඒ ගැන අද අපි දැනගමු . මුලින්ම කියන්න ඕනි වැරදි තියනවනම් අනිවාර්යෙන්ම කියන්න වැරැද්ද නිවැරදි කරන්න මොකද මන් මේ ලියන එක ක්‍රිස්තියානු ආගමට සම්බන්ද දෙයක් නිසා

මෙහි එන තොරතුරු ඇතුලත් වන්නේ Christian_demonology වලයි 1467 Alfonso de Spina නම් වූ පුජකයා කතුවරයා සදහන් කරලා තියන ආකාරයට demons ල නැත්නම් අමනුෂයින් ප්‍රමාණය 133,316,666 බවට ප්‍රකාශ කොට තිබෙනවා එයින් පෙනී යන්නේ දෙවදුතයින්ගෙන් තුනෙන් එකක් යක්ෂයින් බවට පත්වූ බවයි .Book of Revelation එය සදහන් වනවා

නමුත් Johann Weyer නම් වූ අමනුෂයවෙදියා ඔහුගේ පොත වූ Pseudomonarchia Daemonum ( 1583) ගණනය කිරීම්වල සංකීර්ණ පද්ධතියකින් පසුව, භූතයන් ගණන ඇස්තමේන්තු කර ඇත එමගින් 4,439,622 වූ යක්ෂයින් සේනාංක 666 බෙදා ඇති බව පෙන්වා දී ඇත ඒ වගේම ඒ එක සේනාංකයට යක්ෂයින් 6,666 ක් ඇතුලත් කර ඇති අතර එම යක්ෂයින් පාලනය කිරීම සදහා උසස් යක්ෂයින් 66 දෙනෙකු යොදා ඇතිබව පෙන්වා දෙයි

ඔවුන් dukes, princes, kings නමින් නම්කොට ඇත මෙය The Lesser Key of Solomon හි සදහන් වේ
භූතයන්ගේ සංඛ්‍යාව ගණනය කිරීම සඳහා ස්පයිනා සහ වෙයර් යන දෙදෙනාම 666 සහ තවත් අංක 6 ට වඩා වැඩි සංඛ්‍යාවක් භාවිතා කළ බව සදහන් වේ එවිට (133,316,666 demons, 666 සේනාංක , 6,666 යක්ෂයින් හැම සේනාංකයටම , 66 පාලකයින් )




4 වන ශතවර්ෂය වන විටත් පිරිමි සහ ගැහැණු යක්ෂයින් සිටි බව විශ්වාස කර ඇත
ඉතින් යාලුවනේ 666 කියන එක හැදුනේ ඔන්න ඔහොමයි සමහර විට තේරුම් ගැනීමට ගොඩක් අමාරුවෙයි මොකද මේක ගොඩක් සංකීර්ණ ක්‍රියාවලියක් මමත් පුළුවන් උපරිමයෙන්ම තේරුම් ගැනීමට ලේසි වෙන ආකාරයෙන් ඉදිරිපත් කිරීමට උත්සහ කළා

කරුණාකර ඔඅගේ යෝජනා අදහස් මට කියන්න වැරදි තියනවනම් ඒවත් කියන්න ප්‍රස්නයක් තියනවනම් පුද්ගලිකව හෝ මෙහිදී විමසන්න හැකි ආකාරයෙන් පිළිතුරු සපයනම්
එහෙනම් තවත් දවසක මේ වගේ දෙයකින් බලාපොරොත්තුවන්න
" අපි නොදන්නා සෑම දෙයකම තේරුමක් ඇති අතර
තේරුමක් දන්නා සෑම දෙයකම ලොකු ගබුරක් ද ඇත "

ෆොක්ස්

Source: Link



11 August 2019

---වැරදුන ගුරුකම---



අරනෝලිස් ගුරුන්නාන්සේ කියන්නේ ගම් තුලාවටම හිටිය අන වින කොඩිවින බංදන හදි හූනියන් වලට නමගිය ඉතා දක්ශ්ය වගේම බයානක කට්ටඩියෙක්...අරනෝලිස්ගේ කෙරුවාව දන්න නිසාම ගමේ හැමෝම වගේ අරනෝලිස්ට කතා කරේ යටහත් පහත්ව ගරු සරුව ඇතුව...ඒ නිසාවෙන්ම අරනෝලිස් හිටියේ හරි ආඩම්බරයෙන්....

ගම්තුලාවේ හෝ පිට ගමක හෝ වෙවා ඇහැට කනට පේන ලස්සන ගැහැනියක් අරනෝලිගේ ඇහැගැටුනොත් ඒ කාන්තාව අරනෝලිස්ගේ වසගයට ගන්න අරනෝලිස් දෙපාරක් හිතන් නෑ....වශියක් බන්ධනයක් කරල හෝ අරනෝලිස් තමාගේ කාර්ය ඉස්ඨ සිද්ද කරගන්නවා....

අරනෝලිස් ජීවත් උන ගමට ගම් තුන හතරක එපටින් ගමක එක්තරා නිවසක ඇදුරුකමක් කිරීමට අරනෝලිස්ට යන්න සිද්ද වුනා...අරනෝලිස් අවස්ය දෑ සමගින් යන්න පිටත් උනේ අරනෝලිස්ගේ අතකොලුව වෙන නිමල් සමගින්...

"ගුරුන්නාන්සේ...."
"හ්ම්ම්..."
"මොකක්ද ගුරුන්නාන්සේ මේ වැඩේ..."
නිමලේ තම අතේ තිබුනු බෑගයද හිස මත තබාගනිමින් අරනෝලිස්ගෙන් ඇහුවා...
"ක්රාස්..තුහ්...."

මුවේ දමා සිටී බුලත් හපය එලියට විසිකරන ගමන් අරනෝලිස් නිමලෙ දෙස බැලූ හ...
"හ්ම්ම්...කොල්ලෝ මේක එච්චර ලොකු වැඩක් නෙවේ මයේ හිතේ...තනිකන් දෝසයක් ඔය තෙල්ටිකක් මතුරල ආවම ඇති...."
අරනෝලිස් යලි බුලත් විටක් මුවේ තබාගනිමින් නිමලෙට කීහ..නිනලෙද හිස සලා අරනෝලිස් පසු පස ගිය හ...
පැය දෙකතුනක ගමනින් පසු අරනෝලිසුත් නිමලෙත් අදාල නිවසට පැමිනියහ..
"ආ ගුරුන්නාන්සේ එන්න එන්න..."
නිවසේ සිටී ගෘහ මූලිකයා කිව හැකි පුද්ගලයෙක් අරනෝලිස් පිලිගත් හ...
"මෙහෙන් වාඩි වුනානම් ගුරුන්නාන්සේ...ගෙ හොයාගන්න අමාරු වුනේ නෑ නේ..."
"මොන ආරුවක්ද මහත්තයෝ අනික මං මේවයි ඇවිල්ල නැති කෙනෙක් යෑ...."
අරනෝලිස් කිව්වෙ මුවට නැගුනු සිනහවක්ද සමගින්...
"ගුරුන්නාන්සේ තේ එකක් බීල ඉන්නවද...."

"නෑ නෑ මහත්තයෝ තවත් සුනන්ගු නොවී අපි වැඩේ කරමු...කෝ ඔය ලෙඩා බැලුවනම්..."
අරනෝලිස් එහෙම කියමින් ඉද සිටී තැනින් නැගිට්ට හ...
"යං ගුරුන්නාන්සේ ඇතුලට...ලෙඩානම් මගේ කෙල්ල..දැන් දවස් දෙක තුනක ඉදන් බයවෙනවා...."
නිවෙස් හිමියා එසේ කියමින් අරනෝලිස් සමග නිවසතුලට ගියහ...
"මේ ඉන්නේ ගුරුන්නාන්සේ මගේ දුව..."

ඔහු ඇදේ දිගාවී සිටී තම දියනිය පෙන්වන විට අරනෝලිස් ඇය දෙස බලන්නට විය...
"මේ කෙල්ලගේ හැඩ...වාත්තු කරල වගේනේ...ගෑනු කොච්චර දැකල තිබුනත් මේ වගේ ගැටිස්සියෙක් මං දැකල නෑ නොවැ..."
අරනෝලිස් හිතින් එම තරුනියගේ ලස්සන විදින්න විය...ටිකෙන් ටික අරනෝලිස් ගේ තිරිසන් ගතිය එලියට එන්න විය...
"ගුරුන්නාන්සේ...."
අරනෝලිස් යලි පියවි සිහියට පැමිනියේ නිමලගේ හඩත් සමගිනි..
"හරි මහත්තයෝ අපි තෙල් ටිකක් මතුරල බලමු...."
අරනෝලිස් එසෙ කියමින් තරුනිය අසලින් ඉද ගත්තේ අගේ දෙපතුලේ සිට හිස දක්වා කෑදර ලෙස බලමිනි..
"නිමලේ..."
"ගුරුන්නාන්සේ..."
"ඔය තෙල් ටිකකුයි නූලකුයි ගත්තනම්...."
"එහෙමයි ගුරුන්නාන්සේ..."
නිමලේ දුන් තෙල් ටික හා නූල පීරිසියකට දැමූ අරනෝලිස් මතුරන්නට විය...
"ඕං නමක්ශිවාය යක්ශ පේත කුම්බාන්ඩ................................................................................................."

පැයකාලක් පමන මැතිරූ අරනෝලිස් ඇප නුල තරුනියගේ දෙපතුල සිට හිස දක්වා ගෙන එන්නට වූයේ තමාගේ රාගික හැගීම් සමගිනි...විටින් විට තම අත එම තරුනියගේ කලාවවල ලැම පෙදෙසේ ස්පර්ස කරන්නට වුයේ කිසිවෙකුටත් සැක නොහිතන පරිද්දෙනි...
එහෙත් අරනෝලිස්ගේ ක්රියාකලාපය නිමලේ හොද හැටි දැන් වුන් හ...ඒ කා අවසන් වූ මස් කටුවක් ලෙවකන සුනකයකු මෙන් අරනෝලිස්ගේ යටතට පැමිනෙන තරුනියන් නිමලේටද ලැබෙන නිසාවෙනි...
"ඔන්න මහත්තයෝ වැඩේ හරි වරු තුනකින් මේ දැරිවිට සනිප වෙයි...ආයෙ බය වෙන්ට කාරියක් නෑ"
අරනෝලිස් එසේ කිවේ එම තරුනියගේ හිස අතගාමිනි...ඒත් දැන් දැන් අරනෝලිස්ගේ යටි සිතේ තිබෙන්නේ මේ තරුනිය තම වසගයට ගැනීමේ ආසාවයි...

"අනේ ගොඩාක් පිං ගුරුන්නාන්සේ..."
"ආ ඒකට කාරියක් නෑ මහත්තයෝ...එහෙනම් අපි ගොහින් එන්නම්..."
"ගුරුන්නන්සෙ මේ යන්නද "
"ඔව් මහත්තයෝ දැම්ම ගියොත් අන්තිම බස් එක අල්ල ගන්න තිබුනා..."
"හොදමයි ගුරුන්නාන්සේ එහෙනම්"

නිවෙස් හිමියන්ට සමුදුන් අරනෝලිස් හා නිමලේ යලි එන්නට සැරසුනහ...අරනෝලිස් ගියාට නමුදු ඔහුගේ හිත නතර වී තිබුනේ අර තරුනිය ලගයි....එම තරුනිය තමාට කෙසේ හෝ අවශ්ය බව අරනෝලිස් කල්පනා කරහ..ඔහු ඒ පිලිබදව සිතමින් යන්නට විය..

"ගුරුන්නාන්සේ......."
නිමලේ අරනෝලිස්ට කතාකලද ඔහුට නොඇසුනාමෙන් සිටී නිසා නිමලේ යලි කතාකලේ පෙරට වඩා හඩකින්ය....
"ගුරුන්නාන්සේ..."
"මොකෝ බොල බෙරිහන් දෙන්නේ..."
අරනෝලිස් කේන්තියෙන් මෙන් නිමලෙගේ ඇගට කඩා පැන් හ...
"න්...නෑ.. ග්..ගු..රුන්න්නාන්සේ...ගුරුන්නාන්සේ ලොකු කල්පනාවක හිටිය නිසා කතාකරේ"
නිමලේ බයාදු ලෙස කීහ..
"හ්ම්ම්..කල්පනානම් කරා තමයි බං..අර ගැටිස්සි ඇහැගැටුනු වෙලේ ඉදන් මං ඉන්නේ ඒ සිහියෙන් "
අරනෝලිස් තම දෑස් අඩවන් කරමින් නිමලේට කීහ..
"මට ඕක හිතුනා ගුරුන්නාන්සේ තෙල් ටික මතුරද්දිම ..."
නිමලේ කීවේ මුවට නැගුනු සිනාවක් සමගිනි....
"මං ඔය කෙල්ලව මගේ දෙපතුලට ගේනවා එහෙම නොකලොත් මං අරනෝලිස් කට්ටඩියා නෙවේ...තුහ්..."
තමා පිල්බදව දැඩි විශ්වාසයකින් කිවු අරනෝලිස් අසල කනත්තක් වෙත ගියේ නිමලේද කැටුව ය...
"ගුරුන්නාන්සේ මේ කැරකෝප්පුවට ආවේ..."
නිමලේ ඇසුවේ දෙගඩියාවෙනි...
"අද අපි ගෙදර යන්න කලින් මං ඔය කෙල්ලව ගෙදර දොරකඩඩ ගෙන්නව...මං යවනව ඕකිට පිල්ලියක්......"
"ගු. ගුරුන්. .නා..න්සේ...."
නිමලේ තරමක් බිය වූහ..
"ඇයි උබ බයද...මං මේව පුරුදුවෙන්න කරන වැඩ නෙවේ බොල... .."
"බයක් නෙවේ ඒත් මේ එකපාරටම..."
"අද හොද කෙම්මුර දවසක් බොල...පිල්ලියක් යවන්න හොදම දවස...බලපන් මේ කනත්තේ අලුතින් වලදාපු මිනියක් කොහෙද තියෙන්නේ කියලා..."
අරනෝලිස් නිමලෙට එසේ කියා තම සුදුසරමද කැහපොට ගසා ගනිමින් කනත්ත පීරන්න විය...
ඔවුන්ගේ උත්සහය සාරත්තක කරමින් මීට දින හයකට පමන උඩදී වල දැමූ මිනී වලක් හමු විය...
"නිමලේ...මේක හාරන්න ඕන..."
"හාරන්න මොකෙන් හාරන්නද ගුරුන්නාන්සේ...."
"යකෝ මේ කනත්තක් පොඩ්ඩක් බලපං ඇති මක්ක හරි..."
අරනෝලිස් කේන්තියෙන් නිමලේට කී නිසා නිමලේද හා කියාන්නාක් මෙන් හිස සලා වල හෑරීමට උපකරන සොයන්න විය..
"හහ්හ්හ්හා....කෙල්ලේ අදින් පස්සෙ උබ මගේ ඔව්...හැමදාටම මං උබව තියාගන්නවා....හහ්හ්හහ..."
අරනෝලිස් සිනාසෙමින් තමාටම කියා ගත්තේ මිනිවලේ පස් ස්වල්පයක් අතට ගෙන එය තමාගේ නහයට ලං කරමින් එහි සුවද විදිමින් ය.
විනාඩි කිහිපයකින් පමන පසු නිමලේ මහත් වෑයමක් දමා උදැල්ලක් සොයා පැමිනි යහ..
"හහ් ඔය තියෙන්නේ බං ඕක ඇති..."
නිමලේ රැගෙන ආ උදැල්ල තම අතට ගෙන එය ඒ මේ අත කරකවමින් අරනොලිස් කීහ..
"ගුරුන්නාන්සේ දැන් මේක ගොඩගන්නවද..."
නිමලේ ඇසුවේ කිසිත් නොතේරුනු නිසාය..
"නෑ..දැන්ම නෙවේ තව ටිකක් ගොම්මන් වෙන්න දියන්...එතකන් අපිට ඕන කලමනා ලකලෑස්ති කරගමු...."
අරනෝලිස් ගේ අඩුම කුඩුම බෑගය අතට ගත් ඔහු එයින් දුම්මල හදුන්කූරු මිනි අලු එකි නොකී මෙකී සියල්ල සුදානම් කර ගත් හ..
ක්රමක් ක්රමයෙන් රාත්රිය උදාවීමත් සමග අරනෝලිස් නිමලේ සමග එක්ව මිනී වල හාරා එහි මිහිදන් කර තිබූ මිනී පෙට්ටියේ උඩුපියන විවුර්ත කරහ....
මිනිය ඉදිමී තැනින් තැන ඕජස් ගැලුවත් එය තවමත් එම්බාම් තත්වේ තිබෙනු දැකීම නිසා අරනෝලිස්ගේ හිතට යම් සහනයක් දැනිනි...
අරනෝලිස් මිනී වලට බසින්නට විය....ඔහු යලිත් මිනියේ මූන දෙස බැලූ ය...මියගොස් ඇත්තේ තරමක තලතුලා වූ කාන්තාවකී....ඔහුගේ පිල්ලිය කාන්තාවක් වූ නිසා අරනෝලිස්ගේ සතුට තවත් වැඩි විය...
නිමලේ උඩ සිට අරනෝලිස්ට ආවතේවකම් කර හ...ක්රමක් ක්රමයෙන් රාත්රී දොලහට ආසන්න වෙත්ම අරනෝලිස් මන්ත්ර ජප කරන්න විය....

"ඕංං යක්ශ ප්රේත කුම්බාන්ඩ ඕංරීං වර වර......"




අරනෝලිස්ගේ ජපකිරීමේ වේගය එන්න එන්නම වැඩි විය.... මුලු සොහොන් පිටියම එකම මූසල කමකින් පිරී ගිය හ..දැඩි සුලගක් හමන්නට විය අදුර කපා සොහොන් පිටියෙන් හඩවල් ඇසෙන්නට විය...
එහෙත් අරනෝලිස් ගේ ජපකිරීම නතර නොවිනි..නිමලේ බිය වී තක්කු මුක්කු වී සිටියහ...
එක්වරම මෙතෙක් වෙලා මිනී පෙට්ටියේ සිටී කාන්තාව දෙනෙත් විවර කරන්න විය...අරනෝලිස් දිගටම මන්ත්ර ජප කෙරූහ..සිද්දිය දුටි නිමලේ බිය වැඩිකමට වෙව්ලන්නට විට ඔහු දෑස් වසාගත් හ...
ටිකෙන් ටික කාන්තාව පෙට්ටියෙන් නැගිටින්නට විය....
සිදු වූයේ සිතාගැනීමට නොහැකි දෙයකි...අරනෝලිස්ට මන්ත්රය වැරදුනි...ඔහුගේ මුවින් වචන පිට නොවුනි....
"ඇයි...ඇයි...උබල මාව අහැරෙව්වේ ..කියපල්ලා....."
කාන්තාව ආවේගයෙන් කියන්නට වුනි...අරනෝලිස්ට කල යුත්තේ කුමක්ද කියා සිතාගැනීමට නොහැකි විය..
"කියපල්ලා....මට බඩගිනී මට ලේ බොන්න ඕන මට ලේ දියල්ලා..."
කාන්තාව වියරුවෙන් කෑගසන්නට වුනි...

"ග්...ග්...ග්..ගු..රු..න්..නා..න්..සේ..."
නිමලේ ගොතගසන්නට විය...
අරනෝලිස් යලි මතුරන්නට වුනි...
"උබට බෑ දැන් මගෙන් වැඩ ගන්න මං උබලගේ ලේ බොනවා...."
එසේ කිව් කාන්තාව අරනෝලිස් උස්සා වලෙන් උඩට විසි කලහ..
"ආහ්...අම්මෝ...."
විසීවී ගොස් වැටුනු අරනෝලිස් බෙරිහන් දෙන්න විය...

"බුදු අම්මෝ...."
මෙය දුටු විමලේ කනත්ත දෙවනත් කරමින් විලාප දෙමින් දිව යන්නට වූයේ අරනෝලිස් දෙසද නොබලාය..
"න්...නි..ම..ලේ...ම්...මා...වත්...අ..ර..න්..ප..ල..ය..න්...අ..නේ..නි...මලේ..."
අරනෝලිස් වේදනාවෙන් බෙරිහන් දෙමින් කිටන්නට වූවත් නිමලේ දිව ගොස් අවසන් ය ..
"මගේ දිහා බලපපං හොදට බලපං අදුර ගත්තද...උබේ ගුරුකම්වලට අහුවෙලා උබෙන් විනාස උන තව එක ගෑනියෙක් මං ..උබෙන් පලි ගන්නේ කොහොමද කියල හිත හිත මං මැරුනේ...හහ් අද උබම මාව හොයන් ආවා..."
"ම...ම..ට..යන්න්.දීපං ම්ම්..මා ..ව..අතරෑපං..."
අරනෝලිස් බියෙන් කෑගසන්නට වුනි...ඔහුගේ ගුරුකම් වැරදි දැන් ඔහුටම එය සාපයක් වි ඇත..

දික් වූ නියපොතු වලින් එම කාන්තාව් අරනෝලිස්ගේ පපුව ඉරා දමන්නට වූ යේ අරනෝලිස් ගේ විලාපය හමු වේය...
ඊට පසුදින අරනෝලිස්ගේ විරූපි මිනිය ගම් වැසියන්ට කනත්තේ තිබියදී හමු වූවත් සිදු වූයේ කුමක් ද කියා හරි හැටි තේරුමක් නොවිනි..
එහෙත් දිනගනාවක් බිය වී සිටි නිමලේ යලි පියවි සිහිය ලැබීමෙන් පසු ඔහු සිදුවූ සියල්ල පැවසිනි.

මෙය ඇසූ බොහෝ පිරිසක් කියනට වූයේ
"අරනෝලිස්ට දිට්ට දම්ම වේදනීය කර්මය පඩිසන් දුන්නා" කියා ය...

Source: Link


04 July 2019

---නිල් කුරුමිණි---


මේ සිද්දියට මූණ දුන්නෙ මගේ සීයා සහ සීයගෙ සීයා.(සීයා කොල්ලා කාලෙදි)

ම්ම්ම්...මේ කතාවෙදි මගේ සීයව ගෝලයා ලෙසත් සීයගේ සීයව ගුරුන්නාන්සෙ ලෙසත් නම් කරමි.ඉතින් මේ ගුරුන්නාන්සෙ ජීවත් වුනේ මාතර ප්රදේශයේ.ඒ පළාතටම හිටපු දක්ෂම කට්ටඬියෙක්.අනෙක් පලාත්වල කොච්චරවත් කට්ටඬි හිටියත් ඒ අහල ගම් හතේම මිනිස්සු තොවිල් පෙවිල් ආදියක් කර ගන්න හොයා ගෙන එන්නෙ මේ ගුරුන්නාන්සෙව.හැම ගුරුන්නාන්සෙ කෙනෙකුටම වගේ මේ ගුරුන්නාන්සෙටත් හතුරුකම් කරපු ගුරුන්නාන්සෙ කෙනෙක් හිටියා.ඒ වෙන කවුරුත් නෙමෙයි ගුරුන්නාන්සෙගෙම සහෝදරයා.සහෝදරයෝ අතරත් ඊරිසියාකම් ඇති වෙන්න පුලුවන්නෙ ඉතින්...

දවසක් ගුරුන්නාන්සෙ පූජාව තිය තියා සිටින විට යමෙකු කතා කරන හඬ ඇසුණි. " ගුරුන්නාන්සෙ මාමා....ගුරුන්නාන්සෙ මාමා...." නිවසේ සිට පැමිණි ගුරුන්නාන්සෙගේ මායියා " ඔය ලමයා කාවදෑ හොයන්නෙ " ඇසීය. " නැන්දා...මෙ...සියදෝරිස් ගුරුන්නාන්සෙ මාමා ඉන්නෙ මෙහෙද..." එතනට පැමිණ ගුරුන්නාන්සෙ " මම තමයි සියදෝරිස් ගුරුන්නාන්සෙ කියන්නෙ...ඔය ලමයා කවුද කිව්වනම්..." "එහෙමයි ගුරුන්නාන්සෙ...මම ගුනේරිස්...මම එහා ගමේ ඉදලයි මේ එන්නෙ" පැවසීය. " ඔය ලමයා ආපු කාරිය කිව්වනන් " ...." එහෙමයි ගුරුන්නාන්සෙ...අපේ කෙලීට දිස්ටියක් වැහිලා ගුරුන්නාන්සෙ ...මං මේ ඔබ තුමා එක්කාසු කොර ගෙන යන්නයි මේ ආවෙ..." "හ්ම්ම්...එහෙනම් කොලුවෝ උඹ ගොහින් මේ කලමණා ටික ලැහැස්ති කොරලා තියාපම්...මං හැන්දෑ කොරේ වෙද්දි එන්නම් වැඩේ අහවරක් කොරන්න..." යැයි පවසා ගුරුන්නාන්සෙ අවශ්ය කලමණා පවසා ඔහු පිටත් කර හැරීය.

ඉන් පසු තම ගෝලයාටද ගමනට අවශ්ය අඩුම කුඩුම ටිකත් පවසා තමන්ගේ වෙද මල්ලද රැගෙන හවස 5ට පමණ නිවසින් පිටත් විය.එහා ගමට යාමට ඇති එකම මාර්ගය වූයෙ ඔවුන් දැන් ගමන් කරන කැලෑ මාර්ගය පමණි.කැලේ ඇතුලට යනවිට අඳුර වැඩි වී තිබූ හෙයින් හුලු අත්තකුත් දල්වාගෙන ගුරුන්නාන්සෙ නැවත ගමන් ඇරඹීය.මෙලෙස මද දුරක් යනවිට යනවිට තමා පිටු පස කවුරුන් හෝ එන බව දැනී ගුරුන්සේගේ ගෝලයා හැරී බැලුවේය.නමුත් කිසිවෙකු නොමැති හෙයින් නැවත ගමන් ඇරඹුවේය.මද දුරක් යනවිට නැවත කොළ අතු පොඩි වෙන ශබ්දයක් ඇසී ගෝලයා හැරී බැලීය.එවිට ඔහු දුටුවේ වල් ඌරෙකු නැවතී තමා දෙස බලා සිටින ආකාරයයි.එය ගානකට නොගෙන ගුරුන්නාන්සෙ සමගම නැවත ගමන් ඇරඹුවේය.මද දුරක් යනවිට නැවත තමා පසු පස කවුරුන් හෝ එන හඬක් ඇසී ගෝලයා නැවත හැරී බැලුවේය.එවිටද අර වල් ඌරා ඔවුන් පසු පස එනු දුටුවේය.නමුත් මෙවර උගේ ස්වරූපය මදක් වෙනස් වී ඇති අතර ප්රමාණයද මදක් විශාල වී ඇති බවක් පෙනෙන්නට විය.මදක් ඌ දෙස බලා සිටි ගෝලයා එයද තැකීමක් නොකර ගුරුන්නාන්සෙ පසු පස යන්නට විය.නැවත බර අඩි තියමින් තමා ලඟින්ම ඌ එන ශබ්දය ඇසෙන්න්ට විය.

මේ මොන වදයක්ද යැයි තමාටම මුමුණා ගනිමින් ගලක් ගෙන "සීයෙ වල් ඌරෙක් එන..." පවසනවාත් සමගම පිටු පස හැරුණේ ඌ පන්නා දමන්නටය.ඒ සමගම දුටු දසුනින් ගෝලයා බිම ඇද වැටී ගල් ගැසී බලා සිටියේය.එවර එම වල් ඌරාගේ ස්වරූපය ඉතා භියකරු ලෙස වෙනස් වී ඇත. දෑස් රක්ත වර්ණයෙන් දිලිසෙන්නට විය...උස අඩි 5ක් පමණ විය...රුධිරය බේරෙන දල දෙක උඩු ඇතට ඇඹරී ඇත...ඌ එක එල්ලේ ගෝලයා දෙස බලා සිටි.එකවරම ගෝලයාගෙ අතින් ඇද තමා පිටු පසට කරගත් ගුරුන්නාන්සෙ තමා මතුරමින් සිටි වැලි අහුර වල් ඌරා වෙත දමා ගැසීය.මර හඬ දෙමින් වල් ඌරා කැලේ කඩා ගෙන දිව ගියේය. " ඈ බොල මං තොට කීවා නේද මේ හැන්දෑ කොරේ කැලේ අස්සෙ හක්කොලං කොරද්දි පස්ස නොබලා වරෙන් කියලා..." ගෝලයාට දොස් නගමින් මතුරා තෙල් ටිකක් ඔහුගේ හිසේ ගා ගුරුන්නාන්සෙ නැවත පෙරමුන ගෙන ගමන් කලේය.කැලේ මැදට පමණ ලං වී ඇත.මද දුරක් මෙසේ යනවිට කැලේ ඇතුලේ සිට කුලප්පු ඌ මී හරක් රංචුවක් ඔවුන් වෙත දිව එන හඬ ඇසුණි.ලඟ ලඟ ශබ්දය ඇසෙන්නට විය. 

" ඉක්මන් කොරලා අහක් වෙයන් කොලුවෝ ...මී හරක් කුලප්පු වෙලා" යැයි පවසමින් ගුරුන්නාන්සෙ අයිනකට පැන්නේය.දෙදෙනා පදුරු අතරින් බලා සිටියේ ලඟම අසෙන මී හරකුන් රැල කැලෙන් එලියට පනින තුරුය.දැන් ශබ්දය ඇසෙන පරිදි මී හරක් රැල කැලෙන් එලියට පැනීමට ආසන්නය.පදුරු දෙබෑ කර ගනිමින් එක්වරම එලියට පැන්නේ ඔවුන් බලාපොරොත්තු නොවූ අමුත්තෙකි...

සැබැවින්ම ඌ විශාල කොටියෙකි...දෑස් ගිණි පුළිගු මෙන් විය...රුධිරය බේරෙන් දත් හා නිය විලිස්සමින් ගුරුන්නාන්සෙ දෙස රුදුරු බැල්මක් හෙලයි....අඩි 5ක් පමණ උසින් යුත් ඌගේ ලොම් ඉතා ඝනය....උල් දෙහි කටු මෙන් විය....සැබෑ වටම ඌ දකින ඕනෑම අයෙක් නිරායාසයෙන් භිය වන්නේය...ඇග ලොමු දැහැ ගන්වමින් ඌ කෑ ගසන්නට විය. " කොලුවෝ ඉක්මන් කරලා ගනින් ඔය මල්ලෙන් දෙහි ගෙඩි තුනක්...මූ එසේ මෙසේ එකෙක් නෙවේ බොල.ජීවං කොරාපු පිල්ලියක්..." " කොලුවෝ ඔය මල්ලෙන් විළඳ මී පැණි,අබ ටිකක් අරගෙන ආං අර හුඹහෙන් පස් ටිකක් කඩා ගෙනෙ එක්කාසු කරපං...ඊට පස්සෙ පිනි දිය,බුලතක ඉස්ම කලවම් කොරලා කොටි පිලිමයක් හදලා හනිකට දියන් මට " යැයි පවසමින් අසල ඇති හුඹසක් ගෝලයා හට පෙන්වීය.ගුරුන්නාන්සෙ දෙහි ගෙඩිත් රැගෙන කොටියා ඉදිරියට ගොස් මතුරන්නට පටන් ගත්තේය.

කොටියාද කෑ මොර දෙමින් ගුරුන්නාන්සෙ වටා කැරෙකෙන්නට විය.ගුරුන්නාන්සෙ දෙහි ගෙඩික් ගෙන මතුරමින් එය ගිරය අතර රැදවීය. " ගහපං පුතා පිනුමක් " කියමින් දෙහි ගෙඩිය කැපීය.ඒ සමගම කොටියා පසෙකට පෙරලී ගියේය.මතුරමින් දෙවෙනි දෙහි ගෙඩියද ගිරය අතර රදවමින් " නැගපං පුතා ගහට " කියමින් දෙහි ගෙඩිය කපා දැමීය.එසැනින් කොටියා දිව ගොස් ගසකට නැගී අතර මගදී ගසෙන් ඇද වැටීය.මෙවර ඌගේ පෙනුම තවත් රෞද්ර විය." කොලුවෝ විගහට උඹ හදාපු මැටි පිලිමෙ දිය..." කියමින් ගෝලයා සැදූ හුඹස් මැටි කොටි පිලිමයද ඉල්ලා ගත් ගුරුන්නාන්සෙ මතුරමින් තෙවෙනි දෙහි ගෙඩියද ගිරය අතර රැදවීය.(සිනා සෙමින්) "උඩ පැනලා ගහපං පුතා පිනුමක් " කියමින් තෙවැනි දෙහි ගෙඩියද කපා දැමීය.ඒ සමගම අහසට පැන පෙරලී බිම ඇද වැටුණු කොටියා පලාතම දෙවනත් වෙන්නට තරම් ශබ්දෙන් කෑ මොර දුන්නේය.ගුරුන්නාන්සෙ පිලිමයට මතුරමින් සිටී.



ගිණි පිටවෙන දෑසින් ගුරුන්නාන්සෙ දෙස බලා සිටි කොටියා සැනින් දිව විත් ගුරුන්නාන්සෙ වෙත පනින්නට විය.කොටියා තමා වෙත පනිනවාත් සමඟම තමා මතුරමින්සිටි සිටි කොටි පිලිමය ගෙන ආ හුලු අත්තේ දැවෙමින් තිබූ ගිණි ජාලාවට දැමීය එකෙනෙහිම මර හඬ දුන් කොටියා නිල් පැහැති කුරුමිණියන් රංචුවක් බවට පත් වී ගුරුන්නාන්සෙ වටා වටා තුනක් කැරකී කැලේ ඇතුලේ නොපෙනී ගියේය.කෙසේ හෝ රෑ බෝවී එහා ගමේ ආතුරයාගෙ ගෙට ගොඩ වූ ගුරුන්නාන්සෙ ඒ කාරියත් අහවර කොට පාන්දරම සිය බලා පැමිණෙනියේය.නිවස ඇතුල් වන කඩුල්ල ලඟදී ඔවුන් හට ඇසුණේ තම සහෝදරයා කෑ මොර දෙන හඬයි.අඩියට දෙකට ගෙට දිවූ ගුරුන්නාන්සෙ දුටුවේ වෙද රාල පැමිණ තම සොහොයුරාගේ දෑස් වල බෙහෙත් ගල්වා වෙළුම් පටි දමන ආකාරයයි.

තම භාර්යාව ලඟට ලං වූ ගුරුන්නාන්සෙ..." හාමිනේ...මොකෑ බං මලයට උනේ..." ඇසීය. " අනේ ඒයී...ඊයේ රාත්තිරියෙ මලයා පූජාව තියෙන කාමරේ ඉදලා බෙරිහන් දුන්නා...අපි දුවල බැලින්නම මේකාගේ මූණ පුරාම දිලිසෙන කුරුමිණි රැලක් එල්ලිලා උන්නා...කොච්චර එලව්වත් උන් නෙමේ ගියෙ.අවසානෙට මේකගෙ ඇස් දෙකත් කණ කොරලම තමා උන් කැලේ අස්සට ගියේ" හාමිනේ පවසන විට ඊයෙ රාත්රියේදී සිදු වූ දේ ගුරුන්නාන්සෙ හට මනාව වැටහෙන්නට විය.තමාව විනාශ කිරීමට තමාගේම සහෝදරයා කල ගුරුකම තමා කපා දැම්මේය.වැරදුණු ගුරුකම නිසා කෝප වූ පිල්ලිය නැවත ගොස් ගුරාගෙ ඇස් දෙකත් කණ කර දැම්මේය....පසු කලෙක ඔහු කාත් කවුරුත් නොමැතිව දුක් විද මියගිය බව දැන ගන්නට ලැබුණි.

මේ කතාව සමහරුන්ට නම් එච්චර රසවත් නොවේවි.කතාව කිය වූ සැමට ස්තූතියි.ඒ වගේම මේ රූපය නිර්මාණය කර දුන් sandaru madushan සහෝදරයාටත් ස්තූතියි.ඉදිරියේ දි තවත් කතාවක් සමඟින් හම්බෙමු.ඔයාලගෙ අදහසුත් කමෙන්ටුවකින් කියා ගෙන යන්න කියල ඉල්ලනවා....

~ දේව් තරින්ද

Source: Link

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..





30 June 2019

---කනත්ත අසලින් මතුවුණු සුනඛයා ----


මෙම සිදුවීම මීට වසර 60ට පමණ පෙර මාගේ මෑණියන්ගේ අප්පච්චිට මුහුණ දීමට සිදුවූ අද්භූත සිදුවීමකි.මෙම කතාව මාගේ මෑණියන් මා හට කී පරිදි ඔබ හට ගෙන එන්නෙමි.

අපේ අප්පච්චියේ ගම හඟුරන්කෙත කරදගොල්ල.අප්පච්චිගේ ගෙවල් වලට ඈතින් මළගෙයක් වුණා.අද වගේ නෙවෙයි ඒ කාලේ ෆොටෝස් ගන්න ඇත්තෙ බොහොම අඩුවෙන් හිටියේ.එදා මළ ගෙදර ෆොටෝස් ගන්න කෙනෙක් නැති වුණා.ඒත් අප්පච්චි ළඟ කැමරාවක් තිබුණා.කොහොමහරි අප්පච්චිට එන්න කියලා තිබ්බා මළ ගෙදර ෆොටෝස් ගන්න.ඒ මිනිස්සු මළමිනිය ඉන්දවලා ෆොටෝස් ගන්නවාලූ,හිටවලා ෆොටෝස් ගන්නවලූ ,ආයෙත් නිදාගෙන ඉන්න විදිහට ෆොටෝස් ගන්නවාලු,ඒ මිනිය එක එක විදියට තියලා ෆොටෝස් අරන් තියෙනවා.අප්පච්චි ෆොටෝස් අරන් ඉවර වෙලා මළ ගෙදර හවසත් ඉඳලා රෑ ජාමේ අප්පච්චි ගෙදර එන්න ඇවිත්.

අපේ අප්පච්චි බය කෙනෙක් නම් නෙවෙයි.එතකොට අප්පච්චි ට අවුරුදු 35ක් විතර ඇති.පුතා දන්නවනේ ඒ පැතිවල පාරවල් කොහොමද කියලා.එතකොට ඒ කාලේ කොහොමද කියලා හිතාගන්න පුළුවන් නේද.එදා කෝම හරි පොඩි වැස්සක් ලාවට වගේ තිබිලා තියෙනවා.ඒ නිසා අප්පච්චි ඉක්මණින් ගෙදර එන්න ටිකක් වේගය වැඩි කරල ඇවිත් එන්නෙ.ගෙදර යන්න තියෙන්නෙ කනත්තක් ගාවින්.අප්පච්චි බය නැහැනේ.අප්පච්චි කනත්ත හරියෙන් ඇවිත් තියෙනවා.

කොහොමහරි අප්පච්චි කනත්ත ගාවින් යනකොට ලොකු උස බල්ලෙක් ඉස්සරහින් යනවා පේනවලු.ඒ දවස් වල ගමේ සොයිසා මහත්තයාගේ බල්ලා නැතිවෙලා.ගමේ මිනිස්සුත් හොයනවලු හොයනවලු ඒත් හොයාගන්න බැරි වෙලා.අප්පච්චි හිතුවලු මේ සොයිසා මහත්තයාගේ නැතිවෙච්ච බල්ලා වෙන්න ඇති හිතලා,අප්පච්චිත් දැන් හයියෙන් හයියෙන් ගිහින් තියෙනවා,ආයේ ටික වෙලාවක් යද්දි ඉස්සරහින් ගිය බල්ලා පේන්න නැති වෙලා.ආයෙත් ටික දුරක් යද්දි මේ බල්ලා පස්සෙන් එනවාලු.අප්පච්චි හිතුවලු මේ ඉස්සරහෙන් ගිය බල්ලා කොහොමද දැන් පස්සෙන් එන්නේ කියලා.ආයෙ ටික දුරක් යද්දී ඒ බල්ලා ඉස්සරහෙන් ඉඳගෙන ඉන්නවලු දිවත් දික් කරගෙන.ඇස් දෙකත් ලොකු කරගෙන අප්පච්චි දිහා කන්න වගේ බලාගෙන ඉන්නවාලු.අප්පච්චි ඒ වෙලාවෙ හිතුවලු මේ නම් බල්ලෙක් නම් වෙන්න බැහැ.මොකක් හරි අද්භූත දෙයක් සිදුවෙනවා කියලා හිතාගෙන අප්පච්චි එහෙම්මම හිටගෙන ඉඳල තියනවා.අප්පච්චි සෑහෙන වෙලාවක වැස්සේම ඒ විදියට ඉඳලා.අප්පච්චි දිහා කන්න වගේ බලන් ඉන්න බල්ලා බලන් ඉද්දිම උස යනවා.ඒ වෙලාවේ නම් ඇත්තටම අප්පච්චි ගොඩක් බය වෙලා ඉඳලා තියෙන්නේ.ටික වෙලාවක් යද්දි බල්ලා අතුරුදහන් උන නිසා අප්පච්චි ආයෙ එන්න ඇවිත්,

ඒත් හරි සිහි කල්පනවකින් නෙවෙයි.ඒ දවසේ ගෙදර ඉන්දලා තියෙන්නේ අම්මයි,අප්පච්චිගේ අම්මයි.අප්පච්චිගේ අම්මා බැලුවාලු පුතාට මේ මොකද වෙලා තියෙන්නේ.මොනවද මේ දොඩවන්නෙ කියලා.ඒ වෙලාවෙ අප්පච්චී ගේ කටින් කලුපාට කිසියම් දෙයක් වැටිලා තියෙනවා.ඒ විතරක් නෙවෙයි අප්පච්චීට හොඳටම උණ අරගෙන.ඒදාම අප්පච්චිට නූලක් දැම්මත් කිසි සුවයයක් නැහැ.ඊට පස්සේ යන්තරයක් දැම්මා,පිරිත් කිව්වා කිසිම දේකට සුව වෙලා නැහැ.පස්සේ තොයිලයක් නැටුවා.එතකොට තව කවුරුහරි කිව්වා අප්පච්චිට අසාධ්යයි.දිවත් සුදු මැලි වෙලා.දැන් නම් බේරගන්න අමාරුයි මැරෙන්න ළඟයි කිව්වලු.එතකොට අපි පොඩි ලොකු අයියයි හීන් අයියයි තේරෙන වයසක ඉඳලා තියෙන්නෙ.ඊට පස්සේ ආයෙත් ගොඩාක් අයව ගෙනත්,ගේ මැද පිරිත් මන්ඩපයක් ගහලා.නවත්තන්නේ නැතුව මාරුවෙන් මාරුවට පිරිත් කියලා තමා මැරෙන්න ගිය අප්පච්චිව හොඳ කරලා තියෙන්නේ 

ඉතින් යාලුවනේ කතාව හොඳයිද කියලා නම් දන්නේ නැහැ.අඩුපාඩු තියෙනවා ඇති.එහෙම තිබ්බ නම් සමාවෙන්න.නැවත සත්ය සිදුවීමක් සමග ඔබ හමුවට එන පොරොන්දුව සමගින් දැනට නවතින්නම්..

හැමෝටම බුදු සරනයි..ජේසු පිහිටයි...!!
(චානක දිල්රුක්)

Source: Link

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..