මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

30 January 2019

---ඌරු මස්---



මේ කතාවත් මගෙ යාලුවො දෙන්නෙකුට වෙච්ච සත්‍ය සිදුවීමක්...

මට මතක විදිහට ඒ 2005 අවුරුද්ද වගේ ඇති.. යාලුවෙක්ගෙ තාත්ත නැතිවෙලා අපේ සෙට් එකම මල ගෙදර ගියා.. මල ගෙදර තිබුනෙ කිරිබත්ගොඩ ඊරියවැටිය කියන හරියෙ..
සුවිසාල වෙල් යායවල් වලින් ඒ ප්‍රදේශය සමන්විත වෙලා තිබුන. ඒ වෙල් යායක කොනේ තිබුන අතුරු පාරක තමයි මල ගෙදර තිබුනෙ..

ඉතින් අපි දේහය බලල එහෙම රෑ දහයට විතර පොඩි ඩ්‍රින්ක් එකක් දාන්න සෙට් උනා.. ඒකට අපි තෝර ගත්ත තැන තමා අර කියපු වෙල් යාය ඉස්සරහ තිබුන හිස් ඉඩමක්..

බෝතල් දෙකක් , සෝඩා , බයිට් එකට ඌරු මස් , කුකුල් මස් සමග අපි වැඩේට සෙට් උනා.. ඒ කාලෙ වෙද්දිත් මම ඌරු මස් කන එකෙන් වැලකිලා හිටියෙ.. නමුත් අපේ අනිත් කට්ටියම ඌරු මස් කනව..
ඇත්තටම ඒවගේ මල ගෙදරක් ලග පාලු වෙලක් ඉස්සරහ මහ රෑ ඌරු මස් කන එකට මගෙ වැඩි කැමැත්තක් නැතත් ක්‍රිස්තියානුවන් වෙච්ච මගෙ යාලුවන්ට ඒ ගැන ගානක් වත් තිබුනෙ නෑ..

කොහොමහරි රෑ දොලහටත් අපි ඌරු මස් කකා අරක්කු බොනව මතකයි.. රෑ එකට විතර වැඩේ ඉවර වෙලා අපි ගෙවල් වල යන්න ලෑස්ති උනා.. මම සහ කීපදෙනෙක් නුවර පාර පැත්තටත් දෙන්නෙක් විතරක් රාගම හරහා කදාන පැත්තටත් යන්න පිටත් උනා..

ඒ දෙන්නට ඊරියවැටිය ඉදල රාගමට යන්න ලේසිම පාර තමයි හොරපෙ ස්ටේශන් එක ලගින් ගිහින් යන එක.. ඒ පාරෙ ගිහින් තියන අය දන්නව ඇති ගෙයක් දොරක් නැති මහ විශාල පාලු වෙල් යායක් හරහ තමයි පාර තියෙන්නෙ.. කොහොමටත් ඒ පාරෙ රෑ යනකොට හිතට මහ අමුත්තක් දැනෙනව..

මෙතන ඉදල කතාව තනිකරම ඒ යාලුවො දෙන්න ලබපු අත්දැකීම..

ඉතින් දෙන්න වෙන වෙනම මෝටර් බයිසිකල් දෙකකින් ‍රාගමට යන්න පිටත් උනා.. හොරපෙ ස්ටේශන් එක ලගින් අර වෙල් යායට දාල ටික දුරක් යනකොට දෙන්නටම පේනව සුදු ඇදගත්ත ගෑනු ටිකක් වෙල මැද්දෙ ඉන්නව.. ඒක දැක්ක ගමන් දෙන්නගෙම හිත ටිකක් ගැස්සුනත් එක්කෙනෙක් හිතල තියෙන්නෙ කිරි අම්ම දානෙකට යන කට්ටියක් වෙන්න ඇති කියල.. ඒත් එක්කම මතක් උනා මේ පාන්දර දෙකට විතර පාරක් වත් නැති වෙල මැද්දෙ මොන කිරි අම්මලද කියල..

දැන් දෙන්නම ටිකක් බය උනා.. ඒ ගෑනු දිහා බලාගෙනම බයිසිකල් වල වේගෙ වැඩි කරන්න හැදුවත් වේගෙ වැඩි වෙන්නෙත් නෑ.. පිටි පස්සෙ බයික් එකේ යන කෙනා හයියෙන් ඉස්සරහ එක්කෙනාට කෑ ගැහුව.. ඒත් කෑ ගහගන්නත් බෑ.. ඉස්සරහ එක්කෙනාටත් එහෙමමයි... කොහොමහරි බයික් දෙක පාර දිගේ බාගයක් විතර දුර එනකොට මේගොල්ලන්ට පේනව අර ගෑනු ටික දත් විලිස්සගෙන හී හී හී ගගා හිනා වෙවී වෙල මැද්දෙ ඉදල පාවෙවී මෙයාලට ලං වෙනව

... ඇදුම් සුදු පාට උනත් බලන්න බැරි තරම් දිලිසෙනව.. මූනු එච්චරම පැහැදිලි නැති උනත් කටවල් දෙපැත්තෙන්ම සෙම වැක්කෙරෙනව වගේ තමයි පේන්නෙ. වෙන දිහාවක් බලාගෙන බයිසිකල් පදින්න හැදුවත් ඒක කරන්නත් බෑ.. ඒකෙන් ඇස් දෙක අහකට ගන්නත් බෑ.. දෙන්නගෙම බෙල්ල ලොක් වෙලා වගේ.. 

එනපොට හරියන්නෙ නෑ කියල දැන ගත්ත දෙන්න බයිබලේ මහ හයියෙන් කියන්න පටන් ගත්ත.. ( බයිබලේ කිව්වට යාඣා කලේ.. ඔය වචනෙ හරියට කොටා ගන්න බැරි හින්දයි බයිබලේ කියල කිව්වෙ ) දෙන්නම ක්‍රිස්තියානි..
දෙන්නගෙම හොද වෙලාවට අර ගෑනු ටික වෙලෙන් පාරට ගොඩ වෙනකොටම වෙල ඉවර වෙලා ගෙවල් මණ්ඩිය ආපහු පටන් අරන්.. 

හොදටම බය වෙච්ච දෙන්න පිටිපස්සවත් බලන්නෙ නැතුව රාගම ටවුන් එකට ඇවිල්ල තමයි නැවතිලා තියෙන්නෙ..
මේක සත්‍ය සිදුවීමක්.. අනික දෙන්නම එකම බයිසිකලේ නෙමෙයි හිටියෙ.. දෙන්න වෙන වෙනම හිටියෙ.. කියන විස්තරෙත් එකමයි.. ඒ කියන්නෙ දෙන්නම එකම දේ දැකල තියනව.. එයාල තමයි ඌරුමස් වැඩිපුර කෑවෙත්..

කොහොම නමුත් මම තනියම ගෙදර ආව.. මම නං මුකුත් දැක්කෙ නෑ.. හැබැයි මම ඌරු මස් කෑවෙ නෑ..
පුලුටු ජාති කාලා මහ රෑ පාලු තැන් වල යන්න එපා කියල වැඩිහිටියො කියන ඒවයෙ යම් සත්‍යයක් තියනව කියල ඒ සිදුවීමෙන් පස්සෙ මට හිතුන..

Link: Source


28 January 2019

---ගෝනා‍ගේ මළ සිරුර සහ කොටි මුහුණ (සත්‍ය කථාවක් ඇසුරෙන්)---


නූතන ගුවන් තොට ඉදිවන මත්තල ප්‍රදේශයේ ජීවත් වන මොහු දක්ෂ දඩයම් කරුවෙකි නම සඳහන් කිරීමට අකමැති හෙයින් ඔහු රාලහාමි ලෙස හදුන්වමු. එදා පුර පසොළොස්වක පොහෝ දිනකි පොහෝදින දඩයමේ යෑමට කදිම දිනයක් බැවින් එදින ඔහු සුපුරුදු පරිදි නැවත පුරවන ලද පතොරොම් කිහිපක්ද රැගෙන රෑට කෑම සඳහා පාන් රාත්තලක්ද අතට ගත් මොහු රබර් බූට් යුවලද පැලද මොදර වැව උඩත්තාවෙන් කඩවර කැලයට රිංගන්නට සිතා සවස 7වන විට ගමන ආරම්භ කළේය දිගු වෙලාවක් ගමන් ගත් නමුත් හාවකු හෝ ඇස නොගැටීමෙන් තව තවත් කැළය තුලට යාමට ඔහුට සිදුවිය මෙසේ ගමන් කරමින් රාත්‍රී 10 පමණ වන විට කඩවර කැළයේ මැද හරියම පැමිණ සිටියේය තමා ට සුපුරුදු පළු ගසක මුදුනේ ගෝනියක් ගැටගසා සතකු එනතෙක් රැකගෙන සිටීමට සිතුවේය දැනුනු බඩගින්න නිසා පාන් රාත්තලෙන් කොටසක් ආහාරයට ගත්තේ හකුරු පෙත්තක් සමඟය.එහි පැය 3ක් පමණ ගත කලද බලාපොරොත්තු සුන්විය කිසිම සතකුහෝ දැකීමට හෝ සතකුගේ හඬක්ඇසීමටවත් නොවූ බැවින් තවත් මද දුරක් ඇවිද යාමට සිදුවිය.

ටික දුරක් ඇවිද ගිය පසු බලාපොරොත්තු සපල විය විශාල අං සහිත ගෝනකු ඉදිරියේ ඇස් දෙන්නට විය හඳ එළිය නිසා ගෝනා පැහැදිලිව දැක ගත හැකිවිය කෑලි පහේ විදුලි පන්දම ගෝනා දෙසට එල්ලකල විගස ඌ නොසෙල්වී සිටියේය.බලාපොරොත්තු සහිතව පලමු වෙඩිල්ල පත්තු කිරීමට කොකා ගැස්සුවද කරුමයට මෙන් වෙඩිල්ල පත්තු වූයේ නැත නැඟුණු කුඩා ශබ්දය නිසා ගෝනා වේගයෙන් කැළය තුලට රිංගා ගියේ... තප්පරයක් වැනි කාලයක් තුලය තමාට වඩා විශ්වාස සහිත තුවක්කුව පත්තු නොවුනේ මන්දැයි පුදුමයෙන් ඔහු සුසුම් හෙළිය ගෝනා ගිය පසු පස යෑමට මත්තෙන් තුවක්කුව පරික්ෂා කිරීමට ඔහුට සිදුවිය.නැවතත් දන්නා ශිල්පයෙන් තුවක්කුව යතා තත්වයට පත් කරගත් ඔහු මුවන්ගේ හඬ බහුලව ඇසෙන්නට වූ දිශාවට පිය මැන්නේය එම ස්ථානයේ වූ ගසක් තෝරා එහි ගෝනිය බැඳීමට සිතා ගස දෙසට විදුලි පන්දම යොමු කළ ඔහු දුටුවේ අද්භූත සිදුවීමක් විශාල ගෝනකු ගේ මළ සිරුරක් ගසේ දෙබලක් මත පහතට එල්ලී තිබීමයි ඒ අසලට ගිය මොහුට ලේබින්දු කිහිපයක් තම ඇඟට වැටෙන බවද දැනිණ ඔහුට අදහා ගත නොහැකි විය තරමක් තැති ගැන්මක් ඇතිවූ මොහු මදක් පසුපසට ගොස් නැවත විදුළිපන්දම ගසා විපරම් කරන්නට විය.දිවියකු හෝ ගසේ සිට ගෝනා ආහාරයට ගන්නේදැයි සිතමින්ය.

පුදුමයකි! තමා සිතුදේ නිවැරදි යැයි ඔහුට වැටහුණි එකවරම දිවියකුගේ මුහුණට සමාන මුහුණක් ගෝනාගේ සිරුර මතින් දැක ගත හැකිවිය භියට පත් මොහු තම තුවක්කුව ඒ දෙසට එල්ල කර වෙඩිල්ලක් තැබිය එවිට එකවර මිනිසකුගේ විලාප හඬක් සහිතව ගසේ සිට යමක් බිමට වැටුණු බවක් දැනින ඔහුට සිතා ගත නොහැකි විය විදුලි පන්දම අල්ලා නැවතත් ගෝනාගේ මළ සිරුර තිබූ ස්ථානය හා ගස මුල විපරම් කළද එහි කිසිම දෙයක් දැක ගැනීමට නෙහැකි විය ලහි ලහියේ තවත් පතොරොමක් ගෙන තුවක්කුවට දමා දෙවියන් සිහිකරමින් එන දෙයකට මුහුණ දීමට ඔහු සිතා ගත්තේය. මිනිසිකුගේ විලාප හඬ සහ සිදුවූ සියල්ල යම් නුහුරු බවක් දැනුණ බැවිණ් එම ස්ථානයෙන් ඉවත්ව යෑමට ඔහු සිතා වේගයෙන් පිටු පස බලමින් දිවයන්නට විය පැය බාගයක් පමණ දිව ගිය ඔහු තමාට සුපුරුදු පළු ගසේ මුදුනටම නැග ගත්තේ එය ආරක්ෂිත ස්ථානයක් වූ බැවිණී රැය පහන් වන තුරුම විමසිල්ලෙන් ඒ ගහ උඩම සිටීමට ඔහුට සිදුවිය රැයේ සිදුවූයේ කුමක්දැයි කුතුහලයෙන් උදේ 5-6ත් අතර කාලයේ නැවතත් පළුගසින් බැස ගත් ඔහු සිගරට්ටුවක්ද දල්වාගෙන නැවතත් එම සිද්ධීය සිදුවූ ස්ථානයට යෑමට තීරණය කළේය.....

පුදුමයකි! එම ගස යට වුයේ සුදෝසුදු වැලි තලාවක් නමුත් අඩි සලකුණක් හෝ ලේ සලකුණක් හෝ එසේ සිදුවීමක් ගැන හෝඩුවාවක් හෝ එම ස්ථානයේ නොවීය ගසේ තමා තැබූ උණ්ඩ පහර පමක් දැකගත හැකි විය....සිදුවුයේ කුමක්දැයි සිතා ගත නොහැකි ඔහු සුසම් ලමින් එතැනම හිද ගත්තේ බඩගිනි වූ බැවින් ඉතුරු වූ පාන් කෑල්ලවත් කා දමා නැවතත් නිවසට යන අරමුණින්ය පාන් කැබැල්ල අතට ගත් ඔහුට දැකගත හැකිවූයේ එම පාන් කැබැල්ල ලේ වලින් තෙත් වී ඇති ආකාරයකි ඔහු සිතුවේ තම ශරීරයේ සිදුවී ඇති තුවාලයක් නිසා එසේ සිදුවන්නට ඇති බවයි එසේ සිතා ශරීරය විපරම් කල බැලුවද කිසිම සීරීම් සලකුණක් හෝ නොවීය තමාගේ වම් බාහුවට ගෝනාගේ ඇගෙන් ලේ බිඳු වැටුණා මතකය ඔහු ඒ දෙස පරික්ෂා කර බලද්දී එම රුධිර බිදු එසේ වේලී ගොස් තිබිණ..........

එම සිදුවීම මනෝමය සිදුවීමක්ද එසේ නැත්නම් ඇත්තම සිදුවීමක්ද යන්න නිශ්චිත නිගමනයකට ඒම අසීරුය කැළයේ මෙවන් අද්භූත සිදුවීම අපමණ සිදුවන බවත් එය ඔහුගේ අත්දැකීම් වලින් එකක් පමණක් බවත් ඔහු අපසමඟ පැවසුවේ ඒත මගේ ඇස් දෙක මට විශ්වාසයි කියා කථාව නිම කළේය..

Source: Link




25 January 2019

---පිරිමින්ගෙන් පලි ගන්නට පස්‌සෙන් පන්නන ගැබිණි හොල්මන---


හොල්මන් අවතාරාදිය පිළිබඳව විශ්වාස නොකරන මේ ලියන මම ද මෙයට වසර ගණනකට පෙර ලද සත්‍ය අත්දැකීමක්‌ මෙසේ ලියා තබමි. පාසල් අධ්‍යාපනයෙන් ඉවත්ව උසස්‌ පෙළ ප්‍රතිඵලයන් ලැබෙන තුරු අතර කාල පරාශය තුළ වයඹ පළාතේ කැලණිය ධනවත් ව්‍යාපාරිකයකු සතු රජයට පවරා ගැනීමට පෙර අක්‌කර දෙසීයක පොල් වත්තක සරත් කරවිට මහතා යටතේ ආධුනික වතු පාලකයකු ලෙස පුහුණුවීමේ කටයුතුවල යෙදුනෙමි. පොල් වත්ත විශාල වූ හෙයින් අභිමාන ස්‌වභාවයක්‌ දිවා කාලයේදී පැවතුන ද කම්කරු සේවක පිරිස්‌ තැනින් තැන විසිරී සිටි හෙයින් යම් තරමක හෝ පාළු ස්‌වභාවය තුරන්ව තිබිණි. එහෙත් රාත්‍රියේදී වතු පාලක බංගලාවට හැරුන විට එකල විදුලිය ද නොතිබිණි. කළුවර පාළු ස්‌වභාවයක්‌ හෙට දින ඉරු පායන තුරු පැවතුනි. එය වඩාත්ම බලපෑවේ වත්ත කෙළවර පිහිටි පොදු සුසාන භූමිය නිසාවෙනි. වේලාසනින් දල්වන පැට්‍රල්මැක්‌ස්‌ ලාම්පුව ද සුළු වේලාවකින් නිවා දැමීමෙන් පසු දල්වන භූමිතෙල් ලාම්පුව තවත් මූසල ගතිය වැඩි කළේය.

මා අසා ඇති ආකාරයට මෙම අක්‌කර දෙසීයක පොල් වත්ත සම්පූර්ණයෙන් ම පෙර කල විදේශිකයකුට අයත් අක්‌කර දහස්‌ ගණනක පෞද්ගලික වත්තක කොටසකි. කාලයාගේ ඇවෑමෙන් වෙන්ව මාගේ කතාවට අයත් අක්‌කර දෙසිය දඟකාර විනෝදයට ලබැඳි තරුණ සුපිරිටැන්ඩන් මහත්මයකුගේ පාලනයට යටත්ව තිබූ බව අද ද පාරම්පරිකව වත්තේ සේවය කරන කම්කරුවන් කියති.

මෙයට වසර පනහකට පෙර මෙම පාලන නිවසේ ඉවුම් පිහුම් කටයුතු සිදුවූයේ වත්තේම සේවයට පැමිණි ඩිංගිරි මැණිකා නම් වූ රූමත් තරුණ කාන්තාවක්‌ අතින් බව ජනමතයේ ඇත. එම තරුණිය සමඟ දඟකාර විදේශීය තරුණ වතු පාලක ආදර සම්බන්ධයක්‌ ඇතිකරගෙන තිබිණි. කාලයාගේ ඇවෑමෙන් ඇය වතු පාලකගේ අනියම් බිරිඳ ලෙසින් ඔහුගේ සියලුම අවශ්‍යතාවන් ඉටු කිරීමට පටන් ගත්තාය. ඇය ඔහුගේ වසඟයට පත්ව සිටි බවයි ගම්මු අදත් අදහස්‌ කරන්නේ.

ප්‍රසිද්ධ රහසක්‌ ලෙසින් පැවැත්වූ එම පෙම් පළහිලව්වේ අවසානය හොර රහසේම ඇය සුද්දාට දාව ගැබිනියක්‌ වීමයි. දුප්පත් මැණිකා විදේශීය වතු පාලකගේ රැවටීම්වලට ලක්‌වූවා පමණක්‌ නොව, වත්තේ අයිතිකාර සුදු පියා ප්‍රශ්නය විසඳුවේ පුතාව කොළඹට ගෙන ගොස්‌ ඩිංගිරි මැණිකාට පවුම් පනහක්‌ දී සුද්දාගේ පුතාගේ ලෙයින් පිලිසිඳුන දරු කළලය පවුම් පනහකට මිල කර ඩිංගිරි මැණිකාව වත්තේ සේවයෙන් ඉවත් කර දැමීමයි. ගම්මුගේ මතකය අනුව ගමට, දෙමාපියන්ට මුහුණ දීමට ලැඡ්ජාවෙන් දරු ගැබ සමගින් ඇය එක්‌ දවසක වත්ත කෙළවර සියඹලා ගසක ගෙල වැළලා ගෙන මියගොස්‌ සිටි බව
පැරැණි ගම්වාසීහු කියති.

මව ගෙල වැළලා ගෙන මිය ගියායින් පසුව කුස තුළ දරුවා ද මියගොස්‌ සිටි බව හදිසි මරණ පරීක්‍ෂණයේදී තීරණය වී තිබිණි. ඩිංගිරි මැණිකා ගෙල වැළලා මියගොස්‌ තුන් මාසයකට පමණ පසු වතු පාලක බංගලාව දෙසින් මැදියම් රැයේ කාන්තාවකගේ විළාප හඬක්‌ ඇසුණු බව ඇතැම් ගැමියන් අතර කසුකුසුවට ලක්‌ව තිබූ කතාන්දරයකි. ඇතැම් අවස්‌ථාවක බංගලාවේ මුළුතැන්ගෙය තුළින් දෙදෙනකු ආදරයෙන් කතා බහ කරන හඬ ද ඇසුන බව බංගලාවේ මුරකරු ලෙස සේවය කළ මර්තේලිස්‌ පවසා තිබිණි. ඇතැම් විටක වළං හට්‌ටි වට්‌ටි පොළොවේ ගසන හඬ ද ඇසුණු බව කියයි. බංගලාවේ ආරක්‍ෂකයා ලෙස සේවය කළ මර්තේරිස්‌ හැඩිදැඩි පිරිමියකු බව කියන ගැමියන් කිසිදු විටක හොල්මන් අවතාර විශ්වාස නොකල ඇතැම් රාත්‍රි කාලයේ වත්ත කෙළවර පිහිටි සොහොන දක්‌වා ඇවිද වත්තට සොරු පැමිණි දැයි විපරම් කිරීම ඔහු රාජකාරියේ අංගයකි.

ගම්මු පවසන කතා තුළ ඩිංගිරි මැණිකාගේ මනෝකාය බංගලාවේ හොල්මන් කරන බව දෙසවනින් ඇසූ අය ද වරෙක මධ්‍යම රැය මර්තේලිස්‌ සමඟ වත්ත කෙළවරදී ඇය කතා කළ බව ද පැවසේ. මෙකී කටකතා නිසා වත්තේ කිසියම් ව්‍යාකූලත්වයක්‌ නිර්මාණය වෙමින් තිබී ඇත. වතු පාලකයකු ලෙස මනසිංහ මහතා පත්ව ඇත්තේ එකී කාල වකවානුවේදී ය. මැදියම් වයස්‌ගත මනසිංහ මහතා දකුණේ අයෙකු වූ හෙයින් හොල්මන්, අවතාර, යන්ත්‍ර මන්ත්‍ර ආදී ගුප්ත බලවේගයන් එතරම් විශ්වාස නොකළේය. එහෙත් ඔහුටද මියගිය තරුණියගේ අද්භූත නිරූපණයන්ට නිරතුරු ගොදුරු වන්නට සිදු වූ බව ගම්මු අදත් කතාන්දර කියති.

තරුණ වතු පාලකවරයාට කිසිදු විටක ඔහුගේ කාමරයේ තිබූ සයනයේ නිදා ගැනීමට ලැබී නැත. ඇතැම් දිනක විළිරුදාවෙන් කෙඳිරි ගාන ගැහැනු කටහඬකට ඔහු නින්දෙන් බිය වී ඇහැරුන බව පසුදින වත්තේ සේවයට පැමිණෙන සේවකයන්ට පවසා තිබේ. ඇතැම් දිනෙක නින්ද ගිය පසු ඔහුගේ ගෙල තදින් ග්‍රහණය කළ බවක්‌ ද, ඔහුගේ නිදන සයනයේ ඔහු සමඟ කාන්තාවක්‌ පැත්තක නිදා ගෙන සිටි බව ද අනාවරණය කර තිබිණි. හිමිදිරියේ තේ කෝප්පයක්‌ සමඟ ඔහු අවදි කළ තරුණ කාන්තාවක්‌ දුටු බව ද පවසා තිබිණි.

මේ අතර කාලය තුළ සරත් කරවිට මහතා නව පාලකවරයා වශයෙන් පත්ව ආයේය. ඔහුගේ සහායකයා ලෙස මට ද එම වත්තේම පුහුණුවීමේ වතු පාලකවරයකු ලෙස සේවය කිරීමට අවස්‌ථාව ලැබුණේ මාගේ උසස්‌ පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වනතුරු නිදැල්ලේ සැරිසැරූ හෙයිනි. අප දෙදෙනාම වාසය කළේ එකම බංගලාවේ කාමර දෙකක ය. සරත් වාසය කළේ එයට පෙර පාලකයන් දෙදෙනකු වූ විදේශීය තරුණයා හා දකුණේ වතු පාලකයන් වාසය කළ කාමරයේ මය. මා වෙනුවෙන් වූයේ ඉදිරිපස කාමරයකි. පෙර සඳහන් කළාක්‌ මෙන් අඳුර වැටුන කල දීප්තිමත් පහන් ආලෝකයක්‌ නැත. පැයක්‌ දෙකක්‌ දැල්වෙන පැට්‍රල් මැක්‌ස්‌ පහන නිවා දැමීමෙන් පසු මුරකරු වූ මර්තේලිස්‌ ද වත්තේ ඉදිරි ගේට්‌ටුවට යැම ඔහුගේ රාජකාරියයි.

පුහුණුවීමේ වතු පාලකයකු වශයෙන් මට ද පැය කීපයක්‌ වත්ත තුළ උණ්‌ඩ සහිත තුවක්‌කුවක්‌ ද රැගෙන පාමුර සංචාරයක යෙදීම අනිවාර්ය රාජකාරියක්‌ විය. ඩිංගිරි මැණිකාගේ හොල්මන් කතා අසා තිබුණ හෙයින් රාත්‍රියේ තනිව ඇවිදීම තරමක චකිතයක්‌ මා තුළ වුවත් නොහැඟවීය. මට මතක විදියට එදා අමාවක දිනයක්‌ විය යුතුය. ඝන අඳුර කෑලි කැපිය හැකි තරමට ම අඳුරු මූසල ගතියකි. ඈතින් ඇසෙන විවිධ සතුන්ගේ හඬට අමතරව නරින්ගේ හූ කීමත්, උල ලේනාගේ හඬත් දැනවූයේ මහා බියකරු පරිසරයකි. හිතට බිය දැනුන ද කළ හැකි දෙයක්‌ නැත. එකම ශක්‌තිය හා පිහිට තුවක්‌කුව පමණි. හිතට දිරිය හා ආත්ම ශක්‌තිය ගෙන ඉදිරියට යන මාහට ඈතින් කිසියම් කෙඳිරිලි හඬක්‌ ඇසෙන්නට විය. හිත තිගැස්‌සුන ද මවාගත් ධෛර්යයෙන් තවත් පාවර කීපයක්‌ ඉදිරියට යන විට මා ඉදිරියට කිසියම් ඡායාවක්‌ පැමිණෙන බව දුටුවෙමි. සුදුම සුදුපාට සාරියකින් ගත සරසා ගත් ගැබිණියකගේ ස්‌වරූපය ගත් කාන්තාවක්‌ මා අභිමුඛයේමය. මා ගත දහදියෙන් පෙඟීමට වැඩි වේලාවක්‌ නොගියා සේම දැඩි මුත්‍රා පහකිරීමේ අවශ්‍යතාවක්‌ ද විය. මා දෑස්‌ විදහා ආයාසයෙන් බැලුවෙමි. ඇය අප සේවය කළ වත්තේ දරුවෙකු ලැබීමට සිටි රන්මලී බව හැඳිනගත් පසුව මගේ හිරවී තිබූ පපුව, කෙළ සිඳී ගිය මුව ප්‍රකෘති තත්ත්වයට පත්විය. අප්පේ රන්මලී මේ රෑ කොහෙද යන්නේ" යෑයි මා ඇසුවේ හිතේ බිය සැක සංකා හංගාගෙන වුවත් හොල්මන් සිතුවිල්ල මගෙන් දුරස්‌ වී නොතිබිණි. එයට වඩාත්ම හේතු වූයේ මා දුටු රන්මලී අපේ මර්තේලිස්‌ මාමගේ දුව නිසාය. "මහත්තය මම තාත්තව හම්බ වෙන්න යන්නයි යන්නේ. අම්ම ගියා කරත්තයක්‌ හොයන්න. මම තාත්තට කියල තාත්තත් අඬගහගෙන යන්නයි කියල."

අපි දැන සිටි විදියට මර්තේලිස්‌ මාමගේ දුව රන්මලීට බබෙක්‌ හම්බවෙන්න හිටිය බවත් ඇත්ත. වත්තේ කෙළවර පිහිටි මුර ගෙදර සිට වත්ත මැදින් පාරට යන බවත් දැන සිටියා. එහෙම නම් මා දුටු රන්මලී හොල්මනක්‌ විය නොහැකිය යන සිතුවිල්ල මගේ බිය දුරු කළේය. ඇය මගෙන් දුරස්‌ වී ගිය බවක්‌ පෙනුණි. කෑලි කැපිය හැකි ඝන අඳුරේ වුව රන්මලිගේ අති සුන්දර මුහුණ පියකරු ලෙස මා දුටුවෙමි. ඇය හොල්මනක්‌ විය හැකිද? තවමත් මා හද තුළ නොවිසඳුන කුතුහලයකි. මම ඇය රන්මලී ම යෑයි විශ්වාස කළෙමි.

එහෙත් මධ්‍යම රාත්‍රියේ පාමුර පරීක්‍ෂණ නිම කර බංගලාවට පැමිණෙන විට සරත් යම් කලබලයකින් බිය වී සිටින බව ඔහුගේ මුහුණින් මා දුටුවෙමි. "මොකද බං මුහුණට දාඩිය දාල හරියට උඹ හොල්මනකට බය වෙලා වගේ මොකද වුණේ? කියා ඇසුවත් උත්තරයක්‌ දීමට තරම් පියවි කල්පනාවක්‌ නොමැති බව මට දැනුනි. ඔහු කුමක්‌ හෝ පටලැවිල්ලකට ලක්‌ වී බිය වී ඇති සෙයක්‌ මට දැනුන හෙයින් වතුර වීදුරුවක්‌ ගෙන මුහුණට ඉස ස්‌වල්පයක්‌ බීමට සැලැස්‌වූ මා ඔහුගේ හිස අතගෑවෙමි
"මොකද බං වුණේ?"

"අනේ මන්දන්නේ නෑ බං මර්තේලිස්‌ මාමගේ දුව ලොකු බඩකුත් උස්‌සගෙන මෙහේ ඇවිත් මගෙන් තාත්තව ඇහැව්ව. තාත්තව එක්‌කල ස්‌පිරිතාලේ යන්න කියල. ඊට පස්‌සේ මම රන්මලීට සල්ලි ටිකක්‌ දෙන්න කියල හිතාගෙන ගෙට ගියා විතරයි ඒකි පස්‌සෙන් ඇවිත් තෝ වගේ එකෙක්‌ හින්ද තමයි මේ බඩට දරුවෙක්‌ ආවෙත්. උන්ගේ තාත්තත් ඌව අරගෙන මාව තනිකරල ගියෙත් කරපු වනචර කුපාඩිකම රුපියල් කොළවලින් වහල අන්තිමට මට සමාජයට අවජාතක දරුවෙක්‌ වදන්න බැරි හින්ද සමාජයට මුහුණ දෙන්න බැරි හින්ද මම මගේ ජීවිතය නැතිකර ගත්තා. මම මැරුණ වගේම මම තෝවත් මරාගෙන මැරෙනව කියල මගේ බෙල්ල මිරිකුව. ඊට පස්‌සෙ මට මොනවද වුණේ කියල මම දන්නේ නැහැ."

පුදුම වැඩක්‌නේ රන්මලි මගෙත් එක්‌කල කතා කරලනේ බං ආවේ. වෙන්න බැරි දෙයක්‌. හොල්මන් ඔහොම කරනවද? උඹගේ විකාර. වරෙන් බලන්න යන්න මර්තේලිස්‌ මාම ඉන්නවද කියල. අපි දෙන්නම ඉදිරි ගේට්‌ටුව වෙත ගියෙමු. මර්තේලිස්‌ මාම කුකුල් නින්දකය. ඔහුට බාධා කර අවදි කළෙමු. අනේ මහත්තයෝ හරි නිදිමතක්‌ ආව. ඩිංගිත්තක්‌ ඇස්‌ පියා ගත්ත විතරයි. බනින්න නම් එපා" යෑයි ආයාචනා කළේ අප ඔහුව පරීක්‍ෂාවට පැමිණියා යෑයි සිතා ගෙනය.

අප සිදුවූ හැම දෙයක්‌ම පැවසූයෙමු. ඔහුට කාරණය අවබෝධ විය. එහෙම වෙන්ඩ බැහැ. මහත්තය රන්මලීට බබා හම්බවෙන්න තව කල් තියෙනව. අනෙක ඒකි කවදාවත් තනියෙන් එන එකියක්‌ නෙමේ. අන්ධකාරයට පුදුම බයක්‌." සිදුවී ඇත්තේ කුමක්‌ද ඔහු ද දැන ගත්තා සේ ය. ඉන්න මහත්තයල දෙන්නම යමු බංගලාවට. අපි හෙට උදේට මොනවද වුණේ කියල කතා කරමු. එසේ කියූ ඔහු අප දෙදෙනා සමඟ බංගලාවට පැමිණ රැය පහන්වන තුරු රැඳී සිටියේය.

පසුදින උදයේ රන්මලී කෙනෙකු නො ආ බවත්, මර්තේලිස්‌ මාමගේ දුව නිවසින් එළියට නොබැසි බවත් අනාවරණය වුවත් සරත් ගේ බෙල්ල පමණක්‌ නියපොතු පහර වලින් තැන තැන තුවාල වී ඇති බව දුටුවෙමු. එදා සිට බදාදා - සෙනසුරාදා කෙම්මුර දවස්‌වල ගොම්මන් යාමේ ඩිංගිරි මැණිකා වතු බංගලාවේ දොරකඩ විලාප දෙන්නටත්, විලිරුදාවෙන් හඬ නඟන මවකගේ හඬින් යටගිරියෙන් කෑ ගසන හඬත් මුළුතැන්ගෙයි හට්‌ටි, වට්‌ටි බිම දමා බිඳින ශබ්දය ඇසුනත් එකද වළං කැබැල්ලක්‌ එහි නොවීය. එහි හොල්මන් සිදුවීම් දිනෙන් දින වැඩිවීම නිසා සරත් සහ මට රැකියාවට සමු දෙන්නට සිදුවූයේ හොල්මන් අද්භූත සිදුවීම් වලට මිනිසුන්ගෙන් පලි ගත හැකි බැවිනි

Source: Link

23 January 2019

---බටහෙළ කන්දේ හොල්මන් පුවක් වල---


යාලුවනේ මම මේ කියන්න හදන කථාව සත්යම සිදුවීමක්...මම කලින් මේ ගෲප් එකට දැමුව තෙලබෝ කන්ද ගැන කතාව වගේම මේකත් ඇත්ත සිදුවීමක්....මේ කතාව සිද්ධවෙලා දැනට අවුරුදු 10ක් විතර ඇති. ටිකක් පරණ කතාවක් වුණත් ඔයාලා ගොඩක් කැමති වෙයි...

ඔයාලා ගොඩක් දෙනක් දන්නවා ඇති නැත්තම් අහලා ඇති මාලිගාවිල ගැන.මාලිගාවිල _ මොණරාගල ප්රධාන පාරේ රත්වත්ත මාවත,කිවුලේ කන්ද කියන කන්දේ තමයි මම මේ කියන සිදුවීම වුණේ... කිවුලේ කන්ද කියන පැත්ත රත්වත්තමාවතේ හැමෝම අතර ප්රසිද්ධයි..මොකද අගෝස්තු - නොවැම්බර් වගේ වෙනකල් මේ පැත්තට හරියට වහින්නේ නෑ...වැස්ස ගොඩක්ම අඩුයි..ඒ නිසා ගමේ ගොඩක් දෙනෙක් කිවුල කන්දේ තියෙන දිය උල්පත් වලින් තමයි නාන්නේ...ගමේ කීපදෙනක් එකතුවෙලා පිරිසිදු වතුර තියෙන දියකඩිත්තක් හොයාගෙන පිරිසිදු කරගෙන ඒකෙන් තමයි හැමදාම නාන්නේ... මේ පොඩි පොඩි දියකඩිති වලට වතුර එන්නේ කිවුල කන්දේ තියෙන් පුවක් වල කියන තරමක් විශාල පොකුණකින්..පුවක් ගස් වලින් වටවෙලා තියෙන නිසා මේ වතුර පොකුණට හැමෝම වගේ කියන්නේ පුවක් වල කියලා... මේ පොකුණ වටකරලාම තියෙන්නේ ඝන කැළෑව.පෙනෙනෙ තෙක් මානයක් පුරාවටම සරුවට වැඩුණ පුවක් ගස්, කුඹුක් ගස් වගේම කළුවර ගස් ගොඩකින් තමයි පොකුණ ආවරණය වෙලා තියෙන්නේ.

තරමක් විශාල බේසමක් හැඩයට නිල්පාට වතුර පිරිලා තියෙන මේ පොකුණ ගමේ කා අතරත් ගොඩක් ප්රසිද්ධයි.මොකද මේ පොකුණේ වතුර ගොඩක්ම සීතලයි.ඒ නිසා සවස් කාලයට , ගමේ කිහිප දෙනෙක්ම මේ පුවක් වළේ ඉන්න එක සුලභ දෙයක්...කොහොම වුණත් පුවක් වල අවට තියෙන ඝන කැලෑව නිසා ඒ අවට තියෙන්නේ මහ අමුතුම කළුවරක්..ගමේ වැඩිහිටියෙක් ඇරෙන්න ගැහැණු අය වගේම ළමයි මේ පැත්තේ තනියෙන් ගැවසෙනවා බොහොම අඩුයි.හරක් බඳින්න යන අය ඇරෙන්න තනියෙන් පුවක් වල පැත්තේ කිසිකෙනෙක් ගැවසෙන්නේ නැති තරම්....

මම මුලින් කිව්වා වගේ අපේ ගමේ අය මීට අවුරුදු 10කට විතර කලින් වතුර නිසා ගොඩක් දුක් වින්දා...හැමෝම වතුර ගත්තේ ළිං වලින්...ටැප් ලියින් ගමට තිබුණේ නෑ...නළ ළිං වගේම ගමේ පොදු ළිං ජලය තමයි හැමෝම පාවිච්චි කළේ..ඒ නිසා කිවුලේ කන්දේ තියෙන ජල උල්පත් ගමේ හැමෝටම නිහඩ සේවයක් කළා......

මේ කාලයේම කිවුලේ කන්දේ තියෙන ගල් ලෙනක් ගමේ මිනිස්සු එකතුවෙලා පිරිසිදු කරලා ආරන්ය සේනාසනයක් හදලා තාපසයෙක් වැඩෙම්මුවා..මේ නිසා ගමේ හැමෝම කිවුලේ කන්දේ තියෙන ආරන්ය එක්ක සම්බන්ධකම් පැවැත්වුවා...කිවුලේ ආරන්ය සේනාසනය කියලා ගමේ හැමෝම අතර ප්රසිද්ධ වුණා...කෙනෙක් මේ ආරන්යට යනවා නම් මම මුලින් කිවුව පුවක්වල පහුකරලා යන්න ඕනි.ඒ නිසා දවල් කාලයේ වගේම හවස් වෙනකල් පුවක් වල ජනාකීර්ණ වුණා...

කාලයක් මෙහෙම යද්දී පුවක් වලේ හොල්මන් ඉන්නවා... යන එන අයට හවස් කාලයේ ගල්, වැලි ගහනවා
..එක එක සද්ද කරනවා..රෑ මැදට නාන ශබ්ද,රෙදි අපුල්ලන ශබ්ද , හූ කියන ශබ්ද වගේ දේවල් ඇහෙනවා කියලා කා අතරත් ප්රසිද්ධ වුණා...ඒ නිසා ආරන්යට යන අය පුවක් වල ළඟ තිබුණු පාර වෙනුවට වෙනත් කෙටි පාරක් භාවිතා කරන්න පටන් ගත්තා..ඒත් එක්කම ක්රමයෙන් පුවල් වල පාළුවට ගියා..ගමේ මිනිස්සු නාන්න යන එක සීමා කළා...බය නැති වැඩිහිටි පිරිමි විතරක් දිනපතා මේ පොකුණෙන් නෑවා. අපි නම් පැත්ත පලාතකවත් ගියේ නෑ...යන්න බය නැති වුණත් ගෙවල් වලින් යන්න දුන්නේ නෑ....😊

ඔන්න දවසක් කිවුලේ ආරන්ය සේනාසනයේ හාමුදුරුවෝ කෙනෙක් මහණ කරන්න පිංකමක් තිබුණා...මට හරියටම මතක නෑ..ඒ පිංකම එක්ක තවත් මොකක් හරි විශේෂ වැඩක් එදා ආරාමයේ වුණා..කලෑව මැද මේ ආරාමය තිබුණු නිසා කරන්ට් එක තිබුණේ නෑ..චිමිනි ලාම්පු වගේම පෙට්රෝල්මැක්ස් ලාම්පු වලින් තමයි ආරාමයට ආලෝකය ලබාගත්තේ... මේ ආරාමයේ සිද්ධවෙන විශේෂ වැඩක් නිසා ගෙදර හැමෝම වගේම ගමේ ගොඩක් ගැහැණු පිරිමි අය ආරාමයේ එක එක වැඩ කරන්න ඕනි නිසා නතර වුණා....මමත් අම්මා, අප්පච්චි,අක්කලා,අයියා ,එක්ක එදා රෑ ආරාමයේ තමයි හිටියේ...ගමේ අය 60 -70 ක් විතර එදා ආරාමයේ වැඩට ඇවිත් හිටියා....

අපි එතකොට පොඩි ළමයි නිසා ගොඩක් ලොකු වැඩ කරන්න වුණේ නෑ...දැන් වගේ ස්මාර්ට් ෆෝන් හැමෝටම තිබුණේ නෑ...අපේ වයසේ කාටවත් තිබුණේ නෑ...ඒ නිසා අපි ළමයි 10-15 ක් විතර එකතුවෙලා සෙල්ලම් කළා..හොල්මන් කතා කියෙව්වා...මෙහෙම ඉද්දී රෑ 10.30 ට විතර මහ හයියෙන් වහින්න පටන් ගත්තා...මගේ ජීවිතේ මම දැකපු ලොකුම වැස්ස එදා තමයි මම දැක්කේ...මුලු කිවුලේ කන්දම පෙරලිලා යයි කියලා මට හිතුණා..බටහෙලේ කන්ද පැත්තෙන් එන අකුණු ශබ්දෙන් කන් අගුල් වැටිලා වගෙයි මට දැනුණේ....වැස්ස එක්ක කන්දක ඉන්න කෙනෙක්ට ලබන්න පුළුවන් ලොකුම අද්දැකීමක්මක් මම එදා ලැබුවා...කොහොමහරි රෑ 11.20 විතර වෙද්දී වැස්ස ටිකක් අඩු වුණා..ඒත් අකුණු ගහන එක නම් නතර වෙලා තිබුණේ නෑ...

කොහොමහරි රෑ 11.30ට විතර අපේ ලොකු තාත්තා අපි ඉන්න තැනට ඇවිත් කිවුවා, ගෙදර යන්න වෙනවා..."සුදු රෙදි ගෙනත් නෑ..ස්වාමීන් වහන්සේලාගේ පුටුවලට දාන්න , සුදු වියන් බඳින්නත් ඕනි කියලා....ලොකු වැඩක් කලේ නැති නිසා එතන හිටපු ළමයිගෙන් අවුරුදු 14, 15,16 වගේ සෙට් එකෙන් මමයි,අපේ අයියයි, ලොකු තාත්තලාගේ අයියයි,තව මල්ලිලා දෙන්නෙකුයි අපි පස් දෙනෙක් සුදු රෙදි අරන් එන්න ලොකු තාත්තලාගේ ගෙදර යන්න බලෙන් වගේ ඉදිරිපත් වුණා...එතන හිටපු ළමයිගෙන් ලොකුම ළමයි ටික අපි නිසා මොරාල් එකක් අරගෙන අපි පස් දෙනා කන්ද පාමුලම තියෙන අපේ ලොකු තාත්තලාගේ ගෙදර එන්න පිටත් වුණා....

වැස්ස නිසා පාර ගොඩක් ලිස්සනවා.ඒ නිසා ටෝච් 3 කුයි කුඩ කීපයකුයි අරන් අපි එකා පිටිපස්සේ එකා දැන් කැලෑ පාර දිගේ එනවා...මුලින්ම ගියේ අපේ අයියා..එයා මට වඩා අවුරුදු 2 කින් වැඩිමල්..ඊළඟට තව අය්යලා දෙන්නෙක්..මමයි ලොකු තාත්තලාගේ පොඩිමල්ලි කැලුමුයි එක කුඩේකින් අන්තිමේට ගියේ..මොකක් හරි ඇබැද්දියක් වුණොත් දුවන්න බලාගෙන...😊

අපට කිලෝ මීටරයක් විතර කැලෑව පහුකරලා තමයි ලොකු තාත්තලාගේ ගෙදරට යන්න තිබුණේ..අපි හොල්මන් කතා කිය කිය හිටපු නිසා හිත ටිකක් නෙවෙයි ගොඩක්ම ගැස්සිලා තිබුණේ..ඒත් අපි 5 ක් හිටිය නිසා වැඩි අවුලක් වුණේ නෑ...මට අදවගේ මතකයි.වැස්සත් එක්ක මුලු කැලෑවම එදා ගොඩක් කළුවර වෙලා තිබුණේ...ඒ කළුවර මකන්න අපේ ටෝච් එලි ප්රමාණවත් වුණේ නෑ...පොද වැස්සත් එක්ක සැරින් සැරේ එන විදුලි එළි මගේ හිතේ තිබුණු භය දෙගුණ තෙගුණ කළා...ගස් සුළගට සෙලවුණේ කවුරුහරි බලෙන් ගස් එහාට මෙහාට තල්ලු කරනවා වාගෙයි ...

අපි කොහොම හරි පුවක් වලට මීටර් 50 ක් විතර දුරින් එද්දී අපේ අයියා එකපාරම අඩිපාරේ නතර වුණා.මොකක්ද ශබ්දයක් ඇහෙනවා කියලා. අපි ගල් ගැහිලා වගේ නතරවෙලා පුවක් වල පැත්තට ඇහුම්කම් දුන්නා...වැස්ස නිසා බටහෙල කන්දෙන් මහ විශාල වතුර පාරක් පුවක් වල හරහා පහළට ගහගෙන යන නිසා මහා ශබ්දයක් තමයි එදා තිබුණේ....ඒත් ටික වෙලාවකින් රෙදි ගලක අපුල්ලනවා වගේ ශබ්දයක් ආවා.. ගමේ මිනිස්සු කිව්ව හොල්මන් කතා මට මතක් වෙන්න ගත්තා..ඒත් අපේ අයියා වැඩිය ගණන් ගන්නෙ නැතුව තවත් අඩි කිහිපයක් ඉස්සරහට ගියා.අපිත් එකට ගුලිවෙලා වගේ අයියා පස්සෙන් ගියා..එකපාරම පුවක්වල පැත්තෙන් යටිගිරියෙන් කෑ ගහන ශබ්දයක් එක්කම වැලි වලින් අපි ඉන්න පැත්තට කවුදො ගහනවා වගේ දැණුනා..ඒත් එක්කම මහා හූ හඬක් ඇහුණා..ඒ හූ ශබ්දය නම් මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක්ට කරන්න බෑ..ඒ තරම් හයියෙන් තමයි ඒ ශබ්දේ ඇහුණේ..ඒත් එක්කම ආපු ඔක්කොම ආපහු හැරිලා කෑගහගෙන ආරන්ය පැත්තට දුවන්න පටන් ගත්තා...මගේ පස්සෙන් අපේ අයියා ආවා...අපි අරගෙන ආපු කුඩ තැන් තැන්වල..කකුල්වල දාගෙන ආපු බාටා ගිය අතක් නෑ....අපි දුවගෙන ආවත් අර හූ ශබ්දෙනම් අඩු වුණේ නෑ...ටිකදුරක් ඉස්සරහට යද්දී තව හූ ශබ්දයක් ඇහුණා...අපි එකා පිටිපස්සේ එකා වැස්සෙම ආයෙත් ආරන්යට පණ එපා කියාගෙන දිවුවා. අනිත් අයගැන නම් මට වැඩි මතකයක් නෑ.හැබැයි මම දෙපාරක් ලිස්සලා වැටුණා..

කොහොමහරි අපි ආයෙත් ආරන්යට ගිහින් වුණු දේ අප්පච්චිලාට කිව්වා..ඒ වෙලාවෙම අපි එක්කගෙන පුවක් වලට යන්න හැදුවත් අපි කවුරුවත් ආයෙත් යන්න කැමති වුණේ නෑ..ලොකු තාත්තයි,අප්පච්චියි,තවත් මාමලා කීපදෙනෙක් වුණේ මොකක්ද බලන්න ඒ පැත්තට ගියා.බලද්දී මගේ දණහිස් දෙකම තුවාල වෙලා.අනිත් අයටත් පොඩි පොඩි තුවාල.කැලුම් මල්ලී නම් එදා ඇඩුවත් එක්ක.ඒ තරම් අපි භය වුණා..

පුවක් වලට ගිහින් ආපු අප්පච්චිලා නම් කිව්වේ එතැනට අරක්කු බොන්න ඇවිත් උන්නු මාමලා වගයක් අපිව භයකරලා කියලයි.එහෙම කියලා අපේ බය නැති කරන්න එයාට උත්සහ කරන්න ඇති.පොඩි උන් නම් ඒ කතාව විස්වාස කළා.ඒත් අපි නම් විස්වාස කළේ නෑ..මොකද එහෙම හයියෙන් මහ වැස්සක හූ කියන්න මෙලොව මනුස්සයෙක්ට නම් බෑ කියලා තේරුම් ගන්න තරම් වයසක අපි හිටපු නිසා.පහුවෙනිදා මටයි අයියටයි දෙන්නටම නැගිටින්න බැරි තරම් උණ හැදුණා.දණහිස් තුවාල වුණු නිසා අමාරුව දෙගුණ තෙගුණ වුණා...

මේ මම කිවුවේ අවුරුදු 10කට විතර කලින් මට වුණු ඇත්තම කතාවක්.එදායින් පස්සේ ඒ පුවක් වල පැත්ත පලාතේ අපි කවුරුවත් ගියේ නෑ..අපට පස්සේ මාමලා දෙන්නෙක් එතැන මාලු බැදගෙන කාලා තොවිලයක් පවා තියන්න වුණා..ඒ විතරක් නෙවෙයි.හරක් බඳින්න ගිය ගෑනු අයත් බයවෙලා තිබුණා...

කාලයත් එක්ක කිවුලේ ආරන්ය සේනාසනයේ හිටපු තාපසතුමයි මහණ වුණු හාමුදුරුවොයි දෙන්නම ආරාමය අතහැරලා ගියා.ඒ නිසා පුවක් වල පැත්තත් එහෙමම පාලුවට් ගියා.ආරන්යත් පාලුවට ගියා.දැන් නම් මිනිස්සු ඒ පැත්තට යන්නේ නැතිවම ඇති.මොකද දැන් හැමෝටම වතුර තියෙනවා.හැම ගෙදරටම ටැප් වතුර තියෙන නිසා ඒ පැත්ත ගොඩක්ම පාලු ඇති...ඒ වගේම හොල්මනුත් වෙනදාටත් වඩා ක්රියාශීලී ඇති...ලගදී ගියපු නැති නිසා මගේ ළඟ photos නම් නෑ..ඒත් මීට මාස කීපයකට කලින් බටහෙළ කන්දේ ගහපු photo එකක් මම දාන්නම්..පොකුණේ පොටෝ එකක් නම් නෑ...ඒත් හදිසියේ වත් ආපහු ඒ පැත්තට ගියොත් පොකුණේ පොටෝ එකක් දාන්නම්...

මම කලින් හොල්මන් විශ්වාස කළේ නෑ..ඒත් මට අත්දැකීම් ගොඩාරියක් අහබ්බෙන් හරි විඳින්න සිද්ධවුණු නිසා ඇසි දිසි මානයෙන් ඔබ්බට එහා ලොවක් තියෙන බව දැන් නම් තරයේම විශ්වාස කරනවා....පුවක් වලේ අවතාරයක් දැකලා නැතත් කිසියම් අමනුෂ්ය කතන්දරයක් ඔබ අප කවුරුත් නොදන්න්නා මානයක සිට අපට දැනුම් දෙන්නට උත්සුක වෙනවා ඇති..... #මේ තියෙන්නේ බටහෙළ කන්දේ චායාරූපයක් ...

ඔයාලා හැමෝටම බුදුසරණයි 🙏

මම #_සුමේධ හෙට්ටිආරච්චි _

Source: Link

04 January 2019

---පානදුර වෙරලතීරය---



මේ ලිපිය මගින් හෙලිකරන තොරතුර ඔබ මීට කලින් කවදාවත් අසා නොතිබෙන්න පුලුවන්, ඔබ බොහෝවිට සුන්දර පානදුර වෙරලතීරයට ගිහින් ඇති..මුහුද මැදට වෙන්න තියෙන කලුගල් පරය දැකල තියෙනව නේද, සිහිනෙකින් වත් හිතුවෙ නැ නේද මේ ගල්පරය යට ඉඳලා පානදුර නගර මධ්‍යට දිවෙන උමගක් තියෙනබව...මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ මේ උමග ඒ වගෙම එහි ඇඟ හිරිවට්ටන කතාව ඔබට හෙලිදරව් කරන්නයි.

කොස්මාමා නැතිනම් ආතර් වි දියෙස් මහතා ලඟ වැඩට හිටපු සීයාකෙනෙක් තමා මේ විස්තර අපි එක්ක කියා තිබුනෙ. මේ සීයට එයාගෙ තාත්තගෙන් තමා මේ විස්තර අඩංගු ලියවිල්ල ලැබිලා තියෙන්නෙ. ඒ විස්තරේ කෙට්යෙන් මෙහෙම කියන්නම්.

රයිගම්පුරය එහෙමත් නැත්නම් රයිගම රජකාලේ ලංකාවේ තිබුන ප්‍රබල රාජදානි ප්‍රදේශයක්. ඉතිං රට අැතුලට වෙන්න රාජදානිය තිබුන නිසා රජු ආරක්ෂාව ගැන ගොඩක් සැලකිලිමක්වුනා. මේ හිංදම සතුරැ ආක්‍රමණයකින් පලා යන්න පුලුවන් වන විදියට රජතුමා පානදුර මුහුදු වෙරල වෙනකන් උමගක් තනවල තියෙනව. මේ උමග ගැන යම් සටහනක් අදට ඉතිරිවුනෙ අර කියපු සීයගෙ ඥති මුතුන්මිත්තන් ඒ ගැන සටහනක් කරල තිබුන නිසයි. හොරන රත්නපුර මාර්ගය ඉදිකරද්දි පවා ඒ කම්කරැවන්ට තැන් කීපයකදීම පාරෙ ගිලාබැස්ම් හමුවුනේ මෙන්න මෙි කියන උමග නිසාම තමා.

දැන් ඔබට කුතුහලයක් ඇති ඒ උමග අද කෝ කියල පානදුර වෙර⁣ලේ, ඒ කාලයේ ඔය ගෝනගල් පරය වෙරල අද්දර තිබුනා වුනත් අද දක්වාම වෙලා තියෙන මුහුදු ඛාදනය නිසා ගල්පරය ගොඩබිමින් ගොඩක් ඇත් වෙලා. ඒ වගෙම මේ උමගට තවත් අතු උමං මාර්ග දෙකක් පානදුර නගරයේ දෙපසකින්ම එකතුවෙනව කියල ඒ සටහන් වල සදහන් වෙනව, ඒ තැන්වල අද වන විට ප්‍රසිද්ද විහාරස්තානයක් මෙන්ම ප්‍රසිද්ද පිරිමි පාසලක භූමියක් ස්තානගතවෙලා තියෙනව.

උමගය භාහිරින් එකතුවන ජලය පිටකීරිම සඳහා මෙම පාසල සහිත භූමිය යොදාගත් බවටත් ඇතැම් භාහිර සාධක මත නිගමනය කරන්න පුලුවන් කරැණක්. කෙසේ නමුත් මේ කතාවේ ඇඟ කිලිපොළා යන කරැණ වන්නෙ වෙරල තීරයට ඔබ්බෙන් වන ගෝනගල ගල්පරය මත අදටත් අධික වැසි සහිත දිනවල සිංහල දින ක්‍රමය අනුව නම් නව වක යෙදෙන දින වල විශේෂයෙන් කෙටි මුගුරක් අතින්ගත් මිනිසෙකුගෙ ඡයාව දිස්වීමයි. මෙය මෙම ප්‍රදේශයේ ධීවරයින් කීපදෙනෙකුම අත්විඳ ඇත් අත්දැකීමක් බව අපට වාර්ථා වෙනව. විනාශ වී දුර්වර්ණ වී ගිය සටහනේ රේවත හෝ රාවණ නම යෙදෙන උමග භාරව සිටි සෙනෙවියෙකු ගැන සඳහනක් ඇති අතර ගල් පරය මත දිස්වන ඡායාව එම සෙනෙවියාගේ ද යන්න අපටත් මතුවු ගැටලුවක්.

පානදුරය හා සබැදි ඓතිහාසික සිදුවීම් ගොන්න අතර මෙය ද තවත් එක් සැගවි ගිය ජන මුලාශ්‍රයක් වන අතර විමර්ශනඇසකින් බලන්නෙකුට ඒ සැඟවි ගිය අතීතයේ අක්මුල් පාදා ගැනීමට අපහසු නොවනු ඇති බවට සාක්ෂි සපයමින් අතීතයේ පුවත්ගොන්නද සමගින් මුගුරත් අතින්ගත් සෙනෙවියා හෙට දිනයේත් ඔහුගේ රාජකාරියේ යෙදනු ඇත.

02 January 2019

---අණ වින කොඩි විණ - 03 - වඩදිය යකින්න---



මේ සිද්ධි මාලාව ඔබ වෙත ලියා පළ කිරීමට ප්‍රථමයෙන් පුංචි පුර්විකාවක් කිව යුතුමය... මට තව දුරටත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකන් සම්බන්ධයෙන් සමාජ ගත කිරීමට කිසිම අවශ්‍ය තාවයක් නොමැත... බුදු රජාණන් වහන්සේගේ ධර්මය අනුව මේවා චිරස්තින දේවල් නොහොත්, තිබුණත් පලක් ඇති දේවල් නොවන්නේය. නමුත් අමුනුෂ්‍යන් ඇඳ බැඳ ගනිමින් කරන ගණුදෙනු අපේ මිථ්‍යාදුෂ්ටික ඇත්තෝ තව දුරටත් කරගෙන යයි.... එය සැබෑවකි... ගුරුකමට ගුරුකමෙන්ම පිළිතුරු දීමෙන් ඒ ඒ අයගේ සංසාරික ගණුදෙනු පියවා ගෙන තව දුරටත් නිරයටම පාර කපා ගනී... තව දුරටත් මා ඔබට මෙම පුවත ගෙන හැර දක්වන්නේ මෙම කථාවේ ඇති කථා රසය පමණක් රැගෙන යනවාට වඩා...

කියවන ඔබට සිතන්නට හැකි නම් ....
මේ යන්ත්‍ර මන්ත්‍ර සිදු කරන්නේ කුමන අරමුණක් උදෙසාද...?
මෙම ගුරුකන් වලින් පසු මේවාට සම්බන්ධ වෙලා මේවා විශ්වාසයෙන්ම මේවා පිටුපස ගමන් කරන්නන්ට අවසානයේදී සිදු වන්නේ කුමක්ද...?
මේ සසරේදී අවසානයේදී ඔවුන්ට සිදු වන්නේ කුමක්ද...?
කිසිම අකටයුත්තකට සම්බන්ධ නොවන ඔබට කෙනෙකු ගුරුකම් හරහා බලපෑමක් කිරීමට තැත් කරන්නේ කුමක් නිසාද..?

අප මහා තථාගතයන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ධර්මය අනුව ඔබට ගුරුකම් ආදී දේවල් වලින් ආරක්ෂාව පිහිට ලැබෙන්නේ කෙසේද?

ඉහත මා දැක්වූ කරුණු ගැන ඔබේ අවධානය යොමුවී අප මහා තථාගතයන් දෙසු ධර්මය තුළින්ම පිළිතුරු සෙවීමේදී ඒ උතුම් ධර්මය ම අවබෝධ වී නිවන කරා යාමට අවශ්ය සියළු ශක්තිය ධෛර්ය ලැබේවායි කියන ඒක මාගේ ඒකායන ප්‍රර්ථනාවයි.... !

මේ කථා පුවත සඳහා මට කතෘ අයිතියක් අවශ්ය නැත. අපේ කාලයේ සත්‍ය සිදුවීමක් නිසා මෙම පුවතේ නිර්මාතෘ මම නොවේ, කතාවේ නිර්මාතෘ සංසාරයේ එකිනෙකා ගොඩනගා ගත් සංස්කාරයෝමය. සසරේ ඇති බියකරු භාවය ගැන වැටහී ඒ පිලිබඳ සොයා බැලීමට සහ එයින් මිදීමට කවුරුන් හෝ යොමු වේ නම් මට එය ම සැනසීමකි.

දැනට අවුරුදු තුනකට පෙර සිදු වූ සිද්ධියකි. මගේ නැණා කෙනෙකු වන නිමේෂා මෙනවියගේ ජිවිතයේ ලද සත්‍ය අත්දැකීමකි...

කෙසේ හෝ මිට තරමක් සමාන වන සිද්ධියක් අන්තර්ජාලය ඇසුරෙන් ද කියවන්නට ලැබුණි.
නිමේෂා...! නිමේෂාගේ උපන් ගම හලාවතය. හලාවත වෙරළ බඩ ප්‍රදේශයකය. ඇයගෙ මව බෞද්ධ සහ පියා කතෝලික විය. ඇය පවුලේ බාල දරුවා වූ අතර එක් වැඩිමහල් සහෝදරයෙක් වීය.
ඇයගේ පියා මව සමග විවාහ වන විට ඇයගේ පියාගේ පාර්ශවයේ සිටි එක් ඥාති දුවක් ඇගේ පියා කෙරෙහි ඇති කරගත් දැඩි කැමැත්තක් හා බලපොරෝතුවකින් සිට ඇත. නමුත් නිමේෂාගේ පියා මේ ඥාති දුවට මොනයම් ආකාරයකින් වත් මනාප වී නැත.

ඥාති දුවගේ පාර්ශවයත් මේ නිසා නිමේෂාගේ පියා සමග දැඩිව උරණ වී ඇත.
නිමේෂාගේ පියාගේත් වර්තමාන මවගේත් විවාහය කාලයත් සමග ම සිදුවිය. මේ සමඟ දැඩි කනස්සලට ලක් වුණු අර ඥාති දුව වස පානය කොට ජීවිතය තොර කරගත්තේය.

නිමේෂාගේ පවුල ටිකෙන් ටික ස්ථාවර වී දරු දෙදෙනෙකුගෙන් සමන්විත විය, ඒ නිමේෂා සහ ඇයගේ සොහොයුරා පවුලට එක්‌ විමත් සමඟය. නමුත් අර ඥාති දුවගේ පාර්ශවයේ දුක් මැසිවිලි දෝෂාරොපණ නිතරම නිමේෂලාගේ පවුල දෙසට යොමු කරන්නට වීය. අවසානයේදී එය වෛරයක් බවට පත්වී ඇත.
කාලය හෙමින් හෙමින් ගත වන්නට වීය. නිමේෂා දැන් කාගේත් සිත් ගන්නා රූමත් තරුණියකි. වරක් නොව ඕනෑම අයෙකු ඇය දෙස දෙවරක් හැරී බලයි. ඒ තරමට ඇ රූපයෙන් ඉහළය.

රූමත් යුවතියක් පිටුපස ආදරය ඉල්ලා පස්සෙන් ඒන තරුණ ගැටවුන්ගෙන් නම් නිමේෂාට අඩුවක් නොවිය. ඒ අතරින් බොහොම ජේත්තු කාරයෙකුට නිමේෂා බහ දුන්නේය.

ඒ පරම ප්‍රථම කුළුදුල් ආදරය ප්‍රෝඩාවක් කරමින් නිමේෂාගේ හිතට මහා දුක් ගින්දරක් එක් කරමින් ඒ සෙල්ලක්කාර ජේත්තු කාරයා ඇයගෙන් සැඟවී ගියේය. මේ වෙන් වීම නිමේෂාව මානසික ව්‍යාකුල තත්වයකට ඇද දැමුවේය...

මෙතැන් පටන් නිමේෂා හැම පිරිමියෙක් දිහාම බැලුවේ සැකයෙන්.

මගේ නැන්දාගේ පුතාත් ඔන්න ඔය කාලේදී රැකියාව කලේ ජාඇල ප්‍රදේශයේ තිබුණු ප්‍රසිද්ධ වෙළඳ ආයතනෙකයි. ඉතිං කොහම කොහමහරි දෙන්නා බස් ගමනා ගමනෙට පිංසිද්ධ වෙන්න කථා බස් කරලා දැන අදුනා ගෙන ප්‍රේම කතාවක් දක්වාම දුර දීග ගෙනගිල්ල දෙන්නම පවුලක් පන්සලක් වෙලයි නතර වුනේ.
මේවෙනකොට මගේ මසිනාට නව රැකියවක් ලැබිලා තිබුණා ප්‍රසිද්ධ බැංකුවක නිලධාරියෙක් විදියට. දෙදෙනා කොළඹ ප්‍රදේශයේ මුල් කාලයේදී ජිවත් වුණත් මසිනාගේ රැකියාව නිසා තමන්ගේ උපන් ගම බදුල්ල ප්‍රදේශයටම පැමිණ තමන්ගේ මහගෙදරම ඉඳලාම රාජකාරි ස්ථානයට යන්නට ඔහුට වාසනාව උදා විය.
මගේ මසිනා රැකියාවට නිවසින් බැහැර උනාට පස්සේ මේ නිවසේ රැදෙන්නේ මගේ නැන්දත් නිමේෂාත් පමණි. එකාකාරී දිවිපෙවතක් ගෙවන මේ අයට පුංචි වෙනසක් වෙන්න සලකුණු පහල වුනේ මෙයාලගේ කැදැල්ලට අළුතෙන් එකතු වෙන්න කියලා ඒන අමුතෙකුගේ මං සලකුණු පහල වීමත් සමගයි.
මගේ මසිනත් නෑනාත් අතර පුංචි පුංචි ආරවුල් තිබුනත් ඒවා එතරම් දුර දීග නොයන ඒවා බවට මට වරින් වර මගේ මසිනා පවසා තිබුණි.

ඒ හෙයින් මුල් කාලයේදී මමත් ඒ ගැන විමසීමෙන් වැලකි සිටියේය. නිමේෂාගේ කුස සති මාස අතරේ මොරා වැඩුණි. වරින් වර දෙදෙනා අතර බහින්බස් විවිධ කාරණා මත හුවමාරු වන්නට විය. කෙසේ හෝ ආතතිය නිසාත් නිමේෂා ගැබ් බරව සිටී නිසා ඇතිවූ යම් මානසික පීඩනයක් නිසා මෙසේ නිතර අඬ දබර ඇති කර ගැනීමට හේතුව බව මගේ මසිනා තරයේ විශ්වාස කලේය. අපටද එසේ නොසිතීමට තරම් වෙනත් හේතුවක්ද නොවිය.

මගේ මසිනා නිමේෂාගේ මානසික තත්වය පිලිබඳ මනෝවිද්‍යා උපදෙස් පවා ඇයටත් හොරා ලබා ගත් අවස්ථා ඇත.

මේ විස්තර කථා අතර තුරේ නිමේෂා ඇයගේ කුළුදුල් දරු ප්‍රසුතිය වෙනුවෙන් ලක ලැහැස්ති වන්නට විය.
නිමේෂාගේ කුළුදුල් දරුවා කිසිදු බාධාවකින් තොරවම මෙලොව එළිය දුටුවේය. මෙය කාගේත් සෝ සුසුම් පිටවී යාමට කරුණක් වීය. ඒ වෙන කිසිවක් නිසා නොව නිමේෂාගේ හේතු රහිත අඬ දබර කිරීම් සඳහා මුලික සාධකය ලෙස හැමෝම අනුමාන කරපු ගැබ්බර භාවයෙන් ඇය නිදහස් වීම නිසාය...
නිමේෂාගේත් මගේ මසිනාගේත් ආදරය කරුණාව මැද ඔවුන්ගේ පළමු දරුවා හැදී වැඩෙන්නට විය.
මා දිනක් මසිනා හමු වීමට ගිය අතරේ මා ඔහුගේ අත්වල වැලිමිටෙන් පහල කොටස් වල දැකපු වෙනස දැක වික්ෂිප්ත වී ගියේය.

ඔහුගේ අත් දෙකම උඩ සිට තඩි බළලෙක් පහරු ගැවා සේ සුරා තිබුණි. ඒ ඇතැම් තුවාල වියළි තිබු අතර සමහරක් තුවාල අළුත් ස්වභාවයක් ගත්තේය. කවුරුත් අහනවා වගේම මාත් ඔහුගෙන් ඒ පිලිබඳ විමසා සිටියේය.

"ඇයි අයියා මොකද මේ....?"
මදක් කල්පනා කරමින් සිටි ඔහු හඬ අවධි කලේය....
"හ්ම්ම් දන්නවනේ අර කෙස් ඒක තමයි..."

මට යමක් පැහැදිලි විය, එනම් නිමේෂාගේ මානසික ව්‍යාකුල භාවය දරු ප්‍රසුතියත් සමගම අතුරුදහන් වී නැත, එය තවත් දරුණු හැඩයක් ගෙන ඇති බවට සාක්ෂි මා ඉදිරියේම ඇත.
නිමේෂා ගැන මසිනා කියපු විදියට නම් එයා දරුවාට ආදරෙයි එත් මසිනා සහ අනිත් ගෙදර උදවියත් සමග හේතුවකින් තොරව ගැටීම් ඇති කර ගනී. මේ හේතුව නිසා වැඩි දුර ප්‍රතිකාර සඳහා නිමේෂාව මොනෝ වෛද්‍ය වරයෙක් යටතේ ප්‍රතිකාර කිරීමට ගාල්ල කරාපිටිය රෝහල වෙතත් පසුව ජයවර්ධන පුර රෝහල වෙතටත් ඉන් නොනැවතුණු තැන ඉන්දියාවේ ඇපොලෝ රෝහල දක්වාම ගෙන ගොස් මෙම මානසික ව්‍යාධිය සුවපත් කර ගැනීමට මගේ මාසිනා උත්සහ ගත්තේය.

ඉන්දියාවේදී ගත් ප්‍රතිකර්ම වලට මෝහනයට පත් කිරීමෙන් කරන ප්‍රතිකාර පවා ඇතුළත්ව තිබුණි. මෙම ප්‍රතිකාර වලින් පසු නිමේෂාගේ යම් සුවපත් වූ බවක් දැකගන්නට හැකි වී ඇත. නමුත් එය සිමා සහිත විය. මාස අටකට පමණ පසු දෙදෙනා අතර පමණක් නොව ගෙදර සිටින සැම සාමාජිකයෙක් සමගම නිමේෂා හේතු රහිතව ගැටෙන්නට විය. අභූත චෝදනා ඇය විසින් ගොණු කරන්නට විය. ඇය සැම විටම මසිනාට නගපු චෝදනාව තමයි ඔහුට අනියම් පෙම්වතියක් සිටිනවායි කීම. මා ඔහු ගැන හොඳින් දනී, කොටින්ම ජංගම දුරකථනයක් වත් ඔහු භාවිතා නොකළේය.

මේ වෙන වීට නිමේෂා කුමන හෝ ගැටුමක් ආරම්භයට පෙර ශාරීරික වශයෙන් දක්වන වෙනස්කමකි, ඒ නම් තමන්ගේ හිස අල්ලාගෙන කෑමොර දීගෙන කොණ්ඩය ලිහා ගැනීමයි.

ඇත්තටම කියනවනම් මේ බියකරු ස්වභාවයයට ඇය පත්වන්නේ බොහෝවිට රාත්‍රී කාලයේදී හෝ හවස් කාලයේදීය. මාගේ නැන්දණිය පමණක් නිවසේ රැදී සිටී අතරවාරයේ මෙය සිදු වේ නම් නැන්දණිය වහා දිව ගොස් කාමරයේ දොර වසාගෙන අගුළු ලාගෙන ඇත. නැන්දණිය පවසන ආකාරයට නම් නිමේෂාගේ ශාරීරික වෙනස් කම වෙන්නට පටන් ගෙන ඇත්තේ ඉන්දියාවේ සිට ප්‍රතිකාර ගැනීමෙන් පසුවයි. පුදුමය නම් දහවල් කාලයේදී නිමේෂා අප හමුවුවොත් බොහොම සාමාන්‍යය ලෙස කතා බහ කරයි. එත් මගේ මසිනා රාජකාරි නිමවා නිවසට පැමිණෙනවාත් සමගම නිමේෂා සුපුරුදු යක්ශාවේශයට පත්වී ගැටුම් ඇති කර ගනී.
මේ ගැටුම් නිසාම මසිනා තම ගෙදරින් වෙන්වී කුලී නිවාස කීපයකටම ගොස් පවුල් ජීවිතය ගත කිරීමට කටයුතු කලේය. එහෙත් එම ගැටුම් වල ස්වභාවයත් නිමේෂාගේ හැසිරීමේ වෙනසක් වත් සිදු නොවිය. තවත් දිනයකදී මා මසිනා හමු වන විට නිමේෂා මසිනාගේ පිට ප්‍රදේශයට පිහි පහරක් පවා එල්ල කර තිබුණේය. ඉතිං මේ ගැටුම් මැද මගේ මසිනා කෙසේ ඉවසා සිටිනවාදැයි මා දිනක් ඔහුගෙන් විමසා සිටියේය. පිළිතුර වුයේ දරුවා නිසා කැප වී සිටින බවය. දික්කසාද වීම සඳහා ද නොයෙක් ඇවිටිලි කිරීම් ඔහුට ඇසෙන්නට විය. නමුත් ඔහු ඒ සියල්ල විඳ දරාගෙන සිටියේය.

කාලය තවත් ඉදිරියට පැමිණියේය, මේ දෙදෙනාට දාව උපන් දරුවාට දැන් යන්තමින් අවුරුදු තුන සම්පුර්ණ වෙමින් තිබුනේය. පුංචි දරුවා බහ තෝරන විය යාන්තමින් පහුකොට සුරතල් වදන් තෙපලන කාලයක් විය. දැන් දැන් නිමේෂා කෝපාවිෂ්ට වන හැම අවස්ථාවකටම පෙර පුංචි පුතා යම් යම් ප්‍රතිචාර දක්වනට විය. පුංචි පුතා සැමවිටම නිමේෂාගේ හැසිරීම කලින්ම දැනගෙන පෙර සුදානමක් ලෙස ඇඳ යටට හෝ පියාගේ ඇකය වෙත දිව ගියේය. එය දැන් නිමේෂාගේ අමුතු හැසිරීමට පෙර හොඳ ස්ථිර නිමිත්තකි.
මේසේ යක්ෂාවශේෂ වන්නාක් මෙන් වෙනස් වන නිමේෂා වරේක කිලෝ තිහක් පමණ බර පැරණි රූපවාහිනී යන්ත්‍රයක් කිසිදු අපහසුවකින් තොරව උස්සා පොළවේ ගසා ඇත, ඒ වගේම කණ්නාඩි මේසයකටත් එසේම කර ඇත.

දරුවාගේ මෙම ඉරියවු ගැන එතරම් සැලකිල්ලක් දැක්වීමට මසිනා හෝ වෙනත් අයෙක් උනන්දු නොවිය. එත් එක් පෝය දිනක රාත්‍රියේදී නිමේෂාත් මසිනාත් දරුවත් කුසියට වී සිටියේදී දරුවා කලින් කිවූ පරිදිම පියාගේ ඇකය වෙත පැමිණ නිමේෂාගේ දෙසට ඇගිල්ල දිගු කොට ඇත, ඉන් සුළු මොහතකින් නිමේෂාගේ ගෝරනාඩුව පටන්ගෙන ඇත.

ඒ දෙදෙනා අතර ඒ කාලගොටියෙන් පසුව මසිනා නිකමට වගේ දරුවාගෙන් අහනවා...
"මොනාද පුතේ ඔයා අම්මා රණ්ඩු කරන්න කලින් මට පෙන්නුවේ..????"
"නැන්දී එක්කෙනෙක්.....!!!!!!"
මසිනා තව දුරටත් දරුවාගෙන් යමක් විමසා ඇත....
"කවුද පුතේ නැන්දා...? කෝ කොහෙද...?"
"එනවා... එනවා.... එයා එනවා අම්මිට කරදර කරනවා....."
දරුවා බියට පත්නොවන ආකාරයෙන් මසිනා තවත් විස්තර අසා ඇත.... කාලයක් සමග මේ වෙන්නේ කුමකින් කුමක් දෝ කියා ඔහුට සිතාගැනීමට නොහැකි වී තිබුණි....

"කවුද පුතේ එන්නේ... කොහෙන්ද එන්නේ...."
"එයා එනවා… එයා යටින් එනවා..... ඇවිල්ලා අම්මිගේ ඔළුවෙන් අල්ලනවා"
දරුවාගේ හැසිරිමෙනුත් නිමේෂාගේ හැසිරිමෙනුත් තමන්ට නොපෙනෙන තවත් කාගේ හෝ බලපෑමක් තියෙන බව මසිනා හෙමින් හෙමින් තේරුම් ගන්නට විය.
ඉතින් ඔන්න ඔය දවස් වල මමත් අර අපේ කපුමහත්තයත් අතර හොඳටම ආශ්‍රය තිබුණු කාලේ. මට මේ සිද්ධිය ගැන මසිනා දවසක කිවුවා. එහෙම කිවුවාට පස්සේ මම ඔහුට යෝජනාවක් කලා අර කපු මහත්තයා හම්බුවෙලා මේ ගැන කියලා බලන්න කියලා.
ඊට අනුව මගේ මසිනා නිමේෂාටත් කරුණු පැහැදිලි කරලා දීලා කට්ටියම වේලාවක් යොදාගෙන කපුමහත්තයා හම්බවෙන්න ගිහිං තිබුණා.

දේවාලෙට පිවිසීමෙන් අනතුරුව තමන්ට නූහුරු අමුතුම කතාවක් මේ දෙපළට අසා දැන ගන්නට ලැබුණා......!
"මහත්තයා නෝනා බන්ධනෙකට අහුවෙලයි ඉන්නේ...."
"ඒ කිවුවේ ගුරුන්වන්සේ...?"
"මේක අද ඊයේ වෙච්ච දෙයක් නෙවෙයි, නෝනා වැඩිහිටි වෙනකොටයි කොරලා තියෙන්නේ..."
"අපිට තේරෙන්නේ නැ ගුරුන්වන්සේ..."

"මේකේ සමහර දේවල් මටත් තේරෙන්නේ නැ මහත්තයා….. මං කියන්නන් විස්තරේ..... මෙහෙමහයි
මහත්තයෝ වෙලා තියෙන්නේ… නොනාගේම මියගිය ඥාති වෙන කෙනෙක්ව අල්ලලා බන්ධනයක් කරලා තියෙනවා, ඒකි යකින්නක්... මේ යකින්නගේ විමානේ හදලා දාලා තියෙන්නේ මුහුදේ වෙරළක… ඒක හොයාගන්ඩ ඕනි... බන්ධනේ කරපු අය නෝනගේ කොටහළු උත්සවේ දවසේ යමක් කන්ඩ දීලා තියෙනවා.... එදායින් පස්සේ ඔය යකින්න නෝනගේ පස්සෙන් ඇවිත් තියෙනවා... මේ යකින්න ටිකක් බලගතු එකියක්... අනික මේක අමුතුම බන්ධනයක්... මේක කරලා තියෙන්නේ හොයා ගන්න බැරි වෙන්න... ඒ කියන්නේ මහත්තයෝ මුහුදේ වඩදිය එනකොට යකින්නට හදලා දාපු විමානේ තියෙන බෝතලේ යට වෙනවා, එතකොට යකින්නට යන්න අවසර ලැබෙනවා... හැබැයි යකින්නට වඩදියෙන් බේරෙන්න තියෙන එකම තැන නෝනගේ කරට නගින එක විතරයි, අන්න ඒක නිසා යකින්නගේ විමානෙට වඩදිය එනකොට ඒකි, නෝනා කොහේ හිටියත් ඇවිල්ලා නෝනාගේ කරටම නගිනවා... දැන් දැන් යකින්න නෝනව පාලනේ කරන්නත් අරගෙන වගෙයි.... ඔන්න ඔය සිද්ධිය තමයි මහත්යාලගේ පුතා දකින්නේ...

"එත් ඇයි ගුරුන්වන්සේ මෙහෙම දෙයක් කරලා තියෙන්නේ..."
"නොනලත් එක්ක සැහෙන වෛරයකින් මේ යකින්න ඉන්නේ... මේ යකින්න නිදහස් කරන්ඩ පුළුවනි නෝනා.... ඒකට නොනලගේ මහ ගෙදර පැත්තට ගිහිං බලන්ඩ ඕනි..... මේ යකින්නට හදපු විමානේ හදලා ඇත්තේ බෝතලේක, අපි ඒක හොයාගෙන නිදහස් කරමු... ඔය කරදර ඔක්කොම ඉවරයි එතකොට....
"අපිට ඒක හොයාගන්ඩ පුළුවන් වෙයිද ගුරුනාන්සේ...?"

"හොයලා ඉවරයි අරන් දාන්ඩ විතරයි තියෙන්නේ කියලා හිතන්ඩකෝ...."

මෙහෙම විස්තරයක් අහගත්ත මසිනා සහ නිමේෂා ගුරුන්වන්සේ විසින් සකසා දුන් තෙල් වර්ගයක් ද රැගෙන නිමේෂාගේ මහගෙදර පැත්තේ කිරීමට නියමිත කටයුත්තට දින නියම කර ගනිමින් එතැනින් පිටත් වී පැමිණ තිබුනේය....

නිමේෂා වෙත සකසා දුන් තෙල සැම දිනකම දවල් දොළහ වන විට හිසේ ගා ගන්නට නියමවී තිබුනේය... එතෙක් තත්වය සමිකාමී වී තිබු අතර නිමේෂාගේ හැසිරීමද තාවකාලිකව යහපත් වී තිබුනේය....

තවත් දින දෙකක් ගත වනවාත් සමගම කපු මහත්තයා ප්‍රමුඛ පිරිසත් මසිනා සහ නිමේෂාත් ඔවුන්ගේ හලාවත පිහිටි මහගෙදරට සේන්දු වි ඇත. ඒ නිමේෂාට වසර ගණනක් බලපෑම් කල අත්භූත බන්ධනයේ සුලමුල සොයා ගැනීමටය... පසුදා රාත්‍රියේ කපු මහත්තයාගේ සුපුරුදු ආරුඩය යොදාගනිමින් නිමේෂාගේ මහගෙදරට පිටුපස වෙරළ තිරයේ ඇති ගල්පරයක සුක්ෂමව සඟවා තිබුණු බෝතලයක් සොයා ගෙන ඇත.

එකී බෝතලය තුල මිනී අළු යැයි සැක කළහැකි අළු, සුරයක්, නියපොතු කීපයක් ,කුඩා තෙල් කුප්පියක් සහ වියළි ගිය ලේ කුප්පියක් තිබී ඇත. මෙම බෝතලය සොයා ගැනීමට පෙර නිමේෂාගේ හැසිරීම එක් වරක් වෙනස් වී ඇත.. එහිදී නිමේෂා යක්ෂාරුඩ වී ඇති අතර කපු මහත්තයා නිමේෂාගේ කෙස්වැටියෙන් අල්ලාගැනීමෙන් පසු මෙල්ල වී ඇත....

මෙම අවස්ථාවේදී මසිනා සහ කපු මහත්තයා එක් වී දත්මිටි කමින් බියකරු විලාසයෙන් සිටී නිමේෂාගෙන් ප්‍රශ්ණ කීපයක් අසා ඇත...

"කවුද උඹ....? කියපිය....."

මෙසේ කීප වරක්ම කපුමහත්තයා ඇහුවත් ඇය.... දත් විල්ලිස්සනවා ඇර කිසිවක් කියා නැත.... කපුමහත්තයා විසින් තෙලක් රැගෙන ඔළුවට ලං කරනවත් සමගම නිමේෂාගේ හඬ මතුවී ඇත... ඒ හඬ නිමේෂාගේ හඩේ ස්වරුපයට බෙහෙවින් වෙනස් එකක් වී ඇත...

"කවුද කියපිය............ තෝ... හිටපිය මම තොට......"
''හා......... මම ග්‍රේ......ටා ග්‍රේටා....... ග්‍රේ.........ටා......"
''කවුද යකෝ ග්‍රේටා කියන්නේ...... කියපිය......"

"මේකිගේ මහා එකා මට වෙනස්කන් කරා..... මාව ගණන් ගත්තේ නෑ... මම තොපිලා ඔක්කොම අරං යනවා..... මේකිගේ පින දැන් අඩුයි මට දැන් මේකි හොඳට අහුවෙනවා....
"උඹව කවුද හිර කරේ කියපන්...."

"මාව කවුරුත් හිර කරේ නැ බොල.... මම කොහමත් මුන්ගෙන් පලි ගන්ඩයි හිටියේ.... අපේ ගෙදර උන් මට ඒකට ඉඩ හදලා දුන්නා....."
"කෝ දැන් ගෙදර උන්..... උන් දන්නවද උඹ ඉන්නවා කියලා...."
"අපේ ගෙදර උන්........????? හා................ දැන් උන් මෙහෙ නැ....."
"එහෙනං කොහෙද....?"
"අපේ මහවූන් දෙන්නාම දැන් ඉන්නේ යට උන් ආයේ එන්නේ නැ......"
"කොහෙද යට කිවුවේ..... ? උන් මැරිලද......"
"මැරිලා ආයේ ඉපදිලා දැන් යට ඉන්නේ..... උන්ට ආයේ එන්න බෑ..... එහේ එවුන් උන්ව එවන්නේ නැ ...."

එදා නිමේෂා මේ කරලා තිබුණු බන්ධනයෙන් නිදහස් වුණා.

අවස්ථා සම්බන්ධය ගැන බලනවානම් මේ ග්‍රේටා කියන්නේ නිමේෂාගේ පියා ගැන බලාපොරොත්තුවෙන් ඉඳලා ජිවිතේ නැති කර ගත්ත ඥාති දුවයි.

ඇය ජිවිතේ නැති කරගෙන තිබුණේ නිමේෂාගේ පවුලත් නිමේෂාගේ පියා කෙරෙහිත් ඇති කරගත් වෛරයකින්. මේ හේතුවෙන් ඇය යකින්නක් වී ඉපදී සිටියේය.

ඇය බන්ධනයෙන් නිදහස් වීමෙන් පසු පිං රැස් කර ගැනීමට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ දෙසට ගමන් කරන ලෙසට කපුමහතා විසින් ඇයට පවසා ඇත. ද්වේශය වෛරය ආශාව විසින් මිනිසුන් මරණින් මතු කොඉතරම් නොමග යවන්නේද...?

ග්‍රේටා කියපු විදියට මේ බන්ධනය කරන්නට උදවු කල එයාගේම දෙමාපියෝ දැන් ඉන්නේ අපා ගත වෙලයි. ග්‍රේටා කියපු විදියට එයාලාට ගැලවීමක් නැතිලු.

නිමේෂා සහ මසිනා දැන් හොඳින් දැහැමිව කල් ගත කරගෙන යන්නේය. දැන් ඔවුන්ට තවත් දරුවෙකුද සිටී.
නමුත් නැන්දා සහ මසිනාගේ ගෙදර අය තවමත් මේ සිදුවීම පිළි ගන්නේ නැත. ඔවුන් තවමත් නිමේෂාව හංවඩු ගසයි. තවමත් නිමේෂා සහ මසිනා ජිවත් වන්නේ කුලී නිවසකය.

ඔබට යමක් මේ කථා පුවතින් සිතන්නට ඉතිරි වේ නම් එයට පිළිතුරු ඇත්තේ.... ධර්ම මාර්ගය තුලමයි.....! තථාගතයාණන් වහන්සේගේ ධර්මයේ අර්ථය විමසන්න.

ධර්මය රකින්නා ධර්මය විසින්ම රැකෙයි!!!

ඔබට තෙරුවන් සරණයි!!!!!!!!!

by Kavinda Rathnayake

Source: Link