මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

02 January 2019

---අණ වින කොඩි විණ - 03 - වඩදිය යකින්න---



මේ සිද්ධි මාලාව ඔබ වෙත ලියා පළ කිරීමට ප්‍රථමයෙන් පුංචි පුර්විකාවක් කිව යුතුමය... මට තව දුරටත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකන් සම්බන්ධයෙන් සමාජ ගත කිරීමට කිසිම අවශ්‍ය තාවයක් නොමැත... බුදු රජාණන් වහන්සේගේ ධර්මය අනුව මේවා චිරස්තින දේවල් නොහොත්, තිබුණත් පලක් ඇති දේවල් නොවන්නේය. නමුත් අමුනුෂ්‍යන් ඇඳ බැඳ ගනිමින් කරන ගණුදෙනු අපේ මිථ්‍යාදුෂ්ටික ඇත්තෝ තව දුරටත් කරගෙන යයි.... එය සැබෑවකි... ගුරුකමට ගුරුකමෙන්ම පිළිතුරු දීමෙන් ඒ ඒ අයගේ සංසාරික ගණුදෙනු පියවා ගෙන තව දුරටත් නිරයටම පාර කපා ගනී... තව දුරටත් මා ඔබට මෙම පුවත ගෙන හැර දක්වන්නේ මෙම කථාවේ ඇති කථා රසය පමණක් රැගෙන යනවාට වඩා...

කියවන ඔබට සිතන්නට හැකි නම් ....
මේ යන්ත්‍ර මන්ත්‍ර සිදු කරන්නේ කුමන අරමුණක් උදෙසාද...?
මෙම ගුරුකන් වලින් පසු මේවාට සම්බන්ධ වෙලා මේවා විශ්වාසයෙන්ම මේවා පිටුපස ගමන් කරන්නන්ට අවසානයේදී සිදු වන්නේ කුමක්ද...?
මේ සසරේදී අවසානයේදී ඔවුන්ට සිදු වන්නේ කුමක්ද...?
කිසිම අකටයුත්තකට සම්බන්ධ නොවන ඔබට කෙනෙකු ගුරුකම් හරහා බලපෑමක් කිරීමට තැත් කරන්නේ කුමක් නිසාද..?

අප මහා තථාගතයන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ධර්මය අනුව ඔබට ගුරුකම් ආදී දේවල් වලින් ආරක්ෂාව පිහිට ලැබෙන්නේ කෙසේද?

ඉහත මා දැක්වූ කරුණු ගැන ඔබේ අවධානය යොමුවී අප මහා තථාගතයන් දෙසු ධර්මය තුළින්ම පිළිතුරු සෙවීමේදී ඒ උතුම් ධර්මය ම අවබෝධ වී නිවන කරා යාමට අවශ්ය සියළු ශක්තිය ධෛර්ය ලැබේවායි කියන ඒක මාගේ ඒකායන ප්‍රර්ථනාවයි.... !

මේ කථා පුවත සඳහා මට කතෘ අයිතියක් අවශ්ය නැත. අපේ කාලයේ සත්‍ය සිදුවීමක් නිසා මෙම පුවතේ නිර්මාතෘ මම නොවේ, කතාවේ නිර්මාතෘ සංසාරයේ එකිනෙකා ගොඩනගා ගත් සංස්කාරයෝමය. සසරේ ඇති බියකරු භාවය ගැන වැටහී ඒ පිලිබඳ සොයා බැලීමට සහ එයින් මිදීමට කවුරුන් හෝ යොමු වේ නම් මට එය ම සැනසීමකි.

දැනට අවුරුදු තුනකට පෙර සිදු වූ සිද්ධියකි. මගේ නැණා කෙනෙකු වන නිමේෂා මෙනවියගේ ජිවිතයේ ලද සත්‍ය අත්දැකීමකි...

කෙසේ හෝ මිට තරමක් සමාන වන සිද්ධියක් අන්තර්ජාලය ඇසුරෙන් ද කියවන්නට ලැබුණි.
නිමේෂා...! නිමේෂාගේ උපන් ගම හලාවතය. හලාවත වෙරළ බඩ ප්‍රදේශයකය. ඇයගෙ මව බෞද්ධ සහ පියා කතෝලික විය. ඇය පවුලේ බාල දරුවා වූ අතර එක් වැඩිමහල් සහෝදරයෙක් වීය.
ඇයගේ පියා මව සමග විවාහ වන විට ඇයගේ පියාගේ පාර්ශවයේ සිටි එක් ඥාති දුවක් ඇගේ පියා කෙරෙහි ඇති කරගත් දැඩි කැමැත්තක් හා බලපොරෝතුවකින් සිට ඇත. නමුත් නිමේෂාගේ පියා මේ ඥාති දුවට මොනයම් ආකාරයකින් වත් මනාප වී නැත.

ඥාති දුවගේ පාර්ශවයත් මේ නිසා නිමේෂාගේ පියා සමග දැඩිව උරණ වී ඇත.
නිමේෂාගේ පියාගේත් වර්තමාන මවගේත් විවාහය කාලයත් සමග ම සිදුවිය. මේ සමඟ දැඩි කනස්සලට ලක් වුණු අර ඥාති දුව වස පානය කොට ජීවිතය තොර කරගත්තේය.

නිමේෂාගේ පවුල ටිකෙන් ටික ස්ථාවර වී දරු දෙදෙනෙකුගෙන් සමන්විත විය, ඒ නිමේෂා සහ ඇයගේ සොහොයුරා පවුලට එක්‌ විමත් සමඟය. නමුත් අර ඥාති දුවගේ පාර්ශවයේ දුක් මැසිවිලි දෝෂාරොපණ නිතරම නිමේෂලාගේ පවුල දෙසට යොමු කරන්නට වීය. අවසානයේදී එය වෛරයක් බවට පත්වී ඇත.
කාලය හෙමින් හෙමින් ගත වන්නට වීය. නිමේෂා දැන් කාගේත් සිත් ගන්නා රූමත් තරුණියකි. වරක් නොව ඕනෑම අයෙකු ඇය දෙස දෙවරක් හැරී බලයි. ඒ තරමට ඇ රූපයෙන් ඉහළය.

රූමත් යුවතියක් පිටුපස ආදරය ඉල්ලා පස්සෙන් ඒන තරුණ ගැටවුන්ගෙන් නම් නිමේෂාට අඩුවක් නොවිය. ඒ අතරින් බොහොම ජේත්තු කාරයෙකුට නිමේෂා බහ දුන්නේය.

ඒ පරම ප්‍රථම කුළුදුල් ආදරය ප්‍රෝඩාවක් කරමින් නිමේෂාගේ හිතට මහා දුක් ගින්දරක් එක් කරමින් ඒ සෙල්ලක්කාර ජේත්තු කාරයා ඇයගෙන් සැඟවී ගියේය. මේ වෙන් වීම නිමේෂාව මානසික ව්‍යාකුල තත්වයකට ඇද දැමුවේය...

මෙතැන් පටන් නිමේෂා හැම පිරිමියෙක් දිහාම බැලුවේ සැකයෙන්.

මගේ නැන්දාගේ පුතාත් ඔන්න ඔය කාලේදී රැකියාව කලේ ජාඇල ප්‍රදේශයේ තිබුණු ප්‍රසිද්ධ වෙළඳ ආයතනෙකයි. ඉතිං කොහම කොහමහරි දෙන්නා බස් ගමනා ගමනෙට පිංසිද්ධ වෙන්න කථා බස් කරලා දැන අදුනා ගෙන ප්‍රේම කතාවක් දක්වාම දුර දීග ගෙනගිල්ල දෙන්නම පවුලක් පන්සලක් වෙලයි නතර වුනේ.
මේවෙනකොට මගේ මසිනාට නව රැකියවක් ලැබිලා තිබුණා ප්‍රසිද්ධ බැංකුවක නිලධාරියෙක් විදියට. දෙදෙනා කොළඹ ප්‍රදේශයේ මුල් කාලයේදී ජිවත් වුණත් මසිනාගේ රැකියාව නිසා තමන්ගේ උපන් ගම බදුල්ල ප්‍රදේශයටම පැමිණ තමන්ගේ මහගෙදරම ඉඳලාම රාජකාරි ස්ථානයට යන්නට ඔහුට වාසනාව උදා විය.
මගේ මසිනා රැකියාවට නිවසින් බැහැර උනාට පස්සේ මේ නිවසේ රැදෙන්නේ මගේ නැන්දත් නිමේෂාත් පමණි. එකාකාරී දිවිපෙවතක් ගෙවන මේ අයට පුංචි වෙනසක් වෙන්න සලකුණු පහල වුනේ මෙයාලගේ කැදැල්ලට අළුතෙන් එකතු වෙන්න කියලා ඒන අමුතෙකුගේ මං සලකුණු පහල වීමත් සමගයි.
මගේ මසිනත් නෑනාත් අතර පුංචි පුංචි ආරවුල් තිබුනත් ඒවා එතරම් දුර දීග නොයන ඒවා බවට මට වරින් වර මගේ මසිනා පවසා තිබුණි.

ඒ හෙයින් මුල් කාලයේදී මමත් ඒ ගැන විමසීමෙන් වැලකි සිටියේය. නිමේෂාගේ කුස සති මාස අතරේ මොරා වැඩුණි. වරින් වර දෙදෙනා අතර බහින්බස් විවිධ කාරණා මත හුවමාරු වන්නට විය. කෙසේ හෝ ආතතිය නිසාත් නිමේෂා ගැබ් බරව සිටී නිසා ඇතිවූ යම් මානසික පීඩනයක් නිසා මෙසේ නිතර අඬ දබර ඇති කර ගැනීමට හේතුව බව මගේ මසිනා තරයේ විශ්වාස කලේය. අපටද එසේ නොසිතීමට තරම් වෙනත් හේතුවක්ද නොවිය.

මගේ මසිනා නිමේෂාගේ මානසික තත්වය පිලිබඳ මනෝවිද්‍යා උපදෙස් පවා ඇයටත් හොරා ලබා ගත් අවස්ථා ඇත.

මේ විස්තර කථා අතර තුරේ නිමේෂා ඇයගේ කුළුදුල් දරු ප්‍රසුතිය වෙනුවෙන් ලක ලැහැස්ති වන්නට විය.
නිමේෂාගේ කුළුදුල් දරුවා කිසිදු බාධාවකින් තොරවම මෙලොව එළිය දුටුවේය. මෙය කාගේත් සෝ සුසුම් පිටවී යාමට කරුණක් වීය. ඒ වෙන කිසිවක් නිසා නොව නිමේෂාගේ හේතු රහිත අඬ දබර කිරීම් සඳහා මුලික සාධකය ලෙස හැමෝම අනුමාන කරපු ගැබ්බර භාවයෙන් ඇය නිදහස් වීම නිසාය...
නිමේෂාගේත් මගේ මසිනාගේත් ආදරය කරුණාව මැද ඔවුන්ගේ පළමු දරුවා හැදී වැඩෙන්නට විය.
මා දිනක් මසිනා හමු වීමට ගිය අතරේ මා ඔහුගේ අත්වල වැලිමිටෙන් පහල කොටස් වල දැකපු වෙනස දැක වික්ෂිප්ත වී ගියේය.

ඔහුගේ අත් දෙකම උඩ සිට තඩි බළලෙක් පහරු ගැවා සේ සුරා තිබුණි. ඒ ඇතැම් තුවාල වියළි තිබු අතර සමහරක් තුවාල අළුත් ස්වභාවයක් ගත්තේය. කවුරුත් අහනවා වගේම මාත් ඔහුගෙන් ඒ පිලිබඳ විමසා සිටියේය.

"ඇයි අයියා මොකද මේ....?"
මදක් කල්පනා කරමින් සිටි ඔහු හඬ අවධි කලේය....
"හ්ම්ම් දන්නවනේ අර කෙස් ඒක තමයි..."

මට යමක් පැහැදිලි විය, එනම් නිමේෂාගේ මානසික ව්‍යාකුල භාවය දරු ප්‍රසුතියත් සමගම අතුරුදහන් වී නැත, එය තවත් දරුණු හැඩයක් ගෙන ඇති බවට සාක්ෂි මා ඉදිරියේම ඇත.
නිමේෂා ගැන මසිනා කියපු විදියට නම් එයා දරුවාට ආදරෙයි එත් මසිනා සහ අනිත් ගෙදර උදවියත් සමග හේතුවකින් තොරව ගැටීම් ඇති කර ගනී. මේ හේතුව නිසා වැඩි දුර ප්‍රතිකාර සඳහා නිමේෂාව මොනෝ වෛද්‍ය වරයෙක් යටතේ ප්‍රතිකාර කිරීමට ගාල්ල කරාපිටිය රෝහල වෙතත් පසුව ජයවර්ධන පුර රෝහල වෙතටත් ඉන් නොනැවතුණු තැන ඉන්දියාවේ ඇපොලෝ රෝහල දක්වාම ගෙන ගොස් මෙම මානසික ව්‍යාධිය සුවපත් කර ගැනීමට මගේ මාසිනා උත්සහ ගත්තේය.

ඉන්දියාවේදී ගත් ප්‍රතිකර්ම වලට මෝහනයට පත් කිරීමෙන් කරන ප්‍රතිකාර පවා ඇතුළත්ව තිබුණි. මෙම ප්‍රතිකාර වලින් පසු නිමේෂාගේ යම් සුවපත් වූ බවක් දැකගන්නට හැකි වී ඇත. නමුත් එය සිමා සහිත විය. මාස අටකට පමණ පසු දෙදෙනා අතර පමණක් නොව ගෙදර සිටින සැම සාමාජිකයෙක් සමගම නිමේෂා හේතු රහිතව ගැටෙන්නට විය. අභූත චෝදනා ඇය විසින් ගොණු කරන්නට විය. ඇය සැම විටම මසිනාට නගපු චෝදනාව තමයි ඔහුට අනියම් පෙම්වතියක් සිටිනවායි කීම. මා ඔහු ගැන හොඳින් දනී, කොටින්ම ජංගම දුරකථනයක් වත් ඔහු භාවිතා නොකළේය.

මේ වෙන වීට නිමේෂා කුමන හෝ ගැටුමක් ආරම්භයට පෙර ශාරීරික වශයෙන් දක්වන වෙනස්කමකි, ඒ නම් තමන්ගේ හිස අල්ලාගෙන කෑමොර දීගෙන කොණ්ඩය ලිහා ගැනීමයි.

ඇත්තටම කියනවනම් මේ බියකරු ස්වභාවයයට ඇය පත්වන්නේ බොහෝවිට රාත්‍රී කාලයේදී හෝ හවස් කාලයේදීය. මාගේ නැන්දණිය පමණක් නිවසේ රැදී සිටී අතරවාරයේ මෙය සිදු වේ නම් නැන්දණිය වහා දිව ගොස් කාමරයේ දොර වසාගෙන අගුළු ලාගෙන ඇත. නැන්දණිය පවසන ආකාරයට නම් නිමේෂාගේ ශාරීරික වෙනස් කම වෙන්නට පටන් ගෙන ඇත්තේ ඉන්දියාවේ සිට ප්‍රතිකාර ගැනීමෙන් පසුවයි. පුදුමය නම් දහවල් කාලයේදී නිමේෂා අප හමුවුවොත් බොහොම සාමාන්‍යය ලෙස කතා බහ කරයි. එත් මගේ මසිනා රාජකාරි නිමවා නිවසට පැමිණෙනවාත් සමගම නිමේෂා සුපුරුදු යක්ශාවේශයට පත්වී ගැටුම් ඇති කර ගනී.
මේ ගැටුම් නිසාම මසිනා තම ගෙදරින් වෙන්වී කුලී නිවාස කීපයකටම ගොස් පවුල් ජීවිතය ගත කිරීමට කටයුතු කලේය. එහෙත් එම ගැටුම් වල ස්වභාවයත් නිමේෂාගේ හැසිරීමේ වෙනසක් වත් සිදු නොවිය. තවත් දිනයකදී මා මසිනා හමු වන විට නිමේෂා මසිනාගේ පිට ප්‍රදේශයට පිහි පහරක් පවා එල්ල කර තිබුණේය. ඉතිං මේ ගැටුම් මැද මගේ මසිනා කෙසේ ඉවසා සිටිනවාදැයි මා දිනක් ඔහුගෙන් විමසා සිටියේය. පිළිතුර වුයේ දරුවා නිසා කැප වී සිටින බවය. දික්කසාද වීම සඳහා ද නොයෙක් ඇවිටිලි කිරීම් ඔහුට ඇසෙන්නට විය. නමුත් ඔහු ඒ සියල්ල විඳ දරාගෙන සිටියේය.

කාලය තවත් ඉදිරියට පැමිණියේය, මේ දෙදෙනාට දාව උපන් දරුවාට දැන් යන්තමින් අවුරුදු තුන සම්පුර්ණ වෙමින් තිබුනේය. පුංචි දරුවා බහ තෝරන විය යාන්තමින් පහුකොට සුරතල් වදන් තෙපලන කාලයක් විය. දැන් දැන් නිමේෂා කෝපාවිෂ්ට වන හැම අවස්ථාවකටම පෙර පුංචි පුතා යම් යම් ප්‍රතිචාර දක්වනට විය. පුංචි පුතා සැමවිටම නිමේෂාගේ හැසිරීම කලින්ම දැනගෙන පෙර සුදානමක් ලෙස ඇඳ යටට හෝ පියාගේ ඇකය වෙත දිව ගියේය. එය දැන් නිමේෂාගේ අමුතු හැසිරීමට පෙර හොඳ ස්ථිර නිමිත්තකි.
මේසේ යක්ෂාවශේෂ වන්නාක් මෙන් වෙනස් වන නිමේෂා වරේක කිලෝ තිහක් පමණ බර පැරණි රූපවාහිනී යන්ත්‍රයක් කිසිදු අපහසුවකින් තොරව උස්සා පොළවේ ගසා ඇත, ඒ වගේම කණ්නාඩි මේසයකටත් එසේම කර ඇත.

දරුවාගේ මෙම ඉරියවු ගැන එතරම් සැලකිල්ලක් දැක්වීමට මසිනා හෝ වෙනත් අයෙක් උනන්දු නොවිය. එත් එක් පෝය දිනක රාත්‍රියේදී නිමේෂාත් මසිනාත් දරුවත් කුසියට වී සිටියේදී දරුවා කලින් කිවූ පරිදිම පියාගේ ඇකය වෙත පැමිණ නිමේෂාගේ දෙසට ඇගිල්ල දිගු කොට ඇත, ඉන් සුළු මොහතකින් නිමේෂාගේ ගෝරනාඩුව පටන්ගෙන ඇත.

ඒ දෙදෙනා අතර ඒ කාලගොටියෙන් පසුව මසිනා නිකමට වගේ දරුවාගෙන් අහනවා...
"මොනාද පුතේ ඔයා අම්මා රණ්ඩු කරන්න කලින් මට පෙන්නුවේ..????"
"නැන්දී එක්කෙනෙක්.....!!!!!!"
මසිනා තව දුරටත් දරුවාගෙන් යමක් විමසා ඇත....
"කවුද පුතේ නැන්දා...? කෝ කොහෙද...?"
"එනවා... එනවා.... එයා එනවා අම්මිට කරදර කරනවා....."
දරුවා බියට පත්නොවන ආකාරයෙන් මසිනා තවත් විස්තර අසා ඇත.... කාලයක් සමග මේ වෙන්නේ කුමකින් කුමක් දෝ කියා ඔහුට සිතාගැනීමට නොහැකි වී තිබුණි....

"කවුද පුතේ එන්නේ... කොහෙන්ද එන්නේ...."
"එයා එනවා… එයා යටින් එනවා..... ඇවිල්ලා අම්මිගේ ඔළුවෙන් අල්ලනවා"
දරුවාගේ හැසිරිමෙනුත් නිමේෂාගේ හැසිරිමෙනුත් තමන්ට නොපෙනෙන තවත් කාගේ හෝ බලපෑමක් තියෙන බව මසිනා හෙමින් හෙමින් තේරුම් ගන්නට විය.
ඉතින් ඔන්න ඔය දවස් වල මමත් අර අපේ කපුමහත්තයත් අතර හොඳටම ආශ්‍රය තිබුණු කාලේ. මට මේ සිද්ධිය ගැන මසිනා දවසක කිවුවා. එහෙම කිවුවාට පස්සේ මම ඔහුට යෝජනාවක් කලා අර කපු මහත්තයා හම්බුවෙලා මේ ගැන කියලා බලන්න කියලා.
ඊට අනුව මගේ මසිනා නිමේෂාටත් කරුණු පැහැදිලි කරලා දීලා කට්ටියම වේලාවක් යොදාගෙන කපුමහත්තයා හම්බවෙන්න ගිහිං තිබුණා.

දේවාලෙට පිවිසීමෙන් අනතුරුව තමන්ට නූහුරු අමුතුම කතාවක් මේ දෙපළට අසා දැන ගන්නට ලැබුණා......!
"මහත්තයා නෝනා බන්ධනෙකට අහුවෙලයි ඉන්නේ...."
"ඒ කිවුවේ ගුරුන්වන්සේ...?"
"මේක අද ඊයේ වෙච්ච දෙයක් නෙවෙයි, නෝනා වැඩිහිටි වෙනකොටයි කොරලා තියෙන්නේ..."
"අපිට තේරෙන්නේ නැ ගුරුන්වන්සේ..."

"මේකේ සමහර දේවල් මටත් තේරෙන්නේ නැ මහත්තයා….. මං කියන්නන් විස්තරේ..... මෙහෙමහයි
මහත්තයෝ වෙලා තියෙන්නේ… නොනාගේම මියගිය ඥාති වෙන කෙනෙක්ව අල්ලලා බන්ධනයක් කරලා තියෙනවා, ඒකි යකින්නක්... මේ යකින්නගේ විමානේ හදලා දාලා තියෙන්නේ මුහුදේ වෙරළක… ඒක හොයාගන්ඩ ඕනි... බන්ධනේ කරපු අය නෝනගේ කොටහළු උත්සවේ දවසේ යමක් කන්ඩ දීලා තියෙනවා.... එදායින් පස්සේ ඔය යකින්න නෝනගේ පස්සෙන් ඇවිත් තියෙනවා... මේ යකින්න ටිකක් බලගතු එකියක්... අනික මේක අමුතුම බන්ධනයක්... මේක කරලා තියෙන්නේ හොයා ගන්න බැරි වෙන්න... ඒ කියන්නේ මහත්තයෝ මුහුදේ වඩදිය එනකොට යකින්නට හදලා දාපු විමානේ තියෙන බෝතලේ යට වෙනවා, එතකොට යකින්නට යන්න අවසර ලැබෙනවා... හැබැයි යකින්නට වඩදියෙන් බේරෙන්න තියෙන එකම තැන නෝනගේ කරට නගින එක විතරයි, අන්න ඒක නිසා යකින්නගේ විමානෙට වඩදිය එනකොට ඒකි, නෝනා කොහේ හිටියත් ඇවිල්ලා නෝනාගේ කරටම නගිනවා... දැන් දැන් යකින්න නෝනව පාලනේ කරන්නත් අරගෙන වගෙයි.... ඔන්න ඔය සිද්ධිය තමයි මහත්යාලගේ පුතා දකින්නේ...

"එත් ඇයි ගුරුන්වන්සේ මෙහෙම දෙයක් කරලා තියෙන්නේ..."
"නොනලත් එක්ක සැහෙන වෛරයකින් මේ යකින්න ඉන්නේ... මේ යකින්න නිදහස් කරන්ඩ පුළුවනි නෝනා.... ඒකට නොනලගේ මහ ගෙදර පැත්තට ගිහිං බලන්ඩ ඕනි..... මේ යකින්නට හදපු විමානේ හදලා ඇත්තේ බෝතලේක, අපි ඒක හොයාගෙන නිදහස් කරමු... ඔය කරදර ඔක්කොම ඉවරයි එතකොට....
"අපිට ඒක හොයාගන්ඩ පුළුවන් වෙයිද ගුරුනාන්සේ...?"

"හොයලා ඉවරයි අරන් දාන්ඩ විතරයි තියෙන්නේ කියලා හිතන්ඩකෝ...."

මෙහෙම විස්තරයක් අහගත්ත මසිනා සහ නිමේෂා ගුරුන්වන්සේ විසින් සකසා දුන් තෙල් වර්ගයක් ද රැගෙන නිමේෂාගේ මහගෙදර පැත්තේ කිරීමට නියමිත කටයුත්තට දින නියම කර ගනිමින් එතැනින් පිටත් වී පැමිණ තිබුනේය....

නිමේෂා වෙත සකසා දුන් තෙල සැම දිනකම දවල් දොළහ වන විට හිසේ ගා ගන්නට නියමවී තිබුනේය... එතෙක් තත්වය සමිකාමී වී තිබු අතර නිමේෂාගේ හැසිරීමද තාවකාලිකව යහපත් වී තිබුනේය....

තවත් දින දෙකක් ගත වනවාත් සමගම කපු මහත්තයා ප්‍රමුඛ පිරිසත් මසිනා සහ නිමේෂාත් ඔවුන්ගේ හලාවත පිහිටි මහගෙදරට සේන්දු වි ඇත. ඒ නිමේෂාට වසර ගණනක් බලපෑම් කල අත්භූත බන්ධනයේ සුලමුල සොයා ගැනීමටය... පසුදා රාත්‍රියේ කපු මහත්තයාගේ සුපුරුදු ආරුඩය යොදාගනිමින් නිමේෂාගේ මහගෙදරට පිටුපස වෙරළ තිරයේ ඇති ගල්පරයක සුක්ෂමව සඟවා තිබුණු බෝතලයක් සොයා ගෙන ඇත.

එකී බෝතලය තුල මිනී අළු යැයි සැක කළහැකි අළු, සුරයක්, නියපොතු කීපයක් ,කුඩා තෙල් කුප්පියක් සහ වියළි ගිය ලේ කුප්පියක් තිබී ඇත. මෙම බෝතලය සොයා ගැනීමට පෙර නිමේෂාගේ හැසිරීම එක් වරක් වෙනස් වී ඇත.. එහිදී නිමේෂා යක්ෂාරුඩ වී ඇති අතර කපු මහත්තයා නිමේෂාගේ කෙස්වැටියෙන් අල්ලාගැනීමෙන් පසු මෙල්ල වී ඇත....

මෙම අවස්ථාවේදී මසිනා සහ කපු මහත්තයා එක් වී දත්මිටි කමින් බියකරු විලාසයෙන් සිටී නිමේෂාගෙන් ප්‍රශ්ණ කීපයක් අසා ඇත...

"කවුද උඹ....? කියපිය....."

මෙසේ කීප වරක්ම කපුමහත්තයා ඇහුවත් ඇය.... දත් විල්ලිස්සනවා ඇර කිසිවක් කියා නැත.... කපුමහත්තයා විසින් තෙලක් රැගෙන ඔළුවට ලං කරනවත් සමගම නිමේෂාගේ හඬ මතුවී ඇත... ඒ හඬ නිමේෂාගේ හඩේ ස්වරුපයට බෙහෙවින් වෙනස් එකක් වී ඇත...

"කවුද කියපිය............ තෝ... හිටපිය මම තොට......"
''හා......... මම ග්‍රේ......ටා ග්‍රේටා....... ග්‍රේ.........ටා......"
''කවුද යකෝ ග්‍රේටා කියන්නේ...... කියපිය......"

"මේකිගේ මහා එකා මට වෙනස්කන් කරා..... මාව ගණන් ගත්තේ නෑ... මම තොපිලා ඔක්කොම අරං යනවා..... මේකිගේ පින දැන් අඩුයි මට දැන් මේකි හොඳට අහුවෙනවා....
"උඹව කවුද හිර කරේ කියපන්...."

"මාව කවුරුත් හිර කරේ නැ බොල.... මම කොහමත් මුන්ගෙන් පලි ගන්ඩයි හිටියේ.... අපේ ගෙදර උන් මට ඒකට ඉඩ හදලා දුන්නා....."
"කෝ දැන් ගෙදර උන්..... උන් දන්නවද උඹ ඉන්නවා කියලා...."
"අපේ ගෙදර උන්........????? හා................ දැන් උන් මෙහෙ නැ....."
"එහෙනං කොහෙද....?"
"අපේ මහවූන් දෙන්නාම දැන් ඉන්නේ යට උන් ආයේ එන්නේ නැ......"
"කොහෙද යට කිවුවේ..... ? උන් මැරිලද......"
"මැරිලා ආයේ ඉපදිලා දැන් යට ඉන්නේ..... උන්ට ආයේ එන්න බෑ..... එහේ එවුන් උන්ව එවන්නේ නැ ...."

එදා නිමේෂා මේ කරලා තිබුණු බන්ධනයෙන් නිදහස් වුණා.

අවස්ථා සම්බන්ධය ගැන බලනවානම් මේ ග්‍රේටා කියන්නේ නිමේෂාගේ පියා ගැන බලාපොරොත්තුවෙන් ඉඳලා ජිවිතේ නැති කර ගත්ත ඥාති දුවයි.

ඇය ජිවිතේ නැති කරගෙන තිබුණේ නිමේෂාගේ පවුලත් නිමේෂාගේ පියා කෙරෙහිත් ඇති කරගත් වෛරයකින්. මේ හේතුවෙන් ඇය යකින්නක් වී ඉපදී සිටියේය.

ඇය බන්ධනයෙන් නිදහස් වීමෙන් පසු පිං රැස් කර ගැනීමට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ දෙසට ගමන් කරන ලෙසට කපුමහතා විසින් ඇයට පවසා ඇත. ද්වේශය වෛරය ආශාව විසින් මිනිසුන් මරණින් මතු කොඉතරම් නොමග යවන්නේද...?

ග්‍රේටා කියපු විදියට මේ බන්ධනය කරන්නට උදවු කල එයාගේම දෙමාපියෝ දැන් ඉන්නේ අපා ගත වෙලයි. ග්‍රේටා කියපු විදියට එයාලාට ගැලවීමක් නැතිලු.

නිමේෂා සහ මසිනා දැන් හොඳින් දැහැමිව කල් ගත කරගෙන යන්නේය. දැන් ඔවුන්ට තවත් දරුවෙකුද සිටී.
නමුත් නැන්දා සහ මසිනාගේ ගෙදර අය තවමත් මේ සිදුවීම පිළි ගන්නේ නැත. ඔවුන් තවමත් නිමේෂාව හංවඩු ගසයි. තවමත් නිමේෂා සහ මසිනා ජිවත් වන්නේ කුලී නිවසකය.

ඔබට යමක් මේ කථා පුවතින් සිතන්නට ඉතිරි වේ නම් එයට පිළිතුරු ඇත්තේ.... ධර්ම මාර්ගය තුලමයි.....! තථාගතයාණන් වහන්සේගේ ධර්මයේ අර්ථය විමසන්න.

ධර්මය රකින්නා ධර්මය විසින්ම රැකෙයි!!!

ඔබට තෙරුවන් සරණයි!!!!!!!!!

by Kavinda Rathnayake

Source: Link

No comments:

Post a Comment