මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

---යාය හතර---




මේ ලොකු උන්නැහේ ...
හීතලේ සහ හිරිකඩ වැස්සේ වාහනයෙන් පිටට බසින්නට ඇතිවුණු කම්මැලි කම නිසාම මම වාහනයේ සිටම වයෝවෘධ මිනිසාට ආමන්ත්‍රණය කලෙමි.
පිළිතුරක් නැත ..
ලොකු උන්නැහේ ...
කන් ඇසීම අඩු අයෙකු විය යුතුය ...

ශික් ...
මම සිතින් බනිමින් වාහනයෙන් බැස වසා දමන අද කුඩා තේ කඩයක් මෙන් පෙනුන සෙවන යට සිටි මිනිසාට කිට්ටු වුනෙමි ..
මහත්තයා .. මට යාය හතර කුරුඳු ගමට යන්න පාර පොඩ්ඩක් කියනවද ..
මම ටිකක් උස් හඬින් ඇසීමි ..
මිනිසාගේ වයස අවුරුදු අසුවක් පමණ වන්නට ඇත. දුර්වර්ණ වූ කහට බැඳුනු දත් දේපලක් දක්වා ඔහු ඉතා අවිහිංසක සිනාවක් පෑවේය ..
මාතියා .. කොහාට යනවාද ...
යාය හතර .. ගමට ..
මිනිසා මඳක් කල්පනා කරන්නට යෙදුනේය ...
මාතියා ශෑහෙන්න දුර ඉඳල එනවා පාටයි ..
ඔව් ... මීගමුවේ ...
අපරාදේ තමා .. කොලුවා කඩේ වැහුවා නොව ... මාතිය්ට මේ හීතලේ කහට එකක් වත් හදා දෙන්න විදිහක් නැහැ නොවැ ..

මට මේ ආගන්තුක මිනිසාගේ වදන් වලට පුදුම සිතිනි ...
මාමා .. මට පොඩ්ඩක් පාර කියන්න යාය හතර ගමට යන්න ඕනේ ..
තව දුර යන්න තිනවා මාතියා ... ම්ම්ම් මිදුම වැඩි වෙන්න ඉස්සර දේව මෑණි පීටෙන් යාගන්ඩ .. ඕම කෙලින් පාරේ අම්මා කෝවිල මුණ ගේනකන් ගිහින් වමට හැරිලා යන්න ...
එක්වරම මුළු පලාතම දෙවනත් කරමින් මහා හඬින් අකුණක් පුපුරා ගියේ වැස්ස තද කරමිනි ...
ඩිංගිත්තක් ඉන්න මාතියා ...
මිනිසා කිවේ මා වැස්සේම එලියට බහින්න සැරසෙන අයුරු දැකීමෙනි...
මාතිය මේක ගන්න ...
මොකද්ද මේ ..
මිනිසා තමා අත තිබු මල්ලකින් ගත් අඩක් මැලවුණු සුදු මල් වලින් ගොතන ලද මාලයක් මා අතට දුන්නේය ... දේව මෑණි ආරක්ෂාව ලැබෙනවා මාතියා මේක යමින් ගමන රුපෙට දාන යන්න ..
මම අමුත්තාට ස්තුති කර මල් මාලය අතට ගතිමි ..

ගුගුරා හැලෙන කඳුකර අහස යට වාහනයක් හෝ ගමන් කිරීම හිතට බිය දනවන කරුණකි. මිනිස් පුළුටක් හෝ දක්නට නැති බැවුම් ගහන මාර්ගය දිගේ යනවිට දේව මෑණි ආරක්ෂාව ලැබෙනවා මාතියා මේක යමින් ගමන රුපෙට දාන යන්න ..
වාහනය නවත්වා යාමට සුදුසු තැනක් බැලීමෙහි පලක් නැත මන්දයත් හුදෙකලා මාර්ගයේ වෙනත් වාහනයක් එන ලකුණක් තබා මිනිස් පුළුටක් හෝ දක්නට නොලැබෙන බැවිනි.
මහා වරුසාවේ බැසගත් මම පාලුවට ගොස් තිබු ගරාවැටෙන කෝවිල වෙත දිව්වෙමි.
සැහෙන තරම් පැරණි ගොඩනැගිල්ලක් වූ එය සැහෙන කාලයකින් කාගේවත් නඩත්තුවට ලක් වූ බවක් පෙනෙන්නට නොතිබීම මගේ පුදුමයට කරුණක් විය. දෙවියොත් බංකොලොත් ද මන්දා .. මට ඉබේටම මෙන් කියවිණි ...

එක්වරම මහා හඬින් තවත් හෙනයක් පුපුරා ගියේ මට අනතුරු අඟවන්නට මෙනි.
එක පසෙක තිබු සිමෙන්ති ආවරණයකින් වට කරන ලද දේව පිළිමය මත පරවී ගිය මල් මාලා කිහිපයකි. සායම් සේදී ගිය නිල් පැහැය සහ ලේ රතු පාටින් සායම් කරන ලද එලියට නෙරන සේ අඹන ලද දිව දේව රුපයට එක කලේ භයානක පෙනුමකි. කාන්තා දේව ප්‍රතිමාවක් වූ හෙයින් දේව මෑණියන්ගේ ආරක්ෂාවයි යනුවෙන් මහල්ලා පවසන්නට ඇත්තේ මේ ගැන වියයුතු යයි මම සිතිමි ... එකත් එකටම කාලි මෑණියන් වියයුතුය. ලේ වැගිරෙන එක අතකින් ගත ත්‍රිශුලය .. අනික් අතින් ගත මිනි හිස් , ගෙල බැඳී මිනි ඔලු මාලය නිසැකවම මේ නම් මහා භද්‍රකාලි මෑණියන් බව සිතට හඬගා කියද්දී බිය සම්ප්‍රයුක්ත ගෞරවයකින් නොදනිම මාගේ සිත පෙළෙන්නට විය ...

දේව මෑණි පිළිමයට මල් මාලාව පළඳවා මම සිතින් පැතුවේ කුමක් ද යන්න ගැන මට නිනව්වක් නැත. ඇඟ හිල් කරවන තරම් වේදනාකාරීව වැටෙන වැහි පොද වලින් පිඩා විඳිමින් මම නැවත වාහනයට දිව්වෙමි. පාන්දර තුනට පමණ ආරම්භ කල ගමන සෑහෙන තරම් උදේ වෙද්දී ගමනාන්තයට ළඟාවීම ගැන මට දැනුනේ සතුටකි. සැහෙන තරම් දාස් වලට බර දී තිබු නිදිමත ගතිය අයිස් මෙන් හිතල වැහි පොද වලින් සැහෙන තරම් දුරට සේදී ගොස් තිබීම මගේ හිතට සහනයක් වුයේ නොදන්නා ඉසව්වක නිදිමරගාතේ වාහන එලවන්නට ගොස් කුමන මරාලයක් හිසට පාත් වේදැයි කල්පනා වූ නිසාවෙනි.

මහත්තයෝ යාය හතර කියන්නේ මේ හරියටද ..
ඔව් .. මේ මහත්තයා කොහාට යන්නද ..
පය ගණනාවකට පසු මහා වරුසාවේ තෙමිගෙන ගමන් කරනා ගැමියෙකු දැකීමෙන් මම උද්දාමයට පත්වීමි ...
කුරුඳුගම ඉස්පිරිතාලෙට යන්න ඕනේ ..
ආ තව ටික දුරයි යන්න තියෙන්නේ. ඔහොමම ඉස්සරහට යනන මහත්තයා කොහෙන්වත් හැරෙන්න එපා ..
ලංකා සිතියමේ වත් සොයාගන්නට නොහැකි තුත්තූ කුඩියක ඉස්පිරිතාලේකට ලැබුන පත්වීම මම ඉතා අසීරුවෙන් විඳ ගතිමි.

මේක තමා දොස්තර මහත්තයෝ අපේ ඉස්පිරිතාලේ ...
ම්ම්ම් ... සැහෙන තරම් හදල ගන්න වේවි නේද ..
අනේ ඔව් සර් ..
කපිල ඉතා බයාදු ලෙස මා දෙස බලා සිටියේය.
තව කවුද ඉන්නේ ..
මුරටයි වැඩ ඔක්කොටමයි පිරිමි නම් ඉන්නේ සර් මමයි සෙල්වමුයි පියරත්න අයියයි විතරයි ...මිසීලා හයදෙනෙක් හිටියා දැන් ඉන්නේ හතර දෙනයි අනිත් අයත් මාරු වීම් හදාගෙන ගියා. අපි තමා සර් මාරුවෙන් මාරුවට තියෙන වැඩක් කරන්නේ.
දොස්තර මහත්තුරු ..
දැන් මාසයක් විතර යනකන් සැටි දෙහෙකට වතාවක් තෝර මන්ඩියේ ඉස්පිරිතාලේ දොස්තර මහත්තයා මෙහාටත් එන්න පටන් ගත්තා. එකම ලොකු දෙයක් නෙව මහත්තයෝ. ඇවිත් නැවතිලා බේත් ගන්න ලෙඩ්ඩු බලල යනවා අපරාදේ කියන්න බැහැ දෙයියෙක් වගේ මනුස්සය
කපිල බොහෝ වෙලා මාත් සමඟ කිවේ කාලාන්තරයකින් බලධාරියෙකුට කියාගන්නට නොහැකි වූ දුක් ගැහැට ය ..
මේ කාමරේ මොකද්ද ..
මේ තමා සර් මෝචරිය ...
සුද්ද කරලා නැහැ නේද සෑහෙන දවසකින් ...
නෑ සර් ... මේ මේ ..
බයද කපිල ..
මම සිනාසෙමින් ඇසුවෙමි ...
කපිල සිනා සුනා පමණි ..
මහත්තයා හොඳ වෙලාවට පාන්දර පිටත් උනේ ..
කපිල කතාව වෙනතකට හරවන්නට සමත් විය.
ඒ ඇයි ..
දැන් තාම හවස් වෙලත් නැතුව ටිකක් ගිහින් බලන්නකෝ මහත්තය එලිය කොහොමද කියල ... ඊයේ ඉඳල මහා මුසල වැහි අන්ධකාරයක් තියෙන්නේ .. මොන නස්පැත්තියක් අතළඟ එනවද මන්දා

කෙළවරක පිහිටා තිබු මගේ නවාතැනේ තත්වයද රෝහල්ලේ මෝචරියට සමාන වන්නේ යයි මට හැඟිනි. මකුළුවන්ගේ සහ කැරපොත්තන් , හුන් වැනි කෘමි සතුන් ගේ විනා කාලාන්තරයකින් එය වෛද්‍යවරයෙකුගේ නවාතැනක් වී නොතිබිණ. සැහෙන තරම් වෙහෙසක් ගෙන සොයාගත් පරණ කොස්සක් සහ රෙදි කඩමාල්ලක් ගෙන එය මනුස වාසයට සුදුසු වන අන්දමට සකසා ගන්නා විට සැහෙන තරම් සවස් වී තිබිණි.
සර් මොකට මහන්සි උනාද තනියෙම. මට කිව්වා නම් මම උදව්වට එනවා නොව ..
හොල්මනක් සේ කපිල පොලවට නොදැනෙන්නට අඩි තබා කෙසේ ආවාදැයි වත් මම නොදනිමි
නෑ ඒකට කමක් නැහැ කපිල ..
කෑම එක කන්න සර් ..
පින් .. බඩගින්නක් තිබ්බ සෑහෙන ..
මම එහෙනම් යන්නම් සර් ... රෑ වෙන්න ඉස්සර සෙල්වම් ඒවි ..
දැඩි කුසගින්නේ සිටි මම කපිල යන දෙසවත් නොබලාම ඔහු ගෙනවිත් දුන් කෑම පාර්සලය ලිහා බැලුවේ අධික කුසගින්නක් දැනුන නිසාමය ..
තුහ් ... ජරාව ...
කෑම එක පිළුණු වී තිබුණි .. මම බත් පත ඉවත ලා කපිලට සිතින් බනිමින් වතුර ජෝගුවක් පමණ බීගෙන බීගෙන ගියෙමි ...

සෙල්වම් ගේ සලකුණක් හෝ නැත ...
අලුත් වෛද්යාවරයාගේ පැමිණීම නොදත් හෙදියන් ද පිටව ගොසිනි .. සැහෙන තරම් වෙනස්කම් රැසක් සිදු කළයුතුව ඇත. එතරම් අසාධ්‍ය තත්වයේ පසුවූ රෝගීන් කිසිවෙකුත් නොවූ අතර උණ රෝගයෙන් පීඩා විඳිමින් සිටියවුන් දෙදෙනෙකු වෙත ගිය මම ඔවුන්ගේ සුවදුක් විමසා සිටියෙමි ...
වෙලාව ගතවී ගොස් නොදැනීම සැහෙන තරම් කලුවරකින් මුළු රෝහල් භූමියම වෙලාගෙන ඇත. සෙල්වම් මොකා උනත් මම ඔහුට සිතින් සාප කරමින් අද අඳුරේ ඇත පත ගාගෙන ගොස් මලානික ආලෝකයක් නිකුත් වූ විදුලි බුබුලි කිහිපයක් දල්විමි ..මෝචරිය .. අඳුරු ගුහාවක් මෙන් රෝහල් ගොඩනැගිල්ලේ එක පසෙක පෙනෙන්නට තිබෙද්දී මට හොරා සිතට චකිතයක් දැනෙන්නට විය.

එක්වරම ඇසුණු වාහනයක හැදින් මම තිගැස්සුනෙමි. වාහනයක් යනු මෙතෙක් ලැබූ අත්දැකීම් අනුව මේ පළාතේ අත්භූත වස්තුවකි මන්දයත් හුදෙකලා වූ මේ බුමියේ මිනිස් පුළුටක් හෝ දැකගන්නට කිලෝමීටර ගණනාවක් දුරට ආ මා හට යතුරු පදියාක් හෝ පැදගෙන යන මිනිසෙකු දැකගන්නට නොලැබුණු නිසාවෙනි.
මේ කවුරුත් නැද්දෝ ...
කවුද ...
මහත්තයා ...
මම මෙහෙ ඩොක්ටර් ...කාව හම්බුවෙන්නද ...
ඉදිරියෙහි සිටගෙන සිටි තරුණ විය මඳක් ඉක්මවා ගිය මිනිසා පුදුමයෙන් මෙන් ම දෙස බලා සිටියේය.
සමාවෙන්න ඕනේ සර් ..මේ ඇටෙන්ඩන්ට් මහත්තෙක් එහෙම නැද්ද මෙහෙ ..
මොකද්ද ඔබතුමාගේ කාරනාව ... සෙල්වම් නම් ඇවිත් නැහැ ..
කිරි අප්පට බල්ලා පැනපි ...
අමුත්තා නළල රැලි කර ගත්තේය ..
මෝචරියට බාර දෙන්න මිනියක් තියෙනවා මහත්තයෝ ...
මෙහෙ මෝචරියට ..
මම විමතියට පත්වුයේ මෙම අබලන් රෝහලේ මිනි කාමරය තවමත් ප්‍රකෘති තත්වයෙන් පවතින්නේද යන්න පිළිබඳව සිතීමෙනි
යාය හතර මල් සාලාවේ ඇඩ්ඩින් ගේ අම්ම අන්තරා වෙලා මිනිහ ගෝලයෝ එක්ක මල් සාලාව වහල ගමේ ගොහින්ලු

ඉතින් ..
එමේ මිනිය මල් සාලාවට දෙන්න විදිහකුත් නැහැ .. ඉතින් මෙහෙ ඉස්පිරිතාලෙට භාර දෙන්නය කිව්වා ..
කවුද කිව්වේ , මේ මනුස්සය කගේ කවුද ..
අනේ මම නම් ඒවා දන්නේ නැහැ දොස්තර මහත්තයෝ .. මම මේ කුලී වෑන් රස්සාව කොරන්නේ ..
හරි මම අහන්නේ තමුන්ට මේක මෙහාට ගෙනියන්න කිව්වේ කවුද ..
මේ මනුස්සයාගේ පවුලම තමා සර් ...
ඉතින් මේක ගෙදර මිනිස්සු බලාගන්න ඕනේ එකක්නේ ..
කොහේ බලන්නද සර් මම මේ මිනිය පටවාගෙන හතක්ම ගානක් එනගමන් ...
මිනිසාගේ පිළිතුරු වල යම් පැටලවිලි සහගත බවක් මට දැනේ .. එහෙත් පුදුමාකාර හුදෙකලා ගම්මානයක අද්භූත මිනිසුන්ගේ සිතුම් පතු ගති පැවතුම් මට තවමත් නොවැටහේ
මම අහන්නේ මේ මිනිය මොචරියේ දාන්නේ ඇයි ... මරණ පරීක්ෂණයක් තියන්න ඕනේ නේද ..
මොන පරීක්ෂණද මහත්තයෝ .. මේ අහලගම් හතක වෙන ඉස්පිරිතලෙකුත් නැහැ , මෝචරියකුත් නැහැ .. කොටින්ම කිව්වොත් ආයේ ඔහිය පැත්තට යනකන් පොලිසියකුත් නැහැ ..
සැබෑවකි ...

හරි දැන් ඔය මහත්තය මොකද්ද කරන්න යන්නේ ..
මේක මම මොචරියට දාල යන්නම් මහත්තයෝ .. කොහොමහරි හෙට උදේම්ම මම මල් සාලාවේ ගෝලය එක්කගෙන එන්නම් මිනිය එම්බාම් කොරන්න ගෙනියන්න එපයි ..
මාගෙන් පිළිතුරක් ලැබෙන්නට ප්‍රථම ඔහු දිව ගොස් කුඩා වෑන් රථයක් බඳු වාහනයේ දොර විවර කළේය ...
සෑහෙන තරම් තද දුර්ගන්ධයක් මගේ නාස් පුඩු විනිවිද ගියේ මට සිටගෙන සිටීම පවා අපහසු කරවමිනි ...
මේක සැහෙන්න නරක වෙලානේ මනුස්සයෝ ..
නෑ නෑ මහත්තයෝ .. ඔය ඉතින් එක එක ශරීර වල හැටි නොව ... මහත්තය ඉන්න මම මේක මිනි කාමරයට දාන්නම .. මහත්තය පැත්තකට වෙන්න ...
මට කිසිවක් පවසන්නට ඉඩක් නොතබාම ඔහු විශාල රෙදි කඩමාල්ලක ඔතන ලද මල සිරුර යයි කිවහැකි පොදියක් වාහනයෙන් ගොඩට බා ගත්තේය ..
ඔහොම ඉන්නවා මනුස්සයෝ , මොනවා උනත් මැරිලා තියෙන්නේ මනුස්සයෙක්නේ ..
අධික දුර්ගන්ධය නොතකා මම එක කෙලවරකින් පොදිය ඔසවා ගත්තෙමි ..
අනේ ලොකු උදව්වක් මහත්තයෝ .. මහත්තය වගේ කෙනෙකුගෙන් කොහොම කටක් ඇරලා ඉල්ලන්නද මේක අදින්න උදව් වෙන්න කියල ..

රාජකාරියේ පළමු දිනය සැහෙන තරම් දිගු වන බව මට දැනේ .. කපිලට හෝ සෙල්වම් නැමැත්තා අමතන්නට දුරකථන අංකයක් හෝ නොමැත ..
සියල්ලම අතහැර දමා ආපසු මගේ නවාතැන වෙත ගොස් දවසේ සියලු වෙහෙස නිමාකර දමා නිදගන්නටද මට සිත්වේ. එහෙත් වගකිවයුතු නිලධරයෙකු වශයෙන් මට කලහැක්කක්ද නොමැත.
මම එකතැන සිට ගෙන ඉන්නට නොහැකි කමින් වාට්ටුව දෙසට ගියෙමි .. වෙලාව මධ්‍යම රාත්‍රියට ආසන්නය දැන් නම් සෙල්වම් තමා සෙල්වම්ගේ බල්ලා වත් මේ පැත්ත පලාතක නොඑනා බව මට විශ්වාසය. කෙදිනක හෝ මුණගැසී නැති මේ මිනිසා වෙනුවෙන් මගේ හිතේ ඇතිවුයේ දැඩි කෝපයකි.
ලෙඩුන් ගේ වාට්ටු පැත්තට ම ඇවිද ගියේ කළහැකි අන් යමක් නොවූ නිසාවෙනි. මිනිසුන්ගේ මල මිනි , සැරව , රුධිරය ගැවසෙන තැන වල හුදෙකලා වූ විට ඇතිවන අනිසි ඵලවිපාක ගැන මා අසා තිබුනේ වෛද්‍ය විද්‍යාලයේ සිටමය. එහෙත් මිත්‍යාව පසෙක ලා විද්‍යාව කරපින්නාගත් මට හිතට බියක් දැනුනේ නැති තරම්ම යයි කීම නිවැරදිය ..
ශික් .. මේ ලබ්බ ඕෆ් උනානේ ....
මට අවශ්‍ය වුයේ ජංගම දුරකතනයේ වූ මහා පිරිත වාදනය කරන්නටය .. ඉන් කැළඹුණු හිත මධක් හෝ නිවාගන්නට සිතුනු මුත් එය නිෂ්ඵල වුයේ තාක්ෂනය මට එදිරි වූ නිසාවෙනි ..
මෝචරිය ...
තවමත් අන්දකාර ගුහාවක් සේ දිස්වේ ...
ම්ම්ම් .. උහ්ම් .... මහත්තයා ..

කිසිවෙකු හෝ උගුර පාදා මට කතාකරන හඬ ඇසි මම උද විසිවී ගියෙමි ...
අද දවසට මගේ හෘද ස්පන්ධන වේගය ඉක්මවා ගිය දෙවැනි අවස්තාව මෙය විය ..
මම ආපසු හරි බලන කල මා ඉදිරියෙහි වුයේ බොත්තම් කිහිපයක් නොපියවිම නිසා නිරාවරණය වූ පපුවක් සහ අවුල් වූ යන්තමින් සුදු වූ කෙස් සහිත නළල මත මොට්ටුවක් වැනි යමක් සටහන් වුනු මිනිසෙකි .. ඔහු තවමත් තරුණ වියේ පසු වන්නෙකි යයි සිතිය හැකි දේහ විලාසයකින් යුතු වූ අතර ද්‍රවිඩ ජාතිකයෙකු යයි කිව හැකි නළලේ වූ පාට අළු සටහන නිසාවෙන් මේ සෙල්වම් වන්නට ඇතැයි මම අනුමාන කලෙමි ...
තමුන් සෙල්වම් ද ...
ඔහු පිළිතුරක් නොදී මදෙස එක එල්ලේම බලා සිටියේය ...
තමුසේ ද සෙල්වම් කියන්නේ ...
මම එවර තරමක් ආවේගශීලිව ඇසුවෙමි ..
ඔව් .. මම තමා ...
සෙල්වම් බැරැන්ඩි හඬකින් පිළිතුරු දුන්නේය ..
කියාද බලාව මනුස්සයෝ වෙලාව දැන් .. තමුසෙලා මෙහෙමද රස්සාව කරන්නේ .. දොස්තරලද ඒ පාර වාට්ටු මුර කරන්න ඕනේ ...

යලිත් සෙල්වම් කිසිවක් නොකිය ආපසු හැරුනේ යමක් මුමුනමිනි ...
සිතට දැනෙන හැඟීම් වල ප්‍රභලත්වය අපගේ මනුෂ්‍ය ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වය අභිබවා යන්නේදැයි මම නොදනිමි ... හිත වෙලා ගත කෝපය නිසාවෙන් වියයුතුය එතෙක් වෙලා නොදැනුන දැඩි කුණු ගඳක් මට නහයට දැනෙන්නට විය .. සතෙකු මැරී කුණුවන කලෙක මෙන් දැනෙන දැඩි දුඟද මිට මොහොතකට පෙර ගෙනා මලමිනියෙන් නැගෙන ගඳට සමාන විය ...
සෙල්වම් අර මෝචරිය ...
මට පිටුපා යන සෙල්වම් දෙස බලා සිටි මගේ මුව බාගෙට විවර වී නතර වුනි .. රෝහල් වාට්ටු කොරිඩෝවේ මලානික ආලෝකය මධ්‍යයේ පවා මට ඔහුගේ හිසේ එක පැත්තක වූ ඉහඳ පනුවන් නලියන තුවාලය හොඳින් දර්ශනය විය .. තුවාලයෙන් පිටට එන්නට පොරකන පනුවන් එකෙක් දෙන්නෙක් සෙල්වම් ගේ උරහිස දිගේ ගමන් කරනු පවා මට පෙනෙන්නට වුයේන මට ඔක්කාරය දැනෙන්නට විය ..
ස්ස්ස්ස් ...සස්... සේ ස්සේ සෙල්වම් ...

මට ගොත ගසා කියාගන්නට හැකිවුයේ එපමණකි ..
ඒ වනට විට මට ආදී කිහිපයක් ඉදිරියෙන් සිටි සෙල්වම් ආපසු ම දෙස හරි බැලුවේ වියරු ගෙරවිල්ලකට සමාන හඬක් නගමිනි ...
ඔහුගේ මුහුණ විරූපී වී තිබු අතර එලියට පනින්නට තරම් විශාල වී තිබු දදෑස් වලට වඩා අඩියක් පමණ දිගට කටින් එල්ලා වැටෙන්නට වූ දිව කෙල පෙරමින් ඔහුගේ මුහුණට වඩාත් අපුල දනවන පෙනුමක් එක්කාසු කළේය ..
බු .. බුදු අම්මෝ ...
මම ආපසු දුවන්නට හැරුන මුත් වෙවුලන්නට වූ කකුල් මදින ලද සිමෙන්ති පොලව මත ලිස්සා ගොස් මම බිම වැටුනෙමි .. අසල තිබු මේසයක් වැනි තද පෘෂ්ටියක මගේ හිස තදින් වැදුන බව මතකය ...මේ ගතවන්නේ මගේ ජිවිතයේ අවසාන හෝරාව වියයුතුයි සිතින් සිතද්දී මට මතයට ආවේ එන මග පසු කරගෙන ආ සායම් දියවුණු කාලි මෑණියන්ගේ පිළිමයයි ... කාලි මෑණි ආරක්සාවයි ... ආගන්තුක මහල්ලාගේ වදන් මසිත පිළිරැව් දෙද්දී මම දෙනෙත් පියාගතිමි ...

ඩොක්ටර් ... ඩොක්ටර් .. සර් ... සර් ...
කලබල කරන්න එපා ... ටිකක හුස්ම ගන්න ඉඩ දෙන්න එයාට ..
කෝ අහකට වෙන්න ...
කවුරුන් හෝ කතාකරන හඬක් ඇසෙද්දී මම ආයාසයෙන් බරවී තිබු දෙනෙත් විවර කරන්නට උත්සාහ ගත්තෙමි ....
එක්වරම ප්‍රභල ආලෝකයක් මා දෙනෙතට එල්ලවන බවක් දැනුන නිසාවෙන් මට ඇස් අර බැලීම පවා අපහසු විය ...
මොකද මේ වෙන්නේ ... ම ම ..
කලබල වෙන්න එපා ඩොක්ටර් ප්‍රභාත් ... ඔයාට පොඩි කරදරයක් උනා ..ඔලුව ටිකක වැදිලා .. ගැන ගන්න එපා .. ඉන්න නැගිටින්න ...
පාන්දරට එලි වී තිබුණි ...
හෙදියන් යයි කිව හැකි තරුණ කාන්තාවක් කිහිප දෙනෙකු සහ ප්‍රසන්න පෙනුමැති මිනිසෙකු මා අසලම විය ..
මම ඩොක්ටර් නිශ්ශංක ..
ඩොක්ටර් ...
ඔව් ... ප්‍රභාත් ඊයේ ටිකක් නරක වෙලාවකනේ නොදන්වාම ඇවිල්ල තියෙන්නේ මෙහාට ..
අනේ සොරි සර් .... අපේ අතින් උනේ ලොකු වරදක් ...
හෙදියන් හඬන්නට මෙනි ..
මට තේරෙන්නේ නැහැ මේ මොකුත් ...
හරි ප්‍රභාත් කලබල වෙන්න එපා.. ඉන්න අපි මේ පටලැවිල්ල ලිහා ගම්මු ..

ඔයාට දැන් කොහොමද ප්‍රභාත් ..
ඔලුව ටිකක් තදට රිදෙනවා ..
ඔයා වැටෙද්දී මම හිතන්නේ ටිකක් සැර පාරක් ඔලුවට වැදිලා තියෙනවා ..
මොකද්ද නිශ්ශංක මට උනේ ... මම හීනයක් දැක්ක නම් වෙන්න බැහැ ..
ප්‍රභාත් කලබල වෙන්න එපා ... මේ ඉස්පිරිතාලේ ටිකක් පරණ බිල්ඩින් එකක් නේ .. අනික පාලු පැත්තක් .. මේවා ඉතින් සාමාන්‍ය දේවල් ..
මට තෙරුනේ නැහැ ..
ප්‍රභාත් මොකට හරි බය උනාද ..
මම සිදුවූ සියල්ලම විස්තර කලෙමි ...
එතකොට ඩොක්ටර් නිශ්ශංක .. අර ගෙනාපු බොඩි එක ...
එන්න පෙන්නන්න ..

මම නිශ්ශංක පසු පස්සේ මෝචරියට ඇදී ගියෙමි ..
අබලන් වූ ශීතකරණය විවර කල ඔහු එතුලින් මල සිරුරක් ඉවතට ඇද්දේය ...
දෙවියනේ .. මේ . මේ . මේ ....
බාගෙට නරක වී තිබු මළ සිරුර දෙස බලා මම කෑගසිමි ..
මේ තමා ප්‍රභාත් සෙල්වම් කියන මනුස්සය ..
මට උගුර කට වියලි යන්නක් මෙන් දැනුනි .. එසේ නම් මා පෙරදින රාත්‍රි කරගසා ඇත්තේ සෙල්වම්ගේ මල සිරුරටය ...

කෝ කෝ මේ කපිලයා .. ඔය මනුස්සය මට නිකමටවත් එහෙම කතාවක් කිව්වේ නැහැනේ .. ඉනිහ යද්දී කියල ගියේ සෙල්වම් රෑ වැඩට ඒවි කියලා ..මොකද මේ මනුස්සයට වෙලා තියෙන්නේ
සෙල්වම් දැනට දවස් දෙක තුනකට ඉස්සරින් තමා ආගිය අතක් නැති උනේ , ලෙඩ්ඩු දෙන්නෙක් තුන් දෙනෙක් හිටියට මේ නර්ස් නෝනලා රෑට මේකේ තනියම ඉන්න බය නිසා නෙවාසිකාගාරේට යනවා .. කට්ටිය බය වෙලා ඉන්නේ ප්‍රභාත් බනිවි කියල ..
මේ මිනිහට මොකද මේ වෙලා තියෙන්නේ ...
ඔහිය පොලිසිය කිව්වා විදිහට මේ මනුස්සය පය ලිස්සල හෙලට වැටිලා ඔලුව වදිච්ච් පාර තමා මැරිලා තියෙන්නේ ...

මොකක් ..
ඔව් පෙන්නේ නැද්ද .. පොඩ්ඩක් හීතල නිසා තම මිනිය මේ තරමට වත් බේරුනේ ..ගෙදර උදවිය තමා මිනිය හොයාන මල් සාලාවට යවල තියෙන්නේ ..
මට සියල්ලම තවමත් ප්‍රහේලිකාවක් සේ දැනුනි ..
එතකොට කෝ මේ කපිල.. මට පිළුණු වෙච්ච කෑම එකකුත් ගෙනහල්ල දීලා මිනිහ මාරු ...
කපිල ... කවුද කපිල කියන්නේ ..
ඇයි නිශ්ශංක .. මෙහෙ තව මේල් ඇටෙන්ඩන්ට් කෙනෙක් හිටියේ ..
ම්ම්ම්හ් .. මම දැනුවත්ව නම් ප්‍රභාත් මෙහෙ ආගිය වෙලාවට මට හම්බුනේ ඔය සෙල්වම් කාරය විතරයි .. ඉන්න ටිකක් ..
කාංචනා ... කාංචනා ...
ඩොක්ටර් ...
දැන් ඔයාලගේ අලුත් ඩොක්ටර් ට සනීපයි .. එයා ටිකක් බයවෙලා ඊයේ රෑ ..
අනේ ඔව් සර් .. අපිට තේරෙන්නේ නැහැ කොහොම සමාව ඉල්ලන්නද කියල .. අපි හීනෙකින්වත් හිතුවේ නැහැ සර් ඊයේ මෙහෙ ඒවි කියල ..
එහෙමයි කියල ලෙඩ්ඩු දෙන්නෙක් තනිකරලා යනවද ළමයෝ ..
කාංචනා කිසිත් නොකිවාය ..

කෝ කාංචනා කපිල ..
මම නැවත ඇසුවෙමි ..
කවුද සර් ..
කපිල කපිල .. අනිත් මේල් ඇටෙන්ඩන්ට් ..
කාංචනා උඩ බිම බැලුවාය ..
ඇයි දෙයියනේ තමන් එක්ක එකට වැඩ කරන මනුස්සය මතක නැද්ද ...
කාංචනාගේ මුහුණේ පළවුයේ භීතියකි..
ම්.ම්ම්ම්.ම්මහත්තයා ....ඔ.ඔ..ඔය කියන්නේ...ක...ක...කපිල අයියා....අ..ආ.ආ..
මොකද කාංචනා යකෙක් දැක්ක වගේ බයවෙලා..
නිශ්ශංක නැවත ප්‍රශ්න කළේය...
සර්...ඔය කියන්නේ මීට අවුරුද්දකට විතර ඉස්සෙල්ල ..... කාංචනා නැවත දෑතින් මුව වසා ගත්තාය...
මොකද්ද ළමයෝ...කියන්න තියෙන දෙයක් කියනවකො ඉතින් තෙපර බාන්නේ නැතුව...
ඔය...කියන කපිල....කපිල අයියා...මැරිලා දැන් අවුරුදකට වැඩී සර්...බැඳල හිටපු ගෑණි තරහට... කෑම එකට වස දාල කියල තමා කියන්නේ....ස්..ස්ස්...සර් ගේ ක්වාටර්ස් ...එක ගාව ල්...ල්...ලේ වමන්ගේ දාගෙන කපිල අයියා ම්..ම්...මැරිලා හිටියා ස...ස්...සර්...

මට අවශ්‍ය වූයේ සෑහෙන තරම් නිදහසකි.වෛඩද්‍ය වෘතියට පිවිසීම මාගේ සිහිනයක් විය. ඒ වෙනුවෙන් කළ කැපකිරීම්...විඳි වේදනා සහ ගැහැට අපමණය...නමුත් වෙනත් පළාතක මිනිසුන් වෙසෙන ප්‍රදේශයක...රෝහලක් වෙත මාරුවක් ලබාගන්නට නොහැකි වන්නේ නම් මේ සියල්ල අතැර දමා විදෙස් ගත වන්නට තරම් මා සිත භීතියෙන් සහ පැටලිලි සහගත බවකින් පැටැලවී තිබුනි...
සැබවින්ම මා ගැලවූයේ මගදී මුණගැසුන ආගන්තුක මිනිසාගේ ආශීර්වාදයද...දේවමෑණියන් වෙනුවෙන් පූජා කරන්නට යෙදුන මැළවුනු මල් මාලයේ ආනුභාවයද...
කෙසේ වුවද කාලී කෝවිල පසුවූ සැනින් මම සිතිවිල්ලේ රිය පැදවීමි..ඒ එදා වසා දාමා තිබූ කඩය විවෘතව තිබුයේ නම් එහි මුදලාලී ගෙන් වයෝවෘද්ධ මිනිසා ගැන දැනගන්නට පුලුවන..
මාගේ බලාපොරොත්තූ ඉශ්ටවන ලකුනු..කඩය විවෘතය...

මුදලාලි....කඩේ කවුද...
එන්ට ශර්...එන්ට...වාඩිවෙන්න...
තේකක් බොමුද මුදලාලි...
බොමු මාතියා...මම ගේන්නම් සුටුස් ගාලා..
මේ මුදලාගේ ද කඩේ..
ඔව්ව් මාතිය...ඉශ්ශෙලාම මයේ අප්පා ගේ...අප්පා ගෙන් පශ්ශේ මට...
මුදලාලි මම ඊයේ මෙතනින් යද්දී වයසක මනුස්සයෙක් හම්බුනා..ඒ මනුස්සයා කොහෙද දන්නේ නෑ...මේ...කීවේ නම් ..පුතා තමා කඩේ කරන්නේ කියල...
වයසක මනුශ්ශයෙක්...
ඔව්...මට මේ මල් මාලයකුත් දුන්නා..කාලි කෝවිලට දාන්න.කියල...මම...
අයියෝ...මුරුගා...මාතියා...
මොකද...මුදලාලි..
මාතියා විශ්වාසද මෙතනම තමා තැන කියල..
ඔව්..ඔව්...මම යාය හතර ට යන්න පාර අහන්න මෙතන නතර කළේ...
වයසක මනුශ්ශයෙක්...
ඔව්...ඔව්...මුදලාලි...මම බැලුවේ මේ මුදලාලිගේ තාත්තාවත් ද කියල...
කඩ හිමියාගේද මුහුණ සුදුමැලි වී යද්දී පෙරදා රාත්‍රියේ පටන් මා මෙතෙක් ලද අත්දැකීම් මගේ සිත තුළ පෙරලි කරන්නට විය...

අයියෝ....සාමි....
කඩහිමියා දෑත නළලේ ගසා ගන්නට විය..
මාතියා...කලබලගන්ට එපා මාතියා..
ඇයි...
ඒ මයේ අප්පා තමා මාතියා...
ඒක නේන්නම්...ඒ මනුස්සය නිසාද මන්දා මගේ ජීවිතේ බේරුනේ...
වෙන්ටැති මාතියා...ඊයේ කෙම්මුර දා.....මම කෙම්මුර දාට කඩේ වාලා ම තමා තියනවා මාතියා...මේ පලාතටම ඔඳ නෑ...සාපය තමා තීනවා...දේව මෑනියොම බලන්න ඕනේ තමා..ඒ මයේ අප්පා...මීට අවුරුදු දහයකට විතර ඉශ්ශර නැති උනා මාතියා....ඇම කෙම්මුර දාටම අප්පා කඩපිලේ ඉන්නව කියල දැක්ක අය කීනව...එන ඇමෝටම දේව මෑණී වැඳල යන්න කීනවා...මයේ අප්පා ....
කඩ හිමියා නෙතගට ආ කඳුලක් පිසලා ගද්දී මම ක්ලාන්ත වී යලි ඇදවැටීම වලකාගනු වස් වාඩි වී සිටි මේසය මත හිස තබාගතිමි....

නිමි...

Source: Link



අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..




---යාය හතර--- ---යාය හතර--- Reviewed by TechZone on April 03, 2019 Rating: 5

No comments: