මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

---වැහි කබාය---


ඒ1995 අවුරුද්දයි. මොරටුව විශ්වවිද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු උපාධිය ලබා ගත් මට ලැබුණු මුල්ම පත්වීම වූයේ කොලඹ ප්‍රධාන පෙලේ ඉදිකිරීම් ආයතනයක නුපුහුණු සිවිල් ඉංජිනේරු පදවියයි.මාගේ රැකියාවේ ස්වභාවය අනුව මට පැවරී තිබූ රාජකාරිය වූයේ ලංකාවේ විවිධ ප්‍රදේශ වල වැඩබිම් පරීක්ෂාවයි.ඒ සදහා මට ආයතනය විසින් කාර් රථයක් ද සැපයූ නිසා ගමන් බිමන් ඉතා පහසු විය.

එදා ඉතා වැහිබර කාළගුණයක් පැවති දිනයක් වූ අතර ඉරිදා දිනයක්ද වූයෙන් මා විවේකයෙන් නිවසේ කාලය ගත කලෙමි. උදෑසන10 ට පමණ අපගේ නිවසේ දුරකථනය නාද වන්නට විය.
"හෙලෝ කවුද කතා කරන්නේ" මම විමසීමි.
‘’හෙලෝ දනන්ජය මං මේ බොස් කතා කරන්නේ”
“කියන්න සර්”
“අනේ කොල්ලො, මට පොඩි උදව්වක් ඕනේ”
“ඔව් සර්”
“අපේ නුවර සයිට් එකේ ඉංජිනියර්ගේ අම්මා නැති වෙලා… මිනිහා ගෙදර ගියා. උබට බැරිද සතියකට විතර සයිට් එක බලාගන්න… ලොකු උදව්වක් කොල්ලො”
“දැන් කොහොමද නුවර යන්නේ” මා සිත මගෙන්ම විමසීය.
මා රැකියාවට ගොස් මසක් පමණ වූ බැවින් මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමටද මට නොහැකිය.
“ඕ. කේ. සර් මං යන්නම්” මා පැවසීමි.
"වෙරි ගුඩ්...එහෙනම් කොල්ලො දැන්මම ලෑස්ති වෙලා පලයන්.එතකොට හෙට උදේම වැඩට බහින්න පුලුවන්"

මං සූදානම් වී ගෙදරින් පිට වෙද්දී සවස 4 පසු වී තිබූ අතර මා කඩුගන්නාවට සේන්දු වන විට සවස 7 පමණ වුනි.අසල තිබූ තේ කඩයකින් තේ බිව් මා නැවත ගමනාරම්භ කලෙමි.මා මහනුවරට පැමිණෙන විට රාත්‍රී 8 පසු වී තිබිණි.අපගේ වැඩබිමට මහනුවර සිට තවත් කි මී 30ක් පමණ ගමන් කිරීමට තිබුණි.අධික වර්ශාව නිසා ගමන් කල යුතු මාර්ගයට විශාල ගසක් කඩා වැටී තිබූ හෙයින් මා අතුරු මාර්ගයක් භාවිත කළ යුතු යැයි සිතුවෙමි.ගම්වැසියන් කීපදෙනෙකු ගෙන් මාර්ගය අසා දැනගත් මා අතුරු මාර්ගය ඔස්සේ ගමන් ගත්තෙමි. එම මාර්ගය ඉතා පාලු වූ තවමත් තාර නොදැමූ ගුරු පාරක් බදු විය. එම පාරේ තවදුරටත් ගමන් කිරීමේදී කිසිදු වාහනයක් හෝ පුද්ගලයෙක් නොදුටු මා හට ඉතා මූසල පාලු ගතියක් දැණුනි.මාගේ රථයේ රේඩියෝවක් ද නොතිබූ හෙයින් එම චකිතය දෙගුණ තෙගුණ වී ගියේ ය. නිතර අහසේ මැවෙන විදුලි රටා හේතුවෙන් මාර්ගය ඒකාලෝක වී ගිය අතර එක්තරා මංසන්ධියක් අසල කිසියම් රුවක් මැවෙන අයුරු මා විදුලි එලියක් අතරේ දී දුටිමි.මා තවදුරටත් ඉදිරියට යද්දී ඒ මැදි විය ඉක්ම වූ කාන්තාවක් බැව් හදුනා ගැනීම එතරම් අපහසු නොවුණි. ඈ එක්වරම වාහනය ට අත දිගු කලා ය.මාගේ පය මට ද අවනත නොවී ඈ ඉදිරියේ ම රථය නැවතෙන පරිදි තිරිංග තද කළේ මාගේ මුලු ශරීරයම ඈගේ ග්‍රහණයට නතු කරගත් බවක් ගම්‍ය කරමිනි.මා නොකමැත්තෙන් මෙන් රථයේ රථයේ ලාම්පුව දල්වා වීදුරුව තරමක් පහත් කළෙමි.

ඇයි අම්මේ...
“අනේ දරුවෝ මං මේ මගේ දුව බලන්න ගිහින් එන ගමන් වැස්සට අහු වුණා... පුතාට බැරිද මාව ගිහින් ඇරලවන්න මේ පාරෙමයි ගේ තියෙන්නේ පොඩි දුරයි”
ඈ ඉතා සිහින් සිරුරකින් යුතු කාන්තාවකි. ඈ ඇද සිටියේ සුදු පැහැති සාරියකි.වර්ශාවට දෝ ඇගේ සාරිය කහ පැහැ ගැන්වී තෙත බරිත වී තිබුණි.ඇගේ මුහුණ බලාපොරොත්තු විරහිත වූ ස්වභාවයකින් යුක්ත විය.

“අනේ පුතේ ලොකු උදව්වක්”
ඇගේ ඉල්ලීම අහක දැමීමට තරම් මා අමනුෂ්ශයෙක් නොවන නිසාත් ඇයට මාගේ මවගේ තරම් වයස වන නිසාත් මා එම ඉල්ලීම තරමක චකිතයකින් වුවද පිලිගතිමි.
“හොදයි නගින්න අම්මේ...”

ඈ හිමින් සීරුවේ විත් රථයට ගොඩ වූ අතර මා නැවතත් ගමනාරම්භ කළෙමි.තරමක් දුර යන තුරුත් ඈ මා සමග කිසිදු කතා බහක් සිදු නොකළ අතර මා ඒ නිහඩ බව බිදින්න ට විමි.
“අම්මා මේ පලාතෙම ද?”
“ඔව් දරුවෝ මං පොඩි කාලේ ඉදන්ම හැදුණෙ වැඩුණෙ මෙහෙ තමයි”
“ඉතින් මේ වැස්සේ කොහෙද ගියේ”
“මං ගියා මගෙ දුව බලන්න”
“දුව කොහෙද ඉන්නේ?”

එසේ මා විමසුවද ඇයගෙන් එයට නිසි ප්‍රතිචාරයක් නොලැබුණි.
“ඔන්න ඔතනින් මාව දාන්න දරුවො...”
ඈ එකවර ම පැවසූ අතර මා එවිටම තිරිංග තද කළෙමි.
“කොහෙද ගෙවල්” යැයි මා විමසුව විට ඈ ගුරු පාරක් දෙසට තම දෑත දිගු කළාය.
“මෙතනින් යන්න ඔනී දරුවෝ”

“දුරයි වගේනෙ අම්මේ....මං ගිහින් දාන්නද?”
යැයි මා විමසූ විට ඈ පවසා සිටියේ මාර්ගය වාහනයකට ගමන් කළ නොහැකි පරිදි අබලන්ව ඇති බවකි.
“නෑ කමක් නෑ මං යන්නම්....”
වැස්සනෙ අම්මේ කොහොමද යන්නේ?
මා ඇසූ විට ඇයගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණි.
“කමක් නෑ මං ගාව රේන් කෝර්ට් එකක් (වැහි කබායක්) ඇති ඒක ඇදන් යන්න...”
ඇයද එය හිස වනා පිලිගත්තා ය.
“මං මේක ආපහු දෙන්නේ?”

යැයි ඈ විමසූ විට මා පැවසුවේ මා පැමිණියේ රාජකාරියකට බවත් මා දින කීපයකින් නැවත පැමිනෙණ බවත් ඒ එන ගමනේ දී මට එය නැවත ලබා ගත හැකි බවත් ය.එය හිස වනා පිලිගත් ඈ සෙමින් සෙමින් ගුරු පාර දිගේ පහලට ගිය අතර මාද කඩිනමින් මාගේ නවාතැන් පොල කරා ඇදුනෙමි. මා නවාතැන් පොල කරා පැමිණෙන විට රාත්‍රී 10 පසුවී තිබුණි.කලබලයට රාත්‍රී ආහාර පවා ගැනීමට මට නොහැකි වුණි. තිබූ ගමන් මහන්සියට මා ඇද සිටි ඇදුම් පිටින්ම මට නින්ද ගොස් අවදි වූයේ පසුදා උදෑසනයි.
මා උදෑසනම සූදානම් ව වැඩබිම කරා පිටත් වුනෙමි.

තිබූ වැඩ රාජකාරි මධ්‍යයේ සතියක් ගෙවී ගියේ විදුලි වේගයකිනි.ඊට පසු දින කලින් ඉන්ජිනේරු තැන සේවයට වාර්තා කළ බැවින් මට නැවත කොළඹ බලා පැමිණීම ට ඉඩ හසර විවර වුණි.

නැවත පැමිණෙන ගමනේ දී මා හට වැහි කබාය මතකයට නැගුණු අතර එය ලබා ගැනීමේ අටියෙන් නැවතත් එම අතුරු මාර්ගයේ ම ගමන් කරන්නන්ට වීමි. එදින එම කාන්තාව ගමන් කල ඉසව්වට මා මොටර් රිය පැදවීමි.තරමක් දුරට ගමන් කරන විට මාර්ගය අබලන් වූ බැවින් මා රියෙන් බැස පා ගමනින් ගමන් කරන්නට වීමි.තරමක් දුර ගමන් කිරීමේ දී කුඩා නිවාස දෙකක් ඇති බව මා දුටිමි.ඉන් එක් නිවසක් ගරා වැටී තිබූ අතර අනෙක් නිවසේ ඉදිරි පස දොර විවෘතව තිබුණි.
මා එම නිවස දෙසට යන විට වයස60ක පමණ පුද්ගලයෙකු එලියට පැමිණි අතර ඔහු මගෙන් පැමිණි කාරණය විමසී ය. මා ඔහුට පැමිණි කාරණය විස්තර කළෙමි.මාගේ කතාව අසා සිටි ඔහු තම දෙ අත් වලින් ඔහුගේ හිස අල්ලා ගන්නට විය.

“මහත්තයත් අහුවෙලා එහෙනං....ඔය ගෑණිගේ නම කරලයින් නෝනා.ඔය ඉස්සරහ පේන ගෙදර තමයි හිටියේ. ළමයි තුන්දෙනෙක් හිටියා. උන් බැන්දට පස්සෙ මෙහෙන් චුත වුණා.උන් මේ ගෑනි උන්නද මලාද කියල බැලුවෙ නෑ.ළමයි ගැනම හිත හිත ඉදලා ඒකිට පිස්සු හැදුනා.නිතරම ළමයි ගැන කියව කියව ඉබාගාතේ ඇවිද්ද එක තමයි කළේ.දවසක් මහ පාරේ ලොරියකට යට වෙලා ගෑණි මැරුණා.රෑට පාරෙ යන කීප දෙනෙක්ම ඔය ගෑණිව දැකල තියෙනව කියලා නම් මං අහල තියෙනවා ඒත් මෙහෙම දෙයක් ආරංචි වෙච්ච මුල් වතාව.ඔය ගෑණිව වල දැම්මෙත් ඔය පේන ගෙදර පිටිපස්සෙ.හා හා ඒකෙන් කාරි නෑ මහත්තය ඕව අමතක කරලා දැන් ගෙදර යන්න”

මා ආපසු යාමට හැරුණ ද ගමන් කිරීමට දෙපා ද වාරු නැත්තා සේය.මාගේ කමිසය ද දහදියෙන් තෙත්ව ගොසිණි.කෙසේ හෝ මම ආපසු යන්නට හැරුනේ ඈ විසූ නිවස දෙස ද මාගේ නෙත් යොමු කරමිනි.මා හිමින් සීරුවේ එම නිවස පසු කරමින් ගමන් කරන්නට වීමි.එසේ ගමන් කරද්දී ඇගේ නිවස පිටුපස සොහොනක් යැයි සිතිය හැකි කොන්ක්‍රීට් වලින් බැද තිබූ යමක් දුටිමි.ඒ මත මාගේ වැහි කබාය ද තබා තිබිණි.

Source: Link

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..





---වැහි කබාය--- ---වැහි කබාය--- Reviewed by TechZone on June 22, 2019 Rating: 5

No comments: