මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

08 October 2019

---ගල් බංගලාවේ ගැහැණු ආත්මය---



මම මුලින් රැකියාව කළේ ටෙලිනාට්‍යය නිෂ්පාදක කන්ඩායමක. ඉතින් අපේ රැකියාවේ හැටියට රටේ නොයෙක් නොයෙක් තැන් වලට යන්නත් සිද්ධ වෙනවා. මේ කියන සිද්ධිය සිදුවෙනකොට අපි හිටියේ මහනුවර පලාතේ පැරැණි ගල් බංගලාවක. රූගත කරමින් හිටියේ හොල්මන් චිත්‍රපටයක්.

පළමුවෙනි දවසේ අපි නුගේගොඩ තිබුණු අපේ කාර්‍යාලයෙන් පාන්දරින්ම පිටත්වුනේ මහනුවර බලා යන්න. පහුවදා ෂූටින් පටන්ගන්න නිසා එදා කලින්ම නුවර ගිහින් ලොජ් වෙන්න තමයි අපි ප්ලෑන් කලේ. කොහොම හරි 35 දෙනෙක්ගෙන් සමන්විත වුන අපේ කණ්ඩායම හවස තුන විතර වෙනකොට නුවරට ගියා. නිෂ්පාදන කලමනාකරු කලින්ම අපිට ලොජ් වෙන්න තැනක් කතාකරලා තිබුනත් ඒ ගනුදෙනුවේ මොකක්හරි පොඩි අවුලක් නිසා අපිට ඒ ස්ථානයේ නවාතැන් දෙන්න ඒ අය අකමැති වුනා. අන්තිමට හවස හය විතර වෙනකන් නුවර ටවුමට වෙලා නවතින්න තැනක් හෙවුවත් අපි හොයපු විදිහේ තැනක් හොයාගන්න බැරිවුනා. ඒ අතරේ තමයි නිෂ්පාදන කලමනාකරුට පහුවදා රූගත කිරීම් සිදුකිරීමට යොදාගෙන තිබුණු ගල් බංගලාවේ හිමිකරු දුරකථනයෙන් කතාකලේ. ඒ අපි පසුවදා සිදුකරන රූගත කිරීම් ගැන අහන්න. අපිට සිදුවෙලා තියෙන නවාතැන් ප්‍රශ්නය දැනගත්තම ඔහු අපි හැමෝටම නවාතැන් ගැනීමට ගල් බංගලාවම සූදානම් කරලා දුන්නා.

ඉතින් එච්චර වෙලාවක් කට්ට කකා නුවර ටවුමට වෙලා චාටර් වෙවී හිටිය අපි දෙයියෙක් දුන්නා වගේ හම්බවුන නවාතැන වෙත ගියේ ෆුල් හැපී එකෙන්. නුවර ටවුමට වෙලා ඉන්න අතරේ අපේ සෙට් එකේ ඉන්න හොඳට කන බොන එවුන් ටික අවශ්‍යකරන දේවල් මදිනැතිව අරගන්නත් අමතක කළේ නෑ.

ගල් බංගලාව තිබුනේ නුවර ටවුමෙ ඉඳලා කිලෝමීටර් 15 ක් විතර දුරින් කඳු මුදුනක. කොහොමහරි අපි බංගලාවට එනකොට හොඳටම කලුවරත් වැටිලයි තිබුණේ. බංගලාවක් කීවට ඒක හරියට මාලිගාවක් වගේ විශාල එකක්. අපි ගියපු වාහන බංගලාවේ මිදුලේ නවත්තනකොටත් බංගලාව තිබුණේ තද අඳුරක. අපේ වාහනවල සද්දේ ඇහිලද කොහෙද ඊට විනාඩි 5 ට විතර පස්සේ කාකි කබායකුයි සරමකුයි ඇඳගත්ත මිනිහෙක් අපි ආව පාර දිගේ දුවගෙන ඇවිත් බංගලාවෙ දොර ඇරලා ලයිට් දැම්ම. මිදුලේ ලයිට් දැම්මට පස්සේ තමයි මම දැක්කේ මිදුලත් බංගලාව තරමටම මහා විශාල මිදුලක් කියලා. ඒ මිදුලේ දකුණු පැත්තේ කෙලවරේම තුන්දෙනෙක් එකතුවුනත් බදන්න බැරි තරම් විශාල සල් ගහකුත් තිබුනා.

මුරකාරයා ඇවිත් දොර ඇරලා දුන්නට පස්සේ අපිත් අපේ බෑග් එහෙම අරගෙන බංගලාවට ඇතුල්වුනා. පහල තට්ටුව ෂූටින් වලට අවශ්‍ය නිසා අපිට කාමර වෙන්කරලා තිබුනේ උඩ තට්ටුවේ. බංගලාවේ ප්‍රධාන ශාලාවෙන් පටන්ගෙන ඉහලට නැගුණු පඩිපෙලක ගමන්කරපු අපි ටිකක් විශාල සාලයකටයි ඇතුල් වුනේ. ඒ ශාලාවේ දෙපැත්තෙන්ම කොරිඩෝ දෙකක් තිබුනා. ඒ කොරිඩෝ දෙකේම පේලියට කාමර තිහකට නොඅඩු සංක්‍යාවක් තිබුනා. අපේ සෙට් එකට, ඒ කියන්නේ කැමරා කණ්ඩායමේ අට දෙනාට වෙන් වුනේ බංගලාවේ උඩුමහලේ දකුණු පැත්තේ කෙරවලේම කාමර දෙක. අනෙක් කාමර හැම එකකම වගේ මේ කාමර දෙකෙත් ඩබල් ඇඳන් දෙක දෙක තිබුන නිසා අපේ අට දෙනා හතර හතර කාමර දෙකට බෙදිලා ගියා. මගේ කාමරේ හිටියේ මමයි, දෙලයි, සුප්පයි, කැන්ඩියයි. අපේ කාමරෙන් එලියට දොරක් තිබුනා. මම ඒ දොර ඇරපුවමයි දැක්කේ ඒ දොර ඇරෙන්නේ අඩි හයේ දහයේ වගේ බැල්කනියකට කියලා. දොර ඇරපුවාම සීතල හුලඟකුත් ආවා. ඒ එක්කම ආව සල් මල් සුවඳ නිසා වටපිට බලනකොටයි මම දැක්කේ, මම අර කලින් කීව විශාල සල් ගහ තිබුණේ අපේ කාමරේ බැල්කනියට මීටර් දහයක විතර දුරින් කියලා.

දෙලයි, කැන්ඩියයි, සුප්පයි කාමරේ තිබුණ බාත්රූම් එකට පොරකද්දී මම හෙමිහිට බැල්කනියේ ආරක්ෂක වැට ලඟට ගියේ සීතල හුලඟින් ඇඟට දැනෙන සනීපය තව ටිකක් විඳින්න හිතාගෙන. ඒත් ඒ එක්කම මගේ පිටුපසින් කවුරුහරි ඉන්නවා වගේ දැනුන නිසා මම ආපහු හැරිලා බැලුවා. බලනකොට මෙන්න බංගලාවේ මුරකාරයා මගේ පිටිපස්සේ හිටගෙන. එකපාරම ඒ මිනිහව අඩ අඳුරේ දැක්කම මමත් ටිකක් තිගැස්සුනා. ඒත් ඒ බව පෙන්වන්නේ නැතිව මම ඒ මිනිහාට කතාකලා.

' ඇයි මාමේ මොකක්හරි උවමනාවක්ද? ' මම ඇහුවා.

' උවමනාවක්නම් නෙමෙයි මහත්තයෝ. මම මේ පොරවනා ටික ගෙනත් දෙන්න ආවමයි මහත්තයා තනියම මෙතන ඉන්නවා දැක්කේ. ආ මේ ටික අරගෙන මේ දොර වහලා දැම්මනම්... මේ වගේ සීතලක ඔහොම එලියට වෙලා ඉන්න හොඳ නෑ.. '

මුරකාරයා එහෙම කීවේ මගේ උරහිසට උඩින් සල් ගහ තිබ්බ දිහාව සැරෙන් සැරේ හොරැහින් බලනගමන්. එයා ටිකක් බයෙන් වගේ හිටියේ කියලත් මට හිතුනා. කොහොමහරි මමත් ඒ කතාවට ඔලුව වනලා කාමරේ ඇතුලට ඇවිත් දොර වැහුවා. ගෙනාපු පොරවනා ටික ඇඳ උඩින් තියපු මුරකාරයා ආපහු යන්න ගිහිනුත්, ටිකක් නතරවෙලා ආපහු අපි දිහාට හැරුනා.

' කොහොමටත් මහත්තයෝ ඇඳිරි වැටුනායින් පස්සේ ඔය සල්ගහ තියෙන පැත්තේ නොයා ඉන්න ඕනේ. ඔය බැල්කනි කෑල්ලටත් නොයා හිටියොත් තමයි හොඳ '
මුරකාරයාගේ කතාවෙන් පුදුමයට පත්වුන දෙලා ඇඳෙන් බැහැලා මුරකාරයා ලඟට ගියා.
' ඇයි ලොකුඋන්නැහේ එහෙම කීවේ? ' දෙලා ඇහුවා.
' නෑ මහත්තයෝ දන්නේ නැද්ද ඉතින් ඔය එක එක දේවල් තියෙනවානේ.... අනිත්එක ඔතනින් පල්ලෙහා මහ ගණ කැලෑව. වල් ඌරෝ, දිවියෝ සතා සරුපයෝ පිරිලා.'

එහෙම කියපු මුරකාරයා අඩියට දෙකට එතැනින් පිටවෙලා ගියා. ඒ⁣ වෙනකොට කාමරේ හිටියේ දෙලයි, මමයි, කැන්ඩියයි විතරයි. සුප්පා හිටියේ බාත්රූම් එක ඇතුලේ. අපේ සෙට් එකෙන් බයම එකා සුප්පා නිසා අපි කොලඹදීම කතාකරගෙන ආවේ බංගලාවට ආව වෙලාවක ඕකව හොඳට බය කරමු කියලා. ඒත් මුරකාරයාගේ කතාවෙන් පස්සේ අපිටත් පොඩි බයක් වගේ එකක් නොදැනුනාම නෙමෙයි. ඒ නිසාම වෙන්න ඇති කැන්ඩියා කීවා ඩ්‍රිංක් එකක් දාමු කියලා. මමත් වොෂ් දැමිල්ල පස්සට දාලා වැඩේට එන්ටර් වුනා. ඒත් ගෙනාපු කලමනා සේරම වාහනේ ඇතුලේ දාලා ඇවිත් කියලා මතක්වුනේ ඒවෙලාවේ. ඉතින් මමයි, දෙලයි, කැන්ඩියයි, සුප්පා වොෂ් දානකන් වාහනෙන් බඩුටික අරන් එන්න එලියට ගියා. අපි එලියට යනකොටම බංගලාවේ ඉස්තෝප්පුවෙ හිටපු මුරකාරයා අපෙන් ඇහුවා කොහේද යන්නේ කියලා. අපි පොරට ඇත්ත විස්තරේ කීවා. ඒ අතරේ දෙලා මුරකාරයාටත් පොඩි අඩියක් ගහන්න කතා කළා. ඒකට එක පයින් කැමතිවෙච්ච මුරකාරයාත් අපිත් එක්ක වාහනේ ලඟට අවේ ටෝච් එකත් පත්තුකරගෙන.

අවශ්‍ය කලමනා ටික අරන් ආපහු බංගලාව ඇතුලට යන්න හිතාගෙන ඒ පැත්තට ටෝච් එක ගහපු මුරකාරයා එකපාරට ' යන්න එපා.... මහත්තයෝ. ඔය පැත්තට යන්න එපා......' කියාන කෑගහගෙන සල් ගහ තිබුන පැත්තට දුවන්න වුනා. අපිත් ඒ පිටිපස්සේ දුවනකොට මුරකාරයාගේ ටෝච් එලියට තමයි දැක්කේ, සුප්පා කලුවරේම බංගලාවේ ඉස්සරහින් බැහැලා සල්ගහ පැත්තට යනවා. මුරකාරයාගේ කෑගැහිල්ලට ගමන නතරකරපු සුප්පා බයවෙලා වගේ අපි දිහා බලාගෙන හිටියා. සුප්පා ලඟට ගියපු අපි කොහෙද යන්න ගියේ කියලා ඇහුවම ඌ කියනවා වොෂ් දාලා ඇවිත් තුවාය බැල්කනියේ වැටේ වැනුවලු, එකපාරම ආව හුලඟට ඒක එලියට වැටුනාලු. ඒක ගන්නලු යන්න ගියේ. කොහොම හරි තුවාය ගැනිල්ල පහුවදාට කල්දාලා අපි සුප්පාවත් ඇදගෙන මුරකාරයාත් එක්ක අපේ කාමරේට ආව. බැල්කනියෙ දොරත් හායි ගාලා ඇරල දාලා තමයි සුප්පා තුවාය ගේන්න ගිහින් තියෙන්නේ.

ඇරලා දාලා තිබුණ බැල්කනියේ දොර වහන්න ගියාම තමයි මට දෙලෝ රත්වුනේ. සුප්පා බිමට වැටුනයි කියාපු තුවාය මෙන්න යස අගේට බැල්කනි වැටේ තියෙනවා. මම ඒක පෙන්නුවාට පස්සේ සුප්පා දිවුරා දිවුරා කියනවා තුවාය හුලඟට වැටුනමයි කියලා. අපේ කතාව අතරේ කාගෙන්වත් අවසරයක් නැතිව බෝතලයක් කඩපු මුරකාරයා එක හුස්මට ප්ලාස්ටික් කප් එකක්ම හිස් කරලා කාකි කබා අතෙන් කට පිහදාගෙන කතාව පටන්ගත්තා.
' මහත්තයෝ ඔයගැන වාදකරන්න දෙයක් නෑ අනිවාරෙන්ම මේ මහත්තයා දකින්න ඇති ඔය තුවාය පහලට වැටෙනවා. ඒකනේ ඒ මහත්තයා කලුවරේම ගියේ. හොඳ වෙලාවට තමයි අපි මේ මහත්තයා එලියට යද්දිම දැක්කේ. නැත්නම් ඉතින් මේ මහත්තයාව හෙට උදේ ඔය සල් ගහ යටදි හම්බෙන්නේ හොඳටම පිස්සු වැටිලා තමයි. මේ සේරම අරකිගේ වැඩ. '
' මොකක්ද ලොකුඋන්නැහේ ඒ කතාව? ' කිසිම දෙයක් නොදැන හිටපු සුප්පා බයවෙලා එහෙම ඇහුවා.
තවත් එක කප්එකක් පුරවලාම හිස් කරපු මුරකාරයා ආයෙත් කතාව පටන්ගත්තා.

' මහත්තයලා බයවෙයි කියලා හිතලයි මම ඉස්සරලා මේ ගැන කීවේ නැත්තේ. ඒත් දැන් නොකියා බැහැනේ..... ' කියලා මුරකාරයා කතාව පටන්ගත්තා. කතාව ඉවර කරනකොට මුරකාරයා එක්ක අපි සෙට් එක බෝතල් හතරක්ම ඉවර කරලා. එහා කාමරේ හිටපු අපේ අනිත් හතරදෙනත් කතාව මැදදි කාමරේට ආව නිසා, මුරකාරයාගේ කතාව ටිකක් නවත්තලා සුප්පට වෙච්ච ඇබැද්දියත් කියලා ආයෙත් මුල ඉඳලා කතාව කියන්න මුරකාරයාට සිද්දවුනා. අපේ කතාව ගොඩක් දිග්ගැස්සෙන නිසා මම මුරකාරයා කියපු කතාව කෙටියෙන් කියන්නම්.

දැනට අවුරුදු බරගානකට කලින්, ඒ කියන්නේ මේ බංගලාවේ වර්ථමාන අයිතිකාරයා මේ බංගලාව සල්ලිවලට ගන්න කලින් මේ බංගලාව අයිතිවෙලා තියෙන්නේ රදළ පරපුරකට. ඒ පරපුරේ එක පිරිමියෙක් ඉඳලා තියෙනවා අවිවාහකයෙක්. එයා අවිවාහක වුනාට ගෑනුන්ගෙන්නම් අඩුවක් තිබිලා නෑ. ඒ කාලේ හිටිය හොඳම සල්ලාලයෙක්ලු. සල්ලි බලෙන් තමන්ට හිතෙන හිතෙන ගමේ හිටිය ගෑනු යටත්කර ගත්තත්, එක කෙල්ලක් විතරක් මිනිහගේ සල්ලි බලේට යටත් වෙන්න කැමතිවෙලා නෑ. ඉතින් එකදවසක් රාත්‍රියක මේ මිනිහා තමන්ගේ ගෝලයොත් එක්ක එකතුවෙලා අර කෙල්ලව බලෙන්ම බංගලාවට අරන් ඇවිත් තමන්ගේ ආශාව ඉෂ්ඨ කරගෙන. ඒ කාරණය සමාජයෙන් වහන්කරන්න ඕනේ නිසා ඒ කෙල්ලගේ බෙල්ල කපලා මරලා ඔය සල්ගහ පාමුල වැලලුවාලු. ඉතින් මුලු පිරිමි සනුහරේම ගැන වෛරයකින් මැරුණ මේ කෙල්ලගේ ආත්මය සල්ගහ යටට වෙලා ඉන්නවාලු, ඉඩක් ලැබුන වෙලාවට පිරිමින්ගෙන් පලිගන්න බලාගෙන. ඒ විතරක් නෙවෙයි. මේ මුරකාරයා මේ බංගලාවට එන්නෙත් දවාලෙට විතරයිලු. කවුරුහරි ආවොත් විතරලු රෑට ඉන්නේ.

කොහොමහරි අපි ඔය බංගලාවේ දවස් 28 ක් හිටියා. ඒ දවස් 28 අතරේ තවත් ගොඩක් දේවල් සිද්ධ වුනා. මේ කතාව කියවලා බලලා ඔයාලා කැමතිනම් මට කියන්නකෝ... එතකොට මම අනිත් දේවලුත් කියන්නම්.

Source: Link



5 comments: