මේ කතාවත් අපේ ගමේ සිදුවුන ඇත්ත කතාවක් යාලුවනේ. අපේ ගමේ මැදහරියට වෙන්න සමරකෝන් වත්ත කියලා ඉඩමක් තියෙනවා. සමරකෝන් කියලා කට්ටියක්ට අයිති ඉඩමක් නිසා තමයි ඉස්සර ඉඳලම ඒ ඉඩමට සමරකෝන් වත්ත කියලා කියන්නේ. ඒ අයගේ පරම්පරා ගානක් දිවි ගෙවපු පරන නිවසක් මේ වත්තේ ඇතුලට වෙන්න තියෙනවා. මහ පාරට ඒ ගෙදර පේන්නේ නැත්තේ විශාල ඉඩමේ මැදට වෙන්න මේ පරන ගෙදර හදලා තියෙන නිසයි. මුලු ඉඩමෙම සාදික්කා ගස් හැදිලා තියෙන නිසා දවල්ටත් ඒ ඉඩමේ තියෙන්නේ තද අඳුරක්.
පරම්පරාවේ මහ ගෙදර නිසාද කොහෙද මේ ගෙදර පවුල් තුනක් ජීවත් වුනා. වර්තමාන පරම්පරාවේ ජීවත්වෙලා ඉන්න සහෝදරයින් තුන්දෙනාගේ පවුල් තුන තමයි මේ විශාල ගෙදර ජීවත් වුනේ. මේ සහෝදරයින්ගෙන් වැඩිමලා තමයි මහින්ද මාමා. දෙවැනියා සරත් මාමා. තුන්වෙනියා නිමල් මාමා. මේ සහෝදරයින් තුන්දෙනා පොඩිකාලේ ඉඳලම පුදුම එකමුතු කමකින්, ආදරයකින් තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඒ නිසාම පරම්පරාවෙන් උරුමවුන ඉඩකඩම්වත් බෙදාගෙන වෙන්වෙලා ජීවත් වෙන්න මේ අය කැමති වෙලා නෑ.
තරුණ වයස එලැඹුනාට පස්සේ මේ තුන්දෙනාම විවාහ වෙලා මේ මහගෙදරම පදින්චිවෙලා තියෙනවා. වැඩිමහල් සහෝදරයින් දෙන්නාගේම බිරින්දෑවරු හරි සමගියකින් ජීවත් වුනත්, බාලයාගේ බිරිඳ වුන මංගලිකා නැන්දානම් අනෙක් අයත් එක්ක ඒතරම් හොඳින් ඉඳලා නෑ. ඒකට හේතුව තමයි එයාට තම සැමියා සමඟ වෙනමම ජීවත්වීමට අවශ්යවීම. මේ හේතුව නිසා එයා හැමදාම නිමල් මාමාත් එක්ක රන්ඩු වෙනවාලු අයියලාට කියලා මේ දේපලවලින් අපේ කොටස වෙන්කරගන්න කියලා.
මේ සහෝදරයින් තුන්දෙනාගෙන් වැඩිමලා වුන මහින්ද මාමාට දරුවන් තුන්දෙනෙකුත්, දෙවැනියා වුන සරත් මාමාට දරුවන් දෙදෙනෙකුත් හිටියා. ඒත් බාලයා වුන නිමල් මාමාටනම් දරුවන් හිටියේ නෑ. මහින්ද මාමාගේ දෙවැනි දරුවා වුන කතික මගේ වයසේමයි. පොඩිකාලේ ඉඳලා අපි සෙල්ලම් කලේ, ඉස්කෝලේ ගියේ එකටම නිසා මමත් නිතරම වගේ එයාලාගේ ගෙදර යනවා එනවා.
මම අර කලින් කීවා මතකද? නිමල් මාමාගේ නැන්දා හැමදාම වගේ දේපල බෙදාගන්න කියලා නිමල් මාමාත් එක්ක රන්ඩු කලා කියලා. ඉතින් එයා කොච්චර රන්ඩු කලත් නිමල් මාමානම් ඒකට කැමති වෙලාම නෑ. එයා හැම වෙලාවේම කියලා තියෙන්නේ ලොකුඅයියා අපිට නරකක් කරන්නේ නෑ, එයා කැමති දවසක ඕවා බෙදලා දෙනකන් ඉමුයි කියලා.
මේ විදිහට රන්ඩුවෙන්න පටන්ගත්ත නිමල් මාමාගේ නැන්දා ටික කාලයක් යද්දී නිමල් මාමත් එක්ක විතරක් නෙමෙයි ඒ ගෙදර හිටිය හැමෝමත් එක්කම රන්ඩුවෙන්න පටන්ගත්තාලු. සමගියෙන් තිබුන ගෙදර මේ නැන්දා නිසා යුදපිටියක් වෙන්න ගත්තාලු.
මටත් හොඳට මතකයි ඉස්සර මම කතිකත් එක්ක එහේ ගියාම ඒ නැන්දා අපිටත් බනිනවා. ඒ තරමටම එයා හරි නපුරු කෙනෙක්. මෙහෙම ඉද්දී එකපාරම ඒ නැන්දා අසනීප වෙන්න ගත්තා. නිමල් මාමත් දන්න දන්න හැම තැනකටම අරන්ගියා නැන්දාව හොඳකරගන්න. ඒත් නැන්දා එන්න එන්නම දුර්වල වුනා. අන්තිමේදී ඇවිදගන්න බැරුව එක්තැන්වුනා.
මම කලිනුත් කීවානේ මේ නැන්දාව හොඳකරගන්න මේ අය නොගිය තැනක් නෑ කියලා. ඒ වගේම ඒ වැඩ වලට සෑහෙන ගානකුත් වියදම් වුනා. පරම්පරාවෙන් මේ සහෝදරයන් තුන්දෙනාට අයිතිවුන විශාල ඉඩම් ප්රමාණයෙන් ඉඩම් තුන හතරක්ම ඒ වියදම් නිසාම විකුනන්නත් මෙයාලට සිද්ධ වුනා. ඒත් තමන්ගේ සහෝදරයාගේ බිරිඳ සුවපත් කරගන්න ඕනේ නිසා අනෙක් සහෝදරයින් දෙපාරක් නොසිතාම ඒ හැමදේම කලා. එත් ලෙඩ ඇඳට වැටිලා හිටිය මංගලිකා නැන්දානම් ඒ හැමෝටම නිතර දෙවෙලේ සාප කරාලු " ඕකුන් සේරම එකතුවෙලා මට කරපු දෙයක් නිසා තමයි අද මට මෙහෙම වෙලා තියෙන්නේ..... ඕකුන් සේරම හැඳිගෑවිලාම යන්න ඕනේ.... " කියලා.
මේ විදිහට ඔත්පල වෙලා හිටිය මංගලිකා නැන්දාට එක දවසක් හොඳටම අමාරු වුනා. ඒ ආරන්චිය අහලා අපිත් කතිකලාගේ ගෙදරට ගියා. මංගලිකා නැන්දා අමාරුවෙන් කෙඳිරිගගා ඉන්න ගමනුත් බලන්න එන අයටත් බනිනවා " තොපි මං මැරුණාද කියලා බලන්නද ආවේ.... තොපි සේරම මුං එක්ක හවුල්වෙලා තමයි මට මේදේ කලේ.... මම තොපි එකෙක්ටවත් යහතින් ඉන්න දෙන්නේ නෑ...." කියලා. ඔය විදිහට හැමෝටම සාප කර කර හිටිය මංගලිකා නැන්දා අන්තිමේ පනඅදින්න පටන් ගත්තා. මහින්ද මාමයි, සරත් මාමයි තව ගමේ වැඩිහිටි දෙතුන්දෙනෙක් එක්ක එකතුවෙලා මංගලිකා නැන්දා ලඟට වෙලා පිරිත් කියනා අතරේ මංගලිකා නැන්දා අන්තිම හුස්ම හෙලුවා.
තමන්ට කොච්චර සාප කරත්, බැනවැදුනත් මංගලිකා නැන්දා ගැන පවුලේ හැමෝම ගොඩක් දුක්වුනා. ඒ නිසාමද කොහෙද මංගලිකා නැන්දාගේ අවසන් කටයුතුත් කිසිම අඩුවක් නැතිව කරන්න අනෙක් හැමෝම වගබලා ගත්තා. මිනිය භූමිදානය කලෙත් මහගෙදර ඉඩමේමයි. ඒත් මලගෙදර ඇවිත් හිටිය ගමේ සමහරුනම් කීවේ, ආයේ ඉතින් මේ ගෙදරනම් තොයිල් නටන්නම වෙයි කියලයි. ඇයි ඉතින් මංගලිකා නැන්දා මැරුනේ ලොකු වෛරයකින් හැමෝටම සාප කර කරනේ.
ඔය විදිහට අවසාන කටයුතුත් කෙරිලා හත් දවසේ බන කියනා දවසත් ආවා. හේවිසි ගහලා ශබ්දපූජා එහෙම පවත්වලා ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ වැඩමවලා හත්දවසේ බනත් කියෙවුවා. එහෙම බන කියලා හාමුදුරුවෝ ආපහු පන්සලට වැඩියා විතරයි කතිකලාගේ අම්මා වන කාන්ති නැන්දා ගේ ඇතුලේ ඉඳලා යටිගිරියෙන් කෑගහගෙන මිදුලට දුවන් ආවේ, " මංගලිකා..... මංගලිකා...... කාමරේ... ඇ.. ඇ... ඇතුලේ......" කියාගෙනයි. බන අහන්න ඇවිත් හිටිය අයත් කලබල වෙලා ගේ ඇතුලට දුවගෙන ගියේ මේ කලබලේ මොකක්ද කියලා බලන්නයි. මමයි කතිකයිත් ඒ අය පිටිපස්සේ දුවගෙන ගියා. ඒත් වැඩිහිටි අය අපිට ඇතුලටනම් යන්න දුන්නේ නෑ.
ඒ අතරේ හොඳටම බයවෙලා ගැහි ගැහී හිටිය කාන්ති නැන්දා එතන හිටිය කට්ටියකට සිද්ධ වුන දේ කියන්න පටන්ගත්තා. බන අහලා ඉවරවෙලා කාන්ති නැන්දා ගියාලු මංගලිකා නැන්දා හිටපු කාමරේට බඩු වගයක් තියන්න. කාමරේ ඇතුලට ගිහින් ලයිට් එක දානකොට මංගලිකා නැන්දා කොන්ඩෙත් කඩාගෙන ඇඳ උඩ ඉඳගෙන ඉඳලා එකපාරම කාන්ති නැන්දා දිහා බලලා. මංගලිකා නැන්දාගේ මූන බලන්න බැරි තරම් විරූපී වෙලාලු, හරියට යක්ෂණියක් වගේලු. අන්තිම වෙලාවෙි පන ඇදපු විදිහට උගුර යටින් ගොර ගොර ගාලා සද්දෙකුත් ඇහෙනවාලු. ඒක දැකපු කාන්ති නැන්දා කෑගහගෙන එලියට දුවන් ඇවිත් තියෙනවා.
ඔය කතාව කියනා අතරේ ගේ ඇතුලට ගියපු ගමේ අයත් ආපහු මිදුලට ආවා. එයාලා යනකොට මංගලිකා නැන්දා හිටිය කාමරේ තිබුන බඩුමුට්ටු හැම තැනම විසුරුවලා දාලාලු. උගුර යටින් කෙරෙන ගොර ගොර සද්දේ ඒ අයටත් ඇහිලා තියෙනවා. මේ වෙලාව වෙනකොට ගෙදර හිටිය හැමෝම වගේ මිදුලෙයි හිටියේ. එක පාරම ගේ ඇතුලේ බඩු පෙරලන, බඩු පොලවේ ගහන සද්දයක් අපි හැමෝටම ඇහුනා. ඒ විතරක් නෙවෙයි ඇරලාදාලා තිබුන ඉස්සරහා දොරෙන් සමහර බඩු මිදුලටත් විසිවුනා. මේ වෙන්නේ මොකක්ද කියලා බලන්න ගේ ඇතුලට යන්න ගියපු මහින්ද මාමාට යන්න ලැබුනේ ඉස්සරහා දොර ලඟට විතරයි. ගේ ඇතුලේ ඉඳලා එලියට විසිවෙලා ආව මැටි පිඟානක් නලලේ වැදිලා මහින්ද මාමගේ නලලෙන් ලේ ගලන්න පටන්ගත්තා. එතන හිටිය ගමේ අය පිරිසක් ඉක්මනින්ම මහින්ද මාමාව බෙහෙත් දාන්න එක්ක ගියා. මේවිදිහට තව දුරටත් ඒ ගෙදර ඉන්න අපහසු නිසා ඇවිත් හිටිය ගමේ අනිත් අය, කතිකලාගේ ගෙදර අයව තාවකාලිකව ගමේ වෙන ගෙදරකට එක්කරගෙන ගියේ, පහුවදා එලිය වැටුනාට පස්සේ කරනා දෙයක් කරමුයි කියලයි. මමත් එතන හිටිය අපේ ගෙවල් පැත්තේ කට්ටියක් එක්ක ආපහු ගෙදර ආවා. නිදාගන්න ගියාට නින්දක්නම් ලැබුණේ නෑ. ඇහැ පියවෙනකොටම ඒ සිද්ධිය මතක්වෙනවා. කාමරේ ලයිට් එකත් දාගෙන සෑහෙන වෙලාවක් ඇහැරගෙන හිටිය මට පාන්දර නින්දගිහින් තිබුණා.
එදාට පස්සේ මට කතිකලාගේ ගෙවල් පැත්තේනම් යන්න ලැබුනේ නෑ. ඒත් රෑ විතරක් නෙවෙයි, මහ දවාලේත් කතිකලාගේ ගේ ඇතුලේ මංගලිකා නැන්දාගේ අවතාරය පෙනෙන්න පටන්ගෙන තියෙනවා කියලා අපේ අප්පච්චි, අම්මා අතින් කියනවා මට ඇහුනා. කොහොමහරි ඔය හේතුව නිසාම කතිකලා මහගෙදර අතහැරලා දාලා කුලී ගෙදරක පදිංචියට ගියා. එයාලාගේ ගෙදර තිබුණ බඩුමුට්ටු කිසිම දෙයක් ගෙදරින් එලියට ගෙනියන්න හම්බවෙලා නෑ කියලා තමයි ගමේ අය කතාවුනේ.
කතිකලා ගමෙන් ගියාට පස්සේ එයාලාගේ ගෙදරයි, ඉඩමයි පාලුවට ගියා. ඒ වගේම හවස කලුවර වැටුනාට පස්සේ ඒ ඉඩම ලඟින් වැටිලා තියෙන පාරේ ගමන්කරපු ගමේ ගොඩාක් අයට උගුර යටින් නැගෙන ගොර ගොර ශබ්දයක් ඇහිලා බයවෙලා තියෙනවා. ඒ වගේම සමහර අය මංගලිකා නැන්දාගේ අවතාරය දැකලත් බයවෙලා තියෙනවා.
ගමේ අයට මේ සිද්ධවෙන කරදර නිසාම අපේ අංගම්මන සීයා, මංගලිකා නැන්දාගේ අවතාරයට ඒ ඉඩමෙන් පිටතට යන්න බැරිවෙන විදිහට ගුරුකමක් කරාලු. එදා ඉඳලා ගමේවත්, පාරවල්වලවත් මේ අවතාරය කාටවත් දකින්න ලැබිලා නෑ. ඒත් කතිකලාගේ ඉඩමේ හොරෙන් සාදික්කා කඩන්න ගියපු කොල්ලෝ වගයක්නම් හොඳටම බයවෙලා තියෙනවා. අංගම්මන සීයා මගෙත් එක්ක කීවේ, මහින්ද මාමලා ගේ අතහැරලා නොයා අංගම්මන සීයාට කීවානම් එයාට ඔය කරදරය නිදහස් කරලා දෙන්න තිබුණා කියලයි. කොහොමහරි තවමත් මංගලිකා නැන්දාගේ අවතාරය සමරකෝන් වත්තේ සැරිසරන බවනම් ගමේ හැමෝම විශ්වාස කරනවා.
ආශාවෙන්, තන්හාවෙන් මැරුණ එවුන් මැරිලත් ඒ අශාකරපු දේවල් ලඟටම වෙලා ඉන්නවා කියලා තමයි මමත් අහලා තියෙන්නේ. හැමදාම වගේ ලයික්, කමෙන්ට්ස් දාලා මගේ කතා අගයන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි
Source: Link
No comments:
Post a Comment