මේ කතාව මට කීවේත් අපේ අංගම්මන සීයාම තමයි. දැනට අවුරුදු හැටකට විතර කලින් සිද්ධ වුන සිදුවීමක්. අංගම්මන සීයා මන්තර ගුරුකම් පැත්තෙන් සුපිරිම වැඩ්ඩෙක් කියලා මම ඔයාලාට කලින් කතාවකත් කියලා තියෙනවානේ. ඒ වගේම අංගම්මන සීයාගේ තාත්තාත් ඒ කාලේ හිටිය සුපිරිම වැඩ්ඩෙක්ලු. මේ දෙන්නා කරපු වැඩක් ගැන තමයි මම මේ ඔයාලාට කියන්න හදන්නේ.
1960 වර්ෂයේ විතර අපේ ගම සුද්දෝ හදපු විශාල තේ වතු යායක් කියලා මම කලින් කීවානේ. ඒ වගේම මහලියද්ද කියලා විශාල කුඹුරු යායකුත් ගම මැද්දේ තියෙනවා. මේ කුඹුරු යායේ එක් පසෙකින් ලස්සන ඔයකුත් ගලාගෙන යනවා. අනෙක් පසින් කෝරලේ වත්ත කියන කැලෑ ඉඩමක් තමයි තියෙන්නේ. අද වෙනවිට කාපට් පාරවල් එහෙම ඉදිවෙලා ටිකක් දියුනු වෙලා තිබුනාට, ඒ කාලේනම් අපේ ගම හරිම දුෂ්කර ගමක් කියලයි අංගම්මන සීයා කියන්නේ.
මේ කියන කාලේ අංගම්මන සීයා අවුරුදු විස්සක විතර තරුණයෙක්ලු. ගමේ මිනිස්සුන්ගේ ප්‍රධාන ගොවිතැන තේ වගාව වුන නිසා, වසර ගනනාවක්ම මම අර කලින් කියපු මහලියද්ද කුඹුරු යාය පුරන් වෙලාලු තිබුනේ. මේ මහලියද්ද ඒකාලේ අයිතිවෙලා තිබුණේ ගමේ කොරලේ මහත්තයාටලු. මේ කෝරලේ මහත්තයා අපේ අංගම්මන සීයාගේ මාමා කෙනෙක්ලු. ලඟම නෑදෑයෙක් වුනත් මේ කෝරලේ මහත්තයා හැමෝටම කෲර විදිහට සලකපු, යකෙක් වගේ මිනිහෙක්ලු. ඒ වගේම තමන්ගේ නෑදෑයන්ටත් හතුරුකම්මලු කළේ.
අපේ අංගම්මන සීයලාට ඒකාලේ කුඹුරු තිබිලා නෑ. ඒ නිසා අංගම්මන සීයාට හිතුනාලු කෝරලේ මහත්තයා හම්බවෙලා පුරන්වෙලා යන මහලියද්ද කුඹුර අඳේට වැඩකරන්න ඉල්ලාගන්න. මේ කෝරලේ මහත්තයා ඒකාලේ ජීවත්වුන වලව්ව තිබිලා තියෙන්නේ මම අර කලින් කියපු කෝරලේ වත්ත කියන ඉඩමේ මැද හරියේ කඳුගැටයක් උඩ. ඉතින් අපේ අංගම්මන සීයාත් හොඳ කිතුල් පැනි බෝතලයක් එහෙම අරගෙන කෝරලේ මහත්තයා හම්බවෙන්න ගිහින් තියෙනවා කෝරලේ වලව්වට. අංගම්මන සීයාගේ අදහස අහපු කෝරලේ මහත්තයා, " තොපි එකෙක්ටවත් මම බිම් අඟලක් දෙන්නේ නෑ. කුඹුර ඔහේ පුරන්වෙලා ගියපුදෙන් " කියලා අංගම්මන සීයාව බැනලා එලවාගත්තාලු.
මේ කෝරලේ මහත්තයා අංගම්මන සීයාගේ මවගේ සහෝදරයා වුන නිසා අංගම්මන සීයලාටත් හරියට බැලුවොත් මහලියද්ද කුඹුරේ අයිතියක් තියෙනවාලු. එදා සිද්ධවුන දේ අංගම්මන සීයා ගෙදර ගිහින් එයාගේ තාත්තාට කීවාම එයාට හොඳටම කේන්ති ගිහින්, කෝරලේ වලව්වට ගිහින් කෝරලේ මහත්තයාට කනේ ඇඟිලි ගහගන්න දෙක තුනක් කියලා තියෙනවා. ඒ වගේම පහුවදාම අංගම්මන සීයාවත් එක්කගෙන මහලියද්දට ගියපු එයාගේ තාත්තා මහලියද්ද හරහා දඬු වැටකුත් ගහලා තමන්ගේ කොටස වෙන් කරගෙන අංගම්මන සීයාට ඒ කොටස වගාකරන්න කියලා තියෙනවා.
අංගම්මන සීයාගේ තාත්තා වගේම දක්ෂයෙක් නොවුනත්, කෝරලේ මහත්තයාත් මන්තර ගුරුකම් පැත්තෙන් යම් තරමක වැඩ්ඩෙක්ලු. කොහොමහරි අංගම්මන සීයාත් මහන්සියෙන් කුඹුර වගා කරලා එහෙම වල් සතුන්ගෙන් ගොයම ආරක්ෂා කරන්න ඕනේ නිසා හැමදාම අඳුර වැටීගෙන එන කොට කුඹුරේ ඉදිකරපු පැලට ගිහින් පැල් රකිනවාලු. දවසක් මේ විදිහට පැලට වෙලා කවියක් එහෙම කිය කිය ඉද්දි අංගම්මන සීයා දැක්කාලු හුලුඅත්තකුත් පත්තුකරගෙන කෝරලේ මහත්තයා කුඹුරේ නියර දිගේ ගමන් කරනවා. අංගම්මන සීයා හිටිය පැල පහුකරලා යද්දී හයියෙන් කාරලා කෙල පාරක් ගහපු කෝරලේ මහත්තයා අංගම්මන සීයාටත් රවාගෙන පිටවෙලා යන්න ගියාලු. එදා රාත්‍රියේ අංගම්මන සීයාට ටිකක් නින්ද ගියාලු එකපාරම කුඹුර දිහාවෙන් ඇහුන ශබ්දයක් නිසා ගැස්සිලා ඇහැරුන අංගම්මන සීයාට දකින්න ලැබිලා තියෙන්නේ, විශාල වල් ඌරෝ රංචුවක් කුඹුර විනාස කරනවාලු. ඉක්මනින්ම හුලුඅත්තකුත් පත්තු කරගෙන කෑගහගෙන ඒ පැත්තට දුවපු අංගම්මන සීයා පුදුම වුනාලු. පැලේ ඉද්දි දැකපු ඌරෝ රංචුව කුඹුරේ ඉඳලා නෑ ඒ වගේම කුඹුරත් කලින් තිබුණා වගේම විනාස නොවී තිබුනාලු.
මේ සිදුවුන දේ හරිහැටි තේරුම් ගැනීමට නොහැකිව කල්පනා කරමින්ම අපහු පැලට එන්න හිතාගෙන අංගම්මන සීයා හුලුඅත්තත් වන වනා ආවලු. පැලට නගින්න තියෙන ඉණිමගේ අඩි දෙක තුනක් ඉහලට නගිනකොට මොකක්හරි අමුත්තක් දැනුන නිසා අංගම්මන සීයාට පැලේ ඉහල බැලිලා තියෙනවා. කලුම කලු මිනිස් ශරීරයක් සහ ඌරු ඔලුවක් තියෙන අමනුස්සයෙක් පැලේ ඉහල ඉඳගෙන අංගම්මන සීයා දිහා බලාන ඉඳලා හිනාවුනාලු. ඒ වෙලාවේනම් අංගම්මන සීයාට හීන්දාඩිය දැම්මාලු. ඒත් එයාගේ තාත්තාට පිංසිද්ද වෙන්න ගුරුකම් වැඩ ගැන යම්කිසි දැනුමක් ඒ වෙනකොටත් ලබලා හිටිය අංගම්මන සීයා තැනට සුදුසු මන්තරයක් මතුරන්න පටන්ගත්තාලු. ඒ එක්කම අර අමනුෂ්‍යයා හයියෙන් හූවකුත් කියාගෙන පැලෙන් පහලට පැනලා දිව්වාලු.
ඒ අමනුස්ස හූ හඬ ගමේ ගොඩක් දුරකට ඇහිලා තියෙනවා. ඒ වගේම ඒ හඬ ඇහිලා කෝරලේ මහත්තයාත් හුලුඅත්තකුත් අරන් කුඹුර අයිනට ඇවිත් එබිකම් කරලා බලනවා දැකපු අපේ අංගම්මන සීයාත් හිටපු තැනම මැරිලා වැටිලා වගේ දිගාවුනාලු. නියර දිගේ එතනට ඇවිත් බලපු කෝරලේ මහත්තයා ආපහු හැරිලා හිනාවෙවී යන්න ගියාලු.
පහුවදා උදේ ගෙදර ගිහින් සිද්ධ වුන දේ අංගම්මන සීයා එයාගේ තාත්තාට කියලා තියෙනවා. ඒක අහපු තාත්තා කාමරේට ගිහින් මතුරන්න පටන්ගත්තාලු. ඒ විතරක් නෙවෙයි " ආයේ උඹ පැල් රකින්න යන්න ඕනේ නෑ.... කෝරලේම ඒ ටික කරයි " කියලා හිනාවෙවී මිදුල දිහාවට ගියාලු.
කොහොමහරි එදා හවස අංගම්මන සීයාට හිතිලා තියෙනවා කුඹුර පැත්තේ ගිහින් බලන්න. ඒ නිසා ටිකක් ඇඳිරි වැටුනාට පස්සේ සීයා හුලුඅත්තකුත් පත්තුකරගෙන කුඹුර පැත්තට ගියාලු. කුඹුරේ පැල කිට්ටුවට යද්දී,අංගම්මන සීයාට පේනවාලු කෝරලේ මහත්තයා පැල උඩ ඉඳගෙන එක එල්ලේම කුඹුර දිහාවම බලාගෙන ඉන්නවා. කෝරලේ මහත්තයා බලාන ඉන්න දිසාව දිහා බලපු අංගම්මන සීයාට, අර කලින් දවසේ දැකපු කලුම කලු මිනිස් සිරුරක්සහ ඌරු ඔලුවක් තියෙන අමනුස්සයා කෝරලේ මහත්තයා දිහාවම බලාන ඉන්නවා දකින්න ලැබුනාලු. අංගම්මන සීයාත් මේකනම් අනිවාරයෙන්ම තාත්තාගේ හපන්කමක් තමයි කියලා හිතලා, තනියම හිනාවෙවී ගෙදර ගියාලු.
පහුවදා උදේ ගෙදර මිදුලේ ඉඳලා අඬ අඬා කෑගහන පිරිමි කටහඬක් ඇහිලා අංගම්මන සීයා ඒ දිහාවට ගියාලු. ඒ යනකොට ඉස්තෝප්පුවෙ හාන්සිපුටුවකට වෙලා ඉන්න තාත්තාගේ කකුල බදාගෙන කෝරලේ මහත්තයා අඬනවාලු.
" අනේ මල්ලියේ..... මේ මල යකාගෙන් මාව ගලවලා දියන්...." කියලා.
අංගම්මන සීයාගේ තාත්තාත් කියනවාලු " උඹ එවාපු යකා උඹම තියාගනින් අයියේ... අපිට ඌගෙන් ඇති වැඩක් නෑ...." කියලා.
බැලින්නම්, එදා කෝරලේ මහත්තයා අංගම්මන සීයා පැල් රැක රැක ඉද්දි කුඹුර මැදින් යන ගමන් ගුරුකමක් කරලා කුඹුරට යකෙක් බන්දලා තමයි ගිහින් තියෙන්නේ. ඒ බව දැනගත්තු අංගම්මන සීයාගේ තාත්තා, ඒ බන්දනය කපලා ඒ යකාවම කෝරලේ මහත්තයා පස්සේ යන විදිහට ගුරුකමක් කරලා.
කොහොමහරි කුඹුරේ ගොයම් කපනකන්ම කෝරලේ මහත්තයාට රෑ පැල් රකින්න සිද්ධ වුනාලු. ගොයම් කපලා බැත ගෙට ගෙනාව දවසේ හවස අංගම්මන සීයාත් අඬගහගෙන කෝරලේ වලව්වට ගියපු තාත්තා, මන්තරයක් අල්ලට මතුරලා කෝරලේ මහත්තයාගේ නලලට අත තියලා තමයිලු ඒ බන්දනය කපලා තියෙන්නේ. එදායින් පස්සේ ආයේ කවදාවත් කෝරලේ මහත්තයා අංගම්මන සීයලාටනම් කිසිම දෙයක් කරන්න ආවේ නැතිලු. ඒ විතරක් නෙමෙයි සීයලාට අයිතිවෙන්න තිබුණ ඉඩම් පවා බෙදලා වෙන් කරලා දුන්නාලු.
ඒ කාලේ ඔය වගේ සුපිරි වැඩ්ඩෝ ඉඳලා තියෙනවා. අංගම්මන සීයාත් ඒ වගේම වැඩ්ඩෙක් කියලා තමයි අපේ ගමේ අය කියන්නේ. ඒත් දැන් එයාට වයස නිසා ගෙදරින් එලියට යන්නෙත් කලාතුරකින් තමයි. දුකට කාරනේ තමයි අංගම්මන සීයාගෙන් පස්සේ මේ ශාස්ත්‍රය ඉදිරියට ගෙනයන්න එයාට දරුවෙක්වත්, හරිහමන් ගෝලයෙක්වත් නොවීම.
Source: Link
Niyamai supiri...
ReplyDelete👍👌
ReplyDeleteelm
ReplyDelete