මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

08 June 2020

---නොසන්සිඳුනු වෛරය---



මේ සිද්ධියනම් අපිට වුන සිද්ධියක් නෙමෙයි. ඒත් ඔයාලා කියවන්න ආසා වෙයි කියලා හිතුන නිසයි ලියන්නේ. අපේ ගම් පලාත ඉස්සර ජේ වී පී කලබල හොඳටම තිබුණ පලාතක්ලු. ගමේ ඉන්න පරන මිනිස්සු තවමත් කියනවා, ඒ කාලේ හැමදාම වගේ ගමේ තැන් තැන්වල වෙඩිතියපු, පුච්චපු, කපලා කොටලා දාපු මලමිනී දකින්න ලැබෙනවාලු. මම දැන් ඔයාලාට කියන්න යන කතාවත් මෙන්න මේ කාලෙට සම්බන්ධ කතාවක්. මට ඒ කතාව කීවේ අපේ ගමේ ජීවත්වෙන, දුරින් අපේ නෑදෑයෙකුත් වෙන, අවුරුදු අසූ පහක් විතර වයස අංගම්මන සීයායි.

අපේ ගෙවල් පහුකරලා මීටර් අටසීයක් විතර යනකොට, ගෙවල් දොරවල් නැති පට්ටම පාලු හරියක් හම්බවෙනවා. ඒ හරියටම තියෙන්නේ එකම එක පරන බංගලාවක් විතරයි. පාරෙන් උඩ පැත්තට වෙන්න ලොකු කලුගල් කුට්ටි එකින් එක තියලා හදපු, අඩි විස්සක් විතර උස බැම්මකට උඩින් තමයි මේ බංගලාව ඉදිකරලා තියෙන්නේ. සුද්දොන්ගේ කාලේ අපේ මේ මුළු ගමම එකම තේ වතු යායක්ලු. දැන්නම් පොඩි පොඩි තේවතු දෙක තුනක් හැරුනාම අනෙක් ඉඩම් ගම්මිරිස්, සාදික්කා, කරාඹු වගේ වගාවල් වලින් තමයි සමන්විත වෙලා තියෙන්නේ. සුද්දන්ගේ කාලේ ඉදිකරපු, දැනට ගරාවැටෙමින් තියෙන තේ ෆැක්ටරි දෙකකුත් තවමත් අපේ ගමේ දකින්න ලැබෙනවා. මම අර කලින් කියපු පැරැණි බංගලාවත් ඔය සුද්දෝ ඉදිකරපු බංගලාවක්. බැලූ බැල්මට ජරාවාස වෙලා අමුම අමු මූසල පෙනුමක් තිබුනාට, ඒ කාලෙදී නම් විශාල තේවතු යායක් මැද්දේ පිහිටි මේ බංගලාව හරි ලස්සනට තියෙන්න ඇති.

සුද්දොන්ගෙන් නිදහස ලැබුනාට පස්සේ මේ ඉඩම් බෙදලා වෙන්වෙලා එක් එක් මිනිස්සුන්ට අක්කර පහ, දහය, විස්ස වගේ කොටස් අයිති වෙලා මේක ගමක් වුනා. මම කලින් කියපු බංගලාවයි, ඒ බංගලාව පිහිටි අක්කර විස්සක ඉඩමයි හේරත් කියලා, යමක් කමක් තියෙන පෝසතෙක් මිලදී ගත්තාලු. ඒ හේරතුයි එයාගේ බිරිඳයි තරුණ නිවුන් දියණියන් දෙන්නයි මේ බංගලාවේ තමයි පදින්චි වෙලා ඉඳලා තියෙන්නේ. මම අර කලින් කියපු කලබල තිබුන කාලේ, අපේ ගමේ මිනිස්සු හවස හයෙන් පස්සේ ගෙවල් වලින් එලියටවත් බැස්සේ නෑලු. ගෙවල් අස්සට වෙලා මර බයෙන් ගැහි ගැහි තමයි ජීවත් වෙලා තියෙන්නේ. මේ කතාව මට කීව අංගම්මන සීයාට එතකොට වයස අවුරුදු හතලිහක් විතර ඇතිලු. එක දවසක් උදේ අංගම්මන සීයා කඩේට යනකොට ගමේ මිනිස්සු ලොකු කලබලයකින් පාර දිගේ දුවනවාලු. සීයාත් ඒ මිනිස්සු ලඟට ගිහින් කලබලේ මොකක්ද කියලා අහලා. කලින් දවසේ රෑ අර බංගලාවේ හිටිය හේරත් මහත්තයාවයි, එයාගේ නෝනාවයි කපලා කොටලා මරලා දාලාලු. ගමේ මිනිස්සු දුවන්නේ ඒ බංගලාවටලු. ඉතින් අංගම්මන සීයාත් ඒ මිනිස්සුත් එක්ක එකතුවෙලා බංගලාවට ගිහින් තියෙනවා.

බංගලාවේ මිදුලේ හේරත් මහත්තයා බෙල්ලට කෙටුව කඩු පහරකින් මැරිලා වැටිලා ඉඳලා තියෙනවා. ඒ ලඟම හේරත් මහත්තයාට අයිති ලයිසන් තුවක්කුවත් වැටිලා තිබුනලු. ඊට අමතරව ඒ ලඟම අර තුවක්කුවෙන් වෙඩි තියපු පතුරන් කොපු වගයකුත් තිබිලා තියෙනවා. ඊටත් අඩි ⁣ගානක් එහායින් බිම ලේ පැල්ලම් වගේකුත් තිබුනාලු.
බංගලාව ඇතුලට ගියපු අංගම්මන සීයාට හේරත් මහත්තයාගේ බිරිඳගේ මලසිරුර සාලේ මැද්දේ වැටිලා තියෙනවා දකින්න ලැබුණාලු. කැපුම් කෙටුම් පාරවල් ඇඟ හැම තැනම තිබුනාලු. ඒත් හේරත් මහත්තයාගේ නිවුන් ගැහැණු දරුවන් දෙන්නා ගැන කොයිතරම් හොයලා බැලුවත්, කාටවත් එයාලාව හොයාගන්න ලැබිලා නෑ. ඉතින් හේරත් මහත්තයාගේ නෑදෑයන්ටත් දන්වලා, ගමේ අය එකතුවෙලා අවසන් කටයුතු සිද්ධ කරලා තියෙනවා.

ඉතින් අපේ අංගම්මන සීයාත් එදා ඔය මලගෙදර වැඩවලට උදවු වෙන්න ගිහින් තියෙනවා. ඒ කාලේ අපේ ගමේ කරන්ට් තිබිලා නෑ. අර බංගලාවේ පිටිපස්සේ කාමරේක හයිකරලා තිබුණ ජෙනරේටර් එකකින් තමයි බංගලාවට කරන්ට් එක අරන් තියෙන්නේ. ඉතින් මලගෙදර මිදුලේ ගමේ මිනිස්සු එකතුවෙලා රැය පහන්කරන්න ඕනේ නිසා දාම්, ඕමි වගේ සෙල්ලම් කරනවාලු. ගෑනු අය තේ හැදීම, කෑම ඉවීම වගේ වැඩ කරනවාලු. ඔහොම ඉද්දී පාන්දර තුනට විතර එකපාරම ජෙනරේටරේ ඕෆ් වුනාලු. දැන් මුලු බංගලාවම කට්ට කලුවරයිලු. ඒ එක්කම එකපාරට බංගලාව ඇතුලෙන් " අනේ අම්මේ... අනේ තාත්තේ... අපිව බේරාගන්න...... " කියලා, විලාප තියලා කෑ ගහන කාගෙදෝ ගෑනු කටහඬවල් දෙකක් ඇහිලා තියෙනවා. අංගම්මන සීයාත් ඉනේ ගහගෙන හිටපු ටෝච් එක පත්තුකරගෙන තව පිරිමි දෙතුන් දෙනෙක් එක්ක බංගලාව ඇතුලට දුවලා තියෙනවා මේ කලබලේ මොකක්ද බලන්න. ඒත් බංගලාව ඇතුලේ කිසිම කලබලයක් සිදුවුන ලකුණක්වත් නෑලු.

ඒ අතරේ තවත් පිරිසක් එකතුවෙලා ඕෆ් වුන ජෙනරේටර් එක ආයෙත් පනගන්වලා. විදුලි ආලෝකය ලැබුනාට පස්සෙලු අංගම්මන සීයලාට දකින්න ලැබිලා තියෙන්නේ, මල මිනී දෙක තැන්පත් කරලා තිබුන තැන ඉඳලා, බංගලාවේ පිලිකන්න පැත්තට යනකන් තැන් තැන්වල ලේ පාරක් විහිදිලා තියෙනවා. පිලිකන්නේ මිදුලේත් ඒ ලේ පාර තේ වත්තේ කන්ද දිහාවට විහිදිලා තිබුනාලු. අංගම්මන සීයාට ඒ ලේ පාර මොකක්ද කියලා බලන්න වත්ත උඩහාට යන්න හිතිලා, එතන හිටිය අයට ඒ අදහස කීවත්, එතැන හිටිය හැමෝම අදිමදි කලාලු. ඒ කාලේ අපේ ගමේ සිදුවුන මිනී මැරීම් වගේ දේවල් නිසා ඒ අය එහෙම බය වෙන්න ඇති. ඒ වගේම ඒ අය අංගම්මන සීයාටත් තනියෙම යන්න දීලා නෑ. ඒයාලා ආපහු බංගලාව දිහාට එන්න හැරෙනකොටම වගේ වත්ත උඩහින් ආයෙත් අර විලාප හඬ ඇහෙන්න පටන්ගත්තාලු. " අනේ.... අපිව බේරාගන්න...." කියලා.

ඒ වෙලාවේ මලගෙදර ආරක්ෂාවට ඇවිත් හිටිය පොලිස්සියේ දෙන්නෙක්ටත් මේ සද්දේ ඇහිලා තියෙනවා. ඒත් එයාලත් තනියම යන්න බයවෙලා. මොකද ඒ කාලේ පොලිස් නිලධාරීන්වත් මරනවානේ. කොහොමහරි පාන්දර වෙනකන්ම සැරින් සැරේ අර විලාප හඬ ඇහුනත් කවුරුත්ම බලන්න ගිහින් නෑ. පාන්දර එලිය වැටුනාට පස්සේ අංගම්මන සීයායි ගමේ මිනිස්සු කට්ටියකුයි අර ලේ පාර දිගේ කන්දට නැගලා තියෙනවා. කන්ද මුදුනේ තිබුණ ගල් තලාවක් පාමුල තිබිලා හේරත් මහත්තයාගේ එක දියණියක්ගේ මලසිරුර හම්බවෙලා තියෙනවා ඒ සිරුර සම්පූර්ණයෙන්ම නිර්වස්ත්‍රවයි තිබිලා තියෙන්නේ. තවත් ටිකක් හොයලා බලද්දි ඊට ටිකක් දුරකින් තිබුණ එරමිණියා ගාලක් යට තිබිලා හේරත් මහත්තයාගේ අනිත් දියණියගේ මල සිරුරත් හම්බවුනාලු. ඒ සිරුරත් සම්පූර්ණයෙන්ම නිර්වස්ත්‍රවයි තිබිලා තියෙන්නේ.

මරණ පරීක්ෂණයේදී හෙලිදරවු වුනාලු මේ සිරුරු දෙකම සමූහ දූෂණයකට ලක්වෙලා කියලා. ඊට අමතරව ඒ සිරුරු දෙකම ඒ වන විටත් මියගිහින් පැය හතලිස් අටකට වැඩියි කියලත් මරන පරීක්ෂණයේදී අනාවරනය වුනාලු. එයාලා මිය ගිහින් පැය හතලිස් අටකටත් වැඩිනමි, කලින් දවසේ ඇහුන කටහඬවල් කාගේද කියලා අංගම්මන සීයා දහඅතේ කල්පනා කරන්නට වුනාලු.
කොහොම හරි, සතුටින් දිවි ගෙවපු, කාටත් කරදරයක් නොකරපු හේරත් මහත්තයාගේ පුංචි කැදැල්ල, මේ විදිහට එක් දවසකින් විනාස වුන එක ගැනනම් එදා ගමේ හැමෝම දුක් වුනාලු, වැලපුනාලු.

මම මුලින් කීවානේ හේරත් මහත්තයාගේ මලසිරුර වැටිලා තිබුණ තැන පතුරම් කොපු වගයක් වැටිලා තිබුනා කියලා. ඒ තැනට ටිකක් දුරින් ලේ පාරකුත් තියෙනවා මිනිස්සුන්ට දකින්න ලැබිලා තියෙනවා. පොලීසිය ගමේ අය දැනුවත් කලාලු, වෙඩි වැදුන කවුරුහරි කෙනෙක් ගමේ ඉන්නවාද බලලා පොලීසියට දැනුම් දෙන්න කියලා. ඒ කාලේ අපේ ගමේ හිටියලු ජුවන් කියලා මැරයෙක්. ගමේ හැමෝම මල ගෙදර ආවත් මේ ජුවන් ආව නැති නිසා ඒ ගැන සැක හිතපු ගමේ පිරිසක් ජුවන්ගේ ගෙදරට යනකොට උරහිසක් රෙදිකඩකින් වෙලාගෙන, බූරු ඇඳට වෙලා කෙඳිරි ගාමින් ඉන්න ජුවන්ව දකින්න ලැබිලා තියෙනවා. මේ ගැන පොලීසියට කීවාට පස්සේ ජුවන් අත්අඩංගුවට පත්වුනාලු. ඒත් ජුවන්ගේ මැර පිරිසේ අනිත් අය ගමෙන් පැනලා ගිහින් තියෙනවා.
කොහොම හරි මේ මරණ සිදුවුන දවසේ ඉඳලා හැන්දෑ කලුවර වැටුනාට පස්සේ ගමේ කවුරුවත් අර බංගලාව පැත්තේනම් ගියේ නෑලු. ඒකට හේතුව තමයි ගමේ කිහිප දෙනෙක්ම නිර්වස්ත්‍රව අඬමින් ඉන්න ගෑනු දෙන්නෙක් බංගලාව ඉස්සරහා ඉන්නවා දැකලා බයවීම. මේ බයවෙන හැමෝටම මතුරලා නූල් බැඳලා සුව කරලා තියෙන්නේ අපේ අංගම්මන සීයාගේ තාත්තාලු. එයාගේ තාත්තා ඒ කාලේ හිටිය සුපිරිම වැඩ්ඩෙක්ලු. අංගම්මන සීයාටත් ඒ හැකියාව ඒ විදිහටම පිහිටලා තියෙනවා කියලයි අපේ ගමේ කවුරුත් කියන්නේ.

ගමේ මිනිස්සුන්ට මේ බංගලාව ලඟදි අත් විඳින්නට වෙන කරදර හිරිහැර නිසාම අංගම්මන සීයාගේ තාත්තා මේ ගෑනු ආත්ම දෙක හිරකරන්න හිතුවාලු. ඒ කාලේ තාත්තාගේ ගෝලයා විදිහට අංගම්මන සීයාටත් ඒ ගමන යන්නට සිදුවුනාලු. සතියක් විතර වෙහෙස මහන්සි වෙලා, වැඩේට අවශ්‍ය කලමනා එහෙම සූදානම් කරගත්තු මේ දෙන්නා එක දවසක රාත්‍රියේ බංගලාවට යන්න පිටත්වුනාලු. බංගලාව කිට්ටුවට යනකොටම අංගම්මන සීයාට ගෑනුකෙනෙක් ඉකිබිඳින හඬක් ඇහිලා තියෙනවා. බංගලාවේ ගේට්ටුවට පයින් පාරක් ගහලා ඒක ඇරගත්තු අංගම්මන සීයාගේ තාත්තා " කොහෙවත් නොයා මගේ ලඟින්ම හිටපන්.. වයිරයෙන් මැරුණ ආත්ම අපි හිතනවාට වඩා ගොඩාක් බලගතුයි " කියලා අංගම්මන සීයාට කිව්වාලු.
තාත්තයි පුතයි ගේට්ටුවෙන් ඇතුල්වෙලා මිදුලට යද්දිම ගේ ඇතුලෙන් " පලයවු...... පලයවූ......" කියලා වෛරයකින් කෑ ගහන අමිහිරි ගැහැණු කටහඬක් ඇහෙන්න ගත්තාලු. ඒ එක්කම මිදුලේ තිබුණ අඹ ගහක අත්තක් හුලඟකුත් නැතුවම එකපාරම අංගම්මන සීයලාගේ ඇඟට කඩාගෙන වැටුනාලු. හොඳ වෙලාවට අත්තේ කඳ කොටස වෙනුවට අතු අග්ගිස්ස තමයි මේ අයගේ ඇඟට වැටිලා තියෙන්නේ.
ඒ⁣ වෙලාවෙම බිමට නැමිලා වැලි අහුරක් අතටගත්ත අංගම්මන සීයාගේ තාත්තා මහ හයියෙන් මතුරන්න පටන්ගත්තාලු. ඒ එක්කම ගේ ඇතුලෙන් යටිගිරියෙන් කෑ ගැසීම්, බඩු⁣ පෙරලීම් වගේ සද්දත් ඇහෙන්න පටන්ගත්තාලු. මැතිරීම ඉවර වෙනවාත් එක්කම අංගම්මන සීයාගේ තාත්තා ඒ වැලි ඉදිරියට ඉසිමින් ⁣බංගලාවේ දොරෙන් ඇතුල්වුනාලු. එහෙම ඇතුල්වෙලා ගෙනාපු මල්ලකින් අලු වගයක් අරන් මතුරන ගමන් බිම අඩි හතරේ හතරේ විතර කොටුවක් ඒ අලුවලින් ලකුණු කලාලු. ඊටත් පස්සේ අංගම්මන සීයාවත් ඒ කොටුව ඇතුලට කැඳවලා කිසිම හේතුවකට ඒ කොටුවෙන් එලියටනම් යන්න එපා කියලා කොටුව ඇතුලේ බිම ඉඳගෙන තවත් මල්ලකින් කුප්පි දෙකක් එලියට අරන් ඒවායේ පියන් ඇරලා බිමින් තිබ්බාලු.

එහෙම ඉන්න ගමන් පහනකුත් පත්තුකරලා එහෙම ආයෙත් මතුරන්න පටන්ගන්නකොටම ගෙදර ඇතුලේ තියෙන බඩු එහෙම ඉබේම පෙරලිලා සීයලා හිටපු දිහාවට වේගයෙන් ඇදිලා එන්න පටන්ගත්තාලු. ඒත් අර කොටුවෙන් ඇතුලට ඒ කිසිම දෙයක් ආවේ නැතිලු. මේ විදිහට පැයකට වැඩි කාලයක් කෙරුණු මැතිරීමේදී අවලස්සන නිර්වස්ත්‍ර ගැහැනු රූප දෙකක් අර කොටුව ඇතුලට එන්න පොරකනවාලු. යටිගිරියෙන් කෑගසමින්, ⁣කටින් ලේ පෙරමින් කොටුව ඇතුලට කඩාවදින්න දඟලන ඒ ගැහැනු ආත්ම දෙක දැකපු අපේ අංගම්මන සීයාට මුලින්ම බය හිතිලා ඒ පැත්තවත් බලන්නේ නැතිව බිම බලාගෙන හිටියාලු. එතකොට සීයාට ඇහෙන්න පටන්ගෙන තියෙනවා " මෙහෙට වරෙන්... මෙහෙට වරෙන්...." කියලා කියන ගෑනු කටහඬක්. ඒ කටහඬ ඇහුන දිහාව බලපු සීයාට ලස්සනම ලස්සන කෙල්ලක් එයා දිහාට අත දික්කරගෙන අඬගහනවා දකින්න ලැබුනාලු. ඒ කෙල්ලගේ වචනවලට වශීවුනා වගේ අංගම්මන සීයාත් හිටපු තැනින් නැගිටලා එයා දිහාට යන්න පටන්ගෙන තියෙන්නේ සීයාටවත් හිතාගන්න බැරි විදිහටලු. ඒත් ඒක දැකපු අංගම්මන සීයාගේ තාත්තා එකපාරම අංගම්මන සීයාව පස්සට ඇදලා දාලා ඒ එක්කම අලුවලින් ඇඳපු කොටුවේ එක කොනක් කකුලෙන් මකලා දාලා ඒ පැත්තට අර බෝතල් දෙකේ කටවල් හිටින විදිහට ඇල්ලුවාලු. තත්පර විස්සක් විතර සිදුවුන මේ සිද්ධියේදී අංගම්මන සීයා බලා ඉඳිද්දිම අර ගෑනු ආත්ම දෙක ඒ බෝතල් දෙකට ඇදිලා ආවලු. ඒ එක්කම ඒ බෝතල්වල කටවල් වහපු අංගම්මන සීයාගේ තාත්තා හයියෙන් හිනාවෙලා දැන් ඉතින් යමං කියලා බංගලාවෙන් එලියට ආවේ සීයාගේ අතකින් ඇදගෙනමලු.

බංගලාවේ ප්‍රධාන දොරෙන් පිටවෙලා එලියට ඇවිත් අර බෝතල් දෙකත් මල්ලක දාගෙන පිටවෙලා යන්න ගියපු අංගම්මන සීයලාට එකපාරම පිරිමි කටහඬක් ඇහිලා තියෙනවා. " අනේ...... මගේ අහින්සක දරුවෝ දෙන්නා උඹලාට කරපු වරද මොකක්ද? " කියලා. ඒ හඬ අංගම්මන සීයාට වගේම එයාගේ තාත්තාටත් ඇහුනාලු. ඒ හඬ ඇහුන තාත්තා ටිකක් වෙලා කල්පනා කරලා, මල්ලට අත දාලා අර බෝතල් දෙක අතට ගත්තාලු. අංගම්මන සීයා බලා ඉද්දීම ඒ බෝතල් දෙකේ පියන් ඇරපු තාත්තා, සීයාවත් ඇදගෙන ආපහු ගෙදර ආවලු. ඒ එන අතරෙදී සීයාගේ තාත්තා කීවාලු " උන්ගේ පලිය ගත්තාම උන් යාවි. එතකන් මම නැති කාලෙකවත් උඹ උන්ට කරදර කරන්න එපා" කියලා.
ඒ සිද්ධිය වෙලා හරියටම සතියකින් අංගම්මන සීයාගේ තාත්තා මියගියාලු. අන්තිම හුස්ම හෙලනා වෙලෙත් තාත්තා කියලා තියෙන්නේ " උන්ගේ පලිය ගත්තාම උන් යාවි " කියලාලු.
අංගම්මන සීයාගේ තාත්තාගේ මලගෙදර දවසට පහුවදා පාන්දර අර බංගලාවට පහල පාරේ තිබිලා ආරොන් කියන ජුවන්ගේ ගෝලයෙකුගේ මිනියක් හම්බවුනාලු. ඔය විදිහට මාස කීපයක් ඇතුලත ගමේ මරණ හතක් වෙලා තියෙනවා. ඒ මියගිය හැමෝම ජුවන්ගේ සහචරයින් කියලා තමයි අංගම්මන සීයා මාත් එක්ක කීවෙි. එ්ත් ජුවන් අත්අඩංගුවේ හිටිය නිසාද කොහෙද අර ආත්ම ජුවන් නිදහස ලබන දවස වෙනකන්ම අර බංගලාව ලඟදි මිනිස්සුන්ට දකින්න ලැබිලා තියෙනවා. අවුරුදු ගානකට පස්සේ හිරෙන් නිදහස ලබපු ජුවන් ආපහු ගමට එන අතරේදී අහඹු ලෙස වාහනයකට හැප්පිලා මියගියාලු. එදා ඉඳලා ආයේ කවදාවත් අර බංගලාව ලඟදි මිනිස්සුන්ට ඒ ආත්ම දෙක දකින්න ලැබිලා නෑ.

මට මේ කතාව කියපු අංගම්මන සීයා කතාවෙි අන්තිමේදී මට මෙහෙම කීවේ වංගෙඩියේ දමා කොටපු විටක් ගිරේ අන්ඩෙන් හාරා කටේ දාගන්නා ගමන්.
" කරදර ඉවරවුනාට උන් තවමත් ඉන්නවා දරුවෝ....... ජුවන්ගෙයි උගේ සහචරයින්ගෙයි පවුල්වල එවුන් තවමත් ඉබේටම මියැදෙනවා...... මෙික නතරවෙන වෛරයක් නෙවෙයි...."

Source: Link


1 comment: