මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

08 May 2019

---පිලිස්සී මියැදුනු යුවතියකගේ අවතාරය---



සීතල දුරුතු මහේ සඳ එළිය මිදුල පුරා පෙරී ඉතිරී ඇත්තේ මුළු මිදුලටම ආලෝකයක් ලැබෙන පරිද්දෙනි. මිදුලේ සේපාලිකා ගස යට ඇති බංකුව මත හිද සිටින මට ඈත වැටමායිමේ ඇති කටකෑලියා ගස යාන්තමට මෙන් පෙනේ...
"කටකෑලියා ගහේ දැන් ලොකු...."

මම මගෙන්ම අසාගත්තෙමි...වැට කෙලවරේ මායිමට වන්නට පිහිටා ඇති කටකෑලියා ගස අයිති ලයනල් මාමලාටය.මීට අවුරුදු කිහිපයකට කලින් එහි අයිතිය තිබුණේ විජේ සීයලාටය.දැන් වත්ත කට්ටි කර විකුණා තිබේ....
සන්සුන් පරිසරයත්, පිරී ඉතිරී යන සඳ එළියත් නිසා ඇත්තේ අමුතුම චමත්කාරයකි...භාවනාවකට සමවැදුණාක් මෙන් නිසොල්මන්ව සිටි මා තිගැස්සී ගියේ වත්ත මායිමේ පිහිටි කටකෑලියා ගස දෙසින් ඇසුණු ශබ්දයෙනි...
"වවුලෝ ඇවිත් කටකෑලියා ගෙඩි කන්න.... "
මම මටම මුමුණා ගත්තෙමි.

මීට අවුරුදු කිහිපයකට පෙර මෙවන් ශබ්දයක් වැට මායිම දෙසින් ඇසුණු විගස මා නතරවන්නේ එක්කෝ අම්මාගේ තුරුළේය.නැතිනම් අක්කාගේ සමීපයේය...එහෙත් දැන් මා කුඩා දරුවෙක් නොවීමි....කලින් කුඩා පැළයක්ව තිබූ කටකෑලියා ගස දැන් ගජ ඉලන්දාරියෙකි..මමද කාලයේ පරිණාමයත් සමග වයසින් මුහුකුරා ගොස් කටකෑලියා ගස මෙන් පරිණතව සිටින්නෙමි..එහෙයින් බියවීමට කිසිඳු හේතුවක් නැත...
එහෙත් කටකෑලියා ගස සමග මගේ මතකය අතීතය මතක් කරවයි.

මා මේ පවසන්නේ කටකෑලියා ගස සමග අවියෝජනීය බැඳීමක් ඇති පිච්චිමොටීගේ අනුවේදනීය කතාවයි..
ඔබ මෙය කෙසේ වටහාගනීවිදැයි මට තේරෙන්නේ නැත..එහෙත් මා කුඩා කල අම්මා, අප්පච්චිට අකීකරු වන හැම අවස්තාවකම අම්මා මට මේ කතාව මතක් කරයි..ඒ හැම මොහොතකම මා දෙනත් කදුළින් බොඳව යන්නේ කෙදිනක වත් දැක නැති පිච්චිමොටී නිසාවෙන්ද, නැතිනම් ඇයගේ අවතාරයට ඇති බිය නිසාවෙන්ද යන්න අදටත් මට වටහා ගත නොහැකිය..ඒ දෙකම සම්මිශ්‍රණය වූ දරාගත නොහැකි දුක් අදෝනාවක් මෙම කතාවේ ගැබ්ව ඇතිබව මට අද පසක් වේ...මේ මා ඔබ රැගෙන යන්නේ ඒ අනුවේදනීය කතාවටයි.........

" අම්මා බලන්නකෝ,මල්ලී මගේ හැම පොතකින්ම පිටු කඩලා...කුරුටු බළිත් ගහලා....හැමදාම ටීචර් මට බනිනවා
...
ඒ ලොකු අක්කගේ සුපුරුදු අදෝනාවය"
"අම්මා මල්ලි මගේ පෑන් අරගෙන තීන්ත හැමතැනකම හලලා...."
ඒ පොඩි අක්කාගේ හඬයි...
"බබා....මම කියලා තියෙනව නේද? අක්කලාගෙ පොත්,පෑන් අදින්න එපා කියලා...."

අම්මා මට තරවටු කරන්නේ අක්කලාට ඇසෙන පරිද්දෙනි.එවිට අක්කලා ටිකක් මෙල්ල වන අතර මම අම්මාගේ තුරුළට පැන හුරතල් වන්නෙමි...කොහොමත් අම්මා ආදරේ මට බව මා දනිමි...
පන්තියේ යහළුවන් මෙන් සුරතලෙකු ඇතිකිරීමේ දැඩි අවශ්‍යතාවය මේ දිනවල මාගේ මනසේ දිව ගිය ප්‍රබල ආශාවක් වූ හෙයින් දිනක් මා ලේන් කූඩුවක් සාදා කෙසේ හෝ ලේනෙක් ඇති කිරීමට ඉටා ගත්තෙමි..පන්තියේ යහළුවන් විවිධ සතුන් ඇති කරන බවත්, මටද සුරතලෙකු අවැසි බව කීවද අම්මා මෙන්ම අප්පච්චිගේද කිසිදු ප්‍රතිචාරයක් එයට නොවීය..
"සත්තු කූඩු කරලා හදන එක පව් වැඩක්.."
ඒ අම්මා මට නිරන්තරයෙන් පැවසූ දෙයකි....

කෙසේ වුවද දින කිහිපයක් ගස් යට,ගස් උඩ විවිධ වර්ගයේ කෑම තබමින් ලේනෙකු අල්ලාගැනීමේ අදහසින් මා පැය ගණන් ගෙවත්තේ කාලය ගත කළෙමි..
අක්කලා කියන පරිද්දෙන් මා මුළු ගෙවත්තම පීරා ලේනෙකු අල්ලාගැනීමේ අසාර්ථක වෑයමක නිරත වූවෙමි.අවාසනාවකට එකම ලේනෙකුවත් අල්ලාගැනීමට මා අපොහොසත් වීමි...අක්කලා ගැන තරහිණුත්,සුරතලුන් ඇති යහළුවන් කෙරෙහි ඊර්ෂ්‍යාවකිනුත් මා දුක්මුසු දින කිහිපයක් ගෙවා දැමුවෙමි...
දින කිහිපයකට පසු මා පාසල් ගොස් අක්කලාද සමගින් නැවත ගෙදර එමින් සිටියෙමි..නිවස ආසන්නයේ වැටමායිමේ කටකෑලියා පඳුර ආසන්නයේ කුඩා ලේන් පැටියෙකුගේ අදෝනාවකි....
ටිo....ටිo.....ටිo.....!!

මා බෑගය අක්කාගේ දෝතට විසිකට කටකෑලියා ගස දෙසට වේගයෙන් දිව ගියෙමි....ලේන් පැටවා අල්ලා ගැනීම මාගේ මූලික අභිප්‍රාය වූ අතර කටු ඇනී කකුල් සීරී දැනුණු වේදනාවන් මට සිහි නොවීය....
ගස ආසන්නයට යත්ම අම්මා කෑ ගසමින් නිවසේ සිට මා සිටිනා දෙසට වේගයෙන් දිව එන්නට වූවාය...ලේන් පැටවා ගැන මතකය අමතක කරවන තරම් අම්මාගෙ හඬ ප්‍රබල වීය...
මා සමීපයට පැමිණි ඈ ආවේශයෙන් මෙන් සියඹලා කෝටුවක් කඩා මා හට පහර පිට පහර දෙන්නට වූවාය...
මා දැඩි වේදනාවෙන් මිරිකෙමින් මහත් වෙහෙසක් දරා නිවස දෙසට දිවගියෙමි..අම්මා නිවස තුළටද පැමිණ මා හට පහරවල් කිහිපයක්ම දුන්නාය....

"යනවද ආයේ ඒ වත්තට? යනවද ආයේ ඒ වත්තට? "
මා ඉකිය අතරින්ම නෑ කියුවෙමි...
අක්කලාද බියෙන් මෙන් අම්මා දෙස ගල්ගැසී බලා සිටති....අම්මාගේ මුළු ශරීරයම දාඩියෙන් තෙත්ව ඇත...වචනයෙන් විස්තර කළ නොහැකි තරම් බියක් මුහුණේ සනිටුහන් වී ඇත...කිසිවක් සිතාගත නොහැකි වූ මා ඇග සෝදා දහවල් ආහාරයද නොගෙන නින්දට වැටුණෙමි....

----------------------------------
එදින රාත්‍රියේ අප්පච්චි මළගෙදරක ගිය අතර මා හා අක්කලා දෙදෙනා හා අම්මා පමණක් නිවසේ තනිවීමු.දහවල් සිදුවීමෙන් පසු මා අම්මා සමග උරණව සිටියෙමි...දහවල් ගුටි කෑ හේතුව දැනගන්නා තුරු මට ඉවසිල්ලක් නොවීය...රාත්‍රි ආහාරෙයන් අනතුරුව අම්මා මා හා අක්කලාද කැටුව කාමරයට ආවය.අක්කලා දෙදෙනාද, මමද අම්මාට තුරුළු වී නිදන්නට සැරසුණු අතර අම්මා මදකට අපව නිහඩ කරමින් දීර්ඝ කතාවකට මුළ පිරුවාය..අම්මා එදා රාත්‍රියේ අපට් කියූ කතාව වචනයක් පාසා අදටත් මා මතකයේ රැවු පිලිරැව් දේ....මා ඒ කතාව අම්මා කියා ආකාරයෙන්ම ඔබට පවසමි....අහගන්න....මේ ඇගේ කතාවයි...ඔබ මෙතෙක් නොදත් පිච්චිමොටගේ කතාවයි....
------------------------------------

අම්මා අප්පච්චි හා විවාහ වීමෙන් අනතුරුව අප්පච්චිගේ මහ ගෙදරට (දැන් අපි ඉන්න ගෙදර) පදිoචියට පැමිණ ඇත්තේ 1979 වර්ෂයේදීය.සීයලාගේ මහගෙදර පැරැණි වලව්වක් ආකාරයෙන් ගම්මානය පුරාවටම කාගේත් අවධානයට ලක්ව ඇති අතර ගමේ යමක් කමක් ඇති පුද්ගලයකු වශයෙන් සීයාට සුවිශේෂ ස්ථානයක් හිමිවී තිබේ..ඒ නිසාවෙන් මුදල් ණයට ඉල්ලා ගැනීම ,කුඹුරු අදයට ඉල්ලා ගැනීම ආදී දෑ සදහාද ගම් වැසියන් නිරන්තරයෙන් සීයලාගේ නිවසට පැමිණ ඇත....
මා කළින් සඳහන් කළ කටකෑලියා ගහ අයිති ඉඩමේ මුල් හිමි කාරීත්වය හිමිව ඇත්තේ පොඩි මහත්තයා නම් පුද්ගලයකුට වන අතර ඔවුන්ගේ නිවසේ ඔහු හා ඔහුගේ බිරිදත්, අවුරුදු 15ක් වයසැති නෝනා නම් දියණියත්,වයස අවුරුදු 9 -4 අතර පිරිමි දරුවෙක් හා ගැහැණු දරුවෙක්ද වාසය කොට ඇත...එම පවුලේ අයද සීයාගෙන් නිරන්තරයෙන් ණය මුදලක් ලබා ගැනීමට පැමීණීම හේතුවෙන් එම නිවසේ 15 හැවිරිදි නෝනා දියණිය අම්මා සමග මිත්‍ර වී ඇත...

නෝනා අම්මා පැවසා ඇති ආකාරයට නෝනාගේ තාත්තා වෙන අයෙකි.අම්මා වෙනත් කසාදයක් කරගෙන ඔවුන් ජීවත් වන නිවසේ පදිoචියට පැමිණ ඇත...
බාප්පාගෙන් හා ඔවුන්ගේ දරුවන්ගෙන් නෝනාට හිමිව ඇත්තේ කුඩම්මාගෙ සැළකිලි වේ...ඇයගේ අම්මාද ඇයට සලකා ඇත්තේ වහලියකට පරිද්දෙනි..නිවසේ සියල්ලන්ගේ රෙදි සේදීම,වළන් පිගන් සේදීම,ගෙවල්,මිදුල් අතුගෑම,වතුර පිරවීම,කුරක්කන් ඇඹරීම ආදී රාජකාරී නෝනාගේ දෛනික රාජකාරි වලින් අතලොස්සකි.......
"නෝනා....මල් වලට වතුර දාපන්,
නෝනා....මල්ලිගෙ කක්කා සෝදපන්...
නෝනා....කඩේට පලයන්...
නෝනා...උඹට ඇහෙන්නේ නැද්ද යකෝ??"

ඒ නිරන්තරයෙන් ඈ ලද කටුක වදන් වේ..ඇයට අදින්නට තිබී ඇත්තේ එකම එකම චීත්ත ගවුමක් වේ...ඇගේ සියළුම ඇදුම් සහෝදරයා හා සහෝදරිය විසින් ගිණිබත් කරනු ලබන අතර ඇදිවත පමණක් ඇයට උරුමව ඇති බව ඈ අම්මා සමග පවසා ඇත්තේ හැඩූ කදුළිනි.....

අම්මා ඇයට අම්මාගේ අලුත්ම ගවුම් කිහිපයක්ම තෑගි කොට ඇත්තේ ඈ කෙරේ උපන් ඇසීමිත දුකෙනි....සමහර වැසි දින වලට නෝනාට එලියේ තෙමි තෙමී ඉන්නට සිදුවේ....ඇයගේ නැගණිය හෝ මල්ලී සිදුකරන වෑම වැරැද්දකටම දඩුවම් විදින්නට සිදුව ඇත්තේ නෝනාට වේ..සියලුම වැරදි නිමාවනේ නෝනාට සිදුවන ගුටි බැට දීමෙන් අනතුරුව වේ...

අම්මා විසින් නෝනාට දුන් ඇදුම් කිසිදිනෙක නෝනාට අදින්නට සිදුවී නැත....යන්න ගමනක්ද ඇයට නැති හෙයින් ඈ එකම ඇදුම සෝදා කඩමාල්ලකට සමාන වන තෙක් ඇද ඇත....නෝනාගේ නිවසේ ඇයගේ ඇදුම් තැබුවහොත් ඒවා ගිණි තබන නිසාවෙන් ඒවා සීයලාගේ මහගෙදර ට්‍රන්ක පෙට්ටියක අහුරා දින පතා ඈ ඒවා සිඹයන බවත්,ඒවා අඳින්නට ආසා කරන බවත් ඈ සිය දහස් වාරයක් අම්මාට පවසන්නට ඇත...



දිනක් සවස් කාලයේ අම්මා නිවස අසල ඇති ලිදෙන් රෙදි සෝදමින් සිටින අතරතුර නෝනලාගේ නිවස දෙසින් විලාප හඩක් ඇසී ඇති අතර ඒත් සමගම නෝනා ගිණි ගොඩක් සමගින් අම්මා සිටි දෙසට දුව ආ බවත් නිවසේ සියල්ලන්ම එකතුවී නෝනාට වතුර ගසා ගින්න නිවා දමා ඇත...

කුරා කූඹියෙකුට වත් වරදක් නොකළ අහිංසක නෝනාගේ පපුවෙන් පහළ සියල්ලම පිච්චී ගොසින්ය..වහාම නෝනාව රෝහලට ඇතුළත් කොට අතර රෝහලේ ඇයව තබාගෙන ඇත්තේ කෙසෙල් කොළ මත නිරුවතින් වේ...
නෝනාගේ හිසේ සිටි උකුණන් දහස් ගණනක් නෝනාගේ හිස අතහැර යන්නට ඇත්තේ නෝනාගේ ශරීර උෂ්ණත්වය දරා ගත නොහැකි නිසාවෙනි......

නෝනාගේ තත්ත්වය එන්න එන්නම උත්සන්න වී ඇති අතර දැඩි වේදනාවෙන් යුක්තව රෝහල්බිම දෙදරා යන ආකාරයෙන් නෝනා විලාප තබා ඇත.....ගින්නට හසු වී තෙවෙන දින මේ ලොව ඈ විදි සියලුම දුක්ඛ දෝමනස්සයන් වලින් මිදී නෝනා මෙලොවෙන් සමුගෙන ඇත්තේ ඇය ගැන් හොදින් දන්නා සමීපතමයන්ගේ දෑස් කදුළින් තෙත් කරවිමිනි.........
නෝනාගේ මරණය සිදුව ඇත්තේ අපරික්ෂාරී ආකාරයෙන් ගිණි මෙළවීම හේතුවෙන් බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.නමුත් මියයාමට පෙර නෝනා කියා ඇත්තේ නෝනා කුරක්කන් අඹරමින් සිටි බවත් ඇයගේ නැගණිය හා මල්ලී ඈ ඇද සිටි සාය වටා භූමිතෙල් දැමූ බවත් අවසානයේදී ඔවුන් ගිණිතබා ඇති බවත්ය.එහෙත් පිළිගත හැකි පරිදි සාක්ෂි නොමැතිකම හේතුවෙන් එය මිනී මැරුමක් බවට ඔප්පු වී නැත.......

නෝනාගේ නිසළ දේහය එම්බාම් කර ඇත්තේ අප නිවසේ වැටමායිමේ පිහිටි කටකෑලියා ගස ආසන්නයේය...ඈ මියයන අවස්තාවේදී කෙසෙල්මුව සමග අවසන් වරට ආහාරය ගෙන ඇති බව මරණ පරීකෂණයේ අනාවරණය වී තිබේ......
නෝනා යනු සැබැවින්ම අවිහිංසක දැරියක් වන අතර ශෝචනීයම කාරණය වී ඇත්තේ නෝනා වැඩිවියට පත්ව ඇත්තේද ඇය ගිණිගත් දිනයේ බවද මරණ පරීකෂණයේදී අණාවරණය වී ඇත...

නෝනාගේ නිසළ දේහය කටකෑලියා ගස යට වළලා ඇති අතර පිලිස්සීමෙන් මියගිය ගිය අරුත් ව ඇතිව පිච්චිමොටී යන අන්වර්ථ නාමයෙන් නෝනාව එදා සිට ගමේ කොලු කුරුට්ටන් විසින් හදුන්වා දී ඇත....
නෝනාගේ මරණයත් කාලයත් සමග වැළලී ගියද, නෝනාගේ අවතාරය ගම පුරා සැරිසරන බවට කාලයත් සමගම කටකතා ඇතිවී තිබේ...නෝනාගේ රෙදි තබා තිබූ සීයලාගේ ගෙදර කාමරයේ නොයෙක් ශබ්ද ඇති වූ බවත්, සමහර රාත්‍රින් වලදී නෝනාගේ කෑ ගැසීම් කටකෑලියා ගස දෙසින් ඇසුණු බවටත් අසල්වාසින් දිවුරා කියා සිටියි....

නෝනාගේ මරණයෙන් පසු ඇයගේ පවුලේ සාමාජිකයන් ගමෙන් කොන් වී ඇති අතර ඔවුනට ගම අතහැරයාමට සිදුව ඇත...
දිනක් නෝනාගේ නැගණිය සිහිනෙන් නෝනාගේ සොහොන ඇති කටකෑලියා ගස ළඟට ඇවිද ගොස් ඇත...වරෙක ඇයගේ මල්ලී සිහිසුන්ව කාමරයේ වැටී ඇත.....ඒ සියල්ලම සිදුකර ඇත්තේ නෝනාගේ අවතාරය බව ගම්මුන්ගේ අදහසයි...
ඒ හෙයින් කටකෑලියා ගස පැත්ත පලාතකටවත් යෑමට ගමේ කිසිවෙක්වත් ඉදිරිපත් වී නැත.ඒ හේතුවෙන් එම ඉඩම කට්ටි කර විකුණා ඇත්තේ මීට වසර ගණනකට කලිනි.අදටත් කටකෑලියා ගහයට පිච්චිමොටී නිදි ඇති සිතන කුඩා ළමුන් ගමේ ඕනෑ තරම් ඇත...
මේ කාරණය හේතුවෙන් සීයා කට්ටඩියෙකු ගෙන්වා වැලි මතුරා වත්ත හතර වටේ ඉසිමින් වත්ත ආරක්ෂා කර ඇති අතර එදායින් පසු නෝනාගේ අවතාරයෙන් කරදරයක් වී නැති බවත් පසුකාලයකදී මට දැනගන්න ලැබුණි.......

----------------------------------
මා ලේන් පැටියෙක් සෙවීමට ගොස් ගුටි කෑවේ මේ හේතුව නිසාවෙන් බව අම්මාගේ කතාවෙන් පසුව වැටහුණි...අක්කලා දෙදෙනාම කතාවෙන් අනතුරුව අඩාවැළපුණු අතර මාද එම කතාව ඇසීමෙන් අනතුරුව දැඩි සේ කම්පනයට පත් වීමි.පිච්චිමොටී යනු කවුරුන්දැයි මා නොදත්තද වචනයෙන් කිව නොහැකි තරම් සෙනෙහක් ඈ වෙනුවෙන් මා සිතේ එදා මෙන් අදත්, හෙටත් මෝදුව පවතියි....

මා පිච්චිමොටීට බිය නොවුණෙමි...ඇයට සිදුවූ අසාධාරණය ,අවනඩුව නිසාවෙන් ඇයගේ හොල්මන හෝ සොයා යා යුතු බව කුඩා කළ මට සිතුණු වාර ගණන් අනන්තය...

නෝනා නොහොත් පිච්චිමොටීගේ පවුලේ උදවිය යහතින් ජීවත් නොවේවා යන ප්‍රාර්ථනයෙන් මා කුඩා කල කුරිරු සතුටක් ලැබුවෙමි.....නමුදු දෛවය යනු වෙනස් කළ හැකි දෙයක් වුවද,කර්මය යන්න වෙනස් කිරීමට මහත් අසීරු සoකීර්ණ ක්‍රියාවලියක් බව මා අද විස්වාස කරන්නෙමි....

එහෙයින් පිච්චිමොටීට අමා මහ නිවන්සැප හැරෙන්නට පතන්නට වෙන කිසිවක් නොමැති බව මා දුකින් වුවද මෙනෙහි කරන්නෙමි.....!!

_ නිමි_
මම #_සුමේධ හෙට්ටිආරච්චි _

Source: Link


අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..