පාන්දර පහ හමාර පමන වන විට පැය පහක පමන ගමන අවසන් විය.නමුත් ලොරි රථය තවම මග විය යුතු ය.සරත් වෑන් රියෙන් එලියට බැස්සේ සැහැල්ලු සුසමක් හෙලමිනි.සරත්ගේ බිරිඳ ඉනෝකාත් ඒ අනුව රියෙන් බැස ගත්තා ය.දරුවන් දෙදෙනා නින්දට වැටුනේ තේ බීමට නවතා ගමන ආරම්භ කල තැන සිටම ය.ඔවුන් අවදි කිරීමට උනන්දු නොවූ ඉනෝකා සරත් අසලට පිය පැන්නා ය.
"ලස්සන ගේ පොඩ්ඩ ! ඒත් ඉතිං කොච්චර ගානක්නම් ගියා ද ? "
සරත් ඉනෝකා දෙස බැලුවේ සිනහවෙනි.
"කොච්චර ගියත් හොද දේකටනෙ. මේ ලොරිය තවම නෑනෙ .ඒ අයත් ආවනම් කිරි ටිකක් උතුරලා එහෙම වැඩ පටන් ගන්න තිබ්බා."
ඒ කියනවාත් සමගම ගේට්ටුවෙන් ලොරි රථය ගෙමිදුලට ඇතුල් විය.ලොරියේම පැමිනි සරත්ගෙත් ඉනෝකාගෙත් පියවරු දෙපලද ඔවුන්ට එකතු විය.අම්මලා දෙදෙනාටම පැමිනීමට නොහැකි විය.දෙදෙනාම අසනීපයෙනි.ගෙට ගෙවැදීම කල්දැමිය නොහැකි නිසාම ඒ දෙපල නැතිවම උවත් නියම කරගත් දිනයට එය ඉටු කිරීමට සියල්ලන් එකග විය.
"අර කිරි උතුරන්ඩ උවමනා කලමනා ටික ගත්තනම්. "
ඒ ඉනෝකාගෙ පියා ය.සරත් ඒ සියල්ල නිවසේ සාලයේ තැම්පත් කලේ ය.ලොරියේ රියැදුරුද කිරි ඉතිරීමට සහභාගී විය.සරත්ගේ දුර කථනයෙන් පිරිත් සජ්ඝායණයක්ද වහනය විය.යහපත් ලෙස ඒ කටයුතු අවසන් විය. සියල්ලන් සහභාගී වී නිසි තැන්වල බඩු බාහිරාදියත් තැම්පත් කොට අවසන් වෙද්දී හවස හතරද පසු වී තිබුනි.අත පය සෝදාගත් පියවරු දෙපලත් රියැදුරුත් පිටව යෑමට සූදානම් විය.
"තාත්තලා දෙන්නයි ඩ්‍රයිවර් මාමයි අද ඉදලම ගියානම් තමයි හොද.අනික දවසම මහන්සිවෙලා ඔය ගමන ගියාම හොද පණ යනවා !"
සරත් පැවසුවේ ඔවුන් නවතා ගැනීමේ අරමුණෙනි.
"අනේ ඔවු තාත්තෙ .අද ඉදලම යමු "
ඉනෝකාද එයට එකතු කරමින් කීවා ය .නමුත් එය කල නොහැක්කක් විය.බිරින්දෑවරු දෙපලම අසනීපයෙන් බව පවසමින් හේතු දැක්වූ ඔවුන් සමුගත්හ.පිටව යන මොහොතේ වැඩිහිටියන් තිදෙනාගේම දෙපා වැද ඔවුන්ට සමු දීමට නිවැසියන් අමතක නොකල හ.
"හෙට අර යාලුවෝ වාගයක් එනව කිවුව නේද ? කරන දෙයක් පරිස්සමෙන් අඩ දබර නොවී .අපි යනව එහෙනම් "
ඉනෝකාගෙ පියා පැවසුවේ ය.ඔවුන් ගේට්ටුවෙන් පිටවී යන තෙක් එතැන රැදුනු ඉනෝකා සුසුමක් හෙලා ගේට්ටුව වසා දැමුවා ය.
"අනේ අම්මෙ ටීවි එක දාගන්නම් "
සිතුමි තම මවගේ අතේ එල්ලෙමින් විමසුවා ය.ඇය දහතුන් හැවිරිදි දැරියකි.බාලයා සිහින දහ හැවිරිදි ය.
"හා හා දැන් ඉතිං ඉස්කෝලෙට බාර දෙනකල් නිදහස්නෙ. ඔහෙ දාගන බලන්න "
ඉනෝකා කුස්සිය දෙසට ඇදෙමින් අවසරය ලබා දුන්නා ය.
"මල්ලි. එන්න ටිවී බලන්න "
තම සොහොයුරාටද කතා කරමින් සිතුමි රූපවාහිනිය ඉදිරියේ හිදගත්තා ය.පියා අසලට වී ඔහුගේ පරිගණකය දෙස බලාගෙන සිටි බාලයා පඩිපෙල බැසගෙන පහලට දිව ආවේ ය.
සරත් මිලට ගත් එය දෙමහල් නිවසකි.නමුත් එතරම් විසල් නිවසක් නොවේ.පහල මහල සාලයත් කුස්සියත් කෑම කාමරයත් අමතර කාමරයකිනුත් යුක්ත ය.ඉහල මහල කාමර හතරකිනුත් තරමක සාලයකිනුත් යුක්ත ය.සිත් ගන්නා නිවහනකි.දවස පුරාම වෙහෙස වූ නිසාම රාත්‍රි ආහාරය ගෙන මද වේලකට පසු සිවු දෙනාම නින්දට ගිය හ.සිතුමිත් ඉනෝකාත් එක් කාමරයක ය.සිහිනත් සරතුත් එයටම මුහුණලා සිටි කාමරයේ ය.
කවදාකවත් නොවූ ලෙස සිහින රැයේ අවදි විය.ඔහු සිටියේ තදබල වතුර තිබහකිනි.තම පියාගෙ සිරුරට අතගසා සෙලවූ ඔහු සරත් අවදි කරගැනීමට උස්සහ කලේ ය.එය නොහැකි වූ තැන කාමරයේ විදුලි බුබුලත් දල්වා කාමරයෙන් එලියට ආවේ තම මව අවදිකර ගැනීමේ අරමුණෙනි.මවගේ කාමරේට යන සිහිනගෙ දෙනෙතට හසුවූයේ ඉහල මහලේ සිට පහල මහලට බසින යමෙකුගේ චායාවයි. ඒ ගැන වද නොවූ සිහින දොර ඇර මවත් සහෝදරියත් නිදා සිටි ඇද අසලට ගොස් ඇය අවදි කරගත්තේ ය.
"මොකද දරුවො ?"
ඉනෝකා නිදිමතේම නැගිටිමින් සිහිනගේ හිස අතගෑවා ය.
"වතුර තිබහයි. තාත්තා නැගිට්ටෙ නෑ ."
"ඒ මොකද කවදාවත් නැතුව .හා යමු යමු."
ජලය ලබා ගැනීමට පහල මහලට යා යුතුය .ඉනෝකා තම පුතුගේ අතින් අල්ලාගෙන පහල මහලට බැස්සා ය.
"අම්මෙ අපිත් එක්ක තව කවුද ඉන්නෙ මෙහෙ ?"
සිහින විමසුවේ හිතේ තිබූ පැණයයි.
"කවුරුත් නෑ. ඇයි පුතේ ?"
ඉනෝකා පහල මහලේ බිත්ති ඔරලෝසුව දෙස බලමින් විමසුවා ය.වෙලාව දොලහට විනාඩි පහලවකි.
"මම අම්ම හොයන්න යද්දි උස මිනිහෙක් උඩ ඉදලා කරුවලේම පහලට බැස්සා !"
ඉනෝකා මදක් තිගැස්සුනා ය.
Source: Link